ව්‍යවස්ථා සම්පාදනය ගැන තවදුරටත්


ivan

වික්ටර් අයිවන්

එක ලේ බිඳුවකුදු නොසොල්වා නිදහස ලබාගත් ලංකාවට නිදහස ලැබී අවුරුදු 30කට පසුව තවත් අවුරුදු 30ක් තරම් දීර්ඝ කාලයක් කෙළවරක් නැති තරමට ලේ හලන්නට සිදුවූයේ ගොඩනැගී තිබුණු නවීන ජාතික රාජ්‍යයේ යහපැවැත්මට නැතිවම බැරි ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම නිසාය. දීර්ඝ කාලයක් තිස්සේ පැවති එම ලේ වැගිරීම් නිසා එම දීර්ඝ කාලයේදී රට පැවතියේ ඉතාමත් අශීලාචාර තත්ත්වයකය. ප්‍රචණ්ඩ ගැටුම් සිංහල දකුණෙන් ආරම්භ වී දෙමළ උතුරෙන් අවසන් වන විට ජීවිතක්ෂයට පත් ජනතාවගේ සංඛ්‍යාව ලක්ෂයකටත් වඩා වැඩිවිය හැකිය. තවත් ලක්ෂ ගණනකට විවිධාකාරයේ වධහිංසාවන්ට ලක්වීමට සිදුවිය. මේ කාලයේදී මිනිසුන්ට මරණ බිය සමඟ ජීවත් වන්නට සිදුවිය. අවසාන විග්‍රහයේදී විශාල පිරිසක් කායික වශයෙන් මරණයට පත්වන විට මරණයට පත් නොවූ මිනිස්සුද ආධ්‍යාත්මික වශයෙන් මරණයට පත්වූ මිනිසුන් බවට පත්වූහ.

රටේ පැවති එම අශීලාචාර වටාපිටාව මිනිසුන් පමණක් නොව රාජ්‍යය හා රාජ්‍යයේ ආයතන ක්‍රමද අකාර්යක්ෂම, දූෂිත හා ජරපත් තත්ත්වයකට පත් කිරීමට හේතුවිය. රාජ්‍යයේ ස්වභාවය වෙනස් වී එය චෞර හා මාංශ භක්ෂක රාජ්‍යයක ස්වභාවයක් ගත්තේය. දේශපාලකයාගේ ස්වභාවයද වෙනස් වී ඔහු වස්තු කොල්ලකාරයකුගේ ස්වභාවය ගත්තේය. ඒ සමඟම දේශපාලකයා හා අපරාධකාරයා එකිනෙකාගෙන් වෙන් කොට හඳුනාගත නොහැකි දෙමුහුන් තත්ත්වයකට පත්විය. වෘත්තීයවේදීන්, ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් හා පූජකයන්ද ආත්මාර්ථකාමී හා දූෂිත අය බවට පත්වූහ.

යුද්ධය අවසන් කිරීම
අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසුව විය යුතුව තිබුණේ රෝගී තත්ත්වයකට තිබූ සමාජය සුවපත් කොට ගොඩනගන්නට අසමත් වී තිබුණු ශ්‍රී ලාංකික ජාතිය ගොඩනගන අතර දූෂිත හා ජරපත් තත්ත්වයකට පත්ව තිබූ රාජ්‍යය ප්‍රතිනිර්මාණය කරන තැනකට යාමය. යුද්ධය අවසන් කිරීමෙන් පසුත් අර්බුදය අවසන් නූනේ එම ඓතිහාසික අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමට රට අසමත්වීම නිසාය.
යහපාලන ආණ්ඩුවට පක්ෂපාත සමහර මතධාරීන් තර්ක කරන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් අපේක්ෂා කරන්නේම ජාතිය ගොඩනැගීම හා රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීම වන බවය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් පමණක් ජාතිය ගොඩනැගිය නොහැකිය. ඉන්දියාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගන්නා ලද්දේ මතවාදී තලයේ විශාල ප්‍රමාණයකට ජාතිය ගොඩනගා ගැනීමෙන් පසුවය. දකුණු අප්‍රිකාව පවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගන්නා තැනකට ගියේ දකුණු අප්‍රිකානු ජාතිය ගොඩනගන ක්‍රියාදාමය විශාල ප්‍රමාණයකට සම්පූර්ණ කිරීමෙන් පසුවය.

