රාවය

සම්මුති අාණ්ඩුවට යා හැකි දුර

සම්මුති අාණ්ඩුවට යා හැකි දුර

මනුවර්ණ

සම්මුති ආණ්ඩුවේ ඇමති මණ්ඩලය 2015 අගෝස්තු මාසයේ පත්කළ අවස්ථාවේදීම, එය කිසිම විiානුකූල පදනමක් නැති අමාත්‍යාංශ බෙදීමක් හැටියට හැමෝටම පෙනුණි. රාජපක්‍ෂ ආණ්ඩුවේ විකාර ඇමතිකම් බෙදීමට විකල්පයක් හැටියට ගෙන ආ ආණ්ඩුවක් එවැනිම විකාරයක් කිරීම කාගේත් නොසතුටට හා හාස්‍යයට හේතුවිය. ජනාධිපතිවරයා විසින් නිකුත්කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් පසුගිය සතියේ ප්‍රකාශයට පත්වුණු අමාත්‍යාංශවලට අදාළ ආයතන හා විෂයයන් දුටුවිට, ආණ්ඩුව තවදුරටත් යන්නේ ඒ විකාරසහගත ගමනේම බව තවදුරටත් තහවුරු වන්නේය. නැතිනම්, ලෝකයේ කොහේවත් නැති, ලොතරැයි මණ්ඩල දෙකක් පාලනය කරන විදේශ අමාත්‍යාංශයක් ලංකාවේ පමණක් තිබෙන්නට විදියක් නැත.

ලොතරැයි මණ්ඩල දෙක රවි කරුණානායක ඇමතිවරයාට පවරන්නට සිදුවීමෙන් පෙනෙන්නේ ජනාධිපතිවරයාගේ වරදක්ම නොවේ. ඔහුගේ සීමාවයි. මුදල් ඇමති පදවිය හැර යන්නට නම් ලොතරැයි මණ්ඩල දෙක, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල වැනි එතෙක් මුදල් අමාත්‍යාංශය යටතේ පැවැති ආයතන තමා වෙත ම බාරදිය යුතුයැයි රවී කරුණානායක ඇමතිවරයා කොන්දේසි දැමූ බව මාධ්‍ය වාර්තා කළත්, තවදුරටත් දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයා එම යෝජනාවට කිසිසේත්ම කැමති නැති බවය. එහෙත්, දැන් එය සිදුවී තිබේ.

ඒ අතර, මුදල් අමාත්‍යාංශය යටතේ තිබුණු මහ බැංකුව හා රාජ්‍ය බැංකු මේ ගැසට් පත්‍රයෙන් යළි මුදල් අමත්‍යාංශයට පැවරීමට නොහැකිවීම හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්ඒ විජේවර්ධන දකින්නේ බලවත් අඩුපාඩුවක් ලෙසිනි. 2015 පිහිටුවන ලද දින සියේ ආණ්ඩුව තුළදී, එතෙක් මුදල් අමාත්‍යාංශය යටතේ පැවැති මහ බැංකුව ප්‍රතිපත්ති සැලසුම් හා ආර්ථික සම්බන්ධතා අමාත්‍යාංශයට පවරාගන්නා ලදි. අදාළ ඇමතිවරයා වුණේ අගමැති රනිල් වික්‍රමසිංහය. රාජ්‍ය බැංකුද මුදල් අමාත්‍යාංශයෙන් ගලවා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට පවරන ලදි. දින සීයේ ආණ්ඩුවේ තාවකාලික පියවරක් හැටියට එය පිළිගත හැකි වුණත්, ඒ වසරේ අගෝස්තු මහ මැතිවරණයෙන් පසුද තත්ත්වය එලෙසම පැවතිණැයි, ජුනි 12වැනිදා ඬේලිඑෆ්ටී පුවත්පතට ලිපියක් ලියන ආචාර්ය විජේවර්ධන පවසයි. ජනාධිපතිවරයා පසුගියදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයෙන්වත් ඒ වරද නිවැරදි කර මහ බැංකුව හා රාජ්‍ය බැංකු මුදල් අමතිවරයාට පැවරිය යුතුව තිබිණැයි කියන විජේවර්ධන මහතා, තමාට අදාළ ආයතන නොලැබීම හරහා තටු ගැටගසන ලද මුදල් ඇමතිවරයාට පියාඹන්නටයැයි කීම, දුන්න දුනුගමුවේ, ඊතල කිතලගමුවේ කියන කියමන පුනරුච්චාරණය වීමක් බවද කියයි. ඔහුගේ කියන්නේ එකම විෂයයකට අයත් ආයතන එක් එක් අමාත්‍යාංශය යටතේ තිබීම කිසිම තර්කානුකූල පදනමක් නැති අසාර්ථක ප්‍රතිඵල ගෙනදෙන්නක් බවයි.
මේ ආකාරයට ආණ්ඩුවේ තීන්දු තීරණ විද්වතුන්ගේ විවේචනයට ලක්වීම දැන් නිරන්තරයෙන් සිදුවන තරමට ඒ තීන්දු තීරණ වැරදිය. අදූරදර්ශීය.

