Wednesday, 23/8/2017 | 8:08 UTC+0
රාවය

ජී එස් පලස් නිසා සියලු ප්‍රශ්න විසදෙන්නේ නැත

නිමල් සඳරත්න

මේ වසරේ ආරම්භක මාස කිහිපයේදී වෙළඳ පරතරය පුළුල් වීම, ගෙවුම් ශේෂය කෙරෙහි බරපතළ ප්‍රශ්න ඇති කළ හැකිය. වසර ගණනාවක සිට වැඩිවෙමින් පවතින වෙළඳ පරතරය මේ වසරේ පළමු මාස දෙකේදී තවත් වැඩිවෙමින් ඩොලර් බිලියන 1.73ක් දක්වා වර්ධනය විය. වසරේ ප්‍රථම කාර්තුව අවසන්වන විට එය ඩොලර් බිලියන 1.9ට ආසන්න අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ ප්‍රවණතාව එක දිගටම පැවතුණොත් වසර අවසන්වන විට සමස්ත වෙළඳ හිඟය ඩොලර් බිලියන 10 ඉක්මවිය හැකිය. එය ගෙවුම් ශේෂයේ විශාල ප්‍රශ්නයකට තුඩුදෙනු ඇත. ගෙවුම් ශේෂ අර්බුදයක් වළක්වා ගැනීමට නම් මේ වසරේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 8.5 සීමාව තුළ නතර කර ගත යුතුව තිබේ. එසේ නොමැතිව එම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා විදේශ ණය වැඩියෙන් ලබා ගතහොත් සිදුවන්නේ තවත් ණය බර වැඩිවීමයි.

මෑත කාලීන ප්‍රවණතාව
මෑත කාලීන වෙළඳ තත්වය ඉතා නරකට හැරී ඇත්තේ එක පැත්තකින් ආනයන වැඩිවන අතරේ අනිත් පැත්තෙන් අපනයන අඩුවීම හේතුවෙනි. 2015 දී අපනයන ආදායම සියයට 5.6කින් පහළ ගොස් ඩොලර් බිලියන 10.5ක් බවට පත්විය. 2016 දී තවත් සියයට 2.2 කින් එම ප්‍රමාණය පහළ ගොස්, ඩොලර් බිලියන 10.3ක් බවට එය පත්විය. අනිත් අතට, 2015 දී ඩොලර් බිලියන 18.9ක් වූ ආනයන වියදම, 2016 වනවිට ඩොලර් බිලියන 19.4 දක්වා වර්ධනය විය. ඒ අනුව 2015 දී ඩොලර් බිලියන 8.4 ක් වූ වෙළඳ හිඟය 2016 වනවිට ඩොලර් බිලියන 9.1 දක්වා වර්ධනය විය.
මෙම වසර
එම ප්‍රවණතාව මේ වසරේ ප්‍රථම කාර්තුව තෙක්ම දිග් ගැස්සී තිබේ. එනම්, අපනයනයන් පහළ යන අතරේ ආනයනයන් ඉහළ ගොස් තිබේ. ඊට පෙර නොවූ විරූ අයුරින් මේ වසරේ මුල් මාස දෙකේදී වෙළඳ හිඟය ඩොලර් බිලියන 1.73 අගයක් ගත්තේය. වසරේ ප්‍රථම කාර්තුවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 1.87ක් වෙතැයි දැනට ඇස්තමේන්තු කොට තිබේ. හේතුව, අපනයන ආදායමට වඩා ආනයන වියදම දෙගුණයකින් ඉහළ යාමයි.
වෙළඳ හිඟයේ පරතරය මෙසේ වැඩිවීමට එක හේතුවක් වන්නේ, ගිය වසරේ දෙසැම්බරයේ සිට ලංකාවට කෙරෙන තෙල් ආනයනය වැඩිවීමයි. එය මේ වසරේ ප්‍රථම කාර්තුව දක්වාමත් දිග් ගැස්සී තිබේ. පෙබරවාරි මාසයේ තෙල් සඳහා කරන ලද වියදම දෙගුණයකටත් වඩා වැඩිවීම හේතු කොටගෙන, වෙළඳ හිඟය තවත් උග්‍ර විය. අනිත් පැත්තෙන් මේ පළමු මාස දෙකේදී අපේ අපනයනයන් සියයට 3.2කින් පහළ ගියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රථම මාස දෙකේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 1.73ක් විය. ඇතැම් තොරතුරුවලට අනුව, මාර්තු මාසය වන විට මේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 2.7ක් පමණ වෙතැයි අනුමාන කළ හැකිය.
මේ විදිහට එක දිගටම වෙළඳ හිඟය වැඩිවෙමින් ගියොත් වසර අවසන් වන විට අපේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 10 සීමාව ඉක්මවීමට ඉඩ තිබේ. එය අපේ ගෙවුම් ශේෂයට මහා බරක්වනු ඇත. ගෙවුම් ශේෂයේ විශාල පරතරයක් ඇති වෙතොත් එය පියවා ගැනීමට සිදුවන්නේ තව තවත් විදේශ ණය ගැනීමෙනි. කෙසේ වෙතත්, වෙළඳ හිඟය වසරේ ඉදිරි කාලයේදී අඩුවෙතැයි සිතීමට ඉඩ තිබේ. යුරෝපා සංගමයට යවන අපනයනයන් වැඩිවීම, තේ නිෂ්පාදනය වැඩිවීම, අපේ භාණ්ඩ සඳහා ඉහළ මිල ගණන් ලැබීම සහ තෙල් ආනයනය අඩුවීම ඊට හේතු විය හැකිය.

