පරක්කු වෙච්ච ස්ටාට් එකක්


nino

චින්තන ධර්මදාස

නිනෝ ලයිව් ගැන මට තියෙන්නෙ ඉමෝෂනල් කියවීමක්. ඒක ෆිල්ම් එකකට වඩා ලංකාවෙ එක පරම්පරාවක කතාවක්. ඒ අතින් කල්ට් මාස්ටර්පීස් එකක්. නිනෝ ලයිව් ස්ක්‍රීන් එකේ දැක්ක ගමන් මට ආපු ඇඟ කිළිපොලා යන හිතුවිල්ල, උද්දාමය වුණේ ලංකාවෙ මීට අවුරුදු දහයකට විතර කලින් පටන් ගත්ත සිනමා නව රැල්ලේ ප්‍රතිඵල තිරය උඩට මුදාහැරීම ඇරඹුණා කියන එකයි.
යථාර්ථවාදය එක්ක එක දිගට හතිවැටෙන කල් පොරබැදූ, ජීවිතේ දුක්ඛ සත්‍යය පසක් කළ අධ්‍යාත්මයකින් හෙබි, ගමේ සෞන්දර්යයෙන් සහ කර්කශත්වයෙන් මෝහනය වුණු එක සිනමා ධාරාවක අවසානය නිනෝ ලයිව් සටහන් කරනවා. ඇත්තටම මේ සිනමාව පටන් ගත්තේ මීට දශකයකට විතර කලින්. ඒත් ඒ පරම්පරාවේ සිනමාකරුවන් නොදැනුවත්වම වුණත් හරි කාලය එනකල් ඒ චිත්‍රපටි පුස්කන්න නියමිතව තිබුණා. ඒ දශකය බාර වුණේ රජකතා බණකතා සිනමාවට.
ඒක ගැන මට අප්‍රසාදයක් නෑ. ඇත්තටම ඒ දශකයේ සිනමාව විසින් ලංකාවේ මහා සිනමාව වෙනස් කළා. ආණ්ඩුවේ දේශපාලන මතවාදී බලයේ සපෝර්ට් එකෙන් වුණත් වෙනත් ජනප්‍රිය සිනමාවක් නිර්මාණය වුණා. මහින්දගේ දේශපාලන ව්‍යාපෘතියේ මාධ්‍යයක් වීම ඇරුණත් ඒකෙ ලංකාවේ ඇත්ත ජනප්‍රිය සිනමාවක යම් ලක්ෂණ තිබුණා කියල මං හිතනවා.
ඒත් ස්මාර්ට් ෆෝන්, ඉන්ටර්නෙට් එක්ක ගතවෙන අලුත් තාරුණ්‍යයට ලංකාවේ සිනමාවක් හැදුණෙ නෑ. නගරය සම්පූර්ණයෙන්ම අයින් කරලායි තේමාවන් නිර්මාණය කළේ. අපිට කොහේ හරි වැරදුණා කියන එක තමයි හැමෝම බාරගන්න ලෑස්ති හැඟීම වුණේ. නගරයේ වුණත් මිනිස්සුන්ට තිබුණේ පොඩි ඇපොලොජටිකල් හිතීමේ සහ වින්දනයේ රටාවක්. ඒ හින්දාම කලාව බර වුණේත් වමට. අලුත් පරම්පරාව සිංහල චිත්‍රපටි නොබලා ටොරන්ට් ඩවුන්ලෝඞ් කරගෙන පිටරට චිත්‍රපටි බැලුවා. සිනමා ශාලාවලට යන සංස්කෘතිය ටික ටික ඩීවීඩී සංස්කෘතියකට පෙරලුණා.
