රාවය

වෙල්ලස්සට ගිනි තියමුද?

වෙල්ලස්සට ගිනි තියමුද?

කේ. සංජීව 

වෙල් ලක්ෂයක් නිසා වෙල්ලස්ස වුණා යැයි කතාවය. මේ වෙල් ලස්සයටම සුද්දන් ගිනි තැබුවේ 1818 තරම් ඈත අතීතයකදීය. එකල මහා මිනිස් සංහාරයක්ද මහා මිනිස් පිටුවහල් කිරීමක්ද සිදුවිය. ඉහළ සහ පහළ වෙල්ලස්සේ මිනිස්සු මහ කැලේ පීරමින් ජීවිතය ගැටගසා ගැනීමට නිම්න භුමි සෙව්වෝය. ඒ සුද්දන්ට රිදෙන්නට පහර ගැසූ කැරැල්ලට පසුවය. දැන් මේ ඉතිහාස කතාවට සියවස් දෙකක් ගතවෙන්න ළඟය. ඒ ඇසිල්ලක වෙල්ලස්සේ ඉඩම් සුද්දන්ට දෙන්න යනවා යැයි කියන කතාවක් නිසා දැන් වෙල්ලස්සේ මිනිස්සුන්ට යකා ඇවිස්සී ඇත. ඔවුන්ගේ සිත්වලට දැන් ගිනි ඇවිළී ඇත. මේ කතාවේ දිග පළල සොයාගෙන රාවයේ අපි මහියංගණය රිදීමාලියද්ද ප්‍රදේශයට ගියෙමු. තැන තැන නැවතෙමින් වෙල්ලස්සේ මිනිසුන්ගේ කතා අස්සේ රෝන්දේ යමින් අපි මේ පිළිබඳව කතා ඇහින්දෙමු. මේ ඒ කතාය.
“සුද්දන්ට දුවන්න ගැහැව්වේ අපේ අත්තලා මුත්තලා තමයි. ඒ හින්දා මේවාට මේ වෙල්ලස්සේ මිනිස්සු බය නැහැ. අපි මේවා කාලයක් වගා කරන, හේන් කරන ඉඩම්, ඒ ඉඩම් දාලා අපි යන්නේ පොළොව යටට විතරයි.”‍ මේ හඬ අපිට මුලින්ම කතා කළ කේ.එච්.එම්. සුදුබණ්ඩා මහතාගේය. බිබිලේ සිට රිදීමාලියද්දට එනවිට නෙත ගැටුණු තරමක් ජනාකීර්ණ මංසන්ධියක අපි ත්‍රීවිලරය නතර කළෙමු. මේ මංසන්ධිය රිදීගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ දෙහිගමයි. තැනක දෙතැනක කළු කොඩිද තවම ළෙලදෙමින් තිබෙයි. බොහෝ තැනක මේ ඉඩම් පලහිලව්වට විරුද්ධව ගැසූ පෝස්ටර් ය. පුංචි කඬේ ඇතුළත තේ බොයිලේරුව ගොජ ගොජයට සද්ද දමයි. නොසන්සුන්ව දඟලයි. හරියට මේ මිනිසුන් වගේමයි. අපි ඔවුන්ගේ හඬ සමඟ මේ අර්බුදයේ ඇතුළතට යමු.

