රාවය

අධ්‍යාපනය පෞද්ගලිකකරණයේ දුර්වල ලක්ෂය තමයි සයිටම් | මහාචාර්ය සුමනසිරි ලියනගේ

අධ්‍යාපනය පෞද්ගලිකකරණයේ දුර්වල ලක්ෂය තමයි සයිටම් | මහාචාර්ය සුමනසිරි ලියනගේ

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

ලංකාවේ තිබුණු දේශපාලනික විභේදනයන් සම්පූර්ණයෙන් වෙනස් කළ ප්‍රශ්නයක් තමයි සයිටම් ගැටලූව. මේ පිළිබඳ ඔබේ ප්‍රවේශය මොකද්ද?
මේ ගැටලූව ගැන කතා කරද්දි හැම වෙලාවෙම අපි ඒකට ප්‍රවේශ වෙන්නෙ වැරදි ආකාරයට කියලයි මං කල්පනා කරන්නේ.
මේ රටේ තිබුණ අධ්‍යාපන ක්‍රමය තුළ යම් යම් ප්‍රශ්න තිබුණත්, එක්දහස් නවසිය හැට හැත්තෑව විතර වෙනකන් ම ලංකාවේ අධ්‍යාපනය හා සෞඛ්‍යය ඉතාම සාධාරණව පැවතුණා. තුන්වෙනි ලෝකයේ රටක් හැටියට ගද්දී ඒ මට්ටම අනික් කිසිම තුන්වෙනි ලෝකයේ රටකට ළංවෙන්න බැරි තරමේ එකක්. නමුත් අද වෙන විට ඒක වෙනස් වෙලා. ඉතිං අපි මෙතනදි අහන්න ඕනැ ඇයි අපි පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වෙන්නේ කියන එක නෙමෙයි, රාජ්‍ය අධ්‍යාපනයේ තියෙන ඒ කියන ප්‍රශ්නය විසඳන්නෙ නැතිව ඇයි අපි ඒක පෞද්ගලීකරණයට යන්නෙ කියලා.
ඔබ කිවුවා වගේ, මේ ගැටලුවත් එක්ක ලංකාවේ දේශපාලනික සිතියම වෙනස් ම විදිහකට බෙදිලා තියෙන බව ඇත්ත. මහින්ද රාජපක්ෂ පිල, යහපාලන පිල, සිවිල් ක්‍රියාකාරීන් සහ ජනතාව මේ ප්‍රශ්නය උඩ සාම්ප්‍රදායික දේශපාලනික බෙදීම්වලින් ඈත්වෙලා වෙනස් ම ආකාරයකට බෙදිල ඉන්න බව පේනවා. ඒ වගේ ම මේ ප්‍රශ්නයේ තියෙන වැදගත්කමත් ඒකෙන් ම පේනවා.
අනික් කරුණ තමයි , මේක සයිටම් ප්‍රශ්නයක් ය කියලා කියන කාරණයත් මෙතනදි සලකලා බලන්න ඕනැ. ගොඩක් අයට අවශ්‍යයි මේක සයිටම් ප්‍රශ්නයක් විදිහට ලඝු කරන්න. බොහෝමයක් දෙනාට ලේසියි මේ සමාජයේ දොස්තරවරුන්ට පහර ගහන්න. ඉතාමත් ලේසියි වෛද්‍ය ශිෂ්‍යයෝ අනික් ශිෂ්‍යයින්ගෙන් වෙන් කරලා දක්වන්න. නමුත් මේක සයිටම් ප්‍රශ්නයක ඉක්මවා ගිය, පුද්ගලික අධ්‍යාපනයට එරෙහි සමස්ත ගැටළුවක්.
ඒ චෝදනාව කරන අයට මේ ප්‍රශ්නය සයිටම් ප්‍රශ්නය ය කියන්න සාදක නිර්මාණය වෙලා තියෙනවා. හිටපු අමාත්‍යවරයා ම කියන හැටියට පහුගිය ආණ්ඩු කාලයේ කළමනාකරණ උපාධි පිරිනමන්න ආයතන නවයකට අවසර දුන්නා. ඉංජිනේරු උපාධිය පිරිනමන්න ආයතන අටකට අවසර දුන්නා. මානව ශාස්ත්‍ර ආදී සෙසු උපාධි කාලාන්තරයක් තිස්සේ හැම තැනම ලබාදෙනවා. ඒත් මේ විදිහේ විරෝධතාවක් දැක්කෙ නෑ?
