රාවය

අධිනිශ්චය වෙලා තියෙන්නේ දේශපාලනය නෙවෙයි | නීතිඥ ශිරාල් ලක්තිලක

අධිනිශ්චය වෙලා තියෙන්නේ දේශපාලනය නෙවෙයි | නීතිඥ ශිරාල් ලක්තිලක

තරිඳු උඩුවරගෙදර

කැබිනට් සංශෝධනය විහිළුවක් කියලායි හැමෝම කියන්නේ. විශේෂයෙන් ආයතන බෙදලා තියෙන්නේ කිසිම විද්‍යාත්මක පදනමකින් නෙවෙයි. මේ දේවල් ඔබ දකින්නේ කොහොමද?
වැදගත් වෙන්නේ ආයතන වෙන්කිරීම කළේ කවුද කියන එක නෙවෙයි, කවුද මේවා ඉල්ලන්නේ කියන එකයි. මේ ඉල්ලන දේවල් නොදුන්නොත් ඇතිවෙන්නේ හොඳ තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා තමයි මේ ඉල්ලන දේවල් දෙන්න වෙන්නේ. සමාජය ඇඟිල්ල දිගුකළ යුත්තේ මේ දේවල් ඉල්ලන පාර්ශ්වයටයි. මම නම් දකින්නේ කැබිනට් අමාත්‍යාංශවලට අදාළ ආයතන වෙන්කිරීමේදී හෝ ඕවාට අදාළ වාහන ගැනීමේදී එජාප ඇමතිවරුන් පෙන්නුම් කරන්නේ දේශපාලන අපරිණතභාවයක්. මේවායින් ආණ්ඩුව විතරක් නෙවෙයි දුර්වල වෙන්නේ. මේ පුද්ගලයන් සහ මේ පක්ෂයත් දේශපාලනිකව දුර්වල වෙනවා. එජාප ඇමතිවරු සහ සමස්තයක් හැටියට අනෙක් ඇමතිවරුත් රටේ දේශපාලනය නිසි ලෙස තේරුම් නොගැනීම නිසා මේ තත්ත්වය ඇතිවෙලා තියෙනවා. මේ අය අමතක කරලා තියෙනවා ජනවාරි අටවැනිදායින් පස්සේ සමාජය ගොඩක් මුහුකුරා ගිහින් තියෙන බව. පුරවැසි සමාජය දැන් ඉතාම සවිඥානිකයි. යහපාලන මූලධර්ම අලංකාරෝක්තීන් කියලා ඇතැමුන් කිව්වත් රාජ්‍ය පාලනය කළ යුත්තේ කෙසේද කියන තර්කය සමාජයේ ගැඹුරට ගිහින් තියෙන බව පැහැදිලියි.

ඔබ උඩින් මතුකළ යහපාලන මූලධර්ම අලංකාරෝක්තීන් කියන තර්කය හිටපු ආණ්ඩුවට සහාය පළකළ ආචාර්ය චරිත හේරත් දැඩිව ඉදිරිපත් කරනවා. රාවය සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නා මේ ආණ්ඩුව මෝඩයි කියලා. ඔහුගේ අදහස ගැන ඔබට කියන්න තියෙන්නේ කුමක්ද?
