සුසන්තිකා පරදා දයාසිරිට දිව හැකිය


sport

ටිරන් කුමාර බංගගමආරච්චි

සුසන්තිකා ජයසිංහ යනු පුවත් මවන්නියකි. ඇය කලින් කලට විවිධ පුවත් මවන්නීය. ඇගේ දිවිල්ල තරමටම ඒවාද මහජනයා අතර ජනප්‍රියය. සුසන්තිකා ඔලිම්පික් දිනන්නට පෙර සිටම මලල ක්‍රීඩාව තුළ නොව මෙරට තුළම ජනප්‍රියම වූ එකම ක්‍රීඩිකාව විය යුතුය. ඒ ක්‍රීඩා අමාත්‍ය එස්.බී. දිසානායක යුගයේදීය. ඒ යුගයේ ඇගේ ක්‍රියාකාරකම් කතා නොකර සිටීම වටීය.
එදා සිට අද දක්වාම සුසන්තිකා සිය නාමය විවිධ අයුරින් කරළියට ගෙනෙමින් පෙරළි පාමින් සිටින්නීය. අද දවසේ සුසන්තිකා පිළිබඳ කතාබහ මහා ඝෝෂාවක් බවට පත්ව ඇත්තේ තමා දිනූ ඔලිම්පික් පදක්කම ආර්ථික අපහසුකම් පියවා ගන්නට වෙන්දේසි කරන බව ප්‍රසිද්ධියේ කීමත් සමඟය.
සිය ඔලිම්පික් පදක්කම විකුණා ගෙන දිවි ගෙවන්නට තරම් සුසන්තිකාට අහේනියක් ඇත්ද? ඒ තරමට ඇය ආර්ථිකමය වශයෙන් බංකොලොත්ද? එය එසේම වුවද සිය ඔලිම්පික් පදක්කම විකුණාගෙන කන්නට තරම් ඇය පහත වැටී ඇත්ද?
අරුමයක් නොවීම
ඇත්ත නම් එහි කිසිම අරුමයක් නොවන බවය. සුසන්තිකා 2000 වසරේ ඔලිම්පික් පදක්කමක් දිනූ තැන සිට අද වන විට දාහත් වසරක් ගෙවී ගියද එදා සිට අද දක්වාම කාලයෙන් කාලයට සුසන්තිකා කළේ ඇය ලද පදක්කම පෙන්න පෙන්නා විඳිය හැකි හැම වරප්‍රසාදයක්ම භුක්ති විඳීමය. තේරෙන බසෙන් කියන්නේ නම් දාහත් වසර පුරාම ඇය කළේ සිය පදක්කම විකුණාගෙන කෑමය. සුසන්තිකා තරම් සිය පදක්කම පළිහක් කර රටක් සුද්ද කර සිය මඩිය තර කරගත් වෙන ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක ලොව කිසිම රටක නොසිටියා මෙන්ම නොසිටිනවාද සහතිකය. ඒ තරමටම සුසන්තිකා සිල්ලර ගණයේ ක්‍රීඩිකාවක බවට පත්ව ඇත.
මෙය බෙහෙවින්ම කඨෝර ලියවිල්ලකි. සුසන්තිකාට මෙලෙස ලිවීම බොහෝ අයගේ හිත් රිදවනවා නියතය. එහෙත් ඇත්ත නම් සුසන්තිකාට ඒ ජයග්‍රහණය දරාගත නොහැකි මෙවලමක් වූ බවය. ඇත්නාවල නම් පිටිසර ගමෙන් ක්‍රීඩාවට පිවිසි සුසන්තිකා ඔලිම්පික් දිනන්නට තනිව ප්‍රාතිහාර්ය නොපෑ බව අද ඇයට අමතකය. ඇය සිය ජයග්‍රහණය තනිව ලද්දා වුවද ඒ පිටුපස බොහෝ අය සිටි බව අද ඇයට අමතකය. එහෙත් ඇය ජයග්‍රහණය පෙන්වමින් හිඟන්නාගේ තුවාලය සේ මෙරටින් බොහෝ දේ වරින් වර ඉල්ලා සිටී. කිසිවෙක් ඇය අසාධාරණ යැයි කියන්නට මැලිවෙති. ඒ අන් කිසිවක් නිසා නොව ඇය ලද ඔලිම්පික් පදක්කම නිසාමය.
