රාවය

රජයේ වෛද්‍ය පීඨ සිසුන්ට ‘යෝනිසෝ මනසිකාරය’ පහළ වන්නේ කවදාද?

රජයේ වෛද්‍ය පීඨ සිසුන්ට ‘යෝනිසෝ මනසිකාරය’ පහළ වන්නේ කවදාද?

රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳුණු ඔහු 1987 වඩමරාච්චි සටනේදී තුවාල ලැබීය. අනතුරුව එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශයේ යාපනේ නායකයා බවට පත් වූ තිලීපන්, 1987 සැප්තැම්බර් 15 වැනි දා මාරාන්තික උපවාසයක් ආරම්භ කෙළේය. මෙය දකුණේ වීරවංශ මාදිලියේ තක්කඩි ‘ලෙමන්පෆ්’ උපවාසයක් නොව, සැබවින්ම මාරාන්තික වූත්, අව්‍යාජ වූත්, උපවාසයක් විය. මේ උපවාසය ඉල්ලීම් පහක් මත පදනම් විය. ඒවා නම්:
1. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,
2. දෙමළ පළාත්වල සිංහල ජනපදකරණය නතර කිරීම,
3. උතුරු නැගෙනහිර පුනරුත්ථාපන කටයුතු සියල්ල නතර කිරීම,
4. උතුරු සහ නැගෙනහිර පළාත්වල පොලිස් ස්ථාන අලුතින් පිහිටුවීම නතර කිරීම,
5. ග්‍රාමරක්ෂක භටයන් නිරායුධ කිරීම සහ පාසල්වල රැඳී සිටි පොලිස්/හමුදා අංශ ඉවත් කර ගැනීම වශයෙනි.
එදා පැවති තත්වය තුළ ලංකා රජය මේ එක ඉල්ලීමකට හෝ එකඟ වෙතැයි සිතිය හැකි කිසි පසුබිමක් තිබුණේ නැත. තිලීපන් සිය උපවාසය ආරම්භ කරන මොහොතේම, එය අනිවාර්යයෙන්ම ‘මාරාන්තික’ වන බව ඔහු මෙන්ම ප්‍රභාකරන් ද දැන සිටියේය.
එදා ලංකාවේ සිටි ඉන්දියානු මහ කොමසාරිස් ජේ.එන්. ඩික්සිට් යාපනයට ගොස් ප්‍රභාකරන් හමු විය. තිලීපන් හමුවට තමන් යෑමට සූදානම් බව ප්‍රභාරකන්ට දැනුම් දුන් ඔහු, ඒ අනුව තිලීපන් උපවාසය නතර කරන බවට සහතිකයක් ප්‍රභාකරන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් ප්‍රභාකරන් ඊට එකඟ නොවීය. ආහාර පමණක් නොව, වතුර ගැනීම පවා එක දිගටම ප්‍රතික්ෂේප කළ තිලීපන්, උපවාසය ආරම්භ කිරීමෙන් දින 11 කට පසු 1987 සැප්තැම්බර් 26 වැනි දා මියගියේය.
යාපනේ නල්ලූර් කන්දසාමි කෝවිල අසළ තිලීපන්ගේ පිළිරුවක් 1988දී නිමැවුණි. 1996දී ශ්‍රී ලංකා යුද හමුදාව අතට එම ප්‍රදේශය පත්වීමෙන් පසු එම පිළිරුව විනාශ කෙරුණි. නෝර්වේ සටන් විරාම කාලය අතරතුර 2003දී නැවත එම පිළිරුව ගොඩනැගුණි. අවසාන වරට යුද්ධය ආරම්භ වීමෙන් පසු 2007දී ශ්‍රී ලංකා හමුදාව මේ පිළිරුවට පහර දී නටබුන් කෙළේය. අවසානයේ ලංකා රජය යුද්ධය නිශ්චිතව ජය ගැනීමෙන් පසු 2010 මාර්තු 21 වැනි දා, එම ස්ථානයේ ඉතිරිව තිබූ ඔහුගේ ස්මාරක කුලුනත් ගලවා දැමුණි.
