Wednesday, 23/8/2017 | 2:15 UTC+0
රාවය

රවීට බය ආණ්ඩුවක්

ලසන්ත රුහුණගේ

කැබිනට් මණ්ඩලය ඇතුළු රාජ්‍ය පාලනයේ සුවිශාල වෙනසක් ඇති කරන බවට පෝය දිනවලින් ප්‍රසිද්ධියේ දින කියමින් ප්‍රකාශයට පත්කර එහෙත් එම දිනවලට වඩා විලිරුදා දරමින් බිහිකළ මීයෙකු වන් කැබිනට් වෙනස අද තවදුරටත් විලිලැජ්ජාවක් බවට පත්වී තිබේ. ඒ කන්දක් විළිලා බිහිකර ඇති මී පැටවාට අයත් විෂයයන් බෙදාදීමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අතිවිශේෂ ගැසට් පත්‍රය අනුවය.
මී පැටවකු වන් කැබිනට් මණ්ඩල වෙනස සිදුකිරීම සඳහා කැට තැබූ පෝය දින ගණනටත් වඩා දින ගණනාවක් ගත්තාක් මෙන් මෙම විෂයයන් වෙන් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය සඳහාද එම අමාත්‍ය ධුර පිරිනමා දින විස්සකට ආසන්න කාලයක් ගැනීමට ජනාධිපතිවරයාට සිදුවීම අපට පෙන්නුම් කරන්නේ යහපාලනයේ ඛේදවාචකයක දුක්ඛ සත්‍යය මිස වෙනකක් නොවේ.
කැබිනට් මණ්ඩල සංශෝධනය සඳහා යහපාලන ආණ්ඩුව කරවන ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර තිබූ සාකච්ඡා ගණන අතිමහත්ය. එම නායකයන් දෙපළ ඔවුන්ගේ පක්ෂ සමඟ සිදුකළ සාකච්ඡා ගණනද ඒ හා සමානය. අවසානයේ ජනපති අගමැති යහපාලන නායකයන් දෙදෙනාට මීයෙකු වැදීමට හෝ එකඟවිය හැකි වුවද එම සාකච්ඡා එකඟතා එතැනින් අවසන් වූයේ නැත. අගමැතිවරයාගේ පක්ෂයේ සාමාජික හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක සමඟ පවා වෙනම සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමට ජනාධිපතිවරයාට සිදුවීම දක්වා තත්ත්වය බරපතළ විය. රවි කරුණානායක එතරම්ම බලවත් විය. මුදල් අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් කරන්නේ නම් වෙනත් අමාත්‍ය ධුරයක් භාර නොගන්නා බවටත්, පසුපෙළ මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටින බවටත් ඔහු යහපාලනයේ නායකයන් දෙපළට තර්ජනයක් කළ බව එම දිනවල වාර්තා විය. එපමණකින් නොනැවතී තවදුරටත් වාර්තා වූයේ ඔහු එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් සමඟ එජාපයේ නායකත්වයට එරෙහිව මෙන්ම යහපාලන ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමටද කටයුතු කරමින් සිටින බවය.
අවසානයේ කැබිනට් මණ්ඩල සොච්චම් වෙනසට මෙන්ම එම සොච්චම් වෙනසට අදාළ විෂයයන් වෙන්කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයකටද අතිවිශාල කාලයක් ගතවූයේ මේ තර්ජනවලට පිළිතුරු සෙවීමට උත්සුකවීමේ ප්‍රතිඵලයක් වශයෙන් බවට විවාදයක් නැත. එය සොච්චම් කැබිනට් මණ්ඩල වෙනසෙන් පමණක් නොව ඊට අදාළ විෂයයන් වෙන්කිරීමේ අතිවිශේෂ ගැසට් පත්‍රයෙන්ද දැන් පෙන්නුම් කර හමාරය.
ඉතිහාසයේ පළමුවරට මෙතෙක් මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය නව විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායකට පවරා ඇත. විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් අකමැත්තෙන් මාරු වුවත් මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔහු යටතේ තිබූ එම ආයතන දෙක තවදුරටත් ඔහුටම ලැබිය යුතු බවට වූ තර්ජනයට යහපාලන ජනාධිපති හා අගමැති යටවී හෝ බියවීමේ තාර්කික ප්‍රතිඵලය එය බව අමුතුවෙන් කිවයුතු නැත.
2015 ජනවාරි 8 ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු හා සිහින දැක්ක මේ රටේ ජනතාවට ලබා දුන් අතිමහත් වූ යහපාලන පොරොන්දු අමතක කරමින් යන ගමනක දිශානතිය කැබිනට් මණ්ඩලය පත්කිරීම, වෙනස් කිරීම යන විෂයයන් වෙන්කිරීම ආදි විගඩම්වලින් තේරුම් ගැනීමට අපහසු නැත. එහිදී සිදුවන්නේ යහපාලන බලාපොරොත්තුවලට කුළුගෙඩි පහරවල් එල්ල කිරීම මිස වෙනකක් නොවේ.
