Wednesday, 23/8/2017 | 8:07 UTC+0
රාවය

බුදුපිළිමයට මුවාවුණු අන්තවාදීන් සහ කුරාණයට මුවාවුණු අන්තවාදීන් ඉන්නවා |පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

තරිඳු උඩුවරගෙදර
මේ වෙද්දී ලෝක දේශපාලනය උණුසුම් වෙලා. මේ තත්ත්වය ලංකාවේ දේශපාලනඥයෙක් විදියට ඔබ දකින්නේ කොහොමද?
මට පේන විදියට ට්‍රම්ප් ජනාධිපතිවරයා සියුම් ලෙස වැඩ කරනවා නව ලෝක වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න. කටාර් අර්බුදය දිහා බැලු‍වාමත්, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩ හරහාත් පෙනෙනවා මේ වෙද්දී මැද පෙරදිග ලොකු බෙදුම්ඉරක් නිර්මාණය වෙනවා. ලෝක දේශපාලනය සංකීර්ණ සහ තීරණාත්මක තැනකට ඇවිල්ලා. ට්‍රම්ප් ජනාධිපතිවරයා සාම්ප්‍රදායික බටහිර ආකල්ප වෙනස් කරනවා. මහා බි්‍රතාන්‍යයේ පහරදීම් වුණේත් මැතිවරණයක් කට ළඟ තියාගෙන. ඉතින් ලෝක දේශපාලනය දිහා අපි සියුම්ව බලන්න ඕනෑ. අලු‍ත් දේශපාලන රටාවක් නිර්මාණය වෙනවා. ඒකේ හොඳ නරක ගොඩක් තියේවි.

මේ සියල්ල එක්ක ලංකාවේ දේශපාලනය ගැන ඔබේ අදහස මොකක්ද?
ලංකාවේත් ඉතාම සංකීර්ණ තත්ත්වයක් තියෙන්නේ. ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වයන් තවදුරටත් එකට ගමන් කරන්නට නොහැකි මට්ටමක ඉන්නේ. ආණ්ඩුව පත්වෙලා මුලින්ම අකුලාගත්තේ ථේරවාදී පනත. එදා ඉඳන් මේ ගංවතුර සම්බන්ධ තත්ත්වය වෙනකම් හැම සිදුවීමකදීම ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක දෙකට බෙදෙනවා. කැබිනට් ඇමතිවරුන්ගේ සාමූහික වගකීම දේශපාලන විද්‍යාවේ මූලික අංගයක්. කැබිනට් ඇමතිවරු මොකක් කිව්වත් එකක් කිව යුතුයි. ඒත් ඒක සිදුවෙන්නේ නැහැ. දැන් පෙනෙන්නේ ආණ්ඩුව බරපතළ ආබාධයකට ගොදුරුවෙලා කියලා. ආණ්ඩුව ඉන්නේ ආපදාවක. ඒක කළමනාකරණය කරගැනීමට පුළුවන් කියලා මට පෙනෙන්නේ නැහැ. ලෝක තත්ත්වයත් ආණ්ඩුවට බලපාවි. කටාර් අර්බුදය නොවිසඳුණොත් අපේ ආර්ථිකයටත් ලොකු ප්‍රහාරයක් එල්ලවෙනවා. හැබැයි මේවා කළමනාකරණය කරගන්න පුළුවන් බවක් ආණ්ඩුව පෙන්වන්නේ නැහැ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දේශපාලනිකව වැරදි ක්‍රියාකාරකම් කරනවා කියන එක තමයි ඔහුට එරෙහිව නැඟු‍ණු චෝදනාව. ට්‍රම්ප් කියන්නෙත් දේශපාලනිකව නිවැරදි වෙන්න ඕනෑ නැහැ කියලායි. මේ සියල්ල ගැන ඔබේ අදහස මොකක්ද?
අපේ ආණ්ඩුව ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද කියලා සාධාරණ සාකච්ඡාවක් සමාජයේ තිබුණා. දහඅටවැනි සංශෝධනය හෝ වෙනත් ක්‍රියාකාරකම් වගේම ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපයන්වල ප්‍රශ්න තිබුණා. නීතිය අතට ගත් අය හිටියා. හිතුවක්කාරී විදියට සමහරු ක්‍රියා කළ බවත්, ඔවුන්ට දඬුවම් නොකළ බවත් රහසක් නෙවෙයි. ඒ නිසාම යුද ජයග්‍රහණවලින් පස්සේ රටේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත වෙයි කියලා විශ්වාස කළ සමාජයට බරපතළ ගැටලු‍ සහ සංකා මතුවුණා. ඒකේ අවසන් ප්‍රතිඵලය තමයි ආණ්ඩුව පරාජයට පත්වීම. හැබැයි ඒකට පිළිතුරක් විදියට මේ ආණ්ඩුව බලයට පත්කරගන්න කටයුතු කළ හැමෝම පෙන්වන්නේ අපේක්ෂා භංගත්වය. මේ නිසා ඉතාම උමතු තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබුණත් ඒ බලය පාවිච්චි කරලා ඒකමතික තීන්දුවලට යන්නේ නැහැ. තුනෙන් දෙකක බලවත් ආණ්ඩුවක් ජාතික ආණ්ඩුවක් කියන තේමාවෙන් පත් කරගන්නේ කෙටි කාලයක් තුළ දැවැන්ත තීරණ ගොඩාක් ගන්නයි. හැබැයි ඒ කිසිවක් ඒ විදියට වෙන්නේ නැහැ. සාර්ව ආර්ථික දර්ශකවලින් පෙන්වන්නේ ආර්ථිකයේ කඩාවැටීම. මෙවැනි ව්‍යාකූල තත්ත්වයකට රට ගමන් කරමින් ඉන්නේ. මේක දේශපාලනිකව මෙතැනින් කෙළවර වෙයි කියලා පූර්ව නිගමන කරන්න පුළුවන් කෙනෙක් නැහැ. හැබැයි රට ඉන්නේ ඉතාමත්ම සංකීර්ණ තත්ත්වයක.

