රාවය

විදේශ ණය සහ ආනයන අර්බුදය: මංගල සමරවීරගෙන් පසු ලංකා ආර්ථිකය කොයිබටද?

විදේශ ණය සහ ආනයන අර්බුදය: මංගල සමරවීරගෙන් පසු ලංකා ආර්ථිකය කොයිබටද?

අහිලන් කදිරගාමර් පරිවර්තනය: රමිදු පෙරේරා

පසුගිය දා සිදු වූ කැබිනට් සංශෝධනය සහ මුදල් අමාත්‍යාංශයට නව ඇමතිවරයෙකු පත් කිරීම ඇතැම් පාර්ශ්ව තුළ මහත් අපේක්ෂා දල්වා තිබේ. නව මුදල් අමාත්‍ය මංගල සමරවීරට රෝගී තත්ත්වයේ පසුවන ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනයට ලක්කළ හැකි වනු ඇද්ද?
මංගල සමරවීරගේ නායකත්වය යටතේ, මුදල් අමාත්‍යාංශයට අත්පත් කරගත හැකි දෑ සහ අත්පත් කරගත නොහැකි දෑ ගැන සාකච්ඡාවට පෙර ලංකාවේ ආර්ථිකයේ මේ මොහොතේ තත්ත්වය සිතියම්ගත කරගෙන සිටීම වැදගත්ය. මීට හරියටම වසරකට පෙර, එනම් 2016 ජූනි මාසයේ ද ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ණයක් සඳහා වූ එකඟතාවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එලැඹුණේය. කෙසේ වුවද පසුගිය වසරක කාලය තුළ අප අත්දුටුවේ ජාතික ආර්ථිකයේ අඛණ්ඩ පරිහානියකි. වෙළෙඳ ශේෂය ඉහළ යෑම හා විදේශ සංචිත පහළ වැටීම දිගටම සිදුවිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම අත්සන් කළ කාලයේ දී අප ඇතැමෙකු දිගින් දිගටම පෙන්වා දුන් පරිදි, ග්‍රාමීය ආර්ථිකය සහ සමාජ සුබසාධන සේවා නොවැදගත් තැනකට ඇද දමමින් මූල්‍ය ක්ෂේත්‍රය, වෙළෙඳපොළ සහ නාගරික ඉදිකිරීම්වලට ප්‍රමුඛතාව ලබා දෙමින් අනුගමනය වන නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති මගින් සිදුවන්නේ ශ්‍රී ලාංකීය ආර්ථිකයේ අර්බුදභරිත ස්වභාවය තවත් උත්සන්න කිරීමකි. කෙසේ වූවද එවැනි පිළිවෙත් මූල්‍ය ක්ෂේත්‍රයේ, වෙළෙඳ හා ඉදිකිරීම් අංශවල ආයෝජන සිදුකරන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ ධනවතුන්ට අතිමහත් ලාභ උපයා ගැනීමට ආධාර කරයි.
මෙහි වරද තිබෙන්නේ කොළඹ කේන්ද්‍රීය ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා බුද්ධි පර්ෂදවල සාවද්‍ය විශ්ලේෂණවල සහ ආණ්ඩුවේ ප්‍රශ්නකාරී ආර්ථික දැක්මේ පමණක් නොවේ. මෙම ගැටලු‍කාරී තත්ත්වය උග්‍ර වීමට ගෝලීය ප්‍රාග්ධනයේ අවශ්‍යතා වෙනුවෙන් සේවයේ යෙදී සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ආදි ජාත්‍යන්තර ආයතනවල ප්‍රතිපත්තිමය නිර්දේශයන් ද වගකිව යුතු වේ. ශ්‍රී ලංකාව වැනි රටවල් සංවර්ධන ආධාර සදහා හෝ වේවා අර්බුද අවස්ථාවක දී සහන පතා හෝ වේවා මෙම ආයතන වෙත හැරෙන විට එම ආයතන විසින් නිර්දේශ කරන, එසේම දේශීය ප්‍රභූ ස්ථරයන් විසින් සහයෝගය දක්වනු ලබන වෙළෙඳාම ලිහිල් කිරීම, මූල්‍යකරණය හා පෞද්ගලිකකරණය ආදි පිළිවෙත් මගින් සිදු කරන්නේ ආර්ථිකය මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය වඩාත් තීව්‍ර කිරීමය.