මුග්ධ ලියවිල්ල
එසේම ඇය දුක් ගොඩාක් විඳ ජයග්‍රහණය ලද නිසා බවට ඇති පදනම නිසාය. ක්‍රීඩාවෙන් ජයග්‍රහණ ලද අතිබහුතරය එසේමය. අනන්ත දුක් වින්දෝය. දර්ශා ගත්තද, සුගත් ගත්තද, ශ්‍රියානි ගත්තද එය එසේමය. එහෙත් ඒ සැමට වඩා තමන්ගේ දුක මහා දුකක් බවට පෙරළා ගන්නට සුසන්තිකාට හැකිවිය. ඒ ඔලිම්පික් පදක්කම නිසාය. එය මෙරට ක්‍රීඩා වංශකතාවේ නව යුගයක් ලියූ නිසාය. එය කොතරම් මුග්ධ ලියවිල්ලක්ද යනු මෙරට ඔලිම්පික් පදක්කමක් දිනූ එකම තැනැත්තිය ඇය ලෙස සනිටුහන් වූවාය. තැනැත්තිය ලෙස එය නිවැරදි වුවද ඇයට පෙර මෙරට ඔලිම්පික් පදක්කමක් දිනූ ක්‍රීඩකයෙකු සිටි බව අද සැමට අමතකය. ඩන්කන් වයිට් එම සමත්කම පෑ බව කියන්නට සුසන්තිකාද මැලිය. ඇය මාධ්‍යයකට සම්මුඛ වෙමින් කියා තිබුණේ මෙරට ඔලිම්පික් පදක්කමක් දිනූ එකම කෙනා ඇය බවය. ඒ පෙළහර කිසිවෙකු නොපෑ බවය. ඒ ලියවිල්ල තුළ ඩන්කන් වයිට් කෙනෙක් නැත. සුසන්තිකා එලෙස කියනුයේ සැබැවින්ම ඇය ඩන්කන් වයිට් ගැන නොදැනද? නැත. නොදන්නා සේ හිඳිමින් මේ සියල්ල කරනුයේ එවිට තම අගය තව තැනකට බෙදෙනු ඇතැයි වංචාසහගත සිතුවිල්ලෙනි. මෙරට ක්‍රීඩා ඉතිහාසයම සුසන්තිකා හරහා ඩන්කන් වයිට් නම අමතක කර පාපයක් සිදුකර ගත් හැඩය. මේ පඩිසන් දෙන්නේ එයමය.
සුසන්තිකා කුමක් කළද සෑම කල්හිම ඇය රැක ගත් එක කොට්ඨාසයක් විය. ඒ මෙරට ජනයාය. එනම් සුසන්තිකා නම් අහිංසක ක්‍රීඩිකාව දේශපාලන බලපුළුවන්කාරයන් දඩමීමා කරගෙන මට්ටු කරන බවට ස්ථාවරයද පෙරදැරි කරගෙනය. ඒ නිසා සුසන්තිකාට ඒ වාසිය ඕනෑම දෙයක් කරගන්නට ලොකු වාසියක් විය. එය ඇය මේ දාහත් වසරටම පාවිච්චි කරමින් සිටින්නීය. ඇය දේශපාලනය සමඟ දේශපාලකයන් සමඟ කරන හැම ක්‍රීඩාවකදීම ජනතාව සිටියේ ඇය පැත්තේය. අදටත් එලෙස සිටින අය බොහෝ විය හැක. එහෙත් සුසන්තිකාගේ ඉතිහාසය මැනවින් දන්නා අයට ඇගේ මේ සෙල්ලම දැන් හිරිකිත ගඳ ගහන කුණු වළක් බව අමුතුවෙන් කිවයුතු නැත.
