Wednesday, 23/8/2017 | 8:07 UTC+0
රාවය

සමාජ මාධ්‍ය මෙවර ආපදා ප්‍රතිචාරයේ ලොකු මෙහෙවරක් කළ සැටි

මෝසම් වැසි අනාදිමත් කාලයක සිට අපට පුරුදුයි. එහෙත් දේශගුණ විපර්යාස නිසා ඉතා ඉහළ වර්ෂාපතනයක් කෙටි කාලයක් තුළ පතිත වීම දැන් නිතර සිදු වනවා. මේ නිසා ගංවතුර හා නාය යෑම් ආපදා හට ගැනීම 2016 මැයි මාසයේ මෙන්ම 2017 මැයි මාසයෙත් අප අත් දුටුවා.
සොබාවික ක්‍රියාකාරකම් නතර කන්න බැහැ. එහෙත් ආපදා කළමනාකරණය හරහා බලපෑම් සමනය කර ගැනීමේ ක්‍රමවේද තිබෙනවා. එම ප්‍රතිචාරවලදී නිවැරදි තොරතුරු ඉක්මනින් බෙදා ගැනීම තීරණාත්මකයි.
මෙවර ආපදා අත්දැකීමේ එක් ප්‍රබල නිරීක්‍ෂණයක් වන්නේ වෙබ්ගත සමාජ මාධ්‍ය වෙන කවදාටත් වඩා ආපදා ප්‍රතිචාරයට යොදා ගැනීමයි. මෙය සමීපව හා විස්තරාත්මකව අධ්‍යයනය කළ යුතු සංසිද්ධියක්.
අද මා තැත් කරන්නේ ගෙවී ගිය සතියේ සිදුවීම් අතරින් දුටු ප්‍රවණතා කිහිපයක් ලේඛනගත කරන්නයි. එසේම ඒවා තේරුම් ගැනීමට අවශ්‍ය පසුබිම සපයන්නයි.
ඉන්ටර්නෙට් භාවිත කරමින් සෘජුවම තොරතුරු, විග්‍රහයන් ඡයාරූප හා වීඩියෝ සමාජගත කරන පුරවැසි මාධ්‍යවේදීන් මුල් වරට ආපදා අවස්ථාවක මෙරට සක්‍රිය වූයේ 2004 දෙසැම්බර් සුනාමියෙන් අනතුරුවයි. මේ ගැන 2005දී විග්‍රහයක් කළ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් කීවේ සුනාමිය මෙරට පුරවැසි මාධ්‍යකරණයේ හැරවුම් ලක්ෂයක් වූ බවයි.
මේ අයට පුරවැසි මාධ්‍යවේදීන් කියනවාට වඩා මා නම් කැමති තොරතුරු ක්‍රියාකාරිකයන් (infoactivits) කියන්නයි. මේ සමහරුන් විවෘත සමාජ මාධ්‍ය වේදිකා (ට්විටර් හා ෆේස්බුක්හි චමඉකසජ මට්ටමෙන්) භාවිත කරන අතර අනෙක් අය සංවෘත සමාජ මාධ්‍ය යොදා ගන්නවා (ෆේස්බුක්හි public මට්ටම, WhatsApp හා වෙනත් චැට් වේදිකා).
මේ සැමගේ තනි අරමුණක් නැහැ. අයෙක් පොදු උන්නතියට අදාළ දේ බෙදා ගනිද්දී තවත් අයෙක් පෞද්ගලිකව දන්නා හඳුනන අය අතර තමන්ගේ අලුත්ම තත්ත්වය හා අත්දැකීම් ෂෙයාර් කරනවා. සමාජ මාධ්‍ය යනු මේ සියල්ලම ඉඩ සලසන වේදිකා පමණයි.