ලොතරැයි මණ්ඩල දෙක විදේශ ඇමතිවරයාටම පවරන්නට සිදුවීමෙන් පෙනෙන කාරණාවක් නම්, එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරයා වෙත එල්ලවී තිබෙන පීඩනයයි. ඇමති මාරුවක් සිදුකරනවාටත්, කරුණානායක මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් කරනවාටත් අගමැතිවරයාගේ කැමැත්තක් තිබුණේ නැත. එහෙත්, ජනාධිපතිවරයා දිගින් දිගටම ඒ ස්ථාවරයේ සිටීම නිසා සිය අදහස වෙනස්කරගන්නට අගමැතිවරයාට සිදුවිය. කරුණානායක මහතාද ඇමති ධුරය වෙනස්කිරීමට බරපතළ විරෝධයක් දැක්වූ අතර, එය පක්‍ෂය තුළදී මෙන්ම ප්‍රසිද්ධියේද ප්‍රකාශ කළේය. ඇමති මණ්ඩල වෙනසට පෙර පැවැති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කරුණානායක ඇමතිවරයා විදේශ ඇමතිධුරය සඳහා කැමති කරවාගන්නට මහත් උත්සාහයක යෙදෙන්නට සිදුවිය. අවසානයේ ඔහු විදේශ ඇමතිකම ගන්නට දැමූ කොන්දේසි අතර ලොතරැයි මණ්ඩල තමා වෙත පැවරීමද එකක් විය. ඒ කොන්දේසිය අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදුව, දැන් යථාර්ථයක් වී තිබේ. ඒ එය මඟහැර යෑමට ජනාධිපතිවරයාට නොහැකි වීම නිසාය. එජාපයේ දේශපාලන බලය අබිබවා නොයන්නට ජනාධිපතිවරයා තීරණය කිරීම ආණ්ඩුවේ සම්මුතික පැවැත්මට හොඳය. එහෙත්, ඒ තීන්දුව හරහා සමස්තයක් හැටියට ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් නිගා කරන්නේ, ජනවාරි 8 මහජනතාවගේ යහපාලන අභිලාෂයන්ටය. සම්මුති ආණ්ඩු සංකල්පය විසින්ම 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ එන ඇමති මණ්ඩලය 30කට සීමා කිරීමේ විධිවිධානය කඩකරන ලදි. ඒ මොහොතේ දේශපාලන වුවමනාවක්ව පැවැති විiානුකූල ඇමති මණ්ඩලයක් ඇතිකර ගැනීමට ආණ්ඩුව අසමත්වුණා පමණක් නොව, තවදුරටත් අසමත් වෙමින් සිටින බව මෙවැනි නොනවතින විහිළුවලින් පෙනෙයි.