අර්බුදයේ පටන්ගැන්ම
“මගේ ගෙදර ඉඩම තියෙන්නේ 9 කණුව කියන ප්‍රදේශයේ. දවසක් කොන්ත්‍රාත්කාරයෝ ටිකක් ඩෝසර් අරගෙන ඇවිත් මගේ ඉඩම ඩෝසර් කරලා පාරක් කපන්න හැදුවා. මම මේ ඉඩමේ හේන් ගොවිතැන කරන්න වෙලා දැනට අවුරුදු 30ක් විතර වෙනවා. සීනි කර්මාන්ත අංගණය හදන්නේ මේ ළඟ. ඒකට මහින්ද මහත්තයාගේ කාලේ තමයි ඉඩම් වෙන්කළේ. ඒ රක්ෂිතයක්. දැන් ඒ ඉඩමට පාර කපන්න හදනවා. ඒ කියන්නේ ආයෙත් අපි එපා කියපු ව්‍යාපෘතිය පටන් අරං. අපි විරුද්ධ වුණා. එතැනින් දැන් වැඬේ නතරවෙලා තියෙන්නේ. හැබැයි සංවර්ධන කමිටු හරහා වැඬේ සිද්ධ වෙමින් තියෙනවා.”‍ වර්තමාන මේ ගැටලු‍වේ ස්වභාවය සහ එයට අතීතයෙන් ඈඳී තිබෙන මුල් පිළිබඳව මේ හෙළිදරව්ව මුලින්ම කරන්නේ රාවයට මුලින්ම අදහස් දැක්වූ කේ.එච්.එම්. සුදුබණ්ඩා මහතාය.
ඇත්තටම මේ ඉඩම් අර්බුදය කුමක්ද? අපි මුලින්ම සොයා බැලිය යුතුය. ඌව වෙල්ලස්සේ වන සංරක්ෂිතයන්ට අයත් සරුසාර ඉඩම් අක්කර 62,500ක් උක් වගාව සඳහා බහුජාතික සමාගමකට ලබාදෙන්න යනවා යන්න මෙහි කේන්ද්‍රයයි. එහෙත් මේ ප්‍රදේශයේ සංචාරය කළ අපට දැනගන්නට ලැබුණේ රිදීමාලියද්ද කරගුල ප්‍රදේශයෙන් මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා වන සංරක්ෂණයට අයත් අක්කර 500ක් පමණ දැනට වෙන්කර ඇති බවයි. ඉතිරි අක්කර 62000ක ඉඩම් පිළිබඳ තත්ත්වය කෙබඳුද?
‘මහත්තයෝ මෙහේ අක්කර 62000ක් ගන්න රක්ෂිත නැහැ. නිල්ගල වගේ කැලයක් ගන්න පුළුවන්වෙයි කියලා අපි හිතන්නේ නැහැ. දැන් මෙතැන වෙන්නේ, අපේ ඉඩම්වල අපි උක් වවන්න ඕනෑ. අපි එහෙම වැව්වේ නැත්තන් අපේ ඉඩම් රජය ගන්නවා. අරගෙන උක් වවන්න කැමති අයට දෙනවා. මේ ඉඩම්වලට බලපත්‍රයක්වත් නැහැ. මේවා නීතියෙන් අපිට අයිති නැතිවුණත් අපි මේවායේ අවුරුදු තිහ හතළිහ හේන් ගොවිතැන කරනවා. දැන් අපිට බඩඉරිඟු වගාවෙන් හොඳටම හොඳයි. ඉතිං අපිට උක් වවලා විනාශ වෙන්න ඕනි නැහැ.”‍ මේ ජී.ජී. ගුණවතී මහත්මිය මේ ප්‍රශ්නය දකින අයුරුය.
මේ ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 2007 වසරේ දී ය. ඒ බි්‍රතාන්‍ය සමාගමක් වන බුකර් ටේට් (Booker Tate) සමාගමට උක් වගා ව්‍යාපෘතියක් සඳහා ඌව වෙල්ලස්ස ප්‍රදේශයෙන් ඉඩම් ලබාදීමට එවක රජය තීරණය කිරීමත් සමඟය. එකල මේ ජාවාරමට මැදිහත්ව කටයුතු කරන්නේ අයි.එම්.එස්. පුද්ගලික සමාගමයි. (Islandwide Marketing Services (Pvt)Ltd’) වර්තමානයේදී ද පණගසා ක්‍රියාත්මක වීම අරඹා තිබෙන මේ ව්‍යාපෘතියේ ද ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් කටයුතු කරන්නේ ඉහත සමාගමම බව පරිසර සංවිධාන චෝදනා කරයි. ඇත්තම මේ ව්‍යාපෘතිය ජනතා විරෝධය නිසා අතහැර දමන ලද ව්‍යාපෘතියක් ය. හරින් ප්‍රනාන්දු, විජිත් විජිතමුණි සොයිසා වැනි වර්තමාන රජයේ ප්‍රබල ඇමතිවරුන් වර්තමානයේදී මේ පවට කරගසා ඇත. අංකMDE/AD/03/CAB-PA/2017 දරන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්වීමත් සමඟ මේ ව්‍යාපෘතියේ රුවගුණ වරුණ එළියට එන්නේය. අදාළ කැබිනට් පත්‍රිකාවෙන් කරන්නේ සිංගප්පූරුවේ ස්ථානගත ගැසල් වෙන්චර්ස් (Gazelle Ventures) නම් සමාගම හරහා එහි මව් සමාගම වන ඇමරිකාවේ නිව්යෝක් නුවර පිහිටි CDVCA නම් සමාගමට මෙම ඉඩම්වල උක් වගාව සඳහා අයිතිය ලබාදීමය. මෙලෙස කැබිනට් පත්‍රිකා හදන ජනතාවගේ නියෝජිත බලය ලබාගෙන පාර්ලිමේන්තු ගිය මේ දේශපාලකයන් මේ ඉඩම් මෙලෙස ලබාදීමට ප්‍රථමව එම ඉඩම්හි ගොවිතැන් කරන, තමන්ට ඡන්දය දුන් ඡන්දදායකයන්ගෙන් අදාළ කරුණ පිළිබඳව අදහස් විමසුවේද? මේ ව්‍යාපෘතියේ අරමුණ වෙල්ලස්සේ ජනතාව නගාසිටුවීමද සවිබල ගැන්වීමද අපි විමසිය යුතුවෙමු. නැතිනම් මෙවැනි ව්‍යාපෘති අහසින් පාත්කිරීමේ අරමුණ කොමිස් කුට්ටියක් සාක්කුවේ දමාගැනීමද?

