යහපාලන ආණ්ඩුව අත්මිදිය යුතු තුන් බිය


viyangoda

යහපාලන ආණ්ඩුව පිළිබඳ කවුරුත් එකඟ වන වඩාත් සාධනීය අංගය වන්නේ, මහින්ද රාජපක්ෂගේ පාලන කාලයත් සමග සසඳන විට, බියෙන් සැකෙන් තොරව, පාලකයන් ඇතුළු බලධාරීන් විවේචනය කිරීමට තරම් වන, නිදහස් සමාජයක් යහපාලන ආණ්ඩුව යටතේ බිහි වී තිබීමයි. එහෙත් රටක් වශයෙන් පොදුවේ ලබා ගත් එම සමස්ත ජයග්‍රහණය තුළ, විශේෂිත ආගමික සහ වාර්ගික ප්‍රජාවකගේ නිදහස අහිමිව යන සැටි බලා සිටීමට අද සිදුව තිබීම උත්ප්‍රාසාත්මක ය. දැන් සුදු වෑන් නැති බව ඇත්තයි. එසේම, මහ මගදී ‘නන්නාඳුනන්නෙකු’ විසින් ඝාතනය වීමේ හෝ පැහැරගෙන යනු ලැබීමේ අවදානමක් නැති බවත් ඇත්තයි. ඒ නිසා, ආණ්ඩුව කෙරෙහි වන ඕනෑම විවේචනයක් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමේ නිදහසක් සහ හැකියාවක් අද ඕනෑම කෙනෙකුට තිබේ. එහෙත් ඒ අතර, විශේෂිත ආගමික ප්‍රජාවක් මේ යහපාලන කාලයේ ජීවත් වන්නේ බියෙන් සහ සැකෙන් නම්, අප ලබා ගත්තේ යැයි කියන ඉහත සඳහන් නිදහසේ අරුතක් තිබේද

ගලගොඩඅත්තේ ඥානසාර කලක් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ ආශීර්වාදය සහ අනුග්‍රහය යටතේ මේ රට ගිනි තිබ්බේය. එදා පොලීසිය සහ අධිකරණය වැනි, නීතියට අදාළ අංශ රාජපක්ෂලාගේ බලය ඉදිරියේ නිරුත්තර වූහ. අසරණ වූහ. ඒ ගින්න ඉදිරියේ මුළු රටම දැවී යාමට මත්තෙන්, අපේ වාසනාවට මේ රටේ බුද්ධිමත් ජනතාව මහින්ද රාජපක්ෂට යස පාඩමක් උගන්වමින් ඔහු ගෙදර යැවූහ. එසේ නොවන්නට, ගලගොඩඅත්තේ ඥානසාර වැනි ෆැසිස්ට් උන්මත්තකයන්ගේ උසිගැන්වීම් මත දඬුවමට ලක්විය හැකිව තිබුණේ මුළු මහත් රටමයි.

