දොරේ අයියා මචං එක්ක රවුමක්


dore

කේ. සංජීව

“‍මම දොරේ… උළුහව් නැති දොර..”‍
සිනා සරින් තල් කොළත් උස් පහත් වෙනකොට, අන්නපුල්ලේ මාමාගේ රැවුලෙන් තල් රා බඩට පෙරෙනකොට, පලු‍ ගහ වටේට රංචු ගැහිච්චි අඩකව මිනිස් පොකුරු පොකුරු එක එක කතාබතා අස්සේ හැංගෙනකොට, මමත් තල් රා අඩියක් එක්ක. අඩියක් කිවුවාට මේක කොකාකෝලා මෙගා එකක් බාගෙට කපලා හදපු ලොකු කෝප්පෙක. සටසට ගාලා සිනාසෙන තල් රා අහුරක් එක්ක අඩ කවයක මිනිස් පොකුරකට අඩියට දෙකට අඩියක් ළංවුණා. ඊළඟට ගුඩුස් ගාලා තල් රා උගුර බඬේ වාඩිවෙනකොට මමත් වාඩිවුණා. වාඩිවුණා කිව්වාට බිම තප්පලන් ගහගත්තා. මගේ ළඟම දොරේ මචං. දොරේ අයියා.
“මගේ නියම නම කාලිරත්නම්. මම 1980 ජූලි කලබලයට ජීවිතය බේරගන්න තමයි මෙහෙට ආවේ.”‍
මෙහේ කොහේද?.. මම මෙහෙම වාඩිවෙලා රා කට්ටකින් සිතයි ගතයි දෙකම සනසා ගත්තේ වව්නියාව මුලතිව් මායිමේ නැදුන්කර්නි පළාතේ කිරිසුඩාන් කියන ගමේ. මේ ගමට අල්ලපු ගම තමයි කට්කුලම්. වැලිඔය මගේ මිත්‍රයා තමයි මේ තල් රා සලට පාර පෙන්නුවේ. මුලතිව් වැලිඔය ඉඳලා වව්නියා කට්කුලම්වලට කාපට් පාරේ අත දිග ඇරියා වගේ.
“කිරීසුඩාන් කියන්නේ මුකටියට වෙඩි තියපු තැන ගම කියන එක.”‍
කිරී සුට්ටාන්, කිරී සුද්ඩාන් මගේ කන අස්සේ තවමත් දොරේ යමින් එමින් මචංගේ සද්දේ නින්නාද දෙනවා. මට මේ ගම ගැන තියෙන්නේ හොඳටම වෙරිවෙච්චි මතකයක්. එදා තල් ගස්වලට විතරක් නෙවෙයි නැදුන්කර්නි සුළඟටත් හොඳටම වෙරි. දොරේ මචංට හොඳට සිංහල පුළුවන්. එනිසා මම ගොඩ. මම මිනිහාත් එක්ක කවයෙන් කවයට පැනලා හොඳටම වෙරි වුණා. සම්බරපුල්ලේ මාමාගේ බීඩි එතිල්ල පංකාදුයි. අලු‍ත් දුම්කොළ සුටුස් ගාලා බීඩියක් වෙනවා. ඊළඟට රස සුවඳක් නැහැපුඩු අස්සේ කොනිත්තනවා. දැන් මම මේ ලිපිය අකුරු කරන අස්සේ ආයෙත් ආයෙත් මගේ හිත කොනිත්තගන්නවා.

