Wednesday, 23/8/2017 | 8:01 UTC+0
රාවය

ග්‍රාමීය කෘෂිකර්මයේ තිබෙන අවුල

වික්ටර් අයිවන්

ගම්වල කටයුතු සිදුවෙමින් තිබෙන්නේ ගැමි ජනයා උපරිම මට්ටමකින් හිංසාවට හා පීඩාවට පත් කෙරෙන ආකාරයටය. කලක් බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටි ආනන්ද ලැනරෝල් ගංවතුරෙන් පසුව මට දුරකතනයෙන් කතා කොට උණ ගස් ගැන අපූරු කතාවක් කීවේය. ඔහු තමන්ගේ පාලන කාලය තුළ බද්දේගම ප්‍රාදේශීය සභා පාලනයේ උපරිම මටටමේ දියුණුවක් පෙන්නුම් කළ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු ලෙස සැලකිය හැකිය.
පසුගිය ගංවතුරේදී සියලුම ලොකු කුඩා පාලම් කටවල්වල දිරාපත් වූ උණ ගස් තොග ගණනින් හිරවී තිබීම නිසා වතුර බැසයෑම ක්‍රමවත් කිරීම පිණිස එසේ හිරවී තිබුණු උණ ගස් ඉවත් කිරීමට විශේෂ පරිශ්‍රමයක් දරන්නට සිදුවූ බව මා දන්නේදැයි ඔහු මගෙන් විමසීය. ඉන්පසු ඔහු ඒ ගැන අපූරු විවරණයක් කළේය. ඉස්සර කාලයේදී ගංගා අයින්වල පදිංචි වී සිටි මිනිස්සු ගඟ අයිනේ ඇති ඉඩම්වල උණ ගස් වවා ඉන් හොඳ ආදායමක්ද උපයා ගත්තෝය. ගෙවල් හැදීමේදී වර්තමානයේදී යොදාගැනෙන යකඩ පලංචි පාවිච්චියට එන්නට පෙර පලංචි සඳහා පාවිච්චි කෙරුණේ උණ ගස්ය. යකඩ පලංචි ක්‍රමය ජනප්‍රියවීමත් සමඟ උණ ගස්වලට තිබුණු ඉල්ලුම පහත වැටුණි. එහෙත් පුංචියට හදන ගෙවල් සඳහා තවමත් උණ ගස් පාවිච්චි කෙරේ. ඒ නිසා පෙර කාලයේ තරමටම නූනද උණ ගස් හිමියන් උණ ගස්වලින් සුළු වශයෙන් හෝ ආදායම් ඉපැයිය හැකි තත්ත්වයක් තිබුණි.
දැන් උණ ගස් ප්‍රවාහනයටද බලපත්‍ර ලබාගත යුතුය. බලපත්‍ර ලබාදීමේ ක්‍රියාව සිදුවන්නේ එක බලධාරියෙකු අතින් නොව බලධාරීන් ගණනාවක් අතිනි. මිනිසුන් ඉල්ලූ විට උණ ගස් හිමියන් උණ ගස් කපන මුත් බලපත්‍ර ලබාදීම ඉතාමත් දුෂ්කර හා සංකීර්ණ දෙයක් බවට පත්ව තිබීම නිසා බොහොමයක් තැන්වල එසේ කපන ලද උණ ගස් රැගෙන යෑමක් නැතිව කපා බිම දමා තිබූ තැන්වල ගොඩ ගැසී තිබුණේය. එසේ ජරපත්වෙමින් තිබූ උණ ගස් ගංවතුරට ගසා ගෙන ගොස් ගංගාවලට එකතු වී පාලම් කටවල තොග ගණනින් හිරවී ඒවා ජලය බැසයෑම අවහිර කරන බලවත් සම්බාධක ලෙස ක්‍රියාකර තිබෙන්නේය. උණ ගස්වලට පනවන ලද සම්බාධකයේ තේරුම කුමක්දැයි ඔහු මගෙන් විමසීය.
ඒ සමඟ ඔහු මා මීට පෙර ගමේ අරාජිකත්වය යන හිසින් ලියන ලද ලිපියක් ගැන මතක් කරමින් මට කීවේ බද්දේගම මැතිවරණ කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම්වලින් භාගයක පමණ වල්ඌරන් නිසා ඉඩම් වගා නොකොට ඒවා අත්හරින තත්ත්වයක් ඇතිවී තිබෙන බවය. වල්ඌරන් මරන මිනිසුන් අත්අඩංගුවට ගෙන වෙළෙඳාම පිණිස ඌරු මස් ළඟ තබා ගත්තේය කියන චෝදනාව යටතේ උසාවියට ඉදිරිපත් කරන බවත් උසාවිය එවැනි පුද්ගලයෙකුට රුපියල් 50,000ක පමණ ලොකු දඩයක් ගසන බවත් ඒ නිසා වල්ඌරන් දඩයම් කිරීමද මුළුමනින් බිඳ වැටී තිබෙන බවත් ඔහු කීවේය. ඔහු එම ප්‍රතිපත්තිය හඳුන්වන ලද්දේ වල්බූරු ප්‍රතිපත්තියක් වශයෙනි. කසිප්පු බොනවාට වඩා රා බීම හොඳ බව කියමින් ඔහු කීවේ කිතුල් ගස් මදින මිනිසුන්ද අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන බවත්, දැන් ඒ නිසා කිතුල් ගස් පවා නොමදින තත්ත්වයක් උදාවී තිබෙන බවත්ය. ඔහු එහිදී කී තවත් වැදගත් දෙයක් වූයේ පස් ප්‍රවාහන තහනම පනවා ඇත්තේ නිවාස තනන මිනිසුන්ට අත්තිවාරම පුරවා ගැනීමට අවශ්‍ය පස් ලබාගැනීමට විකල්ප මාර්ගයක් පවා ඇති කිරීමෙන් තොරව බවය. ඒ නිසා ගෙවල් හදන සමහර මිනිසුන්ට අත්තිවාරම පිරවීම විසඳා ගැනීමට පහසු නැති ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව කීවේය.

