ජාතිවාදයට විරුද්ධ විය යුතු මොහොත


kathu

රට පුරා විවිධ වේශයන්ගෙන් ජාතිවාදය නැග එනු දැකිය හැකි ය. එක පැත්තකින් මුස්ලිම් ජනතාවට එරෙහි ජාතිවාදය යි. අනෙක් පැත්තෙන් දෙමළ ජනතාවට එරෙහි ජාතිවාදය යි.
මුස්ලිම් ජනතාවට එරෙහි ව නැග එන ජාතිවාදය ගැන තවත් අටුවා ටීකා අවශ්‍ය නැත. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ ආරම්භ වී ඊයේ පෙරේදා දක්වා ගලගොඩඅත්තේ ඥානසාර හිමි කළ කී දෑවල සිට ඒවායින් උත්තේජනය ලබා අනෙක් සිංහල බෞද්ධ අන්තවාදීන් කළ කී වෛරී ක්‍රියාකාරකම් ගැන ඇති වාර්තා පිරික්සීමෙන් ඒ ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි ය.
දෙමළ ජනතාවට එරෙහි ජාතිවාදය දැනට එන්නේ ඒ තරම් ම අමු හා ග්‍රාම්‍ය ස්වරයෙන් නොවේ. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හරහා රටේ සුළුතර ජාතීන් සමඟ බලය බෙදාහදා ගැනීමට විරුද්ධ මතවාදී ව්‍යාපාරයක් වශයෙනි. ජාතිවාදයේ ඒ මුහුණුතට අනුව, අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම ම රටෙන් කොටසක් දෙමළුනට දීමකි. පළාත් සභාවලට බලය බෙදීම ම රට දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයකි.
ප්‍රශ්නය ඇත්තේ ජාතිවාදයේ ඒ මුහුණත් දෙක ගැන නොවේ. ඒවා එසේ නැග එද්දී සාමය, සංහිඳියාව හා එක ම ශ්‍රී ලාංකික ජාතියක් ගැන නිතර කියන, රටේ උගත් බුද්ධිමත් ජනතාව දක්වන නිහඬතාව ගැන ය. ඒ නිහඬතාවේ විවිධ ස්වරූප තිබේ.
සමහරු නිහඬ ව සිටින්නෝ, මේ දෙයාකාර ජාතිවාදී ප්‍රවණතා සමඟ මුළු හිතින් හෝ අඩු ගණනේ යටි හිතින් හෝ එකඟ නිසා ය. සමහරු නිහඬ ව සිටින්නෝ, ඥානසාර භික්‍ෂුව වැනි ඇඟ පුරා ම වසුරු ගා ගත් අය සමඟ සටනට යෑමෙන් තමන්ගේ ඇඟේ ද ඒවා ගෑවේයැ’යි ඇති හිරිකිතය නිසා ය. සමහරු නිහඬ ව සිටින්නෝ, මෙවැනි දෑවල පැටලීම තමන්ගේ බුද්ධියට තරම් නොවේයැ’යි සිතන නිසා ය. තවත් සමහරු නිහඬ ව සිටින්නෝ, මේ ආණ්ඩුව අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවාටත්, ඒ ක්‍රියාවලියට තමන් සහභාගි කර නොගන්නවාටත් ඇති නොරුස්නාකම නිසා ය. ඔවුන් එසේ කරද්දී මේ ජාතිවාදයට එරෙහි ව තවත් සමහරු කතා කරති. එහෙත්, ඥානසාර භික්‍ෂුවගේ නම කියන්නේ නැති ව ය. හෙවත්, රෝගයේ දරුණු ම රෝග ලක්‍ෂණය ගැන කතා නොකරමිනි.
