රාවය

මහින්දගේ ආණ්ඩුව බුද්ධිමත් මේ ආණ්ඩුව මෝඩයි | ආචාර්ය චරිත හේරත්

මහින්දගේ ආණ්ඩුව බුද්ධිමත් මේ ආණ්ඩුව මෝඩයි | ආචාර්ය චරිත හේරත්

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

යහපාලන’ සංකල්පය සහ ගෙවී ගිය දෙවසර තුළ එහි සංකල්පීය භාවිතය ගැන ඔබේ තක්සේරුව මොකද්ද?
යහපාලනය කියන එක ම මම දකින්නේ රි‍ටොරික් එකක් (Rhetoric) හෙවත් අලංකාරිකයක් විදියට. මේ විදියේ දේශපාලනික අලංකාර නිරන්තරයෙන් අපේ සමාජයේ තිබුණා. ලංකාවේ බලය පිළිබඳ කාරණය දිගින් දිගට ම ගමන් කළේ මේ විදිහේ අලංකාරික හරහා.
හැත්තෑ හතේ ජේආර් ජයවර්ධන මහත්තයා ගෙනාපු අදහසනේ, ධර්මිෂ්ඨ රාජ්‍යය කියන එක. ඒ වගේම ඒක ඇතුළට ගෙනාවා අවුරුදු දෙකක් වැඩියෙන් බලයේ හිටියා, කන්න බොන්න නෑ සහ රැකියා නෑ වගේ විරුද්ධ පක්ෂය ගැන කියන කාරණා ටිකකුත්. ඒ සියල්ල එකතු කළ මහා පොදු සාධකය තමයි ධර්මිෂ්ඨ සමාජය කියන්නේ.
ඒ වගේ ම අනූ හතරේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරද්දන්න චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව ගෙනාවේ සාමය උදාවයි දුකිගිනි නිමාවයි කියලා. නමුත් උදාවුණු සාමයක් තිබුණේත් නෑ. නිවුණු දුක් ගින්නකුත් නෑ.
මහින්ද රාජපක්ෂ යුගය එන්නේත් යුද්ධය පරාජය කරනවා කියන මතයත් එක්ක. නමුත් අපි ඒක ඉටු කළා. රාජපක්ෂ කාලය තුළත් නිවැරදිව ඉටු කරන්න බැරිවුණු දේවල් කීපයකුත් තිබුණා. පංච මහා කේන්ද්‍ර නිර්මාණය කිරීම වගේ දේවල් ඒ අතර තියෙනවා. ඉතිං යහපාලනය කියන්නෙත් ඒ විදියේ ම රිටොරික් එකක් තමයි.

බලය ලබාගැනීම උදෙසා ම ඊනියා අලංකාරික භාවිත කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී නැද්ද?
බලය ලබාගැනීම සඳහා මේ විදිහේ රිටොරික් භාවිත කිරීම අපේ ඉතිහාසයේ විතරක් නෙමෙයි ගොඩක් තැන්වල දකින්න පුළුවන්. බලය ලබාගන්න ඒ විදියේ අලංකාර පාවිච්චි කළාට බලයට ආවාම ආණ්ඩුවලට ගොඩක් වෙලාවට ඒවා ඒ විදියට ම කරන්න බෑ. ඒ නිසා දේශපාලනික සවිඥානිකත්වය තියෙන උදවිය ඒ දේ තේරුම් අරගෙන ඉන්න ඕනෑ.
අද මේ ආණ්ඩුවට ඇතිවෙලා තියෙන ගැටලු‍ව මේ ආණ්ඩුවට උදවු කළ අදේශපාලනික කණ්ඩායම් මේ රිටොරික් පොළවේ පැළ කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින එක. ලැම්බෝ ගිනි පෙන්නලා ඡන්දය ගත්ත ඒ අය ලැම්බෝගිනි පාරේ ඉල්ලනවා. රත්තරං අශ්වයෝ ගැන කියලා ඡන්දය අරගෙන රත්තරං අශ්වයෝ පාරේ ඉල්ලනවා.
