ව්‍යවස්ථා කඹ ඇදිල්ල


kathu

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා යන ගමන පමා වන්නේ එය ජාතික කර්තව්‍යයකට වඩා ඒ ඒ පක්‍ෂවල න්‍යාය පත්‍රය මත තීන්දු කළ යුතු එකක්යැ’යි සමහර දේශපාලන පක්‍ෂ කල්පනා කරන නිසා ය. මේ වන විට, ව්‍යවස්ථා සම්පාදනයේ මූලික අදියර කිහිපයක් අවසන් වී ඇති නමුත්, ඒ සමහර පක්‍ෂවල විවිධාකාර බාධා මධ්‍යයේ ය.
මෙහෙයුම් කමිටුව විසින් සකස් කරන ලද මූලික අදහස් ඇතුළත් කෙටුම්පතක් පක්‍ෂවල අදහස් දැක්වීම සඳහා දැන් නිකුත් කර තිබේ. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවමත් මේ කෙටුම්පත ගැන තම අදහස් ඉදිරිපත් කර නැත. යම් හෙයකින් ශ්‍රීලනිපය ඒ වගකීම පැහැර හැරියහොත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය එහෙමපිටින් ම ඇන හිටින්නට වුණත් ඉඩ තිබේ.
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රීලනිපය තුළ ඇත්තේ ව්‍යාකුලතාවකි. ඒ ව්‍යාකුලතාව මත එකිනෙකට සම්බන්ධයක් නැති විවිධ හේතූදාහරණ ඔවුන්ගෙන් ප්‍රකාශ වෙයි. පක්‍ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට බලාපොරොත්තුවෙන් සිටින්නේ ය. ඔහුගේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක් නම් එය යි. ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කියන අන්දමට, එම ස්ථාවරයෙන් තමා කිසි විටෙක වෙනස් වී නැත. එහෙත්, ශ්‍රීලනිපය පක්‍ෂයක් හැටියට ඉන්නේ වෙනත් ස්ථාවරයක ය. ඔවුන් කියන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළ යුතු බව ය. ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනවලට නොඑළඹිය යුතු බව ය. ජනමත විචාරණයකට නොයා යුතු බව ය.
මේ කාරණා තුන ම ජනවාරි 8 ජයග්‍රහණය කළ මහජන අභිලාෂයන්ට විරුද්ධ ය. ජනවාරි 8වැනිදා මහජන වරමක් ලැබුණේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට ය. එය අහෝසි කළ හොත් යන්නට සිදු වන්නේ නාමික ජනාධිපති ධුරයක් සහිත පාර්ලිමේන්තු ක්‍රමයකට යි. එසේ කළහොත්, මෙතෙක් කල් ලංකාවේ පැවැති රාජ්‍ය ව්‍යුහය වෙනස් වෙයි. එවැනි වෙනස්කමක් සඳහා යා හැක්කේ ජනමත විචාරණයක් හරහා පමණකි. ජනමත විචාරණයක දී සිදු වන්නේ අලුත් ව්‍යවස්ථාව සඳහා රටේ පරමාධිපත්‍යය හිමි මහජනතාවගේ අනුමැතිය උරගා බැලීම යි. ඒ අලුත් ව්‍යවස්ථාවට ජනතා අනුමැතිය ලැබුණහොත්, ලංකාවේ ජනතාවගේ අනුමැතියෙන් සම්මත කරන ලද පළමුවැනි ඓතිහාසික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එය බවට පත් වන්නේ ය.
එහෙත්, තවමත් ව්‍යවස්ථාවේ කෙටුම්පතක් වත් සකසා ගන්නට තරම් එහි කාර්ය පටිපාටිය තීරණාත්මක අදියරකට පැමිණ නැත. මේ නිසා, තැනින් තැන කතාබහ ඇති වී තිබෙන්නේ කෙටුම්පතක් නැති ව්‍යවස්ථාවක් ගැන ය. ඒ අතර නිල නොවන ලියැවිලි සොයා ගත් සමහරුන් ව්‍යවස්ථාවේ තිබෙන්නේ මේ දේවල්යැ’යි කියමින් විවිධ මිථ්‍යාවන් හා රකුසන් මවා පෙන්වනු ද, ව්‍යවස්ථාව ගැන තම තමන්ගේ අර්ථකථනයන් දෙනු ද පෙනේ.