එබැවින් කවුරුත් නොකළ තරම් ඇයට වත්මන් ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර විරුද්ධ වීම අපි දෙඅත් ඔසවා අනුමත කරමු. එය විය යුත්තක්මය. අපගේ හැඟීම සුසන්තිකා පදක්කම විකුණන්නේ නම් එයට ඉඩදිය යුතු බවය. රටට අවැසි මතකය ලෝක ඉතිහාසයේ ලියවී අවසන්ය. එනම් ඇය ඔලිම්පික් පදක්කම දිනූ බවය. එය කාට කෙසේවත් මකා දැමිය නොහැකිය. මොහොමඞ් අලි යම්කිසි අරමුණක් වෙනුවෙන් සිය ඔලිම්පික් පදක්කම ගඟට විසි කළේය. එය එලෙස වූවා කියා මොහොමඞ් අලි පදක්කමක් දිනූ බව මැකී යන්නේ නැත. සුසන්තිකා දාහත් වසරක් කළේ පදක්කම විකුණා කෑමමය. එබැවින් එය එකවර විකුණා දැමුවද එයට අනුමැතිය දීම වටිනේය. මන්ද සුසන්තිකාගේ මේ සියල්ලටම අවසානයක් තිබිය යුතු බැවිනි.
මුල අමතක කිරීම
සුසන්තිකා සැම විට ම මුල අමතක කරන්නියකි. ඇයට කිසිවක් මතක නැත. කවුරු රුපියලක් දුන්නද ඇයට මතක නැත. මතක ඇත්තේ කිසිවෙක් කිසිවක්ම ඇයට නොකළ බවය. ඇමරිකාවේ පුහුණුව නොලබන්නට ඇයට කිසිදාක ඔලිම්පික් පදක්කමක් දිනිය නොහැකිය. එහෙත් ඇයට අද ඒවා අමතකය. අතිදක්ෂ පුහුණුකරුවකු වන ටෝනි කැම්බල් ඇය කනපිට ගසා වෙනස් කළ බව ඇයට අමතකය. ඇගේ කකුලේ ඇදයට සරිලන ලෙස විශේෂ සපත්තු ජෝඩුවක් හැදුවා අමතකය. එය ඇයට අමතකවීම අරුමයක් නැත. ඇය ඇමරිකාවට ගියේ කෙසේද යන්නත් අද ඇයට මතක නැත. මන්ද ඩන්කන් වයිට් පදනම එහි බොහෝ බර කර ගැසූ බැවිනි. ක්‍රිෂාන්ත පෙරේරා නම් අයෙකු සිටියා සුසන්තිකාට අද අමතකය. වත්මන් කතානායක කරු ජයසූරිය ඒ පිටුපස විශාල භූමිකාවක් කළා ඇය දන්නවාද සැකය. ඇමරිකාවේදී ඇගේ පහසුව තකා මසකට ඩොලර් 1500 බැගින් වෙන් කොට මාස තුනකට ඩොලර් 4500 විශ්වවිද්‍යාලයේ නවාතැන් වෙනුවෙන් ගෙවූයේ ඩන්කන් වයිට් පදනම් බර කරට ගෙන ක්‍රියා කළ විජිත ප්‍රනාන්දු බව සුසන්තිකාට අමතකය. ජෙනිෆර් මොරගොඩ ඩන්කන් වයිට් පදනම හරහා ඇයට වෙනම ගිණුමක් විවෘත කළ විට එය තනි අයිතියටම ඉල්ලා ඒ මුදල් ද රැගෙන ඇය පිටව ගියා ඇයට අද අමතකය. ඩන්කන් වයිට් පදනමෙන් දෙවරක් සම්මාන මුදල් පිරිනැමුවා ඇයට අමතකය. ඒ යටගියාව මතක් කළේ ඩන්කන් වයිට්ගෙන් සම්මාන ලද සුසන්තිකා අද ගුණමකු ලෙස ඔහුගේ නම කීම පවා අමතක කර ඇති බැවිනි. එහෙව් සුසන්තිකා අනෙක් සියල්ල අමතක කිරීම අරුමයක්ද?
