‘මචං’ මාව වෙනස් කළා | ධර්මප්‍රිය ඩයස්


dias

ටිරන් කුමාර බංගගමආරච්චි 

ඩයස්ට නළුවෙක් වෙන්න ඕනෑ කියලා හිතුණේ ඇයි?
මේක මට පුංචිම කාලේ ඇති වෙච්ච ආසාවක්. ඒ කාලේ වෙසක් එකට පොසොන් එකට අපේ ගමේ නාට්‍යයක් පෙන්වනවා. කැස්බෑවේ වැව මැද්දේ පොල් කොටන් පුවක් කොට හිටවලා හරි අපූරුවට වේදිකාව හදනවා. වැවේ වතුර වැඩි කාලෙට නාට්‍යය ටවුමේ පෙන්වනවා. මගේ පුංචි හිතට ඒ කාලේ මේක මාරම වැඩක්. මම පුංචිම එකෙක් වුණත් මට මේක හරිම අසිරිමත් වැඩක් විදිහට තමයි පෙනුණේ.
ඒකෙ රජාට රඟපාන නළුවා මුළු අවුරුද්දෙම රජාට ඉන්න රැවුල වැව්වා කියලා මම අහලා තියෙනවා. පස්සේ කාලෙකදි දැනගත්තේ ඒ චරිතය දෙන්නෙක් කරලා තියෙනවා. මේ රජා උදේ හවා වැඩට යන්නෙ අපේ ගෙවල් ගාවින් ෆුට් සයිකලේ. මේ ෆුට් සයිකල් යන මනුස්සයනේ නාට්‍යයේ රජා. රජ කුමාරයාට හිටියේ නගර සභාවේ කුණු ට්‍රැක්ටරේ වැඩ කරන අයියා. පොඩිකමට මට හිතෙනවා මේක හරිම අපූරුයිනෙ. ඉතින් මම කල්පනා කරනවා මේ අයටත් රජ වෙන්න කුමාරයා වෙන්න පුළුවන් නම් ඇයි මට බැරි කියලා. එහෙම හිතලා මටත් අඬගැහැව්වොත් කියලා රෙදි කෑලි එකතු කරලා ජටාවලට තියාගෙන හිටියා. කරාබු එකතු කළා. පිස්සුව හරි තදේට තිබුණා.
මේ අල්ල පනල්ලෙම පන්සලේ මුතුහර නාට්‍ය කරනවා. මම පන්සලේ තාප්පෙ ඉඳගෙන ඒවා බලාගෙන ඉන්නවා. දවසක් එහෙම ඉන්න කොට මටත් අඬගැහැව්වා රඟපාන්න. එහෙම තමයි ඉස්සරවෙලාම රඟපාන්න ලැබුණේ. රජ අයියගෙයි කුමාර අයියගෙයි ඔක්කොම පාට් දාලා වැඬේ දුන්නා. කට්ටියටත් අල්ලලා ගියා. ඊළඟට ඉස්කෝලේ සමිතිවල පොඩි පොඩි චරිත රඟපානවා. මොන හෝ හේතුවකට හරි ඒ කාලෙම මම කරපු පුංචි චරිත ඕඩියන්ස් එකට අල්ලලා ගියා. ඒ අය මාව සෑහෙන අගය කරනවා.
මේ හින්දා පොඩි කාලෙම නම ප්‍රසිද්ධ වුණා පිරිස අතරේ. ඊළඟට සමහර චරිත ආපුවහම ඒක හොඳ ඩයස්ට. එයා ඒක හොඳට කරයි කියන තැනට ගමෙන්, පාසලෙන් මට පිළිගැනීමක් ලැබුණා. එදා ඒකට කොහේ යනවද කියලා අරමුණක් නැති වුණාට අද හිතෙනවා ඒ ගමන තමයි මම අද ඉන්න තැනට මාව තල්ලු කළේ කියලා.
ඔය අතරේ තව කතාවක් කියන්න ඕනෑ. මම චිත්‍ර කතා පිස්සෙක් ඒ කාලේ. ඉතින් ඒ කතාවල චරිත මනසින් මවාගෙන මම රඟපානවා. මේ අභ්‍යාසයත් මට චරිතයක ජීවත් වෙන්න ලොකු පිටුවහලක් වුණා කියලා අද මම හිතනවා. අපි නොහිතුවට පුංචි කාලේ ඉඳලා තිබුණු මේ ඇබ්බැහිය ආශාව තමයි මාව නළුවෙක් කළේ. අනෙක පුංචි කාලේ ආශාවල් හැමෝගෙම සඵල වෙන්නේ නැහැ. ඒත් මගේ වුණා.

