සිරි ගුනසිංහ කොදෙව්වක මහද්වීපය


siri

මංජුල වෙඩිවර්ධන

කොදෙව් සමාජය තුළට බුද්ධිය අන්තර්ග්‍රහණය වන්නේ නැත. මිථ්‍යාව හෝ හිංසනය ත්වරණය වන්නේ නම් තර්කනය හෝ දැනුම මන්දනය වේ. ඉදින්, බුද්ධිගලනය ශ්‍රී ලංකාව නම් කොදෙව්වේ දැනුවත් ගැළවුම් මාර්ගයක් වී පවතී.
සිරි ගුනසිංහ යනු කොදෙව්වක පහළවුණු මහද්වීපයක් බව මම සිතමි. ඉදින් ඒ බර උසුලන්නේ කොහොමද? කොදෙව්ව විසින් ඔහු අහිමි කරගන්නේ ස්වයං කැමැත්තෙනි. ඉක්බිති සමාජය, ඔහු නැති අවකාශයක උපදින ශුද්ධ සංස්කෘතිය නම් මළදානයේ කුණු රසය තලු‍ මරමින් රසවිඳියි. සැබැවින්ම නම්, ඔහු කැනඩාවේ පැළපදියම් වන්නේ නැත. ශ්‍රී ලංකාවේ අගතිගාමී සංස්කෘතික දේශපාලනික සන්දර්භය විසින් ඔහු කැනඩාගත කෙරෙනු ලැබෙයි.
සංස්කෘතිය දේශපාලනයේදී ඔහු පුරෝගාමියකු බුද්ධිමතකු, නිර්මාණකරුවකු මෙන්ම සවිඥානික චින්තකයෙක් විය. ඒ සකල පුරෝගාමීකම් වඩා නූතනවාදී විය. එහෙත් සමාජය නූතනවාදයට හතුරුව පැවතිණ. නිදසුනක් ලෙස අපට වඩා සමීප ‘කවිය’ යන විෂය ගතහොත්, නූතන සිංහල කවියේ – නූතන උපමාවේ, රූපකයේ, සංකල්ප රූපයේ පීතෘවරයා වූ සිරි ගුනසිංහගෙන් කවිය මුවහත් කර ගන්නට සමාජය විසින් අඛණ්ඩ වෙර දැරීමක් සිදුවූයේ නැති.
ඔවුන් විසින් නිර්මාණ භාවිතය තුළ සිදුකරන ලද්දේ ‘ණ ළ’ අත්හැරීම හෝ ‘භාෂාවේ ද්විරූපතාව’ අතැ’ර දැමීම නොවේ. නූතනවාදී සාහිත්‍ය ප්‍රවේශයකදී වෙනස් කළ යුතුව තිබුණු එක් මූලික ප්‍රභේදයක් වූයේ ‘භාෂාවේ ව්‍යාකරණය’ වෙනස් කිරීම නොව, ‘සාහිත්‍යයේ ව්‍යාකරණය’ වෙනස් කිරීමයි. එතුළින්, සමාජයේ ව්‍යාකරණය වෙනස් කිරීමයි. එසේ ඉෂ්ට සිද්ධ කිරීමේදී විලංගුමය භාෂා ව්‍යාකරණයටද යන ගමන් පහර දීගෙන යන්නට සිදුවේ. ඔහු ‘ණ ළ’ අත්හැරීම හෝ භාෂාවේ ද්විරූපතාව අතැර දැමීම සිදුකෙරුණේ ජාතිකත්ව ඝෝෂාවන්ට එරෙහි නූතනවාදී අර්ථයකිනි. කෙළ සුවහස් විරිත් අතැ’ර කවියට ප්‍රවේශවීමට ඔහුට ඕනෑ වූයේ ඡන්දස ඕක්කාර දෙන තරමට තොරොම්බල් වීමට එරෙහි දේශපාලන අර්ථයකිනි. ඒත් ඔහුගේ කවිය තුළ පවා සඳැස්මය ගතිලකුණු ශේෂ කිරීම තුළ ඔහු ධ්වනි නැංවෙන්නට සලස්වා ඇත්තේ කුමක්ද? එනම්, සංස්කෘතික මහගෙයි වළං බිඳෙන ශබ්දය යි, ඔහුගේ කවිය ඉසියුම්ව විමසීම තුළින් මෙම ප්‍රවාදය පහදා ගනු හැකි බව මගේ අදහසයි.
