රාවය

ලංකා චීන ගිවිසුම ජනපතිට කැලෑ පත්තරයක්ලු

ලංකා චීන ගිවිසුම ජනපතිට කැලෑ පත්තරයක්ලු

මනුවර්ණ

ඇමති මණ්ඩල සංශෝධනය අවසන් වුණු නමුත් ඒ ඒ අමාත්‍යාංශවලට අදාළ විෂය ක්‍ෂෙත්‍ර හා ආයතන ඇතුළත් ගැසට් පත්‍රය තවමත් නිකුත් වී නැත්තේ ආණ්ඩුවේ පාර්ශ්වකාර දෙපිරිස අතර ඒ සම්බන්ධයෙන් පවතින මත ගැටුම් නිසායැ’යි පසුගි ය රාවය මුල් පුවතින් වාර්තා කළේය. එහෙත්, සතියක් ගතවීත් ගැසට් පත්‍රය තවමත් නිකුත්වී නැත. එහි තේරුම් දෙකකි. එකක්, තවමත් පාර්ශ්ව දෙක අතර ගැටුම නිරාකරණය වී නැති බවයි. දෙක, පරණ පුරුදු විදියටම ඒ ඒ අමාත්‍යාංශවල ආයතන හා විෂයයන් පවතින බවයි. එහෙත්, මහනුවර උරුමය වැනි අලුත් අමාත්‍යාංශ ඇති කර ඒවාට ඇමතිවරුන් පත්කර ඇති තත්ත්වයක් යටතේ, ගැසට් පත්‍රය පළ නොවීමේ හේතුව පළමුවැන්න බව පැහැදිලි වෙයි. අලුත් අමාත්‍යාංශයක් ඇති කළ විට එහි විෂය පථය පැහැදිලි කිරීම අත්‍යවශ්‍ය වන නිසාය. ඒ අතර බදාදා රාත්‍රියේ අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්ගේ වෙනසක් ගැන මාධ්‍ය වාර්තා ලැබුණි. අමාත්‍යාංශ ලේකම් ධුරය වැඩි අවධානයකට ලක්වී ඇත්තේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙනි. වැදගත්, පුළුල්, ඉතාම ක්‍රියාකාරී හා එකිනෙකට වෙනස් අමාත්‍යාංශ දෙකක් ඊට ඇතුළත් නිසාත්, මීට පෙර ඒ ඒ අමාත්‍යාංශයට වෙනම ලේකම්වරුන් සිටි නිසාත්, මංගල සමරවීර ඇමතිවරයාට ලේකම්වරුන් දෙදෙනකු පත්කරනු ඇතැ’යි බලාපොරොත්තු වුණු නමුත්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මාධ්‍යයට කියා තිබුණේ, තමා අමාත්‍යාංශ දෙකේම ලේකම් වන බවයි. එහෙත්, අමාත්‍යාංශ දෙකට වෙන වෙනම ලේකම්වරුන් දෙදෙනකු පත්කිරීමට අවශ්‍ය නම් ඉඩකඩ තිබෙන බවත්, මීට පෙරද එසේ කළ අවස්ථා ඕනෑ තරම් තිබෙන බවත් ප්‍රවීණ පරිපාලන නිලධාරියෙක් මනුවර්ණට පෙන්වා දුන්නේය.
ඇමති මණ්ඩල වෙනසක් අවශ්‍යව තිබුණු නමුත්, ඒ සඳහා විවිධ පැතිවලින් මෙන්ම සිවිල් ජනතාවගෙන්ද ඉල්ලීම් තිබුණු නමුත්, සිදුවී ඇති වෙනස එය නම් නොවේ. මේ අංසභාග වෙනසකි. ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් ඩීල් එකක් හැටියට ඉදිරියට ආ වෙනසකි. දැන් ඒ අංසභාග වෙනස නිසා ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්‍ෂ දෙක අතරත්, එක් එක් පක්‍ෂය තුළමත් අවුල් ඇතිවී තිබේ.