අනික් උපාධි පිරිනමන ආයතන ගැන කතා නොකර ඇයි සයිටම් ආයතනය ගැන විතරක් කතාකරන්නේ කියන ප්‍රශ්නය මිනිස්සු අහන ප්‍රශ්නයක් තමයි. අපිට පේන දෙයක් තමයි එක්දහස් නවසිය හැත්තෑ හතේ ඉඳන් ක්‍රමානුකූලව මේ රටේ අධ්‍යාපනය පෞද්ගලීකකරණය කිරීමකට යනවා කියලා. ජාත්‍යන්තර පාසල් ආදියෙන් පටන්ගත් ඕක අද ක්‍රමානුකූලව උසස් අධ්‍යාපනයට ඇවිල්ල තියෙනවා.
ලෙනින් කියනවා දම්වැල බිඳින්න පටන්ගන්න හොඳම තැන ඒකෙ දුර්වල ම ලක්ෂය කියලා. අධ්‍යාපන පෞද්ගලීකකරණයකිරීමේ දැවැන්ත ක්‍රියාවලියේ දුර්වල ම ලක්ෂය තමයි සයිටම්. මේ විරෝධතාවයේදී සයිටම් ඉස්සරහට ගන්නේ ඒ නිසා. ඒක සටන් උපක්‍රමයක්. හුදු සයිටම් විරෝධයක් නෙමෙයි.

සයිටම් වෛද්‍ය පීඨය ඇකඩමික වශයෙන් මේ වන විට ඇතැම් ජාතික විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨයන්ට වඩා ඉස්සරහින් තියෙනවා කියලා කියනවා. ඒ වගේම සමාජ දේශපාලනික වශයෙනුත්, මතවාදී තලයෙනුත් සයිටම් දුර්වලයි කියලා පේන්නෙ නෑ. ඒ තත්ත්වය තුළ දුර්වලම පොයින්ට් එක කියන කරුණ අර්බුදයට යන්නෙ නැද්ද? අරගලය පටන්න්න ඊට වඩා දුර්වල තැන් තිබුණෙ නෑ කියල ද කියන්නෙ?
සයිටම් කියන ආයතනය රටේ සාමාන්‍ය නීති අනුවවත් පිහිටවපු ආයතනයක් නෙමෙයි. උපාධි ප්‍රදානය කරන්න සයිටම් එකට අයිතිය දීලා තියෙන්නේ අනික් කිසිම ආයතනයකට අයිතිය දුන් විදිහට නෙමෙයි සයිටම් එකට විරුද්ධව අදහස් දක්වපු විශේෂඥයින්ගේ අදහස් නොසලකා හරිමින්. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා වූ මහාචාර්ය නාරද වර්ණසූරිය මහතා මේ ගැන පැහැදිලිව හෙළිදරව් කළා. සයිටම් එක නුසුදුසුයැයි තමන් විසින් සකස් කළ වාර්තාවට හොරෙන් කොළ කෑලි ටිකක් අමුණලා තමයි සයිටම් එක සුදුසුය කියන සුජාතකරණයට ඇවිත් තියෙන්නේ කියලා එතුමා හෙළිදරවු කළා. සාමාන්‍ය නෛතික සාධාරණ මූලධර්මයාත්මකව පිහිටවපු එකක් නෙමෙයි සයිටම් ආයතනය. ඒකෙ දුර්වලතාව තියෙන්නෙ එතන. දැන් පැහැදිලිවෙලා තියෙනවා මැනේජ්මන්ට් කියන තැන ඉඳලා
ඇකඩමික පැත්ත බලද්දි වෛද්‍යවරයෙක් වීමට තිබිය යුතු සුදුසුකම් තුනක් පිළිබඳව නිශ්චිත පුහුණුවක් දීමට සයිටම් එකට බෑ කියලා පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. සයිටම් ගැන කතා කරන බොහෝ දෙනා අද කියන්නේ රජරට වෛද්‍යපීඨයේ මහාචාර්යවරුන් නෑ කියලා. ඒක ඇත්ත තමයි. රජරට වෛද්‍යපීඨයේ ස්ථිර මහාචාර්යවරු දෙන්නයි ඉන්නෙ. නමුත් ස්ථිර මහාචාර්යවරු නෑ කියන එකෙන් අදහස් වෙන්නෙ නෑ රජරට ශිෂ්‍යයින්ට මහාචාර්යවරු යටතේ ඉගනගන්න ලැබෙන්නෙ නෑ කියලා. ලංකාවේ ඉන්න හොඳම ගුරුවරු සහ විශේෂඥ වෛද්‍යවරු කොළඹ ඉඳන් අනුරාධපුරයට යනවා උගන්නන්න. අනික් කරුණ තමයි අනුරාධපුර රෝහල කියන්නෙ නෙවිල් ප්‍රනාන්දු රෝහල වගේ නෙමෙයි සියලු ආකාරයේ රෝගීන් ඉන්න ඉතා විශාල රෝහලක්.