සියලු පව්
සුසන්තිකා ඔලිම්පික් පදක්කමක් ලද කල මෙරට හැම හදවතක්ම සතුටින් ඉපිල ගියා මතකය. ජයග්‍රහණයෙන් පසු සුසන්තිකාට ආණ්ඩුව, ධනපතින් මෙන්ම අහිංසක ජනයාද අප්‍රමාණ උදව් කළෝය. ඇයට කෝටි ගණනින් මුදල් ලැබුණි. ජනතා විමුක්ති පෙරමුණ පවා කැටවලින් එකතු කළා වූ ලක්ෂයක මුදලක් ඇයට දුන්නා මතකය. ඇය කැලණි ගඟ ආශ්‍රිතව අක්කර ගණනක පරණ වලව්වක් සමඟ ඉඩමක් ගත්තාය. පසුව එය විකුණා දමා බොල්ගොඩ ගඟ ළඟ විශාල ඉඩමක් ගෙන අපූරු නිවසක් ඉදි කළාය. ඇගේ ස්වාමියා වූ ධම්මික හැකි තාක් සුසන්තිකා හූරාගෙන කන තත්ත්වයට පත්විය. ඒවා වෙනම කතා වුවද සුසන්තිකාගේ පරිහානියට එය ප්‍රධානතම හේතුව විය. ඒ සියලු පීඩාවන් ඇය පැටවූයේ පවතින ආණ්ඩුවෙන් විසඳා ගන්නටය.
සුසන්තිකා පැවති ආණ්ඩුවේ ළඟම අයෙක් වූවාය. ඇය ශිරන්ති රාජපක්ෂගේ දකුණු අත මෙන් යන යන තැන ගියාය. බොල්ගොඩ ගඟ ළඟ ඇගේ නිවස ආසන්නයේ ඇති පිට්ටනිය ඇයට කරදරයක් බව පවසා එය ඉවත් කරන්නැයි කී කල හිටපු ජනපති පවා ඇයට බැනවැදුණු බව එකල මාධ්‍ය පළ කළේය. ඒ ක්‍රීඩිකාවක වුවද ඇය පිට්ටනියක් දෙස බැලූ හැටිය.
මහින්ද රාජපක්ෂගේ ක්‍රීඩා උපදේශිකාවක ලෙස සිටි සුසන්තිකා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නිකං මෙන් පඩි ලැබුවාය. ඒ රුපියල් 80,000කි. එය මේ ආණ්ඩුවෙන්ද ඇයට හිමිවිය. ඒ පිළිබඳ සියලු තොරතුරු ජයසේකර අමාත්‍යවරයා මේ දිනවල හෙළිකර ඇත. නිකරුණේ සිට මුදල් ගැනීම අවුල්සහගතය. ඇය උපදේශිකාවක ලෙස උපදෙස් දිය යුතුව ඇත. එහෙත් ඒ කිසිවක් නොවන තැන ඇයගේ අප්‍රේල් වැටුප (රු.60,000) තාවකාලිකව අත්හිටුවා ඇත. මේ පදක්කම් විකුණන කතාව එන්නේ ඉන්පසුවය. දැන් එය සුසන්තිකාගේ සියලු පව් වළ දමා අලුත් අරුතක් උපදවා ඇත.
ක්‍රීඩා සංකීර්ණය
ඇය පසුගිය කාලයේ දැවැන්ත ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකරන බවට ප්‍රචාර යවමින් මහා වැඩසටහනකට මුල පිරුවාය. තමා අතහැර දමා ආ ටෝනි කැම්බල්ද මෙරටට ගෙන්වා තිබුණි. (ටෝනි කැම්බල් ඇය අතහරිනුයේ ගෝන් ෆ්‍රී තරග නිමිති කරගෙනය. ගෝන් ෆ්‍රී තරගවල ස්වභාවයම මුදලට තරග වැදීමය. එය පුහුණුකරු මැදිහත්ව කරන්නකි. ඒ නිසා සෑම තරගාවලියක් හරහාම 30%ක මුදලක් පුහුණුකරුට ලැබේ. මෙයට විරුද්ධව එම මුදලද තමන්ට අවැසි බව සිතා සුසන්තිකා ඔහු අතහැරියාය.) එහෙත් මෙවර ඇයගේ පදනමට මුදල් එකතු කරන්නට ටෝනි කැම්බල් කැඳවූයේ ඇමරිකාවේ සංවිධාන හරහාද මුදල් එකතු කිරීමටය.
