යහ පාලනයකින් තොරව ප්‍රශස්ත ආපදා කළමනාකරණයක් තිබිය නොහැකියි


nalaka

ආර්.කේ. ලක්ෂ්මන් (1921-2015) නිදහසින් පසු ඉන්දියාවේ බිහි වූ විශිෂ්ටතම කාටූන් ශිල්පියා ලෙස පිළිගැනෙනවා. වසර පනහකට වැඩි කාලයක් ඔහු සාමාන්‍ය ඉන්දියානු ජනයාගේ පීඩිත ජීවිත ගැන තියුණු ලෙස විග්‍රහ කැරෙන දේශපාලන කාටූන් දහස් ගණනක් නිර්මාණය කළා.

ලක්ෂමන්ගේ රසිකයකු වන මා සතුව ඔහුගේ කාටූන් එකතුවක් තිබෙනවා. පසුගි ය දිනවල මෙරට සිදු වූ මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම, ගංවතුර හා කඳු ආශ්‍රිත පෙදෙස් ගණනාවක් නාය යෑම පිළිබඳ මෙනෙහි කරන විට ලක්ෂ්මන්ගේ එක් ප්‍රකට කාටූනයක් මගේ සිහියට ආවා.
ආපදාවකින් පසු හෙලිකොප්ටර්වලින් විපතට පත් ප්‍රදේශවලට පැමිණ කිඹුල් කඳුළු සලන, අනේකවිධ පොරොන්දු දෙන දේශපාලකයන් මෙරට මෙන්ම ඉන්දියාවෙත් එමට සිටිනවා.
එවන් අවස්ථාවක විපතට පත් මිනිසෙක් තමන් හමුවීමට ආ හෙලිකොප්ටර් යාත්‍රිකයාට මෙහෙම කියනවා. “මහත්තයෝ අපට නියඟයකින් හෝ ගංවතුරකින් හානි වුණාට වඩා ලොකු ආපදාවක් වෙලා තියෙන්නේ වගකීම් විරහිත ආණ්ඩුව නිසායි”
ඇත්තටම මේ වචන ටික අපේ රටටත් අදාලයි. ආපදා කළමනාකරණයේ අඩුපාඩු එකින් එක විමර්ශනය කරන විට පෙනී යන්නේ ඒ සියල්ලට මූලික සාධකය නම් රාජ්‍ය පාලනයේ (governance) බරපතළ දුර්වලතා බවයි.
මෙය වත්මන් රජයට පමණක් එල්ල කළ හැකි චෝදනා නොවෙයි. මෑත දශකවල මෙරට රාජ්‍ය පාලනය කළ සියලු රජයන් මේ තත්ත්වයට වගකිව යුතුයි.
ආපදාවලින් සමස්ත සමාජය හැකි තරම් ප්‍රවේශම් කර ගැනීමට කරන ක්‍රමීය සැලසුම්කරණයට, ආපදා අවදානම් අවම කිරීම (disaster risk reduction)යයි කියනවා.
සොබාවික සම්පත් කළමනාකරණය හා ෘDRR සඳහා විද්වත් දැනුම, නිසි සැලසුම්, නව තාක්‍ෂණය හා මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍යයි. එහෙත් ඒවා පමණක් සෑහෙන්නේ නැහැ.
ඉහත කී සියල්ල ඒකරාශි කරන්නේත්, හරිහැටි ක්‍රියාත්මක වීම සහතික කරන්නේත් නිසි රාජ්‍ය පාලනයක් (governance) පවතී නම් පමණයි.
මෙහිදී පාලනය මා යොදන්නේ පුළුල් අරුතින්. විධායකය (ජනාධිපති, අගමැති හා කැබිනට් මණ්ඩලය), ව්‍යවස්ථාදායක හෙවත් පාර්ලිමේන්තුව මෙන්ම අධිකරණය යන රාජ්‍යයේ ත්‍රිත්ව පාර්ශ්වයන් තම තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු කිරීම අවශ්‍යයි. ඒ අතර මහජනයා අවදි වූ සිහියෙන් හා බුද්ධියෙන් යුතුව ක්‍රියා කළ යුතුයි.
