අන්තවාදීන්ට එරෙහි විය යුතුයි


nuwan

ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමේලා සැලකිය යුතු මැදිහත්වීමක් කරන මුස්ලිම් මවුලවිවරයකු පසුගිය සතියේ දිනෙක මට කතා කර රටෙහි ඇතිවෙමින් පවත්නා බරපතළ තත්ත්වය ගැන සිය කනස්සල්ල පළකළේය. විශේෂයෙන්ම ගලගොඩඅත්තේ ඥානසාර හිමි ගෙනයන ප්‍රකෝපකාරී කතා හමුවේ රටෙහි අන්‍යජාතීන්ගේ සිත් රිදවීමට ලක්වන බවටත් ඒ සම්බන්ධයෙන් මැදිහත් ප්‍රජාව සහ වගකිවයුත්තන් මැදිහත් නොවන්නේ නම් යළිත් රටෙහි අර්බුදයක් කරා තත්ත්වය උග්‍රවිය හැකි බවටත් ඔහු බිය පළකළේය. හැකි තරම් ඉවසීමකින් ක්‍රියාකිරීමට තම ප්‍රජාව කටයුතු කළද තම ජාතිය එල්ලකර සිදුකරන ප්‍රහාර හමුවේ ඔවුන් ශීඝ්‍රයෙන් කලකිරීමට පත්වෙමින් ඉන්නා බව ඔහුගේ අදහස විය. ඔහුගේ කතාවෙන් වැඩි දිනක් යන්නට පෙර රට පුරා තැනින් තැන වාර්තා වන්නට ගත්තේ මුස්ලිම්වරුන්ගේ දේපල සහ පූජනීය ස්ථානවලට පහර එල්ලකිරීම පිළිබඳ සිදුවීම්ය. ඒ අතර තමන් අත්අඩංගුවට ගනුලැබීමට එරෙහිව යමින් ඥානසාර හිමි හැසිරෙන ආකාරය සහ මුස්ලිම්වරුන්ට එල්ලවෙමින් තිබෙනා ප්‍රහාරයන් යනු නීතියෙහි ආධිපත්‍යය අගයන රටක පුරවැසියන් එකහෙළා පිළිකුල් කළ යුතු දෙයක් බව අප අමතක නොකළ යුතුය.
මේ වන විට රටෙහි ඇතිවෙමින් පවත්නා තත්ත්වයන් රටෙහි ප්‍රධාන වගකිවයුත්තන් ගණනාවකගේ මැදිහත්වීම ප්‍රශ්නකර සිටියි. ඉන් පළමුවන පාර්ශ්වය වනුයේ රටෙහි පාලකයන්ය. පසුගිය මැතිවරණයේදී ඔවුන්ට බලය ලබාදීමට ජනතාවගෙන් බහුතරයක් තීරණය කළේ අන් කිසිවකටත් වඩා ශීලාචාර රටක් නිර්මාණය කරගැනීමේ අරමුණ පෙරදැරිවය. බොහෝ අනෙක් අසීරුකම් විඳදරා ගනිමින් ඔවුන් දිගින් දිගටම මේ පාලනය වෙනුවෙන් පෙනීසිටියේ අවම තරමින් නීතියෙහි ආධිපත්‍යය පිහිටුවා, සොරුන්ට දඬුවම් දී ඒ සමඟම ජාතික සමගිය වෙනුවෙන් සිදුකළ යුතු මැදිහත්වීම අතින් කෙරෙනු ඇතැයි විශ්වාසයෙනි. එහෙත් අදවන විට මේ ආණ්ඩුව ඉතා නිර්ලජ්ජිත ලෙස ඒ අපේක්ෂා බිඳදමමින් සිටී. තමන් මේ වන විට ගන්නා සෑම පියවරක්ම පුද්ගලයන් සතුටුකර බලය රැකගැනීම උදෙසා බව ඔප්පු කිරීම හැර නව පාලනය මේ වන විට කරනා දෙයක් නැති තරම්ය. නව කැබිනට් සංශෝධනයද ඊට එක් උදාහරණයකි.
