Wednesday, 23/8/2017 | 8:02 UTC+0
රාවය

විනාශයට පසු කළු ගග නිම්නයට

කේ. සංජීව

දෙයියන්ගේ රටේ වැස්සයි පොඩි එකාගේ පස්සයි කොයිවෙලාවේද කියන්න බැහැ යන්න රත්නපුරේ ජනවහරේ එන කියමනක්ය. එයින් කියන්නේ රත්නපුරේට වැසි වැටීම අරුමයක් නොව සාමාන්‍යයක් බවය. සිංහල අලුත් අවුරුද්ද නිමවී දවස් 45ක් යන කලෙක වැසි ලැබ මහා ගංවතුරක් ලැබෙන බව මේ ප්‍රදේශයේ තවත් ජන විශ්වාසයක් ය. ඒ විශ්වාසයේද ඇත්තක් ඇත. සිංහල අලු‍ත් අවුරුද්ද නිමවී දවස් 45ක් ගෙවුණු දවසේ සාමාන්‍යයෙන් කළුගගේ වතුර අඟලකින් හෝ ඉහළ යෑම මේ ලියුම්කරුද නිරීක්ෂණය කර ඇත. එනිසා කිවයුත්තේ මේ ජනශ්‍රැතිය සහ විශ්වාසයන් ගොඩනැගී ඇත්තේ අතීත මිනිසුන්ගේ කාලගුණ නිරික්ෂණයන්ගේ ප්‍රතිඵල ලෙස බවය. ඔවුන් ඒ ඔස්සේ දේශගුණය පිළිබඳ දැනුම් පාරම්පරිකව අනාගතයට උරුමකර ඇත. එහෙත් අද ලෝක මට්ටමින් මේ කලාපයන්හි දැනුම බොහෝසෙයින් වර්ධනය කර ඇත. සුළි කුණාටු වැනි තත්ත්වයන් අද කලින්ම නිරීක්ෂණය කරන්නට පුළුවන් වී තිබේ. ඒ නිසාම ඒවායින් මිනිසුන්ට වන හානිය අවම කරගෙන ඇත. ඒ ලෝකයේ තත්ත්වයයි.

ලෝකයට වැඩිය බොහෝ වෙනස් මේ කොදෙව්වේ තත්ත්වය ඊට සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඔවුන් අතීත දැනුමෙන් හෝ වර්තමාන දැනුමෙන් හෝ කිසිදු ප්‍රයෝජනයක් ගන්නේ නැත. ඒ නිසා ස්වාභාවික ව්‍යසන අවුරුද්දෙන් අවුරුද්දය. මෙවර ගංවතුරෙන් විශාල විනාශයක් උරුමවූ කළුගග නිම්නයේ බොහෝ ප්‍රදේශවල අපි පසුගිය සතිඅන්තයේ ඇවිද්දෙමු. ඒ බුලත්සිංහල, මෝල්කාව, පැළෑඳ, මොරපිටිය, අත්වැල්තොට, කුකුලේගම, කලවාන, අයගම, ගවරගිරිය, ගලතුර, දම්බුළුවන, දිමියාව, හංගමුව ආදි ගම් නියම්ගම් පසුකරමින්ය. බොහෝ තැනක මහමගට වැටි පස් කඳු යන්තමින් යන්තමින් ඉවත්කර යාන්තම් ප්‍රවේශයට මගහසර සලසා ඇත. බොහෝ තැනක ලංවිම සේවකයන් විදුලි බලය යථාවත් කිරීමට වෙහෙසෙනු දැකීම සාමාන්‍ය දසුනක්ය. විශේෂයෙන් මාර්ග මංසන්ධිවල මිනිසුන් පොදි ගැසෙමින් දෑස් දල්වා සිටින්නේ ආධාර රැගත් ලොරියක් කොයිවේලේ පැමිණේදැයි කියාය. තවත් තැනක ආධාර බෙදාගන්නට බැරිව කෙරෙන රණ්ඩුය. තවත් තැනක ගංවතුරෙන් ඇඳිවතත් ගඟේ ගහගෙන ගිය මිනිස්සු ගෙදරට වී ගෙවල් දොරවල් අස්පස් කරමින්ද සුද්ද බුද්ද කරමින්ද සිටිති. ඒ අහුඅස්සේ තවත් විපතට පත්නොවූ පිරිසක් මේ අසරණයන්ගේ ආධාර පාර්සලයට පාර අයිනේ සිට විඳින්නෝය. මේ ලෝක ස්වභාවයද ලංකාවේ ස්වභාවයදැයි අපි නොදනිමු.

