Monday, 21/8/2017 | 4:40 UTC+0
රාවය

හැංගී සිටින ඥානසාර හිමි ආණ්ඩුවේත් වීරයාද?

කේඩබ්ලිව් ජනරංජන

ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවනු ලැබ තිබුණත්, එම කණ්ඩායම් යොදවා සති දෙකකට ආසන්න වන, මේ ලියන මොහොතේත් එහිමියන් අත්අඩංගුවට ගන්නට පොලිසිය සමත්වී නැත. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත අභියාචනාධිකරණය ඉදිරියේ ඥානසාර භික්‍ෂුවට එරෙහිව පවරා ඇති නඩුවටද දින දෙකක් ඔහු පැමිණියේ නැත. දෙවැනි දිනය වූ මැයි 31වැනිදා උදේ 4.30ට පමණ ඥානසාර භික්‍ෂුව තමා විසින්ම මහරගම නාවින්නේ ප්‍රසිද්ධ නැති පෞද්ගලික රෝහලකට ඇතුළු වී තිබිණ. ඒ අනුව, එම භික්‍ෂුව රෝහල්ගතව සිටින බවට වෛද්‍ය වාර්තාවක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරුණි. එහෙත්, එදින නඩුවේ කටයුතු අවසන්වුණු වහාම ඥානසාර භික්‍ෂුව එම රෝහලෙන් ටිකට් කපාගෙන පිටත්ව ගිය බව දැනගන්නට තිබේ. මේ වන තුරු ඔහු ඉන්නේ කොහිදැයි සොයාගන්නට පොලිසියට හැකිවී නැත. ඥානසාර භික්‍ෂුව වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද වෛද්‍ය සහතිකය පිළිගත හැති තත්ත්වයේ නැති, අතින් ලියූ ලියුමක් බව පොලිසිය කියයි. එහෙත්, පුදුමයකට මෙන් එම වෛද්‍ය සහතිකය අභියචනාධිකරණය විසින් පිළිගෙන ඥානසාර භික්‍ෂුවට එරෙහි අධිකරණ අපහාස නඩුව ජුනි 12 දක්වා කල් දමා තිබේ. මෙවැනි වෛද්‍ය සහතිකයක් නිකුත්කිරීම සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිලි කරන බවද පොලිසිය කියා තිබේ. කෙසේ වෙතත්, පොලිසිය ඥානසාර භික්‍ෂුව අත්අඩංගුවට ගැනීමේ වෑයම අත්හැර නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
අත්අඩංගුවට ගැනීමෙන් බේරීම සඳහා ඥානසාර භික්‍ෂුව හැංගී සිටින බව පැහැදිලිය. එසේ හැංගී සිටිමින් ඔහු පුවත්පත්වලට, ‘වුවමනා නම් පැයකින් රට කළඹන්නට තමාට හැකි බව’ට වහසි බස් බෙණෙමින් සම්මුඛ සාකච්ඡා දෙයි. පොලිස්පතිවරයාට අවමන් කරමින් වීඩියෝ ප්‍රකාශ නිකුත් කරයි. මේ සියල්ල හරහා ඥානසාර භික්‍ෂුව පොලිසියට, අධිකරණයට, නීතියට පමණක් නොව සමාජයේ අත්‍යවශ්‍යයෙන්ම පැවතිය යුතු නීතියේ පාලනයටද බලවත් ලෙස අවමන් කරයි. එනිසාම, රට තුළ නීතියේ පාලනය පවත්වනවායැයි පොරොන්දුවී බලයට පැමිණි වත්මන් ආණ්ඩුවටද ඔහු අවමන් කරයි. මේ සියල්ල එකම ගොඩක ලා ඒවාට අපහාස කරන්නට සිවුරු ලාගත් මැරයකු හැටියට බැලූ බැල්මට පෙනෙන මේ තනි භික්‍ෂුවට අරුම පුදුම හැකියාවක් ලැබී තිබේ. එහෙත්, ඔහු නීතිය ඉදිරියට පැමිණවීමට නොහැකිව ගතවන පැයක් පාසා පැහැදිලි කරන්නේ, රටේ නීතියේ පාලනය වැටී ඇති අගාධයේ තරම නොවේද? ඒ සමඟම ආණ්ඩුවේ ලජ්ජාසහගත නොහැකියාව නොවේද?