මෙරට වැඩිපුරම භාවිත කැරෙන ෆේස්බුක් සමාජ ජාලයත්, ඊට අමතරව ට්විටර්, Instagram හා WhatsApp වේදිකාවනුත් පුළුල් ලෙස ගෙවී ගිය දින කිහිපය තුළ ආපදා තොරතුරු, රූප හා වීඩියෝ බෙදා ගන්නට යොදා ගනු ලැබුවා.
මෙම තොරතුරු ක්‍රියාකාරිකයන් අතර වෘත්තීය මාධ්‍යවේදීන්, රාජ්‍ය නිලධාරීන්, සමාජ සේවකයන්, සමාජ සේවා සංවිධාන, රාජ්‍ය ආයතන මෙන්ම සාමාන්‍ය පුරවැසියන් දහස් ගණනක්ද සිටියා.
දින කිහිපයක් තුළ ජනනය වූ දස දහස් ගණනක් පණිවුඩවලින් බහුතරයක් ස්වයංක්‍රීයව ගොනු කළ හැකි සේ පොදු වචන කිහිපයකින් එකත්වත් එහි අඩංගු කරනු ලැබුවා. ්‍Hashtags නමින් මේ පොදු සාධක වචන හඳුන්වනවා. ඃ#FloodSL#SLFlood #slfloods #Flood2017#FloodRelief #FloodReliefLK
මේවා කුමක් විය යුතු ද යන්න ගැන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් මැයි 25 වන විටම එකඟත්වයකට ආවා. ඒවා මතු වන්නේ භාවිත කරන ප්‍රජාව තුළින්ම මිස රජයකින් හෝ වේදිකා පාලකයන්ගෙන් නොවෙයි.
ආපදා සන්නිවේදනයේ අදියර තුනක් තිබෙනවා. ආපදාවක් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීම, ආපදාව සිදු වන විට එසැණින් තොරතුරු බෙදා ගැනීම හා ආපදාවේ බලපෑම් ගැන එතැන් පටන් දින/සති කීපයක් පුරා කරන පශ්චාත් ආපදා සන්නිවේදනය වශයෙන්.
මෙවර ආන්තික කාලගුණ තත්ත්වය ගැන දින 4-5කට පෙර පටන් (චන්ද්‍රිකා නිරීක්‍ෂණ හරහා) දැන සිටියා. එහෙත් එය ඇති තරම් පුළුල්ව හෝ වේගවත්ව හෝ සමාජගත වූයේ නැහැ. මෙය ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේද ඉදිරි අවධානයට යොමු විය යුතුයි.
මෝසම් සුළං හෝ සුළි සුළඟක් හෝ නිසා හට ගන්නා අධික වැසි අපට පාලනය කරන්න බැහැ. එහෙත් අධික වැසි සමඟ ගංවතුරට, නායයෑම්වලට ලක්වීමේ අවදානම ඇති ප්‍රදේශවල ඒ අවස්ථාවේ කුමක් කළ යුතු ද යන්න ගැන මීට වඩා නිශ්චිතව අදාළ ජනයා දැනුවත් කළ යුතුයි.
මහවැසි ඇද හැලීමට පටන් ගෙන ආන්තික කාලගුණය ආපදාවන් බවට පත් වන විට නම් රට පුරා සාමාන්‍ය ජනයා සමාජ මාධ්‍ය හරහා අලුත්ම තත්ත්වය ගැන තොරතුරු රූප හා කෙටි වීඩියෝ බෙදා ගන්නට පටන් ගත්තා.
තමන්ගේ බිය, සැක, දුෂ්කරතා, වික්ෂිප්ත බව මෙන්ම තම ප්‍රදේශයේ කැරෙන ආපදා ප්‍රතිචාරයන් ගැනද විවිධාකාරයේ අදහස් හා තොරතුරු මේ අතර තිබුණා.
