රාවය

ව්‍යාජ පුවත්වලින් මතුවන සැබෑ අභියෝග

ව්‍යාජ පුවත්වලින් මතුවන සැබෑ අභියෝග

ව්‍යාජ පුවත් (Fake News) නිසා මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණවලට අනිසි බලපෑම් සිදුවීම, රටවල් අතර ජාත්‍යන්තර සබඳතා පළුදු වීම හා ඇතැම් අස්ථාවර රටවල ප්‍රචණ්ඩකාරී ගැටුම් හට ගැනීම පවා වාර්තා වී තිබෙනවා.
ව්‍යාජ පුවත් සඳහා ලොවම පිළිගත් එක් නිර්වචනයක් තවමත් නැහැ. පුවත් වාර්තාකරණයේදී අතිශයෝක්තියෙන් එය කිරීම මෙයට අයත් නැතැයි සමහරුන් තර්ක කරනවා.
මා භාවිත කරන නිර්වචනය මෙයයි. යම් තොරතුරක් වැරදි බව දැන දැනම එය සැබෑ පුවතක් ලෙස වාර්තා කිරීම හෝ පතුරුවා හැරීම ව්‍යාජ පුවතක්.
අද සමාජයේ බොහෝ පාර්ශ්වයන් ව්‍යාජ පුවත් නිර්මාණය කරනවා. තමන්ගේ කෙරුවාව ඉහළ බවට ප්‍රතිරූපයක් පවත්වා ගන්නට ආණ්ඩු ව්‍යාජ පුවත් නිතර මවනවා. කොටස් වෙළෙඳපොළේ තම කොටස් මිල ඉහළ මට්ටමක පවත්වා ගන්නට සමහර කූඨ ව්‍යාපාරිකයන් නැති දේ මවා ප්‍රකාශ කරනවා. බොහෝ සිවිල් සමාජ සංවිධාන කෙන්ද කන්ද කරන්නට සමත්. යුද්ධයකදී තම පිලේ වික්‍රමයන් මහ ඉහළින් පෙන්වීමටත්, සතුරු පිලේ පසුබෑම් හුවා දක්වන්නටත් ව්‍යාජ පුවත් මවා සංසරණය කැරෙනවා.
මේවා කිසිවක් අලුත් ප්‍රවනතා නොවෙයි. මෙනයින් බලන විට පෙනෙන්නේ ව්‍යාජ පුවත් යනු කවදත් අප අතර තිබූ ප්‍රපංචයක් බවයි.
එහෙත් මෑතක පටන් ලෝකය හමුවේ තිබෙන අභියෝගය වන්නේ ඉන්ටර්නෙට් උපකාරයෙන් ව්‍යාජ පුවත් වඩාත් වේගයෙන් වැඩි දෙනකු අතරට පැතිරයාමයි.
“සත්‍යය සපත්තු දමාගෙන ගමනකට සූදානම් වන විට බොරුවට ලෝකය වටේ දුවන්න පුළුවන්” යයි ප්‍රකට වියත් වැකියක් තිබෙනවා. (එය මුලින්ම කීවේ අමෙරිකානු ලේඛක මාක් ට්වේන් ද අයිරිෂ් ලේඛක ජොනතන් ස්විෆ්ට් ද යන්න විවාදාත්මකයි.) ව්‍යාජ පුවත් මගින් මෙය නැවත සනාථ වෙනවා.
2016 නොවැම්බරයේ පැවති අමෙරිකානු ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා ගැනම සූක්‍ෂ්ම ලෙස ගොතන ලද ව්‍යාජ පුවත් වෙබ් හරහා සංසරණය වුණා.
හිලරි ක්ලින්ටන් අන්ත දූෂිත හා භයානක චරිතයක් බව සමහර එවන් වාර්තා කීවේ මවන ලද ‘සාක්‍ෂි’ සමඟයි. ඒ අතර ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අපේක්‍ෂකත්වය පාප්තුමා විසින් පිළිගන්නා ලද බව ව්‍යාජ පුවතක්ද පැතිර ගියා.
විවිධ ජනමත සමීක්‍ෂණ හරහා එරට විද්වතුන් තවමත් තැත් කරන්නේ මේ බොරු ප්‍රචාර කෙතරම් දුරට ඡන්දය දීම පිළිබඳ තීරණවලට බලපෑවාද යන්න තක්සේරු කිරීමටයි. ඡන්දදායකයන් තොරතුරු මූලාශ්‍රයන් රැසකට එකවර නිරාවරණය වන නිසා මෙය ලේසි නැහැ.