අද පොලීසිය සහ අධිකරණය පාලක බලධාරීන් විසින් මෙහෙයවනු ලබන බවට නිශ්චිත සාක්ෂි නැත. එහෙත් මේ රජයේ ඇතැම් පුද්ගලයන් විවිධ අවස්ථාවල පොලීසියට ඇඟිලි ගසන බවට ආරංචි තිබේ. හිටපු රජයේ අකටයුතුකම් පිළිබඳව පොලිස් විමර්ශන අවසන් කොට ඇති සිදුවීම් දුසිම් ගණනාවක් වසරකටත් වැඩි කාලයක් තිස්සේ නීතිපති දෙපාර්තමේන්තුවේ හිර වී තිබේ. ගලගොඩඅත්තේ ඥානසාර, මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේදී කළා සේම දැනුත් ප්‍රසිද්ධියේ නීතිය උල්ලංඝනය කරයි. පුළුවන් නම් තමන් අත්අඩංගුවට ගන්නැයි පොලීසියට ප්‍රසිද්ධියේ අභියෝග කරයි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත විභාග වන නඩුවකට පැමිණීම හිතාමතාම ඔහු මගහරිනවා පමණක් නොව, මුළු රටම හිනස්සවන තරමේ නිදහසට කරුණු අධිකරණයට නොපැමිණ සිටීම සඳහා ඉදිරිපත් කරයි. වෛරී භාෂණය සහ වර්ගවාදී උසිගැන්වීම් මත අත්අඩංගුවට පත්වීම මගහරිමින් හැංගී සිටින අතරේ, අසනීපයෙන් රෝහල්ගතව සිටිතැයි වරක් ඔහු අධිකරණයට දන්වා එව්වේය. අධිකරණයට පැමිණීමට නොහැකි තරමට ඔහු පෙළුණු රෝගය කුමක්ද, ඒ සඳහා පැය කීයක් රෝහල්ගතව සිටියේද, ප්‍රතිකාර ලබනවා යැයි කියන රෝහල කුමක්ද ආදි කිසි තොරතුරක් පිළිබඳ පෙරලා එහිදී ප්‍රශ්න නොකෙරුණි. ඊළඟට, ජීවිත තර්ජනයක් ඇති නිසා අධිකරණයට නොපැමිණෙමැයි ඔහු අධිකරණයට දන්වා සිටියේය. බන්ධනාගාරයේදී තමා ඝාතනය කිරීමේ අවදානමක් ඇති බවට වන ප්‍රබන්ධය මාධ්‍ය හරහා විසිරුවා හැර, බන්ධනාගාරගත වීමෙන් වැළැකී සිටීමේ සෑම උපාමාරුවක්ම යොදා ගැනීම අනිත් පැත්තෙන් ඔහු යුක්ති සහගත කර ගනී.

මේ කියන හේතු මත මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට කිසි දවසක අධිකරණය මගහැර සිටිය හැකි වේද? සාමාන්‍ය පුරවැසියෙකු සම්බන්ධයෙන් අධිකරණය එක දිගටම මෙවැනි හේතුවාචකයන්ට අවසර දේවිද? සාමාන්‍ය පුරවැසියෙකු අත්අඩංගුවට ගැනීම ලංකාවේ පොලීසියට මෙතරම් කල් යන තරමේ අසීරු කටයුත්තක් විය හැකි තත්වයක් ඇත්තෙන්ම තිබිය හැකිද?
පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය වැනි මහජන ආයතනවලට, යම් අදිසි හස්තයක පාලනය යටතේ කටයුතු කිරීමට තවමත් බල කෙරෙමින් ඇති බව පැහැදිලි ය. අල්ලස් හෝ දූෂණ කොමිසම අද වන විට වසා දමා ඇත්දැ යි සැක සිතෙන තරමට නිශ්ශබ්දයි. මේ රජය මගින් විශේෂයෙන් පිහිටුවන ලද දූෂණ විරෝධී කමිටු කාර්යාංශය වසා දැමීමට නියමිත බව කියැවේ. ආණ්ඩුවට දැන් වසර දෙකකට වැඩි කාලයක් ගතව ඇතත්, පැවති පාලන සමයේ චෝදනාවට ලක් වූ කිසි සොරකමක්, දූෂණයක් හෝ අපරාධයක් සම්බන්ධයෙන් එක් කෙනෙකු හෝ හිරේකට ගොස් නැත. එසේ වීමට බලපාන අවශේෂ හේතු සියල්ලට අමතරව, ඊට ප්‍රධාන වශයෙන් බලපාන තුන් බියක් ද තිබේ. එනම්, සිවුර, හමුදා නිල ඇඳුම සහ රාජ්‍ය සේවය කෙරෙහි මේ ආණ්ඩුව දක්වන අනියත බියයි. මේ රටේ සංඝයා වහන්සේලා පහළොස් දහසක් පමණ සිටිතැයි කියැවේ. ඒ අතරින්, ගලගොඩඅත්තේ ඥානසාර මෙන් බුද්ධ ධර්මයට සහ බුදුන් වහන්සේටත් නිගා දෙමින් අශීලාචාර ලෙස හැසිරෙන භික්ෂුන් සංඛ්‍යාව අතලොස්සක් බව අවිවාදිතයි. එසේම මෙවැනි අල්පයක් භික්ෂූන් ගැන සමස්ත සංඝ සාසනය පොදුවේ ගත් විට සිටින්නේ බලවත් සංවේගයෙනි. මොවුන්ගේ නොසැබි ක්‍රියාකාරකම් නිසා සංඝ සමාජයට පොදුවේ එල්ල වන අපවාදය ගැන ඔවුහු හොඳාකාරව දනිති. ඇත්ත වශයෙන්ම, ගලගොඩඅත්තේ ඥානසාර වැන්නෙකුට එරෙහිව බෞද්ධයන් මේ අවස්ථාවේ පෙනී සිටිය යුත්තේ, හුදෙක් මේ රටේ ක්‍රිස්තියානි සහ මුස්ලිම් ජනතාව ආරක්ෂා කර ගැනීමටත් වඩා, විශේෂයෙන් බුද්ධ ධර්මය සහ සාසනය මෙවැනි අලජ්ජි භික්ෂූන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ය. අන්‍ය මත ඉවසීමට සහ අන්‍යාගම්වලට ගරු කිරීම ප්‍රමුඛ තන්හි ලා බුදුන් වහන්සේ දේශනා කොට ඇති මූලික ධර්මයම මෙවැනි අසංවර නොසන්ඩාල ක්‍රියා නිසා හෑල්ලුවට ලක්වෙයි. එබැවින්, හුදෙක් ‘සිවුර’ නැමැති සංකේතය ඉදිරියේ එවැන්නන් දමනය කිරීමට යමෙකු පස්ස ගැසීම යනු, එම සංකේතය අර්ථවත් කරන දහමට පස්ස හැරවීමක් වන බව බලධාරීන් අවබෝධ කර ගත යුතුව තිබේ.