විසිවන සියවස මුල යුරෝපීය සන්දර්භයක නූතනවාදය පැන නැඟින්නේ වුව සාහිත්‍යය හා කලාව යාවත්කාලීන වීමට නම් මෙම ඓතිහාසික ප්‍රවණතාවන් සාහිත්‍ය කලා වපසරියට පැමිණිය යුතු ය. නිදසුනක් ලෙස ලංකීය දෘශ්‍ය කලා වපසරිය ගතහොත් එය 43 කණ්ඩායමේ සාමූහික භාවිතය හා සංවාදය හරහා සමාජය තුළ පැවතුණි. සාහිත්‍යයික ක්ෂේත්‍රය තුළ වෙනත් ගුරුකුල කල්ලි කණ්ඩායම් පැවතියද, එහි නූතනවාදයක් පැවතුණේ නැත. සිරි ගුනසිංහ ‘මස් ලේ නැති ඇට’ අභිමුඛ කරන්නේ එවන් සන්දර්භයකට ය. 1949දී සිරි ගුනසිංහ නිශ්චිතව ම නිසඳැස කැටුව පැමිණෙයි. 1949 ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල සමිතිය විසින් මුද්‍රණය කැරුණු ‘අරුණ’ නම් සඟරාවේ ‘ආ පසුව’ මැයෙන් ඔහු ලියූ කවියෙහි තැනෙක මෙසේ සඳහන් වෙයි.
‘මගිය
ඇයි නිසල බව
මහ අතීතය හිම ගල් වී
ඉතිහාසයෙ බැමි ලිහි ලිහී
ඔබ වෙල වෙලා බඳී
වලගය කටින් ඩැහැගත්
කාලයේ නාගයා
ඔබ වටා දරන
වැල ලා…….’
ඒත්, පේරාදෙණිය තුළ ‘වළ’ අධිනිශ්චය වෙමින් පැවති ‘කල්පනාලෝකවාදයකට’ අභිමුඛ වූ ගුනසිංහමය ප්‍රවේශය හුදු පුද්ගල ප්‍රයත්නයක් – කැරැල්ලක් පමණක්ම විය. එතෙක් පැවති සම්භාව්‍ය හා වික්ටෝරියානු අදහස් මෙන්ම න්‍යායන්ද ප්‍රතික්ෂේප කරන නූතනවාදී සාහිත්‍යයික ස්ථාවරයක් තනිව දැරීමට නම්, නව නිර්මාණාත්මක සංකල්ප ජනිත කිරීමට විශාල විභවයක් සහ ජවයක් තිබීම අනිවාරණීය විය. සිරි ගුනසිංහට තිබුණේ එකී නිර්මාණාත්මක විභවය සහ ජවයයි. සාහිත්‍යය නූතනවාදය වෙතට ඇද දැමීමට නම් එකී අනම්‍ය බව අත්‍යවශ්‍ය භාවිතයක් බව ගුනසිංහ දැන සිටියේ ය. ඉදින් වැඩවසම් චින්තනය විසින් වගාදිගා කරන ලද ජාතිකත්වය හා ශුද්ධ සංස්කෘතිය පිළිබඳ මිථ්‍යාවන්ට එරෙහිව හිටගැනීම අවශ්‍යයෙන්ම අතිශයින් රැඩිකල් ස්ථාවරයක් විය.