මේ අතර ව්‍යාජ පුවතක් නිසා න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ දෙරටක් නොසන්සුන් වූ සැටි 2016 අගදී වාර්තා වුණා.
2016 දෙසැම්බර් 20 වනදා පාකිස්ථානයේ එක්තරා පුවත් වෙබ් අඩවියක් වාර්තාවක් පළ කළා. එහි කියවුණේ පාකිස්ථාන් හමුදා සිරියාවට ගියොත් පාකිස්ථානය විනාශ කර දමන බවට ඊශ්‍රායල ආරක්‍ෂක අමාත්‍ය මෝෂේ යාලන් ප්‍රකාශ කර ඇති බවයි.
වෙන කිසිදු මාධ්‍යයක මෙය වාර්තා නොවූවත් එය සැබෑ පුවතක් බවට විශ්වාස කළ පාකිස්ථාන් ආරක්‍ෂක අමාත්‍ය කවාජා ආසිෆ්, තම නිල ට්විටර් ගිණුම හරහා කීවේ “ඊශ්‍රායලය මතක තියා ගන්න ඕනෑ පාකිස්ථානයටත් න්‍යෂ්ටික අවි තිබෙන බවට” කියායි.
මුල් ව්‍යාජ පුවත නොදුටු, එහෙත් පාකිස්ථාන් ආරක්‍ෂක අමාත්‍යවරයා එයට ප්‍රතිචාර දක්වනු දුටු ඊශ්‍රායල ආරක්‍ෂක අමාත්‍යාංශය වහාම පැහැදිලි කිරීමක් නිකුත් කරමින් කියා සිටියේ තම අමාත්‍යවරයා කිසිසේත්ම එවන් ප්‍රකාශයක් නොකළ බවයි. තත්ත්වය එනිසා සන්සුන් වූවත් පැය 72ක් පුරා මේ සිදුවීම දිග හැරීමට හේතු වුණේ ව්‍යාජ පුවතක් හඳුනා ගන්නට පාකිස්ථාන් අමාත්‍යවරයා අසමත් වීමයි.
දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය ආයතනද නිල වශයෙන් සමාජ මාධ්‍ය හරහා සන්නිවේදනය කිරීම වැඩි වැඩියෙන් සිදුවන අද කාලේ අලුත් තොරතුරකට වැඩි ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය වනවා. එහිදී තොරතුරු සත්‍ය බවට තහවුරු කර ගැනීම වැදගත්. අඩු තරමින් සැක සහිත තොරතුරක එම ගතිසොබාව හඳුනා ගත හැකි විය යුතුයි.
ඒත් එසේ කිරීමට අවශ්‍ය කුසලතා හැම කෙනකුම සතුව නැහැ. එමෙන්ම සත්‍ය – අසත්‍ය බව තහවුරු කර ගන්නා තුරු පැය හෝ දින ගණන් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීමටද බැහැ. එය සිදුවීම් කළමනාකරණයේ දුර්වලකමක් ලෙස පෙනී ගිය හැකි බැවින්.
මෙවන් පසුබිමෙක සූක්‍ෂ්ම ලෙස නිර්මාණය කොට මුදා හැරෙන ව්‍යාජ පුවතක් සැබෑ යයි සිතා ඉක්මන් ප්‍රතිචාර දැක්වීම හරහා සිදුවිය හැකි හානිය සැලකිය යුතුයි.
අමෙරිකාවේ ප්‍රින්ස්ටන් සරසවියේ ආචාරධර්ම පිළිබඳ මහාචාර්ය පීටර් සිංගර් කියන්නේ වත්මන් ව්‍යාජ පුවත් රැල්ල නිසා ප්‍රජාතන්ත්‍රවාදී ආයතනික ව්‍යුහයන් අභියෝගයට හා තර්ජනයට ලක්වන බවයි.
“ක්ලින්ටන් මැතිනිය පැරදුණේ ව්‍යාජ පුවත් නිසාද යන්න අපට හරිහැටි කීමට බැරිවුණත් මැතිවරණයක තීරණයට ප්‍රබල බලපෑමක් කරන්න ව්‍යාජ පුවත්වලට හැකි බව නම් පැහැදිලියි. අපේ සියලු මැතිවරණවල මූලික පදනම වන්නේ ඡන්දදායකයන් තමන් හමුවට එන අපේක්‍ෂකයන් ගැන කරුණු සලකා බලා, තක්සේරුවක් කොට ඡන්දය භාවිත කරන බවයි. එහෙත් ව්‍යාජ පුවත් මගින් මේ තක්සේරුව මුලාවකට නතු කරනවා. මෙය බරපතළව සලකා බැලිය යුත්තක්” ඔහු කියනවා.
