Wednesday, 23/8/2017 | 8:08 UTC+0
රාවය

ඇමති මණ්ඩලය තිහට අඩුකරන්නේ මෙහෙමයි

ජිනසිරි දඩල්ලගේ

ලංකාවේ අමාත්‍ය මණ්ඩලය සකස් කිරීම පිළිබඳ නොයෙකුත් විවේචන හා සමාජ මතවාද පවතී. අමාත්‍ය මණ්ඩලයේ විශාල බව, ඒ සඳහා යන වියදම මෙන්ම එය ක්‍රමවත් බවක් නොවීම පිළිබඳ ප්‍රබල විවේචන කතාබහ සමාජය තුළ දක්නට ඇත. එය දේශපාලන වේදිකාවලද පුළුල් මාතෘකාවක් විය. වර්තමාන රජය පත්වීමට පෙර 30 දක්වා වන අමාත්‍ය මණ්ඩලයක් විද්‍යාත්මක ප්‍රවේශයකට ගොඩනගන බවට ව්‍යවස්ථාපිත පොරොන්දුවක්ද ලබාදුනි.
අමාත්‍ය මණ්ඩලය සකස් කිරීමේදී එන පහත සඳහන් ගැටලු එවැනි කථිකාවක් සඳහා මාතෘකා බවට පත්විය. 1. විෂයයන් අතර නොගැළපීම හා පුද්ගලයන් සතුටු කිරීම සඳහා විෂයයන් පැවරීම 2. රටේ පවතින දුප්පත් ආර්ථිකයට ඔරොත්තු නොදෙන වැය බරක් අමාත්‍ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා යෙදවීම. 3. වැය බර කෙසේ වුවද එය ඵලදායී ලෙස සකස් නොවී ඇති බවට පවතින තර්ක හා විවේචන 4. කළමනාකරණ ගති ලක්ෂණවලින් බැහැරවීම හා පෞද්ගලික සලකා බැලීම් සහිත බව. 5. සැකැස්මේ පවතින ඵලදායී නොවන පදනම, පුද්ගලයාට විෂයයන් දීම මිස විෂයට සුදුසු පුද්ගලයන් හඳුනා නොගන්නා ගතිලක්ෂණ
කරුණු දෙකක් ලෙස වියදම හා ඵලදායිතාව සලකා බලන්නේ නම් එම දෙපැත්තේම අසුභ හෝ රටට නොගැළපෙන ගතිලක්ෂණ පවතී. ඒ නිසා, වියදම ගියත් අවම වශයෙන් ඵලදායී පක්ෂය ගැනවත් අවධානය යොමුකිරීමට මූලිකව සලකා බැලිය යුතුය.
ශ්‍රී ලංකාව සංවර්ධනය වන රටක් ලෙස ගෙන සුවිශාල සංවර්ධන ඉලක්ක ළඟාකර ගැනීමේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට මෙම මූලික පරිපාලන සංයුතිය පිළිබඳ පුළුල් ලෙස අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

කළමනාකරණ සලකාබැලීම්
මෙහිදී පහත සඳහන් කරුණු පිළිබඳ සැලකිල්ල දැක්වීම අවශ්‍ය වේ.
1. විශාල පිරිවැය හා පහසුකම් සැපයීම ඵලදායිද යන කරුණු 2. සංයුතිය කළමනාකරණය නොවීමේදී එකම දෙය කීප තැනකින් සිදුවිය හැක. :ෘමචකසජ්එසදබ ෑරරදර*ග එක සමාන විෂයයන් කීප තැනකින් ඉටුවීමේ ලක්ෂණ පවතී. 3. නඩත්තු වියදම ඉහළ යයි. ගොඩනැගිලි, පහසුකම් අධික නිලධාරීන්, යාන වාහන ආදිය සඳහා වැය බර විශාල වේ. 4. ප්‍රතිපත්තිමය කරුණු මත ගැටුම් ඇතිවිය හැක. එක තැන තිබිය යුතු ආයතන වෙනස්වීම තුළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී ගැටුම් ඇතිවිය හැක. 5. සම්බන්ධීකරණ ගැටුම් හා පහසුකම් පිළිබඳ ගැටුම් දීර්ඝ කාලයක් පැවතීම තුළ ප්‍රධාන අවධාරණයන්වලට වඩා අවශේෂ කරුණුවලට කාලය හා මුදල් වැයවේ. 6. එකම විෂය පිළිබඳ විවිධ තීරණ ගැනීම් තුළ බොහෝ කටයුතු අඩාලවීමේ ගතිලක්ෂණ පෙන්වනු ඇත. 7. උනන්දුවීම්වලට වඩා මන්දෝත්සාහීවීම් අදාළ අංශ තුළ වැඩිවිය හැක. සැමදෙනාම දුර්වල ව්‍යුහය පිළිබඳ කතාබහ මිස කටයුතුවල නිරතවීමේ අභිප්‍රේරණය හීනවිය හැක. 8. සාමාන්‍ය පරිපාලනමය ගැටලු හා නැවත නැවත ගොඩනැගීම් හා වෙනස් කිරීම් සඳහා දීර්ඝ කාලයක් හා මුදල් වැයවීම සිදුවේ. ගැටුම් නිරාකරණය සඳහා ඉහළ දේශපාලන කළමනාකරණයට වැඩි කාලයක් ගතකිරීමට සිදුවිය හැක.