මෙහිදී පළාත් පාලන ආයතන (අපේ රටේ නම් මහනගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා) ඉටු කරන කාර්යභාරය තීරණාත්මකයි. හදිසි අවස්ථාවල ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය ප්‍රාදේශීය මට්ටමේ තොරතුරු, සබඳතා හා ධාරිතාව ඇත්තේ වඩාත්ම බිම් මට්ටමේ පවතින මෙම පාලන තලයටයි.
එසේම දිගු කාලීනව ආපදා අවදානම් අවම කර ගැනීමට නිශ්චිත පියවර ගත හැක්කේ හා අධීක්‍ෂණය කළ හැක්කේ මේ මට්ටමින්.
අපේ රටේ පළාත් පාලන ආයතන ව්‍යුහය ගැන නිසි වැටහීමක් හා සංවාදයක් නැති තරම්. අප බොහෝ දෙනා පළාත් පාලන ආයතන ගැන සිතන්නේ වසරකට වරක් වරිපනම් බදු අය කරන, නිතිපතා කසළ ඉවත් කරන තන්ත්‍රයක් ලෙසින් පමණයි.
එහෙත් නීති හා රෙගුලාසි දෙස බැලූ විට පුළුල් වූත්, වැදගත් වූත් වගකීම් සමුදායක් පළාත් පාලන ආයතනවලට තිබෙනවා. මේවා දශක ගණනක් පුරා මෙරට ක්‍රියාත්මක කොට අත්දැකීම් ද ඔවුන් සතුයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන කුඩාම ඒකකය වන මේ ආයතන පණ ගන්වා ගත යුතුව තිබෙනවා.
මෙවර මෙන්ම 2016 මැයි මාසයේද අධික වර්ෂාපතනයේ හා ගංවතුරේ අහිතකර බලපෑම් උග්‍ර වූයේ අවිධිමත් සංවර්ධනය නිසායි.
සංවර්ධනය කී විට එක් වරම සිහිපත් වන්නේ අධිවේගී මාර්ග, කර්මාන්ත පුරයන් හෝ විශාල ඉදිකිරීම් වුවත් පෞද්ගලික මට්ටමෙන් ඉදි කැරෙන නිවාස, හෝටල් ආදියත් එයට ඇතුළත්. ගොඩනැගිලි ඉදිකිරීමේ අවසරයන්, අධීක්‍ෂණය හා සහතික කිරීම් පිළිබඳ වගකීම් ඇත්තේ පළාත් පාලන ආයතනවලටයි. (නිශ්චිත නාගරික ප්‍රදේශවල නම් නාගරික සංවර්ධන අධිකාරියට, UDA
අවිධිමත් සංවර්ධනය සිදුවන්නේ පවතින නීති, රෙගුලාසි හා ප්‍රමිතීන් ගැන නොතකා සමහරක් පුද්ගලයන්ට හා සමාගම්වලට අවසරයන් දීම හරහායි. මෙයට දේශපාලන හිතවත්කම් හෝ අල්ලස් හා දූෂණ හේතු විය හැකියි.
අන්තිමේදී ටික දෙනකු තම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා අයථා ලෙස ඉටු කර ගත්තද ආපදා අවස්ථාවන්හිදී බැට කන්නේ එකී ක්‍රියාවලට මුල් වූ අය පමණක් නොව සමස්ත ප්‍රජාවමයි.
බොහෝ පළාත් පාලන ආයතන දූෂිතයි, අකාර්යක්‍ෂමයි, වගවීමෙන් තොරයි කියා මතයක් තිබෙනවා. මෙය හැම පළාත්පාලන ආයතනයටම පොදුවේ ආදේශ කළ නොහැකියි. පාරදෘශ්‍යව, නීතිගරුකව හා කැපවීමෙන් ක්‍රියා කළ පළාත්පාලන ආයතන කිහිපයක් හෝ මෑත කාලයේ තිබුණා.
බණ්ඩාරවෙල නගර සභාව රටේ තොරතුරු නීතිය එන්න පස් වසරකට පෙර පටන් තම අය-වැය තොරතුරු සියල්ලම ප්‍රසිද්ධ කරමින් සිටියා. වැලිගම හා බලන්ගොඩ ප්‍රාදේශීය සභා තම බල ප්‍රදේශයේ කසල නැණවත්ව කළමනාකරණය කළා.
