ආණ්ඩුවේ සමාජ ජාල සටන


sunanda

අන්තර්ජාලය මත පදනම් වූ සමාජ ජාල, ප්‍රධාන වශයෙන්ම මුහුණු පොත හරහා පතුරුවා හැරෙන අතේරෝල් පුවත් මෙන්ම අසත්‍යය මත පදනම්වූ අන්තවාදීන්ගේ ප්‍රචාරයන් සහ දුර්මත පැරදවීම දැන් ආණ්ඩුවේද අභියෝගයක් බවට පත්ව තිබෙන බව පෙනේ.
ජලගැල්ම අවස්ථාවෙහි ගංගා හරහා බැඳ ඇති බැමි පුපුරුවා හැරීමට යන බවට මුහුණු පොත හරහා ප්‍රචාරයක් දියත් විය. ජනයා බියගැන්වීම හරහා ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම එහි අරමුණ විය. එමෙන්ම (මුස්ලිම් රටක් වන) පාකිස්තානයෙන් ආනයනය කරන ලද බාසුමතී සහල් ප්ලාස්ටික්වලින් නිපදවා ඇති බවට මුහුණු පොත හරහා ගෙනගිය ප්‍රචාරය කොතරම් බලපෑවේද යත් එම සහල් විකිණීම තාවතාලිකව නතර කළ බවට ප්‍රකාශයක් කිරීමට පවා සතොස බලධාරීන්ට සිදුවිය. එවැනි වාර්ගික අගතීන්ගෙන් යුත් තවත් අතේ රෝලක් වූයේ යම් පිරිස් විසින් ජලගැල්මෙන් අනාථවූ පිරිස් වෙත ලබා දෙන ආහාර පාර්සල්වලට වඳ බෙහෙත් කවා ඇති බවයි.
මෙවැනි දුර්මත සහ වාර්ගික අගතීන්ගෙන් යුතු බියජනක පුවත් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රතිචාරය වී තිබෙන්නේ එවැනි කතා ගොතන සහ පළකරන පුද්ගලයන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවට තර්ජනය කිරීමය.
මාධ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණයෙහි අපූර්වතම මෙවලමක් වන අන්තර්ජාලයෙහි ඇති එක් නපුරක් නම් කිසිදු වගකීමකින් තොරව ඕනෑම බොරුවක් ලියා රහසිගතව එහි පළකිරීමට ඇති හැකියාවයි. එවැනි ව්‍යාජ පුවත්හි මූලය සෙවීම බොහෝවිට ඉතා අසීරුය. එමෙන් ගඳ සුවඳට වඩා වේගයෙන් පැතිරෙයි. ශ්‍රී ලංකාවේ වැඩිම පාඨක සංඛ්‍යාවක් සිටින්නේ ඕපාදූප සහ අනුන්ගේ පුද්ගලික ජීවිත ගැන ලියන වෙබ් අඩවිවලටය. ජනමාධ්‍යවේදයේ අ යන්න ආ යන්න වන මූලාශ්‍ර මගින් තහවුරු කරගත් කරුණ පමණක් පළකිරීම අන්තර්ජාල ඕපාදූප වෙබ් අඩවි සහ මුහුණු පොත්වලට අදාළ නැත.
ආණ්ඩුව සතුව දැවැන්ත ජනමාධ්‍ය ආයතන ගණනාවක්ම තිබේ. එමෙන්ම ජනපති, අගමැති සහ ඇමතිවරුන් වෙනුවෙන් පවත්වාගෙන යන වෙබ් අඩවි සහ මුහුණු පොත් අඩවිද තිබේ. ආණ්ඩුවේ පුවත් සඳහාම ඇරුණු වෙබ් අඩවිද ගණනාවක්ම තිබේ.
ඊටත් උඩින් ආණ්ඩුවේ මතය සන්නිවේදනය කරනු පිණිස ජනපති, අගමැති මාධ්‍ය ඒකක හැරුණු විට ඇමති මාධ්‍ය ඒකක මෙන්ම තොරතුරු දෙපාර්තමේන්තුවක්ද තවත් විශේෂ මාධ්‍ය ඒකකයක්ද තිබේ.
මේ සියල්ල තිබියදී ප්ලාස්ටික් සහල් ඇතැයි යනාදි වශයෙන් බොරුකාර මුහුණු පොත්කරුවන් පතුරුවන දුර්මත හමුවේ ආණ්ඩුව සසල වෙයි. පරදියි.
ඇයි?