රටෙහි ඇතිවන අභාග්‍ය සම්පන්නබවට වගකිව යුතු තවත් පාර්ශ්වයක් වනුයේ රටෙහි ප්‍රබල යයි කියනා ජනමාධ්‍යයන්ය. මෑත සිට මුස්ලිම්වරුන්ට එරෙහිව වර්ධනය වන ප්‍රචණ්ඩත්වයෙහිදී පවා අපට මේ ජනමාධ්‍යයන්හි වගකීම් විරහිත බව කැපීපෙනෙයි. හුදෙක් තම චැනලයේ හෝ පුවත්පතේ අලෙවිය ගැනම සිතා ගිනි අවුලන පුවත් බ්‍රේකින් නිවුස් ලෙස පළකිරීම හැරුණ විට ගවේෂණාත්මක මාධ්‍ය කලාවක් යන්න අද අපට අරුමයක් පමණි. එහෙයින් ඥානසාර හිමි වැනි අන්තවාදීන්ට ප්‍රචාරය දීම හැරුණවිට රටෙහි ජාතික සමගිය වෙනුවෙන් කළයුතු මැදිහත්වීම ගැන අපේ බහුතර මාධ්‍යවලට වගේවගක් නැත. මේ ව්‍යසනයන්ට සෑම ආගමකම නායකයන්ද එක සමානව වගකිව යුතුය. ගලගොඩඅත්තේ වැනි හිමිවරුන්ගේ අත්නෝමතික ක්‍රියා කොතෙක් දුරට බුදුදහමට එකඟදැයි මැදහත් බෞද්ධයන් පවා පිළිකුලින් ප්‍රශ්න කරද්දී අපේ නායක හිමිවරුන් සිටිනුයේ ඒ පිළිබඳ නිහඬවතිනි. ඥානසාර හිමි පමණක් නොව තවත් නොයෙක් හිමිවරුන්ගේ විවිධාකාර අත්තනෝමතිකකම් හමුවේ පළකෙරෙන මේ නිහැඬියාව දෙස බලන විට පෙනෙනුයේ භික්ෂූන්ගේ පාලනය යනු තවදුරටත් නිකායික මහනාහිමිවරුන්ගේ යටතෙහි පවතින්නක් නොවන බවකි. එහෙයින් සැබෑ තත්වය එයදැයි උන්වහන්සේලාම අපට පහදාදිය යුතුය. අනෙක් අතින් රටෙහි සිදුවන අන්තවාදී ක්‍රියා හමුවෙහි අනෙක් ආගමික නායකයන්ගේ මැදිහත්වීමද ඉතා අල්පය. සැබැවින්ම සියලුම ආගමික නායකයන් එක මතයකට එළැඹ අත්නෝමතින ක්‍රියා ගැන පොදු ප්‍රකාශයක් කරන තැනටවත් එන්නේ නම් එය සෑම ආගමකම ඉන්නා ගිනි අවුළුවන්නන්ගේ හඬ බාලකරන බවට සැක නැත.
රටක් වශයෙන් අප අද ඉන්නේ දරුණුතම ස්වාභාවික ව්‍යසනයකට මෙන්ම දකුණේ මෙන්ම උතුරේද තරුණ නැගිටීම් තුනක ප්‍රතිඵල ලෙස තොග පිටින් මිනිසුන් අහිමි කරගත් තැනකය. රටක් සැබැවින්ම ශිෂ්ට සම්පන්න නම් ඒ රට අන් සියල්ලටම පළමුව බර තබනුයේ රටෙහි ප්‍රජාවගේ සංහිඳියාව ආරක්ෂා කරගනිමින් ලේ වැගිරීම් නවතාලීමටය. ජර්මනිය දෙවන ලෝක යුද්ධයෙන් උගත් පාඩම එයයි. සිරියානු සරණාගත අර්බුදය හමුවෙහිදී ඔවුන් වෙතින් පළවුණ මානුෂිකබව ඒ අතීත පාඩම්වලින් වදදෙන හෘදය සාක්ෂියෙහි ප්‍රතිරාවය බව පැහැදිලිය. දෙවන ලෝක සංග්‍රාමයෙහි බරපතළම හානියට මුහුණදුන් ජපානය තම ප්‍රජාවෙහි පැවැත්ම වෙනුවෙන් ක්‍රියාකරන්නේද මේ දියුණුකම පළකරමිනි. අනෙක් අතින් දිගු කලක් තමන් පීඩාවට ලක්කළ සුදු ජාතීන්ට තම අතිබහුතර බලය පෙන්වා දරුණු පීඩාකළ හැකිව තිබුණද මැන්ඩෙලා දුරදක්නා නුවණින් කටයුතු කළේ සියලු ප්‍රජාවන් සමගි කරවීමට පමණි. ඉදින් රටක් වශයෙන් අප මේ පාඩම් ඉගෙන නොගන්නේ නම් අපේ හෙට දවස යනු අඳුරු අගාධයක් වීම වැලැක්විය නොහැකිය.