පළමුව, එජාපයේ සමහරුන් මේ ඇමති වෙනස දැක්කේ ජනාධිපතිවරයා ශ්‍රීලනිප පාර්ශ්වයේ වුවමනා එපාකම්වලට අනුව කරන්නට යන වෙනසක් හැටියටය. ශ්‍රීලනිපයේ වුවමනාවට ඇමති මණ්ඩල වෙනසක් කරන්නේ නම් තමන් ඊට විරුද්ධව හැකි හැම පියවරක්ම ගන්නා බව එජාප පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් හදිසියේම අවදිවී කියන්නට වූහ. පසුව වාර්තා වුණේ, ඇමති රවී කරුණානායකගෙන් විශේෂ වරප්‍රසාද ලබන ඒ පිරිස ඇමති මාරුවේදී මුදල් ඇමති ධුරය වෙනස්කරනවාට විරුද්ධව ඒ කතා කිව්ව බවය. කොහොම වුණත් වෙනසක් සිදුවිය.
ඇමති මණ්ඩල වෙනස ශ්‍රීලනිප පාර්ශ්වයේ වුවමනාව අනුව ජනාධිපතිවරයා කරන ලද්දක් බවට තිබෙන අදහසද ශක්තිමත් එකකි. එය තහවුරු කරන එක් හේතුවක් නම්, වැදගත් වෙනස්කම් සිදුවුණේ එජාප පාර්ශ්වය තුළ නිසාය. ඒ තුළද ඉතාමක් ප්‍රබල ඇමතිකම් අතර නිසාය. රවී කරුණානායක මහතාත්, මංගල සමරවීර මහතාත් ගැන ජනාධිපතිවරයා තුළ හා ශ්‍රීලනිපය තුළ තිබුණු කිසියම් නොරුස්නාකමක් මේ හරහා එළියට පැමිණියේයැයි කියන මතයද අත්හැරිය හැකි නොවේ. විශේෂයෙන් පසුගිය කාලයේ ජාත්‍යන්තර සාකච්ඡා මණ්ඩපවලදී මංගල සමරවීර ඇමතිවරයා ගත් තීන්දු තීරණ ගැන ජනාධිපතිවරයාත් ශ්‍රීලනිපයත් සිටියේ අපැහැදීමකිනි.
ඇමති වෙනස ශ්‍රීලනිපයේ වුවමනාවට කරන ලද්දක්යැයි සිතන එජාපය, තවදුරටත් ශ්‍රීලනිප පාර්ශ්වය වෙතින් දුරස්ථ වීම මේ අනුව බලාපොරොත්තු විය හැක්කකි. එහෙත්, එය ආණ්ඩුවේ එදිනෙදා පැවැත්ම ගැටලු සහගත කරනවා ඇති විනා, ආණ්ඩුවේ කඹ ඇදිලි වැඩි කරනවා ඇති විනා, සම්මුති ආණ්ඩුවේ අවසානයක් දක්වා ගමන් කරතැ’යි සිතීමට ඉඩක් නැත. දැනගන්නට ඇති පරිදි අගෝස්තුවේ අවසන් වන පාර්ශ්ව දෙක අතර අවබෝධතා ගිවිසුම දික්කරන්නට සාකච්ඡා සිදුවෙමින් පවතියි.
පක්‍ෂ දෙක අතර දැන් පවතින ප්‍රකාශිත අවුල වන්නේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබීර් හෂීම් හා නියෝජ්‍ය ඇමති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන අතර ඇති ගැටලුවයි. අදාළ ගොඩනැගිල්ලේ අමාත්‍යාංශයට අයත් මහලේ කාමර සියල්ලම පාහේ කබීර් හෂීම් ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලය අල්ලාගෙන සිටීම නිසා ලක්‍ෂ්මන් යාපා මහතාට තවමත් ඉන්නට සිදුවී තිබෙන්නේ එළියේය. මේ අර්බුදය හුදෙක් කාමර දෙකක අර්බුදයක් නොවේ. පක්‍ෂ දෙක අතරද මෝරා යමින් තිබෙන අර්බුදයකි. නායකයන් මැදිහත්වී ප්‍රහ්නය ගොඩින් බේරා ගත්තේ නැතිනම්, පක්‍ෂ දෙකේ ආත්ම ගෞරවය පිළිබඳ අවුලක් බවට එය පත්වී ප්‍රතිඵලය නරක විය හැකිය.