ව්‍යාජ පුවත් මවන්නෝ එය කරන්නේ සමාජයේ පවතින සැකයක්, භීතියක් පදනම් කර ගෙනයි. අමෙරිකානු ජනාධිපතිවරණය සමයේ තවත් එක් ව්‍යාජ පුවතක් වූයේ සමහර ප්‍රාන්තවල ඩිමොක්‍රැටික් පාක්‍ෂික සෙනෙට් සභිකයන් ඉස්ලාමීය ෂරියා නීතිය හඳුන්වා දීමට සැරසෙන බවයි.
පවතින ඉස්ලාම් භීතිය නිසා නාමධාරී චරිත පවා නොසිතාම මෙය ෂෙයාර් කළා. එය අමූලික බොරුවක් බව ඉක්මනින් හෙළි වුණා.
ව්‍යාජ පුවත් මවන්නේ ඇයි? මෙයට විවිධ හේතු තිබෙනවා.
සමහර සටකපට දේශපාලකයෝ ප්‍රතිවාදීන් හෑල්ලු කිරීමට හා තම ප්‍රතිරූපය පුම්බා ගන්නට ව්‍යාජ පුවත් යොදා ගන්නවා. ඒත් මෙය ව්‍යාපාරයක් ලෙස කරන අයත් සිටිනවා.
වෙබ් අඩවිවල ව්‍යාජ පුවතක් පළ වූ විට එය කරා ඇදී එන පාඨක සංඛ්‍යාව ඉහළ යනවා. බොහෝ පුවත් වෙබ් අඩවිවල ව්‍යාපාරික ආකෘතිය වන්නේ වැඩි පාඨක සංඛ්‍යාවක් පෙන්වා දැන්වීම්කරුවන්ගෙන් වැඩි මුදලක් අය කිරීමයි. ඒ නිසා කිසිදු දේශපාලන පක්‍ෂග්‍රාහිත්වයකින් තොරව නමුත් මුදලට කෑදර වීම නිසා ව්‍යාජ පුවත් පළ කරමින් හොඳට හම්බ කරන වෙබ් අඩවි බිහිව තිබෙනවා.
මේ අතර ව්‍යාජ පුවත් අහිංසක විනෝදය සඳහා පළ කරන The Onion වැනි වෙබ් අඩවි ද හමුවනවා. ඔවුන්ගේ අරමුණු සියුම් උපහාසයයි.
පුවත් ස්වරූපයෙන් ලියැවෙන එහෙත් මුළුමනින්ම ව්‍යාජ අන්තර්ගතයන් හරහා මෙවන් වෙබ් අඩවි සමාජයේ විසමතා හුවා දක්වනවා. තමන් උපහාසාත්මක (Satire) බව හොඳට පෙනෙන පරිදි මෙවන් වෙබ් අඩවි පළ කරනවා. එහෙත් මේවායේ පළවන කථා සැබෑවට ගන්නා අයත් එමට සිටිනවා.
මෑතක පටන් තවත් ව්‍යාකූලතාවක් පැන නැගී තිබෙනවා. මාධ්‍ය කරන ගවේෂණාත්මක සත්‍ය වාර්තාකරණය නොරුස්සන සමහර දේශපාලකයෝ එම වාර්තාවලට ද්වේෂසහගත ලෙස “ව්‍යාජ පුවත්” ලේබලය අලවනවා. මෙය වඩාත් ප්‍රකටව කරන්නේ ඩොනල්ඞ් ට්‍රම්ප් ජනපතිවරයායි. එහෙත් මෙය අපේ සමහර දේශපාලකයන්ද අනුකරණය කිරීමට පටන් අරන්.
මේ සියලු සාධක නිසා ව්‍යාජ පුවත් හඳුනාගැනීම, එයට පසුබිම තේරුම් ගැනීම හා එයට එරෙහි ප්‍රතිචාරයන් දැක්වීම දුෂ්කර වී තිබෙනවා.
මගේ මතය නම් ව්‍යාජ පුවත් යනු මාධ්‍ය ක්‍ෂේත්‍රය පුරා පැතිර තිබෙන ව්‍යාධියක රෝග ලක්‍ෂණයක් පමණක් බවයි. එම ව්‍යාධිය නම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ගැන තිබෙන මහජන විශ්වාසය බරපතළ ලෙස සෝදාපාලුවට ලක්ව තිබීමයි.