විද්‍යාත්මකව හෙවත් යථාර්ථවාදීව අමාත්‍යාංශ විෂයයන් වෙන් කිරීමේ කාර්යය දින සියය පසුකර 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසු පිහිටුවූ කැබිනට් මණ්ඩලයෙන්ද විද්‍යමාන වූයේ නැත. එහිදී සිදුවූයේද යහපාලන පොරොන්දු මත රට තුළ ඉක්මනින් විය යුතු වෙනස්කම් මත කැබිනට් මණ්ඩල සංයුතිය සකස් කර ඊට අදාළ විෂයයන් වෙන් කිරීම වුවද, සිදුවූයේ පුද්ගලයන් පිනවීම සඳහා හා පිස්සු කෙළින පුද්ගලයන්ට සීමා පැනවීම සඳහා විෂයයන් වෙන් කිරීමය. එම නාටකය 2015 සැප්තැම්බර් 21 දිනැති අමාත්‍යාංශවලට විෂයයන් වෙන්කිරීම පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් මොනවට පැහැදිලි කරගත හැකිය.
එහි කොහෙත්ම නොගැළපෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා මහාමාර්ග යන විෂයයන් එකම අමාත්‍යවරයකුට පවරා තිබුණි. නගර සැලසුම් හා ජලසම්පාදන ලෙස අමාත්‍යාංශයක් තිබුණද එම අමාත්‍යාංශයට නගර සැලසුම්වලට අදාළ කිසිදු ආයතනයක් ලබාදී තිබුණේ නැත. නගර සැලසුම්වලට අදාළ නාගරික සංවර්ධන අධිකාරිය පවරා දී තිබුණේ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයටය. මුදල් අමාත්‍යාංශයට බැංකු අධීක්ෂකයා වන ශ්‍රී ලංකා මහ බැංකුව හෝ රාජ්‍ය බැංකු කිසිවක් ලබාදී නොතිබූ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ තබාගෙන තිබුණි. එසේ වුවද රක්ෂණ කටයුතුවල නියාමකයා වන ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට දී තිබුණත් රජයේ රක්ෂණ සමාගම් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රාජ්‍යය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයටද, ශ්‍රී ලංකා රක්ෂණ භාර අරමුදල අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ප්‍රතිපත්තිය හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයටද පවරාගෙන තිබුණි.
සීනි කර්මාන්තය පිළිබඳවද දැක්මක් නොතිබූ අතර හිඟුරාන සීනි සමාගම හා සී/ස ලංකා සීනි පුද්ගලික සමාගම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබූ අතර කන්තලේ සීනි සමාගම ඉඩම් අමාත්‍යාංශයට පවරා තිබුණි. ඒ එම විෂය දැරූ එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය නියෝජනය කිරීම නිසාය. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතට පැවරෙද්දී මිහින් ලංකා ගුවන් සේවය රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශයට පවරා තිබුණි.
එමෙන්ම පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට ජාතික චිත්‍රපටි සංස්ථාව, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය ආදි කලා සංස්කෘතික කටයුතුවලට අදාළ ආයතන පවරා එය තවදුරටත් දිගු කරමින් සිදුකර තිබුණේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ටවර්හෝල් රඟහල පදනම, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ජාතික ප්‍රාසංගික කලා මධ්‍යස්ථානය, ජාතික කලා මණ්ඩලය, ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රය, අපේ ගම, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල යන කලා හා සංස්කෘතික කටයුතු විෂයයන්ට ඊට පෙර අයත්ව තිබූ ආයතන පත්කිරීමය. මහපොළ භාරකාර අරමුදල ඊට කිසිදු සම්බන්ධයක් නැති සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයට පවරා දී තිබුණි. එසේම සේවක භාරකාර අරමුදලද අග්‍රාමාත්‍යවරයා යටතට පවරා ගෙන තිබුණි.
ඒ නිසාම මෙවර කැබිනට් මණ්ඩල සංශෝධනයේදී සිදුවිය යුතුව තිබුණ එක් කරුණක් වූයේ මේ ආකාරයට කිසිදු පදනමක් නොමැතිව බෙදාදී තිබූ අමාත්‍යාංශ විෂයයන් හා රාජ්‍ය ආයතන යම්කිසි පදනමක් ඇතිව කටයුතු පහසු කරලීම සඳහා වෙන්කිරීමය. ගැටුම් දක්වා ගිය ඒ සඳහා වූ ඕනෑතරම් උදාහරණද පසුගිය කාලයේදී දක්නට ලැබුණි. ඒ රාජ්‍ය නාට්‍ය උළෙල සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය අතර පැවති කඹ ඇදීමය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක් අමාත්‍යාංශයකට අයත්වීමත් කලා මණ්ඩලය තවත් අමාත්‍යාංශයකට අයත්වීමත් ඊට හේතුව විය. ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධයෙන් ගත් කල ද බාහිරින් නොපෙනුණාට අභ්‍යන්තර තත්ත්වය මෙයම විය. මුදල් ඇමතිවරයා රවි කරුණානායක වුවද මහ බැංකුව තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේය. රාජ්‍යය පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් කළමනාකරණය කිරීමේ ආයතනය වූ මහා භාණ්ඩාගාරය තිබුණේ මුදල් අමාත්‍ය රවි කරුණානායක යටතේය. රටට අවශ්‍ය මුදල් භාණ්ඩාගාර බිල්පත් හෝ සුරැකුම්පත් වශයෙන් උපයා දුන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවය. ඊට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගැසට් නිවේදනවලට අත්සන් තබා තිබුණේ මහ බැංකුව අයත් නොවන මුදල් ඇමති රවි කරුණානායක විසිනි. කොටින්ම මහ බැංකුව විසින් නිකුත් කරන මුදල් නෝට්ටුවලට පවා අත්සන් කරන්නට සිදුවූයේ මුදල් ඇමතිවරයාටය.