ඊට පිළිතුරද මාධ්‍යවේදයේ අ යනු ආ යනු අතර තිබේ. එනම් විශ්වසනීයත්වයයි. ආණ්ඩුවේ හොඳ පමණක් පුවත් වශයෙන් බෙදාහරින කිසිදු මාධ්‍යයකට විශ්වසනීයත්වයක් ඇතිකරගත නොහැක. විශ්වසනීය මාධ්‍ය භාවිතයක් ඇතිකිරීමට නම් රාජ්‍ය මාධ්‍ය සියල්ල එනම් මුද්‍රිත, විද්‍යුත් සහ අන්තර්ජාල මාධ්‍ය ස්වාධීන සහ ප්‍රජාතන්ත්‍රීය මෙන්ම නූතන සහ තරගකාරීද කළ යුතුය.
එසේ නොවන තාක් කල් ආණ්ඩුවට කෑමට සිදුවනු ඇත්තේ මුහුණු පොතෙහි බෙදාහරින ප්ලාස්ටික් හාල්ය.
අගමැති අසනීපය
අගමැති වික්‍රමසිංහ හදිසියේම ඇමෙරිකාවට ගියේය. ඒ ජලගැල්මෙන් ලක්ෂ හයක් අවතැන් වී සිය ගණනාවක් මරණයට පත්ව විපත ඒ වන විටත් දිග්ගැස්සෙමින් පැවැති අවස්ථාවකදීය.
වික්‍රමසිංහ ඇමෙරිකාවට යන්නේ කුමක් සඳහාදැයි අගමැති කාර්යාලය කිසිදු නිවේදනයක් නිකුත් කළේ නැත. එක් ඉංග්‍රීසි පුවත්පතක පමණක් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගිය බව කියා තිබුණි. තවත් පුවතක කියා තිබුණේ අගමැති වික්‍රමසිංහගේ ගමන පුද්ගලික එකක් බවයි.
ඇමෙරිකාවට ගිය වික්‍රමසිංහ කළ ප්‍රථම සහ මූලික කාරිය වූයේ රෝහල්ගත වීමයි. ඒ හිසේ සිට පාදන්තය දක්වා අංග සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහාය. ඒ අතර ලංකවෙහිදී අගමැතිවරයාට සෙත් පතා ඉහළපෙළේ බෝධි පූජාවක් පවත්වන ලද අතර ඊට ජනාධිපති සිරිසේනද සහභාගි විය. හුදෙක් වෛද්‍ය පරීක්ෂණ සඳහා කවරකු හෝ රෝහල්ගතවූ විට සෙත්පතා බෝධිපූජා පවත්වනු අප අසා නැත. තමා විදේශ විශ්වවිද්‍යාලයකට නොගොස් කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් බව ආඩම්බරයට කියන වික්‍රමසිංහ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇමෙරිකාවට ගියේ මන්දැයි කිසිවකු කියා නැත.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන්හි ව්‍යවහාරය වන්නේ අගමැතිවරයකු විදේශගත වන විට ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කිරීමයි. එමෙන්ම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයෙහි වෙනසක් ඇතොත් ඒ පිළිබඳවද නිල නිවේදනයක් නිකුත් කිරීමයි.
තමා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇමෙරිකාවට ආ බව අගමැති සිය ට්වීට් සමාජ ජාල අඩවිය මගින් කියාසිටියේ එම පරීක්ෂණය අවසන්වූ පසු ජූනි 05දාය. අනතුරුව තමා එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව අමතන බව ජූනි 7දා තවත් ට්වීට් පණිවිඩයක් මගින් කියාසිටියේය. විශේෂ හේතුවක් නැතොත් සාමාන්‍යයෙන් අගමැතිවරුන් එවැනි සමුළු ඇමතීමට යන්නේ නැත.
සමාජ ජාල ඕපාදූප තටු ලබා පැතිරයෑමට එක් හේතුවක් නම් පාරදෘශ්‍යභාවයක් නැතිකමය.
කෙසේ වෙතත් අගමැති වික්‍රමසිංහගේ වෛද්‍ය පරීක්ෂණය සඳහා ඇමෙරිකාවට ගිය ගමන් වියදම් එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව ඇමතීම මගින් ආවරණය වන්නට ඇතැයි කවරකු හෝ කීමට පෙර ඇත්ත කියාසිටීම වැදගත්ය.
ඒකාධිපතියකුට විරුද්ධ වීණා වාදකයා!