ලංකාවේ ත්‍රිවිධ හමුදාව තුන් ලක්ෂයකට ආසන්න වෙයි. එම ලක්ෂ සංඛ්‍යාත සාමාජිකයන් අතරින් සැබෑ රණවිරුවා බිහි වන්නේ, රටේ ආරක්ෂාව වෙනුවෙන් කරන ලද අසහාය මෙහෙවරක් තුළිනි. මේ වන විට, අපරාධ සහ වෙනත් නොපනත්කම් මත චෝදනාවන්ට ලක්ව ඇති හමුදා සාමාජික සංඛ්‍යාව උපරිම වශයෙන් තිහ හතළිහකට වැඩි නැත. ත්‍රිවිධ හමුදාවේ අතිබහුතරය, නීතියෙන් තමන් වෙත පැවරී ඇති රාජකාරි ඉටු කළ සහ ඉටු කරන පිරිසකි. එහෙත් අතලොස්සක් අපරාධකරුවන්, නිල ඇඳුමක් ලා ගත් පමණින් ආරක්ෂා කරනු ලැබීම, ලක්ෂ සංඛ්‍යාත සැබෑ රණවිරුවන්ගේ නාමයට කරන අවමානයකි.

සිවුර වරෙක එල්ලුම් ගස් ගොස් තිබේ. ඒ, තල්දුවේ සෝමාරාම නැමැත්තා, බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු කිරීමෙනි. තවත් වරෙක සිවුර ජීවිතාන්තය දක්වා හිරේට යවා තිබේ. ඒ, මාපිටිගම බුද්ධරක්ඛිත නැමැත්තා බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු කිරීමෙනි. මේ රටේ සංඝ සාසනය හෝ බෞද්ධයන් එවැනි අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම ගැන එදා පාරට බැස්සේ හෝ කැරලි ගැසුවේ හෝ නැත. හේතුව, යුක්තිය සහ අයුක්තිය අතර වෙනස, ධර්මය සහ අධර්මය අතර වෙනස හඳුනා ගැනීමට තරම් මුහුකුරා ගිය සමාජයක් අද මෙන්ම එදාත් ලංකාවේ පැවති බැවිනි.