තිලීපන්ගේ උපවාසය පසුපස පැවති ඉල්ලීම් එකක්වත් දෙමළ ජනතාව සම්බන්ධයෙන් ගත් විට අසාධාරණ නැත. එසේම ඒ එක ඉල්ලීමක්වත් ලංකා රාජ්‍යය පැත්තෙන් ගත් විට ප්‍රායෝගික නැත. සටනක දී ඉදිරිපත් කෙරෙන ඉල්ලීම්වල සාධාරණත්වයක් තිබූ පමණින්, යොදා ගන්නා සටන් ක්‍රමයට සුජාතභාවයක් ලැබෙන්නේ නැත. ආපස්සට හැරී බලන විට, දෙමළ ජනතාවගේ සිත්සතන් තුළ අදටත් වීර දිවි පිදූවෙකුගේ මතකයක් වශයෙන්, විය යුතු පරිද්දෙන්ම රැඳී සිටීම හැරුණු කොට, දෙමළ ජනතාවගේ උන්නතියට ඔහුගෙන් සැපයුණු විශේෂ සේවාවක් ගැන සිතා ගැනීම උගහට ය. එසේ වෙතත්, තිලීපන් මගේ ගෞරවයට ලක්වෙයි. ඒ වෙන කිසිවක් නිසා නොව, ප්‍රචණ්ඩ ක්‍රියාවකින් වුව, තමාගේ නොවන කිසි ජීවිතයක් බිල්ලට නොගෙන තමාගේ ජීවිතයම පමණක් බිලි දීම නිසා ය. ඒ අරුතින් ඔහු සාම්ප්‍රදායික ‘ත්‍රස්තවාදියෙක්’ නොවේ.
ජනවාරි මාසයේ සිට ලංකාවේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයෝ අධ්‍යාපනික උපවාසයක නිරත වෙති. වෛද්‍ය අධ්‍යාපනය වැනි බැරෑරුම් විෂය පථයක් තුළ අඩවසරක අධ්‍යාපනය අහිමි කර ගැනීමක් යනු සුළුපටු දෙයක් නොවේ. එහෙත්, තිලීපන් සහ මේ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික උපවාසය අතර විශාල වෙනසක් තිබේ. තිලීපන් සමස්ත දෙමළ ජනතාව වෙනුවෙන් සිය ජීවිතය කැප කළ අතර වෛද්‍ය ශිෂ්‍යයන් අධ්‍යාපනය අහිමි කර ගනිමින් සිටින්නේ ඉතා පටු සහ සීමිත ඉලක්කයක් එල්ල කර ගනිමිනි. අනිත් අතට, ඒ අරගල දෙකේ මානුෂීය ගැඹුර තුළ පවතින අහස පොළොව වෙනස මොහොතකට පැත්තකින් තිබ්බොත්, මේ දෙක අතර වැදගත් සමානත්වයක් ද තිබේ. එනම්, සටන සහ උපාය ක්‍රමය අතර පැවතිය යුතු සංයෝජනීය හුය, අරගල ක්‍රම දෙක තුළම, ඉතා අවාසනාවන්ත සේ සිඳී තිබීමයි. මේ ලිපිය සඳහා තිලීපන්ගේ මරණය සැසඳීමක් වශයෙන් මා යොදාගත්තේ ඒ අරුතින් පමණි.
දැන් වෛද්‍ය සිසුන්ගේ පැත්තෙන් ප්‍රතිතර්කයක් මතුවෙන බව මම දනිමි. එනම්, තමන් සටන් කරන්නේත්, සමස්ත රෝගී ජනතාවකගේ ජීවිත අනතුරට හෙලීමේ අවදානමකින් අනාගතයේදී එම ජනතාව බේරා ගැනීම සඳහා වන බව ය. තවත් විදිහකින්, ඔවුන් කියන පරිදි, ‘හොර වෛද්‍යවරුන්’ බිහි වීමට එරෙහිව වන බව ය. තර්කයක් වශයෙන් එය පිළිගැනීමට මම මැලි නොවෙමි. එහෙත් ඒ එක කොන්දේසියක් යටතේ ය. එනම්, ‘හොර වෛද්‍යවරුන්’ බිහි වීම වැළැක්වීමේ වෙන කිසි ප්‍රතිකර්මයක් නැත්නම් පමණක් වෛද්‍ය ශිෂ්‍ය පංති වර්ජනය යුක්ති සහගත කළ හැකි බව ය.