මේ කවර ආකාරයෙන් හැසිරුණ ද ප්‍රතිඵලය එක ය. එනම්, ජාතිවාදයට, ආගම්වාදයට එරෙහි ව රටේ බුද්ධිමතුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිරෝධයක් එල්ල නොවන බව පෙනීම ය. එය එසේ තිබිය දී ජාතිවාදයත්, ආගම්වාදයත් පිම්මේ දිව යෑම ය. එය අවසන් වන්නේ කෙසේ දැයි, අවුරුදු තිහක යුද්ධයක අත්දැකීම් ඇති රටකට අලුතෙන් කියා දිය යුතු ද?
ජාතිවාදයට හා ආගම්වාදයට විරුද්ධ වීම, ඊට එරෙහි ව ප්‍රසිද්ධියේ පෙළගැසීම මේ මොහොතේ වැදගත් ම අවශ්‍යතාවකි.
මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ මරණ බියෙන් සිටි මුස්ලිම් ජනතාව අදත් ඉන්නේ මරණ බියෙනි. කොයි මොහොතේ තමන්ට ප්‍රහාරයක් එල්ල වේදැ’යි බියෙනි. ඔවුන්ගේ ඒ බිය නැති කිරීමට රටේ උගතුන්, බුද්ධිමතුන් ඇතුළු යුක්තිගරුක ජනතාව ඉදිරියට පැමිණිය යුතු නොවේ ද? මුසල්මානුවන්ට එරෙහි ව ප්‍රහාර එල්ල කරන්නන් නීතිය හමුවට ගෙන ආ යුතුයැ’යි ඔවුහු හැකි හැම පැත්තකින් ම රජයට බල කළ යුතු නොවෙත් ද? මුසල්මානුවන්ට එරෙහි ව නැගෙන ජාතිවාදයට එරෙහි ව තමන්ගේ අදහස් ලිය-කිය යුතු නොවෙත් ද?
අනෙක් අතින්, රටේ සුළුතර ජනතාව සමඟ, විශේෂයෙන් දෙමළ ජනතාව සමඟ බලය බෙදා හදා ගැනීමට එරෙහි විරෝධය ද ක්‍රමයෙන් නැග එයි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට මතවාදී හයිය සැපයූ, මෑත ඉතිහාසයේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය රට පුරා පැතිරවීමට යහමින් දායක වූ මේ පිරිස යළිත් රටේ පැල කරන්නට හදන්නේ ඒ අන්තවාදය ම ය. එය එන්නේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට එරෙහි මතවාදීමය ව්‍යාපාරයක් වශයෙනි. රටේ ඒකීයභාවය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය, පළාත් සභාවලට බලය බෙදාදීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි දේ ගැන ඔවුන් නිර්මාණය කරන කුමන්ත්‍රණ න්‍යාය පහුගිය කාලය පුරා ම ඔවුන් වැපිරූ ජාතිවාදයේ ම දිගුවකි. ඔවුනට අනුව, රටේ පාලන බලය බෙදා හදා ගෙන, සියලු ජාතීන්ට, සියලු ආගමිකයන්ට සමාන අයිතිවාසිකම් ලැබෙන විධිවිධාන ඇතුළත් කර ගෙන, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හරහා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීම ගැන කතා කරන්නෝ දේශ ද්‍රෝහියෝ ය. රට දෙකඩ කරන්නට උත්සාහ කරන්නෝ ය.
මේ ස්වෝත්තමවාදීන් පිරිස ඉතාමත් සුළුතරයක් බවත්, බහුතර සමාජයේ කිසි ම පිළිගැනීමක් මේ අදහස්වලට නැති බවත් ඇත්ත ය. එහෙත්, මේ ප්‍රවේශයන් දෙකට ම එරෙහි ව බලවත් විරෝධයක් පැන නොනැඟීමත්, ඊට එරෙහි ව අදහස් පළ කිරීමට හා ක්‍රියාත්මක වීමට රටේ උගතුන්, බුද්ධිමතුන්, යුක්තිගරුක සමාජ ක්‍රියාකාරිකයන් මේ මොහොතේ ඉදිරියට නොඒමත් විසින් භයානක ප්‍රතිඵල අත් කර දිය හැකි බව නම් අමුතුවෙන් කිව යුතු නැත.■