Wednesday, 23/8/2017 | 8:08 UTC+0
රාවය

ජනවාරි 8 කුමන්ත්‍රණයක් වුණේම නැද්ද?

විශේෂ ලියුම්කරුවකු විසිනි.

දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවක් පවත්වමින් හා පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, 2015 ජනවාරි 8වැනිදා හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණු බවට පළවුණු වාර්තා අසත්‍ය බව කිව්වේය. කුමන්ත්‍රණය ගැන විදේශ ඇමති මංගල සමරවීර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ නමුත්, නඩු පවරන්නට තරම් දෙයක් නැතැ’යි නීතිපතිවරයා පොලිසියට දන්වා ඇති බැවින් කුමන්ත්‍රණ කතාව අමූලික බොරුවක් බව ගම්මන්පිල මහතාගේ ස්ථාවරයයි. පසුගිය ජුනි 4වැනිදා ලක්බිම ඉරිදා සංග්‍රහයට ‘ජනවාරි 8 හමුදා කුමන්ත්‍රණ කතාව අතේ රෝලක්’ යන මැයෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන ගම්මන්පිල මහතා එහිදී මෙසේ කියයි. ‘2015 නොවැම්බර් 13දා මා නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයාගෙන්, මංගල සමරවීර ඇමතිවරයා කළ පැමිණිල්ලේ ප්‍රගතිය ගැන විමසුවා. 2016 මාර්තු 9 දින එයට පිළිතුරු ලෙස ඔහු පැවසුවේ, සියල්ලන්ගෙන් ප්‍රකාශ ලබාගෙන නීතිපතිට යොමුකළා කියලා. නීතිපති උපදෙස් නොලැබීමෙන් එය අතරමග නතරවී ඇති බව ඔහු කිව්වා. අනතුරුව මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පැතූයේ කවදාද, නීතිපති උපදෙස් දුන්නේ කවදාද, එසේ උපදෙස් ලබාදී නැත්නම් ඊට හේතුව කුමක්ද යන්න මා අධිකරණ ඇමතිගෙන් විමසා සිටියා. එයට පිළිතුරු 2017 මැයි 26 අධිකරණ ඇමති දුන්නා. මෙතරම් දිගු කාලයක් නීතිපති පිළිතුරු නුදුන්නේ මංගල සමරවීර ඇමතිවරයා නිරුවත්වීම වළක්වන්නයි. නමුත් අනාගතෙයේදී මෙම ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුම වූ බැවින් නීතිපති පොලිසියට පිළිතුරක් යවා තිබුණා. නීතිපතිගේ පිළිතුර, ‘ලබා දුන් තොරතුරු මත නඩු පැවරීමට ප්‍රමාණවත් කරුණු නැහැ. වෙනත් තොරතුරු ඇත්නම් සලකා බැලීම සඳහා එවන්න.’ කියායි. මංගල සමරවීර ඇමතිවරයාගේ පැමිණිල්ල අතේ පත්තුවෙන රෝලක්, හිතලුවක් බව මේ වන විට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා.’
ගම්මන්පිල මහතා කියන විදියට, කුමන්ත්‍රණයක් සිදුවී නැත. එය අතේ රෝලකි. එහෙත්, 2015 ජනවාරි 18 රාවය පුවත්පත ‘මහජන බලයට පිටුපා රාජපක්‍ෂ බලයේ රඳවාගැනීමට කළ පැය 72 මෙහෙයුම’ මැයෙන් යුතුව දීර්ඝ විස්තරයක් පළකළේ ජනවාරි 8 වැනිදා රාත්‍රියේ අසාමාන්‍ය ලෙස හමුදාව කොළඹ හා අවට විවිධ ස්ථානවල ස්ථානගත කර තිබීම ගැනය. රාවයේ පළවුණු විස්තරයෙන් කොටසක් මෙසේය.
‘රාවයට වාර්තා වන අන්දමට මේ වැඩපිළිවෙළ පසුපස සිටි ප‍්‍රධානීන් වන්නේ ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එස්. පෙරේරා හා මේජර් ජෙනරාල් පී. සමරසිංහය. වැඩසටහනේ තිරපිටපත ගෝඨාභය රාජපක්‍ෂගේය. එය හැඳින්විය හැක්කේ ‘පැය 72 මෙහෙයුම’ හැටියටය.
