රාවය

2016 ගංවතුරටවත් රක්‍ෂණ වන්දි දීලා නැහැ

2016 ගංවතුරටවත් රක්‍ෂණ වන්දි දීලා නැහැ

රේඛා නිලු‍ක්ෂි හේරත්

මේ කතාව පසුගිය වසරේ ගංවතුරට අහුවුණු පුද්ගලයන් ගැනයි. 2016 ගංවතුර ඇතිවූ මොහොතේ මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ ආපදාවෙන් දේපල හානි සිදුවූ, රක්ෂණයක් නොමැති සියලුම දෙනාට රක්ෂණභාර අරමුදලෙන් රක්ෂණයක් හිමිවන බවයි. රුපියල් මිලියන 1000ක් දක්වා ආපදාවකදී රක්ෂණ මුදල් නිකුත් කළ හැකි බවත්, එක් පුද්ගලයෙකුට ලක්ෂ විසිපහක් වන තුරු රක්ෂණ මුදල් ලබාදිය හැකි බවත් රවී කරුණානායක ඇමතිවරයා කියා තිබුණි. ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පසුගි ය සතියේ පාර්ලිමේන්තුවේදී කියා තිබුණේ 2017 දී ගංවතුරට හසුවුණ පුද්ගලයන්ට ජාතික රක්ෂණ භාර අරමුදල හරහා රක්ෂණය හිමිවන බවයි. එහෙත් සැබැවින්ම තවමත් පසුගිය වසරේ ගංවතුර හසුවුණ පුද්ගලයන්ටවත් රක්ෂණ මුදල් හිමිවී නොමැත.