නව මාධ්‍ය පර්යේෂක සන්ජන හත්තොටුව මෙය මෙසේ විග්‍රහ කරනවා. “බොහෝ සමාජ මාධ්‍ය සන්නිවේදන සිදුවූයේ ෆේස්බුක් හරහායි. මීට අමතරව මෙවර ට්විටර් හා WhatsApp ද බහුලව යොදා ගනු ලැබුවා. ෆේස්බුක් භාවිත කරන පිරිස මේ වන විට ලක් සමාජයේ සමාජ හා ආර්ථික ස්ථරයන් සියල්ල හරහා විහිද ගොසින්. මේ අය තව දුරටත් ඉංග්‍රීසි කථා කරන ලියන පිරිසක් හෝ නාගරික ජනයා හෝ නොවෙයි. විශේෂයෙන් සිංහලෙන්, ජංගම දුරකථන හරහා ෆේස්බුක් ගත වන ලක්‍ෂ ගණනක් ජනයා ආපදා අවස්ථාවේ ප්‍රතිචාර දක්වනු හා තොරතුරු හුවමාරු කරගනු අප දුටුවා. මෙම ප්‍රවණතාව ආපදා අවස්ථාවක පමණක් නොව ඉදිරියේදී රටටම වැදගත් මැතිවරණ, ජනමත විචාරණ ආදී අවස්ථාවලදීත් තීරණාත්මක වනු ඇති.”
2017 මැයි 25 සිට මැයි 31 මධ්‍යහනය වන තුරු ඃ#floodsl, #floods17,#floodsl2017 පොදු වචන හතරෙන් එකක්වත් යොදා ගනිමින් ජනනය කරන ලද ට්විටර් කෙටි පණිවුඩ ගණන 24,815ක්. මෙය මේ දක්වා මෙරට තනි නිමිත්තක් වටා ජනනය වූ විශාලතම පණිවුඩ සංඛ්‍යාව බව සන්ජන කියනවා.
“ආපදාවේ උච්ච දිනවල විනාඩියකට අලුතින් ජනනය වූ ට්වීට් පණිවුඩ සංඛ්‍යාව මින් පෙර නොවූ විරූ ඉහළ අගයක් ගත්තා. මෙයින් පෙනෙන්නේ ෆේස්බුක්වලට අමතරව ට්විටර් ද දැන් මෙරට වඩාත් ප්‍රචලිත වෙමින් ඇති බවයි. හදිසියකදී විවෘත සන්නිවේදනවලට එය යොදා ගන්නා සැටි ලක්‍ෂ සංඛ්‍යාත දෙනා දන්නා බවයි.” ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යවල සන්නිවේදනද වැඩිපුරම අවධානය යොමු කළේ ගංවතුර හා නායයාම්වල ජීවිත හානිය, දේපළ හානිය, අවතැන්වීම් ආදිය ගැනයි. මෙය වැළැක්විය නොහැකියි.
එයට සමාන්තරව ආපදා සහන ප්‍රතිචාරයන් සඳහා ද සමාජ මාධ්‍ය වේදිකා දක්‍ෂ ලෙස යොදා ගන්නා අවස්ථා සිය ගණනක් මා දුටුවා. මා නොදුටු තවත් උදාහරණ කොපමණ තිබෙන්නට ඇත්ද?
ගංවතුරෙන් කොටු වූ ජනයා බේරා ගන්නට හා ඔවුන්ට ආහාර සහ වෙනත් ආධාර බෙදන්නට ප්‍රාදේශීය මට්ටමින් බොහෝ දෙනා සංවිධානය වූයේ සමාජ මාධ්‍ය හරහායි. බෝට්ටු ඕනෑ අය, බෝට්ටු දීමට කැමති අය, ආහාර හා වතුර රැස් කරන අය තම ඕනෑකම් හා හැකියාවන් සන්නිවේදනය කළා. ගුවන් හමුදාව ගලවා ගැනීම් සඳහා හෙලිකොප්ටර් අවශ්‍ය නම් කථා කළ යුතු දුරකථන අංකය සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කළා.