පුංචි කාලේ ඇතිවුණු ආශාවේම ගිලිලා හිටියද? ඒවා කඩා වැටුණේ නැද්ද?
අඩියටම වැටුණා. අසූ අට අසූනවය කියන්නේ සියලු ආශාවන් අහිමි වුණු කාලයක්. අපේ ජීවිත අවුරුදු දහයකින් විතර ආපස්සට ගියා. ඒ කාලේ අපේ පවුල්වල ගොඩක් අය දේශප්‍රේමී ව්‍යාපාරයට සම්බන්ධ වෙලා හිටියා. ඒ හින්දා ඒ අයට හිරේ යන්න වුණා. අතුරුදන් වෙන්න වුණා. සමහරුන්ට මැරෙන්න සිද්ධ වුණා. අපේ අයියා අවුරුදු 1 1/2ක් බූස්සේ හිටියා. බාප්පලගේ පුත්තු දෙන්නා එදා කාපු පරිප්පුවලට අදටත් රෝගී තත්ත්වයෙන් ඉන්නේ. එතකොට මට අවුරුදු 13යි. මම කළේ වැඩිහිටියොත් එක්ක අර නැති වෙච්ච අය හොය හොයා ගිය එකයි. ඒ වගේම අපේ පවුල් දිහා බලපුවහම මගේ අවුරුදු 13ත් ඇති මට මැරෙන්නත්. ඒ බයත් හැම තිස්සෙම මාව ජීවිතයෙන් ඈත් කරලා තිබ්බා. එහෙම කාලයක රඟපෑමක් තියා ජීවිතය ගැනවත් විශ්වාසයක් තිබුණේ නෑ.

ඩයස් ඒ වැඩවලට සම්බන්ධ වුණේ නැද්ද?
ඔය කාලය පැනලා ආයේ මේ කට්ටිය එකතු වෙනකොට මට අඬගැහැව්වා. මමත් එතකොට හොඳ වයස. ඒත් මම බෑ කිව්වා. මොකද මම එතකොට උසස් පෙළට නාට්‍ය හා රංග කලාව කරනවා. ඒ කරන කොට මට බර්ට්‍රොල් බ්‍රෙෂ්ට් සෑහෙන හිතට වැදිලා තිබුණා. ඔහු ජනතාවට නාට්‍ය කළා කියන එකත් මගේ හිතේ තදින් වැදිලා. ඉතින් මම කිව්වා මම නාට්‍ය කරනවා. ඔයගොල්ලෝ දේශපාලනය කරන්න. මොකද අන්තිමට අපි හැමෝම එකම වැඬේ කරන්නේ කියලා. අදටත් බලපුවහම මොකුත් වෙනස් වෙලා නෑ. එකම වැඬේ වෙන්නේ.

ඩයස්ට ගෙදරින් මේවට සහයක් ලැබුණද?
මගේ තාත්තා නැති වෙනකොට මට අවුරුදු 11යි. මම පවුලේ බාලයා. අම්මට සෑහෙන වයසයි. එයාට මේ කිසිම දෙයක් ගැන ලොකු හැඟීමක් නෑ. මොකද ශාරීරික අතින් මෙන්ම සෞඛ්‍යමය අතිනුත් ඇය සෑහෙන පිරිහිලා හිටියේ. එයා අපිට තියා එයාටවත් යමක් කරගත හැකි මට්ටමේ නෙමෙයි හිටියේ. මට අවුරුදු 21දී අම්මත් නැති වුණා. මාපියන්ට මට පිහිටක් වෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ.