මෙහෙයුමේ වැඩපිළිවෙළ අනුව, ජනාධිපතිවරණය පැවැත්වුණු 8වැනිදා රාත‍්‍රිය වන විට කොළඹ හා රට පුරා ඉතා වැදගත් ස්ථානවල හා ඒ ආශි‍්‍රතව හමුදා ඛණ්ඩ ‘ස්ටෑන්ඞ්බයි’ රැඳවිය යුතුය. රූපවාහිනී විකාශන කුලුනු, රජයේ රූපවාහිනී ආයතන, දුරකතන සේවා ආයතන වැනි විශේෂ ස්ථාන ඒ අතර විය. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල මහින්ද රාජපක්‍ෂට අවාසි සහගත වන්නේ නම්, මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් කෙරෙමින් පවතින ප‍්‍රතිඵල නිකුත්කිරීම බලය යොදා නැවැත්විය යුතු අතර, එවකටත් ධුරයේ සිටින රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් රට පුරා හදිසි නීතිය පැනවිය යුතුය. ඉන්පසු රඳවා තැබුණු හමුදා ඛණ්ඩ මහාමාර්ගයට හා අනෙකුත් වැදගත් ස්ථානවලට පැමිණෙන අතර ඒවායේ බලය අල්ලාගත යුතුය.
මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වාසිසහගත වන පරිදි නිකුත් වෙමින් පවතින ප‍්‍රතිඵල නැවැත්වුවහොත් ඇතිවිය හැකි මහජන නැගිටීම බලය යොදා මැඬපැවැත්වීම කුමන්ත‍්‍රණකරුවන්ගේ බලාපොරොත්තුව විය. පැය 72ක කාලයක් එක දිගට කොළඹ හා රට පුරා ජනතාව එක්රොක්වීම නවතාගෙන සිටියහොත් ජනතා බලය හා උණුසුම දියවී යනු ඇති අතර ඉන්පසු හමුදාවේ සහාය ඇතිව මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් ජනාධිපති ධුරයේ තබාගත හැකිය යන්න ඔවුන්ගේ තක්සේරුව වී තිබුණි. තවදුරටත් ධුරයේ රැඳීසිටීම ගැන නීත්‍යනුකූල පසුබිමක් ඇතිකිරීම සඳහා වහාම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නට නියමිතව තිබුණු අතර, රාජපක්‍ෂ මහතාට හිතවත් අගවිනිසුරුවරයා අතින්, තවත් අවුරුදු දෙකක කාලයක් රාජපක්‍ෂ මහතාට බලයේ සිටිය හැකි බවට මතයක් ප‍්‍රකාශ කරවාගන්නට නියමිතව තිබිණි. (තවත් අවුරුදු දෙකක් ජනාධිපතිවරයාට ධුරයේ සිටිය හැකි බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ බෙංගමුවේ නාලක හිමියන් ලවා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකොට, පෙර සූදානමක් ලෙස තබාගත නොහැකිවීම සම්බන්ධයෙන් කුමන්ත‍්‍රණයේ සැලසුම්කරුවන් කනගාටුවට පත්ව තිබුණු බවද වාර්තා වෙයි. එම අතපසුවීම නොවී නම්, නාලක හිමියන් විසින් පවරන ලද නඩුවේ තීරණය පහසුවෙන්ම ජනවාරි 9වැනිදා නිකුත්කරවා ගත හැකිව තිබුණු බව ඔවුන්ගේ මතය වී තිබිණි.)..