ඊට අමතර ව ආණ්ඩුවේ වගකිවයුත්තන් ව්‍යවස්ථාව ගැන කිසි ම අදහසක් ප්‍රකාශ කිරීමෙන් ද, ව්‍යවස්ථාවේ වගකීම තමන් උර මතට ගැනීමෙන් ද දැනුවත් ව වලකින්නට ඒ තත්ත්වය උපයෝගි කර ගන්නා බව පෙනෙයි. කෙටුම්පතක් වත් තව ම නැති ව කතා කරන්නේ කොහොම ද යන්න ඔවුන්ගේ පොදු අදහස යි.
මේ තත්ත්වය වෙනස් කිරීමට නම් අලුත් ව්‍යවස්ථා ක්‍රියාවලිය වේගවත් කළ යුතු ය. ඒ සඳහා සමහර පක්‍ෂ දැනට කරන කඹ ඇදිල්ලෙන් මිදී මේ ක්‍රියාවලියට ඇත්ත වශයෙන් ම සහයෝගය දිය යුතු ය.
අලුත් ව්‍යවස්ථාව සකස් විය යුත්තේ ජනවාරි 8 ලැබුණු ජන අනුමැතියට අනුකුලව ය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මධ්‍යය හා පර්යන්තය අතර බලය බෙදා හදා ගැනීම, නව මැතිවරණ ක්‍රමයක් ඇති කර ගැනීම යන කාරණා ඒ ජන අනුමැතිය ලත් ප්‍රධාන කාරණා අතර වෙයි. එනිසා, අලුත් ව්‍යවස්ථාවකින් තෘප්ත විය යුත්තේ ඒ කාරණා ය. ශ්‍රීලනිපය තේරුම් ගත යුත්තේ පක්‍ෂයක් හැටියට ඒ ස්ථාවරය සමඟ සිට ගත යුතු බව යි.
විධායක ජනාධිපති ක්‍රමය ආරක්‍ෂා කිරිම වනාහි ශ්‍රීලනිපයේ අතීතයට පිටුපෑමකි. 1978දී විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දෙන විට එහි ඇති භයානකකම ගැන පැහැදිලි අදහසක් ඇති ව සිටි එක් කෙනකු නම් එවකට ශ්‍රීලනිප නායිකා සිරිමා බණ්ඩාරනායක මැතිනිය යි. එසේ ම විධායක ජනාධිපති ක්‍රමය නිසා පෞද්ගලික ව වැඩියෙන් ම බැට කෑ කිසිවෙක් ඇත්නම් ඒ ද ඇය ම යි. අවසාන ජනාධිපතිවරණයේ දී හැර, ශ්‍රීලනිප ජනාධිපති අපේක්‍ෂකයන් හැම විට ම පෙනී සිට ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙනි. අවසාන ජනාධිපතිවරණයේ දී වුව, දැන් එහි සභාපතිවරයා වන පොදු අපේක්‍ෂකයා පෙනී සිටියේ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙනි.
එවැනි පසුබිමක සිට පැවැත එන ශ්‍රීලනිපය, අලුත් ව්‍යවස්ථා ක්‍රියාවලියේ කකුලෙන් නොඇද සාධනීය යෝජනා ඉදිරිපත් කරමින් ඊට දායක වීම රටේ බලාපොරොත්තුව යි. එසේ නොමැති වන්නේ නම්, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය විනාශ කිරීමට දායක වුණු පක්‍ෂයක් හැටියට ශ්‍රීලනිපයේ නම තිබෙනු ඇත්තේ දේශපාලන කුණු බක්කියේ ය.■