එක් කතාවක්
මේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැලණිය පාලම අසල කැලණි ගං ඉවුරේ ජීවත්වන එල්එස් සුසන්ත පවසන කතාවයි.
“අපට හම්බවුණේ ග්‍රාමසේවක හරහා ලැබුණු රුපියල් දහදාහක් විතරයි. දෙනවා කිව්වේ විසිපන්දාහක්. ඒකේ දෙවැනි පහළොස්දාහ දෙනවා කිව්වාට තාම ලැබුණේ නැහැ. ගංවතුර වෙලාවේ ආධාර බෑග් එකක් දුන්නා රුපියල් දාහක විතර. ඒ ටික විතරයි අපට ලැබුණේ.
මගේ ගෙදර සම්පූර්ණයෙන්ම යටවුණා. ටීවී, ෆ්‍රිජ් විසිකරන්න වුණා. මැෂින් අයින් කළා. අන්තිමට ඉතිරිවුණ අල්මාරියකුයි පුටු ටිකකුයි මම පාලම යට තියලා තියෙනවා. ආණ්ඩුවෙන් කිසි දෙයක් නොලැබුණු හින්දා මම ගෙදර හදන්න පටන්ගත්තා මගේ වියදමින්. මගේ නෝනා මැද පෙරදිග රැකියාවක් කරනවා. මම ලංකාවේ කුලී වැඩ කරනවා. ළමයි දෙන්නෙක් ඉන්නවා. අපි පුදුමාකාර මහන්සියක් ගත්තා මේ බඩු අරගන්න. බොහොම අමාරුවෙන් මේ ඔක්කොම ගොඩනඟාගත්තේ. ඒත් ඒ හැම දෙයක්ම ගංවතුරට ගියා එක දවසින්. දැන් ආයෙමත් අපි ටිකෙන් ටික ඒවා ගොඩනඟනවා. නෝනා ආයෙමත් රට ගියා. මමම ගේ ටිකෙන් ටික බඳිනවා. මේ පාර ටිකක් උස් කරලා බඳින්නේ. අපේ වියදමින් කරන හින්දා තව අවුරුද්දකට වඩා යයි.
අපට දෙනවා කිව්ව රුපියල් විසිපන්දාහට එන්එස්බී බැංකුවේ පොතක් අරින්න කිව්වා. බැංකුවට මම ගියාම පොතක් අරින්න රුපියල් දාහක් ඕනෑ. මගේ අතේ සල්ලි තිබුණේ නැහැ. මම අමාරුවෙන් රුපියල් පන්සීයක් එකතු කරගෙන ගිහින් බැංකුවට කිව්වා මගේ ළඟ මෙච්චරයි තියෙන්නේ, මේ වුවමනාව නිසයි බැංකු පොත අරින්න ඕනෑ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ බැංකුවෙන් රුපියල් පන්සීයට බැංකු පොත ඇරියා. ඒ සල්ලි එන්නත් ගොඩක් කාලයක් ගියා. බැංකුවට නම් වාසි ඇති. පණස්දාහකටත් වඩා ගංවතුරට අහුවෙන්න ඇති. ඒ ඔක්කොම රුපියල් දාහ ගානේ බැංකුවට දැම්මොත් එතැනම කෝටි පහක් විතර තියෙනවානේ. මේ පාර එහෙම බැංකු පොත් අරින්න කිව්වොත් ලක්ෂ ගණනක් ඉන්නවා. බැංකුවට සෑහෙන ලාබයක් තියෙයි.
ග්‍රාමසේවක නෝනා අපේ කඩාවැටුණු ගෙදර බලන්න ආවා. මට තේරෙන විදියට හානි තක්සේරුවකුත් කළා. ඒත් මොනවත් ලැබුණේ නැහැ. කැලණිය ආසනේ අයිති සරත් ෆොන්සේකා මහත්තයාට. ඒ මහත්තයාත් ආවා. ශිරන්ති රාජපක්ෂ නෝනාත් ඇවිල්ලා ගියා ඒ දවස්වල. මගේ ගෙදර කඩාවැටිලා තියෙන හැටි දැක්කා. හැබැයි මොනවාවත් ලැබුණේ නැහැ. මගේ කඩාවැටුණු ගෙදර අයින් කරන්න ආමි එකෙන් ආවා. ඒත් ගෙදර තිබුණු විදියට අස් කරන්න අමාරුයි. ආමි එකේ කට්ටිය යටවෙලා තිබුණු මෙට්ට ටිකක් අයින් කරන්න දඟල දඟල ඉඳලා ළඟ තිබුණු ආමි එකේ එක්කෙනෙක්ගේ ගෙදර අස්කරන්න ගියා. අන්තිමේ සම්පූර්ණයෙන් ගෙදර අස්කළේ මමයි මගෙ ළමයි දෙන්නායි.
අපට ලැබුණු සහනය ගංවතුරට ලැබුණ කන බොන දේවල් ටික විතරයි. කමක් නෑ. අපේ නෝනා සල්ලි එවයි. මම ආයේ අලු‍තින්ම ජීවිතේ ගොඩනඟා ගනියි. බිරිඳ කාලයක් රට ඉඳලා සියල්ල ගොඩනඟාගෙන ලංකාවේ නවතින්නයි හිටියේ. එයාට ආයේ රට යන්න වුණා ගංවතුර හින්දා. අරාබි රටවල අපේ ගෑනු දුක් විඳින්නේ විනෝදෙට නෙවෙයි. අපේ ජීවිත ගොඩනඟා ගන්න. ආණ්ඩුව අපට දුන්නු දෙයක් නෑ. බිරිඳ තමයි හැමදේම දුන්නේ.
අපට ඉඩම් ඔප්පු තියෙනවා. මේ තැන්වල හොඳට ගෙවල් හදාගෙන ජීවත්වෙන මිනිස්සු ඉන්නවා. ගංවතුර තමයි අපට තියෙන ප්‍රශ්නය. අපි කැමතියි මේ ගෙවල්වලින් හොඳ ගෙදරකට යන්න. ගංවතුරට යටවෙන තැනක ඉන්න අපි කැමති නෑ. ඒත් අපට දෙන්න ඉන්න පුළුවන් තැනක්. මෙතැන හිටපු පිරිසක් කලින් අයින් කළා. ඒ ගංවතුර වලක්වන්න තියෙන බැම්ම ලොකු කරන්න ඕනෑ හින්දා. ඒ පිරිස දැන් ගිහින් දාලා තියෙන්නේ වැස්සකටත් යටවෙන තැනකට. හැම පැත්තෙන්ම එන වැහිවතුර එතැනට එකතුවෙනවා. ඉතින් අපි කැමති නෑ ගංවතුරෙන් වැහි වතුරට යන්න. අපට ඉන්න පුළුවන් තැනක් දෙන්න.”