එක ඡන්දෙකදී අපි කියූ දෙයක් තමයි ප්‍රේමදාස මහත්තයා කන්‍යාවන් හත් දෙනෙකුගෙන් කිරි කළ හතක් නෑවා කියන එක. නමුත් ඡන්දෙන් පස්සෙ අපි චන්ද්‍රිකා මැතිනියට කිව්වේ නෑ ඒ කන්‍යාවන් හත් දෙනාවයි කිරි කළ හතයි හොයන්න කියලා. ඒ වාගේ ම අපි කිව්වා දඹුල්ලේ අල ගොවියෝ වහ බීලා මැරුණා කියලා. අපි එහෙම කිව්වාම ඡන්දේ ලැබුණා. නමුත් පස්සේ අපි මැරුණු අල ගොවියෝ හොයන්න ගියේ නෑ.
ඉතින් කලිනුත් කිව්වා වගේ, මේ වෙලාවෙ ආණ්ඩුව මුහුණ දීලා තියෙන ලොකුම ගැටලු‍ව තමයි ආණ්ඩුව බලයට පත් කළ අදේශපාලනික බලවේග මේ රිටොරික් මහ පොළවේ ඉල්ලීම. මම හඳුන්වන විදියට අද තියෙන්නේ ලු‍ම්පන් සිවිල් සමාජයක්. එහෙමත් නැතිනම් රස්තියාදුකාරයන්ගේ සිවිල් සමාජයක්.
අනික් අතට බලය මාරු කිරීමේදී භාවිත කරන සංකල්ප අලංකාරික තමයි. නමුත් බලය මාරුවීම කියන්නේ රිටොරික් එකක් නෙමෙයි. බලය තමන් අතට ගත්තාම රට ගෙනියන්න පැහැදිලි අදහසක් අලු‍ත් කණ්ඩායමකට තියෙන්න ඕනෑ.

වර්තමාන ආණ්ඩුවට ඒ විදිහේ පැහැදිලි අදහසක් නෑ කියලාද ඔබ කියන්නේ?
පහුගිය ආණ්ඩු දිහා බැලු‍වාම අපිට පෙනෙනවා බලය මාරු කරන්න ඒ අය කොයි විදියේ අලංකාරික භාවිත කළත් බලය මාරු වුණාට පස්සේ කරන්න යන දේ ගැන ඒ හැමෝටම වගේ කිසියම් අදහසක් තිබුණා කියලා. ජේආර්ට චන්ද්‍රිකාට මහින්දට තිබුණ ඒ අදහස කිසියම් දුරට මෛත්‍රීපාල ජනාධිපතිතුමාටත් තියෙන බව පෙනෙනවා. නමුත් ආණ්ඩුව එකක් විදියට ගත්තාම ඒක පෙනෙන්නේ නෑ. අද තියෙන්නේ ආණ්ඩුව බලයට පත් කළ අදේශපාලනික සිවිල් සමාජය තමන් පාවිච්චි කළ රිටොරික් මහ පොළවේ පැළ කරන්න කිය කිය ආණ්ඩුවට කියන, ඒක පැළ කරමින් ඉන්නවා වගේ ආණ්ඩුව පෙන්නමින් ඉන්න දේශපාලනයක්. එතැනින් එහාට කිසිදෙයක් නෑ.
මේ වගේ අලංකාරිකත් එක්ක ආණ්ඩු ගෙනියන්න ගිහින් අර්බුදයට පත් වුණ අවස්ථාවක් තමයි පණස් හයේ දී බණ්ඩාරනායක රජය මුහුණ දුන් තත්ත්වය. ඒ වෙනකොට තිබුණ එක්සත් ජාතික පක්ෂ රජයට විරුද්ධව විශාල අලංකාරික රාශියක් ගෙනැවිත් තමයි එතැනදී බලය ගත්තේ. ඒ බලය ගත්තාට පස්සේ බුද්ධරක්ඛිත හිමි, විමලා විජේවර්ධන වගේ අය ඒ අදහස් මහ පොළොවේ ඉල්ලු‍වා. අන්තිමට ඒ අවුලට අහුවෙලා තමයි බණ්ඩාරනායකගේ ජීවිතය පවා නැති වුණේ. අන්තිමට රටත් අර්බුදයට ගියා. බුද්ධරක්ඛිතලා සිරගත වුණා.