මේ වෙනස්වීම් අතරේ, රට නතර වෙලා තියෙද්දී ඇත්තටම වැඩකළේ ටීවී එකයි. දැවැන්ත රියැලිටි ටීවී වැඩසටහන් මාලාවක් ඇතුළේ ලංකාවේ පොප් එක වැඩ කරන්න පටන් ගත්තා. සිනමාවෙන් ගිලිහිච්ච හීන නඩත්තු කරන්න ටීවී එක ඇපකැප වුණා. ඒක ලොකු ලාබ ලබන ව්‍යාපෘතියක් වුණා. හරියටම බැලුවොත් රියැලිටි ටීවී ආර්ට් එක හරියට දැනගෙන හිටියේ සිරස විතරයි. ආණ්ඩුවේ සහ යුද්ධයේ ව්‍යාපෘතියෙන් හිරකළ පොප් ආසාවලට සිරස තරු හීන හදලා දුන්නා.
ඒ කාලේ සිනමාවේ ප්‍රවීණයෝ විසින් ප්‍රතික්‍ෂේප කළ පොඩි ඩිජිටල් කැමරා අරගෙන තරුණ උන් වැඩකළා. ඒ වැඩ කලින් තිබුණු සිනමාවට වඩා වෙනස් සිනමාවක් යෝජනා කළා. වෙනස් තේමාවන්, වෙනස් මිනිස්සු, කොටින්ම වෙනස් සිනමා ආකෘතියක් ඒ චිත්‍රපටිවල හැදුණා. හරියටම බැලුවොත් මොලිවුඞ් නව රැල්ල (මලයාලම් සිනමාවේ) හැදෙන්නත් කලින් ලංකාවෙ මේ නව රැල්ල නිර්මාණය වුණා. ඒත් අපේ ප්‍රවීණයන්ගේ කුහකකම, පසුගාමීත්වය සහ රටේ අතීතකාමය ඇතුළේ මේ චිත්‍රපටි ධාරාව හිරවුණා. දැන් අවුරුදු 10කට විතර පස්සේ අපි මේ නරඹමින් ඉන්නේ අපිට පුරෝගාමී වෙන්න තිබුණු සිනමා රැල්ලක මගහැරුණු ඒ මොහොත. අලුත් නිර්මාණකාරයෝ තමන්ගේ වැඩ කොටස කළා. ඒත් රට ලෑස්ති වෙලා තිබුණේ නෑ,
නිනෝ ලයිව්වලින් පටන් ගන්න මේ සිනමාවේ කසකාරයා වුණේ බූඩි. ඒ නිම්නයක හුදකලාවත් එක්ක. ඒ ෆිල්ම් එකත් අවුරුදු නවයක් විතර පදම් වුණා. බූඩි ඊට පස්සෙ කළ මාතා පවා කලින් රිලීස් වුණා. ඒකයි මං කියන්නේ කාලය එනකල් අපිට ඉන්න වුණා කියල. නිනෝගෙන් පස්සේ මේ විදිහෙ චිත්‍රපටි රැල්ලක්ම එන්න තියෙනවා. පරක්කු වෙලා හරි ඒ රැල්ල විසින් වෙනස් සිනමාවක් ස්ථාපිත කරනවා. ඒක අඳුනගන්න නිනෝ ලයිව් හොඳ විවරයක් හදනවා.
නිනෝ ලයිව් පටන් ගන්නේ ලංකාවෙ ජනප්‍රිය හීනය නතර වුණු තැනින්. ඒ කියන්නේ ටීවී එකෙන්. අවුරුදු දහයකට කලින් සිනමාවෙන් ගැලවිලා ටීවී එකට ගිය පොප් එක නැවත සිනමාවට ගෙනෙන්න නිනෝ ලයිව් ට්‍රයි කරනවා. ටීවී එක ඉස්සරහ ඉන්න අයව හෝල් එකට ගෙනෙන්න අභියෝගයක් ඒගොල්ලෝ බාරගන්නවා.
ඒක ලව් ස්ටෝරි එකක්. හරියටම කිව්වොත් මෙතෙක් ලංකාවෙ බිහිවුණු කියුට්ම ලව් ස්ටෝරි එකක්. මීට කලින් මෝටර් බයිසිකල්වලත් මේ මොඩර්න් කියුට් ආදරය ටච් කරලා තිබුණා. නිනෝ ලයිව් ඊට වඩා ලේයර්ඞ් අත්දැකීමක්.