අර්බුද රැසක්
“මේක යෝධ ව්‍යාපෘතියක්. රිදීමාලියද්ද ඉඳලා මහඔය, පදියතලාව, බදුල්ල, මහියංගණය, ලු‍ණුගල, මොනරාගල, බිබිල, මඩුල්ල හරහා තොප්පිගලට යනකම්ම යනවා. මේක ක්‍රියාත්මක වුණොත් මේ තියෙන වතුර ටිකත් නැතිවෙයි. ඊළඟට අලිමංකඩ සේරම ඇහිරෙන නිසා අපිට අලින්ගෙන් ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි.”‍
මෙලෙස මේ වගා ව්‍යාපෘතිය නිසා උද්ගතවෙන්නට නියමිත ප්‍රශ්න පිළිබඳව තමන්ගේ හඬ අවදි කළේ සේරුපිටියේ ඒ.එම්. ගුණවර්ධන මහතාය. පහළ වෙල්ලස්සේ මේ ප්‍රදේශ බහුතරයක ගොවිතැනට පණදෙන්නේ වැසි ජලයයි. නියමිත කාලයට වැසි වැටුණහොත් මෙහි මිනිසුන්ගේ ජීවිතය කලදවස හොඳය.
“නොවැම්බර් දෙසැම්බර් තමයි වහින්නේ. 1818 කැරැල්ල වෙලාවේදී සුද්දෝ විනාශ කළ ඇළවේලි වැව් කිසිදෙයක් තවම හදලා පිළිසකර කරලා නැහැ. මේ දේශපාලකයන්ට ඒ කිසිදෙයක් පෙනෙන්නේ නැහැ. අපිට උක් ඕනෑ නැහැ. අපිට වතුර දෙන්න. ඒකයි අපි ඉල්ලන්නේ. දැන් වතුර නැතිව වුණත් අපි හොඳට බඩඉරිඟු වවනවා. දැන් බඩඉරිඟු මිල හොඳයි. දැන් හැම ගොවියාම වගේ අවුරුද්දට ලක්ෂ 10න් උඩ හොයනවා. ලක්ෂ 25 පන්නලා අවුරුද්දකට බඩඉරිඟුවලින් සල්ලි හොයන අය ඉන්නවා. දැන් ත්‍රීවිල් එකක් බයිසිකලයක් නැති ගෙදරක් හොයාගන්න නැහැ. අපෙන් රජයට කිසි බරක් නැහැ. රජයට ඕනි එතනෝල් හදන්න අපිව පාරට විසිකරන්නද”‍ මේ හඬත් ගුණවර්ධන මහතාගේමය.

වෙල්ලස්සට උක් ඕනෑද?
ගුණවර්ධන මහතාගේ ඉහත කතාව ඇසූවිට විමසිය යුත්තේ මෙවැනි සාර්ථක ගොවියන් ඉන්න තැනකට උක් ඕනෑමද යන්නයි. මේ ලියුම්කරුගේ අදහස නම් උක් වගාව ලංකාව වැනි රටකට උචිත නැති බවයි. ලංකාවේ උක් වැව් බොහෝ තැනක අද දක්නට ලැබෙන්නේ අසාර්ථක වීමේ චිත්‍රයන් ය. නැතිනම් සීනි නිෂ්පාදනය පැත්තකට දමා වැඩි බරක් එතනෝල් නිෂ්පාදනය කෙරෙහි යොමුකළ තත්ත්වයක් ය. අනෙක් පැත්තෙන් සීනි කිලෝවක් ලංකාවේදී නිෂ්පාදනය කරන්න යන මුදල ඉතා වැඩි පසුබිමක සාමාන්‍ය සමාජ තත්ත්වයක සිටින මිනිසුන් එයින් පහළට ඇද දමන්නට වෙහෙසෙන්නේ ඇයි? ඒ එතනෝල් මුදලාලිලාගේ හෙට දවස හොඳ කරන්නටය. එනිසා අනාගතයේදී අසාර්ථක විය හැකියැයි සිතිය හැකි ව්‍යාපෘතියක් සඳහා මිනිසුන්ගේ ජීවිත උගසට තබන්නේ ඇයිදැයි විමසිය යුතුය. කෙලෙසක හෝ කවුරු හරි පණ්ඩිතයෙකු මේ ව්‍යාපෘතිය ලංකාවට ඕනෑමයි කියන්නේ නම් ඔවුන්ට ඉතාමත් හොඳ විකල්පයක් තිබෙයි. ඒ කන්තලේ සීනි කර්මාන්ත භූමියයි. සීනි කර්මාන්තය සඳහා ලංකාව කෙතරම් යෝග්‍ය වන්නේදැයි කාට හෝ විමසා බලන්නට අවශ්‍ය නම් ඔහු හෝ ඇය කන්තලේ සීනි කර්මාන්ත පරිශ්‍රයට යායුතුය. මේ වනවිට ඒ යෝධ කර්මාන්තයේ යකඩ යෝධයන්ද දේශපාලන කූඹින් විසින් කාදමා ඇත. පළාතේ දේපාලන කූඹින් මේ වනවිට අක්කර දහස් ගණනක භූමියද කන්නට පටන්ගෙන ඇත. ඉතිං වෙල්ලස්සෙන් ඉඩම් හොයන මේ වෙළෙන්දන්ට කියන්නට වෙන්නේ ඔබට සීනි නිපදවා ලංකාව සීනිවලින් ස්වංපෝෂිත කරන්නට අවශ්‍යම නම් ඒ සඳහා වෙල්ලස්සේ මිනිසුන්ට පවු නොදී කන්තලේ ඒ සඳහා තෝරාගන්නා ලෙසය

