සුසන්තිකා පඩි අරන්


susabthiak

ටිරන් කුමාර බංගගමආරච්චි

ගහකින් වැටෙන ගෙඩියක් වැඩි දුරකට විසිවන්නේ නැතැයි බයිබලයේ සඳහන්ව ඇත. සුසන්තිකා සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර සංවාදයක් එතරම් දුර නොයන බව අපගේ අදහසය. එහෙත් ඒ දුර ළඟ වුවත් ක්‍රීඩාව රැගෙන යන්නේ බොහෝ ආපස්සටය.
මාධ්‍ය මේ දෙදෙනාටම රිසි ලෙස වාග් ක්‍රීඩා කිරීමට මාධ්‍ය කවුළු විවර කරමින් සිටියි. සුසන්තිකා ගෙවල්වල සිටිමින් වළං මුට්ටි බිඳ දමනුයේ බලන කාටත් රස උල්පත් මවමිනි. මුලදී කතා කළ ප්‍රශ්නය මේ වන විට වදයක් බවට පත් වී අත. මෙයින් ක්‍රීඩාවට ඇති සෙතක් නැත. මෙයින් වැසී යනුයේ ක්‍රීඩාවේම කප්පරක් ප්‍රශ්නය.

මේ දිනවල ක්‍රීඩා සංගම් නිලවරණ පැවැත්වීම අවුල් ජාලාවක් වී ඇත. ඒ සියල්ලේ වගකීම් ගෙන නිසි ලෙස ඉටු කිරීම ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සතු වගකීමක් වූවත් මෙතැනදී ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු සිටිනවාද යන පැනය පැන නගින තරම්ය. මෙවැනි පතෝල ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් කෙනෙකු සිටින කල ප්‍රශ්න විකාර ස්වරූපයක් ගන්නවා හැර වෙන කිසිවක් නොවන බව පැහැදිලිය. ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්ගේ වැඩ ද ක්‍රීඩා ඇමතිට කරන්නට සිදු වීම හරහා ඔහු ලොකු වළක වැටී ඇතැයි අපගේ හැඟීමය.
සුසන්තිකා සම්බන්ධ ගැටලුවේදී වුව ඊට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සෘජුව වගකිව යුතු වුවත් සියලු වස් දොස් පිටවූයේ ඇමති පිටින්මය.

ඇතැම් මාධ්‍ය නාලිකාවලට පැමිණ පාළු ගෙයි වළං බිඳිමින් නොයෙක් කයිවාරු ඇද බෑ සුසන්තිකා. එහිදී රටටම නිදි මරාගෙන කීවේ තමා මේ ඇමතිවරයා සිටින තාක් ක්‍රීඩා අමාත්‍යාංශයේ පස් නොපාගන බවය. කෙසේ වෙතත් පස් නොපාගා ගෙන සුසන්තිකා ක්‍රීඩා අමාත්‍යාංශයට ගොස් ඉකුත් 13 වැනිදා තමාගේ එතෙක් නොලැබුණු හිඟ වැටුප් ලබාගෙන ඇත. ඒ අනුව මාස දෙකෙහිම වැටුප ඇයට ලැබී ඇත.

එලෙස වැටුප් ලබාගෙන හෝ මේ නාඩගම අවසන් වීම අගනේය. මන්ද සුසන්තිකා නාටකයට ඇරුණු කොට ක්‍රීඩාවට කළ යුතුකම බොහෝ වැඩ ඇති බැවිනි. සුගතදාස ක්‍රීඩාංගණය තවමත් එලෙසමය. මෙය නැවත ගොඩනැගීම් නොකර දැනට දීර්ඝ කාලයකි. වත්මන් ඇමතිවරයාද පැමිණ දැන් වසර දෙකක් පමණය. එහෙත් සුගතදාස ක්‍රීඩාංගණයේ තත්ත්වය එලෙසමය. එසේ නම් දැන් සුසන්තිකා අතහැර ජයගත යුතු ප්‍රශ්න බොහෝමයක් ඇත. එහි මූලිකව අංගය සුගතදාස ක්‍රීඩාංගණයය. මෙරට ඇති එකම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණය එයය. ගහකොළ සමාගම දැමූ තුට්ටු දෙකේ ධාවන පථය මත දිව යමින් මෙය නම් අගනේයි කී පිරිස අදද ක්‍රීඩාවේ නියැලෙති. මේ බොරු සහතික බොරු වෙස්මුහුණු අදත් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා වටා ද සිටිති. එබැවින් තවමත් සුගතදාස ක්‍රීඩාංගණය නිමාකරගත නොහැකි වී ඇත. එහෙත් වත්මන් ඇමතිවරයා එය අවසන් කිරීමට උපරිම කැප කිරීම කළ යුතුව ඇත. ක්‍රීඩා පනත සංශෝධනය කරනවාටත් වඩා එය හදිසියේ කළ යුතු හදිසිම කටයුත්තකි.

ක්‍රීඩා සංගම් නිලවරණ ද මෙවර විගණන වාර්තා අනිවාර්ය වීමත් සමඟ එය අනිවාර්ය කියන වචනයට සීමා නොවී ක්‍රියාවට නැගෙන විට සංගම්වල නිලවරණ පැවැත්වීම අවුලෙන් අවුලට යන තත්ත්වයක් නිර්මාණය විය. අනෙක් අතට සංශෝධනය වූ පනතේ ඇතැම් වගන්ති අකුරටම පිළිපැදීම නිසා බොහෝ අයට සංගම් දොරගුළු අගුල් වැටෙන තත්ත්වයක් නිර්මාණය වී ඇත. එය හොඳ ලක්‍ෂණයක් වුවත් මේ අවංක බව ඇතැම් සංගම්වලට බල නොපාන බවත් ඇතැම් පුද්ගලයන්ට බල නොපාන බවත් ඇතැමුන්ගේ චෝදනාවය. මේ චෝදනාවලින් ද මිදිය යුතුව ඇත. ඒ සඳහා මේ සියල්ලෙහි විනිවිදභාවයක් පැවතිය යුතුය. අප කීවේ සංගම් අවුල් සැප්තැම්බර් මාසයේ හෝ අවසන් වන්නේ නම් මැනවිය යන්නය. මේ ඇදිල්ලත් එක්ක එය එලෙසම වන බව පැහැදිලිය. ඒ කෙසේ වෙතත් කඩිනමින් මේවා විසඳාගෙන ක්‍රීඩාව දියුණු කරන වැඩපිළිවෙළකට යා යුතුව ඇත. සංගම්වලට පත්වන නිලධාරීන්ට සිව් වසරක් ඇතැයි කියා නිදා සිටින්නට ඉඩ නොදිය යුතු සේම ඒ පිළිබඳ නිසි සොයා බැලීමක් අධ්‍යයනයක් කරන තත්ත්වයක් උදා කළ යුතුය. මේ සියල්ල හරහා ක්‍රීඩාවට නව පාරක් කපා ගත හැකිය. එය කළ නොහැකි දෙයක් නොවේ. අවශ්‍ය වන්නේ එය බර තබා ඇදගෙන යා හැකි ඇමතිවරයෙකි. වත්මන් ඇමතිවරයාට එය කළ නොහැකිවාද නොවේ. විය යුත්තේද මොහු ලවාම මේ මඟ හෙළි පෙහෙළි කර ගැනීමය. මේ ඊට හොඳ කාලයක්ය.■