රටෙහි පාලකයන් මෙන්ම වගකිව යුතු අනෙක් පාර්ශ්වද සියලු ව්‍යසන හමුවේ බලාසිටින්නේ නම් අපට ඉතිරිව ඇති අවසන් විකල්පය වනුයේ බුද්ධිමත් ජනතාව ලෙස සංවිධානය වෙමින් අපේ අනාගතය උදෙසා ක්‍රියාත්මක වීමය. එහිදී නීතියේ ආධිපත්‍යයට අභියෝග කරනා කවරකු වුව නීතිය හමුවට පැමිණවීම අපේ පළමු සටන් පාඨයක් විය යුතුය. නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන බව ඥානසාර හිමි ඇතුළු කවරකු වුව තේරුම්ගත යුතු වන අතරම එය පිළිනොගන්නේ නම් එවැන්නන්ට නීතියෙහි බලය පෙන්වාදීමට බලධාරීන් වගවන තැනට වැඩ සැලසීම ජනතාව තම වගකීම කරගත යුතුය.
රටක එක් ජනකොටසකට එරෙහිව නඩු අසන බලය තවත් ජනකොටසකට දීම යනු අත්තනෝමතිකකම හැර අන් යමක් නොවේ. එසේම කවර ප්‍රජාවකට වුව ඉන්නා අන්තවාදීන්ට එරෙහිව කටයුතු කිරීමද රටෙහි නීතියෙහි කාර්යභාරයයි. ශිෂ්ට සම්පන්න මිනිසුන් කළ යුත්තේ නීතියෙහි ආධිපත්‍යය පිහිටුවන ලෙස පාලකයන්ට බලකිරීම සහ ඒ වෙනුවෙන් පෙනීසිටීම මිස කැලෑ නීතිය අතට ගැනීම නොවේ. කැලෑ නීතිය අතට ගන්නා වනචාරියකු මිස ශිෂ්ටසම්පන්න මිනිසකු නොවේ. තමන් විලි වසා ගන්නා වත කවරක් වුව එවන් අයකුගේ වනචාරීත්වය වසාලිය නොහැකිය. එහෙයින් යුක්තිගරුක ජනතාවගේ වගකීම වන්නේ එවන් පුද්ගලයන්ට එරෙහිව ඉදිරියට ඒමයි.
ජනවාරි අටවෙනිදා අප පසුකළේ ඉතිහාසයෙහි බියකරුම මරුවැලයි. රාජාණ්ඩුවක් කරා පල්ලම් බසිමින් සිටි රටක් නැවත ඒ පීල්ලෙන් පිට පන්නවා ගැනීමට අපි එදා ඒ අසීරු අරගලයෙහිදී සමත්වීමු. එහෙත් ඉන්පසුව අපට බැරිවූ දෙය නව පාලකයන් නිවැරදි මගෙහි ඉදිරියට යන තැනට වැඩ සැලසීමයි. ඊට පාලකයන්ගේ අවස්ථාවාදීකම මෙන්ම ජනතාව ලෙස අපේ නිහැඬියාවද බලපෑ බව අප තේරුම්ගත යුතුය. මැතිවරණ සමයේ යටගිය ජාතිවාදී ප්‍රවණතා යළි ඉස්මතුවීමට සහ අන් ජාතීන්ට හිංසා කරන තැනට මහජාතියේ ඇතැම් අත්තනෝමතික පුද්ගලයන් පත්වීමටද පාලකයන්ගේ අමනකම මෙන්ම අපේ නිහඬකමද බලපානා බව අප අමතක නොකළ යුතුය. එහෙයින් නැවත සිංහල දෙමළ වෙනුවට සිංහල මුස්ලිම් ලේ වැගිරවීමක් පතා උගුල් මානන අන්තවාදීන්ට අනුකම්පා විරහිතව එරෙහිවීමට සහ ඒ බලවේග පරාජය කිරීමට මනුෂ්‍යත්වය අගයන පිරිස එක්විය යුතුය. අද දවසේ අපේ පරම වගකීම වන්නේ එයයි.■