ජනයා කරකාස්හි ජෝසේ මාර්ටි චතුරස්‍රයට පොදිකති. වාතලය දුමාරයෙන් කිළුටු වෙයි. කඳුළු ගෑස් කැනිස්ටරයක් පදික වේදිකාවෙහි වැදී පුපුරා යයි. මේ වනාහි පසුගිය මාස කිහිපය පුරා වෙනිසියුලා අගනගරයේ සුලභ දසුනකි. හිමිහිට නමුත් ස්ථිරවම ඒකාධිපතිත්වයක් බවට පත්වන්නේ යැයි එහි ජනයා විශ්වාස කරන ආණ්ඩුවට එරෙහිව විරෝධය පළකිරීමට රැස්කන ජනයා සහ එම ජනයා මත භීෂණය මුදාහරින රාජ්‍ය හමුදා බලය උරගා බලන එක් පොරපිටියක් වන්නේ මේ චතුරස්‍රයයි.
පුපරායන කඳුළු ගෑස් කැනිස්ටර සහ වාතලය පුරා පැතිරෙන ඔක්කාරය කරවන දුමාරය පරයා චතුරස්‍රයේ තවත් අපූරු මානව සංස්කෘතික කතිකාවතක් සිදුවෙයි.
එකම එක වයලීනයක තත් බිඳෙන හඬට සවන් පිබිදෙයි. සිය රටෙහි ධජය පින්තාරු කළ හෙල්මටයක් පැළඳ සිය නිකට යටින් වයලීනය හිරකරගෙන සිටින යෞවනයා තත් හරහා උපවීණය අද්දවන්නේ අපූරු විශ්වාසයකිනි.
විරෝධතාකරුවන්ගේ මිහිරි සංකේතයක් බවට පත්ව ඇති ඔහු වටා විරෝධතාකරුවන් එක්රැස්ව සිටින්නේ රැකවල්ලෑමට මෙන්ය. ඉන් අයකු ඔහු ආවරණය කරන්නට මෙන් තමාම සදාගත් පළිහක් අල්ලාගෙන සිටී.
ආසන්නයේම තවත් විරෝධතාකරුවන් පිරිසක් ආණ්ඩුවේ හමුදා වෙත මොලටෝව් කොක්ටේල් නම් ගිනිබෝම්බ දමාගසති. යෞවන සංගීතඥයා අවටින් නැගෙන බියකරු හඬට නෑසූ කන්ව වයලීනය වයයි. ඔහුට ඇසෙන්නේ සිය වයලීනයෙහි තත් බිඳෙන හඬ පමණි.
මේ විලි අර්තේගාය. විටෙක ඔහු තනිව නැගීසිට සිය වයලීනයෙන් වෙනිසියුලානු ජාතික ගීය වයන්නේ ගොරහැඩි මිලිටරි බලකා ඉදිරියෙහිය. ඔහු කියන්නේ තමා වයලීනයෙන් සාමයේ පණිවිඩය ගෙනඑන බවයි.
සිය වයලීනය වයමින් විරෝධතාවන්ට එක්වූ මෙවැනිම යෞවන සංගීතවේදියකු වූ දහඅට හැවිරිදි අර්මන්දෝ කැනිසලාස්ගේ ගෙල පසාකරගෙන හමුදා වෙඩි උණ්ඩයක් ගමන්කළේ ‍‍‍මසකට පෙරය.
ඒ මාරක වෙඩි උණ්ඩය අර්මන්දෝ කරා ඒමට ටිකකට පෙර “දැන් යමු, තත්ත්වය හොඳ නැහැ” යැයි කී මිතුරියකට ඔහු කියා තිබුණේ “මා යන්නේ නැහැ! දිගටම රට වෙනුවෙන් වාදනය කරනවා” කියාය. මෙහොතකට පසු ඔහු මරාදැමුණි. පසුගි ය මාර්තුවෙහි සිට විරෝධතාකරුවන් 42දෙනෙකු එරට හමුදා විසින් ඝාතනය කර තිබේ.
දැන් අර්මන්දෝගේ තැන ගෙන ඇත්තේ විලී අර්තේගාය. පසුදාක හමුදා ප්‍රහාරයකින් ඔහුගේ වයලීනය කඩා බිඳදැමුණි. අර්තේගා ප්‍රසිද්ධියේ හඬාවැටුණි. ඔහුගේ සගයෝ නව වයලීනයක් ඔහුට පුදකළහ. ඔහු දැන් ඒ වයලීනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා වීදි අරක්ගන්නා ජනයාට සංගීතය පුදකරයි.
ඒ වනාහි සංගීත ළැදි සංගීතය සිය ජීවිතයේ කොටසක් බවට පත්කරගත් දකුණු ඇමෙරිකානු සමාජය අරගල භූමියද සිය ජීවිතයේ කොටසක් බවට පත්කර ගත් හැටියකි.■