කළු ජූනිය මුස්ලිම් ජනතාවගේ බිය සහ කෝපය


jana

2014 කළු ජුනියට මේ සතිය වන විට වසර තුනකි. 2014 ජුනි 15වැනිදා බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර භික්‍ෂුව අලුත්ගම ප්‍රසිද්ධ රැස්වීමකදී කළ ජාතිවාදී කුපිත කිරීමෙන් පැය කිහිපයකට පසු ඇරඹී බේරුවල, අලුත්ගම, දර්ගා නගරය කේන්ද්‍ර කොටගෙන පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රහාරයන් නිසා ඒ ප්‍රදේශවල මුස්ලිම් ජනතාවගේ දේපළවලට හා ජනජිවිතයට විශාල හානියක් සිදුවිය. අඩු ගණනේ පුද්ගලයෝ සිව්දෙනෙක් ඝාතනය වූහ. ආණ්ඩුව ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කළ නමුත් ඇඳිරි නීතිය අස්සේ ප්‍රහාරයන් නොනැවතී සිදුවිය. යාබද වැලිපැන්නටද ප්‍රහාර පැතිරිණි. ප්‍රහාර වලක්වන්නට රාජපක්‍ෂ ආණ්ඩුව කිසිවක් කළාට වඩා නොකළ බව පැහැදිලිව පෙනිණි. මුස්ලිමුන්ට එරෙහි වෛරය ඇවිළවූ ගලගොඩඅත්තේ ඥානසාර භික්‍ෂුව නිදැල්ලේ සිටියේය. ඊට දින දෙකකට පසුව මාවනැල්ලේදී පවත්වන්නට ඔවුන් සුදානම්කොට තිබුණු අලුත්ගම වැනිම ප්‍රකෝපකාරී රැස්වීමක් නවතන්නට පොලිසියට හැකිවුණේ අධිකරණ නියෝගයක් ගැනීමෙනි. අවසානයේ, සිදුවූ දේ හොයාබලන්නට ස්වාධීන කොමිසමක් පත්කරන බව කියන්නට රාජපක්‍ෂ ආණ්ඩුවට සිදුවුණු නමුත් පත්කළ කොමිසමක්ද නැත. අලුත්ගම කළු ජුනියේ එක් අනිවාර්ය ප්‍රතිඵලයක් වුණේ 2015දී රාජපක්‍ෂ ආණ්ඩුවට ගෙදර යන්නට සිදුවීමයි.

අවුරුදු තුනකට පසු, 2017 ජුනි වන විට, ගලගොඩඅත්තේ ඥානසාර භික්‍ෂුව මේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නැත. මුස්ලිම් ආගමට හා මුස්ලිමුන්ට එරෙහිව කළ වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා බවට පොලිසිය කියා මේ වන විට සති තුනක් පමණ ගතවී තිබේ. ඒ අතර, තමා අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස නියෝගයක් නිකුත්කරන්නැ’යි ඉල්ලා ඥානසාර භික්‍ෂුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මේ සතියේ ඔහු තුන්වැනි වරටත් අධිකරණය මඟහැරියේය. ඒ තමාට එරෙහිව විභාගවීමට නියමිත අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වන නඩුව සඳහා අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් නොවීමෙනි. නඩුවේ දෙවැනි දිනයේ අසනීපවී රෝහල්ගතව සිටින බවට බොරුවක් මවා පෑ ඥානසාර භික්‍ෂුව මෙවර අධිකරණයට කිව්වේ, තමාගේ ජීවිතයට තර්ජන තිබෙන බැවින් අධිකරණයට පැමිණිය නොහැකි බවය. එම හේතුව පිළිගත නොහැක්කක්යැයි කියමින් මේ භික්‍ෂුව අත්අඩංගුවට ගන්නට නියෝග කරන ලෙස රජයේ අධිනීතිඥවරයා ඉල්ලා සිටිද්දීත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් තීන්දු කළේ, අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් නොකර නඩුව ජූලි මාසයේ එක ළඟ දින තුනක් විභාගය සඳහා නියම කිරීමටය. මේ අනුව, ඕනෑම චූදිතයකුට, තමාගේ ජීවිතයට අවදානමක් තිබෙන බව කියා තමන්ට එරෙහි නඩු කටයුත්තකට සහභාගි නොවී සිටීමට පූර්වාදර්ශයක් අභියාචනාධිකරණය ලබාදී තිබෙන්නේද? නැතිනම්, ඥානසාර භික්‍ෂුව වැනි විශේෂ පුද්ගලයන්ට පමණක් අධිකරණයෙන් මේ සැලකිල්ල ලැබෙන්නේද?