මුලින්ම අයගමට
අයගම කඳු පන්තීන් දෙකකින්ද කළුගඟ සහ කුකුලේ ගඟින් ප්‍රධාන වශයෙන්ද වටවූ ප්‍රදේශයක් ය. එක් පැත්තකින් ගවරගිරිය හරහා බුලත්සිංහල පාහියංගල ප්‍රදේශයට මේ ප්‍රදේශය ළංවීම නිසා අතීතයේ සිටම ජනාවාසකරණය වූ ප්‍රදේශයක් ලෙසද සිතිය හැකිය. තවත් අතකින් කල්පනා කරන්නේ නම් කුකුලේ ගඟ සහ එයට පාලින්ද නුවර පැත්තෙන් එකතුවන කුඩා ගංගා ද්‍රෝණිය නිසාද එය අනෙක් පැත්තෙන් කළුගඟට, ගලතුර ගඟට, නිරිඇලි ගඟට ආදි ලෙස තවත් ගංගාවලට විවෘත බිම්කඩක් වීම නිසාද සාමාන්‍යයෙන් වර්ෂය පුරාම පැතිරුණු වර්ෂාපතනයක් ද තෙතමනයක්ද උරුම බිම්කඩක්ය.
මේ භූමි දර්ශනයත් සමඟ අපි අයගම ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායකගේ හඬට කන්දෙමු. ඔහුගේ නම අරුණ උපුල් පියසේනය. ඊට ප්‍රථම මේ කරුණද සඳහන් කළ යුතුය. අප අයගම ප්‍රාදේශීය ලේකම් සමඟ මුලින්ම කතාකරන්නට උත්සාහ කළද වැඩ අධික බව කියමින් ඔහු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය.
‘මගේ ජිවිතේ ලොකුම විනාශයක් දැක්ක ගංවතුර තමයි මේක. 26 වෙනිදාට එළිවෙනකොට හැමතැනම යටවෙලා නාය ගිහිං. මමත් කට්ටියක් බේරගන්න ගිහිං ගංවතුරට කොටුවෙලා වහලයක් උඩ තමයි හිටියේ. අයගම විතරක් මේ විනාශය නිසා මිනිස් ජීවිත 18ක් නැතිවුණා. 3 දෙනෙක් තවමත් අතුරුදන්. නාය නිසා අද මේ ප්‍රදේශයේ 16,000ක් විතර අවතැන් වෙලා ඉන්නවා. ගෙවල් 150ක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ගෙවල් 800කට වැඩියෙන් අර්ධ විදිහට හානිවෙලා. ගොඩක් මිනිස්සුන්ට ඇඳිවත විතරයි. ඉස්කෝලේ යන ළමයින්ගේ පොත්පත් පෑන් පැන්සල් සේරම වතුරේ ගිහිං. නැත්තන් පස්කඳුවලට යටවෙලා. අයගමට ග්‍රාමසේවක වසම් 21ක් තියෙනවා. මේ වසම්වලින් වැඩියෙන්ම හානියට පත්වුණේ මැද ගලතුර, පහළ ගලතුර, අයගම කියන වසම් තමයි. කොලබාව, ගංගෙ ාඩ කන්ද, හරැස්ස කියන ගම් තමයි නාය අනතුරුවලට ලක්වුණේ. දැනට අවතැන් කඳවුරු 51ක් පවත්වාගෙන යනවා. දැන් ගොඩක් ඉන්නේ තවදුරටත් නාය යයි කියලා අවදානම් කලාපවල ගෙවල් තියෙන මිනිස්සු. මේ මිනිස්සු කවදා පදිංචි කරන්න වෙයිද කියලා කියන්න අමාරුයි.”‍