අපනයන පහළ වැටීම
අපේ අපනයනවල වර්ධනයක් පෙන්නුම් නොකිරීමට හේතුව වශයෙන් සෑහෙන කලක් තිස්සේ හඳුනාගෙන තිබුණේ, ජාත්‍යන්තර ආර්ථිකයේ ඇති මන්දගාමී වර්ධනයයි. එය සැබෑවක් මුත්, තවත් හේතු ද ඊට බලපෑවේය. ඒවා අතර, වෙනත් රටවල් සමඟ තරග කිරීමට නොහැකි වීම, අපේ අපනයන නිෂ්පාදිතයන් ප්‍රමාණවත් පරිද්දෙන් නානාංගීකරණය නොවීම, අපනයන භාණ්ඩ නිෂ්පාදනය සඳහා විදේශ ආයෝජකයන් ඇද ගැනීමට අපට නොහැකිවීම, විශේෂයෙන් උසස්-තාක්ෂණ කාර්මික නිෂ්පාදන වැඩිදියුණුව සඳහා වන විදේශ ආයෝජන ප්‍රමාණවත් නොවීම, අපනයනකරුවන්ට මුහුණ දීමට ඇති විවිධ බාධා, විශේෂයෙන් කල් තබා ගත නොහැකි නිෂ්පාදන අපනයනයේදී මුහුණදීමට සිදුවන විවිධ බාධා සහ අස්ථාවර ප්‍රතිපත්ති ආදියත් ඊට බලපෑවේය.

තේ අපනයනයන්
තේ අපනයනයන් පහත වැටීමට හේතු වුණේ, භූ-දේශපාලනික වෙනස්කම් සහ තෙල් නිපදවන රටවල ආදායම් පිරිහීමයි. මෙය යථා තත්වයට පත්වීමේදී මේ වසර අවසන් වන විට අපේ තේ අපනයන් සඳහා ඉල්ලුම වැඩිවිය හැකිය. එසේ ලෝක වෙළඳ පොළේ අලුතෙන් ඇතිවන ඉල්ලුමට සරිලන සේ තේ සැපයීමට අපේ තේ නිෂ්පාදනය වැඩිකර ගත යුතුව තිබේ. ඊට යහපත් කාලගුණික තත්වයත් බලපායි.

ඉදිරි දර්ශන සහ අපේක්ෂා
මේ වසරේදී යුරෝපා සංගමයට කෙරෙන අපේ අපනයනයන් ඩොලර් මිලියන 500ක පමණ අගයකින් ඉහළ යනු ඇති බවට විශ්වාස කෙරේ. වෙළඳ හිඟය පිළිබඳ ප්‍රශ්නයට එය මහත් අස්වැසිල්ලක් වනු ඇත. එහෙත් ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය වන තරමට වෙළඳ හිඟය ඩොලර් බිලියන 8 සීමාව දක්වා අඩුකර ගැනීමට එය ප්‍රමාණවත් නොවනු ඇත. අපනයන නිෂ්පාදනයන් වැඩිකර ගත හැකි නම්, ඊළඟ වසර වන විට යුරෝපා සංගමයට කෙරෙන අපනයනයන් ඩොලර් බිලියනයකින් පමණ වර්ධනය කර ගැනීමට අපට හැකිවනු ඇත.
ලංකාවට ජී.ඇස්.පී. ප්ලස් සහනය ලබා දීමට යුරෝපා සංගමය තීරණය කොට ඇති තත්වය තුළ, අපේ අපනයනයන් සඳහා දීප්තිමත් අනාගතයක් ඇති බව පෙනේ. එසේම චීනය සහ ඉන්දියාව සමඟ ද්වි-පාර්ශ්වික වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම හරහා එම තත්වය තවත් වර්ධනය කර ගත හැකිවනු ඇත. ලැබී ඇති මේ අවස්ථාවලින් නියම ප්‍රයෝජන ලබා ගැනීමට නම්, ඊට සරිලන ආර්ථික ප්‍රතිපත්ති ඇතිකර ගත යුතුවා සේම, දේශීය පරිසරය ඊට සරිලන ආකාරයෙන් සකස් කර ගැනීමත් වැදගත් වන්නේය. විදේශ ඉල්ලුම සඳහා සැපයීමට අපට ඇති හැකියාව වර්ධනය කර ගැනීම, අපනයන ව්‍යාප්තියක ප්‍රමාණය තීන්දු කිරීම සඳහා තීරණාත්මක වන්නේය.

