නැවත නැගිටීම සහ වැටෙන්නට ගැසීම


sports

ටිරන් කුමාර බංගගමආරච්චි
එක තැනකට අකුණු සැර දෙවරක් වදින්නේ නැහැ කියා කතාවක් ඇත. එහෙත් එය බේගලයකි.
ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ඩයන් ගෝමස් මහතා නිතරගයෙන් පත්විය. මෙවර නිලවරණයේදී සභාපතිවරයා මෙන්ම සෙසු නිලතල සියල්ලද තරගයකින් තොරව එකිනෙකා බෙදා ගත්හ. කාලයක පටන් එන පරිදිම බොක්සිං බලය ඩයන් ගෝමස් සතුම විය.
එහෙත් මෙහි ඇති පුදුමය ඩයන් ගෝමස් යළිත් බොක්සිං පුටුවට කියමින් මාධ්‍ය සියල්ලෝම පාහේ අමුතු සංදර්ශනයක නියැලීමය. අමුතු පුද්ගලයෙක් ප්‍රාදුර්භූත වූ ගාණට මාධ්‍ය ඩයන් දකින අතර සමහරු බොක්සිං දෙයියා නැවත ආ ලෙස පාරම්බාති. මේ නම් මාධ්‍ය තක්කඩිකමකි. ඩයන්ගේ පෑනෙන්ම ලිවීමකි. ඩයන් ගෝමස් ශ්‍රී ලංකා බොක්සිං ක්ෂේත්‍රයේ නිලනොලත් පියා :ඨදා ත්‍්එයැර* ලෙසින් හැඳින්වෙන බව මාධ්‍යයක සටහන් කොට තිබුණි. මේ නාමයන් පටබැන්දේ කවුද? මේ නාමයන්ද ඩයන්ම පැළකළ කතාය. ඩයන් තරම් මෙරට බොක්සිං ක්‍රීඩාවට සේවයක් කළ අයෙක් නැතැයි මාධ්‍ය මේ දිනවල ලියයි. එලෙස කියන්නේ කෙලෙසද? ඊට ඇති සාක්ෂි වේද? ඩයන් ස්ලිම්ලයින් ආයතනයට බොක්සිං රැගෙන ගොස් එය බොක්සිං ආයතනයක් කළා මිසක කළ වෙන කෙංගෙඩියක් වේද?
බොක්සිං ක්‍රීඩකයන් එම ආයතනයට ගෙන දරාගත නොහැකි තරම් පීඩනයකට ලක් කොට වහල් ක්‍රමයකට පදක්කමකට දැක්වූ යුගය අද මාධ්‍යයට අමතකය. මන්ද මාධ්‍ය එදත් ලියුවේ ඩයන් කී දෑමය. අදත් එසේමය. ගෝඞ් ෆාදර් යන්න ව්‍යවහාර භාෂාවේදී ජනිත කරනුයේ පාතාල අදහසකි. ඩයන් බොක්සිං ක්‍රීඩාව ඇදදැමුවේද ඒ පාතාල තත්ත්වයටමය.
2004-2008 දක්වා බොක්සිං සංගමයේ සභාපතිවරයා ලෙස පත්වූ ඩයන් ගෝමස් ව්‍යාපාරිකයකු ලෙස බොක්සිංවලට යමක් කරනු ඇතැයි බොහෝ අය සිතූහ. එහෙත් ඩයන්ට තිබුණේ වෙනම මේනියාවකි. එනම් වැටෙන්නට ගහන්නටය. වැටෙන්නට ගහන්න පෙර කෙළින් සිටගත යුතු බව ඩයන්ට අමතක විය. කෙළින් සිටගත නොහැකි අයෙකු තව කෙනෙකුට වැටෙන්නට ගහන්නේ කෙසේද? ක්‍රීඩාව ක්‍රීඩකයාට අයිති දෙයකි. ක්‍රීඩකයා බොක්සිං වළල්ලේ සිටියදී සභාපතිවරයා පුහුණුකරුවාද ඇදගෙන අනෙකාට වැටෙන්නට ගහපංයැ’යි කෑගැසුවාට බොක්සිං තරග ජයගත නොහැකිය. ගාමන්ට් ක්ෂේත්‍රයේ පරිචයක් ඇති ගෝමස් මහතා බොක්සිං තරග දෙස බැලුවේද එලෙසමය. එනම් තමා දෙන ටාගට් එකට යා යුතුය යන්නය. ඔහු එලෙස දැක්වූ බොක්සිං ක්‍රීඩකයන්ට පහුගිය කාලයේ සිදුවූයේ කුමක්ද? ඔහු 2008 සිට මේ දක්වා බොක්සිං සංගමයේ නිල නොවන සභාපතිය. ඉන්පසු පත්වූ අය රූකඩව තබාගෙන ඔහු පාලනය ගෙනගියේ ඒ සභාපතිවරුන් පත් කිරීමද ඔහුම කළ බැවිනි.