පළමු නඩු දිනයේ, තමා අසනීපයැයි ඔහු අධිකරණයට කිව්වේය. දෙවැනි දිනයේ, බොරුවට නඩු දිනයේ වරුවක් පමණක් පෞද්ගලික රෝහලකට ඇතුළුවී පිළිගත නොහැකි වෛද්‍ය සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කළේය. මේ අවස්ථා තුනේදීම අධිකරණය කටයුතු කළ ආකාරය ගැන බලන විට, ඥානසාර භික්‍ෂුව කෙරෙහි යම් සහනශීලී පිළිවෙතක් අධිකරණය පවා අනුගමනය කරන බව නොපෙනෙන්නේද? දැන් අධිකරණය කියන්නේ ඉදිරි දින තුනේදි ඔහු සිටියත් නැතත් නඩුව විභාග කරන බවයි. මේ සාමාන්‍ය නඩුවක් නොවේ. අධිකරණයට අපහාස කිරීමේ නඩුවකි. එහි පැමිණිලිකරු හෝමාගම මහේස්ත්‍රාත්වරයාය. ඥානසාර භික්‍ෂුවට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබෙන්නේ අභියාචනාධිකරණයම විසිනි.

ඥානසාර භික්‍ෂුව අත්අඩංගුවට ගැනීම කල් යන දවසක් දවසක් පාසා අවදානමේ වැටෙන්නේ ආණ්ඩුවයි. ආණ්ඩුව කියන්නේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් යන දෙදෙනාමය. එසේ අවදානමේ වැටෙන්නේ, ඔවුන් දෙදෙනා ගැන රටේ මුස්ලිම් ජනතාව තබා තිබුණු විශ්වාසය ‘බිඳ වැටෙමින්’ නොව, දැනටමත් ‘බිඳ වැටී’ ඇති නිසාය. එපමණක් නොව, තමන්ට එරෙහි මෙම වෛරී ප්‍රහාරයන් පසුපස ආණ්ඩුවද සිටිය හැකි බවට වන සැකයක් මුස්ලිම්වරුන් අතර තිබෙන නිසාය. ඒ අර්ථයෙන් බලන කල ප්‍රශ්නය හිතනවාට වඩා බැරෑරුම්ය. පුපුරනසුලුය. ප්‍රධාන පෙළේ මුස්ලිම් ජනතා සංවිධානවල මතවාදී නායකයන් සිටින්නේ දැඩි ස්ථාවරයකය. කොළඹදී පැවැති සාකච්ඡා වාර කිහිපයකදී ඔවුන් අදහස් දැක්වූ පරිදි, මුස්ලිම් ජනතාව සිටින්නේ දැඩි බියකිනි. 2012 සිට මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ අන්තිම කාලයේ බියෙන් පසුවුණු ඔවුහු අදත් සිටින්නේ බියෙනි. රාජපක්‍ෂ ආණ්ඩුව ඔවුන්ට කළ කෙණෙහිලිකම්වලට එරෙහිව ජනවාරි 8 වැනිදා ඔවුන්ගේ ප්‍රජාවෙන් සියයට අනූනවයකම ඡන්දයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කර ගැනීමෙන් පසුත් අද වන විට ඔවුන්ට බියෙන් සිටින්නට සිදුවී තිබේ.