පාතාල සාමාජිකයන් එකිනෙකා වෙඩි තබා ගත් විට ඒ වෙඩි තැබූ පුද්ගලයන් දින කිහිපයක් ඇතුළත ඉන්දියාවේ සිටියදී පවා අත්අඩංගුවට ගන්නේයැයි ප්‍රසිද්ධ කරන ලංකාවේ අතිදක්‍ෂ පොලිසියට ඥානසාර භික්‍ෂුව අත්අඩංගුවට ගන්නට බැරි වීමෙන් පෙනෙන්නේ කුමක්ද? පොලිසිය වුවමනාවෙන්ම ඔහු අත්අඩංගුවට ගැනීමෙන් වළකින බව හැර අන් කුමක්ද? එක් පුද්ගලයකු අත්අඩංගුවට ගන්නට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා නමුත් බැරි වී ඇත්නම්, පොලිස්පති ලජ්ජා විය යුතු නොවේද? ඔහුට ලජ්ජාවීමට අවශ්‍ය නොවන්නේ, ඥානසාර භික්‍ෂුව ඔහුගේද වීරයකු වන්නේ නම් පමණකි.
ඥානසාර භික්‍ෂුව මේ දිනවල රටේ බොහෝදෙනාගේ සවිඥානික මෙන්ම අවිඥානික වීරයෙකි. සමහරුන්ට ඔහු එළිපිටම වීරයකු වන විට සමහරුනට ඔහු රහසේ වීරයෙකි.
මුස්ලිම් ජාතිකයන් සමඟ වෛර බැඳගෙන සිටින අන්තවාදී සිංහල බෞද්ධයන්ගේ සවිඥානික හෙවත් එළිපිට වීරයා ඥානසාර භික්‍ෂුවය. විල්පත්තුවේ වන විනාශය, මන්නාරමේ ඉඩම් අත්පත් කර ගැනීම, බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම, වෙළඳ ආධිපත්‍යය පැවැත්වීම, සිංහල ජාතිය වඳකිරීමේ උත්සාහයක යෙදීම වැනි කී නොකී හේතු මත මුස්ලිම්වරුන්ට එරෙහිව කඳවුරු බැඳ සිටින සිංහල බෞද්ධ අන්තවාදීන්ට මේ මොහොතේ සිටින ප්‍රකාශිත වීරයා ඥානසාර භික්‍ෂුවය. මුසල්මානුවන්ට විරුද්ධව මෙවැනි විවිධාකාර අන්තවාදීන් විවිධ වේශයන්ගෙන් හා සංවිධාන නාමයන්ගෙන් එළියට පැමිණ ඇති නමුත්, ඒ සියල්ලන්ටම නායකත්වය දෙන්නට තරම් ඥානසාර භික්‍ෂුව ඉදිරියෙන් සිටියි. ඒ ඔහු දවටාගෙන සිටින චීවරය නිසාය. තවමත් අන්තවාදීත්වයට එළිපිට සැලකිල්ලක් නොදක්වන ලාංකික සමාජය තුළ මේ සිංහල බෞද්ධ අන්තවාදීන්ට බයක් සැකක් නැතිව ඉන්නට ලැබෙන පරිදි කොඳුනාරටියක් ලබාදී තිබෙන්නේ ඥානසාර භික්‍ෂුව විසිනි. ඒ ඔහුගේ චීවරයේ බලයෙනි.