තවත් කතා
සේදවත්තේ සරත්ගේ නිවස සම්පූර්ණයෙන්ම කැලණි ගඟ රැගෙන ගොස් තිබුණි. ඔහුගේ නිවසේ අඩිතාලමත් බිඳී ගොස් තිබුණි. ගංගාවක පතුල බවට ඔහුගේ නිවස පත්වී තිබුණු අතර දියසුලි නිසා නිවසේ සලකුණු විනාශ වී තිබුණි. නිවස අසල තිබුණු ගසක්ද කඩාවැටී සම්පූර්ණ විනාශයක් සිදුවී තිබුණි. එහෙත් සරත් පවසන්නේ තවමත් ඔහුට වන්දියක් ලැබී නැති බවයි. ඔහුට නිවස ගොඩනගාගන්නට මුදල්ද නැත. ඒ නිසා ඔහුගේ පවුලේ උදවිය නැදෑ නිවසක නවත්වා ඔහු කුඩා මඩුවක් ගසාගෙන එහි ජීවත්වෙයි.
ගංවතුරට හසුවුණ කොළොන්නාව, අංගොඩ, වැල්ලම්පිටිය, සේදවත්ත ඇතුළු ප්‍රදේශ රැසකට අපි ගියෙමු. ඒ කිසිවෙකුට ජාතික රක්ෂණ භාර අරමුදලේ රක්ෂණ මුදල් ලැබී තිබුණේ නැත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ගංවතුරෙන් පසු ලැබී තිබුණේ රුපියල් දහදාහක මුදලක් පමණි. ඒ ගංවතුර ආධාර ලෙස රජයෙන් ලබාදෙන බව පැවසූ රුපියල් විසිපන්දහසක මුදලින් මුල් කොටසයි. එහි දෙවැනි කොටස ඇතැම් අයට ප්‍රමාද වී ලැබී තිබුණු අතර බොහෝ දෙනෙකුට තවමත් ලැබී නොමැත.
කැලණිමුල්ලේ කැලණි ගඟ අසබඩ පදිංචි රත්නායක මහත්මිය පැවසුවේ ඔවුන්ට තිබුණු කුඩා කඩය ගංවතුරට හසුවුණු බවත්, ජාතික රක්ෂණ භාර අරමුදලෙන් ව්‍යාපාරවලට සිදුවූ හානි සඳහාද රක්ෂණ මුදල් ලබාදෙන බව පැවසුවත් තවම කිසිවකට වන්දි නොලැබුණු බවත්ය. ග්‍රාමසේවක විසින් හානි පිළිබඳ තක්සේරු සහතික ලබාගත්තත් කිසිම වන්දියක් ඔවුන්ට ලැබී තිබුණේ නැත.
අප සමඟ කතාබහ කළ වැල්ලම්පිටියේ කුසුමලතා, පෑලියගොඩ ශාන්ති ජයවීර ඇතුළු බොහෝදෙනෙකුට ලැබී තිබුණේ ග්‍රාමසේවක හරහා ලැබුණු රුපියල් විසිපන්දහසක දීමනාව පමණි. ඔවුන් පැවසුවේ එයින්ද දෙවැනි කොටස ලැබුණේ මේ වසරේ මුල බවයි.
“අපි හිතුවේ ඒ වෙලාවේම අපට ක්ෂණික ආධාරයක් විදියට රුපියල් විසිපන්දාහ දීලා පස්සේ හානි තක්සේරු කරලා මුදල් ලබාදෙයි කියලා. අපි මේ වෙද්දී ජීවිත ගොඩනඟා ගන්න බලාපොරොත්තුවෙන් හිටියේ. අපි යහපාලන ආණ්ඩුවට පින් දිදී හිටියේ මේ වගේ රක්ෂණ ක්‍රමයක් ඇතිකිරීම ගැන. ඒක කොච්චර හොඳද. ඒත් අන්තිමට දැනුයි අපට තේරෙන්නේ අපි රැවටුණා කියලා. රක්ෂණ කතාව බොරුවක්. අපට කවදාවත් ඕක ලැබෙන්නේ නැහැ. අපට තියෙන්නේ අපේ සරණම තමයි.” කුසුමලතා පැවසුවේ එසේය.
මීතොටමුල්ල කුණුකන්ද අසල ප්‍රදේශය පසුගිය වසරේ ගංවතුරට හසුවිය. මීතොටමුල්ලේ කුණුකන්ද සමඟ මුසුවුණු ගංවතුර පැමිණ තිබුණේ වඩා කළු පැහැයෙන් සහ වඩා අපිරිසිදු ලෙසයි. එක් මීතොටමුල්ල වැසියෙකු ගංවතුරේ ඇවිදීම නිසා උරහිසෙන් පහළ සිරුර පුරා හැදී තිබුණු වණයක් අපට පෙන්නුවේ මීතොටමුල්ල කුණුකන්ද කඩාවැටුණු දිනවල ඔවුන් සමඟ කතාබහ කරන්නට ගිය මොහොතකය. මීතොටමුල්ලේ කුණුකන්දට යටවී නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණු ශාන්ත අප සමඟ පැවසුවේ 2016 ගංවතුරේදී පැමිණි ආණ්ඩුවේ නිලධාරීන් ගංවතුරට යටවුණු හැන්දක්වත් පාවිච්චි නොකරන ලෙස උපදෙස් දුන් බවයි.
“හැමදේටම වන්දි දෙනවා කිව්වා. හානි තක්සේරු කරගෙන ගියා. ඒත් අන්තිමේදී කුණුකන්දට යටවෙලා අපේ ගෙවල් පවා නැතිවුණත් ලැබුණු වන්දියක් නෑ. ඔක්කෝම බොරු.”