ධාන්‍ය, එළවළු හා අල වගාව
මාගේ මේ ලිපියේ අරමුණ ග්‍රාමීය කෘෂිකර්මයේ දකින්නට තිබෙන අවුල්සහගත තත්ත්වය පැහැදිලි කරන අතර ඒ තත්ත්වයෙන් යහපත් වෙනසක් සඳහා ඇති කළ යුතුව තිබෙන වෙනස්කම් පෙන්වාදීමය. නැතහොත් ගමට පුනරුදය උදාකිරීම සඳහා ඇති කළ යුතුව තිබෙන වෙනස්කම් සලකා බැලීමය.
මෙහි දක්වා තිබෙන මුල් සංඛ්‍යා සටහන් හතර ආශ්‍රයෙන් ග්‍රාමීය කෘෂිකර්මයේදී වී වගාවෙන්, වෙනත් ධාන්‍ය හා රනිල බෝග වගාවෙන්, අල වර්ග වගාවෙන් හා එළවළු වගාවෙන් උපයාගත හැකි ආදායම්වල යථා තත්ත්වය තේරුම්ගත හැකිය.

සංඛ්‍යා සටහන I
වී වගාව හා ආදායම 2015 (අක්කරයක් සඳහා)
1. වියළි කලාපය වාරි මාර්ග යටතේ
අස්වැන්න = කිලෝ 2300
නිෂ්පාදන වියදම රු. 87400.00
ආදායම = රු. 40695.00

2. තෙත් කලාපීය අහස් වැස්සෙන්
අස්වැන්න = කිලෝ 1700
නිෂ්පාදන වියදම = රු. 69900.00
ආදායම = රු. 26931.00