.. මේ සැලැස්ම සාර්ථක කරගත හැකි වන පරිදි හමුදා භටපිරිස් රටේ වැදගත් තැන් සියල්ලේම පාහේ රඳවා තිබුණු බවට තහවුරු කරන ලද වාර්තා තිබේ. මාණ්ඩලික ප‍්‍රධානී ජගත් ජයසූරියගේ බලකාය වන සන්නාහ සන්නද්ධ බලකායේ මූලස්ථානය වන මෝදර රොක්හවුස් කඳවුර, ජනාධිපතිවරණය දා රැයෙහි එවැනි ස්ටෑන්ඞ්බයි තත්ත්වයේ භටපිරිස් රඳවා තිබුණු එක් ස්ථානයකි. කඳවුර තුළ ගාල්කර තිබූ සන්නාහ සන්නද්ධ රථ කඳවුරෙන් පිටතට ගෙනවුත් ප‍්‍රදර්ශනකාරී ලෙස තබන හැටියට බි‍්‍රගේඩියර් නිවුන්හැල්ල විසින් එහි ස්ථානභාර නිලධාරියාට කරන ලද නියෝගයක් එම නිලධාරියා විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලද බවද වාර්තා වෙයි. හමුදා සන්නාහ සන්නද්ධ රථ කොළඹ නගරය පුරා සංචාරය කරවීමට සැලැස්වීමෙන් හා ස්ථානගත කිරීමෙන් නැග එන මහජන බලයක් පහසුවෙන් දුර්වල කළ හැකි බව හා මැඬලිය හැකි බව සාමාන්‍යයෙන් පිළිගැනෙන දෙයකි.
මෙලෙස අඩුම ගණනේ හමුදා බැටෑලියන (බැටෑලියනයකට සාමාන්‍යයෙන් 800 සිට 1100 දක්වා සෙබළු පිරිසක් අයත්වෙති.) 10ක් කොළඹ වටකොට ස්ටෑන්ඞ්බයි තත්ත්වයෙන් තබා තිබිණි. ඉන් බැටෑලියන 4ක් සිටියේ සිවිල් ඇඳුමෙනි. තවත් බැටෑලියනයක් මරදාන ටි‍්‍රපොලි වෙළෙඳ සංකීර්ණයේ රඳවා තිබිණි. තවත් එකක් රැඳවූයේ මීගමුවේ කඩොල්කැලේ නම් ප‍්‍රදේශයේය. එහි බැටෑලියනයක් සිටින්නේ ඇයිදැ’යි ඇසූවකුට ලැබුණු පිළිතුර වූයේ පාප්වහන්සේගේ ගමනට ආරක්‍ෂාව සඳහා එලෙස රැඳවූ බවය.’
මේ විස්තරයේ මුලින්ම එන ගජබා රෙජිමේන්තුවේ ‘මේජර් ජෙනරාල් එස්. පෙරේරා’ යනු මේ වන විට විශ්‍රාමික නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාය. ජුනි 4වැනිදා ලක්බිම පුවත්පත ඔහුගෙන්ද ප්‍රකාශයක් ඉදිරිපත්කර තිබුණි. මෙන්න, ඒ ප්‍රකාශයේ වැදගත් කොටස්. ‘ඇත්ත වශයෙන්ම එම අවස්ථාවේදී සිදුවුණේ ක්‍රියාන්විත නියෝග අනුව ක්‍රියාන්විත සටහන් පිළිබඳ කටයුතු කිරීමක්. හැම දේකටම අවශ්‍ය ක්‍රියාන්විත නියෝග ඒ වන විටත් ක්‍රියාත්මක කර තිබුණා. යුද හමුදාව පමණක් නෙවෙයි ත්‍රිවිධ හමුදාවම ඊට සම්බන්ධ වුණා. ප්‍රථම ක්‍රියාන්විතයේ සටහන් ආවේ පොලිස්පතිවරයාගෙන්. එය යොමුකර තිබුණේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජගත් ජයසූරිය වෙතයි. අනතුරුව එතුමා පොලිසිය හා ත්‍රිවිධ හමුදාව කැඳවූවා. ඒ පොලිස්පතිගේ ඉල්ලීමට අනුවයි. පසුව හමුදාපතිවරුන් විසින් මෙම ක්‍රියාන්විත නියෝගය නිකුත් කළා. කොළඹ ප්‍රදේශය භාර මේජර් ජෙනරාල් උභය මැදවල හමුදාපතිගේ නියෝග අනුව තමා යටතේ සිටි බලසේනා සූදානමින් තැබුවා.’
මේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ කුමක්ද? හමුදාපතිගේ නියෝග අනුව කොළඹ ප්‍රදේශයේ හමුදා බලසේනා සූදානමින් තැබූ බව නොවේද? ‘හැම දේකටම අවශ්‍ය ක්‍රියාන්විත නියෝග ඒ වනවිටත් ක්‍රියාත්මක කර තිබුණා.’ මේ කියන්නේ හමුදාව ඕනෑම දෙයකට සූදානම්ව සිටි බව නොවේද? සුමේධ පෙරේරාගේ කතාවෙන් කියවෙන දේ උදය ගම්මන්පිලගේ අහිංසක කතාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඡන්ද ගණින රාත්‍රියේ මෙලෙස හමුදා ස්ථානගත කිරීමක් හෝ ක්‍රියාන්විත නියෝග හෝ නීත්‍යනුකූලව අවශ්‍යවී තිබුණේද?
ඒ ගැන අදහසක් ගැනීමට මලිත් ජයතිලක ලියූ ‘මා දුටු ජනවාරි 8’ පොත කියවිය යුතුය.
‘.. මැතිවරණ කොමසාරිස්වරයා සමඟ පැවති මෙම සාකච්ඡාවේදී චන්ද්‍රිකා මැතිනිය විසින් විය හැකි හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කළේය. එහෙත් එය කොමසාරිස්වරයා අවඥාවෙන් බැහැර කිරීමට උත්සාහ ගනිද්දී, එවිට කොළඹ නගරයේ හමුදාව ස්ථානගත කිරීමට හමුදා මූලස්ථානය විසින් සැකසූ ආඥාපත්‍රයක පිටපතක් සමඟ විශ්‍රාමික හමුදා නිලධාරීන් යළි සේවයට කැඳවීමේ නියෝගයක පිටපතක් චන්ද්‍රිකා මැතිනිය කොමසාරිස්වරයාට ඉදිරිපත් කළාය. ඒ සමඟම කොමසාරිස්වරයා යළි තිගැස්මකට ලක්වුණා වැනිය. තමා මේ ගැන හමුදාපතිවරයා ගෙන්වා සාකච්ඡා කරන බව එහිදි කොමසාරිස්වරයා පොරොන්දු විය.’ (මා දුටු ජනවාරි 8, මලිත් ජයතිලක 2016, 488 පිටුව)
පොතේ තවත් තැනක මීට අදාළ ඊළඟ අවස්ථාව ගැන කියැවෙයි.
‘ජනාධිපතිවරණයට පෙර දින වන විට කොළඹ නගරය තුළට හමුදාව කැඳවීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමේ අරමුණෙන් නිශාන්ත වර්ණසිංහ මැ.කො. කාර්යාලයට ගියේය. නිශාන්ත තමා සතු තොරතුරු කොමසාරිස්ට දන්වා සිටියත් කොමසාරිස්වරයා ඒ සියල්ල අවඥාවෙන් බැහැර කිරීමට මෙන් ප්‍රතිඋත්තර දුන්නේය. කෙසේ වෙතත් මේ අතරතුර හදිසියේම හමුදා මූලස්ථානයෙන් පැමිණි යුද හමුදාපතිවරයාගේ නියෝජිතයෙක් කොමසාරිස්වරයා ඉදිරියේ පෙනීසිටියේය. එම හමුදා නිලධාරියා රැගෙනවිත් තිබුණේ මැතිවරණ දිනයේදී කොළඹ නගරය තුළට හමුදාව කැඳවීමටත්, එම භට පිරිස් ස්ථානගත කිරීමටත් අදාළ ආඥාපත්‍රයට, මැතිවරණ කොමසාරිස්වරයාගේ නිල අනුමැතිය ලබාගැනීමට අදාළ ලියවිල්ලය. මේ වන විට කොමසාරිස්වරයා තම උපරිම කතා විලාසය යොදාගනිමින් නිශාන්තට කියමින් සිටියේ කොළඹට හමුදාව එන කතාව බොරුවක්, කටකතාවක් පමණක් බවය. නමුත් මෙම දෛවෝපගත සිදුවීමත් සමඟ කොමසාරිස්වරයා මහත් අපහසුතාවට පත්විය. වහා පුටුවෙන් නැගිට සිටි කොමසාරිස්වරයා නිශාන්ත ඉදිරියේම හමුදා නිලධාරියාට මහ හඬින් කෑගැසීය. ‘හමුදාව ගේනවාද නැද්ද කියලා තීරණය කරන්නේ මම මිසක් හමුදාපති නෙවෙයි.’ යනුවෙන් ඔහු පැවසීය. ඒ සමඟම කොමසාරිස්වරයා පොලිස්පති ඉලංගකෝන්ට දුරකතන ඇමතුමක් ලබාගත්තේය. ඔහු පොලිස්පතිට, කොළඹ නගරයේ ආරක්‍ෂාවට සම්පූර්ණයෙන්ම පොලිසිය යෙදවිය යුතු බවත් මැතිවරණ කාර්යාලයේ ආරක්‍ෂාවට විශේෂ කාර්ය බලකාය යෙදවිය යුතු බවත් ඉහළ ස්වරයෙන්ම පැවසීය. තවද කිසිදු ලෙසකින් හමුදාව දැමිය නොහැකි බවත් ඔහු තරයේ කියාසිටියේය.