අයවැයක් අයවැයක් පාසා මොන තරම් දුරට රජයේ සේවාවන් සදහා කරන වියදම් කපා හරිනු ලැබුවද රටේ බාහිර මූල්‍ය සංරචක සමතුලිත කරගැනීම පසුගිය කාලය තුළ බලයට පත් සියලු‍ ආණ්ඩුවලට අසීරු වී තිබේ. යුද්ධයෙන් පසු රාජපක්ෂ රෙජිමය ණය මගින් අනුබල ලත් ඉදිකිරීම් තුළින් ඇති කරගත් ආර්ථික වර්ධනයක මාර්ගයෙන් ආර්ථික බුබුලක් ඇති කළ අතර 2008දී බටහිර ලෝකයේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමග ගෝලීය ප්‍රාග්ධනය සංවර්ධනය වෙමින් තිබෙන රටවලට ගලාඒම කෙරෙහි දැක්වූ නැඹුරුතාව නිසා රාජපක්ෂ රෙජිමය විසින් ඇති කළ මෙම බුබුල යම් කාලයක් පවත්වා ගෙන යා හැකි විය. එම ආණ්ඩුව රට සමපේක්ෂණ කටයුතුවල යෙදෙන විදේශ මූල්‍ය වෙළෙඳාම්කරුවන්ට විවෘත කළ අතර එම කාලය තුළ විදේශ ණය මුදල් සංකේන්ද්‍රණය වීම ද චිරස්ථායී නොවන ලෙසකින් සිදු විය. 2015 ආණ්ඩු වෙනසින් පසු සිදුවූයේ රාජපක්ෂ රජය යටතේ අනුගමනය වූ ඉහත කී පිළිවෙත් තවදුරටත් පවත්වාගෙන යෑමය. පැරණි ණය ගෙවීම සදහා අලු‍තින් ජාත්‍යන්තර ණය ලබාගත් අතර එසේ ණය ලබාගන්නා ලද්දේ ගෝලීය වෙළෙඳපොළ තුළ ණය ගැනීම් සිදු කිරීම එන්න එන්නම දුෂ්කර වෙමින් තිබුණු වාතාවරණයක් යටතේය.
ඕනෑම ආර්ථික අර්බුදයක් විශ්ලේෂණය කරන විට අනිවාර්යයෙන් මතු වන ප්‍රශ්නයක් වන්නේ, එම අර්බුදයේ විපාක කාටද? ඉන් වාසි ලැබෙන්නේ කාටද යන්නයි. ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදය ද්විත්ව ස්වරූපීය. එක් අතෙකින් වැඩෙන විදේශ ණය සහ අනෙත් අතින් පුළුල් වන වෙළෙඳ හිඟය, එනම් ආනයන හා අපනයන අතර පරතරය නිසා ආණ්ඩුව හිර වී ඇත. ඉහළ යන ජීවන වියදම සහ ඉතාම අවම මට්ටමක තිබෙන සමාජ සුබසාධන වියදම්වල දඟරය තුළ ගම්බද හා නාගරික ප්‍රදේශවල වැඩකරන ජනයා අනෙක් අතට සිර වී සිටිති. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව වැනි, නිදහස් සේවාවන් ලෙස පැවතිය යුතු යැයි අපේක්ෂා කෙරෙන සේවා සඳහා එම ජනයා අධික මිලක් මේ වනවිට ගෙවමින් සිටිති.

ආණ්ඩුවේ ආර්ථික ප්‍රශ්න
පෙර කී ලෙස රජය මුහුණ දී සිටින ආර්ථික ප්‍රශ්නවල කේන්ද්‍රය වන්නේ එන්න එන්නම වැඩි වෙන වෙළෙඳ ශේෂය සහ අපනයන සඳහා ගෙවීම් සිදුකරනු ලබන විදේශ සංචිතවල ප්‍රමාණය පහළ වැටීමය. 2015 දී වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ අවස්ථාවේ වෙළෙඳ ශේෂය වැඩි වෙමින් තිබෙන බව සහ අතිවිශාල ආනයන වියදම තවදුරටත් විදේශ ණය ලබාගැනීම මගින් ගෙවාගත නොහැකි බව පැහැදිලිවම විද්‍යමාන වෙමින් පැවතිණ. එම තතු තුළ ආනයන සීමා කළ යුතු බව නිගමනය කිරීම සඳහා අවශ්‍ය වූයේ සාමාන්‍ය ව්‍යවහාරික දැනුමක් පමණි. කෙසේ වුවද ආනයන සීමා කිරීම දඩබ්බර ලෙස ප්‍රතික්ෂේප කළ රජය සහ එහි න්‍යායාචාර්යවරු මුග්ධ ලෙස තවදුරටත් වෙළෙඳාම ලිහිල් කිරීම වෙනුවෙන් ක්‍රියා කළහ.