මේ වන විට ඉස්ලාම් සහ බෞද්ධ අන්තවාදය ගැන උණුසුම් තත්ත්වයක් ඇතිවෙලා. ලෝක දේශපාලන තත්ත්වයත් එක්ක ඉදිරියේදී මේක දරුණු විදියට මතුවෙන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව කෙසේ කටයුතු කළයුතුද?
මම විශ්වාස කරන විදියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ අලු‍ත්ගම සිද්ධිය වුණත් ඒක පිටිපස්සේ වර්තමාන ආණ්ඩුවේ දේශපාලනඥයන් ඉන්නවාද කියලා මට සාධාරණ සැකයක් තියෙනවා. පහුගිය ජනවාරි අටවැනිදා මතුවුණ ප්‍රධාන කරුණු හතරෙන් එකක් තමයි මුස්ලිම් ජනතාවට එරෙහි පීඩනය. ඒකේ ප්‍රධාන ප්‍රකාශනයක් තමයි අලු‍ත්ගම සිද්ධිය. ඒ සිද්ධිය ගැන හැම වේදිකාවකම කතා කළා. හැබැයි ඒවා ගැන හොයා බලන්නේත් නෑ. දැන් ඒ සිද්ධිය රහස් පෙට්ටියක හංගලා තියෙන්නේ. අපි දන්නවා ලංකාවේ බුදුපිළිමයට මුවාවුණු අන්තවාදීන් සහ කුරාණයට මුවාවුණු අන්තවාදීන් ඉන්නවා. ඒ අය නීතිය අතට අරන් වෙන වෙන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරනවා. ආණ්ඩුවක වගකීමක් තමයි සාමකාමී පරිසරයක් නිර්මාණය කරන එක. මහින්ද රාජපක්ෂ යුගයේ මුස්ලිම් අයට එල්ලවුණු ප්‍රහාර සංඛ්‍යාත්මකව ගත්තොත් තිස් දෙකක්. හැබැයි පහුගිය අවුරුදු දෙකට ඒ වගේ සිදුවීම් හැත්තෑ හතරක් වෙලා තියෙනවා. ඒවා සම්බන්ධයෙන් මේ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ. මේ ආණ්ඩුව බලයට ගෙනෙන්න මුස්ලිම් සමාජය තීරණාත්මක වැඩ කොටසක් කළා. ශ්‍රීලනිපයට මුස්ලිම් ඡන්ද සීයට එකක් පමණ ලැබුණේ. ඒ තරම් විශ්වාසයක් අලු‍ත් ආණ්ඩුව ගැන මුස්ලිම් ජනතාව තැබුවා. එහෙම වෙලාත් මුස්ලිම් ජාතීන්ට එරෙහිව දරුණු ප්‍රහාරයක් එල්ලවෙනවා. එහෙත් ඒවා සම්බන්ධයෙන් පියවරක් නෑ. අත්අඩංගුවට ගන්නා බව කිව්වා. හැබැයි අත්අඩංගුවට අරගෙන නැහැ. ඒවා සංදර්ශන විතරයි. නිවේදන විතරයි. මම හිතන්නේ ආණ්ඩුව නැවත ජාතිවාදය මතුකරලා ඒක රාජපක්ෂ ගිණුමට එකතුකරලා ඊළඟ මැතිවරණ දිනාගන්න උත්සාහ කරන බවයි. අද කොඩි කණුවලටත් එෆ්සීඅයිඩී යවන ආණ්ඩුවක් මේ වගේ සිදුවීම් ගැන නිහඬ වීම පිටිපස්සේ ලොකු ගුප්තබවක් තියෙනවා.