සංඛ්‍යා සටහන II
වෙනත් ධාන්‍ය හා රනිල බෝග හා ආදායම
(අක්කරයක් සඳහා)
1. කව්පි (අම්පාර)
නිෂ්පාදන වියදම = රු. 36475
ආදායම = රු. 14794

2. රටකජු (මොනරාගල)
නිෂ්පාදන වියදම = රු. 53653
ආදායම = රු. 39291

3. මුං ඇට (හම්බන්තොට)
නිෂ්පාදන වියදම = රු. 37511
ආදායම = රු. 33895

4. කඩල (අනුරාධපුරය)
නිෂ්පාදන වියදම = රු. 50764
ආදායම = රු. 20531
5. බඩ ඉරිඟු (අම්පාර)
නිෂ්පාදන වියදම = රු. 41840
ආදායම = රු. 14585

සංඛ්‍යා සටහන III
එළවළු වගාව හා ආදායම (අක්කරයක් සඳහා)
නිෂ්පාදන වියදම ආදායම
1. මාළු මිරිස් රු. 202677 රු. 742363
2. කැරට් රු. 195780 රු. 352104
3. බෝංචි රු. 162812 රු. 292210
4. වම්බොටු රු. 212769 රු. 264578
5. තක්කාලි රු. 190235 රු. 221874
6. ගෝවා රු. 181273 රු. 98087
7. වට්ටක්කා රු. 78576 රු. 101424
8. මිරිස් රු. 141995 රු. 333373
9. ලොකු ලූණු රු. 271237 රු. 448783
10. රතුලූනු රු. 218812 රු. 141188

සංඛ්‍යා සටහන IV

අල වගාව හා ආදායම (අක්කරයක් සඳහා)
නිෂ්පාදන වියදම ආදායම
1. අර්තාපල් 293218 346782
2. බතල 103532 112468
3. මඤ්ඤොක්කා 51924 268076