ඔබ ඇහුවා වගේ, මේ ආණ්ඩුවට තමන්ගේ ආර්ථික වැඩසටහන, තමන්ගේ ආරක්ෂක වැඩසටහන, තමන්ගේ පාරිසරික වැඩසටහන හරි තමන් කළ යුතු සුබසාධන වැඩසටහන වගේ කිසිම දෙයක් ගැන එක මතයක් නෑ. මේක ප්‍රධාන වශයෙන් ගමන් කරන්නේ පරස්පර ස්ථාවර දෙකක් මත. එක ස්ථාවරයක් තමයි රාජ්‍යය දියකරලා වෙළඳපොළට සමාජය හසුරුවන්න ඉඩ දෙන්න ඕනෑ කියන එජාපයේ මතය. ඒ අය රාජ්‍යය කියන එක තමයි ප්‍රශ්නය විදියට දකින්නේ. ඔවුන් කල්පනා කරන විදියට, සාමය පිළිබඳ ප්‍රශ්නය, සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නය, ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාව පිළිබඳ ප්‍රශ්නය ආදි සියල්ල වෙළඳපොළ මගින් විසඳෙනවා. ඒ අතර ජනාධිපතිතුමා ඇතුළු‍ ශ්‍රීලනීපය ඒකට විසඳුමක් හදන්නේ නෑ. නමුත් ඒකට විරුද්ධයි වගේ පෙන්වමින් ඉන්නවා. මේ ගැටලු‍වට උත්තරේ වෙන්න ඕනෑ රජ කෙනෙක් හදන එක නෙමෙයි. ඒ වගේම රාජ්‍යය දිය කරන එකත් නෙමෙයි. රාජ්‍යයක් නැති, වෙළඳපොළ විතරක් ඇති තත්ත්වයක් බිහිකරන්න හොඳ නෑ. මේ දෙක මැද්දේ තමයි ලංකාවේ දේශපාලන ගනුදෙනුව බේරාගන්න අවශ්‍ය.
අර කියූ අදේශපාලනික සිවිල් ක්‍රියාකාරිකයන් අද ආණ්ඩුවට කියන්නේත් එහෙම දේවල්. ඒ අය කියන හැටියට තමන් සියලු‍ මිනීමැරුම් හා මිනීමරුවන් ගැනත් වරදකරුවන් ගැනත් දන්නවා. ඉතින් ඒ අය අල්ලන්න කියලා තමයි මේ අය ආණ්ඩුවට බලපෑම් කරන්නේ. නමුත් ආණ්ඩුව ඒ අයගෙන් අහන්නේ කෝ වැරදි, කෝ වැරදිකරුවෝ, කොහොමද වැරදිකරුවො අල්ලන්නේ, ඕගොල්ලෝ කිව්වාට කොහොමද මිනිස්සු හිරේ දාන්නේ කියලා. මේවා නීත්‍යනුකූල වැඩපිළිවෙළකට කරන්න ඕනෑ ඒවා. ඒ නිසා සිවිල් සමාජය කියන නිසා හෝ ජනමාධ්‍යයක් කියන නිසා හෝ ජනාධිපතිටවත් අගමැතිටවත් මිනිස්සුන්ට දඬුවම් කරන්න බෑ.