“මම ඉපදුණේ හැදුණේ කුරුණෑගල රිදීගම. අපි කුරුණෑගල ඉඳලා පවුල් 25ක් විතර අනාථ වෙලා කෙළින්ම ආවේ මෙහාට්ට. ඊළඟට මෙහේ තමයි සේරම. ගෑනියෙක් ගත්තා. ළමයි හැදුවා. යුද්දෙකට මුහුණ දුන්නා. කොහොම හරි අවුරුදු 30ක් හිරේ ගියා වගේ හිටියා. වව්නියාවලට යන්නත් අවසර ගන්න මාසයක් විතර රස්තියාදු වෙන්න ඕනි. ඊළඟට ගිහිං එනකම් ඇපයට දෙන්නෙක්ගේ නම් සංවිධානයට දෙන්න ඕනි. ගිය එකා ආවේ නැතොත් අර දෙන්නට පුල්ලෙයාර් ගේ පිහිට තමා. අපි යුද්ධ කාලෙත් ගොවිතැන තමයි කළේ. හැබැයි බඩු හිඟයි. ගණන්. දැන් එහෙම නැහැ හොඳයි. යුද්දේ නිසා මගේ කෙල්ල මළා …”‍
එතැනින් පස්සේ දොරේ මචං නිස්සද්දයි. අපි තරගයට වගේ තමයි රා බිව්වේ. තව රා අඩියකට මාරුවෙන්න නියම වේලාව. ගහමු තව එකක්. මම යෝජනා කරනවා.
“දන්නවාද එල්ටීටීඊ කාලේ රා බෝතලයක් කියද කියලා. රුපියල් 12යි. දැන් 100යි. එහෙම බැලු‍වාම යාළුවා යුද්දෙත් හොඳයි.”‍
මගේ යෝජනාව ලොකු සිනා හඬක් එක්ක ආයෙත් සම්මත වෙනවා.
‘මගේ දුව නැතිවෙනකොට එයාට වයස දොළහයි. මුල්ලිවයිකාල්වලදී ආටි කෑල්ලක් වැදුණා. මං හිතන්නේ මගේ කෙල්ලට තනි නැහැ. එයා ලක්ෂ දෙකක මිනිස්සු එක්ක තමයි අපි දාලා යන්න ගියේ. මේ ගමේ අල්ලපු ගමේ මේ හැම තැනකම අහිංසක මිනිස්සු ලක්ෂ දෙකක් විතර නිස්කාරණේ මැරුණා. අපි හැවෝම තවම ඉන්නේ ඒ දුකෙන්.”‍
මේ දුක අස්සෙත් දොරේ සිනාසෙනවා. විහිලු කරනවා. හැබැයි දවසට රා බෝතල් දහයකට විතරවත් වග කියනවා. ඔහේ රා බොනවා. අහසට බීඩි දුම් අහුරු අහුරු විසිකරන ගමන්, කිසි කමක්කාරියක් නැතුව ඔහේ ඉන්න මිනිස්සු මෙහේ ඕනි තරම්. එහෙම මිනිස්සු කතාවකට වට්ටගන්න හරිම අමාරුයි. මම දොරේගේ පිහිටෙන් පොඩි ට්‍රයි එකක් දුන්නා. රා සල වටේට ගස්ලබු ගස් හිනාවෙනවා. ගස්ලබු ගහක් දෙකක් අස්සෙන් අහසට පනින තල් ගහක් යුද්දේ සලකුණු සඟවාගෙනම අපි දිහා ඔරවාගෙන. මේ වියලි හුළඟත් කතාවක් කියනවා. දොරේට ගැහැනු ළමයි තුනයි එක කොල්ලයි. මේ රංචුවෙන් එක කෙල්ලෙක් යුද්දේ අරගෙන ගිහිං. 1980 ජුලි කලබලවලට ජීවිතය අඩියක් පස්සට ගත්ත දොරේ මචං වව්නියාවේ ඇවිත් පොළවත් එක්ක යුද්ධයක් කරලා ඉඩම් අක්කර 20ක්ම සන්තක කරගෙන. ඒ යුද්ධයෙන් දිනලා. හැබැයි හැම යුද්දෙම එහෙම දිනන්න බැහැ කියන එක තමයි මේ අහසට හූල්ල හූල්ල රා බොන්නන්ගේ කතාව. අපි දෙන්න ඊළඟට ගියේ සම්බරපුල්ලේ මාමා ළඟට.