1 වැනි සංඛ්‍යා සටහනින් වාරිමාර්ග ජලයෙන් වියළි කලාපයේ වී ගොවිතැන් කරන ගොවියෙකු කන්නයකට අක්කරයක් සඳහා උපයා තිබෙන ආදායමත්, අහස් ජලයෙන් වගා කරන තෙත් කලාපයේ ගොවියෙකු අක්කරයකින් උපයා තිබෙන ආදායමත් ගෙනහැර දක්වයි. වාරිමාර්ග යටතේ වියළි කලාපයේ කුඹුරු වගා කරන ගොවියෙකු අක්කරයක් සඳහා උපයා තිබෙන ආදායම රුපියල් 40,495කි. එය මසකට රුපියල් 6749කට සමානය. තෙත් කලාපයේ අහස්දියෙන් වගා කරන වී ගොවියකු කුඹුරු අක්කරයකින් උපයා තිබෙන ආදායම රුපියල් 26981කි. මසකට රුපියල් 4496.83කි.
තෙත් කලාපයේ වී ගොවීන්ට කුඹුරු වගා කරන්නට සිදුවී තිබෙන්නේ අහස්දියෙනි. ඔවුන්ගේ ආදායම වාරිමාර්ග ක්‍රම යටතේ වගා කරන වියළි කලාපයේ වී ගොවියන් උපයන ආදායමට වඩා පහත්ය. මේ දෙපිරිස අතර එවැනි වෙනසක් තිබුණද පොදුවේ වී ගොවිතැන් කරන ගොවීන් ප්‍රමාණවත් තරම් ආදායම් උපයන ගොවි විශේෂයක් ලෙස සැලකිය නොහැකිය. වෙනත් ධාන්‍ය රනිල බෝග වර්ග වගා කරන ගොවීන්ගේ තත්ත්වයද ඊට වෙනස් නොවන බව සංඛ්‍යා සටහන ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය. වී හා වෙනත් ධාන්‍ය හා රනිල බෝග වගා කරන ගොවියන් එම ගොවිතැන්වලින් උපයන ආදායම ඉතා පහත් මට්ටමක තිබෙන බව ඒ ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය.
එහෙත් තුන්වැනි හා හතරවැනි සංඛ්‍යා සටහන් දෙස බලන විට පෙනෙන්නේ වී හා ධාන්‍ය බෝග හා රනිල බෝග වගා කරන ගොවීන්ට සාපේක්ෂව එළවළු හා අල වර්ග වගා කරන ගොවීන් උපයන ආදායම් ඉහළ මට්ටමක තිබෙන බවය. අප අනෙකුත් ධාන්‍ය බෝග හා රනිල බෝග වගා කරන ගොවීන් මොහොතකට අමතක කොට වී ගොවීන් උපයන ආදායම එළවළු ගොවීන් උපයන ආදායම සමඟ සසඳන තැනකට ගියහොත් වී ගොවියකු උපයන ආදායම මෙන් 18 ගුණයක ආදායමක් බදුල්ලේ මාළු මිරිස් ගොවියෙක් උපයයි. මාතලේ ලොකු ලූනු ගොවියකු උපයන ආදායම වී ගොවියකු උපයන ආදායම මෙන් 11 ගුණයකි. නුවරඑළියේ කැරට් හෝ තක්කාලි වවන ගොවියකු හෝ පුත්තලමේ අමු මිරිස් වගා කරන ගොවියකු වී ගොවියකු උපයන ආදායම මෙන් 8 ගුණයක් තරම් විශාල ආදායමක් උපයයි.
අල වර්ග වගාවේදීද ඒ වෙනස පැහැදිලිව දැකිය හැකිය. බදුල්ලේ අල වවන ගොවියකු වී ගොවියකු උපදවන ආදායම මෙන් 8 ගුණයක ආදායමක් උපයයි. ගම්පහ හෝ අම්පාරේ මඤ්ඤොක්කා වගා කරන ගොවීන්ද වී ගොවීන් උපයන ආදායම මෙන් 6 ගුණයකටත් වැඩි ආදායමක් උපයයි. බතල වවන ගොවීන් පවා වී ගොවීන්ට වඩා තුන් ගුණයකට ආසන්න ආදායමක් උපයයි.
ඉන් පෙනෙන්නේ වී ගොවිතැන රටේ දුප්පතුන් ඇති කරන හා රටේ දුප්පත්කම වර්ධනය කරන ගොවිතැනක් වන බවය. එම නිරීක්ෂණය පදනම් කොට ගෙන රට පිළිබඳව ඇති කරගත හැකි තවත් නිරීක්ෂණයක් වනුයේ වී ගොවිතැනට කෘෂිකර්මයේ ප්‍රමුඛ වැදගත්කම ලබාදීම තුළ රටක් වශයෙන් ලංකාව තමන්ගේ අඥානකමේ තරම පෙන්නුම් කරන බවය.