එතකොට ඔබ නළුවෙක් වූ ගෞරවය කාටද අයිති?
මගේ ගුරුවරයට. ප්‍රේමකුමාර කරුණාරත්න. ඔහු තමයි මගේ පාසලේ නාට්‍ය හා රංග කලා ගුරුවරයා. එයා සාලමන් ෆොන්සේකාගේ පළමුවැනි ගෝල පරම්පරාවේ කෙනෙක්. ඔහු තමයි මා තුළ ඉන්න නළුවව හොයා ගන්න උදව් කළේ. ඒ හරහා මට වේදිකාවට යන්න පුළුවන් වුණා. මම කෙටි නාට්‍යවල රඟපෑවා. ඒවත් කතාබහට ලක්වුණා.

ඒත් ඔබ වේදිකාව තුළ කතාබහට ලක්වෙන්නේ රාජිත හරහා නේද?
ඔව්! මට මේ තැනට එන ගමනේදී හමුවූ ලොකුම නවාතැන තමයි රාජිත දිසානායක. එතැන නැවතුණ නිසා මාව හොඳට පෙනුණා. රාජිතත් මාව එයාගේ ගෙදර නවත්තගෙන හොඳට වැඩ ගත්තා. ඒක නරක නෑනේ. අද ඒවයේ ප්‍රතිඵල තියෙනවා.

රාජිතව හම්බ වෙන්නේ කොහොමද?
ඒකත් අහම්බයක්. මම දවසක් ලයනල් වෙන්ඞ්ට් එකේ එක්සිබිෂන් එකක් බලන්න ආවා. රාජිතත් ඇවිල්ලා හිටියා. ‘සඳ සෙවණැල්ල’ කෙටි නාට්‍යයේ සහය නළුවට යෞවන සම්මාන එතකොට මට ලැබිලා තිබුණේ. ඉතින් රාජිත මාත් එක්ක කතා කළා. එයා ආයෙත් ඇවිත් ඇහැව්වා මොකද මේ දවස්වල කරන්නේ කියලා. මම මුකුත් නෑ කිව්වම නාට්‍යයක් තියෙනවා කරමුද ඇහැව්වා. මමත් හා කිව්වා. ඒ හා කිව්ව පිම්ම තමයි තවම යන්නෙ.

එතන නතර වීම හොඳයි කියලා අද හිතනවද?
අපේ හිරිමල් කාලේ ඇඟේ මවිල් වැවෙන කාලේ අපි ඉතින් සමහර ගෑනු ළමයිට උමතුවෙන් වගේ ලව්. සමහරු දන්නෙත් නෑ. ඔහොම අය මටත් ඉන්නවා. මේ අය අදටත් ඉන්නවා. දකිනවා. සමහරු හලෝ ඩයස් කියාගෙනත් යනවා. මෙහෙම යනකොට මම හෙමිහිට බලලා මටම කියා ගන්නවා බුදු අම්මෝ මේකටද එදා මම නැහුණේ. මේක හම්බ නොවුණ එක මගේ පිනක් කියලා. ඒ කාලේ පිස්සු වැටුණු ඒවා දැන් දැක්කම හිතාගන්න බෑ. ඉතින් මම ඒ තැන්වල නතර නොවුණු එක මම අදටත් සමරනවා. ඒ වගේම තමයි නාට්‍ය ජීවිතය තුළත් එහෙම නතර වෙන්න තැන් තිබුණා. හැබැයි ඒ තැන්වල නතර නොවී රාජිත ළඟ නතරවීම ගැන මම ලොකු සතුටක් ලබනවා. එහෙම නොවුණා නම් බුදු අම්මෝ කියලා තමයි කියන්න වෙන්නේ. රාජිතගෙන් ලොකු දොරක් මට ඇරුණා. ඒක තමයි ඇත්ත. මොකද නළුවා මා තුළ හිටියට රාජිතගෙන් තමයි මට නළුවා හම්බ වුණේ. මම නතර වුණේ නතර වෙන්න ඕනම තැන.

