රාවය

මට හිතුණා මම කවියෙක් කියලා- ලක්ශාන්ත අතුකෝරල

මට හිතුණා මම කවියෙක් කියලා- ලක්ශාන්ත අතුකෝරල

ටිරන් කුමාර බංගගමආරච්චි

ඔබගේ සාහිත්‍ය ජීවිතයට වැඩියෙන්ම බලපෑවේ අම්මාද තාත්තද?
තාත්තා. මගේ තාත්තා ලංගම ෆෝමන් කෙනෙක් විදිහට වැඩ කළා. පස්සේ කාලෙදි රස්සාව නැතිවෙලා ගෙදරට වෙලා හිටියා. ඒත් තාත්තාගේ නැති නොවුණ දෙයක් තිබුණා. ඒ තමයි කියවීම. මගේ තාත්තා පොත් කියවීමට ඇබ්බැහි වුණු කෙනෙක්. ඒ වගේම ඔහු පොත් ගත්තා. අපිට පුංචි කාලේ ඉඳලා දකින්න ලැබෙන්නේ මේ තත්ත්වය. ඒ නිසා අපිත් තාත්තා වගේම පොත්වලට ඇලුම් කළා. මගේ ජීවිතය වෙනස් වෙන්න පොත් බලපෑවා නම් ඒ බලපෑම මට ලැබුණේ තාත්තා නිසා. ඒ නිසා තාත්තා තමයි මේ ගමන එන්න පාර පෙන්නුවේ.

එතකොට ලක්ෂාන්ගේ ගම..
නිට්ටඹුවේ. නිට්ටඹුවේ වෙදගම. මම පාසල් ගියේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට.

පාසල් කාලයේත් සාහිත්‍ය උනන්දුව ඒ විදිහටම තිබුණාද?
ඔව්! කියෙව්වා. ඒ අතර හිතට එන දේවල් පරණ ඩයරිවල ලිව්වා. එහෙම ලියාගෙන යනකොට කවි වගේ ඒවා ලියැවුණා. ඒවා පත්තරවලට යැව්වා. පත්තරවලත් පළවුණා. මේ කාලේ ම පැරණි ක්‍රීඩා තොරතුරු එකතු කරලා ලේක්හවුස් කළ ක්‍රීඩා පත්තරයට ක්‍රිකට් ගැන ලිව්වා. මේවා මම පාසලේ ළමයින්ට පෙන්නුවාම මගේ පන්තියේ ළමයි කිව්වේ ඒ මම නෙමෙයි, ඒ මගේම නම තියෙන වෙන කෙනෙක් ලියන්නේ, මම ඒකෙන් සතුටු වෙනවා කියලා. එතකොටත් මට හිතුණේ මම දෙයක් කරනවා, ඒක පිළිගන්නත් මේ අය මැලිවෙනවා කියන්නේ මම කරන දේ ලොකු දෙයක් කියලායි.

එය ඔබගේ පුංචි හිතට ආඩම්බරයක්ද?
ඔව්! කොහොම වුණත් මම උසස් පෙළට තෝර ගත්තේ මැත්ස්. මැත්ස්වලට මගේ දක්ෂතාවක් තිබුණා. ඒත් මැත්ස් මාස අටක් විතර කරන කොට මගේ හිත කලාව පැත්තට ඇදිලා ගියා. ඒකට මම ආශ්‍රය කළ අය බලපෑවා. මගේ යාළුවෝ නාට්‍ය, චිත්‍ර විෂයයන්වලට දක්ෂ වුණා. මමත් කවි ලියන හන්දා මාව ඇදිලා ගියේත් ඒ පැත්තට. මම ලිව්ව මුල්ම කවිය පළවුණේ 90දී. එතකොට මට වයස අවුරුදු 12ක් විතර ඇති. ඒ දිවයින ‘කවි මුතු’ පිටුවට. කොහොම හරි මම යාළුවෝ එක්ක කොළඹ නාට්‍ය බලන්න එනවා. චිත්‍ර ප්‍රදර්ශන බලන්න එනවා. මම හිතුවා මට ගැළපෙන්නේ ආර්ට්ස් කියලා. මම මැත්ස්වලින් අයින් වෙලා ආර්ට් කරන්න ආවා. ගුරුවරු ඇහැව්වේ ආ ඇනගෙන ආවාද කියලා. ඇත්තටම එහෙම නෙමෙයි මට තිබුණු ආසාවටමයි ගියේ.

ආර්ට්වලින් ඔබ ගමනක් ගියාද?
ඔව්! අද ඉන්න තැන දක්වා ආවේ ඒ නිසා. මම ආර්ට්වලින් කැම්පස් තේරුණා ලෝ කරන්න. මම හිතනවා අන්තිම මොහොතේ හරි මම තෝරාගත්ත එක වැරදි නැහැ කියලා.