මේ බොහෝ තොරතුරු සංස්කරණ වූයේ රූප හා වචන කැටි කළ වෙබ් මීම් (web meme) ස්වරූපයෙන්. බහුතරයක් මීම් කඩිමුඩියේ සකස් කළ ඒවායි. ඉඳහිට නිර්මාණශීලීව නිමැවූ මීම් ද දක්නට ලැබුණා.
අවතැන්වූවන්ට ආහාර ආධාර, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා (පාඩම් සටහන් හා පෙළපොත් ලබාදීම්) ආදිය මෙසේ මීම් හරහා සමාජගත වුණා. රජයක හෝ මහා මාධ්‍යවල කිසිදු මැදිහත්වීමකින් තොරව ජනයා තමන්ගේ හදිසි අවශ්‍යතා සඳහා ප්‍රජා මූලික සන්නිවේදන කිරීමට සමාජ මාධ්‍ය යොදා ගත් සැටි අපුරුයි.
එකිනෙකා නොහඳුනන ලාංකිකයන් හනිකට පොදු අරමුණකට ඒකරාශී කරගන්නට සමාජ මාධ්‍ය යොදා ගැනෙනු අප දුටුවා. හොඳ උදාහරණයක් නම් දුම්රිය මගින් කොළඹට එන කාර්යාල සේවකයන්ට තම දිවා ආහාරයට අමතරව තවත් බත් පාර්සලයක් ගෙනැවිත් ප්‍රදානය කරන ලෙස කෙරුණු ඉල්ලීමයි.
තනිකරම සමාජ මාධ්‍ය හරහා පැය කිහිපයක් තුළ කෙරුණු මේ කෑම්පේන් එකෙන් එකතු වූ සිය ගණනක් බත් පාර්සල්, මරදාන හා කොටුව දුම්රිය ස්ථානවල සිට රත්මලාන ගුවන් තොටුපළට ගෙන ගොස් භාරදෙනු ලැබුවා. එතැන් සිට ඉක්මනින් ඒවා අවශ්‍ය තැන්වලට ගුවනින් ගෙන යාමට ගුවන් හමුදාව සැරසී සිටියා.
මෙසේ ආපදා සහන සැලසීමේදී ජාතිභේද හා ආගම් භේද ඉක්මවා සමස්ත ලක් සමාජය (තාවකාලිකව හෝ) එක්සත් වූ ආකාරයද සමාජ මාධ්‍ය සන්නිවේදන සමහරක් තුළින් අපට පෙනෙනවා. මේවා කිසිදු රාජ්‍ය ආයතනයක් හෝ සංවිධානයක් සැලසුම් සහගතව කළ දේ නොවෙයි. ප්‍රජාව තුළින්ම ස්වයංජාත වූ නිර්ව්‍යාජ ප්‍රතිචාරයි.
එසේම දුෂ්කරතා රැසක් මැද තම රාජකාරිය හොඳින් ඉටු කළ බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ට ප්‍රණාමය දක්වන්නට ද සමාජ මාධ්‍ය යොදා ගැනුණා. විපතට ලක් වූ බොහෝ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් ආපදා සහන සැලසීම සම්බන්ධීකරණය කළා.
“ජාතික මට්ටමේ ආපදා කළමනාකරණ ප්‍රතිචාරය දුර්වල වුවත් බිම් මට්ටමින් බොහෝ රාජ්‍ය නිලධාරීන් මහත් කැපවීමෙන් ක්‍රියා කළ බව අප දුටුවා. ඔවුන්ට නිල පිළිගැනීමක්, දිරි ගැන්වීමක් ලැබේදැයි අප දන්නේ නැහැ. මහජනයා ලෙස අපට කළ හැක්කේ සමාජ මාධ්‍ය හරහා ඔවුන් ඇගැයීමට ලක් කිරීම පමණයි” සන්ජන කියනවා.