එහෙත් කන්දක් විළිලා මී පැටවකු බිහිකළ මෙවර කැබිනට් සංශෝධනයේදීද මේ නොගැළපෙන විෂයයන්ගේ පරස්පරය විසඳන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ කතාවට තරම් දක්ෂ වී තිබුණේ නැත. ඒ වෙනුවට කර තිබුණේ එම නොගැළපීම තවදුරටත් වර්ධනය කිරීමය. විදේශ කටයුතු අමාත්‍යාංශයට එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ලොතරැයි විකිණීමටදෝ ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවරා දී ඇත. කන්ද උඩරට උරුමය සංවර්ධනය යනුවෙන් බලා කියා ගන්නට කිසිදු ආයතනයක් නැති අමාත්‍යාංශ කෑලි එකතු කර තිබේ. සබරගමුව සංවර්ධනය යන්නද ඊටම සමාන අමාත්‍යාංශ කෑලි එකතු කිරීමක් පමණය.
තිලක් මාරපන සඳහා අලුතින් ඇති කළ සංවර්ධන කාර්යභාර අමාත්‍යාංශයට ඊට කිසිදු සම්බන්ධයක් නැති සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල එක් කර තිබේ. එය ඊට පෙර තිබුණේද ඊට කිසිදු සම්බන්ධයක් නැති අග්‍රාමාත්‍යවරයා යටතේය. ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ජාතික චිත්‍රපටි සංස්ථාව හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව තවදුරටත් පරස්පරය තීව්‍ර කරමින් රාජ්‍ය පරිපාලන හා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට පවරා ඇත.
මෙහිදී විශේෂයෙන්ම සිදුවී ඇති දෙය නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ තිබූ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කාර්යය හා කර්තව්‍යයන් යටතට ගැනුණු ‘ජාතික හා පළාත් මට්ටමේ ව්‍යාපෘති සම්බන්ධීකරණය, මෙහෙයවීම, පසු විපරම් කිරීම හා ඇගැයීම’ යන කොටස මෙවර විෂයයන් වෙන්කිරීමේදී ඉවත් කර තිබීමය. ඒ වූකලි තවමත් මතුපිටින් නොපෙනෙන සීතල බල දේශපාලනයක නෝක්කාඩුවක ප්‍රතිඵලයක් විය හැකිය. එය එසේ සිදුවෙද්දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකර ඇත්තේ ඔහුගේ කටයුතු පහසු කරගැනීම සඳහා සංවර්ධන කාර්යභාර අමාත්‍යවරයා වශයෙන් තිලක් මාරපන පත්කරගෙන එහි කාර්යය හා කර්තව්‍යයන් ලෙස ‘ජාතික ප්‍රතිපත්ති පසු විපරම් කිරීම හා ඇගැයීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයාට සහායවීම’ යනුවෙන් කැබිනට් ඇමතිවරයෙකුට සහාය වන කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් වූ අලුත් අපබ්‍රංසයක් නිර්මාණය කර එය නීත්‍යනුකූලව සිදුකර ගැනීමය.
කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් හා ඊට අදාළව සිදුවූ අමාත්‍යාංශ විෂයයන් වෙනස් කිරීම ආදියෙන් යහපාලනයේ බලාපොරොත්තු කිසිවක් ඉටුවී නැති බව ඒ අනුව පැහැදිලිය. සිදුවී ඇත්තේ නොගැළපීම් තවදුරටත් වර්ධනය වීමය. තමන්ට සලකන්නට අවශ්‍ය අයට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද සැලකීමය. ඇති එදිරිවාදිකම් ජනපතිවරයා හා අගමැතිවරයා පිරිමසා ගැනීමය. තවත් අතකින් ජනාධිපතිවරයා අගමැතිවරයාට බයවීමය. අගමැතිවරයා ජනපතිවරයාට බයවීමය. එය ඉනුත් ඔබ්බට යමින් ජනපතිවරයා හා අගමැතිවරයා රවි කරුණානායකට බයවීමය. අවසානයේ මේ සියල්ලෙන් පෙන්වා ඇත්තේ මේ කිසිවෙක් ඔවුන් බලයට පත් කළ ජනතාවට බය නැති බවය. යහපාලනය කෙසේ වෙතත් යහපාලනය නම් වූ වචනයවත් ඔවුන්ට වැදගත් නැති බවය.■