අතඇරුණා


rajdu

රජිඳු කාශ්‍යප

‘අපි අද දවසේ පන්දු රැකීමේ දී යළිත් වරක් අතිශය දුර්වල වුණා. අපි එම උඩ පන්දු රැක ගත්තා නම් අද මේ කතාව මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා. විශේෂයෙන් ම එය සිදුවුණේ ඉතා ම වැදගත් අවස්ථාවක දී…’ චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට විසිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍යට ප්‍රකාශ කළේ එවැන්නකි.
සැබැවින් ම පාකිස්තානය හා සමඟ තරගයේ දී සිදු වූයේ මැතිව්ස් කියනා දේ ම ය. විශේෂයෙන් ම අපගේ පන්දු රැකීම ජාත්‍යන්තර මට්ටමේ කණ්ඩායමක් සේ නොව පාසල් කණ්ඩායමකටත් වඩා පහළ මට්ටමේ විණි. එය ඒ තරමට ම දුර්වල ය. ඒ පිළිබඳ ව නැවත නැවතත් පැවැසීම පලක් නැත.

අප මීට පෙර රාවය කලාප මගින් ද පෙන්වා දුන්නේ චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය අනපේක්ෂිත බවයි. එය එක දිගට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් පෙන්වූ අදක්ෂතා හේතුවෙන් ම විණි. කෙසේ වෙතත් මෙවර තරගාවලියේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් නැවත වරක් හිස ඔසවතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූහ. එම තරගයේ දී සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සමත් වූයේ එය සිදු විය යුත්තක් ම වූ බැවිණි. අප සෑම විටක ම කඩාවැටුණ පසු නැගී සිට ඇත්තේ ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමිනි. එබැවින් මෙවර ද සිදුවූයේ එය ම බැව් බොහෝ දෙනෙකුගේ විශ්වාසය වුණි. එහෙත් වෙනදා මෙන් එය මෙවර සිදු නොවුණි. එකී ජයග්‍රහණයේ උණුසුම වියැකී යෑමටත් ප්‍රථම නැවත පරාජය වැළඳ ගැනීමට අපට සිදු වුණි.

මේ පරාජයත් සමග එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමෙන් එක් ස්ථානයක් පහත බැසීමට අප කණ්ඩායමට සිදු වුණි. දැන් අප සිටින්නේ පාකිස්තානයට පහතිනි. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ සෑම කණ්ඩායමක් ම තම වෘත්තීය නිපුණතාවන්ගෙන් ඉදිරියට පැමිණි අයුරක් පෙන්වූව ද අප කණ්ඩායමට එවැන්නක් පෙන්වීමට හැකි වූයේ නැත. එසේ විණි නම් පාකිස්තානය හා සමඟ තරගයේ ප්‍රතිඵලය මීට වෙනස් වීමට ඉඩ තිබුණි.

එතෙක් අපටත් වඩා පසුපසින් පාකිස්තානුවන් සේ ම බංග්ලාදේශ කණ්ඩායම් ද අප ව අබිබවා ගොස් තිබේ. මේ සටහන තැබෙන විට පාකිස්තානුවෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටිති. බංග්ලාදේශය තම තීරණාත්මක තරගයට මුහුණ දීමට සූදානම් සිටියි. ඔවුන් මේ තරගයේ දී යම් ප්‍රාතිහාර්යයක් කරන්නේ නම් එය ක්‍රිකට් වංශකතාවේ අමරණීය අවස්ථාවක් වනු නියත ය. ඇතැම් විචාරකයන් නොකියා කියන්නේ ද එය බැව් ය ඒත්තු යන්නේ. එවැන්නක් සිදු විය හැකි ද? මෑත කාලීන දක්ෂතා අනුව ලොව කාගේත් කතාබහට ලක්වූ කණ්ඩායමක් වේ නම් ඒ බංග්ලාදේශයයි. අද දවසේ දී ඔවුන් තමන්ගේ තරම ලොවට පෙන්වමින් සිටී. එහි පෙර ගමන්කරුවෝ අපේ සහෘදයෝ ය. එබැවින් එවැන්නක් සිදු වේ නම් අප හදවතින් ම සතුටු වෙමු. බංග්ලාදේශය සපැමිණි ඒ ගමන අප කණ්ඩායමට පැමිණීමට නොහැකි වූයේ ඇයි?