හුදෙක් බලයට ඒමේ මාර්ගයක් විදිහට ව්‍යාජ අලංකාරික භාවිත කිරීම දේශපාලනයේ ක්‍රමය නම් ඒක තමයි ක්‍රමය කියලා හිත හදාගැනීමට එහා ගොස් සංකල්ප වෙනුවෙන් පෙනීහිඳිමින් කළ හැකි කාර්යයක් දැනුවත් පුරවැසියන්ට සහ මාධ්‍යයට තියෙන්න බැරිද?
එක්දහස් නවසිය අනූ හතරේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් රට ගලවන්න රාවය පත්තරේ වගේ පුවත්පත්වලින් විශාල වෑයමක් ගත්තා. එහෙම කරලා ආණ්ඩුව බිහිකළාට පස්සේ, ආයෙමත් ආණ්ඩුවෙන් ගැලවෙන්න අවශ්‍ය තැන වහාම හඳුනාගෙන රාවය කර්තෘවරයා රාවයේ මාර්ගය ඒ දිහාවට හැරෙව්වා. සිවිල් සමාජය හා ජනමාධ්‍ය කරන්න අවශ්‍ය එදා වික්ටර් අයිවන් කළ දේ මිසක් වෙන මොකුත් නෙමෙයි.
නමුත් අද සිවිල් සමාජය කරන්නේ කිරි කළවලින් නාවපු හත්දෙනා ගෙනෙන්න කියලා කෑමොරදෙන එක විතරයි. දේශපාලනික පුරවැසියන් නම් කරන්න ඕනෑ අලු‍ත් ආණ්ඩුවේ අලු‍ත් ආර්ථීක වැඩපිළිවෙළ, දේශපාලන වැඩපිළිවෙළ, පරිසර වැඩපිළිවෙළ, අලු‍ත් මැතිවරණ වැඩපිළිවෙළ ආදිය දිහා බලන එක. ඒ නිසා එදා එක්සත් ජාතික පක්ෂෙන් ආණ්ඩුව ගලවාගත්තාට පස්සේ අලු‍ත් ආණ්ඩුවෙනුත් ගැලවෙන්න අවශ්‍ය හරි තැන රාවය කර්තෘවරයා හඳුනගත්තා වගේ මේ පුරවැසියන් හා මාධ්‍යත් නිවැරදි ඉවකින් ඉන්න ඕනෑ. මොකද මේ වෙලාව ඔවුන්ව පරීක්ෂාවට ලක් කෙරෙන වෙලාවක්.
අද ලංකාවේ සිවිල් සමාජයට තියෙන මේ නෝක්කාඩුවට එකම හේතුව ඔවුන්ට දේශපාලනිකභාවයක් නැතිකම. ඒ අය නිවැරදි නම් කරන්න අවශ්‍ය පරණ නෝක්කාඩු කියන එක නෙමෙයි, මේ ආණ්ඩුවට දේශපාලන ඥානයක් ලබා දීම.
රටේ සාමාන්‍ය ජනතාව කියන්නේ මේ ආණ්ඩුව මෝඩ ආණ්ඩුවක් කියලා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එදා සමාජයේ විවිධ විවේචන තිබුණා. ආණ්ඩුවේ පවුල්වලට සම්බන්ධ අය විතරයි ඉන්නේ, ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නෑ, යම් ආධිපත්‍යධාරී ස්වරූපයක් තියෙනවා වගේ දේවල් කිව්වාට මහින්ද ආණ්ඩුව මෝඩයි කියලා කවුරුත් කිව්වේ නෑ. නමුත් අද මේ ආණ්ඩුව බුද්ධිමත් නෑ කියලා මතයක් තියෙනවා විතරක් නෙමෙයි මාත් ඒ මතය නියෝජනය කරනවා. මේ ආණ්ඩුව මෝඩ වෙන්න මං දකින ප්‍රධාන කාරණය තමයි මේ ආණ්ඩුව ගෙනියන්නේ ගැළපෙන කණ්ඩායමක් එක්ක නෙමෙයි, හැත්තෑ හතේ බලය ඉවර වුණ අයම තමයි අදත් ආණ්ඩුව හසුරවන්නේ. ඒ අය තවමත් හිතන්නේ හැත්තෑ හතේ විදියට. හැත්තෑ හතෙන් පස්සේ මේ රටේ බිහිවුණ තාක්ෂණික කණ්ඩායමක් හිටියා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගැන කියූ චෝදනා නිසා ඒ අය තමයි මේ ආණ්ඩුව පත් කරන්නේ. මහින්ද ආණ්ඩුව කවදාවත් පිටරට වෙළෙන්දෙකුට රට පාවා දෙන්නේ නෑ, පිටරට බලයකට රට පාවා දෙන්නේ නෑ කියලා එදාත් ඒ අය දැනගෙන හිටියා. නමුත් නිදහස කියන කාරණය මීට වඩා පුළුල් වෙන්න ඕනෑ කියලා හිතමින් තමයි ඔවුන් මහින්ද ආණ්ඩුව වෙනුවට මේ ආණ්ඩුව තෝරාගත්තේ. ඒත් දැන් ඔවුන් කල්පනා කරන්නේ වෙන විදියකට.