හිටපු විපක්ෂ නායකවරයා කියන ලෙස නාය අවදානම තියෙන ප්‍රදේශවලින් ඒ අදාළ ගෙවල් ඉවත්කරන්නේ නම් සහ ඔවුන්ට වෙනත් ඉඩම් ලබාදී පදිංචි කරන්නේ නම් ඒ සඳහා ගතවෙන කාලය බොහෝ වැඩිවන්නට පුළුවන්ය. අප එහි ගිය පසුගිය ඉරිදා වනවිටත් සමහර ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පැමිණ නැති පසුබිම තුළ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය කටයුතු තවම ආරම්භ කර නැති පසුබිමක මේ ජිවිත නැවත පණගැන්වීමට කෙතරම් කාලයක් ගතවේදැයි සැකසහිතය. මීරියබැද්ද, සාමසර කන්ද නායයාම වැනි තත්ත්වයන්ගෙන් අවතැන්වූ මිනිසුන්ටද තවම අවශ්‍ය දේවල් සම්පූර්ණ වී නැති පසුබිමක ඒ සැකය දෙගුණ තෙගුණ වෙයි.

නාය යෑම්
නාය යෑම් ගැන කතාකළොත් භූවිද්‍යාඥයන් කියන්නේ ස්වාභාවිකව සිදුවන එම ක්‍රියාවලිය නතරකිරීමේ හැකියාව අපට නැතිවුණත් එම තත්ත්වයන් කලින් හඳුනාගැනීමේ තාක්ෂණයක් තිබෙන බැවින් එම ප්‍රදේශ හඳුනාගෙන අදාළ ප්‍රදේශ සිතියම්ගත කිරීම මගින් සහ මිනිසුන් දැනුවත් කිරීම සහ මෙවැනි තත්ත්වයන්හිදී ඉක්මනින් ක්‍රියාත්මකවී ඔවුන් අයින්කිරීම මගින් සිදුවෙන්නට නියමිත හානිය අවම කරගත හැකි බවය. මේ වනවිට ලංකාවේ නාය අනතුරුවලට ලක්විය හැකි ප්‍රදේශ සිතියම් ගතකර අදාළ සිතියම් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිර්මාණය කර ඇතත් ඒවාට නිසි ප්‍රසිද්ධියක් හෝ එම සිතියම් ජනගත කර හෝ නැති පසුබිමක ලංකාවේ අප මේ අනතුරුවල හානිය අවම කරගන්නේ කෙසේදැයි කල්පනා කළයුතුය. අනෙක් පැත්තෙන් හංගාගෙන සිටීමට නම් සිතියම් නිර්මාණය කළේ ඇයිදැයි අපි අදාළ ආයතනයෙන් ඇසිය යුතුවෙමු. අනෙක් පැත්තෙන් සිතියමක් කියවීමේ සාක්ෂරතාවද ජනතාව තුළ ගොඩනැගිය යුතුය. අප මේ සංචාරයේදී අත්දුටු විශේෂ දෙයක් නම් අලු‍තින් සෑදු බොහෝ මාර්ග නාය ගොස් ඇති බවය. හොරණ-බුලත්සිංහල මාර්ගයේ බුලත්සිංහලට ආසන්නයේ ස්ථාන 10ක් පමණ නාය ගොස් අලු‍තින් කාර්පට් කළ පාර අවහිර වී ඇත. අයගම-ගවරගිරිය මාර්ගයේද ගවරගිරියට ආසන්න ප්‍රදේශයේ බොහෝ තැනක විශාල පස්කඳු පාරට කඩාවැටී ගස් පෙරළී ඇත. මේ පිළිබඳව භූවිද්‍යාඥයෙකුගෙන් කරුණු විමසීමේදී ඔහු සඳහන් කළේ මෙවැනි පාරක් නිර්මාණය කිරීමේදී මෙවැනි තත්ත්වයන් වළක්වාගැනීම සඳහා ආරක්ෂිත