රාජ්‍ය නිලධාරීන් මෙසේ මහජන සේවය කරද්දී, දේශපාලකයන් සුපුරුදු පරිදි තමන්ගේ සුඛ විහරණයට මුල්තැන දීම සමාජ මාධ්‍යවලින් බරපතළ ලෙස දෝෂ දර්ශනයට ලක් වුණා. ගංවතුර නිසා ප්‍රදේශ රැ සක් ආපදාවට පත්වී තිබුණු මැයි 26 සිකුරාදා පාර්ලිමේන්තුවේදී ඇමතිවරුන්ට සැප වාහන සඳහා කෝටි ගණනක පරිපූරක ඇස්මේන්තුවක් විවාදයට ගැනීම දැඩි මහජන පිළිකුලට පාත්‍ර වුණා.
මේ විරෝධතා දිගින් දිගටම සමාජ මාධ්‍යවල ගොඩ නැගෙනු දුටු නිසාදෝ මැයි 30 වනදා රජය ප්‍රකාශ කළේ මේ වසරේ මන්ත්‍රීවරුන්ට කිසිදු නව වාහනයක් මිලට නොගැනීමට තීරණය කළ බවයි. මෙය තම යෝජනාවක් බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයකින් ප්‍රකාශ කළා.
දුර්වල ආපදා කළමනාකරණය හා අසංවේදී ආණ්ඩුකරණය ගැන මහජන කෝපය, හෙළා දැකීම හා විරෝධය දැක්වීම පසුගිය දින කිහිපය පුරාම සමාජ මාධ්‍ය වේදිකා සියල්ලේ ප්‍රබලව දැකිය හැකි වුණා.
පරම්පරාවකට පෙර වීදි උද්ඝෝෂණවලින් ප්‍රකාශිත මහජන මතය අද වැඩිපුරම මතුවන්නේ සමාජ මාධ්‍ය හරහායි. මේ ජන මතය අධ්‍යයනය කිරීම හා එයට සංවේදී වීම නිසි රාජ්‍ය පාලනයට අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබෙනවා.
ආපදා කළමනාකරණයට වගකීම් දරන රාජ්‍ය ආයතනවල සමාජ මාධ්‍ය භාවිතය තවමත් ප්‍රශස්ත නැහැ. එහෙත් වෙනදාට වඩා ඔවුන් එයට උත්සාහ ගනු පෙනුණා.
ආපදා කළමනාකරණ කේන්‍ද්‍රය (DMC) හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිල ට්විටර් ගිණුම් ඇරඹුවේ 2016 වසරේ ගංවතුර ආපදාවලින් පසුවයි. තවමත් කාලගුණ දෙපාර්තමේන්තුව සිය වෙබ් අඩවියෙන් හා සමාජ මාධ්‍ය හරහා නිසි කලට, විස්තරාත්මකව තොරතුරු බෙදා ගන්නේ නැහැ. අපේ කාලගුණ තත්ත්වයන් ගැන විස්තරාත්මක හා නිවැරදි තොරතුරු තවමත් ලැබෙන්නෙ ජාත්‍යන්තර මූලාශ්‍රයන්ගෙන්!
මෙවර ආපදාව පටන් ගත් විට DMC සන්නිවේදනය කරමින් සිටියේ ඉංග්‍රීසියෙන් පමණයි. රාජ්‍ය භාෂා භාවිතය ගැන අප ප්‍රශ්න කළ පසු තරුණ ස්වේච්ඡා සේවකයන් කිහිප දෙනකුගේ උදවු ඇතිව සිංහලෙන් හා දෙමළෙන්, නිතර නිතර තොරතුරු සමාජ මාධ්‍යවලට මුදා හැරීම ඇරඹුණා.