ඔබ ‘ඉන්ගම් මාරුවට’ සම්බන්ධ වෙන්නේ කොහොමද?
ඒක තමයි මගේ කැමරාවට මුහුණ දීපු පළමු අවස්ථාව. මේ තැන ලැබුණේ වේදිකාවේම කරක් ගහපු නිසා ඇතිවෙච්ච සබඳතා උඩ. මේ කාලේ රූපවාහිනිය ගෙදර වගේ. අවුරුදු දෙකක්ම උදේට ගිහින් සරමකුත් ඇඳගෙන කමින් බොමින් චරිතයක් දෙනකම් බලාගෙන ඉන්නවා. ඒකේ පොඩි කෑලිවලට ඉඳලා තමයි කැමරාව පුරුදු වුණේ. එතනදි මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, ප්‍රියා රණසිංහ වගේ අය අඳුන ගත්තා. ඒකේ පුංචි කෑල්ලක් දෙකක් කරලා ආයේ වේදිකාවටම නැග්ගා. ඒකේ විවිධ චරිත කළා. ඉතින් එක නාට්‍යයකට අවුරුදු දෙකක් විතර කාලය යනවා. ඒ විදිහට නාට්‍යවලටම කාලය ගෙවුණා.

අපරාදේ කියලා හිතුණද?
මෙතෙක් කළ කිසිම දෙයක් ගැන තවම එහෙම හිතිලා නෑ. හැමදේම කළේ අවංකවමයි. මෙතනට එන්න මාර කට්ටක් කෑවා. අපරාදේ වගේ දේවල් නෑ. හැම දෙයක්ම ලැබෙන්නෙ පෙර තියෙන අවධිය ඒ විදිහට ගෙවුණා. ඒවා හරිම අපූරුයි. හැම කාලයක්ම මට මාව හොයාගන්න උදව් කළා. වේදිකාවේ ඉන්න කොට නාලන් මෙන්ඩිස් හම්බ වුණා. ඔහුගේ අපූරු පුරුද්දක් තිබුණා. ඒ තමයි වේදිකා නාට්‍ය බලන එක. ඒ එන්නෙම කවුරුහරි විසේකාරයෙක් හිටියොත් කැමරාවට ගන්න බලාගෙනයි. අපිත් ඉතින් නාලන් මහත්තයා ආවා කිව්වහම දන්නවා කාවහරි අදිනවම තමයි. වැඬේ ගොඩ කියලා. එහෙම තමයි මටත් අවස්ථාව ලැබුණේ. සමහරු ඒ නාට්‍යවලට යන්න එපා. ඕවට ගියොත් විනාශයි කිව්වා. එහෙම විනාශයක් වුණේ නෑ කාටවත්. නළුවෙක්ට කාත් එක්කත් වැඩ කරන්න පුළුවන් වෙන්න එපැයි. ජෝ අබේවික්‍රම මහත්තයා එහෙම කොච්චර රඟපෑවද? මොකද එයා විනාශ වුණාද? කොහොමත් ලොකුවට පරමාදර්ශ තියාගන්න නරකයි. මොකද පරමාදර්ශ කාලයාගේ ඇවෑමෙන් මිනිස්සුන්ට එපා වුණහම පරමාදර්ශ වෙනස් වෙනවා.

