රාවය

ආදි කාලීන උපකරණ තියාගෙන වික්‍රම කරන්න අපට බැහැ | අනුර ප්‍රියදර්ශන යාපා

ආදි කාලීන උපකරණ තියාගෙන වික්‍රම කරන්න අපට බැහැ | අනුර ප්‍රියදර්ශන යාපා

තරිඳු උඩුවරගෙදර

ගංවතුරෙන් ආපදාවට ලක්වුණු අයට තවමත් රක්ෂණ මුදල් දීලා නැහැ. ඒ ගැන ආපදා කළමනාකරණ ඇමතිවරයා විදියට ඔබට කියන්න තියෙන්නේ කුමක්ද?
දීලා තියෙනවා මිලියන 3.2ක මුදලක්. ඒකෙදී සමහර අයට ලැබිලා නැත්තේ හානි පිළිබඳ වාර්තා ලැබිලා නැති හින්දා. වාර්තා ලැබිලා තියෙන සියල්ලන්ටම අපි දීලා තියෙනවා. එක්කෝ හරියට වාර්තා දීලා නැතිව හෝ ග්‍රාම නිලධාරීවරුන්ගේ ප්‍රශ්න වැනි හේතු නිසා තමයි පරක්කු වෙලා තියෙන්නේ.

පහළ නිළධාරීන් මන්දගාමීව වැඩ කිරීම සම්බන්ධයෙන් ඉහළින් මැදිහත්වීම වැදගත් නේද?
මේක පළවෙනි වතාවනේ. මේ රක්ෂණය මුලින්ම තමයි දෙන්නේ. මෙවර ඇතිවෙන ගැටලු‍ කළමනාකරණය කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් සමහර වෙලාවට ග්‍රාම නිලධාරී ගමේ ඉන්න පුද්ගලයන්ව දන්නේ නැහැ. ගැටලු‍ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා අපි හදාගන්නවා. අපි ඔන්ලයින් අයදුම්පත් පුරවන්න ක්‍රමයක් ගෙනෙන්න උත්සාහ කරනවා. ඒවායේ වුණත් අඩුපාඩු තියෙන්න පුළුවන්. මෙවර ගංවතුරට අහුවුණ අයට ඉක්මනින් මුදල් ලබාදෙන්න අපට පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා නිලධාරීන්ගෙන් සහයෝගයක් ලැබෙයි කියලා.

ආපදා කළමනාකරණ ජාතික සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නිතර රැස්වෙන්න ඕනෑ. හැබැයි මේක ආපදාවක් වුණාම පමණයි රැස්වෙන්නේ. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය කොහොමද?
ආපදා ඇතිවුණු වෙලාවේ අපි කිහිප වතාවක් රැස්වුණා. ජනාධිපතිවරයා උපදෙස් දුන්නා. එතැනදී සාකච්ඡා කළ දේවල් තියෙනවා. විශේෂයෙන් අපට තියෙන ප්‍රශ්නය ආපදා කළමනාකරණය සඳහා තියෙන තාක්ෂණය වැඩිදියුණු නොවීම. භූමිකම්පා අවදානම ගැන හඳුනාගෙන සිතියම් හදන්න ඕනෑ. සමහර ගංගාවන් පටු නිසා ජලය බැසයෑමේ ප්‍රශ්න තියෙනවා. ඒවා ගැන සැලකිල්ල දක්වන්න ඕනෑ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ක කතාකරලා. අනෙක් පැත්තෙන් ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් එන්න ඕනෑ. කඳු කපලා ගෙවල් හදන තැන් තියෙනවා. කඳුකරයේ වතුර බහින්න බැස්ම තියලා ඉදිකිරීම් කරන්න ඕනෑ. විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ ඉන්න අයට යම් දැනුමක් තියෙනවා. ඒත් මේ අනතුරු වුණේ මධ්‍යම කඳුකරයේ නෙවෙයි. මේ තැන්වල නායයෑම්වලට තුඩුදෙන විදියට හැදිලා තියෙනවා. මිලිලීටර් පන්සීයකට ආසන්න වැස්සක් වහිද්දී ඒකට මුහුණදෙන්න හැකියාවක් නැතිවීමත් ප්‍රශ්නයක්. නොහිතපු ජලකඳක් ආවේ. අනෙක් පැත්තෙන් අවතැන්වෙන අයට ඉන්න තැනක් නැහැ. ඔවුන්ට පහසුකම් නැහැ. අපි ගිය අවුරුද්දේ ඉඳන් ජාත්‍යන්තර පහසුකම් අරගෙන තැන් තුනක් හදාගෙන යනවා. ගම්පහ බදුල්ල සහ කෑගල්ලේ.