ෆිල්ම් එකට පාදක කරගන්නේ පීටර් වොයර්ගෙ ටෲමන් ෂෝ කියන ෆිල්ම් එක. ලංකාවේ ගොඩාක් අය වෙන ෆිල්ම්වලින් බඩු ගන්න බයයි. ගත්තත් හොරෙන් ගන්නවා මිසක් කෙළින් කියලා, ඒ දේට ගරුත්වය දීලා ගන්න විදිහ දන්නේ නෑ. ඒ වෙනුවට තිසර සහ පිරිස ටෲමන් ෂෝ එකට හොමාජ් එකක් විදිහටම තමන්ගේ කතාව නිර්මාණය කරනවා. ඒක විතරක් නෙමෙයි, ෂොන් පියර් ෂූනෙගේ ‘අමෙලි’ ෆිල්ම් එකේ ආභාසයත් තදටම දැනෙනවා. විශේෂයෙන්ම නැරේෂන් එකත් එක්ක කතාව බිල්ඞ් අප් වෙන විදිහ. ඒත් ඉන්ටවල් එකට කලින් ටෲමන් ෂෝ එකේ කලාපය ඉවර වෙනවා. රියැලිටි ෂෝ එක ඉවරයි. ඊට පස්සේ ඒක බලපු උන්ගෙ රියැලිටි එක.
අපේ ටීවී බලන ඕඩියන්ස් එක ජීවත් වෙන්නේ ටීවී එකෙන් නිර්මාණය කරලා දීපු යථාර්ථයකයි. දැන් ඉන්ටර්නෙට් ඇවිත් තත්ත්වෙ ටිකක් වෙනස් වුණත් මාස් එක පරණ විදිහමයි. ඒගොල්ලො හිතන්නේ, පතන්නේ විතරක් නෙමෙයි කතා කරන්නේ, ආදරේ කරන්නේ වුණත් ටීවී එකෙන් කියලා දීපු විදිහට. තිසරගේ කතාව වෙන්නේ රියැලිටි ෂෝ අස්සේ එක කට්ටියක් කෙළවා ගනිද්දී තව කට්ටියක් කෙළවාගන්න ආසාවෙන් පොරකන එකයි. ඇත්තටම ගත්තොත් නොදැන කෙලවා ගැනීම කියන එක දැනගෙන කෙලවා ගැනීමේ ආතල් එකක්, උන්මාදයක් බවට පෙරළෙන එකයි. ‘කෙලවා ගැනීම’ කියන්නෙමත් සාපේක්ෂ අදහසක් විතරයි. මොකක්වත්ම නැති ජීවිතේක කෙලවා ගැනීම කියන්නේත් ලොකු දෙයක් වෙන්න පුළුවන්.
මේ අලුත් රැල්ලේ චිත්‍රපටි එක්ක අලුත් නළුනිළියෝ සෙට් එකකුත් සමාජගත වෙනවා. දස්සා (දසුන් පතිරණ) ඒකෙ ප්‍රමුඛයෙක්. ලංකාවෙ කියුට් පෙම්වතා කියන අලුත් ආකෘතිය හැදෙන්නේ දස්සා අතින්. මෙච්චර කල් චණ්ඩි පෙම්වතා, සීරියස් පෙම්වතා, රොමැන්ටික් පෙම්වතා හිටියාට මේ හුරතලේට හදාගන්න ආස හිතෙන කියුට් කොල්ලා අපේ සිනමාවෙ හිටියෙ නෑ. දස්සා එක්ක සමනලී, යුරේනි, උමාලි, නිනෝ, ජගා (ජගත් මනුවරණ), කලණ වගේ වෙනම විදිහක නළුනිළි පරම්පරාවක් මේ සිනමාව අයිති කරගන්නවා. පරණ තරු ක්ලැසික්වලට සීමා වෙනවා.