ඔහු මේ ආණ්ඩුව මෝඩයි කියන්නේ කලින් ආණ්ඩුව මොකක් කියන පදනම උඩද. තියෙන පැහැදිලි කිරීම තමයි කලින් ආණ්ඩුව දුෂ්ඨයි කියන එක. කලින් ආණ්ඩුව දුෂ්ඨ වෙද්දී මේ ආණ්ඩුව මෝඩයි කියලා චරිත හේරත් කියන්නේ හේතු දෙකක් උඩ. රිපබ්ලිකන්වාදියෙක් විදියට ඔහු කියන්නේ මේ ආණ්ඩුව මෝඩ වෙන්නේ, කලින් ආණ්ඩුව වගේ දුෂ්ඨ නොවීම නිසා කියලායි. අනෙක ඔහු කියන්නේ කලින් ආණ්ඩුව පරාජය කරන්නේ යථාර්ථයක් නැති හුදු අලංකාරිකවලින් පිරුණු කැම්පේන් එකකින් බවයි. හැබැයි දහඅටවැනි සංශෝධනය කියන්නේ අලංකාරිකයක්ද? ව්‍යවස්ථාපිත රජෙක් නිර්මාණය කරන්න දහඅට ගෙනා එක යථාර්ථයක්. අනෙක් පැත්තෙන් අගවිනිසුරුවරියක් එළවන්න අනීතික විදියට කටයුතු කිරීම යථාර්ථයක්. චරිත කතාකරන්නේ නොදියුණු සමාජයක් ගැනයි. මේ ආණ්ඩුව මෝඩයි කියලා කල්පනා කරන්නේ නොදියුණු සමාජයට අනුවයි. දියුණු සමාජය අනුව ගත්තාම හිටපු ආණ්ඩුවට සාපේක්ෂව පුරවැසියන්ගේ යහපත් ප්‍රතිචාර මේ ආණ්ඩුවට තියෙනවා. චරිත හේරත්ලාගේ තර්ක ගොඩනැගෙන්නේ ජනතාව යළි ගොනාට අන්දලා තිබුණු දුෂ්ඨ ආණ්ඩුව යළි බලයට ගෙන එන්නයි. හැබැයි අපි සිහි තබාගත යුතුයි ක්‍රියාවකට තමයි ප්‍රතික්‍රියාවක් එන්නේ. මේ ආණ්ඩුව මෝඩයි කියලා ඔහු කියද්දී අපට පෙන්වන්න තියෙන්නේ මේ ආණ්ඩුව ආවේ හිටපු දුෂ්ඨ ආණ්ඩුවට ප්‍රතිචාරයක් ලෙසයි.

කැබිනට් සංශෝධනය සිදුවූ ආකාරය ගැන අදහස මොකක්ද? කැබිනට් සංශෝධනය ශ්‍රීලනිපයේ වුවමනාව නිසා සිදුවූ එකක්ද?
ශ්‍රීලනිපයෙන් නෙවෙයි සමාජයෙනුයි ඉල්ලීම ආවේ. හැබැයි සමාජයේ ඉල්ලීමට අනුවම සංශෝධන කළා කියලා කියන්න බැහැ. මගේ පුද්ගලික මතය, සංශෝධන වෙන්න හේතුව තමයි ඇතැම් අමාත්‍යාංශවල කාර්යක්ෂමභාවය සහ විනිවිදභාවය ගැන සමාජ මතයක් තිබීම. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අමාත්‍යාංශ සංශෝධන වුණේ. සංශෝධන කළේ පක්ෂ දෙකටම අවම හානියක් කරගෙන. අවුරුදු පහක ආණ්ඩුවකින් අවුරුදු දෙකහමාරක් ගෙවීගිහින්. ආණ්ඩුවේ ආයු කාලයේ කේන්ද්‍රයට ඇවිත් කේන්ද්‍රයෙන් පිටට යමින් තියෙන්නේ. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති කළමනාකරණය කළේ සම්පූර්ණයෙන්ම එජාපය. අවුරුදු දෙකහමාරක් ගිහිල්ලාත් ආර්ථිකයේ වෙනසක් වෙලා නැහැ කියන එක ශ්‍රීලනිපයේ විතරක් නෙවෙයි සමාජයේම මුල් බැහැගෙන තියෙන අදහසක්. කෝ මේ කියපු ආර්ථික සංවර්ධනය කියලා සමාජය අහනවා. තමන්ගේ දුර්වලතා තියෙනවා නම් ඒවා නිවැරදි කරගෙන ඊළඟ අවුරුදු දෙකහමාර දිහා බලන එක වැදගත්. ඒක ඕනෑම වගකිවයුතු රජයක වගකීමක්. ඒක ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ ඉල්ලීමකට ලඝු කළ යුතු නැහැ. මම දන්නා විදියට එජාපයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් සහ එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පවා ප්‍රසිද්ධියේ නොවුණත් මේ ගැන කතාකරලා තියෙනවා.