එහෙත්, ඔවුන්ගේ අරමුණද ක්‍රියාමාර්ගද පැහැදිලිය. මුස්ලිම්වරුන්ට එරෙහිව හැකි හැම පැත්තකින්ම ප්‍රසිද්ධියේ පෙනීසිටීම, ප්‍රහාර එල්ලකිරීම මෙන්ම, ඔවුන්ගේ නායකයා වන ඥානසාර භික්‍ෂුව ආරක්‍ෂා කර ගැනීමද මේ මොහොතේ ඔවුන්ගේ වුවමනාවයි. ඒ අර්ථයෙන් සලකන විට ඔවුන් තේරුම් ගැනීමද ඔවුන් සමඟ ගනුදෙනු කිරීමද පහසුය.
එහෙත්, වඩාත් සංකීර්ණ හා අපහසු වන්නේ අනෙක් පිරිස සමඟ ගනුදෙනු කිරීමය. ඒ පිරිස නම්, සිංහල ජනතාව දෙමළ මුස්ලිම් සුළුතර ජනතාව සමඟ එකට එක්ව එකම ජාතියක් සේ සිටිය යුතු යැයිද, සාමය සංහිඳියාව රට පුරා වගා කළ යුතු යැයිද කියන සමහරුය. ඔවුන්ගේ අවිඥානික ආශාව හා අවිඥානික වීරයාද ඥානසාර භික්‍ෂුවය. එක පැත්තකින් ජාතීන් හා ආගම් අතර සංහිඳියාව වෙනුවෙන් පෙනීසිටින මේ පිරිස ඒ අතර යටිහිතින් ඥානසාර භික්‍ෂුවට ස්තුති කරමින් ඔහුට ධෛර්යය හා ශක්තිය ප්‍රාර්ථනා කරති. ඒ තමන්ට කළ නොහැකි වැඩක් ඔහු කරනවා කියන අදහස නිසාය. සමහර මහානායක හිමිවරුන්ගේ සිට විවිධ ලොකු පොඩි බොහොමයක් භික්‍ෂූන් වහන්සේලා, මැති ඇමතිවරුන්, දේශපාලකයන්, සමහර අධිකරණ විනිසුරුවරුන් සිටින්නේ මේ ගොඬේය. උදාහරණයක් හැටියට අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ ඥානසාර භික්‍ෂුව සමඟ එකට සිටගන්නා විට, අපට පෙනෙන්නේ ඔහුත් මේ ගොඬේම සිටින බවය.
ඉහත කී දෙපිරිස අතරින්, ඥානසාර භික්‍ෂුව නීතිය ඉදිරියට පැමිණවීමට ඇතුළතින්ම බාධාකරමින් හැසිරෙන්නේ දෙවනුව කී මේ පිරිසය. පසුගි යදා පැවැති ඇමති මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න කීවේ, මේ පුංචි රටේ ඥානසාර භික්‍ෂුව මේ තරම් කාලයක් හැංගී සිටින්නේ ආණ්ඩුවේම කිසියම් පුද්ගලයන් පිරිසකගේ ආරක්‍ෂාව ඔහුට ලැබෙන නිසා විය හැකි බවය.
ඒ ආරක්‍ෂාව දෙන්නේ ක්‍රම දෙකකටය. එකක්, යම් යම් දේවල් කිරීමෙන්ය. දෙක, යම් යම් දේවල් නොකර සිටීමෙන්ය.
යම් යම් දේවල් කිරීමෙන් ඥානසාර භික්‍ෂුව ආරක්‍ෂා කරන විවිධ පුද්ගලයෝ මේ දෙවනුව කී පිරිසේ සිටිති. පොලිසියටත්, ආණ්ඩුවටත් හැකි හැම අතින්ම ඇතුළතින් බලපෑම් කරමින් ඔවුහු ඥානසාර භික්‍ෂුව අත්අඩංගුවට ගැනීමෙන් වළක්වති. ඉහළ පොලිස් නිලධාරීහු, මැති ඇමතිවරු, පරණ ආණ්ඩුව සමඟ එකට සිටි, දැන් මේ ආණ්ඩුවේද හිතවතුන් බවට පත්වී ඇති ප්‍රභූ භික්‍ෂූහු මේ අය අතර වෙති.