අංසභාග ඇමති වෙනස නිසා අර්බුද හා දුරස්වීම් ඇතිවී තිබෙන්නේ, පක්‍ෂ දෙක අතර පමණක් නොවේ. පක්‍ෂ තුළද එවැනි අර්බුද ඇතිවී තිබේ. රවී කරුණානායක හා මලික් සමරවික්‍රම අතර ගැටුම ඉන් ප්‍රධානය. රවී කරුණානායක පසුගිය කාලයේ මාධ්‍ය ඇමතූ හැම අවස්ථාවකදීම නම ඇතිව හෝ නැතිව ඔහුගේ බරපතළ දෝසාරෝපණයට ලක්වුණේ ඇමති මලික් සමරවික්‍රමය. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ ජන පදනමක් නැති පුද්ගලයකු කේලාම් කියා තමන් මුදල් ඇමති ධුරයෙන් ඉවත් කළ බව රවි නැවත නැවත කීවේය. සාමාන්‍යයෙන් මාධ්‍ය සමඟ ලොකු ඇයිහොඳයියක් නැති මලික් සමරවික්‍රම ඒ ගැන කිසිම අදහසක් පළ නොකළත්, රවී කරුණානායකගේ වෛරය කේන්ද්‍රගතවී තිබෙන්නේ මලික් සමරවික්‍රම වෙත බව පැහැදිලිව පෙනෙයි. මලික් සමරවික්‍රම සාමාන්‍යයෙන් සැලකෙන්නේ ජනාධිපතිවරයා සමඟද සමීප සම්බන්ධකම් පවත්වන්නකු හැටියට නිසා, රවී කරුණානායක තමන්ගේ නිගමනයට එය තහවුරු සාධකයක් කරගෙන තිබේ. මුදල් ඇමති පදවිය නැතිවීම ගැන රවී කරුණානායක ඉන්නේ කෝපයෙනි. ඒ කෝපය තවත් අතකින් තහවුරු කරන්නේ ඔහු මුදල් අමාත්‍යාංශයට කෙතරම් ඇල්මක් දැක්වූවාද යන්නයි. ඒ ඇල්ම ඔහු මුදල් අමාත්‍යාංශය නිසා ලද විවිධ ප්‍රතිලාභවලට සමපාත වන්නේද?
කොහොම වුණත්, මේ සියලු ප්‍රශ්න ඇතිවී තිබෙන්නේ මනා සැලසුමකින් තොරව කරන ලද කරන්නන් වාලේ ඇමති මණ්ඩල සංශෝධනය නිසාය. කළ හැකිව තිබුණු හොඳම දේ වුණේ, ආණ්ඩුවේ ධුර කාලයෙන් භාගයක් ඉක්ම තිබීම සැලකිල්ලට ගෙන සමස්තයක් හැටියට මුළු ඇමති මණ්ඩලයේම වෙනසකි. එසේ වූයේ නම්, මේ පුද්ගලවාදී අවුල් හා සැකසංකා ඇති නොවන්නට ඉඩ තිබුණා පමණක් නොව, ආණ්ඩුවේ අලුත් මුහුණුවරක් ගැන කිසියම්ම හෝ බලාපොරොත්තුවක් තබාගන්නට හැකිවනවා ඇත. අලුත් ඇමතිවරුන්ට අලුත් ප්‍රවේශයකින් අමාත්‍යාංශ දෙස බලන්නට හැකිවනවාද ඇත. එහෙත්, කළ ඇමති මණ්ඩල සංශෝධනයෙන් ආණ්ඩුවට කිසිම එළියක් නොලැබෙනවා පමණක් නොව, දෙකක් කඩතොලු ඇතිකර ගත්තාදැයි සැකයක්ද ඇතිවී තිබේ. ඒ අතර මෙතෙක් විශිෂ්ට ලෙස කරගෙන ආ විදේශ අමාත්‍යාංශයේ කාර්යභාරයද මෙතැන් සිට අවුලකට යාවිදැ’යි කුකුසක් සමහරුන් තුළ මතුවී තිබේ.