ගංවතුර වෙලාවේ ගංවතුර නිතර එන බව දන්නා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා සතුවවත් බෝට්ටු වගේ පහසුකම් නොතිබීම ප්‍රශ්නයක් වුණා නේද?
ප්‍රාදේශීය සභාවලට අපි බෝට්ටු දීලා තිබුණා. හැබැයි ඒවා පාවිච්චි නොකර තියලා ගංවතුර වෙලාවේ ගන්න බැරි තත්ත්වයක් ආවා. ඒ නිසා අපි දැන් බලාපොරොත්තු වෙනවා පොලීසිය එක්ක කතාකරලා පොලීසිය භාරයට බෝට්ටු දෙන්න. එතකොට ඔවුන්ට පුළුවන් ගංගා ආශ්‍රිතව මේවා තියාගෙන ඉන්න අතරේ අවශ්‍ය නම් ඔවුන්ගේ කටයුතුත් කරන්න. අපි පුහුණු වැඩි කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සමෘද්ධි අධිකාරිය, හමුදාව සමඟ වැඩපිළිවෙළක් කතාකරගෙන යනවා. ඒ වගේම පුද්ගලයන් ඉවත් කිරීම සඳහා අලුත් නීතියක් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. පුද්ගලයන් බලහත්කාරයෙන් හෝ ඉවත් කරන්න අපට සිද්ධවෙනවා.

ආපදා කළමනාකරණයට අවශ්‍ය වෙන තාක්ෂණික උපකරණ ගන්න පියවර ගන්නවාද?
වැස්ස මනින උපකරණ දෙසීයක් අපට ලබාදෙන්න ආසියානු සංවර්ධන බැංකුව එකඟ වෙලා තියෙනවා. අපි දැන්ම ඒවා ලබාගෙන සුදුසු ස්ථානවල රඳවන්න බලාපොරොත්තු වෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේවා කරන්න ඕනෑ. ඒවාට විශාල මුදලක් වැයවෙනවා. ආණ්ඩුව පැත්තෙන් ඒ මුදල් නිදහස් කරන්න ඕනෑ. ලංකාව මේ වන විට ආපදා වැඩි රටක් බවට පත්වෙමින් තියෙනවා. නායයෑම් ගැන අවබෝධයෙන් ගොඩනැඟිලි හදන්න ක්‍රමවේදයක් හදලා ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය හරහා නායයෑම් වැඩි ප්‍රදේශවලට අපි ලබාදුන්නා. මේ ගැන අපි කල්පනා කරන්න ඕනෑ.

ආපදා කළමනාකරණයට වෙනම අමාත්‍යාංශයක් අවශ්‍ය වෙන්නේත් නැහැ, ඒක අනවශ්‍ය වියදමක් කියලා අදහසක් තියෙනවා. ඔබේ ආමාත්‍යාංශය ආපදාවක් වුණාම ස්වදේශ කටයුතු, ආරක්ෂක සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශවල පහසුකම් පාවිච්චි කරලා වැඩ කිරීම පමණක් කරන නිසා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය නාස්තියක් කියලා කියනවා නේද?
ඒක මම විශ්වාස කරන්නේ නැහැ. මම ඇමතිවරයා නිසා නෙවෙයි කියන්නේ. මෙතැන ලොකු වැඩ කොටසක් තියෙන බව ප්‍රතික්ෂේප කරන්න බැහැ. ඒක අපට තනියෙන් කරන්න බැරි බව ඇත්ත. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කියන්නේ පොඩි අමාත්‍යාංශයක්. මේ විෂයේ වැදගත්කම නිසා තමයි වෙනම අමාත්‍යාංශයක් තියෙන්නේ. ආපදාවකින් වෙන හානියේ තරමටම මේ ක්ෂේත්‍රයට විශේෂ ඇමතිවරයෙක් අවශ්‍යයි. එහෙම වුණත් අපට වැඩ කරන්න වෙන්නේ වෙන රාජ්‍ය ආයතනවල නිළධාරීන් එක්ක. අපට ඔවුන්ගේ සහයෝගය අවශ්‍ය වෙනවා. පුරවැසියන්ගේ සහයෝගයත් අවශ්‍ය වෙනවා. ඉඩම් පරිහරණය පිළිබඳ ප්‍රතිපත්තිය, ගංගා ආශ්‍රිතව ජීවත්වීම, රාජ්‍ය ආයතනවල සන්නිවේදනය දියුණු කිරීම වගේ දේවල් බලන්න ඕනෑ. ඒවාට වෙනත් ආයතනවල සහාය ඕනෑ. හැබැයි ඒ සියල්ල කළමනාකරණය කරන්න වෙනම අමාත්‍යාංශයක් තියෙන්න ඕනෑ. ලංකාව ආපදා බහුල රටක් වෙලා. මිනිස් ක්‍රියාකාරකම් නිසාත් ආපදා ඇතිවෙනවා. දැන් කරන්න ඕනෑ මේ අමාත්‍යාංශයට වැඩි පහසුකම් ලබාදෙන එක මිසක් තියෙන එක වහලා දාන එක නෙවෙයි.

