රාවය

නැගලා යන්න සිංදු කිව්වට හිමිං ගමනක් ගියේ -ඉන්ද්‍රානි පෙරේරා

නැගලා යන්න සිංදු කිව්වට හිමිං ගමනක් ගියේ -ඉන්ද්‍රානි පෙරේරා

ටිරන් කුමාර බංගගමආරච්චි 

ඔබ ඉපදෙන්නත් පෙර සිටම ඔබගේ පවුලේ සංගීත පසුබිම තිබුණා කියලා මම අහලා තියෙනවා.
අපෝ ඔව්! මගේ තාත්තාගේ මාමා දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. එයාගේ නම ඇල්බට් පෙරේරා. වෙහෙරහේන විහාරයේ චිත්‍ර අලුත්වැඩියා කළේත් ඔහු. ඒ වාගේම ඔහුට ඒ කාලේ ලොකු සමාජ ඇසුරක් තිබිලා තියෙනවා. ඔහු ළඟින්ම ඇසුරු කළ කෙනෙක් තමයි මොහොමඞ් ගවුස් මාස්ටර්. ඒ ඇසුර නිසා තමයි අපේ පවුලටත් සංගීතය ඇතුළු වුණේ. ඒ කාලේ අපේ තාත්තලාගේ පවුලම ඉඳලා තියෙන්නේ මොරටුවේ. ඉතින් තාත්තාගේ මාමාගේ මාර්ගයෙන් තාත්තාගේ පවුලේම අයත් සංගීතයට නැඹුරු වෙලා. මගේ තාත්තා විතරයි ගණිතය අංශයෙන් ගියේ. අනෙක් මාමලා ගෘහනිර්මාණ ශිල්පීන්. හැබැයි සේරම වාද්‍ය භාණ්ඩ ඉගෙනගෙන තිබුණා. මගේ තාත්තාටත් මැඞ්ලින් වාදනය කිරීමේ යම් හැකියාවක් තිබුණා.

දෙමාපියෝ මොරටුවේ අයද?
නෑ. තාත්තා ඉපදිලා තියෙන්නේ ගම්පොළ. අදටත් අපේ වැඩිම ඥාතීන් ඉන්නේ නුවර. අපි කොළඹට ආ අය.

සංගීතය පැත්තට යොමුවුණේ කොහොමද?
ඒකත් ඉබේටම සිද්ධ වුණේ. අපේ පවුලෙ ගැහැනු ළමයිම තුනක්. ඉතින් අපිට රෙකෝඞ් ප්ලෙයර් එකක් තිබුණා. ගෙදර ඉන්න හැම වෙලාවෙම කළේ මේ රෙකෝඞ් ප්ලේයර් එක දාගෙන නටන එක. ඔය අතරේ තාත්තා තීරණය කළා අක්කාට සංගීතය උගන්වන්න. අපේ ගෙදර ලස්සනටම සිංදු කිවීමේ සහ හොඳ හැකියාවක් තිබුණේ මගේ අක්කාට. ඉතින් තාත්තා එයාව අමරදේව මහත්තයා ළඟට සංගීතය ඉගෙන ගන්න දැම්මා. මම එතකොට පොඩියි. මම අක්කාගේ තනියට යනවා. බොරැල්ලේ වයිඑම්බීඒ එකේ පන්ති තිබුණේ. මට මතකයි ඒ කාලේ අමරදේව මාස්ටර් ළඟට ඉගෙන ගන්න සනත් නන්දසිරි, පියසිරි විජේරත්න, දේවානන්ද වෛද්‍යසේකර වගේ අයත් ආවා. අක්කාගේ තනියට ගියාට මම සංගීතය ඉගෙන ගන්නවා, ඉන් ඉහළට යනවා කියලා අදහසක් තිබුණේ නෑ. අක්කානේ ඒ පැත්තට දක්ෂ. ඉතින් තාත්තා මාව දැම්මේ නැටුම් ඉගෙන ගන්න. ඒත් පොඩි තැනකට නෙමෙයි වජිරා චිත්‍රසේන යුවළ ළඟට. ඉතින් මම නැටුම් කළේ.