සැලකිය යුතු කරුණු
අමාත්‍ය මණ්ඩලය ගණනින් වැඩිවන්නේ විවිධ දේශපාලන පක්ෂ ඒකාබද්ධව රජයන් පිහිටුවන අවස්ථාවලදීය. මේ අනුව කැබිනට් අමාත්‍ය ධුර වැඩිවී අමාත්‍ය මණ්ඩලය විශාලවීමක් දක්නට ලැබේ. ඒ අනුව වැඩි දෙනෙකුට අමාත්‍ය ධුර ලබාදීම ප්‍රායෝගිකව සැලකිල්ල දැක්විය යුතු මූලික කරුණකි. එහිදී දේශපාලන පැවැත්ම පිළිබඳ සැලකිල්ල දැක්විය යුතු බව අමතක කළ නොහැකි කරුණක් වී ඇත. සංඛ්‍යාව විශාල වීම තුළ වියදම වැඩි වුවත් එය ක්‍රමවත්ව හා ඵලදායී ලෙස ව්‍යුහගත කිරීම ශ්‍රී ලංකාව අමතක කර ඇත. ඒ අනුව දේශපාලන පැවැත්ම ගැන සැලකිලිමත් වෙමින් ඵලදායී ලෙස ව්‍යුහගත කිරීම කළ හැකි නම් එය යහපත් වනු ඇත. බොහෝ දුරට කැබිනට් අමාත්‍ය මණ්ඩලය විශාල වුවත් යම් යම් ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී එම විශාල වූ සංඛ්‍යාව අවශ්‍යද යන්න තක්සේරු කිරීමක්ද නැත. උදාහරණ ලෙස, එක් කැබිනට් අමාත්‍යාංශයකින් වර්ෂයකට ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා ප්‍රමාණය තක්සේරු කළහොත්, වර්ෂයකට කැබිනට් පත්‍රිකා එකක්වත් ඉදිරිපත් නොකරන කුඩා අමාත්‍යාංශ තිබිය හැක. ඒ ඇමතිවරයා සෑම දිනකම අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා පැමිණීම ඵලදායිද? ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩල සංයුතියේදී වගකීම් පැවරීම පිළිබඳව විශාල ගැටලු පවතී. බොහෝ රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් නාමික අමාත්‍යවරුන් පමණෙකි. ඒ පිළිබඳ ගැටුම් හා දුක්ගැනවිලි බොහොමයක් මෑත ඉතිහාසයේද අත්දැකීමට ලැබුණි.