ඉදිකිරීම් නිසා සිදුවන අනතුරු පහුගිය කාලයේ වාර්තා වුණා. විශේෂයෙන් මිනිස් ඉදිකිරීම් අනතුරුවලට හේතුවන බව පෙනෙනවා. ඒවා සම්බන්ධයෙන් මැදිහත් වෙනවාද?
ගොඩනැගිලි තැනීමේදී ඒ තනන පාර්ශ්ව සැලකිලිමත් වෙන්න ඕනෑ. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අපේ අමාත්‍යාංශය යටතේ තියෙන වැදගත් ආයතනයක්. හැබැයි අපට පහසුකම් නැහැ ඉදිකරන හැම ඉදිකිරීමක්ම නිරීක්ෂණය කරන්න. ඒ නිසා ඉදිකිරීම් කරද්දී සැලකිලිමත් වෙන්න ඕනෑ. අනෙක් පැත්තෙන් ඉදිකිරීම් කරද්දී ඕනෑම පාර්ශ්වයක් අපේ උපදෙස් ගන්නා තත්ත්වයකට එන්න ඕනෑ. තට්ටු නිවාස, රජයේ ගොඩනැගිලි, මහාමාර්ග හදනකොට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් ලබාගැනීම වැදගත්. විශේෂයෙන් රජය හරහා ඉදිකරන මහාපරිමාණ ඉදිකිරීම්වලදී. අංශක අනූවක කන්දක කැපුමක් කරපු ගමන් පහළට රූටාගෙන එනවා. ඒවා සැලසුම්වල වැරැද්ද. ලංකාවේ පාරවල් ඉදිකිරීමේදී මේ වැරැද්ද කොච්චර තියෙනවාද. මම මේ දේශපාලනිකව ඇඟිලි දික්කරනවා නෙවෙයි. පොදුවේ හැමෝගේම වැරැද්දක් මේක. මහියංගණයේ දහඅට වංගුව පාරේ ස්ථාන තිස්තුනක් නාය යනවා. එතැන ස්ථාවරව තිබුණු කන්ද අස්ථාවර වෙලා. බණ්ඩාරවෙල හග්ගල පාරේත් ඒ තත්ත්වය තියෙනවා. ගාලු‍ මාතර හයිවේ එකෙත් ස්ථාන තුනක් විතර තියෙනවා. බණ්ඩාරවෙල හපුතලේ මාර්ගය ගැනත් අපි අවධානය යොමුවෙලා තියෙනවා. ඉදිරියේදීත් මාර්ග තනනකොට අපේ අවසරය ගන්න කියලා අපි ඉල්ලනවා. අපි ළඟදී ගුවන් පාලම් පිළිබඳව නිවේදනයක් නිකුත් කළා. ගොඩනැඟිලි පර්යේෂණ ආයතන ගුවන් පාලම් පිළිබඳ සෑහීමකට පත්වෙන්නේ නැහැ. ලොකු අනතුරු සිදුවීමේ අවදානම් තියෙනවා. කොළඹ තියෙන සියලුම කොන්ක්‍රීට් ගුවන් පාලම් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් පරීක්ෂා කළා. ගුවන් පාලමක් කඩාවැටුණොත් ඒක ලොකු හානි සිදුකරන අනතුරක් වෙයි. අපි ඉදිකිරීම් කරන්නේ නැහැ. අපි සැලසුම් කරන්නේත් නැහැ. ඒ නිසා අපට මැදිහත් වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. හැමෝම අපේ තාක්ෂණික සහාය ලබාගැනීමයි විය යුත්තේ. අපට ආපදාවකදී මරණ අවම කරගන්න පුළුවන්. ඒක නැති කරන්න නම් අමාරුයි. ලෝකේ කිසිම රටක් එහෙම ආපදා නැති කරගෙන නැහැ. හැබැයි අපට අවශ්‍ය පහසුකම් ලැබුණොත් මීට වඩා ආපදා අවම කරන්න පුළුවන්.