පොලිස්පති සමඟ කළ දුරකතන සංවාදයෙන් පසු නිශාන්ත දෙසට යොමුවූ කොමසාරිස්වරයා ‘මෙතන මොකක් හරි දෙයක් වෙන්න වගේ හදන්නේ’ යනුවෙන් ඔහු තුළවූ සැකයද එළිදැක්වීය. ඒ සමඟම නිශාන්තගේ පැමිණිල්ල සම්පූර්ණයෙන්ම පිළිගැනීමටද කොමසාරිස්වරයා කටයුතු කළේය. නිශාන්තගේ එම පැමිණිල්ලේ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, නිදහස් චතුරස්‍රය හා මරදාන ටි්‍රපොලි යන ස්ථානවල අනවශ්‍ය පරිදි ගජබා රෙජිමේන්තු සෙබළුන් ස්ථානගතවී සිටින බව සඳහන් විය. නිශාන්ත තවදුරටත් කොමසාරිස්වරයාට කියා සිටියේ ගජබා මෙහෙන් ලෑස්ති වෙනකොට සිංහ අනෙක් පැත්තෙන් සිටිනු ඇති බවයි.’ (493 පිටුව)
මේ විස්තරයෙන්ද පැහැදිලි වන්නේ කුමක්ද? අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ඈ ව්‍යවස්ථාවට අනුව, නිදහස් සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට අහිතකර ක්‍රියා, සිද්ධි වැළැක්වීම හෝ පාලනය සඳහා සන්නද්ධ හමුදා යෙදවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම (එවකට කොමිසම නොතිබුණු නිසා මැතිවරණ කොමසාරිස්) ජනාධිපතිවරයා වෙත නිර්දේශ කළ යුතුය. එහෙත්, කොළඹ වටකරගෙන හමුදාව ස්ථානගත කර තිබුණේ මැතිවරණ කොමසාරිස්වරයා එවැනි කිසිම නිර්දේශයක් කර නොතිබුණ තත්ත්වයක් යටතේය. හමුදාව යෙදවීමට තරම් ආරක්‍ෂාව පිළිබඳ අර්බුදයක් මැ.කොමසාරිස්වරයාට නොතිබුණා නම්, හමුදාව එසේ රැඳවූයේ ඇයි?
ලක්බිම පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවේදී ගම්මන්පිල මහතා තවදුරටත් මෙසේ කියයි. ‘අලුයම එකහමාර වන විට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පරාජය වී ඇති බව අපට වැටහුණා. ඡන්ද මධ්‍යස්ථානවලින්ද එජාප ගණන් කිරීමේ නියෝජිතයන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බව වාර්තා වුණා. ඒ අනුව අපි රැස්වුණේ කළ යුත්තේ කුමක්ද යන්න සාකච්ඡා කිරීමටයි. මෙවැනි දෑ හතරවටින් වාර්තාවෙද්දී අප දීර්ඝව සාකච්ඡා කළේ ඇඳිරි නීතිය පැනවිය යුතුද නැද්ද යන්නයි.’ ගම්මන්පිල මෙහිදී මහතා කුමක් කිව්වත්, ඇඳිරි නීතිය පැනවීමට හේතුවන තරමේ කිසිම සැලකිය යුතු අවුලක් ජනවාරි 8 වැනිදා රාත්‍රියේ රටේ කිසිම තැනකින් වාර්තා නොවුණු බව එදා ඇස් කන් ඇරගෙන සිටි සියල්ලෝම දනිති. ඒ නිසා, මේ ඇඳිරි නීතිය පැනවීමේ වුවමනාව හුදෙක් වෙනත් කතාවක කොටසක් බව නම් පැහැදිලිව පෙනෙයි. ඒ බව ගම්මන්පිළ මහතා නොදැන සිටින්නටද ඇත.