උපායමාර්ග මූලික අදියරේදීම යෝජනා වුණත් එම ක්‍රියාමාර්ග ගැනීම සඳහා ලොකු මුදලක් වැයවෙන බැවින් එම මුදල ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් ඒවා මගහැරීමට ලංකාවේ බලධාරීන් කටයුතු කරන බවය. දැන් තැන තැන ඇසෙන්නේ කොළඹ-මාතර අධිවේගී මාර්ගයේ මූලිකම සැලැස්මේ එය ගංවතුර තර්ජනයක් සහිත ප්‍රදේශවලදී කොන්ක්‍රීට් කුලුනු මත ඉදිකළ යුතු බවට යෝජනා වූ බවය. එයට කන් නොදීමේ ප්‍රතිඵල ලෙස අද අධිවේගී මාර්ගයට අමතරව අපට විශාල වේල්ලක්ද ලැබී ඇත. ලංකාව වැනි රටවල සංවර්ධන කාර්යන්හිදී බුද්ධිමතුන්ගේ මතය යට ගොස් කොමිස් කුට්ටියට දත නියවා සිටින දේශපාලක කැනහිල් පරපුරක මතය ඉස්මතුවීමේ කරුමය අද අපි ව්‍යසනයන් ලෙසින් සාමුහිකව භුක්තිවිඳිමින් සිටින්නෙමු.

නොකියා වේලි කඩන ලංකාව
මේ ගංවතුර තත්ත්වය නිසා අයගමට නොදෙවෙනි ව්‍යසනයක් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට ද උරුම විය. ඒ කළුගඟ සහ කුකුලේ ගඟ උතුරා පිටාර ගැලීම නිසාය. බුලත්සිංහල ව්‍යසනය දරුණු තත්ත්වයට හැරෙන්නට කුකුලේ ගඟ ජලවිදුලි බලාගාරයේ වේල්ලේ වාන් දොරටු නොකියා විවෘත කිරීම හේතුවක් බව ලියුම්කරුට දැනගන්නට ලැබුණු අතර, එනිසා කලවාන මීපාගම ප්‍රදේශයේ ඉදිවූ මේ වේල්ලේ වාන් දොරටු විවෘත කළ විට ඒ වතුරින් වැඩියෙන්ම හානි ගෙන දිය හැකි ප්‍රදේශය වන මෝල්කාවට ලියුම්කරු ගියේය. එහි තත්ත්වය බොහෝ බරපතළය. මා කරව්ගස් හංදිය පසුකරනවිට දැකගන්නට ලැබුණේ පොඩි දරුවෙකු වතුර යටවූ සිය පොත් කැටියක් අව්වේ වියලන අයුරුය. එය තවමත් වැඩ ඉවරවී නැති දෙමහල් නිවසකි. නිවස හිමි කාන්තාව සමඟ අපි කතාකළෙමු. ඇය තුෂිතා කුමාරිය.
“‍මගේ මහත්තයා රුමේනියාවේ රස්සාව කරන්නේ. මමයි මේ පොඩි දරුවෝ දෙන්නායි තමයි මේ ගෙදර ඉන්නේ. මමත් ලෙඩවෙලා ඉන්නේ. 25 රාත්‍රියේ ගංවතුර එනකොට මමයි පුතායි දෙන්නාත් එක්ක අමාරුවෙන් හරි පහළ තිබුණු බඩු උඩ තට්ටුවට දැම්මා. ඒත් වැඩක් වුණේ නැහැ. 26 උදේ දෙක විතර වෙනකොට කවදාවත් නැතිව උඩ තට්ටුවටත් වතුර ආවා. ගංවතුර එන නිසා තමයි තට්ටු දෙකට හැදුවේ. දැන් ඒකත් වැඩක් නැහැ. මේ ප්‍රොජෙක්ට් එකට පස්සේ ආ ලොකුම වතුර තමයි මේ.”‍ ඇය කියන්නීය.