කැබිනට් සංශෝධනයෙන් ප්‍රතිඵලයක් තියෙනවාද?
වත්මන් ජනාධිපතිවරයා කීවා විද්‍යාත්මකව හා ශාස්ත්‍රීය විදියට කැබිනට් මණ්ඩල පත්කරනවා කියලා. හැබැයි මේ තරම් අවිද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් කිසිම ආණ්ඩුවක් පත්කරලා නැහැ. ඇමතිවරුන්ගේ ආයතන බෙදාදීලා තියෙන විදිය බලන්න. කිසි පදනමක් තියෙනවාද. ආණ්ඩුව සංවේදී නැහැ. දැන් බලන්න මෙච්චර ආපදාවක් සිද්ධවෙලා තියෙන මොහොතක ආණ්ඩුව නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන් පත් කරනවා. මොකක්ද ප්‍රශ්නය. ආණ්ඩුව අභ්‍යන්තරයේ තියෙන කුළල් කාගැනීම් වළක්වාගන්න, ආණ්ඩුවේ බලය ආරක්ෂා කරගන්න. ඒක විද්‍යාත්මක පදනමක් නෙවෙයි.

පහුගිය ආපදා තත්ත්වයත් එක්ක ලංකාවේ රජයේ මැදිහත්වීම ඔබ දැක්කේ කොහොමද?
ගංවතුර අර්බුදයේදී තමයි ආණ්ඩුවේ කළමනාකරණය නිරුවත් වුණේ. පළමු පැයේ ආණ්ඩු යන්ත්‍රණය මුළුමනින්ම ඇනහිටියා. මේවා මම කියන්නේ අර සාම්ප්‍රදායික විදියට ජනාධිපති, අගමැති හා ආපදා කළමනාකරණ ඇමති විදේශගත වීම වගේ දේවල් උඩ නෙවෙයි. දේශපාලනඥයන් කොහෙද ඉන්නේ කියන එක මේ වෙලාවේ වැදගත් නැහැ. හැබැයි ආණ්ඩුවේ යන්ත්‍රණය ඇනහිටපු බව ගංවතුරේ හිටපු කෙනෙක් විදියට මම දැක්කා. පැය හතළිස් අටකටත් පස්සේ තමයි ආණ්ඩුව නැඟිට්ටේ. ආණ්ඩුව ඒකට පස්සේත් කළේ සමාජයෙන් කළ ආපදා කළමනාකරණයට සහාය දුන්න එක විතරයි. ඒ වෙනුවට ආණ්ඩුව කියන්නේ ගංවතුර ඇතිවුණේ අධිවේගී මාර්ගය නිසා කියලායි. ඇත්තටම දක්ෂිණ අධිවේගී මාර්ගයට අදාළ පාරිසරික වාර්තාව පරිසර ඇමතිවරුන් සිව්දෙනෙක් යටතේ කරලා තියෙනවා. ඇමතිවරුන් සිව්දෙනා තමයි මෛත්‍රීපාල සිරිසේන, අනුර ප්‍රියදර්ශන යාපා, ෆවුසි සහ චම්පික රණවක. අධිවේගී මාර්ගය නිසා මේවා වුණා නම් වගකිවයුත්තෝ ඉන්නේ වර්තමාන කැබිනට් මණ්ඩලයේ. ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් හිටපු සියලු ඇමතිවරු දැන් ඉන්නේ ආණ්ඩුවේ. ඒ නිසා ආණ්ඩුව තමන්ගේ අකාර්යක්ෂමතාව වහගන්න මේවා කියලා වැඩක් නැහැ. පහුගිය කාලයේදී ජාතික ආපදාවන් හතක් ඇතිවෙලා තියෙනවා. ඉදිරියේදී මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. මේ වෙලාවේ අපි ආපදා කළමනාකරණය ගැන දැවැන්ත ලෙස කල්පනා කරන්න ඕනෑ. අනික මේ ආපදා කළමනාකරණය දේශපාලනයෙන් සහ සහන සැලසීමෙන් විද්‍යාඥයන්ගේ අතට යන්න ඕනෑ කාලයක්. මේ විෂයන් විද්‍යාත්මක සහ කාර්යක්ෂම වෙන්න ඕනෑ. ඇමති, අගමැති රට ගියාද වගේ කතා බලන තැනට නෙවෙයි, විද්‍යාත්මකව බලන තැනට රට ඇතුළේ පෙළඹවීමක් කරන්න ඕනෑ. රටේ සියලු දේශපාලනඥයන් වගකියන්න ඕනෑ මේ විෂයට නියමිත ප්‍රමුඛත්වය නොදීම ගැන. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා මිලිමීටර් එකසිය ගණනකට වැඩි වැස්සක් වැටුණොත් ඒ ගැන අනාවැකි කියන්න උපකරණ නෑ කියලා. මේක කියන්නේ මිලිමීටර් පන්සිය ගාණක වැස්සක් වැටුණායින් පස්සේ. ඊළඟ අර්බුදයට අපි කොහොමද මුහුණදෙන්නේ. මේ වෙලා තියෙන්නේ අපි විද්‍යාත්මකව මේවා දැකලා නැති එකේ ප්‍රශ්නය. පාටවලට බෙදිලා ගහගත්ත එක මිසක් අපි නිසි පෙනී සිටීමක් කරලා නැහැ. දෙනියායට වැටුණු වැස්ස මාතරට යන්න දවසක්වත් යනවා. ඒ කාලය ඇතුළේ ක්‍රියාත්මක වෙන්න රාජ්‍ය යාන්ත්‍රණයට බැරිවුණා.

ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම අමාත්‍යාංශ හදලා බෙදලා තිබීම නිසාත් අකාර්යක්ෂම බව වැඩිවෙලා නේද?
දැන් මේවා තැන් තැන්වල තියෙන්නේ. අපේ ඇමතිවරු අමාත්‍යාංශ කාමරයක පුටුවලට රණ්ඩු වෙනවානේ. කාමරය පුංචියි කියලා අඬනවානේ. එහෙම රටක ඇමතිවරුන්ගේ ධුර බෙදීම ගැන මොකට කතාකරන්නද. මේවාට විද්‍යාත්මක ප්‍රමුඛත්වයක් දෙන එක අවශ්‍යයි. අපි මේ ගංවතුරෙන් පාඩමක් ඉගෙන නොගත්තොත් මීළඟ විනාශය අපට දරන්න බැරිවෙයි. ඔබ හිතන්න, මේ මිලිලීටර් පන්සීයේ වැස්ස උඩරටට වැටුණොත් වික්ටෝරියා, රන්දෙනිගල ජලාශ හම්බවෙයි මහියංගණය පැත්තෙන්. සුනාමියටත් වැඩි ලොකු ඛේදවාචකයක් තමයි මේ. දෙනියාය රක්වාන ද්විතීය කඳුවලට වැටුණු මිලිමීටර් පන්සීයේ වැස්ස මධ්‍යම කඳුකරයට වැටුණොත් ලංකාවට වෙන්නේ මහා විනාශයක්.

මැතිවරණ කල්යෑමත් මේ සියල්ල අස්සේ සිද්ධවෙනවා නේද?
ආණ්ඩුවේ වගකිව යුතු ඇමතිවරයෙක් පෙරේදා කීවානේ පක්ෂයේ අර්බුදය නිම නොවුණොත් මැතිවරණය නෑ කියලා. මැතිවරණ පවත්වන දර්ශක මේවාද. අපි දහනවවැනි සංශෝධනයෙන් ස්වාධීන මැතිවරණ කොමිසමක් ගෙනෙනවා කිව්වා. ඉන්පස්සේ මොකක්ද දැන් මේ වෙන්නේ. අපි දැන් පහුගිය කාලයේ ලෝකය වටේම ප්‍රජාතන්ත්‍රවාදය තමයි මතුකරන්නේ. හැබැයි පළාත් පාලන මැතිවරණ නැතිව, පළාත් සභා අහෝසි කරලා ඒවා රාජ්‍ය ආයතන බවට පත්කරලා අවුරුදු දෙකකුත් සුමානයක් ගතවෙලා. මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී බවට සහතික නිකුත් කළ සියලුම දෙනා නිර්වින්දනය වෙලා ඉන්නේ. දැන් පළාත් සභා කල්දාන්නත් උත්සාහ කරනවා. අර උතුරුමැද අර්බුදයෙන් පස්සේ මන්ත්‍රීවරු කියනවා 2019 වෙනකන් මැතිවරණ නැහැ කියලා. හැබැයි නීතිය අනුව පළාත් සභා කල්දාන්න බැහැ. එතකොට ආණ්ඩුව පළාත් සභා කල්දාන්නත් උත්සාහ ගන්නවා. මේක ලංකාවේ තියෙන අනෙක් හැම ප්‍රශ්නයකටම වඩා වැදගත්. මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නය ලංකාවේ මූලිකම ප්‍රශ්නය. මැතිවරණයක් කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ලැබෙන අවස්ථාවක්. ඊළඟට ආණ්ඩුව, පාර්ලිමේන්තුව කල්දාන්නට මේ ආණ්ඩුව ජනමත විචාරණයක් පැවැත්වුවත් පුදුම වෙන්න එපා. ඒක සාධාරණීකරණය කරගන්නත් ආණ්ඩුවට හේතු සීයක් තියෙයි.■