සම්බරපුල්ලේ මුත්තා
“‍මට කාර්ට්කුලම්, කිරීසුඩාන්, ඕලමඩු ඉඩම් අක්කර 20ක් තියෙනවා. කුඹුරු අක්කර 10ක්. ගොවිතැන තමයි කරන්නේ. දැන් වැඩිපුර දුම්කොළ වවනවා. මට ළමයි 10යි. කෙල්ලෝ 5යි කොල්ලෝ 5යි. යුද්ධය කාලේ ළමයි 5ක් මැරුණා. දැන් එක පුතයි ඉතුරු. කාර්ට්කුලම්වල 50ක් විතර යුද්ධය නිසා මැරුණා. මම රා බොනවා. සුරුට්ටු බොනවා. ප්‍රමාණය කියන්න බැහැ.”‍
මාමා කතාව අස්සෙම සුරුට්ටුවක් ඔතනවා. මෙහේ යස රඟට වැවෙන දුම්කොළ තමයි මඳ අව්වේ වියලිලා මේ විදියට මාමාගේ අත දිගේ රෝල් වෙන්නේ. රා අඩියට සුරුට්ටු දුම් ගුලියක් සැන්ඩි කරගන්න ගමන් මම අපේ කතාව අස්සට පැන්න තවත් මචෙක් ගේ කතාවට මේ විදිහට මේ ලියමන අස්සේ ඉඩ හදනවා.
“‍මේ මුත්තාගේ ලොකු කොල්ලා මැරුවේ හමුදාවෙන් 1992 අවුරුද්දේ. මම ඇස් දෙකටම දැක්කා. ඔය ඉස්සරහා පිංකැටේ හංදියේ තමයි ඒ සිද්ධිය වුණේ. ඔය මුත්තාගේ ලොකු පුතායි තව තුන්දෙනෙකුයි කුඹුරට ගිහින් ආවා. ඒ එනකොට ඔය හංදියේ හැංගිලා හිටිය කොමාන්ඩෝ කණ්ඩායමක් ඒ කට්ටියට වෙඩි තිබ්බා. මාමාගේ පුතාගේ නමත් ප්‍රභාකරන්. මම මේ සිද්ධිය හැංගිලා බලාගෙන හිටියා ප්‍රභාකරන්ගේ බෙල්ල කැපුවේ ටීපනස්හයෙන් වෙඩි වැස්සක් තියලා. ඊට පස්සේ ඒ ඔළුව අරගෙන ගියා. මෙන්න පහුවදා ටෙලිවිෂන් එකේ ඒ ඔළුව පෙන්නනවා මේ කොටි නායක සෙල්වම්ගේ කියලා. පට්ටපල් බොරු”
මේ විදිහට සම්බරපුල්ලේ මාමාගේ ලොකු පුතාට ජීවිතය නැතිවෙනවා. මේ වාගේ කතා කෝටියක් මේ පොළවේ තැනින් තැන පැළවෙලා තල් ගස් වගේම හිත් අස්සේ උසට උසේ හැදිලා. මේ දුක අස්සෙත් අමාරුවෙන් කතාකරන මාමාගේ එකම බලාපොරොත්තුව ආයෙත් යුද්දයක් ඕනි නැහැ කියනෙක. හැබැයි ඒකට හැමදාමත් පත්තුවෙන මේ මිනිස්සුන්ගේ දුක නිවලා දාන්න වෙයි. දැනට තල් රා එක පොඩියට කරනවා. මේ බිමේ පැළවෙන දුම්කොළ සුවඳ කරනවා.

වීරු ගාමිණීගේ කතාව
“මම ඉපදුණේ නුවර වත්තේහේන කියන ප්‍රදේශයේ. මගේ තාත්තා සිංහල. අම්මා දෙමළ. මම මෙහෙට ආවේ තනියෙම 1988 අවුරුද්දේ. ඒ එනකොට දොරේ එහෙම මෙහේ පදිංචිවෙලා ගොවිතැන් කරනවා. මමත් මෙහෙන්ම බැඳලා ගොවිතැන් කරන්න පටන්ගත්තා. මමත් අක්කර 20ක් හැදුවා. දැන් ඒ ඉඩම් සේරම දරුවන්ට දීලා තියෙන්නේ. මම දැන් කරන්නේ රා අදින එක. හොඳට රා බොන්න දෙනවා. කන්න දෙනවා. ඊළඟට දවසට 1500ක් දෙනවා. මම ගොවිතැන් කරලා ලක්ෂ 20ක් ණයයි. දැන් ඉතින් රා ඇදලා ඒක ගෙවනවා. කවදා ගෙවලා ඉවරකරන්න ලැබෙයිද දන්නේ දෙයියෝ තමයි.”
ගාමිණී උතුරට ආවාට සරු ජීවිතයක් ලැබිලා නැහැ. දරුවන්ගේ සාර්ථක ජීවිතය විතරයි එකම සතුට. යුද්ධය යන්න ගිහිං තියෙන්නේ ගාමිණි ණයකාරයෙක් කරලා. දැන් රා බොනවා. රා අදිනවා. ඒක තමයි මේ මනුස්සයාගේ ජිවිතේ. හැමදාම අවතැන් විදිහටමද මේ මිනිස්සු ජීවිතේ ගෙවලා දාලා තියෙන්නේ කියලා වෙලාවකට හිතෙනවා. ටකරන් වටකරපු වත්ත වටේට මැද ගෙදර තියාගෙන මිනිස්සු රංචු රංචු රා අඩියටම හිස් කරනවා. හරියට යුද්ධය හිස්කරලා දාපු ජීවිතය එක හුස්මට පුරවගන්න පුළුවන් වගේ. දුම්කොළ සුරුට්ටුවේ දුම් කැරලි ගහනවා පපුකැනතු අස්සේ මේ දුක දුම් ගුලියක් කරලා අහසට විසිකරලා දාන්න. වියලි සුළඟත් හැම වේලේම වෙරිවෙලා සරනවා ඔහේ මුනිස්සම්වලින් සිදුරු වුණ මිනිස් ජීවිත පසාරු කරගෙන. මෙහෙම බැලු‍වාම ආණ්ඩු කොච්චර තිබුණත් මේ මිනිස්සුන්ගේ දුක නිවන්නේ තල් ගස.■