‘මචං’ ගැන කතා කරමුද?
කැම්පස් අවුට් වෙලා මොකද්ද කරන්නේ කියන නන්නත්තාර අවධියේදී තමයි මට ‘මචං’ හම්බ වෙන්නේ. ‘මචං’ හරහා තමයි මම වෙනස් වුණේ කිව්වොත් ඒක හරියටම හරි. ‘මචං’ වලින් මගේ ජීවිතය වෙනස් වුණා.
මට ලියාගන්න බැරි නිතර බොන මේසවල කියවන කතාවක් තියෙනවා. ‘තැන්ක් යූ බර්තෝ’ ඒක තමයි කතාවේ හෙඩිම. කවදාහරි මට මැරෙන්න කලින් ‘උබර්තෝට ලියුමක් ලියන්න ඕනෑ ඒ හෙඩිම දාලා. මගේ ලයිෆ් එක වෙනස් වුණේ ‘මචං’ හින්දා උබර්තෝ හින්දා.
හැමදේටම ලකුණු දාගන්න රටක ආපදාවටත් නායයෑමටත් සුනාමියටත් ලකුණු දාගන්න රටක චිත්‍රපට කර්මාන්තය ගැන මොන කතාද? එහෙව් රටකට උබර්තෝ චිත්‍රපටයක් කරන්න එනවා. එහෙම ඇවිල්ලා අවුරුද්දක්ම රට පුරා කරක් ගහනවා නළු නිළියෝ හොයමින්. ඒ වෙනකොටත් මගේ චරිතයට 25ක් විතර ඇවිල්ලා ඉවරයි. මමද කොහෙද ඒකට අන්තිමට ගිය කෙනා. හැබැයි රුවන්ති පිටපත ලියනකොට මගේ රූපේ මවාගෙන කියලා තමයි එයා කිව්වේ.
රුවන්තිව මට හම්බ වෙන්නෙ ඉන්දියාවේදී. ‘හයිනා’ පෙන්නන්න ගිය වෙලාවක. එදා තමයි එයා මගේ රඟපෑම් දකින්නේ. එදා ඉඳලා අපි යාළුවෝ වෙනවා. අපි කොළඹ වුණත් ඉන්දියාවෙදි තමයි හමුවෙන්නේ. ඒත් පන්ති ප්‍රශ්නයක්ම තමයි ලයනල් වෙන්ටඞ් එකේ ඉංග්‍රීසි නාට්‍ය කරන අය ලුම්බිණියේ නාට්‍ය දන්නේ නෑ. දැන් මේ තත්ත්වය වෙනස්. අපි එයාලගේ නාට්‍ය බලනවා. එයාලත් අපේ ඒවා බලනවා.
කොහොමහරි මම එතනට යනකොට මම හරි මහතයි. උබර්තෝ අහලා තිබුණා. මේ මිනිහට පුළුවන්ද මේ චරිතය කරන්න කියලා. කමක් නෑ වැඬේ කරවලා බලමු කියලා පොඩි චරිත දෙක තුනක් කරන්න කිව්වා. ඒක කළහම මේකා හොඳයි කියලා. හැබැයි ඇඟ බස්ස ගන්න පුළුවන්ද අහලා කියලා තිබුණා. ඒ පොරොන්දුව මත චරිතය දුන්නා. මමත් එදා හිතාගත්තා යකෝ නළුවෙක් නෙමෙයි මොකක් වුණත් ශරීරය ගැනත් හිතන්න ඕන නේද? නළුවෙක් විශේෂයෙන්ම හිතන්න ඕන නේද කියලා. මේ පුරුද්දට අනුව අදටත් කෑමෙන් පරිස්සම්. මම ඒකයි කියන්නේ ‘මචං’ මාව වෙනස් කළා කියලා.
ඒ විතරක් නෙමෙයි ‘මචං’ නිසා මම වෙනස් වුණේ ඒ චරිතය කරන්න කැප කරපු දේවල් විතරක් නෙමෙයි ඒ හරහා මට ලෝකයේ තියෙන අසිරිමත්ව සිනමා උළෙලවල්වලට යන්න පුළුවන් වුණා.
අපේ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට විවිධ උළෙලවල්වලට තේරිලා සම්මාන ලැබිලත් තියෙනවා. ඒවා ඒවයේ චරිත කළ නළුවට ඒවට සහභාගි වෙන්න ලැබිලා නෑ. මම හිතන්නේ ලංකාවේ ෆිල්ම්වලට එහෙම වෙන්න ඇති. හැබැයි උබර්තෝ ඉතාලි මනුස්සයෙක් නිසා එයාලා කටයුතු කරන විදිහ වෙනස් වෙන්න ඇති. මොකද එයා ඒ උළෙලවල්වලට නළුවොත් අරගෙන යනවා.
මහේන්ද්‍රයි, මායි ගියා වැනිසියේ චිත්‍රපට උළෙලට. ඒකෙදි අපට ලැබුණු පිළිගැනීම මට අදටත් ලැබිලා නෑ. ඒ අය චරිත අගය කරන විදිහ පුදුමයි. ලංකාවේ නළුවට කතා කරන කොට ෆෝන් එක බිසී නම් වෙන කෙනෙක්ට කතා කරලා චරිතය දෙන රටක්. සුමානයක් ඒ නළුවා වෙන වැඩක් නම් එයාට හරියන්න වෙන නළුවෙක් ගන්න රටක උබර්තෝ කියන්නේ මාර චරිතයක්. පිටරටකදි අපිට ලැබෙන වටිනාකම තැන දැක්කම “යකෝ වෙන ජීවිතයක් තියෙනවනේ” කියලා හිතනවා.