කොහොම වුණත්, මුදල් අමාත්‍යාංශයේ තිබුනු ඇතැම් ආයතන විදේශ අමාත්‍යාංශය හරහා රවී කරුණානායක ඇමතිවරයාටම භාරදෙන ලෙස කරන ලද ඉල්ලීම ජනාධිපතිවරයාගේ අනුමැතිය නොලැබීමෙන් අක්‍රිය වී ඇති බව පෙනෙන්නට තිබේ. අර්බුදය කෙතරම්ද යත්, ඒ ඒ අමාත්‍යාංශවලට අදාළ විෂය පථය හා ආයතන අනාගතයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම ඇතුළත් කළ යුතු තත්ත්වයක් එළැඹිය හැකියැයි මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්නද කීවේය. රජයේ ඉහළ පෙළේ බලපෑම් කළ හැකි පුද්ගලයකු මනුවර්ණට කිව්වේ, ඇමති සංශෝධනයක් යනු ‘බුෆේ’ එකක් නොවන බවය. හෙවත් කැමති ඇමති කෙනකුට කැමති ආයතන බෙදා ගැනීමට ඇති තැනක් නොවන බවය. මේ නිසා සමහරුන් බලාපොරොත්තු වුණු පරිදි ආයතනවල අයිතිය යන යන තැන ගෙනයන්නට ලැබීම සිදුනොවන්නට ඉඩ ඇත.
ජනාධිපතිවරයා හා අගමැතිවරයාත්, එජාපයත් අතර ඇති මිතුරුකම නැති කරන්නට ඒකාබද්ධ විපක්‍ෂයත්, ඔවුන්ගේ මතවාදී පුද්ගල කුලකයත් ගන්නා වෙහෙස ගැන මනුවර්ණ පසුගිය ලිපියක ලීවේය. ඒකාබද්ධ විපක්‍ෂයේ මතවාදී කුලකය කියන්නේ, අගමැතිවරයා ධුරයෙන් පහකර, මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමඟ එකතුවී අලුත් ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි. ඒ සඳහා ලබන අගෝස්තුවේ අවසන් වන එජාප ශ්‍රීලනිප අවබෝධතා ගිවිසුම වැදගත් අවස්ථාවක් හැටියට ඔවුහු පෙන්වා දෙති. එජාපය හා ශ්‍රීලනිපය අතර ගැටුමක් හදන්නට හොඳටම ඉඩකඩ ඇත්තේ ආර්ථික ක්‍ෂෙත්‍රය ආශ්‍රිතවය. ඊනියා දේශීය ආර්ථිකයක් ගැන මිථ්‍යාවක් පුනරුච්චාරණය කරමින් ශ්‍රීලනිපය, එජාපය ගත් බොහෝ ආර්ථික තීන්දු තීරණවලට පදනම් විරහිතව විරුද්ධ වීම පසුගිය කාලයේ දක්නට ලැබිණි. කවර විවේචනවලට භාජනය වෙමින් වුණත්, අගමැතිවරයා විවිධ රටවල සංචාරය කරමින් හැකි තරම් උත්සාහ ගන්නේ ලංකාවට ආර්ථික වශයෙන් පිටුබලයක් ලබාගන්නටය. ඒ අතර රට තුළ විවිධ ප්‍රතිසංස්කරණ මෙන්ම, ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම්වලට ඇතුළුවීමට ගන්නා උත්සාහයන්ද තිබේ. ඒ ද්විපාර්ශ්වික ගිවිසුම් සම්බන්ධයෙන් රටේ ඇතිවී තිබෙන විරෝධතාද සුළුපටු