මේ අවුරුද්දේ අප්‍රේල් 16වැනිදා සිට ජුනි 9 වැනිදා දක්වා කාලය තුළ මුස්ලිම් ජනතාව හා ඔවුන්ගේ දේපළ ඉලක්ක කරගෙන එල්ල කර ඇති වෛරී ප්‍රහාර, බලහත්කාරකම්, ප්‍රචණ්ඩ ක්‍රියා හා අනෙකුත් හානිවල සංඛ්‍යාව 25කි. මේ බොහෝ සිදුවීම් සම්බන්ධයෙන් පොලිසියට කරන ලද පැමිණිලිවලින් කිසිම ප්‍රතිඵලයක් අත්වී නැත. වගකිවයුතු කිසිවකුත් නීතිය ඉදිරියට ගෙනැවිත් නැත. මහරගම ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහරදුන් තරුණයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති නමුත්, මුස්ලිම් නායකයන් කියන්නේ එය සිදුවුණේද තමන් අදාළ තොරතුරු පොලිසියට ලබාදුන් පසුව බවය. දිගින් දිගටම සිදුවන මේ ප්‍රහාර සහ ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරිම ගැන මුස්ලිම් ප්‍රජාව සිටින්නේ කලකිරීමෙන් සහ කෝපයෙනි. ඔවුන්ගේ සම්පූර්ණ චෝදනාව එල්ලවී තිබෙන්නේ ආණ්ඩුව වෙතය.

මධ්‍යස්ථ මතධාරී මේ මුස්ලිම් නායකයන්ගේ බියට තවත් පැති තිබේ. එකක් නම්, මුස්ලිම් ප්‍රජාවේ අදූරදර්ශී, නොහික්මුණු හෝ අන්තවාදී කොටස් මේ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වන්නට ගියහොත් ඇතිවිය හැකි තත්වයයි. එවැනි තත්ත්වයක් වලක්වා ගැනීම සඳහා සෑම සිකුරාදාවකම මුස්ලිම් ජනතාව එක්රැස්වන පල්ලි හරහා තමන් දැඩි වෑයමක් ගන්නා බව ඔවුහු කියති. අනෙක් බිය නම්, මේ තත්ත්වය උපයෝගි කරගෙන අයිඑස් වැනි ත්‍රස්තවාදීන් ලංකාව තුළ මුල් ඇද ගැනීමට ඇති හැකියාවයි. මේ තත්ත්වයන් ඇතිවීම පාලනය කළ හැක්කේ, සිංහල බෞද්ධ අන්තවාදීන්ට විරුද්ධව නීතිය හරිහැටි ක්‍රියාවේ යෙදවීමෙනි. එය කළ යුත්තේ රජයයි.

එහෙත් ආණ්ඩුව මේ තත්ත්වය නිසි ලෙස තේරුම් ගෙන නැත. තමන් බලයට ගෙනඑන්නට පුරෝගාමී දායකත්වයක් දුන් මුස්ලිම් ප්‍රජාවගේ මේ චෝදනාව ගැන ආණ්ඩුව දක්වන්නේ අනෙකා පිට වරද පටවා නිදහස්වීමේ පිළිවෙතකි. මේ මොහොතේ තීරණාත්මක කාරණය ඥානසාර භික්‍ෂුව අත්අඩංගුවට ගැනීමයි. රටේ නීතියේ පාලනය පවතින බවත්, ආණ්ඩුව ජාතිවාදයට විරුද්ධ බවත් සංකේතාත්මකව දැක්විය හැකි එකම ක්‍රමය එයයි. වෛරී ප්‍රහාරයන්වල යෙදෙන අනෙකුත් අවශේෂ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමෙන් පමණක් ඒ සංකේතමය ප්‍රකාශනය නම් සිදුනොවේ. ඥානසාර භික්‍ෂුව අත්අඩංගුවට ගැනීමෙන් කිසිම සමාජ හාහෝවක් සිදුනොවේ. මධ්‍යස්ථ බෞද්ධයන් සිතන්නේ ඔහු බුදුසසුනට නිගාවක් බවයි. ඔහු අත්අඩංගුවට ගන්නා විට කෑගසන්නට ඉඩ ඇත්තේ එවැනිම අන්තවාදී භික්‍ෂූන් සහ පුද්ගලයන් අතළොස්සක් පමණකි. ඔවුන් ආණ්ඩුවට එරෙහි වුණාට ආණ්ඩුවට කිසිම දේශපාලන පාඩුවක් සිදුනොවේ. පසුගිය ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් ඔවුන් ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් සමඟ එක්ව සිට නැති නිසාය. ඉදිරියේද නොසිටින නිසාය. එහෙත් එවැනි පියවරක් නොගැනීම නිසා ආණ්ඩුවෙන් වියෝ වන්නට නියමිත මුස්ලිම් ප්‍රජාව නම් එවැනි සුළුපටු පිරිසක් නොවෙති.