ඔව්, රවී කරුණානායක ඇමතිවරයාම කියනවා ජාතික ලැයිස්තුවෙන් ආ එජාපයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුගේ ඉල්ලීම ඔහුව ඉවත් කරන්නට හේතුවුණා කියලා. මේවායින් පෙනෙන්නේ එජාපය අභ්‍යන්තරයේත් ගැටලු‍ තියෙන බව නේද?
මෙතැන අපි කවුරුත් හංගලා කතාකරන්න ඕනෑ නෑ. රවී කරුණානායක මහත්තයා කියලා තියෙන්නේ මලික් සමරවික්‍රම ඇමතිවරයා ගැන බව පැහැදිලියි. හැබැයි ඔය චෝදනාව නිවැරදිද කියලා අපි දන්නේ නැහැ. අපි දන්නවා සමාජයේ, අධිකරණයේ සිදුවීම් දිහා බැලු‍වාම මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ ආන්දෝලනාත්මක තත්ත්වයක් තිබුණා. ඒක මලික් සමරවික්‍රමට ලඝු කිරීම රවී කරුණානායක ඇමතිවරයාගේ ප්‍රශ්නයක්. කෙසේ වෙතත් එජාපයේ එදා ඉඳලා තිබුණ ප්‍රශ්නයක් තමයි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිවීම. කල්ලිවාදයක් පැවතීම. මේක අවුරුදු විස්සක් විතර තිස්සේ තියෙනවා. ඒ නිසාම එජාපයට අද වෙනකන් තුන් වතාවක් ජනාධිපතිවරණයකට ජනප්‍රිය අපේක්ෂකයෙක් ඉදිරිපත් කරගන්න බැරිවෙලා තියෙනවා. 2020ත් එය එසේද කියන එක එජාපය අභ්‍යන්තරයේ කතාවෙමින් තියෙනවා. එහෙම ගත්තාම පිට පිට ජනාධිපතිවරණ හතරකදී මුළු රටේම ඡන්ද ගන්න පුළුවන් නායකයෙක් එජාපය අභ්‍යන්තරයෙන් ගොඩනඟාගන්න බැරිවෙලා තියෙනවා. ඒ සාකච්ඡාව පක්ෂ අභ්‍යන්තරයේ ඇති. අදටත් එජාප පාක්ෂිකයන්ට තමන්ගේ කියන ආණ්ඩුවක පහස ලබන්නට වාසනාව ලැබිලා තියෙනවා. ඔය අසහනය එදත් තිබුණා හෙටත් තියෙන්න පුළුවන්.

එජාපයට 2003 සහ 2015දී දෙවතාවක්ම සභාග ආණ්ඩු ලැබුණා. හැබැයි දෙවතාවක්ම එජාපයට ඡන්දවලින් තමන්ගේ ආණ්ඩුවක් නිර්මාණය කරගන්න බැරිවුණා. ශ්‍රීලනිප ආණ්ඩු මොන තරම් ජන අප්‍රසාදයට පත්වුණත් එජාපයට ඒකේ වාසිය ගන්න බැරි ඇයි?