කෙසේ සකස් විය යුතුද?
මේ සඳහා ඉහත අවශ්‍යතාවන්ට ගැළපෙන විකල්ප කළමනාකරණමය වූ ප්‍රවේශයන් හඳුනාගත හැක. කටයුතු වඩා පහසුවෙන් ඉටුවෙන, වියදම ගියත් ඵලදායිතාව ආරක්ෂා කෙරෙන, අදාළ අමාත්‍යවරුන්ට පැහැදිලි වගකීම් පැවරෙන, සම්බන්ධීකරණය ඉතා පහසු, සුදුසු හා හැකියාව ඇති පුද්ගලයාට සුදුසු වගකීම් පවරන ප්‍රවේශයක් මේ සඳහා සැලකිය යුතුය.
මේ සඳහා පර්ෂද අමාත්‍යාංශ ක්‍රමය :ක්‍කමිඑැර ඵසබසිඑරහ ීහිැඑප* ශ්‍රී ලංකාවට වඩා යෝග්‍ය බව යෝජනා කළ හැක. මෙහිදී රජයේ ක්‍රියාකාරීත්වයට යටත් වන වගකීම්, ක්‍රියාකාරකම්, ආයතනික වගකීම්, ආයතනික ක්‍රියාකාරකම්, විශේෂයෙන්ම සැලකිය යුතු අන්‍යොන්‍ය ආයතනික සබඳතාව ආදිය සලකා එකට සිටිය යුතු ආයතන හා වගකීම්, ක්‍රියාකාරකම් ඒ ඒ පර්ෂද යටතේ එකතු කළ යුතුවේ. විෂය සමානත්වය සලකා පර්ෂද සකස් කිරීම මෙයින් අදහස් වේ. පරිපාලනමය පර්ෂදය, අධ්‍යාපන හා සංස්කෘතික පර්ෂදය, කර්මාන්ත පර්ෂදය, ඉඩම්/වාරිමාර්ග/කෘෂිකර්ම පර්ෂදය, සංචාරක හා විනෝද කටයුතු පර්ෂදය, ග්‍රාමීය සහජීවන හා දිළිඳුකම පිටුදැකීමේ පර්ෂදය, වෘත්තීය පුහුණු හා කුසලතා සංවර්ධන පර්ෂදය ආදි ලෙස 30කට අඩු පර්ෂද ප්‍රමාණයක් හඳුනාගත හැක.
දෙවනුව එක් එක් පර්ෂද සඳහා පැවරෙන වගකීම් හා ආයතන හඳුනාගත හැකිය. උදාහරණ ලෙස පරිපාලන පර්ෂදය සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන, පළාත් සභා, සමාජ ඒකාග්‍රතා, රාජ්‍ය කළමනාකරණ හා පරිපාලන ප්‍රතිසංස්කරණ ආදි විෂයයන් හා අදාළ ආයතන ඇතුළත් කළ හැක. ඊළඟට එම විෂයයන් හා නිශ්චිත වගකීම් සඳහා අමාත්‍යවරුන් හඳුනාගත හැක. මෙම නාමය අමාත්‍ය ලෙස හෝ රාජ්‍ය අමාත්‍ය ලෙස හෝ නම් කළ හැක. ඒ අනුව සෑම අමාත්‍යවරයෙකුටම නිශ්චිත ආයතන හා වගකීම් පැවරීම නිසි ලෙස කළ හැක. අදාළ විෂය භාර අමාත්‍යවරුන් තේරීමේදී ඒ ඒ විෂය ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් හෝ දැනුම සහිත පුද්ගලයන්ගෙන් හඳුනාගැනීම වඩාත් වැදගත් වේ. මේ අනුව පරිපාලන පර්ෂදය :්ාපසබසිඑර්එසදබ ක්‍කමිඑැර* සඳහා විෂය භාර අමාත්‍යවරුන් 5ක් පමණ හඳුනාගත හැක. එම පර්ෂදය සඳහා පත්වන විෂය භාර අමාත්‍යවරුන් අතරින් වඩා ජ්‍යෙෂ්ඨ හෝ අනෙක් අයගේ පිළිගැනීමට ලක්වූ අමාත්‍යවරයෙකු කැබිනට් අමාත්‍යවරයා ලෙස නම් කළ හැක. ඒ අනුව එක් පර්ෂදයක් සඳහා එක් කැබිනට් අමාත්‍යවරයකු පත්වීම තුළ අමාත්‍ය මණ්ඩලය පොරොන්දු වූ පරිදි 30ට වඩා අඩු කළ හැකිය.