වීවල වැදගත්කම කුමක්ද?
ලංකාව සිය ඉඩම් පරිහරණය කෙරෙමින් තිබෙන ආකාරය පිළිබඳව ඪ වැනි සටහනින් දළ අදහසක් ඇති කරගත හැකිය. ඒ අනුව වනාන්තර හා ගෙවතු වෙනුවෙන් වෙන්වී තිබෙන ඉඩම් ප්‍රමාණය හැරුණු විට වැඩිම ඉඩම් ප්‍රමාණයක් වෙන් කොට තිබෙන්නේ වී ගොවිතැනටය. එය රටේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 14ක් හෙවත් හෙක්ටයාර් 922151කි. අක්කරවලින් නම් අක්කර 2278635කි. මේ කුඹුරු ඉඩම් අතරින් අක්කර ලක්ෂ කිහිපයක් වගා නොකරන කුඹුරු ඉඩම් ලෙස සැලකිය හැකිය. කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන දැඩි නීති නිසා වගා කිරීම අත්හරින ලද කුඹුරු ඉඩමක් පවා විකිණීම දුෂ්කරය. කුඹුරු ඉඩම්වලට ලැබෙන මිල ගණන්ද ගොඩ ඉඩම්වලට ලැබෙන මිල සමඟ සසඳන විට ඉතා පහත් මට්ටමක පවතී. කුඹුරු අසල ගොඩ ඉඩම් අක්කරයක් රුපියල් ලක්ෂ 50-60කට පමණ විකිණෙන විට කුඹුරු ඉඩම් අක්කරයක් විකිණිය හැක්කේ රුපියල් ලක්ෂ 2කටත් වඩා අඩු මිලකටය. ඉඩම් අර්ථයෙන් ගත් විටද කුඹුරු ඉඩම් ධනය ඉපැයිය හැකි වැදගත් මාර්ගයක් නොවන බව ඉන් පෙනේ.
ලංකාව ප්‍රධාන ආහාරය වශයෙන් බත් කන රටක් නිසා ලංකාවට අවශ්‍ය සියලු සහල් ලංකාවේම නිපදවා ගත යුතුයි කියන අය සිටිති. එය රටේ තිබෙන පිළිගත් ජනප්‍රිය මතය ලෙස සැලකිය හැකිය. මගේ මතය වන්නේ රටට අවශ්‍ය සියලු සහල් වියළි කලාපයෙන් පමණක් නිපදවිය හැකි බවය. එම නිරීක්ෂණය සත්‍යයක් නම් තෙත් කලාපයේ අහස් ජලයෙන් වගා කරන සියලු ඉඩම් එම ඉඩම්වල ඇති පහත්බිම් ස්වභාවය නැති නොවන ලෙස ආර්ථික වශයෙන් ඵලදායි වෙනත් කාර්යයන් සඳහා යොදාගත හැකිය.

සංඛ්‍යා සටහන V
ලංකාවේ ඉඩම් පරිහරණය – 2015
ඉඩම් පරිහරණයේ ස්වභාවය
ප්‍රමාණය (හෙක්ටයාර්) ප්‍රතිශතය
1. ඉදිකළ ප්‍රදේශ 60062 0.92
2. ගෙවතු 1450149 22.11
3. තේ 229262 3.49
4. රබර් 207628 3.16
5. පොල් 295552 4.50
6. වී 922151 14.06
7. වෙනත් ක්ෂේත්‍ර භෝග 146181 2.23
8. හේන් 284025 4.33
9. වනාන්තර 2030858 30.95