නැටුම් ඉගෙන ගන්න ගිහිල්ලා සංගීතයට යොමුවුණේ කොහොමද?
සිංදු එක්කමයි අපි ඉන්නේ. ඉංග්‍රීසි සිංදු අහනවා. සිංහල සිංදු අහනවා. ඒවා කෑගගහා කියනවා. නැටුම් කරන්න ගියත් චිත්‍රසේන මහත්තයාව හම්බ වෙන්න නිතරම එන්නේ අමරදේව මාස්ටර්, ලයනල් අල්ගම වගේ අය. ඒ පසුබිමත් අපිව වැඩි වැඩියෙන් සංගීතයටම තල්ලු කළා. මට නැටුම් වැඩිය අල්ලලා ගියේ නෑ. අක්කා සිංදු කියනවා. මම නටනවා. නංගි පුංචි කාලේ ඉඳලාම රඟපානවා. හැබැයි අපි තුන්දෙනාම එකතු වුණාම සිංදු තමයි. සංගීතයම තමයි.

ඔබට පුංචි කාලේ ඉඳලම ලොකු දැනුම් ඇත්තන්ගේ ඇසුර ලැබිලා තියෙනවා.
අපෝ ඔව්! ඒ දේ තමයි මම ලබපු ලොකුම භාග්‍යය. මට දෙවියන් පුංචි කාලේදීම හොඳ මාර්ගයක් පෙන්නුවා. එහෙම නොවෙන්න මේ වගේ අයගේ සෙවණේ ඉගෙන ගන්න ලැබෙයිද? ඒ අතරේ ‘කලා පෙළටත්’ එකතු වුණා. ජයතිස්ස හෙට්ටිආරච්චි එතකොට ජයතිස්ස අලහකෝන්. ඔහු සුගතපාල ද සිල්වා මුණගැහුණා. ඒ අය අපි ළඟින්ම ඇසුරු කළා. ඒඅ ය හරියට පුස්තකාල වගේ. ලොකු දැනුමක් අපිට ඒ අය හරහා ලැබුණා. ඒවා තමයි අපිව හොඳ තැනකට අරගෙන ගියේ. ඒ විතරක් නෙමෙයි දෙනවක හාමිනේ, ලියෝනි කොතලාවල, බුද්ධි වගේ කට්ටියත් ඇසුරු කරන්න ලැබුණා. මේ දැවැන්ත චරිත.

ගයන්න පෙළඹුණේ මේ හරහාද?
මේ ඇසුරත් බලපෑවා. මොකද අක්කා මුලින්ම ගීතයක් ගායනා කළේ ‘සාමා’ චිත්‍රපටයට. ඒක ජයතිස්ස අලහකෝන්ගේ නිර්මාණයක්. සුගතපාල සෙනරත් යාපා තමයි ගීතය ලිව්වේ. ඒ 1965දී. ඒක අමතක නොවන අත්දැකීමක් වගේම ඒ එක්කම තමයි අපේ අම්මාත් ලෙඩ වෙන්නේ. අපි කලාවට පය තියන කොටම තමයි අම්මා ලෙඩ වෙන්නේ. අම්මා තමයි අක්කාගේ තනියට නිතර ගියේ. ඒත් අක්කා මුල්ම සිංදුව කියන්න යනකොට අම්මා පිළිකාවකට ගොදුරු වෙලා. ඒ කාලේ අද වගේ පිළිකාව සුලබ නෑ. කොටින්ම ඒ කාලේම තමයි මහරගම පිළිකා රෝහල ආරම්භ කළේත්. මගේ අම්මා ඒ රෝහලට ගිය පළමු රෝගීන් කිහිපදෙනාගෙන් කෙනෙක්.