කැබිනට් ඇමතිකමට ආසාව
ලංකාවේ බොහෝ දේශපාලනඥයෝ කැබිනට් අමාත්‍ය ධුරවලට පමණක් පත්වීමට වැඩි ආශාවක් දක්වති. එය වැදගත් ප්‍රශ්නයකි. මේ සඳහා ඉහත කී විෂය භාර අමාත්‍යවරුන් සියලුදෙනා විකල්ප කැබිනට් අමාත්‍යවරුන් ලෙස හඳුනාගත හැක. උදාහරණ ලෙස පරිපාලන කටයුතු පිළිබඳ පර්ෂදය තුළ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා ක්‍රියාකරයි. පළාත් පාලනය පිළිබඳ විෂයයක් හෝ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා කිරීමේදී එම විෂය භාර අමාත්‍යවරයාට කැබිනට් මණ්ඩල සාකච්ඡාව සඳහා සහභාගිවීමට අවස්ථාව ලබාදිය හැක. කැබිනට් අමාත්‍යවරයා අදහස් කරන්නේ නම් එදිනට එම විෂය භාර අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඔහු සමඟ සහභාගි කරවාගත හැක.
අවශ්‍ය වන්නේ නම් කැබිනට් හා විෂයභාර අමාත්‍යවරුන්ට සමාන පහසුකම් හා වරප්‍රසාද වුවද ලබාදීම සලකා බැලීම තුළ අමාත්‍යවරුන් තුළ කැබිනට් ඇමතිවරයෙකු නොවීමේ කනගාටුව අවම කිරීමටද හැකියාව ඇත.
මෙම ක්‍රමය තුළ වියදම් පක්ෂය කෙසේ වුවද, අවම වශයෙන් අමාත්‍ය මණ්ඩල සංයුතිය තුළ ඵලදායී ගතිලක්ෂණ හා වඩා යහපත් කළමනාකාරී ප්‍රවේශයන් හඳුනාගත හැකිවනු ඇත.

යහපත් කළමනාකරණය
මෙහිදී අදාළ පර්ෂද අමාත්‍යාංශය සඳහා පර්ෂද කැබිනට් ක්‍රමයක් :ක්‍කමිඑැර ඵසබස ක්‍්ඉසබැඑ* හඳුන්වා දිය හැක. ඒ ඒ පර්ෂදය මගින් ඉදිරිපත් කළ යුතු අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මෙන්ම අදාළ පර්ෂදයේ සැලසුම්, ප්‍රතිපත්ති, පරිපාලන භාවිතාවන්, ප්‍රගති සමාලෝචනය ආදියද පර්ෂදයේ රැස්වීම් හරහා සාකච්ඡාවට ගත හැකිය. මෙම පර්ෂද කැබිනට් රැස්වීම් සඳහා සියලු පර්ෂද අමාත්‍යවරුන්, අදාළ මූලික නිලධාරීන් ආදින්ගේ සහභාගිත්වය අනිවාර්ය කළ හැක.
මෙම පර්ෂද අමාත්‍යාංශ ක්‍රමය පවත්වාගෙන යෑම සඳහා රජය මගින් කළමනාකරණ හා පරිපාලන නිර්ණායක හඳුන්වා දිය හැක. එසේම ප්‍රතිඵලදායී සැලසුම් ක්‍රමෝපායන්, ප්‍රගති සමාලෝචන ක්‍රම, ඵලදායී භාවිතයන් මෙන්ම අදාළ අංශය දියුණු කිරීම සඳහා ඉලක්ක ලබාදීමද පහසුවෙන් කළ හැක.
පර්ෂදය සඳහා මූලිකව ප්‍රධාන ලේකම්වරයෙකු පත් කළ හැකි අතර විෂය භාර අමාත්‍යවරුන් සඳහා විෂය භාර ලේකම්වරයෙකු හා අදාළ කාර්ය මණ්ඩලය පත් කළ හැක. අදාළ නිලධාරීන් පත්කිරීමේදීද එක් විෂය ක්ෂේත්‍රයක් සඳහා හැකියා හා නිපුණතා සහිත නිලධාරීන් පත්කිරීම මගින් වඩා යහපත් කළමනාකරණයක් හා තවදුරටත් අදාළ පර්ෂදයේ මානව සම්පත් කළමනාකරණ හා ධාරිතා සංවර්ධන ප්‍රවේශයක් හඳුන්වා දිය හැක.