තමන් රජයේ වෛද්‍ය පීඨයකට තෝරා ගත් ප්‍රමිතියෙන්ම හෝ ඊට උසස් ප්‍රමිතියකින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශිෂ්‍යයන් තෝරා ගැනෙන්නේ නම් ද, එම ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය තමන්ගේ අධ්‍යාපනයට වඩා බාල නොවන්නේ නම් ද, අවසානයේදී තමන් සමත් වන විභාගයෙන්ම හෝ ඊට සමාන විභාගයකින් අර කියන පෞද්ගලික වෛද්‍ය ශිෂ්‍යයනුත් සමත් වන්නේ නම් ද ප්‍රශ්නය නිරාකරණය කරගත හැකි වන්නේය. ඒ කිසි විකල්පයක් සැලකිල්ලට නොගෙන හෝ ඒවා ප්‍රතික්ෂේප කරමින්, ‘සමස්ත ජනතාවකගේ ජීවිත අනතුරට හෙලීමේ අනාගත අවදානමට එරෙහිව’ තමන් දැන් සටන් කරන්නේ යැයි කීම බොල් තර්කයකි.
රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ප්‍රජාව සිහියේ තබාගත යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. ඉහත කී ‘සමස්ත ජනතාවක් සඳහා වන සටන’ තුළ තමන් විසින් අසාධාරණ සේ ගිලටීනයට දක්කනු ලැබූ ශිෂ්‍ය ප්‍රජාවක් ද සිටින බව ය. එය දත්තමය වශයෙන් පැහැදිලි කළොත් මෙසේ ය: අපොස උසස් පෙළ ඉහළ ලකුණු අනුපාතිකය අනුව රජයේ විශ්වවිද්‍යාලයකට තෝරා ගැනෙන්නේ විභාගය සමත් ශිෂ්‍යයන්ගෙන් සියයට 40ක් පමණි. එනම්, ඉහළ ලකුණු අනුපාතිකයක් ඇති සියයට 60කට විශ්වවිද්‍යාලයේ දොරටු වැසෙන බව ය. ඒ අනුව, 2009දී ‘ඒ’ තුනක් ඇති ශිෂ්‍යයන් 164 දෙනෙකු රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් කර නොගැනුණි. එහි තේරුම, එදා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලත් ශිෂ්‍යයන්ගෙන් අඩු වශයෙන් 164 දෙනෙකු එම ස්ථානය හිමි කරගනු ලැබුවේ, තමන්ට වඩා සුදුසුකම් ඇති ශිෂ්‍යන් 164 දෙනෙකුගේ ස්ථානය පැහැර ගැනීමෙන් බව ය. එසේම, ‘ඒ’ එකක් සහ ‘බී’ දෙකක් ඇති ශිෂ්‍යයන් 1464 දෙනෙකු ඒ වසරේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනුණේ නැත. එහි අරුත වන්නේ, එදා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලත් ශිෂ්‍යන්ගෙන් අඩු වශයෙන් තවත් 1464 දෙනෙකු එම වරම හිමි කරගනු ලැබුවේ තමන්ට වඩා සුදුසුකම් ලත් තවත් ශිෂ්‍යයන් 1464 දෙනෙකුගේ ස්ථානය පැහැර ගැනීමෙන් බව ය. මේ නිසා වර්තමාන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවෙන් විශාල ප්‍රමාණයක්, අනුන් සතු ස්ථානයක් පැහැර ගැනීමේ ‘වාසනාව’ ලද්දන් ය.
තමන් විසින් එසේ ස්ථානය අහිමි කරනු ලැබූ අවාසනාවන්තයන්ගේ ඉරණම සමඟ තමන්ගේ ‘වාසනාව’ ගැට ගැසී ඇති බව, රාජ්‍ය විශ්වවිද්‍යාල වෛද්‍ය ශිෂ්‍යයන් සිහියේ තබා ගත යුතුය. මෙය, වෙනත් ප්‍රශ්නවලට අමතරව, මානුෂීය ප්‍රශ්නයක් වශයෙන් මා සලකන්නේ එබැවිනි. රජයේ වෛද්‍ය ශිෂ්‍යයන් උත්සාහ කළ යුත්තේ තමන් වෙත පැවරී ඇති ඒ සදාචාරමය වගකීමෙන් අත සෝදා ගැනීමට නොව, තමන් විසින් ‘අවාසනාවන්තයන්’ බවට පත් කළ ඒ ශිෂ්‍ය ප්‍රජාවට අතහිත දීමටයි. ඒ අනුව, ඔවුන්ගේ (පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ) අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයට විසඳුමක් සෙවිය යුතුය. හෙවත්, දරුවා සේදූ කුණු වතුර බේසම වීසි කළ යුතුවා මිස දරුවා වීසි නොකළ යුතු බව අවබෝධ කර ගත යුතුය.