මේ පරාජිත පශ්චාත් සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය ඊට යොමුවන්නේ නම් වඩාත් වැදගත් බැව් ය අපගේ මත ය. විශේෂයෙන් ම තවත් නොබෝ දිනයක දී සිම්බාබ්වේ කණ්ඩායම දීර්ඝ තරග සංචාරයක් සඳහා මෙරට ට පිවිසීමට නියමිත ය. එම අතිසාර්ථකව නිමා කරනු දැකීමය ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ අභිප්‍රාය. ඊට දැන් සිට ම පේ විය යුතු ය.
මේ සඳහා නිමාවූ චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය ආදර්ශයට ගත හැක. ක්‍රීඩකයන්ගේ ආබාධිත තත්ත්වයන් පසෙක තබා අනෙකුත් දෑ ගන්නේ නම් ඉගෙන ගත යුතු දේ බොහෝ ය. ඒ අතුරින් නියමිත කාලයට පෙර පන්දු ඕවර ප්‍රමාණය යැවීම ද ගත හැකි ය. ඒ තරගයක සාමාන්‍ය නීතීන් ය. මේ නීතීන් සම්බන්ධයෙන් ක්‍රීඩකයන් දැනුවත් කිරීම් කොතෙක් වැදගත් ද යන්න නිමා වූ තරගාවලියේ දී අත් දුටුවෙමු.

අඩු ම තරමින් මෙවැනි තත්ත්වයක් පණිවිඩයක් මගින් ක්‍රීඩාංගණයට යැවීමට තරම් වත් අවබෝධයක් සංචාරයට එක් වූ එක් නිලධාරියෙකු ටවත් නොතිබුණි ද? මේ ප්‍රාථමික මට්ටමේ අවබෝධයන් හෝ නොමැත්තේ නම් මෙවැනි සංචාර සඳහා මේ නිලධාරීන් නම් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලාපොරොත්තු වන්නේ කුමක් ද? මේ සිද්ධීන් ද කණ්ඩායමේ පෞරුෂයට හානිකර දෑ සේ අපි දකිමු. අප පළමුවෙන් ම කළ යුත්තේ නීතියට අනුගත වීම ය. ඉන් පසුව ය සෙසු දේ.

ඒ අනුව පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම කෙරෙහි අවධානය යොමු කළ හැකි ය. මේ වනවිට පිතිකරණයේ යම් හිස එසවීමක් දැකිය හැකි ය. ඒ සම්බන්ධයෙන් කණ්ඩායමට එක් ව ඇති යොවුන් ක්‍රීඩකයන් ඇගයිය යුතු ය. එහෙත් පන්දු යැවීම සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇති ප්‍රශ්නයන් ඉතා ඉක්මනින් විසඳාලිය යුතුවේ. විශේෂයෙන් පෙර පරිදි එක් අයෙකු දෙදෙනෙකු මත විශ්වාසය තබමින් පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීමක් අපේක්ෂා නොකළ යුතු ය. පන්දු රැකීමේ අංශයේ විශාල කඩා වැටීමක් මෑත කාලයේ දුටුවේ නම් ඒ පාකිස්තාන තරගයේ දී ය. එවැන්නකට නැවත ඉඩ දිය යුතු නොවේ.

පන්දුවට පහරදීම, පන්දු යැවීම සේ ම පන්දු රැකීම ද එකසේ දියුණුවූ කණ්ඩායමකට විශ්වාසයෙන් යුතුව තරගයකට අවතීර්ණ විය හැකි ය. වෘත්තීය ක්‍රීඩකයන් සෑම කෙනෙකු ම පළමු වෙන් ම කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමයි. එය සාමාන්‍ය තියරියයි. එසේ වුව ද වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙකු වූ පමණින් සියල්ලෙහි අගතැන්පත් විය යුතු ම යැයි අපි නොකියමු. එවන් ක්‍රීඩකයෙකුගෙන් ඉටු විය යුතුකම් බොහෝ ය. එවන් ක්‍රීඩකයන්ගෙන් ක්‍රීඩා ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුවන දේ අතිමහත් ය. ඒ අතරට බොහෝ අතපසු වීම් සහ වැරදීම් විය හැකි ය. එහෙත් මතක තබා ගත යුතු ය, එක ම වරද අනාගතයේ යළි යළිත් සිදුවිය නොහැක.■