රජයේ ආයතන
ජාතික රක්ෂණ භාර අරමුදලේ ඉහළ නිලධාරියෙක් අප සමඟ මෙසේ පැවසීය.
“අපි එක නිවසකට රුපියල් ලක්ෂ විසිපහ ගානෙ නිවාස හැත්තාදහසකට මුදල් නිකුත් කරලා තියෙනවා. රුපියල් බිලියන 3.9ක් නිකුත් කළා. ඒ මුදල් අපි නිකුත් කරන්නේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට. ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී යාන්ත්‍රණය හරහා මේවා බෙදා දීම ඒ අමාත්‍යාංශයේ වගකීමක්.”
ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගෙන් මේ ගැන විමසීමට අප උත්සාහ කළත් ඔහුගේ දුරකථනය සම්බන්ධ කරගැනීමට නොහැකි විය. අප සමඟ අදහස් දැක්වූ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු පැවසුවේ ආපදාවෙන් අනතුරට ලක්වූ පුද්ගලයන් 60,000කගේ පමණ අයදුම්පත්‍ර ලැබී ඇති බවත් ඒවායින් 50,000කට පමණ මුදල් ලබාදී අවසන් ඇති බවත්ය. එක් නිවසකට උපරිම තක්සේරු වටිනාකමින් ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව ඔහු පැවසීය.
එම නිලධාරියා එසේ පැවසුවත් ඒ නිවාස පනස්දහස කොහේ ඇතිදැයි අප දන්නේ නැත. අප අංගොඩ, කැලණිමුල්ල, සේදවත්ත, පෑලියගොඩ, කැලණිය, වැල්ලම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකම ඇවිද්දත් රක්ෂණ මුදල් ලැබුණු නිවසක් හමුවුණේ නැත. අප මේ ගැන විමසන්නට ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් අප සමඟ කතාකළේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිර කුමාර පමණි. ඔහු පැවසුවේ රුපියල් 25,000ක ආධාර මුදල් ලබාදී ඇති බවත් රක්ෂණයට අදාළ තක්සේරු සියල්ල අදාළ ආයතනවලට නිකුත් කර ඇති බවත් ඒ මුදල් තවමත් නිකුත් කර නොමැති බවත්ය. කොළොන්නාව ගංවතුරෙන් වැඩිපුරම හානි සිදුවූ ප්‍රදේශයකි.
වැරැද්ද ඇත්තේ කොතැනදැයි අප දන්නේ නැත. අපට පෙනෙන අන්දමට රක්ෂණ භාර අරමුදලෙන් මුදල් නිකුත් කර ඇති පසුබිමක වැරැද්ද ඇත්තේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සතුවය. අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා සතුවය. ඒ වෙනුවෙන් කෝටි ගණනක වාහන, ගොඩනැගිලි, දේපළ වෙන්කොට ඇත්තේ ඔවුන්ගෙන් යමක් සිදුවිය යුතු නිසාය. අනුර ප්‍රියදර්ශන ඇමතිවරයා පත් කර ඇත්තේ ආපදාවකින් පසුව ගණන් හිලව් ලිවීමටත් ජාත්‍යන්තර සමුළුවල ලංකාව නියෝජනය කිරීමටත් නොවේ. සියල්ල අහිමිවූ මිනිසුන්ගේ වේදනාව ගැන වගකීම ඇමතිවරයා ගත යුතුය.
ආපදා රක්ෂණය පිළිබඳ යෝජනාව ඉතාම යහපත්ය. එය ක්‍රියාත්මක කිරීමත් යහපත්ය. එහෙත් ගැටලු‍ව එය ඇනහිටීමයි. ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක්ද ඇත. එහෙත් ඒ අමාත්‍යාංශය එක් ආපදාවක් අවසන්ව ඊළඟ ආපදාව ඇතිවන තුරු නිදි පැදුරට යයි. ආපදා කළමනාකරණය වෙනුවෙන් ඇති වගකීම ඔවුන් දන්නේ නැත. ආපදා මුලින් වලක්වාගැනීම ඔවුන් කරන්නේ නැත. ආපදා රක්ෂණය වැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරවාග ැනීම ගැන සිතන්නේත් නැත.■