මෙරට පළාත් පාලන ආයතන 335ක් තිබෙනවා. මහ නගර සභා 23ක්, නගර සභා 41 හා ප්‍රාදේශීය සභා 271ක් වශයෙන්. මේවාට අවසන් වරට මැතිවරණ පවත්වනු ලැබුවේ 2011 මාර්තු, ජුලි හා ඔක්තෝබර් මාසවලයි.
ඒ සියල්ලේ පස් අවුරුදු නිල කාලය 2016 තුළ අවසන් වුණා. අලුතෙන් පළාත් පාලන නියෝජිතයන් තෝරා ගන්නට මැතිවරණ පැවැත්වීම මාස ගණනකින් ප්‍රමාදයි. මෙය ද බිම් මට්ටමේ ආණ්ඩුකරණය දුර්වල වීමට හේතුවක්. (දැනට සියලු පළාත් පාලන ආයතන පාලනය වන්නේ රාජ්‍ය පරිපාලන නිලධාරීන් විසින් මිස ඡන්දයෙන් තේරුණ මහජන නියෝජිතයන් හරහා නොවෙයි.)
සාමාන්‍ය අවස්ථාවල නීතිගරුකව හා ප්‍රමිතිගතව සම්පත් කළමනාකරණයටත්, හදිසි අවස්ථාවල ප්‍රශස්ත ලෙසින් ආපදා කළමනාකරණයටත් පළාත්පාලන ආයතන ව්‍යුහයක් පැවතීම ඉතා වැදගත්.
යහපාලනය පිළිබඳ විද්වත් පර්යේෂණවලින් මෙන්ම සෙසු ආසියාතික රටවල හොඳ අත්දැකීම්වලින් ද තහවුරු වන්නේ තීරණ ගැනීමේ හා කළමනාකරණයේ බලයන් හැකි තාක් ප්‍රදේශීය මට්ටමට බෙදා හැරීම හරහා පරිධිය මෙන්ම කේන්‍ද්‍රයත් සවිමත් වන බවයි.
මේ නිසා හැම දෙයක්ම ජාතික මට්ටමේ රාජ්‍ය ආයතනවලට හා අධිකාරීන්ට පැවරීමේ චින්තනය අප විවාද කළ යුතුයි.
කසල කළමනාකරණය, ආපදා කළමනාකරණය, නාගරික සංවර්ධන ආදි අභියෝගයන් ජය ගන්නට ජාතික මට්ටමේ ප්‍රතිපත්ති, නීති හා රෙගුලාසි අවශ්‍යයි. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීමට නම් බලාත්මක වූත්, මහජනයාට වග කියන්නා වූත්, පළාත් පාලන ආයතන තිබීම ඉතා වැදගත්. අපදාවලට මුහුණ දීමේ දිගු කාලීන ප්‍රත්‍යස්ථිතිය (disaster resilience) ගොඩ නගා ගත හැක්කේ එවිටයි.
මේ පිළිබඳව හොඳ උදාහරණ හා අත්දැකීම් පිලිපීනයෙන් ලද හැකියි. භූමිකම්පා, සුනාමි, සුළි සුළං ඇතුළු ආපදා රැසක් මැද ජීවත් වන මිලියන 100ක ජනගහනයක් සිටින එරට ආපදා කළමනාකරණයට කලක පටන් විශේෂ අවධානයක් යොමු කරනවා.
ඔවුන්ගේ එක් ප්‍රධාන ප්‍රවේශයක් නම් පළාත් පාලන මට්ටමින් ආපදා පෙර සූදානම හා ආපදා ප්‍රතිචාර දැක්වීමයි. පිලිපීනයේ දැක්ම වන්නේ ආපදා කළමනාකරණයේ පෙරමුණින්ම සිටිය යුත්තේ පළාත් පාලන ආයතන බවයි.
හැම පළාත් පාලන ආයතනයක් ම ප්‍රාදේශීය මට්ටමේ ආපදා අවදානම් අඩු කිරීමේ හා කළමනාකරණය කිරීමේ සැලැස්මක් පවත්වා ගත යුතුයි. එය අංග හතරක් ආවරණය කරනවා. ආපදා සඳහා පෙර සූදානම, ආපදාවක් හටගත් විට ප්‍රතිචාර දැක්වීම, හැකි තරම් ආපදා වළක්වා ගැනීම හා බලපෑම් අවම කිරීම වශයෙන්.