කොහොම වුණත්, කුමන්ත්‍රණ සැලසුම හකුළාගන්නට සිදුවිය. ඒ, ප්‍රතිඵල නවත්වා, ඇඳිරි නීතිය හා හදිසි නීතිය පනවා, හමුදාව පාරට කැඳවා, මහින්ද රාජපක්‍ෂ තව අවුරුදු දෙකක් ජනාධිපති ධුරයේ තබාගැනීමේ කුමන්ත්‍රණ සැලැස්මට එම රාත්‍රියේ අරලියගහ මන්දිරයට කැඳවා සිටි පොලිස්පති එන්කේ ඉලංගකෝන්, හමුදාපති දයා රත්නායක මෙන්ම නීතිපති යුවන්ජන් විජේතිලකද එකහෙළා විරුද්ධ වීම නිසාය. නීතිපති යුවන්ජන් විජේතිලක මේ හමුවට ගියේ, නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියකුගෙන් හා නිලධාරිනියකගෙන් ඔවුන්ගේ නීතිමය මතයද ලබාගෙනය. ඔවුන් දෙදෙනාගේ මතය වී තිබුණේ, ඇඳිරි නීතිය- හදිසි නීතිය පනවා, ප්‍රතිඵල කල් දමා, අවුරුදු දෙකක් මහින්ද ජනාධිපති ධුරයේ තැබීමට කිසිම නීතිමය ඉඩක් නැති බවය. දැඩි මහින්ද භක්තිකයකු වුණත්, ජනාධිපතිවරණ කාලය තුළ ප්‍රසිද්ධියේම මහින්ද රාජපක්‍ෂ දිනවීම සඳහා හමුදාව තුළ රැස්වීම් (එරදදච ්ාාරුිසබට) පැවැත්වුවා වුණත්, යුද හමුදාපති දයා රත්නායකද මේ විනාශකාරී සැලසුමට විරුද්ධ විය.
ඒ හිටපු හමුදාපති දයා රත්නායක, 2015 ජුනි 16 වැනිදා ‘සිරස’ රූපවාහිනියේ ‘මුහුණට මුහුණ’ වැඩසටහනට සහභාගිවිය. ජනවාරි 8 කුමන්ත්‍රණය ගැන නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු එහිදී මෙසේ කීවේය.
‘ඇත්තෙන්ම මං ඒ අවස්ථාවේ එතැන හිටියා. මං සමාජය පිළිබඳව, රට පිළිබඳව අවබෝධයක් තියෙන නිලධාරියෙක් හැටියට මම හිතනවා, මම සහ අපේ හමුදා කණ්ඩායම එතැන හිටපු එක අපේ රටට ඉතාම හොඳ දෙයක් කියලා. ඒක එහෙම කියන්න හේතුව, ඒ අවස්ථාවේ සිදුවෙච්ච සිදුවීම්වලදී අපේ දායකත්වය නිසා ඉතාමත්ම ලස්සනට, ඉතිහාසයේ කවදාවත්ම නොවූ විරූ ආකාරයට, ඉතාමත්ම හොඳට මේ බල මාරුව සිද්ධවුණා. ඒක වෙන්නේ නිකං ආවාට ගියාට ඉබේ නෙවෙයි, අපි සියලු දෙනාගේම ක්‍රියාකාරිත්වය නිසා කියලා මම විශ්වාස කරනවා. .. අපේ හමුදාව තරම් ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ආරක්ෂා කරගන්ට කැපකිරීම් කළ වෙන කිසිම සංවිධානයක් නැහැ… පහුගිය අවුරුදු තිහක කාලයේත් ජීවිත දානයෙන් කාය දානයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්නේත් හමුදාවයි. කිසිම විදියකින් අබමල් රේණුවකවත් ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. ඒවා නිකං අහම්බෙන් ඉබේ සිදුවෙන්නේ නැහැ. ඒ වෙලාවේ ආරක්ෂ‍ක ලේකම්තුමා හිටියා.. ආරක්ෂක මණ්ඩලයේ සියලුම දෙනා හිටියා. රටේ දේශපාලන මාරුවක් සිදුවෙනවා, එතකොට රටේ අස්ථාවරභාවයක්, ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.. ඒ වගේ වෙලාවට වැඩකරන්න ආරක්ෂක මණ්ඩලය එතැන හිටීම හොඳ දෙයක්. ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති හිටියා. දිනපු අය ඇවිත් අරලියගහ මන්දිරය වටකරයි කියලා අදහසක් ඒ අයගේ තිබුණා. රටේ සාමකාමී වාතාවරණයක් තියෙන බව බුද්ධි අංශ හරහා දැනගෙන ඒ සියලු දෙනා දැනුවත් කළේ මම. අපි ජනාධිපති ලේකම්තුමාට කිව්වා, ‘මේ වෙලාවේ හොඳම දේ තමා මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරන්න, ඉන්න ජනාධිපතිතුමා ජනතා මතයට හිස නමලා බලය භාරදීමට සූදානම් වෙනවා කියලා.’ ඒක සිදුවුණා. මේ තුළින් තිබුණු බැරෑරුම් තත්ත්වය අඩුවුණා. කාට වුණත් පුද්ගලයන්ට මේක බොහොම සංවේදී හැඟීම්බර අවස්ථාවක්. මේ වගේ වෙලාවක තීරණ ගැනීමට තමයි අපි පුරුදු පුහුණු කරලා තියෙන්නේ. ඒ නිසා ඒ අවස්ථාවේ කිසිම දේකට ප්‍රශ්නයක් නොවී ලස්සනට සිදුවෙන අයුරින් කටයුතු කරන්නට අපට හැකියාව තිබුණා.’
හිටපු හමුදාපතිගේ බැලූ බැල්මට පරෙස්සම් සහගත ලෙස පෙනෙන මේ කතාවෙන් පැහැදිලි වන්නේ කුමක්ද? 8 වැනිදා රාත්‍රියේ ‘බල මාරුව’ ලස්සනට සිදුවූයේ ඔහුත් හමුදා නිලධාරීනුත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි කැපවීමෙන් මැදිහත්ව කටයුතු කළ නිසා බවය. ‘ඒක වෙන්නේ නිකං ආවාට ගියාට ඉබේ නෙවෙයි, අපි සියලු දෙනාගේම ක්‍රියාකාරිත්වය නිසා කියලා මම විශ්වාස කරනවා.’ ඔහු  කියයි. ‘මම සහ අපේ හමුදා කණ්ඩායම එතැන හිටපු එක අපේ රටට ඉතාම හොඳ දෙයක්.’ යන්නෙන් පැහැදිලි වන්නේත් ඔවුන්එහි නොසිටියා නම් රටට හොඳ නොවන දෙයක් එහි සිදුවීමට ඉඩ තිබුණු බව නොවේද?

මේ කතා, අනුකතාවලින් හැදෙන සමස්ත කතාන්දරය කුමක්ද? මහින්ද රාජපක්‍ෂගේ බලය තවදුරටත් රඳවාගැනීමේ සැලැස්මක් තිබුණ බවත්, එය අර්ධ වශයෙන් ප්‍රායෝග ිකව ක්‍රියාත්මක කැරුණු බවත්, අවසානයේ නිලධාරීන් කිහිපදෙනකුගේ විරෝධය හමුවේ සැලැස්ම අකුළාගත් බවත් නොවේද?