කැම්පස් ජීවිතය කොහොමද?
මෙතනදී කියන්න ඕනෑ මම කැම්පස් එකටම හුරුවුණේ නැහැ. මම රැකියාවක් කරන ගමන් කැම්පස් ආවා. ඒ අතර මම දිවයින පත්තරයටත් ලියන්න ගත්තා. හැම වැඩක්ම අතරතුර තමයි ඉගෙනීම කළේ. ඉතින් මට කිසිවක් එකම වැඬේ වුණේ නෑ.

කැම්පස් එනකොටත් ලක්ෂාන් කවියෙක්.
ඔව්! ගමේදී කවියෙක් විදිහට ලොකුවට දන්නේ නැහැ. ඒත් කැම්පස් ආවාම කියවන පිරිසක්, දැනුවත් පිරිසක් හමුවන්නේ. මේ අය අතර මම වගේම පත්තරවලට කවි ලියන අය ඉන්නවා. මම ඒ අයගේ ඒවා කියවලා තියෙනවා. ඒ අය මගේ කවි කියවලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි නමින් දන්නවා. අන්න එතැනදී තමයි මට කවියෙක් විදිහට පිළිගැනීමක් ලැබුණේ.

ඔබ තෝරාගත්තේ නීතිය නේද?
ඔව්! ඒත් කවිය අත ඇරුණේ නෑ. ඒක මා තුළම තිබුණා. මගේ ප්‍රකාශන මාධ්‍යය කවිය. ඉතින් මට යමක් ප්‍රකාශ කරන්න ඕනෑ වුණාම මම කවියෙන් ඒ දේ කිව්වා. මගේ කවියේ මුල් අයිතිකාරයා මගේ තාත්තා. ඔහු මම ලියන කවි කියෙව්වා. ඒ කියලා අම්ාමට මල්ලිට නංගිටත් කියවන්න කිව්වා. කවදාවත් අදහස් පළ කළේ නෑ. ඒත් රස වින්දා. පහුකාලීනව නම් මගේ සමහර කවි තේරෙන්නෙ නෑ වගේ කතාත් ඔහු කියලා තිබුණා.

තාත්තා හොඳ කවි රසවිඳින්නෙක්.
අපෝ ඔව්! ඔහුට කිට්ටු හිතවත්කමක් තිබුණා මහගමසේකර සමඟ. සේකර සමඟ මධුවිතත් අරගත්ත කෙනෙක්. ඉතින් තාත්තා ඉඳහිට අඩියක් ගැහැව්වාම කියන්නේ සේකරගේ කවි. මේක අපිට ලොකු පිටිවහලක් වුණා. කොටින්ම ඔහු සේකර හඳුනනවා කියන එක අපටත් කිව්වේ ආඩම්බරයෙන්. ඒ තුළම මම තේරුම් ගත්තේ තාත්තාගේ කවි විඳීමම තමයි.

කැම්පස් ගියාම තාත්තාගේ සම්බන්ධය වැඩුණේ කොහොමද?
ඊළඟට ගෙදර යනකොට මම කළේ පොත් තොගයක් අරගෙන යන එක. තාත්තාට ඊට එහා දෙයක් නෑ. අපි පුංචි කාලේ තාත්තා අපිට පොත් ගෙනැවිත් දුන්නා. මම ලොකු වෙලා තාත්තාට පොත් අරගෙන ගියා. තාත්තා අපිට කලින් ඒ පොත් කියෙව්වා.

ඔබගේ සහෝදරයන්ට මේ ලක්ෂණ ඇතිවුණේ නැද්ද?
මල්ලි ආකිටෙක්ට් කෙනෙක්. ඒත් කලාවට ළැදියි. කෙටි චිත්‍රපට කරනවා. අද මගේ පොත්වල කවර කරන්නේත් ඔහු. මම හිතනවා තාත්තාගේ දේ මට බලපෑවා වගේ මල්ලිට බලපෑවේ මාව කියලායි.

ඔබ කැම්පස් ජීවිතය තුළ දේශපාලනය තෝරාගත්තේ නැද්ද?
මම කැම්පස් ගියේත් තව දේවල් කරන ගමන්. ඒ නිසා ෆුල්ටයිම් දේශපාලනය කරන්න මම නැඹුරු වුණේ නෑ. ඒ වාගේම ලෝ ෆැකල්ටියේ දේශපාලන බල අරගලයක් තිබුණේ නැහැ. සේරම වගේ එකඟතාවක හිටියා. මම රැග් එකට පවා විරුද්ධ පිලේ හිටියේ. අපේ දේශපාලනය වුණේ එවැනි ආරක්.