යහපත් ප්‍රතිඵල
මෑතකදී ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබුණේ අමාත්‍ය මණ්ඩලය 30ට අඩු කළ හැකිනම් එතුමා ඒ පිළිබඳ වඩා සතුටු වන බවයි. ඒ අනුව ජනාධිපතිතුමා මෙවැනි ක්‍රමයක් භාවිත කිරීමට යොමුවන්නේ නම් ඉහළ රාජ්‍ය නායකත්වය වඩා සතුටට පත්වනු ඇත. එමෙන්ම මෙම ක්‍රමය ඉතා යහපත් හා ඵලදායී තීරණ ගැනීම් හා ප්‍රතිපත්ති සම්පාදනයට යෝග්‍ය ක්‍රමයක් වනු ඇත. එමෙන්ම ආයතනික සහයෝගීතාව, දේශපාලන හා පරිපාලන නායකත්වයේ මනා සහයෝගය සංහිඳියාව, වගකීම් සහිතබව වැඩිවීම තුළ යහපාලනයට අදාළ පරිපාලන සංස්කෘතියක් ගොඩනැගෙනු ඇත. මෙයට අමතරව රජය පත්වීමට පෙර ජනතාවට ලබාදී තිබූ දේශපාලන පොරොන්දුවක් වන අමාත්‍ය මණ්ඩලය 30 දක්වා අඩු කිරීමේ පොරොන්දුව පහසුවෙන් ඉටුකිරීම තුළ රජයට ජනප්‍රසාදයක් අත්වෙනු ඇත. සමාජය තුළ අමාත්‍ය මණ්ඩල සංයුතිය පිළිබඳ පවතින අප්‍රසාදජනක ආකල්ප හා හැඟීම් වෙනස්වනු ඇත. අමාත්‍ය මණ්ඩලය සකස් කිරීම කළමනාකරණ ප්‍රවේශයක් මත සිදුවීම තුළ බොහෝ සංවර්ධනාත්මක ප්‍රවේශයන් සඳහා වැඩි ඉඩක් හා සමාජ පිළිගැනීමක් ඇතිවනු ඇත. පරිපාලන ක්ෂේත්‍රය තුළ වඩා ඵලදායී කළමනාකරණ ප්‍රවේශයන් හා සංස්කෘතියක් ගොඩනැගීමට ඉවහල් වන අතර සේවා තෘප්තිය ඉහළ නැංවීමට මෙය හේතුවනු ඇත.
සාරාංශ වශයෙන් ගතහොත්, කැබිනට් අමාත්‍ය මණ්ඩලය 30 දක්වා අඩු කිරීම, විෂයට වගකියන විෂය භාර අමාත්‍යවරුන් පත්කිරීම, විකල්ප කැබිනට් අමාත්‍යවරුන් ඇතිකිරීම, පර්ෂද අමාත්‍ය ක්‍රමයක් මගින් සම විෂය වගකීම් එකට කටයුතු කිරීමට සැලැස්වීම හා පර්ෂද කැබිනට් ක්‍රමයක් මගින් යහපත් ආයතන සම්බන්ධීකරණයක් පැවැත්වීම මේ ක්‍රමයෙන් බලාපොරොත්තු වේ.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඇතිකර ගැනීමට අවශ්‍ය පරිපාලන හා ව්‍යුහාත්මක සහයෝගය මෙවැනි ක්‍රමයක් මත ගොඩනැගීම, පවතින තත්ත්වයන් හා මතවාදයන් සමනය කිරීමට අවශ්‍ය වේ. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මෙවැනි ක්‍රමයකට කැමතිවීම හා නැඹුරුවීම අත්‍යවශ්‍ය කාරණයක් විය යුත්තේ එය ජනතාව තුළ යහපාලන බලාපොරොත්තු තවදුරටත් ශක්තිමත් කිරීමට හේතුවන බැවිනි. රාජ්‍ය සම්පත් ඵලදායිතාව හා කාර්යක්ෂමතාව ඉහළ දැමීම සඳහා යහපත් කළමනාකරණමය වටිනාකම් සහිත පරිපාලන යන්ත්‍රණය මූලික කරුණක් වන බැවින් මෙවැනි ප්‍රවේශයක් පිළිබඳ අවධානය යොමුකිරීම කාලෝචිත වේ.■

About