කුමන්ත්‍රණ චෝදනාවට නඩු පවරන්නට තොරතුරු ප්‍රමාණවත් නැතැ’යි පොලිස් කටඋත්තර මත පදනම්ව නීතිපතිවරයා කී පමණින් සිද්ධියක් නොවුණු බවක් ඇඟවෙන්නේ නැත. අනෙක් අතට පොලිසිය කටඋත්තර ගත්තේ ඒ රාත්‍රියේ අරලියගහ මන්දිරයේ සිටි ගෝඨාභය රාජපක්‍ෂ, ජීඑල් පීරීස්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, අගවිනිසුරු හා උදය ගම්මන්පිල වැනි අයගෙන් නම්, තමන් කුමන්ත්‍රණයක් කළ බවට ඔවුන් කිසිවෙක් පොලිසියට කියාවිද? එසේම පොලිසිය, රජයේ නිලධාරීන්ද ඇතුළුව මේ සිදුවීමට සම්බන්ධකම් ඇති සියල්ලන්ගෙන්ම ප්‍රකාශ සටහන් කරගත් බවට සෑහීමට පත්විය හැකිද? ඒ අනුව බලන කල ගම්මන්පිල මහතා අල්ලාගෙන ඇත්තේ ලොකු චිත්‍රයකින් කෑල්ලක් පමණක් බව කිව යුතුය. ඔහු දැන හෝ නොදැන හෝ සිටින චිත්‍රයේ තවත් ලොකු කොටසක් තිබෙන්නේය. ඒ ගැන අදහසක් ගැනීමට ඉහත කරුණු ප්‍රමාණවත්ය.
මේ හමුදා සැලසුම ගැන පැහැදිලි කිරීමට ජනවාරි 7වැනිදා, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජගත් ජයසූරියගේ කාර්යාලයෙහිදී එක් රැස්වීමක් පැවැත්වුණු බවත්, ඊට මේජර් ජෙනරාල්වරුන් 7 දෙනෙකු, බි‍්‍රගේඩියර්වරුන් 8 දෙනෙකු හා පොලිසියේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු සහභාගිවුණ බවත් රාවය 2015 ජනවාරි 18වැනිදා ලිපියෙන් වාර්තා කළේය. එහි දෙවැනි රැස්වීම, ජනවාරි 8 වැනිදා සවස යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ කාර්යාලයේ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වුණු බවත්, පෙර දින රැස්වීමට සහභාගිවූ පිරිසම එදින ඊට සහභාගිවූ බවත් රාවය වාර්තා කළේය. ඒ රැස්වීමේදී පොලිසියේ ඉහළ නිලධාරීහු දෙදෙනා සැලැස්මට මුළුමනින්ම විරුද්ධ වූහ.
2015 මැයි අවසානයේ ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැත්වූ සාකච්ඡාවේදී, අරලියගහ මන්දිරයේ සිදුවූ මේ කුමන්ත්‍රණය ගැන පොලිස් පරීක්ෂණවලට සිදුවී ඇත්තේ කුමක්දැ’යි මාධ්‍ය ප්‍රධානියෙක් ප්‍රශ්න කළේය. ‘ඒකට කුමන්ත්‍රණයක් කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. ඒත්, මැතිවරණ ප්‍රතිඵල අත්හිටුවලා තවදුරටත් බලය රඳවා ගැනීම ගැන සාකච්ඡාවක් එතැන සිදුවුණු බව පැහැදිලියි. ඒ ගැන පොලිස් පරීක්ෂණ වාර්තාව තව ටික දවසකින් මට ලැබේවි.’යි ජනාධිපතිවරයා කීවේය.
දැන් ජනාධිපතිවරයාට පොලිස් පරීක්‍ෂණ වාර්තාව ලැබී ඇත්දැයි පැහැදිලි නැත. එහෙත්, ජනාධිපතිවරයා සොයා බැලිය යුත්තේ ඒ පොලිස් පරීක්‍ෂණය, සිදුවීමට අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ලත් තොරතුරු මත සිදුවුණාද, පොලිසියට ප්‍රකාශ දුන් පාර්ශ්ව කීවේ මොනවාද යන්නය. ඒ වෙලාවේ අරලියගහ මන්දිරයේ සිටි අය, ‘අපි නම් කුමන්ත්‍රණයක් කළේ නැතැ’යි එක හඬින් කියා ඇත්නම්, ඒ ප්‍රකාශ මත නඩු පවරන්නට හැකියාවක් නැති බව ඇත්තය. එහෙත්, කුමන්ත්‍රණයක් සිදු නොවුණු බව හා මහින්ද රාජපක්‍ෂ තවදුරටත් බලයේ තබාගැනීමට හමුදා සැලසුමක් නොතිබුණු බව නම් ඉන් කිසිසේත් අදහස් නොවේ.■

About