ගෝලීය වෙළෙඳ වර්ධනය පහළ වැටෙමින් තිබෙන වකවානුවක් තරම් වෙළෙඳාම විවෘත කිරීමට අනුචිත වකවානුවක් වෙනත් නැත. බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීන්දු කිරීම හා ට්‍රම්ප්ගේ පාලනය යටතේ අනුගමනය කෙරෙන එක්සත් ජනපදයේ වෙළෙඳ පිළිවෙත් ආදිය ලෝකය එන්න එන්නම සංරක්ෂණවාදී වෙමින් තිබෙන බව සලකුණු කරන බලගතු ලකුණු වෙයි. ආසියාව තුළ යහමින් වෙළෙඳාම ලිහිල්කරණය වී තිබෙන බවට පවසන ඇතැම් ආර්ථික විද්‍යාඥයන්ගේ අදහස්වලට පටහැනිව යමින් ශ්‍රී ලංකාව වර්තමානයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් මගින් වෙළෙඳාමට සම්බන්ධ කරගැනීමට මහත් ආශාවෙන් උත්සාහ කරන චීනය හා ඉන්දියාව ආදි ආසියානු බලවතුන් පවා ස්වකීය ආර්ථිකයන් තුළට ආනයන ගලාඒම පාලනය කිරීම කෙරෙහි යොමු වී සිටී. ලෝක වෙළෙඳ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට තිබෙන දත්ත අනුව 2012 හා 2016 අතර කාලය තුළ, චීනය හා ඉන්දියාව යන රටවලට කළ ආනයන, පිළිවෙළින් ඇමරිකානු ඩොලර් බිලියන 150 සිට 100 දක්වා සහ ඇමරිකානු ඩොලර් බිලියන 40 සිට 30 දක්වා පහත වැටී තිබේ. වෙනත් වචනවලින් කියනවා නම්, චීනයට හා ඉන්දියාවට වෙනත් රටවලින් කෙරෙන ආනයනවල අතිවිශාල පහළ වැටීමක් එමගින් පෙන්නුම් කෙරේ. වෙළඳ ප්‍රවණතාවල සිදු වී තිබෙන මෙම වෙනසය ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රමාණයන්ගේ පහළ වැටීම්වලට හේතු වී තිබෙන්නේ. මෙන්න මේ සන්දර්භය තුළ ආනයන සීමා කිරීමේ පිළිවෙතක් වෙත යෑම අතිශයින් තීරණාත්මක වන්නේය. කෙසේ වූවද වෙළෙඳපොළ බලවේගවලට වැඩි නිදහසක් දීම, අයවැය හිගය අවම මට්ටමක තබාගැනීම හා වංචා දූෂණ නතර කිරීම තුළින් ආර්ථිකය නිවැරදි කළ හැකි යැයි මහත් අන්ධ ලෙස විශ්වාස කරන නව ලිබරල්වාදීන්ට එවැනි යෝජනාවක් පවා පෙනෙන්නේ මහත් ව්‍යභිචාරී අදහසක් ලෙසටය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යාධීන්ගේ මූලය ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හංවඩු ගසන්නේ අයවැය හිඟයයි. පැහැදිලිවම, දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 12.4ක් පමණක් සංයුක්ත කරන්නා වූ ඉතා සුලු‍ රාජ්‍ය බදු ආදායම ඉහළ යා යුතුය. ඒ ගැන විවාදයක් නැත. එහෙත් එය සිදු විය යුත්තේ වැට් බදු ආදි වක්‍ර බදු මාර්ගයෙන් වැඩ කරන ජනයා මත මහත් බදු බරක් පටවමින් ධනවත් පංතීන්ට බදු සහන ලබා දී ඔවුන්ට සොච්චමක් බදු ලෙස ගෙවා ගැලවී යා හැකි පරිද්දෙන් නොවේ. කෙසේ වූවද අයවැය තුලනයේදී, බදු වැඩි කිරීමටත් වඩා පසුගිය කාලය පුරාවට ආණ්ඩු උත්සාහ කළේ, වෙනත් බොහෝ රටවල් සමග සසඳන විට දී පවා සාපේක්ෂව අඩු අගයක පවතින ලංකාවේ රාජ්‍ය වියදම කප්පාදු කිරීමටය. ලංකාවේ විදේශ විනිමය ප්‍රශ්නයට තුඩු දී තිබෙන්නේ ධනවත් සමාජ තීරු විසින් පරිභෝජනය කරන සුඛෝපභෝගී භාණ්ඩ ද ඇතුළු, පුද්ගලික පරිභෝජනය සඳහා කරන විදේශ ආනයන විශාල වශයෙන් ඉහළ මට්ටමක පැවතීමය. දැනට දළ දේශීය නිෂ්පාදිතයට අනුපාතිකව සියයට 19.7 ක අගයක පවතින රාජ්‍ය වියදම් කපා දැමීම ඉහත කී සැබෑ ප්‍රශ්නයට විසඳුමක් නොවේ.