10. ජලාශ 488028 7.44
10. මාර්ග හා වෙනත් 446406 6.80
එකතුව 6561000 100.00
මිරිස් ගොවීන්ගේ ආදායම් ඉහළ මට්ටමක පවතී. එහෙත් ලංකාව තමන්ට අවශ්‍ය මිරිස් ප්‍රමාණය මුළුමනින් ලංකාවේ නිපදවා ගන්නේ නැත. අප නිපදවන්නේ මිරිස් මෙටි්‍රක් ටොන් 10000ක් හෝ රටට අවශ්‍ය මිරිස් ප්‍රමාණයෙන් හයෙන් එකක් පමණය. 2015 වසරේදී ලංකාව ආනයනය කර තිබෙන මිරිස් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 49928කි. ඒ සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 10542.76කි. වී ගොවිතැනට අනවශ්‍ය ලෙස බර තබා ක්‍රියා කරන ප්‍රතිපත්තියෙන් ඉවත් වී ලංකාවට අවශ්‍ය වියළි මිරිස් ලංකාවේම නිපදවා ගන්නා තැනකට යන්නේ නම් එම වගාවට යොමුවන ගොවීන්ගේ ආර්ථික තත්ත්වය විශාල ප්‍රමාණයකට ඉහළ දැමිය හැකි අතර ඒ මගින් මිරිස් ආනයනය සඳහා කෙරෙන විශාල වියදමද කපා හැරිය හැකිය.
එසේම අන් බොහෝ වගාවන් සේ ම මිරිස් වගාවද නගා සිටුවීමට හැකිවනු ඇත්තේ වස විස නැති ගොවිතැනක නාමයෙන් පවත්වාගෙන යන මෝඩ කෘෂි ප්‍රතිපත්තියෙන් ඉවත් වී රසායන පොහොර, දිලීර, කෘෂි හා වල්නාශක සඳහා ස්ථිර ප්‍රතිපත්තියකට යොමුවිය හැකි නම් පමණය. කාබනික පොහොර පමණක් යොදාගෙන වාණිජ මට්ටමෙන් මිරිස් වගා කළ නොහැකිය. මිරිස් සිටුවීමට පෙර පාත්ති ජීවානුහරණය කළ යුතුය. ඒ සඳහා අවශ්‍යයෙන්ම දිලීර නාශක යොදා ගත යුතුය. මිරිස්වලට වැලඳෙන දිලීර රෝග මර්දනය සඳහා ද දිලීර නාශක යොදාගත යුතුය. මිරිස් වගාවට හානි කරන පැළ මැක්කන්, මයිටාවුන් හා සුදු මැස්සන් විනාශ කිරීම සඳහා කෘමිනාශක යොදාගත යුතුය. වල් නැසීම සඳහා වල්නාශක යොදා ගත යුතුය. මිරිස් වගාවේදී ඒ කිසිවකට වෙනත් විකල්ප ක්‍රම සොයාගෙන නැත.
මිරිස්, කුඹුරු ඉඩම්වල පවා වගා කළ හැකි බෝගයකි. එසේම මිරිස් අපනයනයටද ලොකු විභවයක් ඇති බෝගයකි. විශේෂයෙන්ම මැදපෙරදිග රටවල කොච්චි හා නයිමිරිස්වලට ලොකු ඉල්ලුමක් ඇති බව කියවෙතත් ලංකාව ඒ ගැන නිසි අවධානයක් යොමුකර ඇති බවක් පෙනෙන්නට නැත.

