රාවය

විග්නේශ්වරන් අර්බුදයක!

විග්නේශ්වරන් අර්බුදයක!

රේඛා නිලුක්ෂි හේරත්

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන්ට එරෙහිව උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් විසිඑක් දෙනෙකුගේ අත්සනින් යුතුව විශ්වාසභංග යෝජනාවක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වෙත ජුනි 14 දින භාරදී ඇති අතර පළාත් සභාවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනා ගැනීමේ අභියෝගයට ඔහු දැන් මුහුණ දී සිටී.

වංචා සහ දූෂණ චෝදනා මත උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් දෙදෙනෙකුට සිය ධුරවලින් ඉවත්වන ලෙසට ප්‍රධාන අමාත්‍යවරයා විසින් දැනුම්දීම සහ අනෙක් අමාත්‍යවරුන් දෙදෙනාට මසක නිවාඩු කාලයක් ගැනීමට දැනුම්දීමේ සිද්ධියට විරෝධය පළකරමින් මෙම විශ්වාසභංගය ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇත. උතුරු පළාත් සභාව මන්ත්‍රීවරුන් 38 දෙනෙකුගෙන් සමන්විත වන අතර අදාළ විශ්වාසභංග යෝජනාවට ඉලංගයි තමිල් අරසු පක්ෂයේ මන්ත්‍රීවරුන් 17ක්ද, විපක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකුද අත්සන් කර තිබුණි.

මේ පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේගෙන් අප කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කළේ විග්නේශ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා සිය බලය පාවිච්චි කරමින් ඔහුගේ වුවමනාවට අදාළ කමිටුව පත්කර ඇති බවත්, උතුරු පළාත් සභාවේ සාමාජිකයන් භාගයකගේ විශ්වාසය දිනාගැනීමට විග්නේශ්වරන් මහතා අපොහොසත් වී ඇති බවත්ය. තවදුරටත් උතුරු පළාත් ප්‍රධාන ඇමති ධුරයේ සිටීමට බහුතර කැමැත්ත ඔප්පු කර පෙන්වන ලෙස ප්‍රධාන අමාත්‍යවරයාට දැනුම් දෙන බවත්, තවදුරටත් ප්‍රධාන ඇමති ධුරයේ සිටීමට සුදුසුද නුසුදුසුද යන්න එමගින් තීරණය වන බවත්ය.
උතුරු පළාත් ප්‍රධාන ඇමතිවරයා විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී උතුරු පළාත් සභාවේ සිදුවී යැයි කියන දුෂණ වංචා ගැන සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර වංචා දූෂණ හා මූල්‍ය අක්‍රමිකතාවන් මෙන්ම බලය අනිසි ලෙස හැසිරවීමේ චෝදනා මත අමාත්‍ය තම්බිතුරයි කුරුක්කුලරායාට එරෙහි දූෂණ චෝදනා 09ක්ද, අමාත්‍ය පුන්නකුරයි අයින්ගරනේෂන්ට එරෙහිව දූෂණ චෝදනා 10ක්ද, අමාත්‍ය බී. වෙනිශ්වරන්ට එරෙහිව දූෂණ චෝදනා 4ක්ද, අමාත්‍ය බී. සත්‍යලිංගම්ට එරෙහිව දූෂණ චෝදනා 5ක්ද කමිටු වාර්තාවේ සඳහන් වී ඇත.
කමිටු වාර්තාව ජුනි 06 දින පළාත් සභා සැසි වාරයට ඉදිරිපත් කළ අතර එදින පළාත් සභාවේ ඇතිවූ උණුසුම් තත්ත්වය මත ජූනි 14 වැනි දිනට පළාත් සභාව කල් දමන ලදි.
පසුව ජූනි 14 වැනි දින යළිත් උතුරු පළාත් සභාව රැස්වුණු අතර එදින උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව්දෙනාට එල්ල වී ඇති දූෂණ චෝදනා සහ වංචා චෝදනා සම්බන්ධයෙන් විවාදයක් ඇතිවිය. විවාදයෙන් අනතුරුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දැනුම් දුන්නේ අධ්‍යාපන හා කෘෂිකර්ම අමාත්‍යවරුන් තම ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවත් ධීවර හා සෞඛ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා පරීක්ෂණ අවසන් වන තුරු මසක කාලයක දිගු නිවාඩුවක් ගතයුතු බවත්ය.
අප කළ විමසුමකදී දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී ඇම්.කේ. සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කළේ උතුරු පළාත් මහ ඇමතිවරයාට විරුද්ධව ඇති විශ්වාසභංගය හේතු කොටගෙන උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයක ඔහුට සහාය පළකරමින් ජූනි 15 දින උද්ඝෝෂණ රැසක් පැවැත්වුණු බවත්, උතුරු පළාත් මහ ඇමතිවරයාට විරුද්ධව ඇති විශ්වාසභංගය අහෝසි කරන්නයැයි ඉල්ලා ජූනි 15 දින රාත්‍රියේදී ආණ්ඩුකාරයා වෙත මන්ත්‍රීවරුන් 15 දෙනකුගේ අත්සන සහිත පෙත්සමක් භාරදෙන බවයි. ■