ඩයස් වෘත්තිමය නළුවෙක්ද?
මම වෘත්තිමය වශයෙන් ගුරුවරයෙක්. මුල් පත්වීම ලැබුණේ චිත්‍ර ගුරුවරයෙක් විදිහටයි. මොකද මම සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ චිත්‍ර හා මූර්ති කලාව කළේ. ඒත් අද නාට්‍ය හා රංගකලා ගුරුවරයෙක්. නළුවෙක් විදිහට තෘප්තිමත් වුණත් ගුරුවරයෙක් විදිහට මම තෘප්තිමත් නෑ. මොකද මට තවම මගේ ගුරුවරයා වගේ වෙන්න බැරි වුණා. ඔහු මාව හොයා ගත්තට මට එහෙම හොයා ගන්න බැරිවුණා. මගෙන් ඉගෙන ගෙන හැමෝම පාස්. ප්‍රතිඵල සියයට සියයයි. ඒත් මම තෘප්තිමත් නෑ. චිත්‍ර, නාට්‍ය කලා ගුරුවරයෙක් පාස් මාර්ක්වලට උගන්වලා වැඩක් නෑ. මට තියෙන වැඩ එක්ක පාසල් කාලයෙන් අමතරව මගේ ගෝලයන් වෙනුවෙන් කැපවෙන්න බෑ. ඉතින් මේ වදවීම තුළ මට හිතුණා ගුරු වෘත්තියෙන් අයින් වෙන්න. ඕක ආරංචි වෙලා මගේ ගුරුවරයා බැරි බරගාතේම මාව හොයාගෙන ආවා. ඇවිත් “ඩයස් මොකද ගුරු වෘත්තියෙන් අයින් වෙන්න යන්නේ. විකාර නැතිව ඉන්නවා.” කියලා මහා ශබ්දයක් දාලා අඩි හප්පලා ගියා. ඒකනේ කියන්නේ එයා තාමත් උගන්වනවා. ඔහුත් එක්ක බලපුවහම මම හොඳ ගුරුවරයෙක් නෙමෙයි, හැබැයි ළමයි පාස්වෙනවා.

‘දෙවැනි ඉනිමත්’ එක්ක ඩයස්ගේ අගය මේ දවස්වල වැඩිවෙලා ඇති.
හ.. හා.. ඔව්නේ. තරුණ කාලේ කෙල්ලෝ කියා අපි දිහා නාකි ගෑනියෙක්වත් බැලුවේ නෑ. එහෙම ආකර්ෂණයක් මගේ නෑනේ. ඒක අපි තේරුම් ගන්න එපැයි. මට එහෙම ආකර්ෂණයක් ගැහැනු පාර්ශ්වයෙන් නෑ කියලා මම දන්නවා. ඉතින් ඒ කාලේ ඉඳලම මම ආස කළේ ප්‍රේමවන්තයා වෙනවට වඩා දුෂ්ටයා වෙන්න. පෙනුමත් ඊට හරියනවා. වැඩෙත් හරියට කරන්න පුළුවන්නේ. ඒත් දැන් වෙලා තියෙන්නේ ඒකේ අනික් පැත්ත. දැන්නේ මට අර මම ඒ කාලේ හොයපු ආකර්ෂණය ඇරියස් පිටින් එන්න අරගෙන තියෙන්නේ. යකෝ මෙන්න මටත් දැන් කට්ටිය ආකර්ෂණය වෙනවා. අවුරුදු විස්සකට විතර කලින් ලැබෙන්න ඕනෑ දේවල් දැන් ලැබෙනවා. ඒ කාලේ ලැබුණා නම් ජීවිතය නියමට භුක්ති විඳිනවනේ. දැන් මම මහලු වයසේ බැරිය වෙණ ගායනා පෙර සේ කියන කාලෙනෙ: ඊටත් අද හොර වැඩක්වත් කරන්න බෑ ජනප්‍රියයිනේ. මාට්ටු. ඒ අස්සේ ගෙයක් හදන නිසා ඒකත් ඉවර කරගන්නෙ කොහොමද කියලා දහඅතේ කල්පනා කරන්නේ. ඒ අස්සේ මෙහෙම කාන්තා ආකර්ෂණයක් මට එනවා කියන්නේ. ඒක කරුමයක්ම තමයි. (හිනා)