අවශ්‍ය මානව සම්පත් තියෙනවාද?
මානව සම්පත් පැත්තෙන් අපේ අමාත්‍යාංශය දුක්ඛිත තත්ත්වයක තියෙන්නේ. අපට විද්‍යාඥයන් සම්බන්ධ වෙන්න ඕනෑ. විශේෂයෙන් පස පිළිබඳ විද්‍යාඥයන් සහ ජලය පිළිබඳ විද්‍යාඥයන් අපි එක්ක සම්බන්ධ වෙන්න ඕනෑ. හැබැයි අපේ අමාත්‍යාංශය යටතේ තියෙන ආයතනවල රැකියාවලට එන්න අපට අවශ්‍ය ක්ෂේත්‍රවල විශේෂඥයන් කැමති නැහැ. මොකද අපේ ආයතනවලින් ගෙවන්නේ සොච්චම් වැටුපක්. අඩුම තරමේ ඒ වගේ තුන්හතර ගුණයක වැටුපක් ඔවුන්ට විදේශගත රැකියාවක් කරලා හෝ වෙන දෙයක් කරලා ලබන්න පුළුවන්. සමහර නිලධාරීන් කියනවා වෙන තැනක රැකියාවක් කළා නම් මේ වගේ දහගුණයක් වැටුප් ලබන්න පුළුවන් කියලා. ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප රුපියල් හතළිස් නවදාහයි. වෙන කිසිම දීමනා නැහැ. තාක්ෂණික නිලධාරීන්ගේ වැටුප් ඉතාම අඩුයි. ඔවුන් බස්වල කෝච්චිවල උදේ වැඩට එන්නේ. වාහනයක් ගන්න වැටුප් ප්‍රමාණවත් නැහැ. බොහෝ දක්ෂ නිලධාරීන් මෙතැන ඉන්නේ රටට තියෙන ආදරය නිසායි. නැත්නම් මෙතැන නිර්මාණශීලී, මහන්සිවෙලා වැඩකරන්න පුළුවන් නිළධාරීන් රැඳෙන්නේ නැහැ. අපි කියලා තියෙනවා මේ නිළධාරීන්ගේ වේතන වැඩිකරලා දෙන්න කියලා. මේ නිළධාරීන් විශේෂ දීමනා නැතිව ගොඩක් වෙලාවට පාරවල්වල ඉන්නේ. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් මේ ක්ෂේත්‍රවල දැනුම තියෙන අය බිහිකරනවා. ඒත් ප්‍රශ්නය තියෙන්නේ ඔවුන් රඳවාගන්න අපට හැකියාවක් නැහැ. ලංකාවේ හැම තැනම එහෙම දීමනා නැතිනම් ඒක වෙන කතාවක්. ඒත් සමහර ආයතනවල නිලධාරීන්ට කොච්චර දීමනා ලැබෙනවාද. වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, විදුලිබල මණ්ඩලයේ වගේ තැන්වල වැඩකරන නිලධාරීන්ට කොච්චර දීමනා ලැබෙනවාද. මේ නිලධාරීන් පැය විසිහතරක සේවයක් කරනවා. එහෙම පසුබිමක මිනිස්සුන්ගේ ජීවිත ගැන වගකීමක් දරාගෙන ඉන්න මේ නිලධාරීන්ට පොඩි වැටුපක් ලැබෙන එක ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තත්වයත් මේ වාගේ. වැඩට මිනිස්සු එන්නේ නැහැ. මේවා දෙපාර්තමේන්තු මට්ටමෙන් ඉහළට ගෙනල්ලා යම් විදියක ඒජන්සි මට්ටමට පත් කරන්න පුළුවන්.