ඕනම ශරීරයක ඇතුළ දුර්වල වෙනවා නම් පිටින් දුර්වල වෙනවා. ඒක එජාපයට ආවේණික ගතිකයක් හැටියට අදටත් තියෙනවා. සමස්ත ශ්‍රී ලංකාවම පිළිගන්නා ජනනායකයෙක් ගොඩනඟාගන්න බැරිවෙලා තියෙනවා. විශේෂයෙන් යම් ජනකොටස්වල සහ නාගරික පිරිසක ජනප්‍රියත්වයක් තිබුණත් ග්‍රාමීය ප්‍රජාවගේ ජනප්‍රියත්වය ගොඩනඟාගන්න එජාපයට බැරිවෙලා තියෙනවා. එජාප බලය බොහෝ දුරට නියෝලිබරල් ප්‍රතිපත්තියක් විශ්වාස කරන නායකත්වයක් අතේ තියෙනවා. මෙය පක්ෂයේ බහුතරයක් පිරිසගේ ප්‍රතිපත්තිය නොවුණත් මේක තමයි නායකයන්ගේ ප්‍රතිපත්තිය. මේ ප්‍රතිපත්ති යූඇන්පිය හෝ ශ්‍රීලනිපය පැත්තෙන් ගත්තාම රටේ එතරම් ජනප්‍රිය නෑ. උදාහරණයක් හැටියට ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැඳින්වුවේත් ප්‍රජාතාන්ත්‍රික ‘සමාජවාදී’ ජනරජ ව්‍යවස්ථාවක් විදියට. ඔහු දැඩි කොන්සර්වේටිව් මාවතක ගියේ නෑ. හැබැයි ඔහුව පවා යැංකි ඩිකී හෙවත් ඇමරිකන් සුරතලෙක් විදියට හැඳින්වුවා. කොහොම වුණත් ඔහුට අදහසක් තිබුණා ශ්‍රී ලාංකික සමාජය ක්‍රියාත්මක වෙන විදිය ගැන. ඒ නිසා ඔහු සුභසාධක වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළා. දැන් ඒවා නැතිවුණාම ග්‍රාමීය එජාප කණ්ඩායම් පක්ෂයෙන් ඈත්වෙලා තියෙනවා. ඒ නිසා මේ කණ්ඩායම රටට ආදරේ නැති පිරිසක් විදියට චිත්‍රණය කරනවා.

නියෝ ලිබරල් ප්‍රතිපත්තිය ගැටලු‍වක් නම් ඔබට අනුව වඩා සුදුසු විකල්ප ප්‍රතිපත්තිය මොකක්ද? අන්ත වාමාංශික ප්‍රතිපත්තියක්ද?
වාමාංශික වෙන්න ඕනෑ නැහැ. ප්‍රායෝගික වෙන්නයි ඕනෑ. උදාහරණයක් විදියට ආණ්ඩුවේ ප්‍රකාශිත ප්‍රතිපත්තිය විදියට තියෙන්නේ ඍජු විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීම. එහෙම කරලා දැනට ගෙවුම් ශේෂයේ සහ වෙළෙඳ ශේෂයේ ප්‍රශ්න විසඳාගන්න පුළුවන් කියලා කියනවා. හැබැයි අවුරුදු දෙකහමාරක් තුළ පෙන්නුම් කරලා තියෙනවා ලංකාවට ඒ තරම් විදේශීය ආයෝජන එන්නේ නැහැ කියලා. අනෙක් අතට දකුණු ආසියානු කලාපයම ගත්තාමත් ඒ තරම් විදේශීය ආයෝජන එන්නේ නැහැ කියලා පෙන්නුම් කරලා තියෙනවා. ඉන්දියාවට පහුගිය අවුරුදු පහ තුළ එරට දළ ජාතික නිෂ්පාදනයෙන් සීයට දශම අටක් විතරයි ඍජු විදේශීය ආයෝජන ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ අවුල ලංකාවේදී තව තීව්‍ර වෙනවා. මොකද ලංකාවේ කුඩා වෙළෙඳපොළක් තියෙන නිසා විදේශීය ආයෝජන එන්න