අපි තවත් ගම ඇතුළට ගියෙමු. මොල්කාවේ චන්ද්‍රසිරි පෙරේරා එහිදී අපට හමුවිය.
“වයසක මිනිස්සුවත් මෙහෙම වතුරක් ගැන අහලා නැහැ. අපේ මේ ප්‍රදේශය සාමාන්‍යයෙන් යටවෙනවා. ඒ නිසා තමයි මෙහේ මිනිස්සු සාමාන්‍යයෙන් ගෙවල් හදාගෙන තියෙන්නේ උස් තැන්වල. කුඹුර තියෙනවා. වගාකරන ඉඩම තියෙනවා. ඊට උඩින් තමයි ගෙදර තියෙන්නේ. මේ ප්‍රොජෙක්ට් එකට පස්සේ දැන් එතැනත් යටවෙනවා. දැන් අපිට මේක කරුමයක්. මම එදා 26 උදේ දෙකට විතර කෝල් කරලා මහත්තුරුන්ගෙන් ඇහැව්වා, දොරටු අරිනවාද කියලා. එයාලා කිව්වේ කියන්න බැහැ කියලා. ඒ වෙනකොටත් දොරටු 4ක් ඇරලා කියලා දැන් අපි දන්නවා. සාමාන්‍යයෙන් මෙහෙම අරිනවා නම් යටවෙන ප්‍රදේශවල මිනිස්සුන්ට කියන්න ඕනෑ නේද? දැන් මෙතැන ඉඳලා කෙලින්කන්ද බලාගාරයට කිලෝමීටර් 13ක් ඇති. මෙතැනින් තමයි මහත්තුරු එතැනට යන්නේ. නිකමට කියාගෙන යන්න බැරිවුණාද? මෙහේ මිනිස්සුන්ට වතුර හුරු නිසා හොඳට ගියා. නැත්තං මැරිලා යනවා. අද ඒකෙන් මිනිස්සුන්ට ඇඳිවතත් නැතිවුණා.”‍ ඔහු කතාකරන්නේ කෝපයෙන්ය.
මෝල්කාව ප්‍රදේශයේ සංචාරය කළ අපට අත්දකින්නට ලැබුණේ මේ වේල්ල කඩාබිඳ දැමීමට තරම් කෝපයක් මේ මිනිසුන් සතු බවය.
‘මේකයි මහත්තයෝ, අලු‍ත් අවුරුද්ද ඉවරවෙලා දවස් 45 එනකොට අපි ගංවතුරකට සුදානම් වෙනවා. අඩු ගානේ මේ මිනිස්සුන්ට ඒ ගැන හිතලා වතුර ස්ටොක් කරන්නේ නැතිව ඉන්න තිබුණා. රත්නපුරේ වහින කොට මේ මිනිස්සු වතුර ස්ටොක් කළා. මෙහෙට වැස්සාට පස්සේ ඒ වතුර ටික රඳවාගන්න ශක්තියක් වේල්ලට නැහැ. ඒකයි වුණේ. වේල්ලේ දොරටු දෙකක් ඉබේ ඇරෙනවා. ඒකත් කලින් කියන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සු ඒ කිසිදෙයක් ගැන හිතුවේ නැහැ.”‍ චන්ද්‍රසිරි කියන ලෙස මේ තත්ත්වය ඉතාමත් බරපතළය. කිසිම අනතුරු ඇඟවීමක් නොමැතිව විශාල ජලකඳක් මිනිසුන්ගේ ගෙවල් දෙසට මුදාහරින්නට මේ බලාගාරයේ බලධාරීන් මෝඩයින්දැයි ඇසිය යුතුය.
මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් මේ හේතුවෙන් විනාශ වූවේ නම් මේ බලධාරීන් කියන්නේ කුමක්ද? අනෙක් පැත්තෙන් අද මේ මිනිසුන්ට ඇඳිවතත් නැත. ඒ දුකට සහ ජීවිත කඩාවැටීමට හේතුව මේ වේල්ල හිතුමතේ සද්ද නැතිව විවර කිරීම නම් ඒ පාඩුවට වන්දි ගෙවන්නට විදුලිබල මණ්ඩලය සූදානම්ද?
චන්ද්‍රසිරිගේ කතාවෙන් පසු අපි මෝල්කාවේ සිට පැලෑඳ ප්‍රදේශයට එනවිට ගෙයත් ඇඳිවතත් ජල රකුසාට දුන් මිනිස් පවුලක් දුටුවෙමු. ඔවුහු ප්‍රධාන මාර්ගයේ මඩුවක් අටවාගෙන එහි ජීවිතය ගෙවමින් සිටිති. අපි එහි සිටි සරත් විජේවික්‍රමට කතාකළෙමු. ඔහු සිංහල උගන්වන 42 හැවිරිදි ටියුෂන් ගුරුවරයෙකි. පෙර පාසල් එක වසර සහ දෙක වසර ඉගනුම ලබන කුඩා දරුවන් ඔහු අසලය. ඔවුන් සියල්ලන්ගේ ජීවිත කළුගඟට සේදී ගොස් ඇත.
‘මමයි නෝනායි ගංවතුර එනකොට දරුවෝ තුන්දෙනාත් අරගෙන ගෙදරින් එළියට පැන්නා. අද ගෙදර සම්පුර්ණයෙන්ම කැඩිලා. අපි පස්දෙනාට ඇඳුමක්වත් නැහැ. රජය කියලා කිසි නිලධාරියෙක් තවම බලන්නවත් ආවේ නැහැ. මිනිස්සු කන්න ටික දෙන නිසා අපි යන්තම් රැකිලා ඉන්නවා.”‍
රජයේ හැසිරීම සෙමින්ය. මිනිස්සු ඔවුනොවුන්ට උදව්කරගනිමින් සිටිති. එයත් නැතිවුණා නම් සිද්ධවෙන විපතේ තරම කිව නොහැකිය.

ගලතුරෙන් දිමියාවට
අයගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ගලතුර ප්‍රදේශය ගංවතුර තර්ජනයට ඉහළින්ම ලක්විය. හැමතැනකම මිනිස් දෑතින් යුහුසුළුව පිරිසිදු වන නිවෙස් ය. හැම තැනකම පාර අයින්වල ආධාර ලොරි දෙස ඇස් ගසාගෙන පොදි ගැසී සිටින මිනිස්සුය. ආධාරවලට රණ්ඩුවන ගතු කියාගන්නා මිනිසුන්ය. අපි මිනිසුන් අතරින් ඇවිදිමු. මැද ගලතුර ප්‍රදේශයේදී අපවිත්‍රවී තිබෙන ළිං පිරිසිදු කරන නඩයක් හමුවන්නේ ඒ අතරතුරය. අපි ඔවුන් සමඟ කතාවට වැටෙමු.
‘මම නාමල්. අපි ආවේ හැටන්වල ඉඳලා. උදේ 5ට තමයි එහෙන් ආවේ. හැටන්, ගිනිගත්හේන, අඹගමුව, ප්‍රදේශවල අය තමයි මෙතැන ඉන්නේ. අපි 70ක් ආවා. ළිං ඉහින්න, ගෙවල් සුද්ද කරන්න, පස් අදින්න ඕනෑ වැඩකට ලෑස්තිවෙලා බඩුත් අරගෙන තමයි ආවේ. අපි ඇළපාත ඉස්කෝලෙන් වැඩ පටන්ගත්තා. ගම්මානයක් සම්පුර්ණයෙන්ම සේදුවා. ළිං කිහිපයක් පිරිසිදු කළා.”‍ මේ මිනිසුන් ඇළපාතින් වැඩ අල්ලා කළුගඟ නිම්නය දිගේ ගලතුර ගඟ අසලටම පැමිණ ඇත. ඒ බෙහෙවින්ම ගංවතුරට ගොදුරු බිම් හරහාය. මේ ව්‍යසනයේදී මිනිසුන් මිනිසුන්ට උදව් කරගන්නා අයුරුය. මේ තත්ත්වය මෙලෙසින් හෝ නොතිබුණේ නම් මේ මිනිසුන්ගේ ක්‍රියාවිරහිතවූ ජීවිත කොතරම් කාලයකින් ගොඩ ඒදැයි සැකසහිතය.

