රාවය

ඥානසාර භික්ෂුව අත්අඩංගුවට නොගන්නේ ඇයි?

ඥානසාර භික්ෂුව අත්අඩංගුවට නොගන්නේ ඇයි?

නිමල් අබේසිංහ

උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට එරෙහිව අභියාචනාධිකරණයේ පවතින නඩුවේ මැයි 31 වැනි දින පැවති නඩු විභාගයටද විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව පැමිණ සිටියේ නැත. ඒ අතර ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව අත්අඩංගුවට ගන්නැයි උසාවි නියෝගයක්ද වෙයි. ඥානසාර යනු අල්පෙනෙත්තියක් ඉඳිකට්ටක් තරම් සොයාගත නොහැකි තරමේ පුද්ගලයෙක්ද? ඔහු සොයා ගැනීම පොලිසියට ඒ තරමටම අපහසුද? මේ රටේ යුක්තිගරුක ජනතාව තුළ පැන නගින ප්‍රශ්නයයි. පොලිසිය පවසන ආකාරයට මේ වෛරී භික්ෂුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක්ද යොදවා තිබේ.
ඒ අතරේ දිවයින වැනි මාධ්‍ය ආයතන මේ භික්ෂුව සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වයි. නීතියට ඔච්චම් කරයි. ඒවා ප්‍රසිද්ධ කරයි. ඒ ඔස්සේ මේ භික්ෂුවට අනියමින් වීරත්වයක් ආරෝපණය කරනු ලබන අතර ඔහු නීති විරෝධී ක්‍රියාවන්හි යෙදුණු රුදුරු ජන පීඩකයෙක් නොවන බවට මතයක් ගොඩ නගන්නටද තැත් කරන බවක් පෙනෙයි. මාධ්‍යකරුවන් එසේ කරනුයේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට ඇති තරම් ඩෑෂ් පහරවල් එල්ල කිරීමට හැකි ආකාරයේ බෝල පාස් කිරීම මගින් බවත් හොඳින්ම පෙනෙයි.
මේ වනවිටත් අධිකරණය හමුවේ සෑහෙන නඩු ප්‍රමාණයක් පැවරී ඇති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව තවත් නඩුවක් පැවරීමට ඉඩකඩ තිබේ. යටපත්ව ඇති එම සිද්ධිය වන්නේ අලුත්ගම මුස්ලිම් ජාතිකයන්ට පහරදීම ඉස්ලාම් දේවස්ථාන හා මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාරික ස්ථානවලට පහරදීම සම්බන්ධයෙනි. මෙම සිද්ධිය සිදුවන්නේ 2014 ජූනි මාසයේදීය. සිද්ධියට අදාළව පරීක්ෂණ පැවැත්වීමට පැවරෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව වෙතටය. ඒ එවකට සිටි පොලිස්පති ඉලංගකෝන් මහතාගේ නියෝගයෙනි. ඒ අනුව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව සම්බන්ධ බවට තහවුරු කර ගත්තේය. එහි ලිපිගොනුව C345/14CM නම් වෙයි. පරීක්ෂණයෙන් පසුව දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ ඥානසාර භික්ෂුවට එරෙහිව නඩු පැවරිය හැකි බැවින්, ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා නීතිපතිවරයා වෙත අංක CRI/327/14 දරන ලිපිගොනුව 2014.12.31 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යවා ඇත.
දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය වන්නේ මෙසේය.
“කතා කරනු ලැබූ හෝ කියවීමට අදහස් කරනු ලැබූ වචනයෙන් හෝ සංඥාවලින් හෝ දැකිය හැකි නිරූපණවලින් පිහිටවනු ලැබූ ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් ඇවිස්සුවහොත් හෝ ඇවිස්සීමට තැත් කළහොත් හෝ නීතිය ක්‍රියාවෙහි යෙදවීමේදී වෛරයක් හෝ අගෞරවයක් ඇතිකරවතොත් හෝ නීත්‍යනුකූල මාර්ගවලින් නොව අන් ලෙසකින් නීතියෙන් පිහිටවනු ලැබූ යමක් වෙනස් කරවීමට රජතුමාගේ වැසියන් උනන්දු කරවතොත් හෝ රජතුමාගේ වැසියන් අතර අසන්තෝෂය හෝ විරුද්ධත්වය ඇතිකරවීමට හෝ එබඳු වැසියන්ගේ වෙනස් පන්ති අතර සතුරු වූද, අසමඟි වූද හැඟීම් වැඩි දියුණු කිරීමට තැත් කරතොත් ඔහුට අවුරුදු දෙක දක්වා ලිහිල් බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතුය.”
දෙදහස් දාහතර වසර අග යැවූ මෙම ලිපිගොනුව සම්බන්ධයෙන් වසර දෙකහමාරකට ආසන්න කාලයක් නීතිපතිවරයා විසින් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීමද ගලගොඩඅත්තේ භික්ෂුවට තව තවත් ජනතාව අතර අසමඟිය වර්ධනය කිරීමට අවස්ථාවක් උදාකරදීමක් වැනි වේ.