ලංකාව යුද්ධය අවසන් කිරීමෙන් පසුව අද දක්වාම රටේ ඇතිවූ මහා ලේ වැගිරීම් කෙරෙහි බලපෑ හේතු මොනවාදැයි සොයා බලන තැනකට ගියේ නැත. එසේම රාජ්‍යයේ ඇතිවී තිබෙන කුණුවීම කෙරෙහි බලපා තිබෙන හේතු මොනවාදැයි සොයා බලන තැනකටද ගියේ නැත. එම අශීලාචාර කාලයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනද මිනිසුන්ට සිදුවූ හිංසා පීඩා හා දේපළ හානි ගැන සොයා බලන තැනකටද ගියේ නැත. පදිංචි වී සිටි ප්‍රදේශ අත්හැර යෑම නිසා ඉඩම් භුක්තියේ ඇතිවී තිබෙන අවුල් ගැනද කරුණු සොයා බලන තැනකට ගියේ නැත. එල්ටීටීඊ කාලතුවක්කු ප්‍රහාරවලින් ආරක්ෂාවීම සඳහා ආරක්ෂක හමුදාවන්ට සාමාන්‍ය මිනිසුන් භුක්ති විඳි ඉඩම්වලින් ඔවුන් පලවා හැර එම ඉඩම් කඳවුරු ප්‍රදේශ විශාල කරගැනීම සඳහා යොදා ගැනීමට සිදුවිය. ඒ ඉඩම් මුළුමනින් මුල් හිමිකරුවන්ට පවරාදීමට හෝ පවරා නොදෙන්නේ නම් ඒ සඳහා වන්දි ගෙවීමට සමත් වී නැත.

සංක්‍රාන්තික යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාදාමය තිබෙන්නේද එක තැන පල්වෙන තත්ත්වයකය. යුද්ධයේ අවසන් අදියරයේදී ආරක්ෂක හමුදාවල සමහර අය අතින් සිදුවී ඇතැයි කියන බරපතළ වැරදි ගැන සොයා බලන තැනකට යන්නට ආණ්ඩුව කැමති නැත. අඩුම වශයෙන් දීර්ඝ කාලයක් නඩු පැවරීමකින් තොරව අත්අඩංගුවේ තබාගෙන සිටින දෙමළ සිරකරුවන් මුදාහැරීමට අවශ්‍ය කරන ධෛර්යයද ආණ්ඩුවට තිබෙන බවක් පෙනෙන්නට නැත.

ව්‍යවස්ථා සම්පාදනය
ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තිබෙන්නේද ප්‍රශස්ත තත්ත්වයක නොව අවුල්සහගත තත්ත්වයකය. ලංකාව හැමදාමත් ව්‍යවස්ථා සම්පාදන විෂයේදී ඒ සඳහා තිබිය යුතු ශීලාචාරත්වය පෙන්නුම් කිරීමට අසමත් වූ රටකි. ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සැලකිය හැකි සෝල්බරි ව්‍යවස්ථාව පවා හදාගත්තේ සටකපට ආකාරයකටය. ඉන් අවුරුදු 24කට පසුව 1972 ව්‍යවස්ථාව හදාගත්තේද විරුද්ධ පක්ෂ හා එකඟත්වයක් ඇතිකර ගැනීමෙන් තොරව සිරිමා බණ්ඩාරනායක සභාග ආණ්ඩුවට තිබුණු තුනෙන් දෙකේ බලය පාවිච්චි කරමිනි. ඒ සමඟ ව්‍යවස්ථා සම්පාදනයට මුවාවී ආණ්ඩුව සිය නිල කාලය අවුරුදු දෙකකින් දීර්ඝ කර ගත්තේය. ඉන් තවත් අවුරුදු 6කට පසුව 1978 ව්‍යවස්ථාව හදාගත්තේද ආණ්ඩුවට තිබූ හයෙන් පහේ බලයෙනි. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තීන්ත වේලෙන්නටත් පළමුව විරුද්ධ පක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහිමි කොට දූෂිත ජනමත විචාරණයක් මගින් හයෙන් පහේ බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් අවුරුදු 6කින් දීර්ඝ කර ගත්තේය. ඉන්පසු තවත් අවුරුදු 22කට පසුව ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලයේදී තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කරළියට ගැනීමේ අසාර්ථක උත්සාහයක් ක්‍රියාත්මක විය. එම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට උත්සාහ කළේ තුනෙන් දෙකේ බලයක් සඳහා අවශ්‍ය ඉතිරි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මුදලට මිලදී ගැනීමෙනි.