අධ්‍යාපනය හෙවත් දැනුම දීමේ ක්‍රියාවලිය වෙළඳභාණ්ඩයක් විදිහට විකුණනවා කියන එක අනික් භාණ්ඩයක් විකුණනවා වගේ නෙමෙයි. අනික් අතට ඒක අපේ සංස්කෘතිය එක්ක ගැලපෙන්නේ නෑ. අධ්‍යාපනය සහ හෙදකම කියන ඒවා අපේ සමාජයේ කවදාවත් භාණ්ඩ හැටියට සැලකුණේ නෑ. මේවා භාණ්ඩ දිහාවට තල්ලූ කරද්දී ඒවා ලැබිය යුතු කොටසකට නොලැබී යන එක වළක්වන්න බෑ.

ඔබ කියන හැටියට, සෞඛ්‍යය කියන මූලික අයිතිය භාණ්ඩ දිහාවට තල්ලූ කරන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගේ උදවිය අධ්‍යාපනයේ රාජ්‍යභාරය ආරක්ෂාකිරීමේ කාර්යයේ ප්‍රමුඛයින් වෙලා ඉන්න එක ගැන සමාජයේ කතා බහක් තියෙනවා?
මේ රටේ තමන් කරන වෘත්තියෙන් එහා පුද්ගලිකව වැඩ කරන්නේ වෛද්‍යවරු විතරද? ගුරුවරු ටියුෂන් දෙන්නෙ නැද්ද? අනික් වෘත්තිකයින් අමතර වැඩ කරන්නෙ නැද්ද? හැමෝ ම කරනවා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෙමෙයි සයිටම් කාරණයේදී ගැටලුවක් විදිහට මතු කරන්න.
මට මතකයි එක්තරා ලේඛකයෙක් කියනවා දහහත දහඅට ශතවර්ශවල වැඩවසම් ක්‍රමයේ හිටි ප්‍රවේණි දාසයෙක් ට වඩා අද මිනිස්සු වැඩ කරනවා කියලා. සමස්ත සමාජය ම මේ විදිහේ සමාජයක් බවට පත් කරලා තියෙන්නේ ආර්ථික ක්‍රමය නිසා. අවශ්‍යනම් ආණ්ඩුවට පුළුවන්නෙ වෛද්‍යවරුන්ගේ පඩිය ලක්ෂ ගාණක් වැඩිකරලා ඉවරවෙලා නීතියක් දාන්න ඔබලාට පෞද්ගලික සේවයේ යෙදෙන්න බෑ කියලා. ගුරුවරුන්ගේ වැටුප විශාල වශයෙන් වැඩිකරලා ඒ අය ටියුෂන් දෙන එකයි ශිෂ්‍යයින්ගෙන් සල්ලි ගන්න එකයි නවත්තන්න පුළුවං. ඒ විදිහේ ක්‍රියාමාර්ගවලට යන්නෙ නැතිව වෛද්‍යවරුන් පුද්ගලික සේවයේ යෙදීම ගැන කතා කරලා වැඩක් නෑ.