නිනෝ කියන්නෙත් සුවිශේෂ සොයාගැනීමක්. උගේ රඟපෑමෙ මොකක්ද රියල් එකට එහා ගතියක් ස්වාභාවිකවම තියෙනවා. ඒක වෙනම ස්ටයිල් එකක් සහ ලස්සනක් ගෙනෙනවා. මේ දේවල් අපි නිතර දකින ස්ටීරියෝටිපිකල් රඟපෑම් සහ රඟපාන්න ට්‍රයිකිරීම් ඉක්මවා යනවා. උන් ඇත්තටම නළුවො කියන එක අපිට දැනෙනවා.
තුසිත (තුසිත ලක්නාත්) ඉන්නේ හරිම පුංචි කෑල්ලකට වුණත් උගේ සල්ලාල නැටුම මේ ලියන වෙලාවෙත් මතක් වෙන තරම් ප්‍රබලයි. හම්බුවෙන පොඩි චරිතෙ වුණත් පුළුවන් උපරිමෙන් කරන්න හැමෝම ට්‍රයි කරලා තියෙනවා. යාලුකම්, මනුස්සකම් සහ ෆිල්ම් ගැන තියෙන නොනිමෙන ඇම්ම කියන එක චිත්‍රපටිය පුරාම දැනෙනවා.
තිසර අතින් නිර්මාණය වෙන කතාවට වඩා මං දකින්නේ ඒ කතාවෙ සිද්ධි නිර්මාණය වෙන ලස්සන. යුරේනි ඉඹින්න කලින් පැලට් එක ගලවන්න හදන තැන වගේ මේකට හොඳ උදාහරණ. පුංචි පුංචි ඩීටේල්වලින් ලස්සන කරලා ඒ විදිහෙ සිද්ධි හරහා හරිම සැහැල්ලුවෙන් ගැඹුරු කතාවක් කියාගෙන යන එකයි තිසරගේ ටැලන්ට් එක. මේ සම්මාන හෝ කලාත්මක සිනමාව නෙමෙයි. නිනෝ ලයිව් කියන්නේ අපේ වාණිජ සිනමාවට හොඳ බෙන්ච් මාර්ක් එකක්.
රියැලිටි තරුවක් විදිහට එළියට ආ සංඛ දිනෙත්ට නිනෝ ලයිව් ලොකු ඇඞ් එකක්. ඒකෙ ටීවී තරුවක් විදිහටම සංඛ පෙනී ඉන්න අතරෙම ෆිල්ම් එකේ මියුසිකුත් කරනවා. නිනෝ ලයිව් කියන්නේ මියුසිකල් ෆිල්ම් එකක්. වෙන විදිහකට කිව්වොත් ෆිල්ම් එක පුරාම තියෙන්නේ මියුසික්. ඕනෑකරන රොමැන්ටික් මූඞ් එක හදන්න සහ දිගටම පවත්වාගෙන යන්න සංඛ එතැන ලොකු වැඩ කොටසක් කරනවා. ඇත්තටම සංඛ කියන්නේ රියැලිටි ෂෝවලින් හැදිච්ච ඇත්ත එකෙක්. ජනප්‍රිය සංගීතයේ නාඩිය ගැන ඔහුට හොඳ වැටහීමක් තියෙනවා. කලින් මියුසික් කළ කලර් ෆිල්ම් එකේදී වගේම නිනෝ ලයිව්වලත් සංඛ මතක හිටින සංගීතයක් නරඹන්නාගේ ඔළුවෙ ඉතුරු කරනවා.
මියැදෙන්නට පෙර මොහොතක් වත්… ජීවත් වෙන්න…. වගේ තැන් හිරිගඬු පිපෙන තරම් ආතල්.