ඉන් පෙනෙන්නේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය කරන තරමේ උසස් දේශපාලන ශිෂ්ටාචාරයක් පෙන්නුම් කිරීමට ලංකාව මෙතෙක් සමත් වී නැති බවය. දැන් යහපාලන ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නට යන්නේද උරුම කරගෙන තිබුණු එම අශීලාචාර තත්ත්වයෙන් අත්මිදීමකින් තොරවය. රටේ ලොකු ආර්ථික අර්බුදයක් තිබියදීත් මන්ත්‍රීවරුන්ට මීට පෙර වාහන විකුණා ලබාගන්නා ආදායම මෙන් දෙගුණයක් තරම් වන ආදායම් ලබාගත හැකි අධිසුඛෝපභෝගී වාහන හා ඔවුන්ට විවිධාකාරයේ අලුත් දීමනා ලබාදෙන ප්‍රතිපත්තියක් ඇති කළේ ආණ්ඩු පක්ෂයකට තිබෙන සංඛ්‍යා බලය ආරක්ෂා කර ගනිමින් හදන අලුත් ව්‍යවස්ථාවට ඔවුන්ගේ සහාය ලබාගැනීම සඳහා නොවේද? ඉන් පෙනෙන්නේ ව්‍යවස්ථා සම්පාදනයේදී ආණ්ඩුව දීර්ඝ සාකච්ඡා හා වාදවිවාද ඔස්සේ ඇතිකර ගන්නා එකඟතාවක් වෙනුවට අල්ලස් දී ඇතිකර ගන්නා එකඟතාවකට කැමති බවය. එවැනි වංක ප්‍රවේශයක් ඇති ව්‍යවස්ථා සම්පාදනයක් දූෂිත ව්‍යවස්ථා සම්පාදනයක් වශයෙන් මිස අවංක ව්‍යවස්ථා සම්පාදනයක් ලෙස සැලකිය හැක්කේ කෙසේද?

අරමුණ පැහැදිලි කරගැනීම
දීර්ඝකාලීන අශීලාචාර කාලපරිච්ඡේදයකට පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමේ අරමුණ විය යුත්තේ ජාතිය ගොඩනැගීමේ අරමුණ සම්පූර්ණ කරගැනීම හා දූෂිත හා ජරපත් තත්ත්වයකට පත්ව තිබෙන රාජ්‍යය ප්‍රතිනිර්මාණය කරගැනීමය.
මීට පෙරද සඳහන් කර තිබෙන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ජාතිය ගොඩනැගිය නොහැකිය. ඉන් කළ හැක්කේ මතවාදී තලයේ කෙරෙන දෘෂ්ටිමය අරගලයක් තුළ ගොඩනගන ලද ජාතියකට නීත්‍යනුකූල පදනමක් ලබාදීම පමණය. මතවාදී තලයේ කෙරෙන දෘෂ්ටිමය අරගලයකදී පිටු දැකිය යුතුව තිබෙන්නේ වර්ගභේදය පමණක් නොවේ. කුලභේදයද පිටු දැකිය යුතුය. වර්ගයට අතිරේකව කුලයද දකුණේ සිංහල කැරලි කෙරෙහි සේ ම උතුරේ දෙමළ කැරලි කෙරෙහිද බලපෑවේය. තරුණ අසහන කොමිසමේ මතය වන්නේද එයයි. ජනතා විමුක්ති පෙරමුණේ සේ ම දෙමළ කොටි සංවිධානයේද පාද සෙබළුන් බවට පත්වූයේ පීඩිත කුලවල තරුණ ජනයාය. මෙම සංවිධාන දෙක ප්‍රධාන කොට ව්‍යාප්ත වූයේද ගොවිගම හෝ වෙල්ලාල නොවන පීඩිත කුලවල ගම්වලය. වර්ගය එළිපිට පහර දෙන විට කුලය සැඟවී පහර දුන්නේය.
ලාංකේය ජාතිය ගොඩනගා ගැනීම සඳහා වර්ගභේදය පමණක් නොව කුලභේදයද පිටුදැකිය යුතුය. පීඩිත වර්ග කෙරෙහි ඇති පීඩනය පමණක් නොව පීඩිත කුල කෙරෙහි ඇති පීඩනයද නැති කළ යුතුය. එහෙත් ආණ්ඩුව මතවාදී තලයේදී වර්ගය විසඳාගත යුතු ප්‍රශ්නයක් ලෙස සලකා ඇතත්, කුලය විසඳා ගත යුතු ප්‍රශ්නයක් ලෙස සලකා නැත. වර්ගය, වර්ග අතර භේද ඇතිකරන විට කුලය, වර්ග තුළ භේද ඇති කිරීමට හේතුවී තිබේ.

වර්ග භේද ප්‍රශ්නයේදී පවා මතවාදී තලයේ පවත්නා වර්ග භේදවාදී ආකල්ප නැති කිරීමට ආණ්ඩුව බලවත් උත්සාහයක යෙදෙන්නේ නැත. වර්ග භේදවාදී ආකල්ප වර්ගවලට අයත් බහුතර ජනයාට ආවේණික ප්‍රශ්නයක් නොව අන්තවාදී අදහස් දරන සුළු පිරිසකට ආවේණික ප්‍රශ්නයකි. එහෙත් වර්ගවාදයෙන් තොර බහුතරය අසංවිධානාත්මකය. අන්තවාදී අදහස් දරන සුළු පිරිස සංවිධානාත්මකය. ඒ නිසා ඔවුන් නඟන හඬ බලවත් ලෙස ඇසෙන තත්ත්වයක පවතී.