‘පනස් හයේ පෙරළිය’ නමින් දෙමළ සමාජයට එරෙහිව ජාතිකවාදය සංස්ථාපිත වන මොහොතේ ම, එනම් 1956දී, ඔහු ‘මස් ලේ නැති ඇට’ නමින් වන බුද්ධිමය බෝම්බය පුපුරුවා හැරියේ ය. පැවති වැඩවසම්වාදී ජාතිකවාදී ගතානුගතිකත්වයේ කෙළ සුවහසක් විරිත් බෙල්ලෙන් අල්ලා හෙල්ලූ සිරි ගුනසිංහ කවි ලියමින් නිහඬව සිටියේ නැත. ඔහු කොළඹ කවියේ මාරන්තික විවේචකයෙක් විය. කොළඹ කවිය මතුපිටින් ලස්සනට පෙනුණත්, එ කව් කියවා බැලූ කල අවසානයේ ගතයුත්තක් නැති බව ඔහු විවෘතව පැවසී ය. ඔහු ඒ පිළිබඳ ලියමින් විශාල මැදිහත්වීමක් කළේ ය. නිසඳැස එනමින් නම් කෙරුණේ ගුනසිංහ අතිනි. ‘මස් ලේ නැති ඇට’ කෘතියේ කවරයේ එය සඳහන් විය. ඔහුගේ ප්‍රවේශය, භාවිතය කෙළ සුවහසක් විරිත් අතැර සමුද්‍රඝෝෂයේ සිරගතව සිටි කොළඹ කවීන්ගේ පමණක් නොව, වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, අමරසේකර ‘සාහිත්‍යයික රජ තුන්කට්ටුවේ’ ද උදහසට ලක්විය. වික්‍රමසිංහ විසින් පවා ගුනසිංහ වරනැඟු‍ණේ නරුමවාදියකු වශයෙන් වීම එහි පරිමාණය වටහා ගැනීමට කැඩපතක් සපයයි.
සරච්චන්ද්‍ර වැන්නන් අමරසේකර මුරුංගා අතුවල නංවන විට එහි භයානක බව සෘජුව කියා පෑවේ ගුනසිංහ පමණි. අමරසේකරගේ ‘යළි උපන්නෙමි’ නවකතාව ඉංග්‍රීසි, ප්‍රංස වැනි ජාත්‍යන්තර භාෂාවන්ට පරිවර්තනය විය යුතු බව පැවසූ සරච්චන්ද්‍රට ගුනසිංහ දීර්ඝ ලියුමක් ලියමින් අවධාරණය කළේ පක්ෂග්‍රාහී විචාරය සාහිත්‍යයට හානියක් බවයි. ‘යළි උපන්නෙමි’ දැනටම ඉංග්‍රීසියෙන් සහ ප්‍රංස බසින් පළවී තිබෙන බව ලියා දැක්වූ ඔහු එහිදී උත්ප්‍රාසාත්මකව අවධාරණය කළේ ඩී.එච්. ලෝරන්ස්ගේ ඉංග්‍රීසි කෘති සහ ඕන්ද්‍රේ ජීද්ගේ ප්‍රංස කෘති තුළ අමරසේකර ‘යළි උපන්නෙමි’ වෙත ගෙන ආ වස්තූන් ගෙඩි පිටින් ඇති බව ය. එබැවින් එකී භාෂාවන්ගෙන් නවකතා කියවන්නන් තුළ අමරසේකරගේ ප්‍රබන්ධ ව්‍යායාමය ‘චෙක්’ වෙන බැවින් එවැනි කෘතියක් එවන් බසකට නැඟීම අර්ථ විරහිත බව ගුනසිංහ පැවසී ය.