තෙත් කලාපයේ කුඹුරු ඉඩම්
සත්ව පාලනයද ලංකාවේ දියුණු කළ හැකි අංගයකි. සතුන් මැරීම හා උන්ගේ මස් ආහාරයට ගැනීම ගැන රටට වෙනස් නොවන ප්‍රායෝගික ප්‍රතිපත්තියක් නැතිකම ඒ අංශයේ වර්ධනයට තිබෙන ලොකුම බාධකය ලෙස සැලකිය හැකිය. කුකුල් පාලනයේදී මස් නැතිව බිත්තර සඳහා පමණක් එම කර්මාන්තය පවත්වාගෙන යා නොහැකිය. ගව පට්ටි පාලනයේද මස් නැතිව කිරි සඳහා පමණක් එම කර්මාන්තය පවත්වාගෙන යා නොහැකිය.
ලංකාවේ උපාසක ආකල්ප ඇති අය තොග ගණනින් මරන විට ඊට එරෙහිව හඬ නගන තැනකට ගියේ නැත. එහෙත් ආහාරයට ගැනීමට සතුන් මරන විට ඊට එරෙහිව බෙරිහන් දෙති. ටිබෙටය, කාම්බෝජය, තායිලන්තය වැනි රටවල් ද බෞද්ධ රටවල්ය. එහෙත් ඒ රටවල බෞද්ධයන් මස් ආහාරයට ගැනීම පාපයක් ලෙස සලකන්නේ නැත. ලංකාවේ පවතින මස් විරෝධය අතීතයේදී සිට පවතින්නක් නොව මෑත කාලයේදී ඇති වූවකි. අතීතයේදී මස් දෛනික ආහාරයේ වැදගත් අංගයක් නොවූවද මිනිසුන් කලාතුරකින් ලැබෙන දඩමස් ආහාරයට ගත්තේය. එය පාපයක් ලෙස ඔවුන් සැලකුවේ නැත.
ලංකාවේ මිනිසුන් අතරින් මස් අනුභව නොකරන්නේ ඉතාමත් සුළු පිරිසක් පමණය. එහෙත් මස් කෑමට එරෙහිව නැඟෙන හඬ ප්‍රබල තත්ත්වයක පවතී. ග්‍රාමීය සමාජයේ භෝග වගාවන්ට වල් ඌරන්ගෙන්, වඳුරන් හා රිලවුන්ගෙන්, ඉත්තෑවන්, මොනරුන් හා දඬුලේනුන්ගෙන් සිදුවන හානිය අතිවිශාලය. එම තත්ත්වය ග්‍රාමීය කෘෂිකර්මයේ පැවැත්ම දුර්වල කිරීමට හේතුවී තිබෙනවා පමණක් නොව කෘෂිකර්මයෙන් උපයාගත හැකි ආදායම් හීන කිරීමටද හේතුවී තිබේ. එම විනාශකාරී තත්ත්වය පාලනය කිරීමට නොහැකි වී තිබෙන්නේ සමාජයේ රජකරන බොරු උපාසක ආකල්ප නිසාය.
අපට මෙවැනි අන්ත පසුගාමී ආකල්පවලින් අත්මිදී සත්ව පාලනයේදී මස් සඳහා වන ස්ථිර ප්‍රායෝග ික ප්‍රතිපත්තියක් ඇති කරගත හැකි නම් ජෝන් කීල්ස්, කාර්ගිල්ස් වැනි සමාගම් මහා පරිමාණයේ සත්ව ගොවිපොළවල් ආරම්භ කරන තැනකට යනු ඇතැයි සිතිය හැකිය. තෙත් කලාපයේ කුඹුරු, ඉඩම් එවැනි විශාල සත්ව ගොවිපොළවල්වලට අවශ්‍ය තණ පිට්ටනි බවට පත්කළ හැකිය. එවැනි ඉඩම් ඉස්සන් සඳහා වන ගොවිපොළවල්ද ඇති කළ හැකිය. ඒ මගින් වර්තමානයේ කිසිදු වෙළෙඳ වටිනාකමක් නැති තත්ත්වයක පවතින තෙත් කලාපයේ කුඹුරු, ඉඩම් ලොකු වෙළෙඳපොළ වටිනාකමක් ඇති ඉඩම් බවට පත් කළ හැකිය. කිරි කර්මාන්තය දියුණු කිරීම මගින් කිරිපිටි අපනයනය සඳහා කෙරෙන අතිවිශාල වියදමද අඩුකරගත හැකිය.