තමාට එජාපයෙන් එන පීඩනයට ජනාධිපතිවරයා පිළිතුරු දෙන්නේ එජාප ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් බව පිටතට දැනෙන්නට හැරීමෙනි. ඒ සඳහා දක්වන්නට ඕනෑ තරම් උදාහරණ ජනාධිපතිවරයාට තිබේ. ආසන්නතම උදාහරණය, මුස්ලිම් ජනතාවට විරුද්ධව කෙරෙන ප්‍රහාරවලදී පොලිසිය දක්වන අසමත්කමයි. එය හුදු පොලිස්පතිවරයාගේ දුර්වලකමක් පමණක් නොව නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයාගේ දුර්වලකමක් හැටියටද පහසුවෙන් අර්ථදැක්විය හැකිය. ඇත්තටම වුණත් තත්ත්වය එයයි. එහෙත්, නීතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක වෙත කරන ඕනෑම චෝදනාවක් කෙළවර වන්නේ අගමැතිවරයාගෙනි. ඒ හරහා වුවමනා නම් ජනාධිපතිවරයාට සිය විරෝධය අගමැතිවරයා දක්වාම දිගු කරන්නට පුළුවන. සාගල රත්නායක ඇමතිවරයා අගමැතිවරයාගේ සමීපතමයකු මෙන්ම අගමැති කාර්ය මණ්ඩලයේ ප්‍රධානියාද වන නිසාය.

ඊට අමතරව ආණ්ඩුවේ එක්සත් ජාතික පක්‍ෂ පාර්ශ්වයේ ඇමතිවරුන් ගැන දූෂණ චෝදනා විශාල වශයෙන් නැගී තිබේ. ඒ හරහා තමා ජනතාවට දුන් පිරිසිදු පාලනයක පොරොන්දුව ඉටුකරන්නට බැරිවන්නේ එජාප ඇමතිවරුන්ගේ දූෂණ නිසා බව පෙන්වන්නට ජනාධිපතිවරයාට හැකිය. විගණන පනත තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම ගැන ජනාධිපතිවරයා වරක් කිව්වේ, තමා එය හැකි ඉක්මනින් ඉදිරිපත් කරන්නට කියා තිබියදීත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවන බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔහු කියන්නේ, තවමත් තමාගේ අතට ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ලැබී නැති බවයි. ඊට අමතරව රාජපක්‍ෂවරුන් ගැන වික්‍රමසිංහ පාර්ශ්වයේ සහනශීලී පිළිවෙතක් තිබෙන බව ජනාධිපතිවරයා සිතන බවක් පෙනේ. රාජපක්‍ෂ පුතුන්ට, ගෝඨාභය රාජපක්‍ෂ හා ගාමිණි සෙනරත් වැන්නවුන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන්නේද මේ සහනශීලීත්වය නිසා බව ජනාධිපතිවරයා සිතයි.
කොහොම වුණත්, මේ සම්මුති ආණ්ඩුවේ ආයු කාලය ක්‍රමයෙන් අවසන් වෙමින් තිබේ. අගෝස්තු මාසයේදී අවසන්වන අවබෝධතා ගිවිසුමෙන් පසු තත්ත්වය කුමක් විය හැකිද?

ඒ ගැන අදහස් විමසූ විට එජාපයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවැනි පෙළ, එහෙත් ප්‍රමුඛ නියෝජ්‍ය ඇමතිවරයකු කීවේ, නිසැකවම දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම දීර්ඝ වනු ඇති බවය. එය 2020 දක්වා පමණක් නොව ඉන් එහාටද යන්නට ඉඩ ඇති බව ඔහු නොපැකිළ කීවේය. එසේ දීර්ඝ කිරීමේදී ශ්‍රිලනිපය පාර්ශ්වයෙන් කොන්දේසි පැනවිය හැකි නේදැයි විමසූ විට ඔහු කිව්වේ, ‘ආණ්ඩුව හොරු ඇල්ලීම වේගවත් කළ යුතු බව ඔවුන් කොන්දේසියක් හැටියට දාවි. ඒවාට එජාපය එකඟවීම රටටත් හොඳයිනේ.’ කියාය.