යම් යම් දේවල් නොකර සිටීමෙන්ද ඥානසාර භික්‍ෂුව නීතිය ඉදිරියට පැමිණවීමෙන් වළක්වන පිරිසට අයත් වන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු ආණ්ඩුවේ නායකයෝය. ආණ්ඩුවේ අනෙක් හැම කාරණාවකදීම මෙන් මේ අය, ඥානසාර භික්‍ෂුවගෙන් ප්‍රකාශමාන වන ජාතිවාදයට හා ආගම්වාදයට විරුද්ධවීමේ දේශපාලන අධිෂ්ඨානයක්ද පෙන්වන්නේ නැත. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සමහර අවස්ථාවලදී ජාතිවාදයට එරෙහි විවිධ ප්‍රකාශ කර ඇති බව ඇත්තය. එහෙත්, ඒවා කරන්නන් වාලේ කරන හුදු වැනෙනසුලු කතා පමණක් මිස ජාතිවාදයට එරෙහි තීරණාත්මක කතා නොවේ. ඒ නිසා මතුවී තිබෙන ඇත්ත ප්‍රශ්නය නම්, ආණ්ඩුව ප්‍රතිපත්තියක් හැටියට ජාතිවාදයට හා ආගම්වාදයට විරුද්ධද යන්නයි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය එතරම් වැදගත් නැත්තේ, ඔවුන් මුළු ශරීරයෙන්ම ජාතිවාදයට හා ආගම්වාදයට පක්‍ෂව සිටි නිසාය. එහෙත්, වත්මන් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් බලයට පැමිණියේ මහින්ද චින්තනයේ කොටසක්ව තිබුණු ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් රටට වුණු විනාශය ගැන ඇසූ දුටු ඇස් කන් ඇතිව, ඒ විනාශයෙන් රට මුදා ගැනීමේ පොරොන්දුව මතය. ඒ නිසා, මේ ආණ්ඩුව ප්‍රතිපත්තියක් හැටියට ජාතිවාදයට හා ආගම්වාදයට විරුද්ධද යන ප්‍රශ්නය නැගෙන විටම එය ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ආණ්ඩුවටත් කරන අවමානයක් ලෙස සැලකිය යුතුය. එහෙත් ඒ අවමානයෙන් මිදීමට ආණ්ඩුව කර ඇත්තේ කුමක්ද? තමන්ගේ ප්‍රදේශවල සිදුවන ජාතිවාදී ප්‍රහාර ගැන වගකීම ඒ ඒ පොලිස් ස්ථානාධිපතිවරුන්ට පවරා අත හෝදාගැනීමය. ඒ පොලිසිය මුස්ලිම් පල්ලිවලට හා ව්‍යාපාරික ස්ථානවලට පසුගිය කාලයේ එක දිගටම එල්ලවුණු ප්‍රහාර ගැන විධිමත් පරීක්‍ෂණ පවත්වන්නේ නැත. ඒ කිසිම සිද්ධියක් ගැන කිසිම පුද්ගලයකු මෙතෙක් නීතිය ඉදිරියට පමුණුවාද නැත. ඉතින්, ආණ්ඩුව කරන්නේ පොලිසියට ඔහේ වැඩ කරන්නට දී අහක බලාගෙන සිටීමය. මුස්ලිම් පල්ලිවලට හා ව්‍යාපාරික ස්ථානවලට පහරදීම් ගැන පොලිසිය කිසිවක් නොකර සිටීම, ඥානසාර භික්‍ෂුව මෙතෙක් අත්අඩංගුවට නොගැනීම ගැන සිය දුක්ගැනවිලි කියන්නට ජනාධිපතිවරයා හමුවන්නට මුස්ලිම් දේශපාලන නායකයන්ට වේලාවක් ලැබුණේ පවා බොහෝ උත්සාහයන්ගෙන් පසුව පසුගිය බදාදාය.
ආණ්ඩුවේ මේ හැසිරීමෙන් පෙන්වන්නේ, තමන්ගේද අවිඥානික වීරයා ඥානසාර භික්‍ෂුව බවද?■