ඔබට ඔබ කවියෙක් කියලා දැනුණේ කොහොමද?
ඒ කාලේ රාවය ‘පද්ම තටාකය’ රත්න ශ්‍රී කරන කොට ඔහු ඒ සතියේ එවන හොඳම කවිය තෝරලා ඒ ගැන වෙනම සටහනක් කළා. මේ ඉඩ ගන්නවා කියන්නේ ‘එයා කවියෙක්’ කියන තැන කවි ලියන හැමෝම හිටියා. මාත් හිටියේ එතැන. ඉතින් මගේ කවි අර තෝරාගැනීමට ලක් වෙනකොට මට හිතුණා මම කවියෙක් කියලා. ඒක තමයි මම මාව හඳුනාගත් මුල් තැන. ඊළඟට ‘කවි සියපත‘ එකක් සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් කළා. ඒකට මගේ කවි තෝරාගන්න කොට මට හිතුණා මම කවියෙක් කියලා. ඒ කාලේ යෞවන සම්මාන උළෙලේ මට හොඳම කවියා කියලා සම්මානයක් දෙනකොට මට හිතුණා මම කවියෙක් කියලා.

පොතක් කරන්න සෑහෙන කාලයක් ගියා නේද?
ඔව්! ඒ කාලේ පොතක් කිව්වාම අද වගේ සරල නෑ. ඒක මහා ලොකු වැඩක්. ඉතින් ඒ බය හින්දාම පොතක් කරන්න අවුරුදු 15ක් විතර ගියා. ඊට පස්සේ එතෙක් ගිය කවි එකතු කරලා රත්න ශ්‍රීට කියලා පෙරවදනක් කරලා ජනරංජනට කියලා ලස්සන කවරයකුත් කරලා සරසවියෙන් පොත කළා. පොතක් කරනවා කියන්නේ මහා හිසරදයක්. ඒත් ඒකත් කළා. ඊට පස්සේ මගේ හැම පොතක්ම සරසවිය භාරගත්තා.

ලංකාවේ කවියෝ සීමාවට වඩා ඇඳගෙන වාගේ නේද ඉන්නේ?
මම ගැන කියනවා නම් මම එහෙම නෑ. සාමාන්‍ය මිනිසකුට නැති අමුතු දෙයක් අපිට නෑ. සාහිත්‍යය තුළ කවිය තමයි ප්‍රධාන දෙය කියලා දෙස් විදෙස් විචාරකයන් කියනවා. ඒ නිසා කවි ලියන අයත් හිතනවා ඇති ඒක විශේෂයි කියලා. ඒත් මට එහෙම විශේෂයක් දැනිලා නෑ. මට හිතෙන්නේ චිත්‍රපට කරන එකනේ පුදුම වැඬේ කියලා. නාට්‍ය කරන එකනේ වැඬේ කියලා. ඕනෑම කලාවක් ප්‍රගුණ කරන කොට ඒ පිළිබඳ බුහුටි වෙනවා. ඒ බුහුටිකම ඇරුණු කොට කවියා කියලා අමුතු විශේෂයක් නැහැ.

කවියෝ කවියෝ එකමුතුද?

අප්‍රකාශිතව එකමුතුයි. ඒ ඇරුණු කොට අමුතු එකතුවක් නෑ. මට කාත් සමඟවත් ප්‍රශ්නයක් නෑ. ඒත් සමහර නිර්මාණ දැක්කම පැරණි හෝ අලුත් මට නම් නිර්මාණ ඉරිසියාව එනවා. ඒ ඇරුණු කොට කා ගැනවත් වෙන ප්‍රශ්නයක් නෑ.

නීතිඥයකු කවියකු වුණාම කොහොමද තර්කයයි හදවතයි ලිහාගන්නේ?
ඕනෑම කෙනෙකුගේ ජීවිතේ දේවල් ටිකක් තියෙනවා. කවියත් ඒකෙම කොටසක්. අපි හැමෝගෙම හොඳ නරක මිශ්‍රවෙලා තියෙන්නේ. සමහරවිට අපි කවියෙන් ප්‍රකාශ කරන දේවල් ජීවිතෙන් බලාපොරොත්තු වීම වැරදියි. එහෙම නෑ.
උසාවි ජීවිතේදී අපට ලැබෙන අත්දැකීම් සහ අපට තියෙන විශ්වාසයන් සහ මනුෂ්‍යත්වය අතර තියෙන බැඳීම් අතර ගැටුම් ඇතිවෙනවා. ඒ වෙලාවේ හරි දුෂ්කරයි. ඒ නිසාම තමයි මම උසාවියේ කරන වැඩවලින් අයින් වෙලා රස්සාවක් තෝරාගත්තේ. මොකද අර දේ ගළපාගන්න අමාරු වුණා. දැන් කරන රස්සාව වුණත් කෘත්‍රිම පැත්තක් තියෙන්නේ. ඒත් එහෙම ඉඩක කවිය රඳවාගන්න මට පුළුවන්.