එහෙත් චිත්‍රය ඒ තරම් සරල නැත. අර්බුදය ගොඩනැගෙන්නේ ශ්‍රීලනිපය පැත්තෙනි. දැනටමත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ගැනත්, තවදුරටත් ආණ්ඩුවේ සිටීම ගැනත් මැසිවිලි කියන ඇමතිවරු පිරිසක් ආණ්ඩුවේ සිටිති. සුසිල් ප්‍රේම්ජයන්ත ඉන් ප්‍රමුඛයෙකි. ඔහුට අමතරව ජෝන් සෙනෙවිරත්න, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා වැනි පිරිසක් ද ඒ ගොඬේ සිටින බව පෙනේ. දැනටමත් තීරණය කරගෙන තිබෙන පරිදි, අවබෝධතා ගිවිසුම අවසන්වූ පසු ඔවුන් ඒකාබද්ධ විපක්‍ෂයටත් නැති, පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් හැටියට අසුන්ගනු ගැනීමට නියමිත බවට ආරංචි ඇත. තමන් ස්වාධීනව සිටීමෙන් එජාප විරෝධී ශ්‍රීලනිප පාක්‍ෂිකයන්ගේ සහාය තමන්ට ලැබෙතැ’යි ඔවුන් සිතනවා වන්නට පුළුවන. තවත් අවුරුදු දෙකක කාලයකට පසුව එළැඹෙන මහ මැතිවරණයකදී තමන්ට මහජන කැමැත්ත එලෙස ස්වාධීනව සිටින නිසා ලැබෙනු ඇති බව ඔවුන්ගේ කල්පනාවයි. එහෙත්, ඒ අදහසට යටින් ඇත්ත වශයෙන්ම ඇත්තේ, යම් දවසක මහින්ද රාජපක්‍ෂ ඇතිව හෝ නැතිව, අනෙක් රාජපක්‍ෂවරුන් හා ශ්‍රීලනිපයේ ඒකාබද්ධ කොටසත් එකතුකරගෙන එකම පක්‍ෂයකින් ඡන්දය ඉල්ලීමේ බලාපොරොත්තුවකි. එහෙත් රාජපක්‍ෂවරුන් යළි එකතුකරගෙන කරන එවැනි දේශපාලන ගමනකට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කොයිතරම් කැමති වනු ඇත්දැයි දැන්ම කියන්නට බැරිය. ඒ අතර, පළමු පියවරේදී එජාපය තුළ සිටින, ලැබුණු හා නොලැබුණු මැති ඇමතිකම් ගැන නොසෑහුණු සිතින් ආඩපාලි කියමින් සිටින මන්ත්‍රීවරුන් පිරිසක්ද ඔවුන් සමඟ පාර්ලිමේන්තුවේ ස්වාධීනව අසුන්ගන්නා බවට තොරතුරු තිබේ. ඒ හරහා ආණ්ඩුවේ බහුතර බලයට සිදුවිය හැක්කේ කුමක්දැයි පැහැදිලිව කීමට දැන්ම කල් වැඩිය.

කොහොම වුණත්, මේ අවුරුද්දේ අගෝස්තු මාසය තීරණාත්මකය. ඒ දෙපාර්ශ්වයේ අවබෝධතා ගිවිසුම අවසන් වන නිසා පමණක් නොවේ. ආණ්ඩුව ගැන තීන්දු ගැනීමේ බලය මීට වඩා ජනාධිපතිවරයා වෙත ලැබෙන නිසාය. ඒ කියන්නේ, තමන්ට වුවමනා විදියට ආණ්ඩුවක් පිහිටුවීමේ බලය ජනාධිපතිවරයා අතට ලැබෙයි. එහිදී එක්සත් ජාතික පක්‍ෂය සමඟ තවදුරටත් හවුල් ආණ්ඩුවක් පවත්වනවාද යන්න ගැන ජනාධිපතිවරයා කල්පනා කරනු ඇත්තේ පහුගිය අවුරුදු දෙකහමාරක පමණ කාලය තුළ එජාපය හා තමා එකට වැඩ කිරීමේදී ලත් අත්දැකීම් අනුවය.

ඒ අවස්ථාවේදී, අගමැතිවරයා ඉවත්කර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිපයේ ඒකාබද්ධ කණ්ඩායමද සමඟ හවුල් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ න්‍යායාචාර්යවරුන් සැලසුම් ඉදිරිපත් කර තිබෙන බව මනුවර්ණ මීට පෙර ලියා ඇත. සිදුවිය හැක්කේ කුමක්ද? ඇත්ත වශයෙන්ම එය විවෘතය. ලංකාවේ දේශපාලනයට සදාචාර මිනුම් දඬු නැති නිසාය.■