රාවය

ඇමති මංගලගේ අවධානයට වාහන ජාවාරමට රේගුවෙන් අනුග්‍රහය

ඇමති මංගලගේ අවධානයට වාහන ජාවාරමට රේගුවෙන් අනුග්‍රහය

ලසන්ත රුහුණගේ

රටේ සිදුවන කටයුතු දෙස විමසිල්ලෙන් සිටි ජනතාව කැබිනට් මණ්ඩල සංශෝධනයකින් බලාපොරොත්තු වූයේ ඔළුගෙඩි මාරුවක් පමණක් නොවේ. විවිධ චෝදනා ඇති අමාත්‍යාංශවල කටයුතු විධිමත් වීම හෝ විධිමත් කිරීමද එහි මගහැර යා නොහැකි බලාපොරොත්තුව විය. එය එසේම සිදුවේදැයි යන්න නම් මේ ආණ්ඩුවේ අතීත ක්‍රියාකාරකම් දෙස බැලීමේදී එතරම් විශ්වාස කළ හැකි දෙයක් නොවේ.
සංශෝධනය වේ යැයි අනුමාන කළ අමාත්‍යාංශවල කැබිනට් සංශෝධනයට දින කිහිපයකට පෙර සිදුවූ දේවල් ඊට හොඳ උදාහරණය. වංචා දූෂණ සම්බන්ධයෙන් කප් ගසා සිටි මුදල් අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා රේගුව භාරයේ තිබූ රෝස්වුඞ් දැව තොගය කැබිනට් මණ්ඩල සංශෝධනයට දින කිහිපයකට පෙර විකුණූ ආකාරය ඊට හොඳ නිදසුනක්ය. ඒ ආකාරයේම සිදුවීමක් කැබිනට් මණ්ඩල සංශෝධනයට දින හතරකට පෙර ශ්‍රී ලංකා රේගුව තුළ සිදුවී ඇත. ඒ අප පුවත්පත වසර ගණනාවක් තිස්සේ හෙළිදරව් කරමින් සිටින වෙහිකල්ස් ලංකා සමාගමට අයත් වාහනයක් මුදාහැරීම සම්බන්ධයෙන්ය.

මෙසේ මුදාහැර තිබුණේ චැසි අංක KZH 100-1019736 දරන ටොයොටා හයිඑස් සුපර් ජීඑල් වෑන් රථයක්ය. වාහනය මුදා හැර ඇත්තේ එහි අයිතිකරු යැයි කියන එස්ජීඩී විශ්වජිත් නමැත්තාටය. ඔහු වෙනුවෙන් වාහනය රේගුවෙන් මුදාගෙන ඇත්තේ ජාතික හැඳුනුම්පත් අංක 900720041V හිමි එම්.එම්.එම්. මින්හාම් නමැත්තෙකුය.

මෙම වාහනය වූ කලී ශ්‍රී ලංකා රේගුව හා පොලිසියේ වළාන දූෂණ මර්දන ඒකකය ඒකාබද්ධව අත්අඩංගුවට ගෙන රේගු විමර්ශනයක් සිදුකරමින් පවතින වාහන 54න් එකක්ය. මෙම වාහන සම්බන්ධයෙන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින අතර ඊට අමතරව වෙහිකල්ස් ලංකා සමාගම විසින් පැවරූ මූලික අයිතිවාසිකම් නඩුවක් ද පවතී.

එසේ නඩුවකට අදාළ භාණ්ඩයක් වශයෙන් පවතින මෙම වාහනය මුදාහැරීම සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා හේතුව වශයෙන් ප්‍රකාශ කරන්නේ අදාළ වාහනය මෙම රේගු විමර්ශනයට අදාළ නොවන මීට පෙර ලියාපදිංචිය සඳහා අවසර තිබූ මිලදී ගත් පුද්ගලයා විසින් බර කිරීම සඳහා ඊට පෙර දිනයේ එම ආයතනයට ගෙනැවිත් තිබූ වාහනයක් බවය.

විමර්ශනයට අදාළ වාහනයක් නඩුවලට සම්බන්ධ වාහනයක් යන්න හා ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය අමතක කර රේගුව දක්වන හේතුව අනුව පමණක් අවධානය යොමු කිරීමේදී අපට හමුවන විශේෂ කාරණයක් තිබේ. ඒ අදාළ වාහය සම්බන්ධයෙන් රජයට ගෙවිය යුතු නිෂ්පාදන බද්ධය. තවද එම වාහනයේ හිමිකාරිත්වය පිළිබඳ සියලු කරුණු අමතක කරමින්ය.