ඔබ ගායිකාවක් වුණේ අක්කා නිසාද?
නැහැ. කොහොමත් මමත් සිංදු කියනවා ගෙදරදී, පාසලේදී එහෙම. ඒත් මට අවස්ථාව ලැබුණේ මගේ යාළුවෙක් නිසා. මට ලොකු ආශාවක් තිබුණා බටහිර පන්නයේ සිංදු කියන්න. ඕක දන්න මගේ යාළුවෙක්, එයා මාලි. මාලිගේ සහෝදරයා ඇනස්ලි මාලවන. ඉතින් මාලි කිව්වා එයාලා ගෲප් එකක් පටන් ගන්නවා. ඒකේ සිංදු කියන්නත් කෙනෙක් හොයනවා, ඔයා යන්න කියලා. ඊට කලින් මතක් කරන්නම ඕනෑ මට මුලින්ම අවස්ථාවක් දුන්න ඩැලරින් සුබීව. එයාගේ ෆයර් පයිට්ස් කණ්ඩායමේ මට ඉඩක් ලැබුණා. ඒ ඉඩ ඇය දෙන්නේ මාව ගොඩාක් අය ප්‍රතික්ෂේප කරන කාලෙක. මොකද ඒ කාලේ ගොඩාක් අය මම කළුයි කැතයි කියලා ගත්තේ නෑ. ඩැලරින් සුබී කිව්වේ සිංදු කියන්න හඬ මිසක් රූපේ වැඩක් නෑනේ. එයාට එන්න කියන්න කියලායි. කොහොමහරි මට ඒකට යන්න බැරිවුණා. ඊට පස්සේ තමයි මාලි හම්බ වුණේ. මාලිගේ ලියුමත් අරගෙන මම ඩෙරල් වික්‍රමසිංහගේ ගෙදර ගියා. එදා තමයි මට ක්ලැරන්ස් විජේවර්ධන කියන අපූරුතම සංගීතඥයා හමුවුණේ. මේ දෙපළම මගේ හඬ අහලා තීරණය කළා ඒ අයගේ සංගීත කණ්ඩායමට ගන්න. ඒ නිසා මම ඒකේ සිංදු කිව්වා. මුල්ම ගීතය ‘දිල්හානි දුවනී.’ ක්ලැරන්ස් කළේ. මූන් ස්ටෝන් සංගීත කණ්ඩායම තමයි මගේ සංගීත ගමනේ ආරම්භය. ඊළඟට ‘වන දෙව්ලිය තුරුලේ’ ගීතයත් කළා. මේවා ඉතාම ඉහළින් ජනප්‍රිය වුණා. මූන් ස්ටෝන්වලත් වැඩිකල් ඉන්න ලැබුණේ නැහැ. අපි අපේ වැඩක් පටන් ගත්තා.

ත්‍රී සිස්ටර්ස් ඇරඹීමද?
ඔව්! තාත්තා අපේ සංගීත ගමන බලලා මයික්, ගිටාර්, සවුන්ඞ් මේ හැමදේම ටික ටික මිලදී ගත්තා. ඉතින් අපිත් සංගීත භාණ්ඩ අතපත ගානවා. අපිත් සංගීත කණ්ඩායමක්. මම ඩෙරල් වික්‍රමසිංහගෙන් දවසක් ඇහැව්වා ගැහැනු ළමයි තුන්දෙනෙක් සංගීත කණ්ඩායමක් හැදුවොත් මිනිස්සු හිනාවෙයි නේද කියලා. දන්නවානේ සමාජයේ හැටි. එතැන රොක්සාමිත්, වික්ටර් දලුගමත් හිටියා. ඒ අය කිව්වා මොන පිස්සුද බය නැතිව පටන් ගන්න. ඔයගොල්ලන්ගේ තාත්තාත් ළඟම ඉන්නවානේ කියලා. ඉතින් 1969දී අපි ත්‍රී සිස්ටර්ස් කණ්ඩායම පටන් ගත්තා. ඒක රට වටේම සංදර්ශන පැවැත්තුවා. අපේ මුල්ම ගීතය වුණේ ‘ඔබ සොයනා කළු කෙල්ල මමයි’. ‘ආදරේ කරන්න දන්නෙ නෑ’ වගේ ගීතත් කළා. මේවා සෑහෙන ජනප්‍රිය වුණා. අපිටම කියලා ලොකු රසික පිරිසක් හම්බ වුණා. ඒත් අක්කා 89දී හෘදයාබාධයක් හැදිලා මියගියාට පස්සේ අපි කණ්ඩායම නැවැත්තුවා. මම එතැන ඉඳලා තනියම ගීත ගායනා කරන්න ගත්තා. ඉතින් එදා ඉඳලා තවමත් ගායනා කරනවා.

අක්කා මුලින්ම සංගීතය ඉගෙන ගත්තාට ඔබ නේද මිනිස්සු අතරට ගියේ.
ඔව්! ඒකට හේතුව මම ගැයූ ආර වෙන්න ඇති. තරුණ පරපුර ඒ ආරට කැමති වුණා. ඒකෙන් මම මගේ අක්කාට වඩා දක්ෂයි කියලා අදහස් වෙන්නේ නෑ. අක්කා ඇත්තටම දක්ෂයි.

ඔබ සංගීතය හැදෑරුවේ නැද්ද?
සිංදු කියන්න පටන් ගත්තාට පස්සේ ටිකක් හැදෑරුවා. මුලින්ම ගියේ ශාන්ති ගීතදේවයන් ළඟට. ඊළඟට සනත් අයියා (සනත් නන්දසිරි) ළඟට ගියා. ඒත් පසුකාලීනව සංගීතය ගැම්මටම ඉගෙන ගත්තේ රත්නකුමාර ලියනපටබැඳි කියන ගුරුවරයා ළඟයි. ඔහු මගේ වයස නොබලා මම පැකිලෙද්දීම පොඩි ළමයි එක්ක විභාගවලට ඉදිරිපත් කළා. එහි ප්‍රතිඵල මම අද භුක්ති විඳිනවා.