කරුණාකර යන්න
“‍දැන් මේක ඉස්සරහට දාගත්ත ඇමතියෝ කියන්නේ මේ හදන්නේ අපිට හදන්නලු‍. අපි අහන්නේ අපේ මුත්තලාගේ ඉඳලා හේන් කළ ඉඩම් ටික ඇමරිකාවේ සමාගමකට දීලාද අපිව හදන්න හදන්නේ කියලා. හරි අපි හදන්න ඕනිනම් අපිට වතුර ටික දෙන්න. වැව ඇළ හදන්න. කැලේ තියෙන ටික ආරක්ෂා කරන්න. දැන් අපි බඩඉරිඟු වවනවා. ඒක ඉවර වෙනකොටම තල කුරහන් දානවා. වට්ටක්කා වවනවා. දැන් මෙහේ ගොවියන්ට ඉස්සර තරම් ප්‍රශ්න නැහැ. ඒ නිසා මේ ගොවිතැන දාලා අපිට සමාගමක කුලීකරුවෝ වෙන්න ඕනි නැහැ. එහෙම වෙන්න ඕනි ඇති පළාත් ඇති. කරුණාකරලා මේක ඒ තැනකට අරගෙන යන්න. වෙල්ලස්සේ මිනිස්සු එච්චර වැටිලා නැහැ. මේක කළොත් අපේ ගෙවල්වලට අලි එයි. තියන වතුර කඳුළත් නැතිවෙයි. ඒවාට මොනවාද ආණ්ඩුව දෙන විසඳුම. මේවා හරියට කියන්න. දැන් දෙහිගම විතරක් පවුල් 700කට වැඩියි. මේ රවුමට මේ විදිහට පවුල් කීයක් අහුවෙනවා ඇතිද? එතකොට ඇයි මෙච්චර විශාල ජීවිත ටිකක් එක්ක ආණ්ඩුව සෙල්ලම් කරන්න හදන්නේ. අපි මේ උක් කර්මාන්තේ ගැන විවාදය වෙලාවේ පාර්ලිමේන්තු ගියා. හරින් ඇමැතිතුමයි තව එක්කෙනෙක් විතරයි පක්ෂව කතාකළේ. අනික් අය සේරම විරුද්ධයි. ඒක තමයි ඇත්ත තත්ත්වය.”‍ මේ මහින්ද ටිකිරි කුමාරය. ඔහු ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ දෙහිගම, අකිරියන්කුඹුර සභාපතිවරයාය. මොවුන් සියල්ලෝම නැවත නැවතත් කියන්නේ වෙල්ලස්සට උක් ඕනෑ නැති බවය.
“දැන් අපිට දැනගන්න තියෙයි බඩඉරිඟු බීජ මෙහේ බිබිලට එවන්නේ නැහැ කියලා. ආණ්ඩුවේ ඇමතියෙක් කියනවා කියලා. අපිට එතුමාට කියන්න තියෙන්නේ අපි ළඟ අපේ දේශීය බීජ තියෙනවා කියලා තමයි.”‍ ගුණවතී මහත්මිය කියන්නේ කෝපයෙන්ය.
දැන් මෙහි මිනිසුන් සිටින්නේ තමන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් මරාගෙන මැරෙන්න සූදානමින්ය. එය බරපතළ තත්ත්වයක් ය. එනිසා මේ ව්‍යාපෘතිය හකුළා ගැනීම හෝ කන්තලේ වැනි ප්‍රදේශයකට එය රැගෙන යෑම ආණ්ඩුවට හිතකර විය හැකිය.■