හේතුවක් නෑ. ආණ්ඩුව වෙළෙඳපොළ කුඩා වීම සම්බන්ධයෙන් යෝජනා කරන විකල්පය ඉන්දියාව, චීනය, සිංගප්පූරුව එක්ක නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට යන එක. හැබැයි මේකෙන් රට ඇතුළේ ඇතිවෙන්නේ දේශපාලන පීඩනයක්. ඉන්දියාව එක්ක මේක කරන්න හොඳ නෑ, එට්කා විරෝධය කියලා විරෝධයක් එනවා. ඒක එන්නේ දේශප්‍රේමය එක්ක. ඒක වළක්වන්න බැහැ. එතකොට ඒක දේශපාලනිකව බලපානවා. අනෙක් පැත්තෙන් ආයෝජන එන්නේ නැතිනම් රජයේ වියදම් ඇතිවෙන්නේ නැත්නම් පාඩු ලබන රාජ්‍ය දේපළ පුද්ගලිකකරණය කරන්න සිද්ධවෙනවා. ඇත්තටම ගත්තාම රජයේ ආයතන පාඩු ලබනවා තමයි. හැබැයි පුද්ගලිකකරණ ක්‍රියාවලියේදී එක් පැත්තකින් පාරදෘශ්‍ය නොවන ක්‍රියාවන් සිද්ධවෙනවා. අනෙක් පැත්තෙන් නැවතත් අර රාජ්‍ය දේපළ පෞද්ගලිකකරණය කියන සටන්පාඨය හරහා ආණ්ඩුවට පහර වදිනවා. විකල්පය ගැන අහද්දී, මම ලංකාව දකින්නේ දියවැඩියා රෝගියෙක් වගේ. දියවැඩියාව හැදුණාම මුලින් තත්ත්වය පාලනය කරගන්න ඕනෑ. පස්සේ වෙන විකල්පයක් බලන්න පුළුවන්. තියෙන ආසන්නම විකල්පය තමයි කෘෂිකර්මය නවීකරණය කරලා, ඵලදායක කරලා ඒ සඳහා ආයෝජනය කිරීම. අනෙක් පැත්තෙන් ලංකාවේ දරිද්‍රතාව දත්ත වශයෙන් සීයට හතක් වුණාට සාපේක්ෂව දරිද්‍රතාව සීයට තිහක් පමණ තියෙනවා. දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාව වෙළෙඳපොළට ක්‍රියාකාරීව සහභාගි වෙන්නේ නැහැ. වැඩි ජනගහනයක් ඉන්නේ වෙළෙඳපොළෙන් පිට. ඉතින් නියෝලිබරල් ආර්ථිකයක් දුවන්නේ නැහැ. ඒ නිසා මුලින් කළයුත්තේ වෙළෙඳපොළට ඔවුන් කැඳවාගැනීම. ඒ නිසා සාපේක්ෂ සුභසාධනයක් හරහා වෙළෙඳපොළට සහභාගිත්වය වැඩිකිරීම වෙනුවෙන් දරිද්‍රතාව අවම කරගන්න ඕනෑ. එහෙම වුණාම මධ්‍ය පරිමාණ කර්මාන්ත නඟා සිටුවන්න පුළුවන්. එතැනදී නිදහස් වෙළෙඳාම කියන සංකල්පය පොඞ්ඩක් එහා මෙහා කරන්න වෙනවා. චීනයෙන්, ඉන්දියාවෙන් ඕනෑම බඩුවක් එන්න දෙන්නේ නැතිව ලංකාවේ නිෂ්පාදනවලට වෙළෙඳපොළේ ඉඩ නිර්මාණය කරලා දෙන්න ඕනෑ. දකුණු කොරියාව එහෙම කරලා තියෙනවා. ලංකාවේ වෙළඳපොළ තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අතේ. සංඛ්‍යාලේඛන විදියට ගත්තාම ලංකාවේ ධනය උපයන්නේ ජනගහනයෙන් සීයට තුනයි. සීයට අනූහතක් ඒ ධනය මත යැපෙනවා. මේක වෙනස් කරන්න සමාජවාදී ප්‍රතිපත්තියක් ඕනෑ නෑ, හැබැයි සුභසාධන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න ඕනෑ.