“අපි දෙමළුන්ට හොඳ පාඩමක් ඉගැන්නුවා. දැන් තම්බින්ටද හොඳ පාඩමක් ඉගැන්විය යුතුයි.” යන්න මේ මොහොතේ සිංහල අන්තවාදීන් දරන ජනප්‍රිය මතය වී තිබෙන්නේ යැයි කිව හැකිය. ඔවුන් මුස්ලිම් භීතිකාවක් මවාපාමින් සිටිනුයේ ඒ අරමුණ සපුරා ගැනීම සඳහාය. මුස්ලිම් ජනයා කෙරෙහි වෛරයක් ඇති කිරීම සඳහා ඔවුන් කියන බොහෝ දේවල කිසිදු සත්‍ය පදනමක් නැත. මුස්ලිම් රෙදි සාප්පුවල විකුණන්න තිබෙන බ්‍රෙසියර්වල පියයුරු පිළිකා ඇති කිරීමට හේතුවන රසායන ද්‍රව්‍ය යොදා ඇතැයි කියන කතාව ඒ සඳහා දැක්විය හැකි එක් නිදසුනක් පමණය. මුස්ලිම් ජනයා කෙරෙහි වෛරසහගත හැඟීමක් ඇති කිරීමට හේතුවන සංවිධානාත්මක මතවාදී ව්‍යාපාරයකට අතිරේකව තැනින් තැන මුස්ලිම් කඩසාප්පුවලට පහරදෙන ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක වේ. ඒ ගැන ආණ්ඩුවට හොඳ අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නට ඇතත් මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුව බලයක් ලෙස පෙනී සිටින බවක් පෙනෙන්නට නැත. ඉන් පෙනෙන්නේ ආණ්ඩුවට වර්ග භේදයට එරෙහිව පවා බලවත් ප්‍රවේශයක් නැති බව නොවේද? එවැනි ආණ්ඩුවකට වර්ග භේදය පිටු දැකීමට හේතුවන හොඳ ව්‍යවස්ථාවක් හැදීමේ පුළුවන්කමක් තිබිය හැකිද?

රාජ්‍යය ප්‍රතිනිර්මාණය කිරීම
ආණ්ඩුවට ජාතිය ගොඩනැගී ම සඳහා වන ශක්තිමත් ප්‍රවේශයක් නොතිබෙනවා පමණක් නොව ජරපත් තත්ත්වයකට පත්ව තිබෙන රාජ්‍යය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා වන ශක්තිමත් දැක්මක්ද තිබෙන බවක් පෙනෙන්නට නැත. ප්‍රමාණාත්මක වෙනස්කම් තිබිය හැකි වුවද මේ ආණ්ඩුවද දූෂිතය. යහපාලන ආණ්ඩුවද පිරිසිදු හෝ පිරිසිදු වෙන්න කැමති ආණ්ඩුවක් ලෙස සැලකිය නොහැකිය. ආණ්ඩුව දූෂිත නම් හා දූෂිත බව තුළ ජීවත්වීමට කැමති නම් එවැනි ආණ්ඩුවක් රාජ්‍යයේ පවත්නා දූෂිත බව තුරන් කිරීමට හේතුවන ව්‍යවස්ථාවක් තනනු ඇතැයි සිතිය නොහැකිය. එම තත්ත්වය ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදන දර්ශනය තුළද හොඳින් පෙනෙන්නට තිබෙන්නේය.
රාජ්‍යයේ දූෂිත බව කෙරෙහි දේශපාලකයන්ගේ දූෂිත බව වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන්නේයැ’යි කිව හැකිය. රාජ්‍යයේ තිබෙන දූෂණය පාලනය කළ නොහැකි දෙයක් බවට පත්ව තිබෙනුයේ රාජ්‍යයේ සුක්කානම හසුරුවන දේශපාලකයන්ට ආවේණික දූෂිත බව නිසාය.