මාධ්‍ය විසින් පුවත් වාර්තා කරන විට නිවැරදි බව තහවුරු කරගත් තොරතුරු යොදාගෙන, සමබර ලෙසින් හා ආචාරධර්මීයව එය කළ යුතුයි. එසේම අදාළ සියලු පාර්ශ්වයන්ට අදහස් දැක්වීමට ඉඩ දිය යුතුයි. මේ මූලික ගුණාංග ප්‍රගුණ නොකිරීම නිසා මාධ්‍ය ගැන බොහෝ දෙනා කලකිරී සිටිනවා.
සමහර විද්වතුන් මෙය හඳුන්වන්නේ මාධ්‍යකරණයේ පරතරය හෙවත් හිදැස ලෙසින් (Journalism Deficit)’. මාධ්‍ය ගැන මහජන විශ්වාසය කෙමෙන් අඩු වෙත්ම විකල්ප, වෙබ්ගත මූලාශ්‍රවලින් තොරතුරු ලබා ගන්නට බොහෝ දෙනා යොමු වනවා. ඒ සමහර වෙබ් මූලාශ්‍ර ව්‍යාජ පුවත් බෙදාහරින ඒවා විය හැකියි.
මාධ්‍ය ගැන මහජන විශ්වාසය අඩු යයි කියන්නේ ජනමත සමීක්‍ෂණ පදනම් කර ගෙනයි. එහෙත් ගෝලීය මට්ටමෙන් මෙවන් සමීක්‍ෂණ කැරෙනවා ප්‍රමාණවත් නැහැ.
ගැලප් (Gallup) නම් ප්‍රකට ජනමත සමීක්‍ෂණ සමාගම 1972 සිට වාර්ෂිකව අමෙරිකානු ජනයාගෙන් විමසනවා, ඔවුන් සිය ජනමාධ්‍ය විශ්වාස කරනවා ද කියා. ගෙවී ගිය වසර 45ක කාලය තුළ විශ්වාස මට්ටම කෙමෙන් අඩුවී තිබෙනවා.
2015 දී 40%ක් අමෙරිකානුවන් සිය මාධ්‍ය විශ්වාස කළත් 2016 වන විට එය 32%ට පහත වැටී තිබුණා. ඒ කියන්නේ 68%ක් දෙනා මාධ්‍ය විශ්වාස නොකරන බවයි.
ගෝලීය මට්ටමෙන් මෙවන් සමීක්‍ෂණ නිතර කැරෙන්නේ නැහැ. හේතුව එය අධික ලෙස වියදම් වීමයි. 2006දී රටවල් 128ක ගැලප් කළ සමීක්‍ෂණයක ප්‍රතිඵල මා සොයා ගත්තා. හැම රටේම 1,000ක නියැදියක් සම්බන්ධ කර ගත් එම සමීක්‍ෂණයට අනුව මෙරට ජනයාගෙන් මාධ්‍ය විශ්වාස කළේ 31%ක් පමණයි. (එම වසරේ ඉන්දියාවේ 56%ක්, පාකිස්ථානයේ 42%ක් හා නේපාලයේ 72%ක් ජනයා මාධ්‍ය විශ්වාස කළා.)
මේ වන විට මෙම මට්ටම් වෙනස් වී තිබිය හැකියි. එහෙත් ගැලප් සමීක්‍ෂණය මතු කළ එක් වැදගත් සාධකයක් නම් ස්වාධීන යයි සැලකෙන මාධ්‍ය පවතින රටවල පවා එකී මාධ්‍ය ගැන මහජන විශ්වාසය අඩු අවස්ථා එමට තිබෙන බවයි.
මෙහි අර්ථය නම් මාධ්‍ය ස්වාධීන වීම අවශ්‍ය වුවත්, එසේ වීම පමණක් මහජන විශ්වාසය දිනා ගැනීමට නොසෑහෙන බවයි. ස්වාධීන වීමට අමතරව වඩාත් ප්‍රමිතිගතව හා වෘත්තීය මට්ටමින් මාධ්‍ය පවත්වා ගෙන යාම හරහා පමණයි මහජන විශ්වාසය වැඩි කර ගත හැක්කේ.
ව්‍යාජ පුවත් සංකීර්ණ වූත්, වෙනස් වනසුලු වූත් ප්‍රපංචයක් නිසා එයට ප්‍රතිචාර දැක්වීම ද සියුම් හා ස්ථානෝචිත පරිදි කළ යුතු වනවා. හැම රටකටම හෝ හැම ව්‍යාජ පුවතකට ම එක විසඳුමක් සොයා ගන්නට බැහැ.