මේ ප්‍රාදේශීය මට්ටමේ සැලසුම්, එරට ජාතික ආපදා කළමනාකරණ ප්‍රතිපත්ති හා සැලසුම් සමඟ අනුගත විය යුතුයි. එසේම පළාත් රජයන් හා පළාත් පාලන ආයතන අතර නිසි සම්බන්ධීකරණයක්ද සහතික කළ යුතුයි.
එරට හැම පළාත් පාලන ආයතනයක්ම සිය ආදායමින් 5%ක් ආපදා කළමනාකරණ සැලසුම් ක්‍රියාත්මක කිරීමට වෙන් කළ යුතු බවට නීති පනවා තිබෙනවා. එසේ වෙන් කරන මුදල්වලින් 30%ක් හදිසි අවස්ථාවල ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට කෙටි දැනුම් දීමකින් මුදා හැරිය හැකි විය යුතුයි.
2013 නොවැම්බරයේ පිලිපීනයට ගිය අවස්ථාවක මේ යන්ත්‍රණය ක්‍රියාත්මක වනු මා දුටුවා. මා එහි ගියේ 2013 නොවැම්බර් 8-9 දිනවල එරටට බැට දුන් හයියාන් මහා සුළි සුළඟින් දින දහයකට පසුයි. මා සංචාරය කළ මැනිලා අගනුවරට විශාල හානි සිදු නොවූවත්, රටේ බොහෝ ප්‍රදේශවල අධික වර්ෂාව හා ජලගැලීම් සිදුවී තිබුණා.
මැනිලා යනු මහා නගරයක්. නගර කීපයක එකතුවක්. සමස්ත ජනගහනය මිලියන 13ක් පමණ වෙනවා. මේ නගරයේ ජල මට්ටම් හා කාලගුණ තත්ත්වයන් දිවා රෑ නිරීක්‍ෂණය කැරෙනවා. යම් ආපදා තත්ත්වයක් මතුව එන විටම පළාත් පාලන ආයතන හා නාගරික අධිකාරීන් තම ආපදා කළමනාකරණ සැලසුම් වහාම ක්‍රියාත්මක කරනවා.
ඒ සඳහා තීරණ ගැනීමේ පැහැදිලි ක්‍රමවේදයක් ඔවුන්ට තිබෙනවා. පළාත් පාලන ආයතන ප්‍රබලව පවතින එරට නගරාධිපති හා උපනගරාධිපති යන තනතුරු මෙවන් අවස්ථාවල කැපීපෙනෙන භූමිකාවක් ඉටු කරනවා. නගරවලින් ඈත ගම් පෙදෙස්වලට ගියත් ආපදා සූදානම මනාව ඇති බව පිලිපීන සමාජ ක්‍රියාකාරිකයෝ මා සමඟ කීවා.
පිලිපීනයේ ආපදා කළමනාකරණ සාර්ථකත්වයේ පදනම එය වසර පුරාම ක්‍රියාත්මක වන, ඉහළ මට්ටමේ මහජන සහභාගිත්වයක් සහිත එකක් වීමයි. එරට රාජ්‍ය නිලධාරීන් හා පළාත් පාලන ආයතන ඉතා සමීපව සිවිල් සමාජ සංවිධාන සමඟ සහයෝගයෙන් ක්‍රියා කරනවා.
“දියුණු මට්ටමේ ප්‍රාදේශීය ආපදා කළමනාකරණයට සවිබල ගැන්වුණු පළාත් පාලන ආයතනත්, ඔවුන් සමඟ සමීපව වැඩ කරන පාර්ශ්වකරුවනුත් අවශ්‍යයි. එසේම රාජ්‍ය සම්පත් භාවිත කිරීමේ හා තීරණ ගැනීමේ බල අධිකාරිය හැකි තාක් දුරට විමධ්‍යගත කරන රාජ්‍ය පරිපාලන ක්‍රමවේදයක් තිබිය යුතුයි. මේ සාධක සපුරාගත් පිලිපීනය, බංග්ලාදේශය, වියට්නාමය වැනි රටවල් ආපදා කළමනාකරණයේ පරමාදර්ශයන් බවට පත් වෙමින් සිටිනවා” යයි 2010 දී ප්‍රකාශිත එක්සත් ජාතීන්ගේ ආපදා කළමනාකරණ අධ්‍යයනයක් සඳහන් කරනවා.