1977ට පෙර දේශපාලකයන් නිර්මාණශීලී ප්‍රඥාවන්තයන් නූනද ඔවුන් දූෂිතයන් නොවීය. ඔවුන් දේශපාලනය කළේ අයථා ලෙස ධනය උපයා ගැනීම සඳහා නොව නම්බුව සඳහාය. ඒ කාලයේ දේශපාලනඥයන්ට අයථා ලෙස ධනය උපයා ගැනීමේ හැකියාවක්ද නොවීය. පාර්ලිමේන්තුවට තේරී පත්වන කවර පුද්ගලයෙකුටවත් ආණ්ඩුව සමඟ ව්‍යාපාර කිරීමේ අයිතියක් නොතිබුණි. බලපත්‍ර ක්‍රමයට වාහනයක් ලබාගැනීමේ හැකියාව තිබුණද ඒවා විකුණා ලාභ ලබාගැනීමේ හැකියාවක්ද නොතිබුණු නිසා ඒ ක්‍රමයට වාහන ලබාගැනීමක්ද සිදු නොවීය. මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් ලෙස හෝ බලපත්‍රලාභීන් ලෙස ක්‍රියාකිරීමේ හැකියාවක් නොතිබුණි. එවැනි වරදක් කරන ඕනෑම කෙනෙකුගේ මන්ත්‍රී ධුර අහිමි කිරීමට හේතුවන දැඩි විධිවිධාන තිබුණි. ගාල්ලේ ඇල්බට් සිල්වාට මන්ත්‍රීකම අහිමි වූයේ ඉන්ධන බලපත්‍රයක් තිබීම නිසාය.

එම ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත ආණ්ඩුක්‍රමයක් පවත්නා හැම රටකම පාහේ දක්නට ලැබෙන ක්‍රමයකි. එය ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත ආණ්ඩු ක්‍රමයක් පවත්නා රටවල මහජන නියෝජිතයන්ට අදාළව දක්නට තිබෙන වැදගත්ම ලක්ෂණයක් ලෙසද සැලකිය හැකිය.

වක්කඩ කැඩීම
මහජන නියෝජිතයන්ට දූෂණයට යොමුවීමට තිබෙන ඉඩ වැළකීම සඳහා පවත්වාගෙන ගිය එම වැදගත් සම්ප්‍රදාය කුණු කූඩයට දමන ලද්දේ 1977දීය. ඒ සමඟ මහජන නියෝජිතයන්ට ආණ්ඩුව සමඟ ව්‍යාපාර කිරීමේ අයිතිය හිමිවිය. ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ රජයට පවරාගෙන තිබුණු වටිනා වතු ඉතාමත් අඩු මිලකට හිමිකර ගැනීමේ හැකියාව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ආණ්ඩුවට පක්ෂ රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ලදි. ආදායම් උපයාගත හැකි රජයේ විවිධ බලපත්‍රද මන්ත්‍රීවරුන්ට ලබාදෙන ලදි. පසුකලකදී මත්පැන් බලපත්‍ර දහස් ගණනක් නිකුත් කරන ලද්දේද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හරහාය. බදු විරහිත පදනමක් යටතේ බලපත්‍ර ක්‍රමයට ලබාදෙන වාහන විකිණීම හෝ අන්සතු කිරීම රේගු නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වුවද එම නීතිය නොතකා එම වාහන විකුණා ආදායම් උපයා ගැනීමේ අයිතිය මන්ත්‍රීවරුන්ට ලබාදෙන ලදි.

ඒ අනුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් හා පිළිගත් සම්ප්‍රදායක්ව පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමඟ ව්‍යාපාරවල යෙදීමට පනවා තිබූ තහනම ඉවත් කොට ඔවුන්ට ආණ්ඩුව සමඟ ව්‍යාපාර පවත්වාගෙන යෑමේ අයිතිය ලබාදෙන ලදි. ඒ නිසා මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමඟ ව්‍යාපාර කරන ලොකු ජාවාරම්කාරයන් බවට පත්වූහ. ඔවුන්ගෙන් සමහරෙක් ඉතා අඩු මිලකට රජයේ වතු මිලදී ගෙන වැවිලිකරුවන් බවට පත්වූහ. තවත් සමහරෙක් ආණ්ඩුවේ ලොකු කොන්ත්‍රාත්කරුවන් බවට පත්වූහ. තවත් සමහරෙක් බලපත්‍රලාභී ලොකු දැව ජාවාරම්කරුවන් බවට පත්වූහ. ආණ්ඩුවේ ව්‍යාපෘතිවලට ගල්, වැලි සපයන්නන් බවට පත්වූහ. තවත් සමහරෙක් තැබෑරුම්කරුවන් බවට පත්වූහ.

ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිගත් මූලධර්මයකට පටහැනි දේශපාලනඥයන් මුළුමනින් දූෂිත කිරීමට හේතුවී තිබෙන මෙම අවලස්සන සම්ප්‍රදාය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෙනස් කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරන්නේ නැත. ආණ්ඩුව නව රාජ්‍යයක් නිර්මාණය කරන්නට යන්නේ එම කැත සම්ප්‍රදායද ආරක්ෂා කෙරෙන ආකාරයටය. එය රාජ්‍යය දූෂිත කිරීමට හේතුවී තිබෙන ප්‍රබලතම හේතුව ලෙස සැලකිය හැකිය. රාජ්‍ය දූෂණයෙන් තොර කිරීමට අවශ්‍ය නම් රාජ්‍යයේ සුක්කානම හසුරුවන දේශපාලකයන්ට අයථා ලෙස ධනය උපයා ගැනීමට ඉඩ ලබාදී තිබෙන එම දොරටුව මුළුමනින් වැසිය යුතුය. ඒ සඳහා කළ හැකි හොඳම දේ වනුයේ 1977ට පෙර ලංකාවේ පැවති ක්‍රමය එනම් මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමඟ ව්‍යාපාර කිරීම වළකන හා එසේ කරන අයගේ මන්ත්‍රීකම් අහිමි කරන ක්‍රමය නැවත ඇති කිරීමය.