මෙවන් බරපතළ මැදිහත්වීම් නිසා සසල වූ ‘සංස්කෘතික දේශපාලන’ අවකාශය, එනයින්ම, ‘දේශපාලන සංස්කෘතිය’ තුළත් ඔහුගේ චින්තනයට අවකාශ තනා දෙන්නට පසුබට විය. නිදසුනක් ලෙස රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය වූ ජාතික ප්‍රශ්නය ගැන ඔහුට අඛණ්ඩ අචපල ස්ථාවරයක් තිබිණ. තමන්ගේ ඇස අබියස සිදුවූ සිදුවීම් ගැන ඔහුට බරපතළ දේශපාලන අදහසක් තිබිණ. දෙමළා පීඩාවට පත් කිරීම නවසිය පනස් අටටත් කලින් සිටි ඇතිවූවක් බව ඔහු කීවේය. බෞද්ධයන් ද, ගාථා නොදන්නා සමාජයක, හින්දූන්ට බෞද්ධ ගාථාවක් කියා ගන්නට බැරිවුණැයි පහර දුන් බව ඔහු මෙනෙහි කරලූයේ වේදනාවෙනි. එවන් සිද්ධි අවශ්‍යයෙන් ම යුද්ධයක් වෙත සමාජය රැගෙන ගිය බව ඔහු තර්ක කරයි. අවසන ඔහු මෙසේ කියයි. “යුද්ධය කියන්නෙ මිනිස්සු මිනිස්සු නොවන එක. මිනිස්සු වල් සත්තු බවට පත් වෙන එක.”
ඉදින්, කොදෙව් සමාජය ඔහුට එහි වසන්නට අවකාශයක් ඉතිරිකර දුන්නේ නැත. සමාජය විවර වූයේ සිරි ගුනසිංහ නැති ‘සිංහ සමාජයකට’ ය. ඔහුගේ පරම්පරාවේ අනෙකා වූ ගුණදාස අමරසේකර ‘හදබස’ වර නඟමින් අඛණ්ඩව තමන් ගත් මඟ ගනිමින් සිටියේ ය. එහෙත් ඔහුට අභිමුඛ වන්නට සිටි මහා කාව්‍යකාරයා නිහඬවීමෙන් අමරසේකර චින්තනය සාහිත්‍ය-සමාජීය-දේශපාලන සංස්කෘතිය තුළ කෙමෙන් අධිනිශ්චය වන්නට විය.
එක්වර ජාතිකවාදයත්, අනෙක් පසෙන් ජනතාවාදයත් එනවිට, ඊට එරෙහිව හිටගන්නට සිරි ගුනසිංහ නොසිටි බව මට හැඟෙයි. ඉදින් මා ඇතුළු, අපේ පරම්පරාව ඇතුළු වන්නේ ‘ගුනසිංහ’ නැති ‘සිංහ’ අවකාශයකට ය. මෙම අචපල නූතනවාදියා ක්‍රියාකාරීව සිටියේ නම් සාහිත්‍ය කලාවන් තුළ ජාතිකවාදය මෙන්ම ජනතාවාදය, මෙතරම් මුග්ධ ප්‍රවණතාවන් ලෙස හිස ඔසවන්නට ඉඩ නො තිබිණ. පේරාදෙණි බෙදුම තුළ, ඔහු වෙනුවෙන් පෙනී සිටි සමාන්තර සහෘද පරපුර හෝ ශිෂ්‍ය පරපුර ධෛර්සම්පන්නව හා අඛණ්ඩව ඔහු ඇරඹූ සංස්කෘතික සටනෙහි නිමග්න නොවූ බව ඇත්තකි. මා ඇතුළු අප පරම්පරාව බිහිවූයේ ඒ රික්තය තුළ ය.
මා පුද්ගලිකව හිතන්නේ මා ඇතුළු අපේ පරම්පරාව නිදහස් කවියට ප්‍රවිෂ්ඨය ගන්නේ පරාක්‍රම කොඩිතුවක්කුගේ ජනප්‍රියවාදී කවියෙන් බවයි. අනූව දශකයේ මූලාරම්භය වන විටම ගුනසිංහ කවි කෘති ත්‍රිත්වයෙන් දෙකක් ම පරිශීලනය කළ ද එහි වන බුද්ධිවාදී ගුණය අවශෝෂණය කර ගත්තද, හැත්තෑ එකේ කැරැල්ලේ ඇකයේ බිහිවුණු අප පරම්පරාව තුළට කවිය ගෙන එන්නේ 87-90 චලනයන් විසින් වීම නිසා ගුනසිංහ අපට අත්හැරෙනු ලැබීමේ තාර්කික පදනමක් තිබේ. එහෙත් අඛණ්ඩව ‘අලු‍ත් මිනිහෙක්’ පසුපසම ලු‍හුබැඳ ගියේ නම් අප පරම්පරාවේ කවිය ඉවරවන්නේ ජාතිකවාදී මමංකාරයේ ගුවන්ගත වීමෙන් හෝ ජනතාවාදී මඩගොහොරුවේ කරවටක් එරීමෙනි. පරාක්‍රම කොඩිතුවක්කු පිටුපස ආස්වාදනීය සෙයියාවෙන් ඉදිරියටම ගියවුන්ට සිදුවූයේ වන් ෂොට් පන්නයේ සමාජ-සිනමා විචාරකයන් පමණක් වීම මිස නිර්මාණකරුවන් බවට පත් වීම නොවේ.