රේගුව හේතුව වශයෙන් ප්‍රකාශ කරන මීට පෙර ලියාපදිංචිය සඳහා අධිකරණ අවසර ලැබී ඇති වාහන 410ක් සම්බන්ධයෙන් වෙහිකල්ස් ලංකා සමාගම දේශීය වශයෙන් එකලස් කිරීම සඳහා නිෂ්පාදන බදු ගෙවිය යුතුය. එසේ බදු ගෙවිය යුත්තේ නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ පිහිටුවා ඇති රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ පාලනය යටතේ ඇති නිෂ්පාදන බදු දෙපාර්තමේන්තුවටය. ඒ අනුව මේ එකල්ස් කරනවා යැයි කියනු ලබන වාහන විකිණීමෙන් පසු ලියාපදිංචියට පෙර ඒ පිළිබඳ විස්තර නිෂ්පාදන බදු දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතුය. ඊට අමතරව අදාළ වාහනයට හිමි නිෂ්පාදන බදු ගෙවිය යුතුය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අදාළ වාහනය ලියාපදිංචිය සඳහා නිෂ්පාදන බදු දෙපාර්තමේන්තුව විසින් අදාළ අනුමැතිය ලබාදෙනු ලබන්නේ මේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් පසුය.

විමර්ශනයක් අතරතුරදී රේගුව විසින් මුදාහැර තිබෙන වාහනය සම්බන්ධයෙන් එම වාහනය විකුණූ වාහන එකලස් කරන්නා වන වෙහිකල්ස් ලංකා සමාගම නිෂ්පාදන බදු දෙපාර්තමේන්තුවට දැනුම්දීමක් කර නැත. වාහනයට අදාළ නිෂ්පාදන බදු ගෙවීමද කර නැත. ඒ අනුව අදාළ වාහනය රජයට ගෙවිය යුතු නිෂ්පාදන බදු නොගෙවා හොර පාරෙන් විකුණා ඇති ලියාපදිංචි නොකළ හොර වාහනයක් වශයෙන් සැලකිය යුතුය. කිසිදු සොයා බැලීමකින් තොරව රේගුව මුදාහැර ඇත්තේ එවැනි වාහනයකි. මේ සොයා බැලීමද රේගුවට අපහසු නැත. මන්ද නිෂ්පාදන බදු දෙපාර්තමේන්තුව රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ පාලනය යටතේ ශ්‍රී ලංකා රේගුව තුළම පවතින රේගු අධ්‍යක්ෂවරයෙකුගේ ඍජු නායකත්වය යටතේ පවතින ආයතනයක් වන බැවින්ය.
එසේම මෙම වාහනය වෙහිකල්ස් ලංකා සමාගම විසින් මීට පෙර විකුණා ඇති වාහනයක් යන්නද බොහෝවිට බොරුවක් විය හැකිය. අදාළ වාහනය රේගුවෙන් නිදහස් කරගැනීම සඳහා නිර්මාණය කරන ලද දෙයක්ද විය හැක. මන්ද මෙම වාහන අත්අඩංගුවට ගත් පසුගිය වසරේ දෙසැම්බර් සිට මේ දක්වාම මෙම වාහනය සම්බන්ධ මෙම කරුණ වෙහිකල්ස් ලංකා සමාගම මිනුවන්ගොඩ අධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ කියා නැති බැවින්ය.

කෙසේ වෙතත් වෙහිකල්ස් ලංකා සමාගමේ මේ වාහන ජාවාරම සම්බන්ධයෙන් ඉතිහාසය පුරාම නීතියට පිටින් යන අදහාගත නොහැකි අනුග්‍රහයන් ශ්‍රී ලංකා රේගුව තුළින්ද, මුදල් අමාත්‍යාංය තුළින්ද, කැබිනට් මණ්ඩල සාමාජිකයන් වෙතින්ද ලැබී ඇති බව අප වසර ගණනාවක් තිස්සේම වාර්තා කර තිබේ. වත්මන් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාද, වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාද අපගේ එම හෙළිදරව් කිරීම්වලට අදාළ වගඋත්තරකරුවන්ය. කැබිනට් සාමාජිකයන් අතරින් මෑතක වගඋත්තරකරුවා වූයේ හිටපු මුදල් අමාත්‍යවරයාය.