ඒ සඳහා ඊට අතිරේකව යොදාගත හැකි තවත් දෙයක් වනුයේ වත්කම් බැරකම් නීතිය බලවත් කොට එය විශේෂ වශයෙන් දේශපාලනඥයන් සඳහා අකුරටම ක්‍රියාත්මක කිරීමය. වත්කම් බැරකම් නීතිය බලවත් කොට සියලු දේශපාලකයන්ගේ වත්කම් බැරකම් සොයා බලන තැනකට ගියහොත් දේශපාලකයන් වැඩි පිරිසකට හිරබත් කරන්නට සිදුවනු නොවැළැක්විය හැකිය. එහෙත් ඇති කර ගන්නට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දූෂණයට එරෙහිව යන එවැනි ඉදිරි දර්ශනයක් නැත. ඒ නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත්තද රටට ලැබෙනු ඇත්තේ දූෂණයෙන් තොර පිරිසිදු රාජ්‍යයක් නොව තවදුරටත් දූෂණය රජ කරන අපිරිසිදු රාජ්‍යයකි.

අධිකරණ ප්‍රතිසංස්කරණ

අධිකරණයද රාජ්‍ය ප්‍රතිසංස්කරණය කෙරෙන වැඩසටහනකට ඇතුළත් විය යුතු රාජ්‍යයේ වැදගත්ම අංගයක් ලෙස සැලකිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක යහපැවැත්ම සඳහා ස්වාධීන අධිකරණ ක්‍රමයක් තිබීම අත්‍යවශ්‍යය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් තුළ ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ කටයුතු විමර්ශනය කිරීමේ වගකීම ඇත්තේ අධිකරණයටය. රටක නීතියේ පාලනයක් තිබිය හැක්කේ ස්වාධීන, අපක්ෂපාත, නීතියට අනුකූලව ක්‍රියාකරන අධිකරණ ක්‍රමයක් තිබේ නම් පමණය. ව්‍යවස්ථාදායකයට හෝ විධායකයට මහජනයා පීඩාවට පත්කිරීමට හේතුවන විශේෂ බලයක් ආරෝපණය කරගැනීමට ඉඩ නොදීමේ වගකීම ඇත්තේ අධිකරණයටය. මහජන අයිතිවාසිකම්වලදී සේ ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂකයා ලෙස ක්‍රියාකළ යුත්තේද අධිකරණයයි. ඒ සඳහා අධිකරණය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන විය යුතුය. තමන් වෙත පැවරී තිබෙන සමාජ වගකීම පිළිබඳව හොඳ අවබෝධයක් අධිකරණයට තිබිය යුතුය. ඒ සඳහා අවශ්‍ය සියලු බලතල අධිකරණයට තිබිය යුතුය.

එහෙත් අපට තිබෙන්නේ විශ්වාසයට හෝ ගෞරවයට හේතුවන අධිකරණයක් නොවේ. විශේෂ වශයෙන් ගතහොත් අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ පාලන කාලයේදී අධිකරණයද අන්ත දූෂිත තත්ත්වයකට පත්විය. විවිධ අවස්ථාවලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරන තැනකට ගියේය. විනිසුරුවරුන්ගේ ගුණධර්මවලද විශාල පිරිහීමක් ඇතිවිය.

නීිතියට හා සාධාරණත්වයට පටහැනිව දෙන අධිකරණ තීන්දු වර්තමානය කෙරෙහි පමණක් නොව අනාගතය කෙරෙහිද බලපායි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට හයෙන් පහක බලයක් තිබුණු පාර්ලිමේන්තුවේ නිල කාලය ජනමත විචාරණයකින් දීර්ඝ කරගැනීමට ඉඩ ලබාදෙන තීන්දුව ඒ සඳහා දැක්විය හැකි එක් නිදර්ශනයකි. එම තීන්දුව අද දක්වාම නිෂ්ප්‍රභ කර නැත. ඒ නිසා වෙනත් පාලකයකුට වුවද තමන්ට වැඩි බලයක් තිබෙන පාර්ලිමේන්තුවක නිල කාලය ජනමත විචාරණයකින් දීර්ඝ කරගත හැකිය. සරත් නන්ද සිල්වාගේ පාලන කාලයේදීද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් උල්ලංඝනය කිරීමට හේතුවන ආකාරයේ තීන්දු ගණනාවක්ම ලබා දුන්නේය. ඒ සඳහා සිංහරාසා නඩු තීන්දුව පමණක් මෙහි කෙටියෙන් සලකා බැලේ.