මේ ආණ්ඩුව පිටරට වෙළෙන්දන්ට සහ රාජ්‍යයන්ට රට පාවා දෙන්න හදනවා, ආගම පාවා දෙනවා කියන ඒවා ආයෙමත් බලයට එන්න හදන අය ගෙනියන රිටොරික් එකක් නෙමෙයිද?
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කියන්නේ පරීක්ෂාවට ලක්වුණු එකක්. ඒ ආණ්ඩුව ආපහු ආවොත් කරන විදිය ගැන මිනිස්සු තුළ හැඟීමක් තියෙනවා.
උදාහරණයක් විදිහට කොළඹ නගරය සංවර්ධනය කිරීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉතාම හොඳට කරනවා කියලා මිනිස්සු දන්නවා. නමුත් ඒ කරන විදියේ කිසියම් ආධිපත්‍යධාරීබවක් තියෙනවාද කියලා ඒ අය හිතුවා. ඒ වගේම මේ රටේ සුළු ජාතිකයන් ඉන්න ප්‍රදේශ හොඳට ම සංවර්ධනය කළේ පහුගිය ආණ්ඩුව. නමුත් ඒ කරන විදිය තුළ කිසියම් ආධිපත්‍යධාරීබවක් තියෙනවාද කියලා මිනිස්සු හිතුවා. මම නියෝජනය කරන විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තාම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැඩිපුරම පඩි දුන්නේ මහින්ද ආණ්ඩුව. නමුත් ඒ ආණ්ඩුව තමන් වෙත ආධිපත්‍යයක් පතුරනවා කියලා ආචාර්යවරු හිතුවා. තරුණයන්ට ඩිජිටල් තාක්ෂණය වැඩියෙන්ම දුන්නේ පහුගිය ආණ්ඩුව. නමුත් තමන්ට යම් ආධිපත්‍යයක් පතුරනවාද කියලා තරුණයන් හිතුවා. යුද්ධය නිමා කරන්න පුළුවන් වුණේ මහින්ද ආණ්ඩුවට විතරයි. නමුත් ඒ ඉවරවෙලා තමන් දිහාවට ආපස්සට බලය පතුරනවාද කියලා ඇතැම් අය හිතුවා. ඒ නිසා කලිනුත් කිව්වා වගේ මහින්දගේ ආණ්ඩුව බුද්ධිමත්, නමුත් තමං වෙත දමන ආධිපත්‍යය වැඩිය කියන මහා පොදු සාධකය උඩ තමයි සමාජය වැඩ කළේ.