නැත. ඉන්දියාව සමඟ ඇතිකරගන්නට හදන එට්කා ගිවිසුම දැනටත් ඒ ආකාරයෙන් විවාදයට භාජනය වී පවතියි. දැන් ආණ්ඩුව අලුතෙන් සාකච්ඡා කරමින් ඉන්නේ චීනය සමඟ ද්විපාර්ශ්වික ගිවිසුමක් ගැනය. විශේෂයෙන් චීනයේ ‘එක මාර්ගයක් එක තීරුවක්’ ආර්ථික වයාපෘතිය යටතේ හැකි උපරිම වාසි ලංකාවට ලබාගැනීම සඳහා මෙවැනි ලංකා-චීන ගිවිසුමක් ගැන අදහස ආණ්ඩුවට තිබේ. එහෙත්, දැන් ඒ චීන ගිවිසුමටද විරෝධතාවක් පැනනැගී තිබේ. ඒ විරෝධතාවේ මේ මොහොතේ ප්‍රමුඛයා හැටියට තැන අල්ලාගෙන ඇත්තේ, පසුගිය කාලයේ ජාතික හෙළ උරුමයෙන් කැඩී දේශපාලන අනාථභාවයකට පත්ව සිටි අතුරලියේ රතන හිමියන්ය.
පසුගිය ජුනි 1වැනිදා ජනාධිපතිවරයා හමුවූ අතුරලියේ රතන හිමියන් ප්‍රමුඛ එහිමියන්ගේ ජාතික සභාව, යෝජිත චීන ලංකා ගිවිසුම ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට අහිතකර ලෙස බලපාන බව ජනාධිපතිවරයා හමුවී පෙන්වා දුන් බව දැනගන්නට තිබේ. ඊට සහභාගිවුණු ඩීඑස්අයි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා, ශ්‍රී ලංකා කර්මාන්ත වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා, සිද්ධාලේප ව්‍යාපාරයේ සභාපතිවරයා ඇතුළු පිරිසට සාකච්ඡාව අවසානයේදී ජනාධිපතිවරයා කියා ඇති දේ, ජාතික සභාව ප්‍රසිද්ධ කර ඇති මාධ්‍ය නිවේදනයෙහි දැක්වෙන්නේ මෙලෙසය.
‘අනතුරුව අදහස් දැක්වූ ගරු ජනාධිපපතිතුමන්, තමා මෙවැනි වෙළඳ ගිවිසුම් පිළිබඳව කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කළේය. එම මොහොතේම ජනාධිපතිවරයා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ට කතා කළේය. අනතුරුව අත්තනෝමතිකව සාකච්ඡා වන මෙවැනි යෝජනා ගැන කිසිදු බියක් වීමට අවශ්‍ය නැති බවත්, තමන් නොදන්නා මෙම ගිවිසුම් කැලෑ පත්තර ලෙස සලකන ලෙසත් ප්‍රකාශ කළේය. මෙවැනි කිසිම ගිවිසුමකට අත්සන් කිරීමට එතුමාගේ කිසිදු එකඟත්වයක් නැති බවද ප්‍රකාශ කර සිටියේය.’
අලුතෙන් මෝදුවෙමින් තිබෙන්නේ තවත් කැළඹිල්ලක්ද? ජනාධිපතිවරයා එලෙස කීවේද? නැතිනම් ජනාධිපතිවරයා කී බවට රතන හිමියන් හිතන දේද? නැතිනම් ජනාධිපතිවරයාට වුවමනා දෙයක් රතන හිමියන්ගේ මුවෙන් කියැවුණාද?■