සිංහරාසා නඩු තීන්දුව
යුරෝපා සංගමය ලංකාවට ලබාදී තිබුණු ජී.ඇස්.පී. ප්ලස් සහනය අවලංගු කිරීමට ප්‍රධාන කොටම බලපෑවේ සිංහරාසා නඩු තීන්දුවය. අනෙක් අතට එම නඩු තීන්දුව නිසා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය හා ඊට අදළ විකල්ප ප්‍රොටකෝලය යටතේ රටේ ඉහළම අධිකරණයෙන් යුක්තිය ඉටු නොවන අවස්ථාවකදී එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලි කොට එහි ඒ සඳහා කෙරෙන පරීක්ෂණයකින් පසුව සහන ලබාගැනීමට පුරවැසියන්ට තිබූ අයිතිය අහිමි කිරීමක්ද සිදුවිය. එහෙත් ඒ වරද අද දක්වා නිවැරදි කර නැත. යහපාලන ආණ්ඩුවේ දේශපාලන මුග්ධභාවයේ තරම ඉන් තේරුම් ගත හැකිය.

සිංහරාසා ලංකාණ්ඩුවේ හමුදා කඳවුරකට පහර දුන්නේය කියන චෝදනාව යටතේ නඩු පවරා අවුරුදු 37ක සිරදඬුවමක් විඳිමින් සිටි පුද්ගලයෙකි. අධිකරණය ඔහු එම චෝදනාවනට වැරදිකරු කර තිබුණේ රඳවා තබා ගැනීමේ නියෝගයක් මත රඳවාගෙන සිටියදී ලබාගන්නා ලද කටඋත්තරයකට ඇතුළත් කරුණුවලිනි. ඔහුගේ කටඋත්තරය ලියාගෙන තිබෙුණ් සිංහල භාෂාවෙනි. එහිදී භාෂා පරිවර්තකයකුගේ සහාය ඔහුට ලබාදී නොතිබුණි.

සිංහරාසා එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ජිනීවා මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලි කළේය. පැමිණිල්ල විභාගයට ගත් එම කමිටුව සිංහරාසා නඩුවේදී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ එන අයිතිවාසිකම් ගණනාවක් (14 (1) සාධාරණ නඩු විභාගයකට තිබෙන අයිතිය, 14 (3) භාෂා පරිවර්තකයෙකුගේ සහාය ලබාගැනීමට තිබෙන අයිතිය, 14 (3) :ජ* ලොකු ප්‍රමාදයකින් තොර නඩු විභාගයකට තිබෙන අයිතිය) උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කරමින් සිංහරාසාට නැවත ඉක්මන් නඩු විභාගයක් ලබාදිය යුතු බවටත්, එසේ නොවේ නම් ඔහු නිදහස් කළ යුතු බවටත් නිර්දේශ කළේය. සිංහරාසාගේ නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ එම නිර්දේශ ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා නියෝගයක් ලබාගැනීම සඳහාය.

නඩුව විභාගයට ගත්තේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප්‍රධාන විනිසුරු මඬුල්ලක් ඉදිරියේය. සරත් නන්ද සිල්වා එහිදී දෙන ලද තීන්දුව වූයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියට අදාළ ප්‍රොටකෝලයේ එන විධාන ක්‍රියාත්මක කිරීමට දේශීය නීතියක් නැති නිසා මානව හිමිකම් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය.

සරත් සිල්වාගේ එම තීන්දුව මුළුමනින් නීතියට පටහැනිය. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ඊට පෙර දෙන ලද තීන්දු දෙකක් තිබුණි. ඉන් එකක් දී තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආචාර්ය මාර්ක් ප්‍රනාන්දු මහතාය. (Weerawansa V Attoorney General and others SLR-2000-P. 387-408) අනෙක් තීන්දුව දී තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආචාර්ය ඒ.ආර්.බී. අමරසිංහ මහතාය. (Wickramatunga V Anuruddha Ratwatte, SCFR 228/96)
ආචාර්ය අමරසිංහගේ නඩු තීන්දුවෙහි සඳහන් වන්නේ ‘දැන් පුරවැසියන්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ ආරක්ෂාව ලබාගැනීමේ අයිතිය ලැබී තිබෙන බවත් එම කමිටුව දෙනු ලබන තීරණයන් ක්‍රියාත්මක නොවන්නේ නම් එය නීතියේ ආරක්ෂාව අහිමි කිරීමක් ලෙස සැලකිය හැකි බවත්ය.