මෙයට ජනපතිද හසුවිය. ක්‍රීඩා ඇමති ලක්ෂ දහයක මුදලක් ලබා දුන්නේය. අප මුල සිටම මෙයට විරුද්ධ වූයේ මෙය සුසන්තිකාගේ බිස්නස් එකක් විනා වෙන කිසිවක් නොවන බව කල් තබා දන්නා නිසාය. කෙසේ වෙතත් එහි එකතුවද කෝටියට කිට්ටු වූ බව එයට එක්ව සිටි අයගේ මතයය. ඒ මුදල්වලට සිදුවූයේ කුමක්ද? අද ඒ ගැන කතාවක් හෝ නැතිය. තම ජීවිත කතාව ලියන බවට ලක්ෂ එකොළහක් අමාත්‍යාංශයෙන් ගත්තද ලියූ ජීවිත කතාවක් නැතිය. මේ සෑම දේම තුළ සුසන්තිකා කළේ මුදල් මැවීමය. පදක්කම පෙන්නා මුදල් මැවීමය. රාජපක්ෂගේ දේශපාලන වේදිකාවේ සිට මෛත්‍රීපාල සිරිසේනට “ජනවාරි 8 වැනිදායින් පසු ආච්චිට හාල් ගාරන්න වෙයි.” කියූ සුසන්තිකා අද ජනපති තමාගේ ප්‍රශ්න විසඳනු ඇතැයි මාධ්‍යයට කියන්නීය. ජනපති මේ ප්‍රශ්නය දෙස සාම්ප්‍රදායික ලෙස බලනවා විය හැක. එහෙත් සුසන්තිකා යනු මුදල් කොපමණ දුන්නද සංසිඳුවිය හැකි අයකු නොවන බව ඉතිහාසය පුරාම ඔප්පු කොට හමාරය. සුසන්තිකාගේ මේ සියල්ල ඇය ආ පසුබිම අනුව වනවා යැයි කියා අත පිසදා ගැනීම සරලමුත් එය ඇය තක්කඩිකමකට හරවාගෙන ඇත. ඇය ගොනාට අන්දනුයේ දේශපාලකයන් පමණක් නොව රටේ ජනතාවය. කෝටි ගණන් ආධාර ලැබුණද එය කළමනාකරණය කරන්නට නොදත් සුසන්තිකාට රටෙන් භාගයක් ලියා දුන්නද ටික කලකින් එය මදි රටම අවැසි යැයි කියනු නියතය. එබැවින් ඇයට වැටුපක් නිර්මාණය කර ඊට සරිලන සේවයක් ගන්නවා හැර නිකරුණේ ඇය නඩත්තු කිරීම නවතා දැමිය යුතුය. දාහත් වසරක් විකුණූ සුසන්තිකා හෝ පදක්කම ඇය කී වරක් නම් වික්කේද? එයටද කෙළවරක් තිබිය යුතුය. එය ඇයගේ අයිතියක් බැවින් එය එකවර විකිණීමට ඉඩදිය යුතුය. ඇය එය නොකරනවාද නියතය. එවිට මේ ප්‍රශ්නය අහවරය. දැන් බොරුවට ඇය පසුපස යෑම විකාරය. නව ක්‍රීඩා පරපුරක් බිහිකිරීමට පිඹුරු සකසනු විනා සුසන්තිකාගේ ප්‍රශ්න විසඳමින් කාලය කා නොදැමිය යුතුය. ඩන්කන් වයිට් නමින්ම සුදු වන විට සුසන්තිකා වැඩවලින්ද කළුම විය. ලංකාවට ඔලිම්පික් පදක්කම් දෙකක් ඇත. ඩන්කන් වයිට්ට ඒ වෙනුවෙන් දුන් දේ සහ සුසන්තිකා ලද දේ විශාලය. එහෙත් ඩන්කන් වයිට් නම් සොඳුරු මිනිසා හමුවේ සුසන්තිකා ක්‍රීඩිකාවක ලෙස හරිම ළාමකය. පරාජිතය. දයාසිරි ඇමතිවරයා මේ මොහොතේ තදින්ම ක්‍රියා කළ යුතුව ඇත්තේ සුසන්තිකා යනු මෙරට සමස්ත ක්‍රීඩාවම නොවන බැවිනි.■