ඇත්තටම ව්‍යාජ පුවත් මූලාශ්‍රයක් තහනම් කිරීම හෝ වාරණය කිරීම මඟින් මේ ප්‍රශ්නය විසඳන්නට නොහැකියි. වෙබ් අඩවි වාරණය කිරීමට ඕනෑම අවසරයක් ලැබෙන තුරු බලා සිටින උදවියට මේ ප්‍රශ්නය දඩමීමා කර ගැනීමට ඉඩ නොදිය යුතුයි.
මේ පිළිබඳව වැදගත් ප්‍රකාශනයක් 2017 මාර්තු 3 වනදා නිකුත් වුණා. එයට අත්සන් කළේ ප්‍රකාශන නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ ගෝලීය නියෝජිත ආචාර්ය ඬේවිඞ් කයේ (David Kaye) සහ ඔහු වැනිම තනතුරු කලාපීය මට්ටමෙන් හොබවන නීතිවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙක්.
ඔවුන් කීවේ මෙයයි. “ප්‍රකාශන නිදහස හා මාධ්‍ය නිදහස යනු අසීමිත නිදහසක් නොවන අතර එයට සාධාරණ සීමාවන් මොනවාදැයි ජාත්‍යන්තර නීතියේ පැහැදිලිව දක්වා තිබෙනවා. එසේම එම නිශ්චිත සීමාවන් ඉක්මවා යාමට රජයන්ට ඉඩක් නැහැ. ව්‍යාජ පුවත් මර්දනය කිරීමේ මුවාවෙන් ප්‍රකාශන නිදහසට අනවශ්‍ය සීමා තහංචි පැනවීමට කිසිදු රජයක් තැත් නොකළ යුතුයි.”
භාෂණයේ හා කථනයේ ප්‍රකාශන නිදහසට නිර්දය ලෙස රජයක් හා වෙනත් සමාජ තලයන් විවේචනය කිරීමේ නිදහස් මෙන්ම විකල්ප මත දැරීමේ, රාජ්‍ය විරෝධී මත ප්‍රකාශනයේ හා සමාජය තැති ගැන්මට ලක් කරන අදහස් පළ කිරීමේ නිදහස්ද ඇතුළත් බව මේ ප්‍රකාශනය සිහිපත් කරනවා.
“තමන්ට දරා ගන්නට හෝ දිරවා ගන්නට බැරි වූ පමණට යම් තොරතුරක් හෝ අදහසක් ‘ව්‍යාජ පුවතක්’ යයි හංවඩු ගසා එය මර්දනය කිරීමට රජයක් කිසි විටෙක තැත් නොකළ යුතුයි. ව්‍යාජ පුවත් මොනවාදැයි තේරුම් ගැනීමේ හැකියාව හා ඒවායින් නොරැවටී සිටීමේ කුසලතාව ප්‍රගුණ කිරීමට රජයන්, සිවිල් සමාජ සංවිධාන හා අධ්‍යාපනික ආයතන උත්සුක විය යුතුයි” එම ප්‍රකාශනය තවදුරටත් කියා සිටියා.
රටක මාධ්‍ය විවිධත්වය පුළුල් වීමත්, මාධ්‍ය සාක්‍ෂරතාව ඉහළ යාමත් හරහා ව්‍යාජ පුවත්වලට එරෙහිව ජන සමාජයේ “ප්‍රතිශක්තියක්” ගොඩ නැංවෙනවා. වඩා වැදගත් වන්නේ එයයි. එසේ නැතිව පුරවැසියන් කියවිය යුත්තේ හෝ නැරඹිය යුත්තේ කුමක්ද යන්න ගැන අත්තනෝමතික තීරණ ගැනීමට දේශපාලකයන්ට හෝ නිලධාරීන්ට ඉඩ දිය නොහැකියි.
ව්‍යාජ පුවත් හරහා යළිත් මතු කැරෙන්නේ මාධ්‍ය ක්‍ෂෙත්‍රයේ කලක් තිස්සේ ඔඩුදුවා ඇති ක්‍රමීය මට්ටමේ විසමතා හා දුර්වලතායි. ඒවා මාධ්‍ය ප්‍රතිසංස්කරණ හරහා සමනය කරන නොගෙන, වාරණ හෝ තහංචි ඉල්ලා සිටීම මුග්ධ මෙන්ම අනතුරුදායක ප්‍රතිචාරයක්.■