ආචාර්ය මාක් ප්‍රනාන්දුගේ තීන්දුව විස්තරාත්මකය. අයිතිවාසිකම් අහිමි කරනු ලැබූ පුද්ගලයෙකුට නීතියේ ආරක්ෂාව ලබාගත හැකි බවත් එය අන්තර්ජාතික නීතියෙන්ද පිළිගැනෙන අයිතිවාසිකමක් බවද දේශීය ඉහළ අධිකරණයෙන් එම ආරක්ෂාව නොලැබූ පුද්ගලයෙකුට ඒ ගැන මානව හිමිකම් කමිටුවට පැමිණිලි කළ හැකි බවත් එහි සඳහන් වේ.
ඉන්පසු ඔහු විග්‍රහ කරන්නේ මානව හිමිකම් කමිටුව දෙනු ලබන තීරණයන් ලංකා අධිකරණය පිළිගත යුතුද කියන ප්‍රශ්නයයි. මාක් ප්‍රනාන්දු මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 (15) වගන්තිය සමඟ 12 (1) වගන්තිය එක්ව ගනිමින් කියන්නේ එම කමිටුව දෙනු ලබන තීරණයන් පිළිගැනීම හා ඒවා ක්‍රියාත්මක කිරීමට ලංකා ආණ්ඩුව සේ ම අධිකරණයද බැඳී සිටින බවය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය හා ඒ යටතේ ක්‍රියාත්මක වන මානව හිමිකම් කමිටුව හා එම කමිටුව දෙනු ලබන තීරණයන් පිළිබඳව ඒ තරම් පැහැදිලි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු දෙකක් තිබියදී සරත් නන්ද සිල්වා සිය හිතුවක්කාරී හා ආත්මාර්ථකාමී තීන්දුව දෙන ලද්දේ එම තීන්දු දෙක මුළුමනින් නොසලකාය. එය ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුවූ දැවැන්ත වංචාවක් ලෙස සැලකිය හැකිය.
සිංහරාසා නඩුව සරත් නන්ද සිල්වා ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගැනීම පවා නීතියට පටහැනිය. මෙම නඩුව විභාගයට ගැනීම පවා නීතියට පටහැනිය. මෙම නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී ජිනීවා මානව හිමිකම් කමිටුව ඉදිරියේ ඇසෙමින් තිබූ පැමිණිලි වැඩි හරියක් සරත් නන්ද සිල්වා දෙන ලද තීන්දුවලට එරෙහිව ඉදිරිපත් කරන ලද පැමිණිලි විය. ඊට අතිරේකව එතෙක් මානව හිමිකම් කමිටුව දී තිබූ තීරණයන් වැඩි හරියක්ද සරත් නන්ද සිල්වාට අදාළය. එම කමිටුව වෙත ඉදිරිපත් කෙරුණු විභාගයට ගැනුණු ශ්‍රී ලංකාවේ පළමු පැමිණිල්ල මාගේය. එයද සරත් නන්ද සිල්වාට අදාළය. එම පරීක්ෂණයෙන් ජය අත්වූයේද මටය.

ඒ අර්ථයෙන් ගත්විට මානව හිමිකම් කමිටුව හා ඊට අදාළ ක්‍රියාදාමය සරත් නන්ද සිල්වාට ලොකු හිසරදයක් වී තිබුණේ යැයි කිව හැකිය. ඔහු එම හිසරදයෙන් නිදහස්වීමට සිංහරාසා නඩුව පාවිච්චි කළේය. ඔහු අවසාන විග්‍රහයේදී තමාගේම නඩුවක් අසා තමාට වාසිසහගත තීන්දුවක් දුන්නේය.
ඔහු එම නීතියට පටහැනි වංචාකාරී තීන්දුවෙන් අහිමි කරන ලද්දේ සිංහරාසාගේ අයිතිවාසිකම් පමණක් නොවේ. ඔහු ඒ මගින් එම අන්තර්ජාතික ප්‍රඥප්තියෙන් ලංකාවේ ජනතාවට ලැබී තිබුණු අයිතිවාසිකම්ද අහිමි කළේය. දැන් ලංකාවේ ජනතාව සැලකිය හැක්කේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියෙන් ලැබී තිබුණු අයිතිවාසිකම් අහිමි කරනු ලැබූ ජනතාවක් ලෙසය.
එය ලංකාවේ ජනතාවට කර තිබෙන බලවත් වරදක් බව අමුතුවෙන් කිවයුතු නැත. එම බලවත් වරද යහපාලන ආණ්ඩුව නිවැරදි කර නැත. ඒ තරමටවත් මිනිස් අයිතිවාසිකම් ගැන සංවේදී නැති ආණ්ඩුවක් හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන්නේ කෙසේද?■