ඩයන් නොනිල භූමිකාවේ රැඳෙන්නේම අන් කිසිවක් නිසා නොව ඔහු මෙරට බොක්සිං ක්‍රීඩාව විකෘති කළ නිසාය. කොටින්ම බොක්සිං ක්‍රීඩකයා පිස්සෙකු බවට පත්කළ නිසාය. ඔහු ප්‍රධානියාව වෙසෙන කල ඉහළට ගෙන අහසටම යවන්නට තැත් කළ ක්‍රීඩකයෝ පසුව බිම වැටුණු කල සිය දිවි නසාගන්නට තැත් කළෝය. යටගියාව නොදන්නා බබ්බුන්ට ඩයන්ලා බොක්සිං දෙවියන් ලෙස පෙනෙනවා ඇත. එහෙත් අපට නම් එලෙස නැත.
බොක්සිං ක්‍රීඩාවේ කළු පැල්ලම හෙවත් යක්ෂයාගේ ආගමනය සිදුවූයේ ගෝමස් සමයේය. ඒ මෙරට බොක්සිං ක්‍රීඩකයන් තහනම් උත්තේජක තොග පිටින් ගිලදැමීමෙනි. මෙය එකල සංවිධානාත්මකව සිදුවූවකි. සියල්ලෝ දමන ජයග්‍රහණ කතාව රහසේ කෑ දෑය. එහෙත් ඒවා එළි වන විට ඩයන් කළේ සභාපති පුටුවට මුවා වී වෙනකෙකු ඉන්දවීමය. දැන් නැවතත් ඔහු එවැනි කිසිවක් නොවූ ගණනට අලුත් ගමනක් ඒමට ලෑස්ති වේ. මේ අලුතින් පේවී එන්නේ පරණ මනමාලිමය.
අනාගත ඔලිම්පික් කමිටු සභාපති වීමේ සිහිනයෙන්ද සිටින ඩයන් බොක්සිං සභාපතිකම හරහා නැවත ප්‍රසිද්ධියේම පෙනීසිටිනුයේ ඒ ගමනටය.
එයට කම් නැත. එය ඔහුගේ අයිතියකි. එහෙත් අප මෙවර ඔහුගෙන් ඉල්ලනුයේ ඉදිරි සිව්වසර නීත්‍යනුකූලවම හිමිකරුවා වී සිටින ඩයන් පෙර වැරදි හදාගත යුතු බවය. අනාගත බොක්සිං ක්‍රීඩකයන් මංජුලලාගේ තත්ත්වයට පත් නොකළ යුතු බවය. පදක්කමකට වඩා ජීවිතය බරය. එමෙන්ම වටිනා බැවිනි.
අනෙක බොක්සිං යනු මෙරට තුළ අනාගතයක් තිබූ ක්‍රීඩාවකි. ඇල්බට් පෙරේරාලාගෙන් උත්කර්ෂවත් වූ බොක්සිං කතිකාව එඞ්වඞ් ග්‍රේ හෙවත් එඩී ග්‍රේලා අමුතු මානයකට ගෙනාවේ 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලෙහිද තරග වදිමිනි. පසුව ඔහු බොක්සිං පරිපාලනයටද ප්‍රවිෂ්ඨ විය. 1958 සිට 1970 දක්වා කාලයක් ඔහු බොක්සිං සම්මේලනයේ සභාපති හා ලේකම් වශයෙන් කටයුතු කළේය. එකල ඔහු පරිපාලකයකු ලෙසද විශාල මෙහෙයක් කළ බව ඉතිහාසය සාක්ෂි දරයි. ඒ නිසාම 1970-73 කාලය තුළ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් ධුරයද දරන්නට ඔහු සමතෙක් විය. එය දීප්තිමත් යුගයක් බව කාගේත් මතයය. ඒ එක් අයෙකි.