ඉඩම් ප්‍රතිසංස්කරණය
ග්‍රාමීය ගොවි ජනතාව උපයන ආදායම් නගා සිටුවීම සඳහා ඉඩම් භුක්තිය ක්‍රමවත් කිරීමට හේතුවන ඉඩම් ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමද අත්‍යවශ්‍යය. පරම්පරා ගණනක් තිස්සේ කැබලිවීමේ ක්‍රියාවලිය තුළ අනාර්ථික තත්ත්වයට පත්ව තිබෙන ඉඩම්ද විශාල ප්‍රමාණයක් තිබෙන්නේය. ඒ නිසා වගා කිරීමට හැකි අවශ්‍ය තරම් ඉඩම් නැති ගොවි ප්‍රජාවක්ද ගොවීන් අතර සිටින්නේය. එක්කෝ ඔවුහු අනුන්ගේ බද්දට ලබාගත් ඉඩම්වල බදු ගොවීන් ලෙස වැඩ කරති. නැත්නම් ගොවි කුලීකරුවන් ලෙස වැඩ කරති. වගා කරන ඉඩම්වලට බලපත්‍ර මිස සින්නක්කර අයිතියක් නැතිකමද විශේෂයෙන්ම වියළි කලාපයේ ගොවීන්ට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ලොකු ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. බලපත්‍ර ක්‍රමය යටතේ ලබාදී තිබෙන ඉඩම්වලින් රජයට ආදායමක් නොලැබෙන නිසාත් ඒ ඉඩම් රජයට පවරා ගැනීමක් සිදු නොවන නිසාත් ඒ ඉඩම් වගාකර ඇත්තේ ඒවාහි පදිංචිකරුවන් නිසාත් ඒ ඉඩම්වල සින්නක්කර අයිතිය බලපත්‍රලාභීන්ට ලබාදීමෙන් ඉඩම් භුක්තියේ ලොකු වෙනසක් ඇති කළ හැකිය. ඒ සමඟ ඒවා උගස් කළ හැකි, විකිණිය හැකි ඉඩම් බවට පත්වේ. ඒ මගින් ගොවීන්ට ඔවුන්ගේ ගොවිතැන් කටයුතු නවීන කරගැනීමට අවශ්‍ය අරමුදල් ඔවුන්ටම සොයාගත හැකි තත්ත්වයකට ඔවුන් පත් කළ හැකිය.
වගා කිරීමට බැරි තරමට ඉඩම් කැබලි වී තිබෙන අයටද අලුතෙන් ඉඩම් ලබාදිය යුතුය. විහාර දේවාලගම්වල නිල පංගුකාරයන් ලෙස ක්‍රියාකරන මිනිසුන්ද එම වැඩවසම් ප්‍රවේණිදාස තත්ත්වයෙන් ඔවුන් නිදහස් කොට දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් විසින් කර තිබෙන සේවාවන් සැලකිල්ලට ගෙන ඔවුන්ට විහාර හා දේවාලගම්වලින් ඉඩම් ලබාදෙන ක්‍රමයක් ඇති කළ යුතුය. ඒ සමඟ වැඩවසම් සේවාවන් මුදලට ලබාගත යුතු සේවාවන් බවට පත් කළ හැකිය.
ඉඩම් සීමිත සම්පතක් වන නිසා ලොකු ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය කරන විවෘත ගොවිපොළ ක්‍රමයෙන් ක්‍රමානුකූලව ඉවත්වෙමින් පොලිතින් ගෘහ තුළ බෝග වගා කරන තැනකට යායුතුය. මේ ක්‍රමය වී ගොවිතැන සඳහා යොදා ගැනීමේ හැකියාවක් නැතත් එළවළු සහ සමහර පලතුරු වගා සඳහා යොදාගත හැකිය. ඒ මගින් පමණක් එක ගසකින් ලබාගත හැකි අස්වැන්න ප්‍රමාණය හතර ගුණයකින් පමණ වැඩි කරගත හැකිය. ඒ ක්‍රමයට කන්න දෙකක් වෙනුවට කන්න තුනක් වගා කළ හැකිය. ඒ මගින් කෘමිනාශක භාවිතයෙන්ද මුළුමනින් ඉවත් විය හැකිය. ඒ ක්‍රමය තරුණ පරපුරේද ආකර්ෂණයටද හේතුවනු ඇත.
නිදර්ශනයක් වශයෙන් තක්කාලි වගාවේදී විවෘත ගොවිපොළ ක්‍රමයකට වර්ග අඩි 5000ක කෙරෙන වගාවකින් උපයා ගන්නා ආදායමට වැඩි ආදායමක් ආරක්ෂිත ගෘහ ක්‍රමයට වර්ග අඩි 1000ක කෙරෙන වගාවකින් උපයාගත හැකිය. විවෘත ගොවිපොළ ක්‍රමය යටතේ වර්ග මීටරයකින් උපයන ආදායම මෙන් අටගුණයක ආදායමක් ආරක්ෂිත ගෘහ ක්‍රමයට වර්ග මීටරයකින් ඉපැයිය හැකිය. සාම්ප්‍රදායික ක්‍රමවලට ගොවිතැන් කරන ක්‍රමයෙන් ක්‍රමානුකූලව ඉවත්වෙමින් නවීන ක්‍රමයට ගොවිතැන් කරන තැනකට යායුතුය.■