ග්‍රාම නිලධාරියෙක් නැහැ
අයගම සිට පැමිණි අපි ගලතුර ගඟ පැන කළුගඟ දිගේ ඉහළට පැමිණියෙමු. දම්බුළුවන ප්‍රදේශයද දැඩිව ගංවතුරට බිලිවූ ප්‍රදේශයක් ය.
‘දම්බුළුවන වේරවැල්ල කියන මේ ප්‍රදේශයේ විතරක් ගෙවල් 40ක් සම්පූර්ණයෙන්ම යටවුණා. වැඬේ තියෙන්නේ මහත්තයෝ, මේ මොනවා වුණත් අපිට කියන්න ග්‍රාමසේවකයෙක් නැහැ. අපි අද අන්ත අසරණයි. 189 දම්බුළුවන කියන ග්‍රාමසේවක වසමට කවුරුවත් නැහැ. ඉතිං දැන් අපි මෙහෙම පාරේ ඉඳලා කවුරු හරි ගෙනෙන ආධාරයක් අරගෙන තමයි ජීවත් වෙන්නේ. ඒත් මේ පැත්තෙන් එන ආධාර දිමියාව හරියට එනකොට ඉවරයි. අපිට එන්නේ කලාතුරකින්.’
‍ අද මේ මිනිස්සු අන්ත අසරණ අඩියට වැටී මහපාරට වී ආධාර එනකම් බලා සිටිති. මේ ප්‍රදේශයේ වැඩි දෙනෙකුගේ ජීවිකාව පතල් රස්සාව සහ වැලි ගොඩ දැමීමය. මේ රස්සා දෙකටම බහින්න තව සෑහෙන්න කාලයක් බලාසිටිය යුතුය. ඒ කළුගඟ සහ මේ ආශ්‍රිත අනෙකුත් කුඩා අතු ගංගා සන්සුන් වන තෙක්ය. එහෙත් නිරන්තරයෙන් තවමත් වැසි වැටෙන තත්ත්වය තුළ කවදා රස්සාවට බහින්න වෙයිදැයි දන්නේ දෙවියන් පමණය. එනිසාම අද මේ මිනිස්සු ආධාර ලබා දෙන්නට ගමට වඩින මිනිස් දෙවියන් එනතුරු මගබලති. කෙටි කාලයකට හෝ මිනිසුන් මෙලෙස පාරට වැටීම හොඳ රටකට නම් තරම් නැත. එහෙත් අපට මේවා එතරම් දැනෙන්නේ නැත. මේ ව්‍යසනය අස්සේද සමහරුන් ආධාර ලබාගැනීම සඳහා මෙන්ම තවත් එකෙකුට ලැබෙන ආධාරයක් ව්‍යර්ථ කිරීම සඳහාද කැසකැවීම රටක් ලෙස අප දියුණු වී තිබෙන පරිමාව පෙන්වන සාධකයන්ය. අනෙක් පැත්තෙන්, ග්‍රාමසේවක තනතුරේ පිරිහීමද මේ ව්‍යසනය තුළ කදිමට පෙනෙන්නට තිබෙන තවත් තත්ත්වයක් ය.
මේ සියල්ල කියන්නේ අප බොහෝ කාලයක් තිස්සේ විශාල කුණාටුවකට හසුව ගසාගෙන යමින් සිටින බවය.■