ආපදාවක් ගැන නිල දත්ත සම්පාදනය කිරීමේ වගකීම ඇති DMC ඒවා නිවැරදිව හා හැකි ඉක්මනින් බහුවිධ මාධ්‍ය හරහා බෙදා හැරීම වැදගත්. දත්ත මත පදනම්ව ආපදා ප්‍රතිචාරයන් කළ හැක්කේ එවිටයි. ඕපාදූප හා කටකථා වෙනුවට සැබෑ තොරතුරු සැපයුම වැඩි කිරීමේ නිරන්තර වගකීම  DMC ඇතුළු රාජ්‍ය ආපදා කළමනාකරණ තන්ත්‍රයට තිබෙනවා. මේ සඳහා තිරසාර හා දිගුකාලීන පෙළගැස්මක් අවශ්‍යයි. මහජනයා වැඩිපුර භාවිත කරන සියලු ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා සන්නිවේදනය කිරීමට ඔවුන්ට ආයතනික හැකියාව තිබිය යුතුයි.
ආපදා සහන සේවා සැලසීමේදී ස්වේච්ඡා සංවිධාන රැසක් පෙරමුණට ආවා. සර්වෝදය හා රතුකුරුස සංගමය මේ අතර කැපී පෙනුණා. සර්වෝදය දිස්ත්‍රික් හයක කරන ආපදා සහන සේවා ගැන ෆේස්බුක් හරහා තොරතුරු බෙදා ගත් අතර රතුකුරුසය දක්‍ෂ ලෙස ෆේස්බුක් හා ට්විටර් වේදිකා දෙකම භාවිත කළා. කාලගුණ අනාවැකි, නායයෑම් අනතුරු ඇඟවීම් ආදිය නිල ප්‍රභවයන්ගෙන් ලබා ගෙන මීම් ආකාරයට සමාජගත කිරීමෙන් රතු කුරුසය මහත් සේවයක් කළා.
සමහර නවීන සන්නිවේදන තාක්‍ෂණයන්ගේ විභවය හරිහැටි භාවිත නොවූ සැටිද මා නිරීක්‍ෂණය කළා. ගුගල් නොමිලයේ සපයන සිතියම් සේවාව යොදා ගෙන ආපදා ස්ථාන හා ආධාර අවශ්‍ය ස්ථාන විස්තරාත්මකව හා අන්තර් ක්‍රියාකාරිකව සිතියම් ගත කිරීම එයින් එකක්. මා දන්නා තරමට එබඳු උත්සාහයන් දෙකයි තිබුණේ. ඕනෑම කෙනකුට තොරතුරු එකතු කළ හැකි එබඳු උත්සාහන්ට ජරදආිදමරජසබට යැයි කියනවා.
ආපදා නිරීක්‍ෂණ සඳහා ඩ්‍රෝන් යානා යොදා ගනු ලැබුවේද සීමාසහිතයි. සමහර මාධ්‍යවේදීන් හා ඡායාරූප ශිල්පීන් ඒවා යොදා ගත්තද නිල ආයතන ඒ ගැන සිතුවේවත් නැති තරම්. මොරටු සරසවියේ ඩ්‍රෝන් පර්යේෂණ පිරිස නම් තමන්ගේම ඩ්‍රෝනයක් ගංවතුරට ලක්වූ සමහර ප්‍රදේශවලට ඉහළින් පියාසර කර රූප එකතු කළා. එහෙත් මේවා තීරණ ගැනීමට යොදාගත් බවක් පෙනෙන්නට නැහැ.
ෆේස්බුක් හා ට්විටර් හරහා සංසරණය වූ ලක්‍ෂ ගණනක් සන්නිවේදන සියල්ල විශ්ලේෂණය කරන්නට මාස ගණනක් ගත වේවි. සමාජ මාධ්‍ය ගැන උනන්දු වන සරසවි සිසුන් මෙය කරනු ඇතැයි මා සිතනවා.
සමාජ මාධ්‍යවල අයහපත් පැත්තම හුවා දක්වන වියපත් මාධ්‍ය කතුවරුන් හා සරසවි ඇදුරන් මේ යථාර්ථය ද තරමක් හෝ ග්‍රහණය කරගනු ඇතැයි මා පතනවා!■