මහාචාර්ය ජයදේව උයන්ගෙ ාඩ දැඩිව කියනවා නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න යෑම මේ ආණ්ඩුවේ මෝඩකමක් කියලා. ආණ්ඩුව පත්වූ විගස දේශපාලන ප්‍රතිසංස්කරණ කළ යුතුව තිබුණු බව ඔහු පෙන්වනවා. දැන් වුණත් මුලින් කළ යුත්තේ දේශපාලන ප්‍රතිසංස්කරණ බවයි ඔහු පෙන්වන්නේ. දේශපාලන ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන ඔබේ අදහස මොකක්ද?
දේශපාලනය කියන්නේ සරල රේඛීය ඒකමානීය දෙයක් නෙවෙයි. ඔහු කියන කතාවේ ඇත්තක් තියෙනවා, ලංකාවට දේශපාලන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි. හැබැයි දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න ඕනෑ මිනිස්සු එක්ක. මිනිස්සු ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ගොනුවෙලා. ප්‍රතිසංස්කරණ මිනිස්සු අනුමත කළ යුතුමයි. අනුමත කරන ක්‍රමවේදය තමයි ඡන්දය. මිනිස්සු තාර්කිකව ඡන්දය දෙන්නේ ආණ්ඩුව එක්ක සෑහීමකට පත්වෙනවා නම්. දැන් දේශපාලන ප්‍රතිසංස්කරණ කියලා හඳුන්වන අන්දමට දහනව වැනි සංශෝධනයෙන් එහා විශාල ව්‍යවස්ථා ප්‍රතිංස්කරණයක් කරගන්න නම් ජනමත විචාරණයකට යන්න වෙනවා. ආර්ථික අසහනයක් එක්ක ජනමත විචාරණයකදී මිනිස්සු මොන වගේ ප්‍රතිචාරයක් දක්වාවිද. ඔය විශේෂඥයන් මම දකින්නේ මේස පුටු විශේෂඥයෝ කියලා. ඔවුන් චෙස් බෝඞ් එකක ඉත්තෝ අදිනවා වගේ හිතනවා. මුලින් අදින්න ඕනෑ අහවල් ඉත්තා, දෙවැනියට අදින්න ඕනෑ අහවල් ඉත්තා කියලා හිතලා ඉත්තා අදිනවා. චෙස් බෝඞ් එකක ඉත්තා අපි අදින කොටුවේ නොසෙල්වී ඉන්නවා. හැබැයි සමාජය චෙස් බෝඞ් එකක් විදියට ගත්තාම මානව ඉත්තෝ අපි තියන කොටුවේ ඉන්නේ නැහැ. ඔවුන් හිතනවා. අපි ඔවුන්ව එක කොටුවක තිබ්බාම ඔවුන් තනිව හිතලා වෙන කොටුවලට යනවා. හොඳම උදාහරණය තමයි බි්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ හිතපු දේ. ඇය හිතුවා තියෙනවාටත් වඩා වැඩි බලයක් පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහින් ලබාගන්න පුළුවන් කියලා. මොකද ඇය ජනමතය තිබුණ කොටුවේම තියෙයි කියලා හිතුවා. අන්තිමේ ඇය අසාර්ථක වුණා. උයන්ගොඩ මහත්තයලා මොළේ තර්ක හැදුවත් බිම තර්ක හදන්නේ නැහැ. බිම තර්ක පැහැදිලිව ආර්ථිකය එක්ක සම්බන්ධයි.

හැබැයි ජනවාරි අටවැනිදා ඉස්මතු වුණේ දේශපාලන ප්‍රතිසංස්කරණ නේද? එතකොට ආචාර්ය චරිත හේරත් කිව්වා වගේ ඒවා අලංකාරික පමණක් වෙනවා නේද?
