රාවය

ව්‍යවස්ථා ප්‍රමාදය නිමල් නිසා

ව්‍යවස්ථා ප්‍රමාදය නිමල් නිසා

තරිඳු උඩුවරගෙදර

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රීලනිප ස්ථාවරය ඉදිරිපත් කිරීම ප්‍රමාදවීමට හේතුව වී ඇත්තේ ජනාධිපතිවරයා 2015 ජනවාරි අටවැනිදාට පෙර ලබා දුන් පොරොන්දුවලට විරුද්ධ ස්ථාවරයක අමාත්‍ය නිමල් සිරිපාල ද සිටීම නිසා බව වාර්තා වේ.

ශ්‍රීලනිප උපසභාපතිවරයෙකු හා ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා වන නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ව්‍යවස්ථාව පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීම සඳහා පත් කළ විශේෂ කමිටුවේ ප්‍රධානියාද වෙයි.
දින සීය ආණ්ඩුව සමයේදී විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීම ඇතුළුව ජනමත විචාරණයකට නොයන අන්දමේ සංශෝධන ඇති කරන බවත් දින සීය ආණ්ඩුවෙන් පසුව බිහිවන ජාතික ආණ්ඩුව යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදී නවීන ව්‍යවස්ථාවක් ඇතිකර ගන්නා බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වී තිබුණි.
එහෙත් මේ වනවිට නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවටත්, ජනමත විචාරණයකට නොයන අන්දමේ ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් කළ යුතු බවටත් දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වේ.
මෙම ස්ථාවරය ශ්‍රීලනිප ස්ථාවරය ලෙස ඉදිරිපත් කර තිබුණත් ව්‍යවස්ථාව පිළිබඳව ශ්‍රීලනිප කමිටුවේ ඩිලාන් පෙරේරා. අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත් ඇතුළු අනෙක් ප්‍රබලයන් මධ්‍යස්ථ ස්ථාවරයකට පැමිණ ඇති අතර නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා පෙර ස්ථාවරය වෙනුවෙන් දැඩිව පෙනී සිටින බව වාර්තා වේ.
පසුගිය ජූනි 6 වැනිදා පාර්ලිමේන්තුවේදී යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් දිවා ආහාරය සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක් සංවිධානය කොට තිබුණි. එම සාකච්ඡාවේදී යුරෝපා සංගම් නියෝජිතයන් ව්‍යවස්ථාව ගැන නිමල් සිරිපාල ඇමතිවරයාගෙන් සුහදව විමසා ඇති අතර එම අවස්ථාවේදී නිමල් සිරිපාල ඇමතිවරයා දැඩි කේන්තියෙන් යුතුව ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.
විධායක ජනාධිපති ක්‍රමය ගැන විමසද්දී යුරෝපයේත් විධායක ජනාධිපති ක්‍රමය තිබෙන රටවල් ඇති බව පෙන්වා දෙමින් කෝපයෙන් අදහස් දැක්වීමට නිමල් සිරිපාල ඇමතිවරයා පෙළඹී ඇත.
සති දෙකකට පෙර ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුව රැස්වූ අවස්ථාවේද මැතිවරණ ක්‍රමය පිළිබඳ සංශෝධන පමණක් කළ යුතු බව නිමල් සිරිපාල ඇමතිවරයා යෝජනා කර තිබුණු අතර අනෙක් පක්ෂවල නියෝජිතයන් එම යෝජනාවට විරෝධය පළ කර තිබුණි. එම අවස්ථාවේ ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අනෙක් ශ්‍රීලනිප නියෝජිතයන් වන ඩිලාන් පෙරේරා සහ සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිවරුන් නිහඬව සිට ඇත.■