ඕනෑම අවස්ථාවක දී ආර්ථික අර්බුදයන් විසින් ආණ්ඩුවට යථාර්ථය පිළිබඳ තිත්ත පාඩමක් උගන්වනු ලබයි. පසුගිය නියං කාලයත් සමඟ, නව ලිබරල් න්‍යායාචාර්යවරුන්ගේ න්‍යායන් සියල්ල තිබිය දී, ආනයන සීමා කළ යුතු බවට වූ ස්ථාවරයකට ආණ්ඩුව අවසානයේ එලැඹ තිබෙන ආකාරය අපට දැකගත හැකි විය. මේ ආස්ථානය ලංකාව ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් බවට හැරවීම මගින් ඊළඟ සිංගප්පූරුව බවට පරිවර්තනය කිරීමේ නව ලිබරල් න්‍යායවේදීන්ගේ සිහිනය සමග නොගැළපෙනසුලු‍ ආස්ථානයකි. ඉහත කී සිංගප්පූරු සිහිනය ශ්‍රී ලංකාව සමපේක්ෂණාත්මක මූල්‍ය අර්බුදවලට තවදුරටත් ගොදුරු කරවන වර්ගයේ ඉදිරි වැඩපිළිවෙළක් මිස අන් යමක් නොවේ. ධනවත් සමාජ තීරු සිංගප්පූරු පන්නයේ සංවර්ධනයක් පිළිබඳ මහත් අපේක්ෂා සහගතව සිටින අතර ලංකාවේ මිලියන සංඛ්‍යාත ජනයා එදිනෙදා ජීවිතය නඩත්තු කරගැනීම පිළිබඳ බරපතළ අර්බුදයකය වර්තමානය තුළ ගිලී සිටින්නේ.

ග්‍රාමීය ජනයාගේ වන්දිය
නව ලිබරල් ආර්ථික විද්‍යාඥයන් තුළ සාමාන්‍යයෙන් කෘෂිකර්ම හා ධීවර ක්ෂේත්‍ර ගැන තිබෙන්නේ බැහැර කරවනසුලු‍ අදහසකි. මේ කර්මාන්තවල නියුක්ත ජනගහනයෙන් සියයට තිහක් පමණ වූ ජන පිරිස විසින් නිපදවන්නේ හුදෙක් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහයක් පමණක් වන වටිනාකමක් බවට වූ තර්කය මත පදනම්වය ඔවුන් මේ බැහැර කරවනසුලු‍ ආකල්පය යුක්ති යුක්ත කරනු ලබන්නේ. කෙසේ වූවද, ප්‍රශ්නය නම්, එලෙස නිෂ්පාදනය කරන සියයට දහයක වටිනාකම පවා අවසානයේ හිමි වන්නේ කාටද යන්නය. එම සියයට දහය කෘෂි හා ධීවර අංශවල ශ්‍රමය හෙළන ජන කොටස් වෙත ආදායම් ලෙස ගලායන්නේද? අතරමැදි වෙළෙන්දන්, මූල්‍ය ආයතන හා ණය දෙන ආයතන එම වටිනාකමින් අතිමහත් පංගුවක් ගිල දමන අතර එම ජනකොටස් වෙත ලැබෙන්නේ ඔවුන් නිපදවන ධනයෙන් ද අතිශය අල්ප වූ තීරුවක් පමණි. එම නිසා ගම්බද ආර්ථිකය හා සබැඳි ප්‍රධානතම ප්‍රශ්නය නම් විශාල අසමානතා ඇති වීමට හේතු වී තිබෙන ධන ප්‍රතිව්‍යාප්තියේ තිබෙන අප්‍රමාණවත්භාවයයි.