නිනෝ ලයිව් ෆිල්ම් එක ඇතුළේ ඒ කාලේ ෆිල්ම් කරන්න, ආර්ට් කරන්න දැඟලූ හැම කෙනෙක්ම වගේ ඉන්නවා. පස්සෙ මද්දුම බණ්ඩාරට බැනපු කසුන්- ශ්‍රීනාත් ඩබල ලිෆ්ට් එකක් ඇතුළේ ඉන්න එක එහෙම ෆන් එකට කළත් මරු වැඩ. ෆිල්ම් කියන්නේ අපේ ලයිෆ්මයි කියන එක දැනෙන තැන්. ඒ කාලෙම මායි උයද ධර්මවර්ධනයි කළ ‘ආදරේ අංශු මාත්‍රයක්’ ෆිල්ම් එකෙන් කෑල්ලකුත් තියටර් එකක් ඇතුළේ ප්ලේ වෙනවා. මේ එකලස් කිරීම් හරි අපූරුයි. ඒවා අපේ රටට අලුත්.
ෆිල්ම් එකේ අඩුපාඩු කොතෙකුත් තියෙනවා. ඒත් ඒ කිසි දෙයක් මට අදාළ වෙන්නේ නෑ. ඒ අඩුපාඩු ගැන හිතන්නවත් බැරි තරම් දුරට නිනෝ ලයිව් මාව ඉමෝෂනලි අරන් ගිය දුර හින්දා. කතාව ඉවර වෙන විදිහ එහෙම පට්ට. ඒ විදිහෙ අවසානයන්ට අපේ සිනමාවෙ කලින් උදාහරණ නෑ. කවුරු හරි අහස් ගව්ව, හංස විලක්, බඹරු ඇවිත් වගේ ෆිල්ම් ලංකාවෙ සිනමාවෙ මාර තැන් කියලා මාර්ක් කරනවා නම් මං කියන්නේ නිනෝ ලයිව් කියන්නේත් ඒ වගේ මාර තැනක්.
මේ ෆිල්ම් එක පෙන්නන්න අවුරුදු හතක් පුරා එක එක ප්‍රදර්ශකයො පස්සෙ ගියා. ඒත් මේකේ තියෙන පොටෙන්ෂලිටි එක දකින්න ඒ කිසි ප්‍රදර්ශකයෙකුට පුළුවන් වුණේ නෑ. මේ අභියෝගය බාරගන්න කිසි කෙනෙක් හිටියේ නෑ. ඒකෙ තේරුම වෙන්නේම කර්මාන්තයක් විදිහට ඉස්සරහ ඊළඟ ස්ටෙප් එක අඳුනාගන්න තරමේ ප්‍රදර්ශකයො අපේ සිනමාවෙ නෑ කියන එක.
මේ අලුත් සිනමාව හිරවෙලා තියෙන මැෂින්වලින් එළියට අරන් තිරයක් උඩ පෙන්නන්න අවස්ථාවක් හදන එකට සුනිල් ටීට විශේෂයෙන් ප්‍රශංසාව හිමිවෙන්න ඕනෑ. ඇත්තටම ගත්තොත් සිනමාවෙ අනාගතය වෙනුවෙන් අවශ්‍යම වැඩ කොටසක් මේ වෙද්දි මේ චිත්‍රපටි වෙළෙන්දා අතින් ඉටුවෙමින් තියෙනවා.
ප.ලි: මීට අවුරුදු ගාණකට කලින් මහේන්ද්‍ර පෙරේරා මහරගම ස්ටුඩියෝ ආර්ටිසන් කියලා රංගනය පුහුණු කරන්න ආයතනයක් පටන් ගත්තා. ඒකට කොල්ලො කෙල්ලො රඟපාන්න ආවා. දස්සලා, නිනෝලා, රුචීලා, තිසරලා ඔක්කොම එතැන හිටියා. සමහරු රඟපෑම බෑ කියලා ඩිරෙක්ටින් කරන්න, ඇසිස්ට් කරන්න, මේක්අප් කරන්න ගියා. නිනෝ ලයිව් කියන්නේ තනිකරම වගේ ඒ ස්ටුඩියො ආර්ටිසන් එකෙන් එළියට ආ කට්ටියේ වැඩක්. අවුරුදු කීපයක් කරගෙන ගිය ඒ ප්‍රොජෙක්ට් එකෙන් මහේන්ද්‍ර ඇති කළ ඉම්පැක්ට් එක කොහෙත්ම පොඩි එකක් නම් නෙමෙයි.■