ඔබ අහපු ප්‍රශ්නයට මේ විදියේ උදාහරණයකින් උත්තර දෙන්න පුළුවනි. කොළඹ කටුනායක හයිවේ එකට එකල වැඩ ඇමතිවරයා මුල්ගල තිබ්බේ එක්දහස් නවසිය හැට හයේ. හැට හයේ ඉඳන් හැත්තෑව වෙනකං ආණ්ඩුවක් තිබුණා, මේකට වෙනම දෙපාර්තමේන්තුවක් දැම්මා. වියදමක් ගියා. පාරක් හැදුවේ නෑ. හැත්තෑවේ ඉඳලා හැත්තෑ හත වෙනකං මේකට ඩෙස්ක් එකක් තිබුණා. සල්ලි දැම්මා. වියදමක් තිබුණා. පාරක් හැදුණේ නෑ. හැත්තෑ හතේ ඉඳන් අසූ නවය වෙනකං මහාමාර්ග අමාත්‍යාංශය යටතේ මේකට ඩෙස්ක් එකක් තිබුණා, වියදමක් කෙරුණා. පාරක් හැදුවේ නෑ. අසූ නමයේ ඉඳන් අනූ හතර වෙනකං ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුවෙනුත් මේකට වියදමක් දැම්මා. ඒත් පාරක් හැදුවේ නෑ. අනූ හතරේ ඉඳන් දෙදහස් පහ වෙනකං චන්ද්‍රිකා ආණ්ඩුවෙන් මේකට කොරියාවෙන් විශාල ණය ප්‍රමාණයක් ගත්තා. වියදමක් තිබුණා. පාරක් හැදුවේ නෑ. ඒ නිසා එක්දහස් නවසිය හැට හයේ ඉඳන් දෙදහස් පහේ මහින්ද ජනාධිපති වෙනකම් කොළඹ කටුනායක මාර්ගය රිටොරික් එකක් විතරයි. විශාල වියදමකුත් තිබුණා. නමුත් මහින්ද බලයට ආවාම රිටොරික් එක පාරක් කළා. වියදමකුත් තිබුණා. අන්තිමට මහින්දව පරද්දන්න දැම්මේ මේකට වියදම වැඩියි කියලා. නමුත් ඊට ඉස්සෙල්ලා ආණ්ඩු හතරක රිටොරික් එකක් තිබුණා, වියදමකුත් තිබුණා, පාරක් තිබුණේ නෑ. මහින්ද පාර හදන්නේ නැතිව රිටොරික් එක පවත්වාගෙන ගියා නම් කවුරුවත් ප්‍රශ්න කරන්නේ නෑ.
අනික් වැදගත්ම උදාහරණය යුද්ධය. ජේආර් ජයවර්ධන මහත්තයාගේ කාලේ යුද්දෙ පටන්ගත්තා. විශාල රිටොරික් එකක් තිබුණා. යුද්දෙත් තිබුණා. ප්‍රේමදාස මහත්තයා හිටියා. රිටොරික් එකක් තිබුණා. යුද්දෙ නැවැත්තුවේ නෑ. විජේතුංග මහත්තයා ආවා. රිටොරික් එක තිබුණා. යුද්දෙ නැවැත්තුවේ නෑ. චන්ද්‍රිකා මැතිනිය ආවා. රිටොරික් එක තිබුණා. යුද්දෙ නැවැත්තුවේ නෑ. නමුත් මහින්ද රාජපක්ෂ ආවා ඇත්තටම යුද්ධය කළා. රිටොරික් එක නැවැත්තුවා. ඉතිං මහින්ද කියන්නේ රිටොරික් නවත්තන කෙනෙක්. රිටොරික් එක කතාවක් විදියට තියාගෙන ඒකෙන් ඡන්දෙ ගන්න එකයි පොළවට බැහැලා ඒ වැඬේ කරලා විසඳන එකයි දෙකක්. මට හිතෙන්නේ මහින්දට වුණ වැරැද්දත් රිටොරික් තියාගන්නේ නැතිව වැඬේ කළ එක.
ඉතිං මහින්ද කියන්නේ රිටොරික් පවත්වන කෙනෙක් නෙමෙයි කියලා පැහැදිලියි. ඒ නිසා ඔහු මේ ආණ්ඩුව ගැන දෙයක් කියනවා නම් ඒක රිටොරික් එකක් නෙමෙයි.■