1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලට එල්.ඩී.ජී. හඳුන්ගේද තරග වැදිණ. ඉන්පසු ඔලිම්පික් උළෙල දෙකක් නියෝජනය කළ හේම පෙරේරා ජයසූරිය මෙරට බොක්සිං ක්‍රීඩාව ඉහළම තැනක තිබූ බවට සාක්ෂි දරයි.
බැසිල් හෙන්රිකස්, සී.පී. ජයසූරිය, සුමිත් ලියනගේ, ධර්මසිරි වීරකෝන්, මැල්කම් බුල්නර්, වින්ස්ටන් වැන්කියුලන්බර්ග් (ලිට්ල් කැට්) වැනි ක්‍රීඩකයන් මෙරට නියෝජනය කරමින් ඔලිම්පික් තරග පවා නියෝජනය කළ අයය. එවැනි දීප්තිමත් බොක්සිං ඉතිහාසයක් මෙරටට තිබූ බව අමතක කොට එතරම් වටිනා බොක්සිං ඉතිහාසයක් වළලා හුදු ඩයන් මතම බොක්සිං කතාව ලියන්නට වලිකන කසඩ මාධ්‍ය සංදර්ශන සැබැවින්ම පිළිකුල්සහගතය.
මෙරට ක්‍රීඩා ඉතිහාසය පිරික්සීමේදී බොක්සිං ක්‍රීඩාව යනු අපට පත්තියම්ව තිබූ ක්‍රීඩාවක් බව පැහැදිලිය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් සෙසු ක්‍රීඩාවලට අත්වූ ඉරණමම එයටද අත්විය. එවන් බංකොළොත් කාල සමයක ඩයන් පරිපාලනයට එන අතර ඔහු ව්‍යාපාරිකයකු හා කැපී පෙනෙන්නකු නිසා බොක්සිං ක්‍රීඩාව අහකට කොට තම නාමය පුම්බා ගැනීමට සියලු වෙර දැරීය. ඔහු බොක්සිං සියල්ලදත් විය. පුහුණුකරුවෙක් ද විය. මේ මේනියාව කඩිනමින් සුවවූයේ අනුරුද්ධ සහ මංජු වන්නිආරච්චි කර තබාගෙන යෑමෙනි. එහෙත් එයින් මෙරට බොක්සිං ක්‍රීඩාව නැවත කතාබහට ලක්වූයේ අප්‍රසන්න වටපිටාවකිනි. තහනම් උත්තේජක මානසික පිස්සුවක් විය. පහුගිය කාලයේ ඒවා යටපත් වූයේ බොක්සිංද යටපත් කරමිනි. දැන් නැවත බොක්සිං කතාබහ පණ ලබා ඇත. ඒ පාතාල විදිහටමය.
අප මේ පෙන්වා දුන්නේ පසු කළ යටගියාවේ ඇස්පනාපිට වූ දෑය. එය නැවත සිදුනොවන්නේ නම් මැනවිය. ඩයන්ට වුව වෙනස් විය හැකිය. බොක්සිං ක්‍රීඩාවට අලිලාගේ ආදර්ශ මෙන්ම ටයිසන්ලාගේ කන් කඩා කෑම්ද ඇත. ඩයන් මෙරට නිර්මාණය කළේ දෙවන ආදර්ශයය. ඔහුට එය නිවැරදි කරගන්නට නීත්‍යනුකූල ලෙස දෙවැනි වරම ලැබී ඇත. එය වනු ඇතැයි දැනට සිතමු.
එහෙත් එකම තැනකට වුව අකුණු සැර දෙවරක් වැදිය හැකි බව අමතක නොකළ යුතුය.■