ඊළඟට, කෘෂිකර්මයේ නියුතු බොහෝ පවුල් බහුවිධ ආර්ථික කටයුතුවල යෙදී සිටිති. ගම්බද හා නාගරික සේවා අංශයේ, සංක්‍රමණික නාගරික ශ්‍රම කටයුතුවල සහ විදේශ රැකියාවල ඔවුහු නියැලෙති. කෙසේ වූවද මෙවැනි විවිධාංගීකරණය වූ ආදායම් මූලාශ්‍රයන් සහිත ඔවුන්ගේ ආර්ථික ජීවිතය පවා අවසාන විග්‍රහයේ ස්ථානගත වන්නේ කෘෂිකාර්මික නිෂ්පාදනයේ සඵලතාව නම් වූ පදනම මතය. උදාහරණයක් ලෙස අධික සූරාකෑමක් සහිත ඇඟලු‍ම් කම්හල්වල සේවය කරන ස්ත්‍රියකට එලෙස වැඩ කළ හැක්කේ උපරිම වශයෙන් දශකයක් හෝ ඒ හා සමාන කාලයකි. ඒ වගේම මැද පෙරදිග සංක්‍රමණීය රැකියා ද කෙටිකාලීන පදනම මත සිදුකරන රැකියාවන්ය. එම නිසා අපනයන හා විදේශ අංශවල සේවය කරන ශ්‍රමිකයන්ට පවා අවසාන විග්‍රහයේ දී චිරස්ථායී ජීවනෝපායක් සහතික කෙරෙන්නේ ශක්තිමත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයක් ආර්ථික පදනමක් ලෙස පවතින්නේ නම්ය.
සිය නහයෙන් එපිට දුර දැකගත නොහැකි ප්‍රධාන දහරාවේ බොහෝ ආර්ථික විද්‍යාඥයන්ට පසුගිය කාලයේ උද්ගත වූ නියං තත්ත්වය විසින් ඇති කළ අර්බුදය වන තෙක්ම ග්‍රාමීය ආර්ථිකයේ වැදගත්කම ගෝචර වූයේ නැත. නියඟය නිසා කෘෂි නිෂ්පාදනය පහළ වැටුණු අතර එය ආර්ථික විද්‍යාඥයන් ආර්ථික වර්ධනය ගැන කළ පුරෝකථනවලට අහිතකර ලෙස බලපෑවේය. මහ බැංකුවට අනුව, 2016 වර්ෂයේ අවසාන කාර්තුව තුළ කෘෂිකර්ම නිෂ්පාදනය සියයට 8.4න් පහළ වැටී තිබේ. තවද, නියඟය නිසා අපගේ කෘෂිකර්ම ක්ෂේත්‍රය විසින් නිෂ්පාදනය නොකළ දෑ ආනයනය කිරීමට මේ වනවිට සිදු වී තිබෙන අතර මහ බැංකුවට අනුව එලෙස ආනයනය කිරීමට දැරීමට සිදුවන වියදම මෙම වසර තුළ ඇමරිකානු ඩොලර් මිලියන 800ක් පමණ වනු ඇත. මෙය අතිවිශාල විදේශ විනිමය වැය කිරීමකි.
ප්‍රධාන දහරාවේ ආර්ථික විද්‍යාඥයන්ගේ ව්‍යාජෝක්තීන් මඳකට පසෙක තබා ලංකාවේ ආනයන වියදම් දෙස බැලූ විට අපට දක්නට ලැබෙන චිත්‍රය කුමක්ද? 2016දී ශ්‍රී ලංකාවේ අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 10.3ක් වූ අතර ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 19.4ක් විය. මේ ආනයන වියදමින් ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක් ආහාර හා බීම වර්ග සඳහා කරන ලද වියදම්ය. තවත් ඇමරිකානු ඩොලර් මිලියන 250ක් පාන් පිටි හා බඩ ඉරිඟු ආනයනය සදහා කළ වියදම්ය. තවද කඩදාසි හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත සඳහා ශ්‍රී ලංකාව දරන ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 490 කි. මෙම සංඛ්‍යා දත්ත මගින් මතු කරන සරල ප්‍රශ්නය මෙයයි. මෙවැනි ආනයන දේශීය නිෂ්පාදන මගින් ආදේශනය කිරීම සඳහා කිසිදු උත්සාහයක් දරනු නොලබන්නේ ඇයි?