ප්‍රතිපත්ති
ආර්ථික ප්‍රතිපත්ති, රටේ අපනයන ව්‍යාප්ත කර ගැනීම සඳහා ඉවහල් විය යුතුය. අපනයන වර්ධනයෙහි ලා උපස්ථම්භක වන විශ්වාසය ගොඩනැගීම සඳහා පැහැදිලි ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදැක්වීම දැනටමත් ප්‍රමාද වී තිබේ. මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ සිංගප්පූරුව වැනි රටවල අත්දැකීම්වලින් පෙන්නුම් කෙරෙන පරිදි, අපනයන කර්මාන්ත තුළ කෙරෙන විදේශ ආයෝජන දිරි ගැන්වෙන ආර්ථික ප්‍රතිපත්ති වැදගත් වන්නේය. එසේම බදු ප්‍රතිපත්ති ද, අපනයන දිරි ගන්වන ආකාරයෙන් සකස් විය යුතුව තිබේ.

ආනයන
විශේෂයෙන් කෙටි කාලයේදී ආනයන සීමා කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. අපේ වෙළඳ හිඟයට හේතු වූ එක කාරණයක් වුණේ, එක දිගටම ආනයනයන් ඉහළ යෑමයි. අපනයන ආදායම මෙන් දෙගුණයකට ආසන්න මුදලක් ආනයන සඳහා වියදම් කෙරේ. මූල්‍යමය, ෆිස්කල් සහ විනිමය අනුපාතික ප්‍රතිපත්ති තුළින් ආනයන සඳහා වන ඉල්ලුම පාලනය කිරීමට ප්‍රයත්නයන් ගෙන ඇතත්, මේ දක්වා සිදුව ඇත්තේ ආනයන ඉල්ලුම ඉහළ යෑමයි. ඊට හේතුව, ඉහළ අගයකින් යුත් ආයෝජන භාණ්ඩ සඳහා වන ඉල්ලුම ඉහළ මට්ටමක පැවතීමත්, මෑත මාස කිහිපයේ තෙල් ආනයන සඳහා ඉහළ වියදමක් දැරීමට සිදුවීමත් ය. වසරේ ඊළඟ භාගයේදී මෝසම් වැසි ලැබීමෙන් තෙල් ආනයනය යම් තාක් අඩුකර ගැනීමට හැකිවෙතැයි සිතිය හැකිය. එසේම, යහපත් කාලගුණික තත්වයන් නිසා ආහාර ද්‍රව්‍ය ආනයනය අඩුකර ගැනීමට හැකිවෙතත් එයින් අපට ලැබෙනු ඇත්තේ සුළු වාසියක් පමණි. ඇත්ත වශයෙන්ම ආනයන වියදම අධික වන්නේ, මිල අධික ආයෝජන භාණ්ඩ ආනයනයන් නිසා ය.
බරපතළ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට, මේ වසරේ ප්‍රථම කාර්තුවේ වෙළඳ හිඟයේ වර්ධනය කෙලින්ම බලපෑවේය. යුරෝපයෙන් ලැබුණු ජී.ඇස්.පී. ප්ලස් සහනය නිසා වෙළඳ හිඟය කෙරෙහි යම් සහනයක් සැලසිය හැකි වෙතත් මේ වසරේදී ඒ අංශයෙන් විශාල වෙනසක් ඇති වෙතැයි සිතිය නොහැක. තේ අපනනයන්හි ඇතිවන වර්ධනයක් සහ ජාත්‍යන්තර තේ මිල ගණන්වල ඇතිවන ඉහළයෑමක් හේතුවෙන් අපට යම් සෙතක් සැලසිය හැකිය. ජී.ඇස්.පී. ප්ලස් සහනය හරහා ලබන වසරේ සිට අපට සෑහෙන වාසියක් ලැබෙනු ඇත. එහෙත් එසේ වීමට නම්, යුරෝපා සංගමයේ රටවල්වලින් ඉල්ලනු ලබන භාණ්ඩ ප්‍රමාණවත් පරිද්දෙන් නිෂ්පාදනය කර ගැනීමට අපට හැකිවිය යුත්තේය. ඒ අතරේ, ආනයන වියදම පාලනය කර ගැනීමටත් වග බලා ගත යුතුව තිබේ. එසේ නොමැතිව, ජී.ඇස්.පී. ප්ලස් සහනය ගැන උද්දාමයට පත්වූ පමණින් රටේ වෙළඳ හිඟය පිළිබඳ බරපතළ ප්‍රශ්නය විසඳෙන්නේ නැති බව සිහි තබා ගත යුතුය.■

(පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

About