මේ වාහන ජාවාරමට එරෙහි වන්නට ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් අතිබහුතරයම වාගේ පැකිළේ. ඒ කළුගලේ ඔළුව ගසා ගන්නවා වැනි ඉරණමකට ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන බවට වූ සාක්ෂි සහිත දේශපාලනඥ, නිලධාරි අනුග්‍රහයන් නිසාය. මේ ජාවාරමට ඉඳහිට කවුරුන් හෝ කෂේරුකාවක් ඇති නිලධාරියකු එරෙහි වූවා නම් ඒ වෙනුවෙන් එම නිලධාරීන් ගෙවමින් සිටින වන්දිය අතිවිශාලය. අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් පත්වීම් ලැබීමට සිටි රන්ජන් කනකසබේ නමැති නිලධාරියාට අත්වූයේ එම ඉරණමය. වෙහික්ලස් ලංකා හිමිකරුවා විසින් ඔහුට විරුද්ධව අල්ලස් චෝදනාවක් නිර්මාණය කළේය. ඒ වෙහිකල්ස් ලංකාහි නීති විරෝධී වාහනයක් භාවිත කරමින් සිටි ජගත් බාලපටබැඳි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපතිත්වය දැරූ සමයේය. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විසින් කරන ලද අනාවරණය හැන්සාඞ් ගතවී පවා ඇත.

අප සාකච්ඡා කරමින් සිටින සිද්ධියට අදාළ වාහන අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳ විමර්ශනය කරමින් සිටින විජේකෝන් නමැති නිලධාරියා ද වත්මන් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අනිවාර්ය නිවාඩු යවා ඇත. ඒ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වශයෙන් ඔහු විසින් ජනාධිපතිවරයා ඇතුළු බලධාරි ආයතනවලට රේගුව තුළ සිදුවන අක්‍රමිකතා දැනුම්දීම හේතුවක් කරගනිමින්ය. එම පරීක්ෂණයේ සිටි අනෙක් නිලධාරියා වෙනත් අංශයකට මාරුකර යවා ඇත. ඉතිං මේ වාහන ජාවාරමට එරෙහිව පරීක්ෂණ ඉදිරියට සිදු නොවන බවට නම් කටයුතු සිදුවන ආකාරය අනුව දැන්ම සහතිකයක් දිය හැකිය.

රටට අතිවිශාල බදු මුදලක් අහිමි කරමින් වසර ගණනාවක් තිස්සේ රටේ වලංගු නීති අබිබවමින් දේශපාලන හා නිලධාරි අනුග්‍රහය මත සිදුකරන මේ වාහන ජාවාරම සැබෑ වුවමනාවක් ඇත්නම් වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරට නැවැත්විය හැකිය. දේශපාලනඥයන්ගේ නිලධාරීන්ගේ හා ජාවාරම්කරුවන්ගේ සාක්කුවලට යන අතිවිශාල මුදලක් රටේ පොදු යහපත සඳහා යෙදවිය හැකිය. ඒ නිසාම මේ රටේ යහපාලනය වෙනුවෙන් කැපවුණු පොදු මහජනයාගේ බලාපොරොත්තුව වූ දූෂණ අක්‍රමිකතාවලින් තොර රේගු දෙපාර්තමේන්තුවක් හෝ මුදල් අමාත්‍යාංශයක් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් චූලානන්ද පෙරේරා සමග මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සමග පවත්වාගෙන යා හැකිද යන්න නව මුදල් ඇමතිවරයා සිතා බැලිය යුතු කරුණක්ය.■

නිෂ්පාදන බදු අපිට අයිති නෑ |ධර්මසේන කහඳව රේගු මාධ්‍ය ප්‍රකාශක

රේගු විමර්ශනයක් පවතිද්දී ඊට අදාළ වාහන නිදහස් කරන්න පුළුවන්ද?
ප්‍රශ්නයක් නැත්නම් නිදහස් කරන්න පුළුවන්.
මේ නිදහස් කර තිබෙන වාහනය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවා තිබෙනවා.
එහිදී අදාළ නැති වාහනත් ගෙනත් තිබුණ මේ වාහනය වේලාසන විකුණපු වාහනයක්. එම වාහනය ලියාපදිංචි කරන්න කියලා උසාවි නියෝග තියෙනවා. අත්අඩංගුවට ගන්න කලින් දවසේ ලියාපදිංචිය සඳහා බර කිරන්න තමයි ඒ ආයතනයට ගෙනැත් තියෙන්නේ.

වාහනය අත්අඩංගුවට ගත් විමර්ශකයන්ටවත් ඒ ගැන කියන්නේ නැද්ද?
විමර්ශනය කරපු අංශයෙන්ම තමයි මුදාහැරලා තියෙන්නේ.

නිදහස් කරපු වාහනයට අදාළ නිෂ්පාදන බදු ගෙවා නැහැ නේද?
නිෂ්පාදන බදු අංශය රේගුවට අයත් නැහැ. රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතේ තිබුණට වෙනම අංශයක්. මේක දේශීය නිෂ්පාදනයක් වුණාම අපි නෙමේ බදු පෙන්වන්නේ.
කොහොම වුණත් රේගුව මේ වාහනය නිදහස් කරන්න පෙර විමසීමක් හෝ දැනුම්දීමක් කරන්නේ නැද්ද එම අංශයෙන්.
ඒක හොයලා බලන්න ඕනෑ.■