ඊළඟ කාරණය තමයි රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම අධ්‍යාපනය විතරක් නෙමෙයිනෙ. අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන දෙක ම ගැන ඒ අය කතා කරනවා. ඒ විතරක් නෙමෙයි රජයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප් ගැන පවා ඒ අය පෙනී ඉන්නවා. තමන්ගේ වෘත්තිකයින්ගේ ප්‍රශ්න ගැන කතා කරන එක වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අයිතියක්.
වෛද්‍යවරු නිතර දෙවේලේ කරන වර්ජනය නිසා උල්ලංඝනය වෙන්නෙ පුරවැසියාගේ ජීවත්වීමේ අයිතිය වන බව ඇතැම් විද්වත්තු පෙන්වා දෙනවා?
මේ වෙලාවේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කිව්වේ මොකද්ද බලන්නකො. මේ ආපදා තත්ත්වය නිසා නිවාඩු නොගෙන රාජකාරී කරන්න කියලා ඒ අය තමන්ගේ සාමාජිකයින්ට කිව්වා. ඒ අය දන්නවා තමුන්ගේ වෘත්තියේ ස්වභාවය අනුව ම තමන්ට වගකීමක් තියෙනවා කියලා. ඒ නිසාම වැඩවර්ජනය කරන හැම වෙලාවකම රෝගීන් මිය නොයෑමටත් ඒ අය වග බලාගන්නවා. ස්ට්‍රයික් බොහෝ වෙලාවට තියෙන්නේත් බාහිර රෝගී අංශයේ.

දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසාත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල තියෙන සීමිතකම් නිසාත් අධ්‍යාපනයෙන් විතැන්වන විශ්වවිද්‍යාලවලට යෑමට සුදුසුකම් ලැබූ අයට උසස් අධ්‍යාපනය ලබාග ැනීමේ ප්‍රවේශයක් හැටියට පෞද්ගලික අධ්‍යාපනයේ වැදගත්කම පෙන්වා දෙනවා. ඒ වගේම සුදුසුකම් ලැබූ සියලූ සිසුන් බඳවා ගත හැකි පරිදි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය එකවර පුළුල් කිරීමේ හැකියාවකුත් රටක් විදිහට ලංකාවට නෑ?
දිස්ත්‍රික් කෝටා ක්‍රමය යටතේ ඇතැම් දිස්ත්‍රිකවල ඉන්න දක්ෂ දරුවන්ට අසාධාරණයක් වනවා තමයි. එක දිස්ත්‍රික්කයක වුණත් තියෙන පාසල්වල ප්‍රමිතිය එකිනෙකට වෙනස්. ඕනෑම දිස්ත්‍රික්කයක ඉතාම හොඳ පාසල් සහ දුර්වල පාසල් තියෙනවා. ඒ නිසා මේ මැනීම දිස්ත්‍රික් පදනමට වඩා පාසල් පදනමින් සිදු කළ යුතුයි කියලා ඇතැම් විද්වතුන් පෙන්වා දීලා තියෙනවා. පාසල් කෝටා ක්‍රමයකට යෑමේ වැදගත්කම ඒකයි. ඒ විතරක් නෙමෙයි, අවශ්‍යනම් රජයේ විශ්වවිද්‍යාලවලටම සමහර වෙලාවට පුළුවනි තමන් විශ්වවිද්‍යාලවලට බඳවාගන්න සිසුන් සංඛ්‍යාව දෙගුණ කරන්න.
සයිටම් වගේ ආයතන සමාජගත වීමේ බලපෑම සෙසු ආයතනවලට එවේලේම දැනෙන්නෙ නැතිවෙයි. නමුත් කාලයක් යනකොට ඒ ආයතන ඉතාම විශාල වැටුපක් දීලා රජවේ විශ්වවිද්‍යාලවල හොඳ ගුරුවරු ඒවාට ඇදගනීවි.
ඒ නිසා පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කළත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබාදෙන අවධානය අඩු කරන්නෙ නෑ කියන එක නිල වශයෙන් එහෙම වෙන්ඩ ඉඩ තිබුණත් මේ වගේ ගැටලූ නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල අර්බුදයට ලක්වෙන එක නවත්තන්න බෑ.