1970 දශකයේ, විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත්වීමත් සමග ලංකාවේ විශ්වවිද්‍යාල තුළ අසහනකාරී තත්වයක් ඇති වුණි. එහිදී, සෑම විශ්වවිද්‍යාලයකම පාහේ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍යයෝ විවිධ අරගලවල නිරත වූහ. පෙළපාලි පැවැත්වූහ, පංති වර්ජන සංවිධානය කළහ. ඒ කිසි අවස්ථාවක ලංකාවේ එක වෛද්‍ය පීඨයක්වත්, සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවේ අරගල සමග ඈතින්වත් ඇයිහොඳයි කම් පැවැත්වූයේ නැත. මගේ මතකයේ හැටියට, පොදු ශිෂ්‍ය අරගලවලට සහභාගී වුණේ, කොළඹ වෛද්‍ය පීඨයේ එදා ශිෂ්‍යයන් වශයෙන් සිටි, පසු කලෙක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වූ, අද පෞද්ගලික අංශයේ වෛද්‍ය අධ්‍යක්ෂවරයෙකු වන දොස්තර සුනිල් රත්නප්‍රිය සහ කොළඹ වෛද්‍ය පීඨයේ වත්මන් මහාචාර්ය සරෝජ් ජයසිංහ වැනි දෙතුන් දෙනෙකු පමණි. 1976 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වීරසූරිය ශිෂ්‍යයා පොලිස් වෙඩි පහරින් ඝාතනය කළ අවස්ථාවේ ඊට එරෙහිව කොළඹ වෛද්‍ය පීඨය විරෝධතාවකට සහභාගී කරවා ගැනීමට මේ ලියුම්කරු එදා ශාස්ත්‍ර පීඨ ශිෂ්‍යයෙකු වශයෙන් ගත් උත්සාහය අවසානයේ අතහැර දැම්මේ, සමස්ත වෛද්‍ය ශිෂ්‍ය ප්‍රජාව ගැනම ඇති කරගත් බලවත් කලකිරීමක් ද සමගිනි.

වෛද්‍ය වෘත්තිකයන්ගේ තත්වයත් මීට සමානයි. අද ශිෂ්‍ය පෙළපාලියක් මැඩලීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ පමණින් දවසක වැඩ වර්ජනයක් දියත් කරන වෛද්‍යවරුන් ලංකාවේ සමස්ත වෘත්තීය සමිති අරගලයක් සඳහා මොන විදිහකින්වත් මීට පෙර දායක වී ඇති බවට සාක්ෂි නැත. එසේ තිබියදී, අද වන විට ලංකාවේ වැඩියෙන්ම වැඩ වර්ජන කරන වෘත්තීය ක්ෂේත්‍රය බවට වෛද්‍ය ප්‍රජාව පත්ව තිබේ. පසුගිය කාලයේ, තම දරුවන්ට සුපිරි පාසල් ඉල්ලමින් ද, තවත් වරක් වෛද්‍යවරයෙකුගේ මාරුවක් සම්බන්ධයෙන් පවා වැඩ වර්ජන කරන තත්වයට හෙවත් හොස්ස ළඟින් මැස්සෙකුටවත් යාමට ඉඩ නොදෙන තත්වයකට වෛද්‍ය වෘත්තිකයන් පිරිහුණේ කෙසේද?
දේශපාලනික න්‍යාය පත්‍රයක් වෛද්‍ය වෘත්තිකයන්ගේ සංවිධාන ව්‍යුහය තුළට ක්‍රමයෙන් කාන්දු වීමෙනි. අද වන විට සමස්ත වෛද්‍ය ශිෂ්‍ය ප්‍රජාව සිය ග්‍රහණයට ගෙන ඇති මේ වෛද්‍ය වෘත්තීය සමිතිය, අසරණ ශිෂ්‍යයන්ව තමන්ගේ දේශපාලනික අභිමතාර්ථ සඳහා වන මිනිස් බිලි පූජාවක් සේ ගෙන යාගයක් කරති. හරියට, එදා ප්‍රභාකරන් විසින් තිලීපන් පාවිච්චියට ගත්තා සේ ය.■