1971 දී හමුදා නිලධාරියෙක් එල්ලුම් ගස් ගියේය. ඒ, ප්‍රේමවති මනම්පේරි නැමැති තරුණිය දූෂණය කොට මරා දැමීම නිසා ය. ‘රණවිරු’ ලේබලයක් ලෙලවා අපරාධකරුවා එදා ආරක්ෂා කෙරුණේ නැත. ඊට වඩා බොහෝ මෑතකදී, එනම් 1990 දශකයේ දී, ක්‍රිෂාන්ති කුමාරස්වාමි නැමැති දෙමළ ජාතික පාසල් දැරිය පැහැරගෙන ගොස්, දූෂණය කොට, මරා දැමීම ගැන හමුදා නිලධාරීහු ගණනාවක් එල්ලුම් ගස් ගියහ. එදා පාලකයන් හෝ නීතිය, මේ අපරාධ ඉදිරියේ ‘රණවිරු’ ලේබලය එසැවූයේ නැත. ඔවුන් එල්ලුම් ගස් ගියා කියා මහජනතාව ‘රණවිරුවන්’ ආරක්ෂා කර ගැනීමට කියා පාරට බැස්සේ ද නැත.
මේ නුදුරු ඉතිහාසයෙන් පෙන්නුම් කරන්නේ වෙන කිසිවක් නොව, නීතිය සහ අධිකරණය, සරම සහ කලිසම ඉදිරියේ සේම, සිවුර සහ හමුදා නිල ඇඳුම ඉදිරියේත් කෙලින් සිටීමට සමත්ව ඇති බවයි.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු, මීට පෙර නොපැවති තවත් බියක් සමාජගත කොට තිබේ. එය, රාජ්‍ය නිලධාරියා පිළිබඳ මිථ්‍යාව වටා ගොඩනගා ඇත. මහින්ද රාජපක්ෂ පාලනය එතරම් දූෂිත වුණේ රාජපක්ෂ පවුලේ සහ හෙංචයියන්ගේ දූෂිතභාවය නිසා පමණක්ම නොව. ඔවුන්ට යහතින් දූෂණයේ යෙදීමට හැම අතකින්ම පහසුකම් සැපයූ රාජ්‍ය සේවයක් ද එදා පැවති නිසා ය. එබැවින් රාජපක්ෂ දූෂිත තන්ත්‍රයට එරෙහිව අද ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් තුළ මේ කියන ඉහළ රාජ්‍ය නිලධර තන්ත්‍රයේ යම් පිරිසක් චුදිතයන් බවට පත්වෙති. එහෙත් එය ද, පහළොස් ලක්ෂයක් වන රාජ්‍ය සේවයේ සාමාජික සංඛ්‍යාවෙන් ඉතා අතලොස්සකි. මොවුන් නීතිය ඉදිරියට පැමිණවීම තුළින් රාජ්‍ය සේවය අඩපණ වෙතැයි යන මහා බොරුව ගොඩනගා ඇත්තේ ඒ අතලොස්ස විසිනි. යහපාලන නායකයන් අද වන විට ඒ භීතියේත් ගොදුරක් බවට පත්ව ඇත.

ගලගොඩඅත්තේ ඥානසාර වැනි භික්ෂූන්, රාජපක්ෂ කාලයේ නොයෙක් අපරාධවලට සම්බන්ධ හමුදා නිලධාරීන් සහ රාජ්‍ය සේවයේ දූෂිත ඉහළ නිලධාරීන් යන මේ පාර්ශ්ව තුනම එක දිගටම මෙහෙයවනු ලැබූයේ රාජපක්ෂවාදීන් විසිනි. ඔවුන් සියල්ලන්ව මොන අවසරයක් යටතේ හෝ ආරක්ෂා කිරීමට යහපාලන නායකයන් ඉදිරිපත් වීම යනු, රාජපක්ෂලාගේ අනාගත දේශපාලනික ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට අගනා තල්ලුවක් දීමට මෙහා දෙයක් නොවේ.■