ඉන්දියාව වගේ රටක් ගත්තාම එහෙ ඉහළ පවුල්වල අය බොහෝවිට තමන්ගේ දරුවන් දාන්නේ පුද්ගලික පාසල්වලට. ඒ නිසාම රටේ දුප්පත් ජනතාවට තියෙන පුළුවංකම අහිමි වෙලා තියෙනවා තෙරපුම් කණ්ඩායමක් විදිහට කටයුතු කරමින් රාජ්‍ය අධ්‍යාපනය යහපත් කරගන්න. පෞද්ගලික විශ්වවිද්‍යාල සහ පෞද්ගලික පාසල් ඇතිකිරීම තුළින් ඒ තත්ත්වය ඇතිවීමේ ඉඩකඩ විශේෂයෙන් අපි වගේ රටක කොහොමත් ම තියෙනවා.
අනික තමයි පුද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුල්කරගැනීමේ සාධාරණ ක්‍රමයක් තියෙනවාද කියන එක. නෑනෙ. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඉඩ මදිවෙලා ලකුණකින් දෙකකින් එළියට වැටෙන ළමයා සයිටම් එකට ඇතුල්කරගන්නවා කියලා දෙයක් නෑ. යම් කෙනෙක්ට රුපියල් ලක්ෂ ගාණක් ගෙවන්න පුළුවනිනම් සයිටම් එකට ඇතුල්කරගැනීමේ මිණුම්දණ්ඩ තියෙන්නෙ එතන.
ඊළඟ කාරණය තමයි මේ වගේ අධ්‍යාපන ආයතන වැඩ කරන්නේ අධ්‍යාපනයේ ප්‍රමිතිය වෙනුවෙන්ද කියන එක. මේවා වැඩ කරන්නේ හුදෙක් ලාභය උදෙසා විතරයි.
මම අවුරුදු ගාණක් පුද්ගලික විශ්වවිද්‍යාලයක වැඩ කළා. ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවල අත්දැකීමෙන් ඒ ආයතනයේ ගුණාත්මකභාවය රැකගන්න අපි ඒවායේ වෑයම් කරද්දි පරිපාලනය ඒකටවත් ඉඩ දෙන්නෙ නෑ. මොකද ඒ අයට ඕනෙ ළමයින්ගෙන් ගන්න මුදලට වඩා අඩු මුදලකින් අධ්‍යාපන කටයුතු හමාර කිරීමනෙ. මම ඒ ආයතනයේ වැඩකරන කාලෙ ඒ ශිෂ්‍යයින්ට උගන්නන්න බොහෝවිට ආචාර්ය උපාධිය ලබාගත් ආචාර්යවරු ගෙන්වාගත්තා. නමුත් පරිපාලනය කැමති නෑ වැඩි වියදමක් දරලා හොඳ ගුරුවරුන් ගෙන්නනවාට. ඒ නිසා ඒ සියලූ ගුරුවරුන් කප්පාදු කරලා විශ්වවිද්‍යාලවලින් මෑතක ඉවත්වුණු, මූලික උපාධිය විතරක් තියෙන තරුණ තරුණියන් රුපියල් විසි තිස්දාහක පඩියට ගන්න ඒ අය කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි ඒවගේ තරුණ අයට ඒකක තුන හතරක් උගන්නන්න පැවරුවා.
ඒ නිසා ලාභය සඳහා වැඩකරන පෞද්ගලික අධ්‍යාපන ආයතන බිහිවෙන එක ලාභය උදෙසා වැඩකරන බේකරි බිහිවෙනවා වගේ එකක් නෙමෙයි. ලාභය සඳහා කොකෝ බනිස් හදන බේකරි කිහිපයක් බිහිවෙලා තරගයක් ඇතිවුණොත් සමහර වෙලාවට ඒක කොකෝබනිස් එකේ ප්‍රමිතිය වැඩිවෙන්න බලපාන්න පුළුවං. ඒත් අධ්‍යාපන ආයතන අතර ලාභය ඉයීමේ පරමාර්ථය වැඩිවුණාම සිදුවන්නේ ඕකෙ අනික් පැත්ත. වෙන එකක් අවශ්‍ය නෑ බාහිර උපාධිය වගේ දේවල් පදනම්කරගෙන රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඇතිවෙලා තියෙන තරගයේ ප්‍රතිඵල දිහා බලපුවාම ඒ දේ පේනවා.■