දේශපාලන වුවමනාවන් අවධාරණය කරමින් තමයි ජනවාරි අටවැනිදා බලය ගත්තේ. හැබැයි දැන් අවාසනාවකට ඒක බල දේශපාලනයකට නතුවෙලා. කවුරුත් තේරුම් ගතයුතුයි, මම දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනීසිටින කෙනෙක්. මම ඒවා එපා කියන්නේ නැහැ. මම කතා කරන්නේ ප්‍රායෝගිකව ඒවා කරන විදිය ගැනයි. දින සීය ඇතුළත ඔය සියලු සංශෝධන කරන්න තිබුණා. පළමු දින තුන්සීයෙන් පස්සේ ඕනෑම ආණ්ඩුවක ආකර්ෂණය අඩු වෙන බව දේශපාලනයේ අයනු ආයනු දන්න ඕනෑ කෙනෙක්ට තේරෙනවා. අපි සෝභිත හිමියන්ගේ වැඩපිළිවෙළේ ලියැවිල්ලේදී දින සීයක් නෙවෙයි, මාස හයක් ඇතුළත වැඩපිළිවෙළ කළ යුතු බව කීවා. ඒ ලියැවිල්ල සකස්කළේ නීතිඥ එල්මෝ පෙරේරා. එජාපය තමයි ඒ වෙනුවට දින සීයක වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ. දින සීයේදී කියපු දේවල් වුණේත් නෑ. දැන් සමාජය බල දේශපාලනයකට නතු වෙලා.

ඔබ හිතන්නේ මේ වෙලාවේ ව්‍යවස්ථාවක් ගෙන එන්න බැහැ කියලාද?
අපි යථාර්ථවාදී වෙන්න ඕනෑ. ප්‍රශ්නය තියෙන්නේ ජනමත විචාරණයක් ජයගැනීම හෝ නොගැනීම. ජනමත විචාරණයක් පැරදුණොත් මොකක්ද වෙන්නේ. බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් බි්‍රතාන්‍ය අගමැතිට මොකක්ද වුණේ. මේවා ගැන ලංකාවේ දේශපාලනඥයෝ හිතනවා ඇතිනේ. ඔවුන් පෘථග්ජන මිනිස්සුනේ. අනෙක් පැත්තෙන් අපට ඉන්න විපක්ෂය ආවේගශීලී, අතාර්කික විශ්වාස මත බලය ගන්න උත්සාහ කරන විපක්ෂයක්. එවන් පසුබිමක ව්‍යවස්ථාව ගැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අධිනිශ්චය වෙලා තියෙන්නේ දේශපාලනය නෙවෙයි ආර්ථිකය. අපේ බලාපොරොත්තු කොච්චර සුන්දර වුණත් යථාර්ථයට මුහුණදෙන්න වෙනවා. හැබැයි මම හිතන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව අද මඟහැරිලා ගියත් 2020 වෙද්දී නැවත ඇතිවෙන්න පුළුවන්. 19 සංශෝධනය දුරදිග නොබලා කිරීමේ ප්‍රතිඵල නිසා 2020 ආණ්ඩුව බොහෝ දුරට අකර්මණ්‍ය ආණ්ඩුවක්. සභාග ආණ්ඩුවක් තියෙන නිසායි ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නෙ. උදාහරණයක් ගත්තොත් ජාතික ආණ්ඩුවක් නොවේ නම් බිහිවෙන ආණ්ඩුව තිහක කැබිනට් එකෙන් දුවන්න වෙන්නේ. යම් විදියකින් අනුපාත ක්‍රමයට අනුව මේ වගේම බහුතරයක් නැති ආණ්ඩුවක් හැදුණොත්, අනෙක් ප්‍රධාන පක්ෂය සභාග ආණ්ඩුවකට අකැමති වුණොත් බරපතළ තත්ත්වයක් ඇතිවෙනවා. එහෙම පසුබිමක අලු‍ත්ම ව්‍යවස්ථාවක ඉල්ලීම ආණ්ඩුව සහ සමාජය තුළින් ඇතිවේවි.■