ඔබේ අමාත්‍යාංශයට ආපදාවක් වුණාම චෝදනා එල්ල කරන්න ලොකු පිරිසක් ඉන්නවා නේද? තියෙන පහසුකම් එක්ක කළ හැකි දේවල්වත් කරලා තියෙනවාද?
ගොඩක් වෙලාවට ආපදාවක් වුණාම අපට චෝදනා එල්ලකරන්න බොහෝ පිරිසක් ඉන්නවා. හැබැයි අපට තියෙන පහසුකම් එක්ක මැජික් පෙන්වන්න බැහැ. මේ ආයතනවලට කරන වියදම් කවදාවත් අපතේ යන්නේ නැහැ. ඒවා ආයෝජන. මිනිස් ජීවිතයක් කියන්නේ ලොකු ආයෝජනයක්. ආපදා කළමනාකරණයට වෙනම අමාත්‍යාංශයක් තියෙන එකත් නාස්තියක් නෙවෙයි ආයෝජනයක්. ඒ වගේම ඉන්න නිලධාරීන්ට පුළුවන් තරම් පුහුණුව දෙන්න ඕනෑ. එහෙත් ඒවාට රජයෙන් සල්ලි දෙන්නේ නැහැ. අනවශ්‍ය වියදම් කරන රටක මේ වගේ දේවල්වලට වියදම් වෙන්කරන්න කියලා අපි ඉල්ලනවා. ඒක අත්‍යවශ්‍යයි. මහාමාර්ග දෙපාර්තමේන්තුවට සමාන මුදලක් අපට වෙන්කරන්න ඕනෑ. ඇමතිවරුන්ට කෙසේ වෙතත් නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් දෙන්න ඕනෑ. මොකද මොනාවත් නැතිව වැඩකරලා අපි බැණුම් අහන්නත් ඕනෑ. මම කියන්නේ අපේ අමාත්‍යාංශයට හෙලිකොප්ටර්, ඩ්‍රෝන් යාත්‍රා වගේ නවීනතම පහසුකම් දුන්නත් කමක් නෑ. මොකද අපේ නිලධාරීන් ලංකාව වටේම ගමන් කරන්න ඕනෑ.

මුදල් නැතිපාඩු සිදුවෙලා තියෙනවාද?
මෑත කාලයේ උදාහරණයක් ගත්තොත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ණය පහසුකම් විදියට ව්‍යාපෘති තුනක් ආවා. ඒ ණය පහසුකම් ලබාගන්න මම තුනම විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට ඇරියා. ඒ තුනම ඒකපාර්ශ්වික ඉල්ලීම් හැටියට සලකලා ප්‍රතික්ෂේප කළා. අමාත්‍යාංශ ගණනාවක් එකතුවෙලා කරන ව්‍යාපෘතිවලට තමයි ආණ්ඩුව සහාය දෙන්නේ. හැබැයි එහෙම ව්‍යාපෘති කරන්න කල් යනවා. මේක තාක්ෂණික සේවයක්. අනික මෙතැනින් කරන සේවය ගණන් හදන්න බැහැ. අනතුරක් වුණොත් ඒකේ පාඩුව ගණන් හදනවා මිසක් මෙතැනින් වළක්වන අනතුරු ගණනය කරන්න බැහැනේ. මෙතැන කරන්නේ පරිගණක සහ වෙනත් තාක්ෂණික උපකරණ පාවිච්චි කරලා පුරෝකථන කිරීම. අවශ්‍ය උපකරණ නැතිව පුරෝකථන කරන්න බැහැනේ. අපි මෙතැන තාක්ෂණය වෙනුවෙන් සතපහක් ආයෝජනය කරලා නැහැ. එහෙම පසුබිමක මේ ආදිකාලීන උපකරණ තියාගෙන වික්‍රම කරන්න අපට බැහැ. අපි එක්ක ඉන්නේ සුපිරි වීරයෝ නෙවෙයි සාමාන්‍ය මිනිස්සු. දැන් අපට තාක්ෂණය උගන්වන්න හැමෝම එනවා. අපි තාක්ෂණය නොදැන නෙවෙයි. අපට ඒ තාක්ෂණය ගෙන්වාගන්න මුදල් නැති එකයි ප්‍රශ්නය. ආපදාවක් වුණාට පස්සෙ වන්දි විදියට වෙන්කරන මුදල් ප්‍රමාණය ආපදාවට කලින් අපි වෙනුවෙන් වෙන් කරලා තිබුණා නම් මේ ආපදා අපට නවත්වන්න තිබුණා.■