ගලගොඩඅත්තේ ඥාන සාර භික්ෂුවට එරෙහිව තවත් ආගමික ස්ථානයකට හා එහි පූජකවරයාට පහරදීම සම්බන්ධයෙන්ද තලංගම පොලිසිය විසින් නීතිපතිවරයා මගින් නඩුවක් පවරා ඇත. ඒ තලාහේන කල්වාරි දේවස්ථානයට හා එහි පූජකවරයාට පහරදීමේ සිද්ධියයි.
මෙම සිදුවීමට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඥානසාර භික්ෂුව ඇතුළු පිරිසකට නඩු පවරා තිබුණේ කොළඹ මහාධිකරණයේ ්‍HC 5691/2011 යටතේය. මෙම නඩුව ඇසෙද්දී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ඇතුළු පිරිසට එරෙහිව නඩු පැවරිය යුත්තේ අපරාධ නීති සංග්‍රහයේ 291 වගන්තියට අනුව බවය. ඒ මෙම පිරිස ආගමික සංකේත කඩා බිඳ දැමීම හා ඒවාට නිගරු කිරීම වැනි දේ සිදුකර තිබූ බැවිනි. කෙසේ වුවත් මෙම ඉල්ලීම උසාවිය පිළිනොගැනුණු අතර නඩුව දිගටම විභාග කළ විනිසුරුවරයාගේ ස්ථාන මාරුවත් සමඟ පැමිණි නව විනිසුරුවරිය නඩුව ඉවත දමා ඇත. එහෙත් නීතිපතිවරයා විසින් අභියාචනයක් ඉදිරිපත් කරන ලදුව මේ වනවිට නඩුව විවාදයට කැඳවා ඇත. ඥානසාර භික්ෂුවට එරෙහිව මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණයන්හි නඩු ගණනාවක්ම ඇත. ඔහුම පුවත්පතකට කර තිබූ ප්‍රකාශයකට අනුව ඒ නඩු සංඛ්‍යාව පහළොවක් පමණ වෙයි. මෙම නඩු හා සම්බන්ධ තොරතුරු සොයා බැලීමේදී පෙනෙන්නේ මේවායින් බහුතරයක් ජාතිවාදය ඇවිස්සීමට හා ආගම් විරෝධී වෛරී ප්‍රකාශන මෙන්ම ආගමික සංකේතයන්ට සිදුකරන ලද ගර්හාවන් සම්බන්ධ නඩු බවයි. එහෙත් එවැනි නඩු පැවරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන තිබියදී ඒවායින් බැහැරව වෙනත් නඩු පැවරීමද සැක කටයුතු වෙයි.
ඥානසාර භික්ෂුව මහින්ද රාජපක්ෂ යුගයේදී මේ සෙල්ලම ජයටම කරගෙන ගිය බව නොරහසකි. එවකට ඔහුගේ පාවිච්චිය සඳහා ඩිපෙන්ඩර් රථ පවා ලබාදී තිබූ අතර සහායට යුද හමුදා බුද්ධි අංශයේ සහයෝගයද ලබාදී තිබූ බවටද නොයෙකුත් කතාබහ ගොඩනැගී තිබුණි. මහ මැතිවරණයකට ඉදිරිපත්ව ඇපත් නොලබා හොට බිම ඇනගත් වාතාවරණයකදීත් ඔහුගේ මේ දැඟලීම අස්වාභාවික වූවකි. පාලකයන් විසින් තමන්ට අවශ්‍ය දඩයම් කරගැනීම සඳහා දඩබල්ලන් ඇති කිරීමේ සිරිතක් අතීතයේ තිබුණි. විශේෂයෙන් පරාජිත පාලකයන්ට එකී අවශ්‍යතාවන් වැඩි වශයෙන් ඇතිවෙයි. ඒ තමන්ට අහිමිව ගිය බලය නැවත ලබාගැනීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම උදෙසාය. එනිසා මේ වියරු භික්ෂුව පිටුපස සිටින්නේ කවුරුන්ද යන්නත් සොයා බැලිය යුතුය.
නීති විශාරදයන් පවසන විදියට නම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ මේ වියරුවට තවත් හේතුවක් තිබෙයි. ඒ ඔහුට එරෙහිව අභියාචනාධිකරණයේ පවතින නඩුවයි. තිබෙන තොරතුරු අනුව ඔහුගේ ගෙල නීතියේ රැහැනට හසුවීමට තරම් සාක්ෂි ඇති බව ඔවුහු පවසති. ආගම් අතර වෛරය පතුරුවන්නන්ට එරෙහිව ක්‍රියාත්මකවීමට වෙනමම පොලිස් ඒකකයක් ස්ථාපිත කරන බව වත්මන් පොලිස්පතිවරයා කියා සිටියේ මීට මාස කීපයකට ඉහතදීය. මෑතකදී රජයෙන් කියා සිටියේ ආගම් අතර වෛරය පතුරුවන්නන්ට එරෙහිව ක්‍රියාත්මකවීමේ බලය සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලබාදෙන බවය. පොලිස්ප තිවරයාත්, රජයත් මේ ප්‍රකාශ නිකුත් කර කටගන්නටත් පෙර ඥානසාර භික්ෂුව නැවතත් යකා නැටුවා පමණක් නොව, සැඟවී සිටිමින් මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡා ලබාදෙමින් පොලිසිය පමණක් නොව රජයටද අභියෝග කරයි. ලිපිය ලියන මොහොත වනවිටත් පොලිසියට ඥානසාර භික්ෂුව අත්අඩංගුවට ගන්නවා පවා ඔහු ඉන්නා ඉසව්වක්වත් සොයාගත නොහැකිව තිබේ. එයින් පෙනෙන්නේ විෂයභාර ඇමතිවරයාගේත් පොලිසිය භාර පොලිස්පතිවරයාගේත් නොහැකියාව නොවේද?■