මේ සියලු රටවල පොදු අත්දැකීම නම් (ආපදා නොමැති) සාමාන්‍ය අවස්ථාවල බිම් මට්ටමේ පළාත් පාලනය හා සම්පත් කළමනාකරණය හරිහැටි ක්‍රියාත්මක වේ නම් ආපදා කළමනාකරණය සාර්ථක වීමට එය අතිශයින් තීරණාත්මකව බලපාන බවයි. මෙය නියඟ, ගංවතුර, නායයෑම්, සුනාමි වැනි බහුවිධ ආපදාවලට අදාළයි.
නිසි ආණ්ඩුකරණය හැම මට්ටමකම ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව යනු 2004 දෙසැම්බරයේ මහ සුනාමියෙන් අපට කියා දුන්, එහෙත් අප රට තවමත් උගෙන නැති වැදගත්ම පාඩමයි.
සුනාමියෙන් පසු ආපදා පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කෙරුණා. එවකට පාර්ලිමේන්තුවේ නියෝජනය වූ සියලුම පක්‍ෂවලින් තෝරා ගත් මන්ත්‍රීවරුන් 21 දෙනකුගෙන් සමන්විත වූ එහි සභාපති වූයේ එවකට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක වූ මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයායි. 2005 පෙබරවාරියේ සිට 28 වතාවක් රැස් වූ මේ කමිටුව පක්‍ෂ භේදයකින් තොරව ක්‍රියා කොට සිය වාර්තා එළි දැක්වූවා. දිගු කාලීනව ආපදාවලට මුහුණ දීමට හැකියාව ඇති ප්‍රත්‍යස්ථිතිය සහිත සමාජයක් බිහි කිරීමේ අවශ්‍යතාව මේ වාර්තාව අවධාරණය කළා.
2005 වසරේම ආපදා කළමනාකරණ පනත හඳුන්වා දී ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් හා ඒ සඳහාම කැප වුණු කේන්‍ද්‍රයක් :ෘඵක්‍* පිහිටුවනු ලැබුවා. ඉන් පෙර නොතිබුණු මට්ටමේ ආයතනික ව්‍යුහයක් සුනාමියෙන් කෙටි කාලයකට පසු මෙරට පිහිටුවා ගත්තා.
එහෙත් නීති පනවා, ආයතන බිහි කළාට පමණක් ආපදාවලින් අප සුරැකෙන්නේ නැති බව සුනාමියෙන් පසු ගෙවී ගිය දශකයක කාලයේ අත්දැකීම්වලින් අප දන්නවා.
ආපදා කළමනාකරණය තවමත් අපේ රටේ වැඩිපුරම තේරුම් ගන්නේ ආපදාවක් සිදු වූ විට ප්‍රතිචාර දැක්වීම හැටියටයි. ආපදාවකට පෙර, එය සිදුවන විටදී හා එයින් පසු කෙටි හා දිගු කාලීනව අවශ්‍ය පියවර ගැනීමේ පුළුල් වූ ෘඍඍ දැක්ම තවමත් සමස්ත රාජ්‍ය තන්ත්‍රය හා සිවිල් සමාජය වටහා ගෙන නැහැ.
දේශගුණ විපර්යාස නිසා ආන්තික කාලගුණ තත්ත්වයන් හට ගැනීම වැඩිවෙලා. මේ නිසා ආපදා පෙර සූදානම හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව මින් පෙර කවරදාටත් වඩා දැන් අපට අවශ්‍යයි. මෙය තනි අමාත්‍යාංශයකට, කේන්‍ද්‍රයකට පමණක් කළ හැකි දෙයක් නොවෙයි.
දැන්වත් අපි සෙසු ආසියාතික රටවලින් ආදර්ශ ගනිමු. පළාත් පාලන ආයතනවල සම්පත් කළමනාකරණය හා ආපදා කළමනාකරණය ප්‍රාණවත් කරමු. ඒවායේ පාරදෘශ්‍යබව තොරතුරු නීතිය හරහා දියුණු කිරීමට සිවිල් සමාජ සංවිධානවලට හැකියි.
අයහපත් ආණ්ඩුකරණයෙන් හැමදාමත් බැට කන යුගය අවසන් කරමු. යහපාලනය හුදු මැතිවරණ උද්‍යෝග පාඨයක් නොව ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය සාධකයක් බව වටහා ගනිමු.■