කෙසේ වතුදු සිංහල කවිය තීරණාත්මක ලෙස ජාතිකවාදයෙන් මුදවන්නේ කිසිදු සිංහල කවියෙක් නොවේ. ඒ දෙමළ විමුක්ති අරගලයේ ලිට්මස් පරීක්ෂාවයි. සිංහල කවියේ ව්‍යාජ ජනතාවාදී වෙස් බැන්දුම් ගලවා දමන්නේද කිසිදු සිංහල කවියකු නොව, දෙමළ විමුක්ති අරගලයේ ලිට්මස් පරීක්ෂාවයි. එහෙත් සුපරීක්ෂාකාරී අධ්‍යයනයක යෙදුණහොත් මෙකී ජාතිකවාදයෙන් හා ජනතාවාදයෙන් සමාජය වෙනස් කිරීමේ විභවය සිරි ගුනසිංහගේ නූතනවාදී ප්‍රවේශයේ පැවති බව වැටහෙන්නේ වෙයි. එහෙත් ගුනසිංහ සමාජය තුළ බරපතළ කියැවීමකට ලක්වන්නේ නැත. ඔහු ම ම්ලේච්ඡ සමාජයක් ලෙස නම් කළ සිංහල සමාජයේ ඔහු භෞතිකව නොසිටීම ඊට හේතු වන්නට පිළිවන. ඒ අර්ථයෙන් ඔහු ප්‍රමාණවත් කියැවීමකට ලක් නොවීමම දැනුවත් ප්‍රවේශයක් වෙන්නේ වෙයි.
අවසානයේ, සිරි ගුනසිංහගේ නික්ම යාම සමාජයක් වශයෙන් විශාල කම්පනයක් ඇති කරන බවක් නොපෙනිණ. පුද්ගලිකව ගත් කල මට පවා ඇතිවූයේ යම්තාක් දුරස්ථකරණය වූ වේදනාවකි. මෙයට හේතුව කුමක්ද? ඔහුගේ භාවිතය සමාජය හා ඓන්ද්‍රීය නොවීමද?
“‍ඉතිහාසය අලු‍ත්වැඩියා කරන්න බැහැ. ඉතිහාසයේ සිද්ධිය ඒ විදිහමයි” ඔහු වරක් පැවසී ය. ඒ දේශපාලනය අදාළව ය. ඒත් ඒ උපුටනය ඔහුගේ ජීවිතයට අදාළව ද යළි උපුටාලිය හැකි ය.
සිරි ගුනසිංහ ස්වකීය භෞතික ශරීරිය හැර ගොසිනි. එහෙත් ඔහු ගොඩනැංවූ ඉතිහාසය වෙනස් කළ නොහැකි ය. දශක ගණනාවකට පෙර ඔහු තැබූ නූතනවාදයේ පිය ලකුණ සදාතනික ය. මන්ද යත් ඔවුන් ‘ආ පසුව’ ආරම්භක නිසඳැස් කවියේදීම මෙසේ පවසා තිබිණ.
“….මහ රෑ බල මැන යතුරු සිදුරින් සෙලු‍ ගන අඳුර පමණයි ඇයි ද ඔය බිය, ඔය පුදුමය නොනැසී බිඳෙන අතීතය වැලඳ දිනෙන් දින දුරට යන අනාගතය බලා ඔබ දෙස කරයි සරදම්.”‍ ■