ඔබගේ රැකියාව තුළ ඔබ ප්‍රසිද්ධ කවියෙක්ද?
සාහිත්‍ය සමාජය ඇතුළේ අපිට අපේ කවි කියවන අය හමුවෙනවා. ඒත් ප්‍රශ්නය එන්නේ සාහිත්‍යය එච්චර අගය කරන්නේ නැති, පරිශීලනය කරන්නේ නැති මිනිස්සු අතරේ අපි සුවිශේෂී වන්නේ නැහැ. ඒ අයගෙන් ඒ දේවල් බලාපොරොත්තු වෙන්නත් බෑ. අද සමහරු ඉන්නවා මෙයා හොඳ කවියෙක් කිව්වාම අනේ අපිටත් අහන්න එකක් කියන්නකෝ කියන. තවමත් ඒ අය කවියා කියලා දන්නේ හිටිවන කවිකාරයෝ. එහෙව් කාලෙක ලොකු දේවල් නොසොයා සිටීම වටිනවා. රැකියාවේදී මම ඒ තුළ ඉන්නවා. ඒ වගේම මගේ තෙතමනයක් සහිත පැත්ත මම වෙනම රැක ගන්නවා.

කවියෝ සිංදු ලියන්නත් පටන් ගන්නවා.
මමත් උත්සාහ කළා. ගීත 10-12ක් විතර පටිගතත් කළා. ඒක වෙනම මාධ්‍යයක්. ප්‍රේමයට, විරහවටම කොටුවූ මාධ්‍යයක්. ඒ තුළ සිංදු ලියන්න ට්‍රයි කළා. සිංදු කියලා ජාති 100ක් 200ක් විතර ලියලාත් තියෙනවා. ඒත් ඒ වැඬේ මට හරි ගියේ නැහැ.

ඔබගේ කවියට ප්‍රේම කරන ඒ නිසාම ඔබගේ පෙම ඉල්ලපු අය නැද්ද?
මම එතනදි කුළෑටි වැඩියි. මම නිතරම මුළුගැන්විලා ඉන්න කෙනෙක්. කවි ලිව්වාට ඊට එහා නෑ. කොහොමත් මට උසස් පෙළ කාලේදීම ප්‍රේමය හමුවුණා. අදටත් ඒකම තමයි.

අද කවිය ෆේස්බුක් ග්‍රහණයට අරන් නේද?
ඒ තුළ කවියට නියම වටිනාකමක් නෑ. ලයික් තියෙනවා. ඒ අය සමහරවිට කවිය කියවන්නේත් නෑ. ලයික් දාගෙන යනවා. අපිත් අපේ යාළුවෝ මොකක් දැම්මත් ලයික් කරනවා. ඉතින් කවියත් ඒ දාන එකක් විතරයි. තාක්ෂණය අද දියුණුයි. කැසට් සීඩී වෙලා අද පෙන් ඩ්‍රයිව් බවට හැරිලා. ඒ කොහොම වුණත් ෆේස්බුක් එක තුළ කවියට ලොකු තැනක් නැහැ. නියම අර්ථයෙන්.

ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
මම තෘප්තිමත්. මේ කාලය තුළ මම යායුතු ගමනක් ගියා. ඒ තුළ කියවීමට ලොකු ඉඩක් තියෙනවා. මම නිතරම සුබවාදීව දකින කෙනෙක්. ඒ වගේම මරණය ගැනත් නිතර හිතන කෙනෙක්.

ඔබ හිතන ඔබගේ හැරවුම් ලක්ෂ්‍යය තිබුණේ කොතැනද?
උසස් පෙළට ගණිතය විෂය අතඇරලා කලා විෂය තෝරාගත්ත එක. මම මැත්ස් කළා නම් ඉහළට යයි. හැබැයි මේ තෘප්තිය විඳීම නැතිවෙයි. ඉතිං මම හරි දේ තෝරාගත්තා. ජීවිතය තුළ එවැනි අවස්ථා එනවා. ඒවා හොඳ වෙන්නත් පුළුවන්. නරක වෙන්නත් පුළුවන්. ඒත් මට හමුවුණේ හොඳ තේරීම.■