ඔබගේ රූපයට දොස් නැගූ බව ඔබ කීවා.
අපෝ ඔව්! මේක එහෙම සමාජයක්. ඒ කාලේ සිංදු කියන්න හඬ නෙමෙයි රූපේ බැලුවේ. මම කළු කැත කෙනෙක් කියලා කොන් කළා. ඒ වාගේම මොනවද ඒ කියන්නේ නිකං බයිලාකාරයෝ කියලා සරදම් කළා. ඒත් මම කිසි දෙයක් ගණන් ගත්තේ නෑ. ගණන් ගත්තාමනේ අමාරු.

කළු කෙල්ල ගීතය ඒ අරමුණෙන් කියන එකක්ද?
ඔව්! ඒක මාව හෙළා දකිනවාටම මම දෙන පිළිතුරක්. හැමෝම මට කළුයි කැතයි කියලා විහිළු කරන කොට මම ඒ ගැන කියලා හේම ශ්‍රී ද අල්විස්ට කියලා ඔය ගීතය ලියා ගත්තා. මම කැත ඇති. ඒත් මට හොඳ හඬක් සහ හොඳ හිතක් තියෙනවා.

ඔබගේ හඬට ආදරය කළ තරුණයෝ ආදරය පතාගෙන ආවේ නැද්ද?
සිංදුවලට කැමති වුණාට මට කැමති වෙලා ආ අය නෑ. අනෙක අපි ඒවා ගැන හිතුවේත් නෑ. සිංදු එක්කමයි හිටියේ. ඒ අතර මගේ ආදරයත් මගේ ළඟම තිබිලා. ඒ මගේ මහත්තයා. ඔහු ඒ දවස්වල අපිත් එක්කම වැඩ කළ කෙනෙක්. සංගීත නිෂ්පාදකයෙක්. එයා මගෙන් ඇහැව්වා. අපි මාපියන් එක්ක කතා කරලා විවාහ වුණා.

ඔබලට නිසි ඇගැයීමක් වටිනාකමක් ලැබුණා කියලා හිතනවාද?
අනේ නෑ. අපි බයිලානේ කිව්වේ. එම්එස්ටත් බයිලාකාරයෙක් කියලානේ කිව්වේ. ඔහු ගැයූ ගීත කොච්චර ලස්සනද? ඔහු කොච්චර දක්ෂද? මේ රටේ හැමදාම එක පිරිසක් තමයි බැබලුණේ. ඔවුන් කරන දේ තමයි හරි ඉහළින් හැමෝම අගය කළේ. ඔවුන් ඈනුමක් ඇරියත් මහ ඉහළින් වර්ණනා කරනවා. අපිට කවදාවත් කොළ කෑල්ලකින් හරි අගය කරලා නෑ. එහෙම ඕනෑත් නෑ. හැබැයි අපිත්, මෙරට සංගීතයට යමක් කළා. එහෙම කළා කියන්න වටිනවා. ඒක නොකියන එකයි දුක. අද සමහරු කියනවා ඉන්ද්‍රාණි අක්කාගේ සිංදු මාරයිනේ කියලා. අපි මාරයා ළඟට කිට්ටු වෙන කොට තමයි මාරයි කියන්නේ. ඒක මොකටද? අගයන්න ඕනෑ කාලේ අගය නොකර අද මොකටද? මේක මට විතරක් වුණ දෙයක් නෙමෙයි. මම වාගේ ගොඩාක් අයට වුණා.

ඔබ දේශපාලනයට කැමති නැද්ද?
කැමතියි. අපිටත් යමක්කමක් තේරෙනවා. ඒත් ඒ මත්තේ වැටිලා ඉන්න කැමති නෑ. කොටින්ම දේශපාලකයන්ගේ පිහිටෙන් මේ වෘත්තිය කරන්න කැමති නෑ. එහෙම යනවා නම් ඕනෑ තරම් ඉඩ තිබුණා. අපි ගියේ නෑ. මට කලාපුරෙන් ඉඩමක් දුන්නා. මම කිව්වා. මට ඉඩමක් තියෙනවා. ඒ නිසා නැති කෙනෙකුට දෙන්න කියලා. මගේ ඥාතීන් මට හොඳටම බැන්නා ගත්තේ නෑ කියලා. අන්තිමට බැලුවාම ඉඩම් අරගෙන තිබුණේ මටත් වඩා තියෙන අය. ඒ අය අදත් ඒ දේශපාලනය අල්ලාගත්තා. ඊළඟට ආපු හැම දේශපාලනයටත් ඒ විදිහටම මුක්කු ගැහැව්වා. හරියට බලන්න ඔය එකම පිරිස තමයි පාට මාරු කර කර ඉන්නේ. අපි කාටවත් සම්බන්ධ වුණේ නෑ. ඒ නිසා අපි තල්ලු වෙවී නාකි වෙවී පස්සටම ගියා. කලාකරුවන්ට අවංකව යමක් කළා නම් අදටත් ඒ දේ කළේ ප්‍රේමදාස ජනාධිපතිතුමායි. ඒක තමයි මම දැක්ක දේ.