වුණාට නළුවෙක් වුණහම ඒ ලොකුකමත් ඕන නේද?
හි… හි… (හිනා) අපේ යාළුවෝ. නළුවෝ තමයි. එයාලා ගණං කිය කිය ඉන්නේ. මම මෙච්චරයි.. මම මෙච්චරක්.. ඔහෝම හරිම හිරිකිතයි. මගේ අදහස කවුරුහරි කෙනෙක් මගේ නළුකමට හෝ මොකකට හරි ගරු කරලා මාත් එක්ක සම්බන්ධයක් පවත්වනවා නම් මම එයාට ඒ වගේ දෙගුණයක් ගරු කරන්න ඕනෑ. ඒ නිසා මම කවදාවත් ඒවා ගැන කාටවත් කියන්නේ නෑ. (හිනා)

නළුවෙක් බඳින ගැහැනියත් අනෙක් ගැහැනු වගේම සැකෙන් ඇත්තේ නේද?
ඔව්! අපේ කෙනාටත් ඇති. (හිනා) කවුරුහරි මට ආකර්ෂණය වුණොත් මම ඒක ගෙදර කියන්නෙම නෑ. ඕක කියපු වෙලේ ඉඳලා මම එළියට බැස්සත් මෙයා හිතන්නෙ ආ ෂූටින් කියලා අද අරහේ යනවා ඇති. හපෝයි මගේ මිනිහා අල්ල ගනියිද දන්නේ නෑ. (බබානේ) රවට්ට ගනීද දන්නෙ නෑ. ඔය කිව්වට මෙයා පස්සෙන් යනවද දන්නෙ නෑ. ඔය වගේ දහයක් දේවල් හිත හිත බිරිඳ දුක් විඳිනවට වඩා හොඳයි සද්ද නොකර ඉඳීම පාඩුවේ ඉන්න එක.

නළුවෙක් විදිහට පැවැත්මක් තියෙනවද?
දැනට තියෙනවා. මේ මොහොතේ. මට දැන් ගාණක් කියන්න පුළුවන්. හැබැයි හෙට මොකක් වෙයිද දන්නෙ නෑ. කොහොම වුණත් නළුවෙක් වෙන ආදායම් මගක් හොයාගෙන තියාගන්න එක හරි වටිනවා.

ඩයස්ට තව සිහින තියෙනවද මේ ක්ෂේත්‍රයේ?
ඔව්! අධ්‍යක්ෂවරයෙක් වෙන්න තමයි ආස. ‘හිච් කොක්’ ගේ ෆිල්ම් එකක් කියනවා ඇර ඒකේ නළුවෝ ගැන කියන්නේ නැහැනේ. බර්ග්මාත් ගත්තත් කුරසාවා ගත්තත් එහෙමනේ. සිංහයගේ සිංහබාහු කියන්නේ නැහැනේ. සරච්චන්ද්‍රගේ කියලනේ කියන්නේ. කොටින්ම රාජිතගේ නාට්‍යයක් මිසක් ඩයස් රඟපාන නාට්‍යය කියන්නේ නැහැනේ. ඉතින් වැදගත් නිර්මාණයක නිර්මාතෘ. මටත් එහෙම වෙන්න ආසයි. ඒක හීනයක්. කොහොමත් අපි ලැබෙන දේට වඩා නොලැබෙන දේට ආසයිනේ. ලැබුණු ගෑනිට වඩා නොලැබුණු ගැහැනියටනේ ආස. ඉතින් ඒ නිසා ඒ ඉලක්කයත් සපුරා ගන්න බලනවා. ඩයස්ගේ කියලා වැඩක් කරන්න.■