ආපසු හැරී බැලීම
නියඟය වේවා ගංවතුර වේවා, මේ සියලු‍ ස්වාභාවික ව්‍යසනවලින් වඩාත්ම හානියට ලක්වන්නේ අපගේ සමාජයේ වැඩිපුරම ආන්තිකකරණයට ලක්වූ සමාජ කොටස්ය. ඉතාමත් අවවරප්‍රසාදිත තලයක ජීවත් වන මෙම ජන කොටස්වල මෙම ආන්තික තත්ත්වය නැවත නැවත ප්‍රතිනිෂ්පාදනය වන විදිහකටය අපගේ රාජ්‍යයේ, සමාජයේ හා ආර්ථිකයේ ව්‍යුහය හැඩ ගැසී තිබෙන්නේ. දේශගුණ විපර්යාසය යථාර්ථයක් බව අපි දනිමු. එසේම නියඟ හා ගංවතුර ආදි විපත් මෙම තතු තුළ නිරන්තරයෙන් පැන නැගිය හැකි බව ද අපි දනිමු. එහෙත් මෙලෙස නැවත නැවත සිදුවන ව්‍යසනවලින් සමාජයේ ආන්තික ජන කොටස් හා ග්‍රාමීය ආර්ථිකය ආරක්ෂා කරගැනීමට රජය විසින් සිදු කොට තිබෙන ආයෝජන මොනවාද? ආර්ථික කටයුතුවල සිට ජීවන තත්ත්වයන් දක්වා ජීවිතයේ සියලු‍ පැතිකඩකදීම රාජ්‍ය ප්‍රතිපත්ති විසින් නොසලකා හැරීමට ලක්වන විට ගම්බද හා නාගරික දුගී ජනයාට විරෝධතා පානු මිස අනෙක් විකල්පයක් ඉතිරි වී නැත.
මේ සියලු‍ කරුණු සැලකිල්ලට ගත් විට අපට මුදල් අමාත්‍යාංශයට නව ඇමතිවරයෙක් පත්වීම ගැන අමන්දානන්දයට පත්වීමට තරම් හේතු තිබේද? මෙතෙක් අනුගමනය කළ ආර්ථික පිළිවෙත්වල කිසියම් හෝ මූලධාර්මික විතැන් කිරීමක් ඇති කිරීමට අමාත්‍ය මංගල සමරවීරට පුළුවන්කම තිබේද?
ආණ්ඩුව පැත්තෙන්, ආනයන සීමා කිරීමේ හා කෘෂි නිෂ්පාදනය ඉහල නැංවීමේ වැදගත්කම පිළිගැනීම සම්බන්ධ යම් හැඟවුමක් අවසානයේ දැකගත හැකිව තිබුණ ද වඩාත් සාර්ව මට්ටමේ ආර්ථික පිළිවෙත් වන වෙළෙඳාම ලිහිල්කරණය, මූල්‍යකරණය හා පුද්ගලිකකරණය යන සංරචක සම්බන්ධයෙන් කිසිදු වෙනසක් මේ වන තුරු දක්නට නොලැබේ. නව ලිබරල් ආර්ථික ක්‍රියාපිළිවෙත් දිගටම භාවිතයට දැමීම විසින් නොවැළැක්විය හැකි ලෙස මීටත් වඩා දරුණු ආර්ථික අර්බුදයකට පාර කැපීමට නියමිතය. එබඳු අර්බුදයක් තුළ මෙතෙක් කාලයක් තිස්සේ සංකේන්ද්‍රණය වු රාජ්‍ය වත්කම් විදේශ ණය ගෙවීම සඳහා හා අතිවිශාල ආනයන බිල ගෙවීම සඳහා විකුණා දැමීමට බලකෙරෙනු ඇත. රජයේ සේවාවන් පුද්ගලිකකරණය වීමේ අර්ථය නම් පුරවැසියන්ගේ ආර්ථික ජීවිතය කොල්ලකෑමට පුද්ගලික ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබාදීමය. තතු එසේ වන පසුබිමක් තුළ සිය ප්‍රතිපත්තීන්වල අසාර්ථකභාවය දෙස අඩු තරමින් නැවත හැරී බැලීමටවත් ආණ්ඩුවට ප්‍රඥාව පහළ වනු ඇද්ද? ■