ජනාධිපතිවරයා කනස්සල්ල පළකරන්නේ, තරාතිරම නොබලා ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා ලෙස තමා නියම කර තිබියදීත්, ආණ්ඩුවේ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය හා පොලිසිය මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් උනන්දුවක් නොදැක්වීම ගැනය. ඥානසාර හිමි හැංගී සිටින තැනක් සොයාගන්නට පොලිසියට නොහැකි නම්, හමුදා බුද්ධි අංශ ඒ සඳහා යොදවන්නට තමාට සිදුවේයැයි ජනාධිපතිවරයා කියයි. එහෙත් මේ කඹ ඇදිල්ල අස්සේ කිසිවක් සිදුනොවේ. ඥානසාර භික්‍ෂුව වහසි බස් කියමින්, රටේ නායකයන්ට තවදුරටත් පස්පඩංගුවේ බැන වදිමින්, නීතියට අභියෝග කරමින් නිදහසේ සිටියි. සිරිකොත ඉදිරියට ඥානසාර භික්‍ෂුව ප්‍රමුඛ පිරිසක් පැමිණ අවුලක් ඇතිකළ විට, ඔවුන්ට පහරදී එළවා දැමූ අවස්ථාව සිහිපත් කරන අගමැතිවරයා කියන්නේ, ඥානසාර භික්‍ෂුවට ප්‍රබලම ප්‍රතිචාරය දැක්වූයේ තමන් බවයි. එහෙත් දැන් තිබෙන්නේ, ගේට්ටුවක් ඉදිරියට ඥානසාර භික්‍ෂුව පැමිණ කෑකෝගැසීමක්වත්, පොලුවලින් ඔවුන්ට පහරදී එලවා දැමීමේ අවස්ථාවක්වත් නොවන බව අගමැතිවරයා තේරුම්ගෙන නැතිද? මුස්ලිමුන්ට එරෙහිව එල්ලවී ඇති ප්‍රහාර ලැයිස්තුවේ, එවැනි ප්‍රහාරයැයි පිළිගත නොහැකි සිදුවීම් එකක් දෙකක් ගෙන (උදාහරණයක් නම් විදුලිය කාන්දුවීමකින් සිදුවූ ව්‍යාපාරික ස්ථානයක් ගිනිගැනීමක් ගැන) මේ නායකයන් දෙදෙනා සිතන බව පෙනෙන්නේ තත්ත්වය එතරම් බැරෑරුම් නැති බවයි.
මේ අවුල නිසි ලෙස කළමනාකරණය කරගන්නට ආණ්ඩුව මේ වන තෙක් අසමත්ය. වැදගත් කාරණය නම්, ඒ අකාර්යක්‍ෂමභාවය හරහා ආණ්ඩුව තමන්ගේ ඡන්ද පදනමෙන් සැලකිය යුතු කොටසක් නාය යන්නට ඉඩහැර සිටින බවයි.■