ඔබගේ දරුවො සංගීතයට ආවේ නැත්තේ ඇයි?
මගේ පුතාට ලස්සන හඬක් තියෙනවා. ඒත් ඔහු ඒක පාවිච්චි කළේ පල්ලියේ ගීතිකා කියන්න විතරයි. පුතාත්, දුවත් හොඳට ඉගෙන ගත්තා. මම සිංදු කියලා කළේ ඒ අයට හොඳට උගන්වන එක. පුතා ගායකයෙක් වෙනවාට මම ආස කළා. ඒත් එයාගේ කැමැත්ත තිබුණේ ආගමට. ඉතින් අද ඔහු පාස්ටර් කෙනෙක්. දුව විදෙස්ගත වෙලා ඉන්නේ. බැංකුවක ඉහළ නිලයක් දරනවා. ඒ අය ඒ අයගේ මගේ ගියා. මට ඒ ගැන සතුටුයි.

අද සිංදු කියන අය විතරක් නෙමෙයි ලියන අයත් ධනවතුන්. ඔබලා ගීත හරහා හොඳට ඉපැයුවාද?
අපි මුදල් බලාගෙන සංගීතය කළේ නෑ. හැබැයි හොඳ රසිකයෝ, හොඳ මිනිස්සු ඉපැයුවා. ආදරණීය මිනිස්සු නිසා තමයි අදටත් මේ කලාව රැකිලා තියෙන්නේ. ප්‍රේමකීර්ති, කරුණාරත්න අබේසේකර වගේ අය සිංදුවලට සල්ලි ගත්තා නම් ඒ අය කෝටිපතියෝ. හැබැයි ඒ අය ආදරය කළේ නිර්මාණයට. ඒවා ලෝබ නැතිව දීලා ඒවා පස්සේ රස විඳිනකොටයි ඒ අය සතුටු වුණේ. අපිත් සල්ලි පස්සේ දිව්වේ නෑ. අපි උපතින්ම ලද දේම තමයි දිගටම පවත්වාගෙන ගියේ. හම්බවෙන දේවල්වලින් කළේ ළමයින්ට උගන්වන එකයි. හැබැයි මම හැම කෙනෙක්ම ආශ්‍රය කරනවා. පැළකට ගිහිල්ලත් තේ එකක් බොන්න මට පුළුවන්. මම පොළොවේ ඉන්න ගැහැනියක්. මට මොනවා හරි වුණත් ඉස්සර වෙලා එන්නේ මේ පුංචි මිනිස්සු තමයි. ඒක මම දන්නවා. ඉතින් මම ඒ අයගේ ගායිකාවක් වීම මට සතුටුයි. ලොකු බලාපොරොත්තු නෑ. මගේ තාත්තා අපිට මේ තැනට එන්න උදව් කළා. අපිට පුළුවන් කාලේ අපේ තාත්තාටත් අපි උපරිම කළා. අක්කා නැති වුණා. නංගිත් ලෙඩ වුණා. ඉඩම් විකුණලා අපි එයාව නැවත ගොඩගත්තා. ඒව කිය කියා කාගේවත් පස්සේ ගියේ නෑ. එදා ගියේත් නෑ. අදත් හෙටත් යන්නේ නෑ. අපිට හැකි අයුරින් යමක් කළා. ඒ දේට කවුරුහරි හදවතින් අගය කරනවා නම් ඒ දේ තමයි අපි ලබන සතුට. වෙන තාන්න මාන්න ඕනෑ නෑ. නැගලා යන සිංදු කිව්වාට බයිලා ආරට ගායනා කළාට අපි හිමින් ගමනක් ගියේ. ඉතින් ඒ දේ ගැන සතුටුයි. මම ගැයූ හැම ගීයකටම මම හරිම ආදරෙයි. ඒ සතුට මාව ජීවත් කරනවා.■