ඥානසාර හිමිට ඇප දෙන්න පොලිසිය නීතිය නවයි


leed

අරුණ ජයවර්ධන

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාගත හැකි වන සේ, එහිමියන් කර ඇතැ’යි පැවසෙන වැරදිවලට ඍජුව අදාළ වන නීතිය යටතේ නොව වෙනත් නීතියක් යටතේ පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කොට තිබෙන බව වාර්තා වෙයි.

ඒ පසුගිය 21වැනිදා, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හා අංක 3 අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පොලිසිය විසින් බී වාර්තා මගින් ඥානසාර හිමියන්ට විරුද්ධව කරුණු ඉදිරිපත් කිරීමේදීය.

සංවිධානාත්මක අපරාධ නිවාරණ පොලිස් කොට්ඨාසය විසින් බී වාර්තාවක් මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මුල් කරගනිමිනි. රහුමාන් මහතාගේ පැමිණිල්ල ගැන පොලිස් බී වාර්තාවෙහි සඳහන් වන්නේ මෙසේය. ‘2017.05.16 වන දින මුජිබර් රහුමාන් මහතා විසින් පොලිස්පතිතුමා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් බොදු බල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් 2017.05.13 දින පොළොන්නරුව සින්නවෙලපට්ටි ගම්මානයේ හෝ වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වා මුස්ලිම් ජනතාවටත් ඉස්ලාම් ආගමට හා අල්ලා දෙවියන්ට අපහාස කරමින් බැන වැදීමක් සිදු කළ බවත් සංහිඳියාව, සහජීවනය සහ සාමය ඉන් බැරෑරුම් ලෙස අවදානමට ලක්කර ඇති බවත්, මෙම මාධ්‍ය සාකච්ඡාව අන්තර්ජාලය තුළින් ලංකාව පුරා ප්‍රචාරය වී ඇති බැවින් මෙවැනි ප්‍රකාශ මගින් මුස්ලිම් ජනතාව අතර කැළඹීමක් ඇතිවීමට අවස්ථාව ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත… මෙය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291(අ), 291(ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.’ යනුවෙනි.

බී වාර්තාවේ සඳහන් මෙම තොරතුරු අනුව ඥානසාර හිමියන්ට නීති දෙකක් යටතේ චෝදනා ඉදිරිපත් කළ හැකිය. ඉන් එකක් වන්නේ, 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයිසීසීපීආර්) පනත යටතේය. එම පනත යටතේ චෝදනා ලබන්නකුට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාගත නොහැකි අතර, මහාධිකරණයෙන් ඇප ලබාගත හැක්කේද විශේෂ අවස්ථානුගත කරුණු ඉදිරිපත් කළහොත් පමණය. මහාධිකරණය විසින් එම නඩුව ඇසිය යුතු අතර වරදකරු වුවහොත් අවුරුදු දහයක් දක්වා සිරගත කළ හැකිය.

අනෙක් නීතිය දණ්ඩ නීති සංග්‍රහයයි. එහි 291(අ), 291(ආ) යටතේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩුව අසන අතර, ඇප දීමද මහේස්ත්‍රාත්වරයාට කළ හැකිය. වැරදිකරු වුවහොත් අවුරුද්දේ සිට අවුරුදු දෙක දක්වා කාලයකට පමණක් සිරගත කළ හැකිය. අවුරුදු දෙකක කාලයක් දක්වා ලබාදෙන සිරදඬුවමක් වෙනුවට ඇඟබැඳීමේ (දඬුවම අත්හිටුවීමේ) දඬුවමක් දීමටද මහේස්ත්‍රාත් අධිකරණයට හැකිය.

සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවකදී සිදුවන්නේ නීති දෙකෙන්ම චෝදනා ගොනුකිරීමයි. පොලිසිය එසේ කළේ නම්, ඥානසාර හිමියන්ට එදින ඇප ලැබෙන්නේ නැත. ඒ අනුව, ඥානසාර හිමියන්ට එදින ඇප ලබාගත හැකි වන සේ වුවමනාවෙන්ම පොලිසිය වංක සහයෝගයෙන් කටයුතු කර ඇති බව පැහැදිලි වෙයි.

කොළඹ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ බී වාර්තාවෙන් මීට පෙර කරුණු ඉදිරිපත් කර තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහට, නීතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායකට එරෙහිව අසභ්‍ය වචනයෙන් ඥානසාර හිමියන් බැනවැදීම, පොලිස් රාජකාරියට බාධා කිරීම හා එවැනි තවත් වැරදි සම්බන්ධයෙනි. එම බී වාර්තාවෙන් අයිසීපීපීආර් පනත යටතේ ඥානසාර හිමියන්ට විරුද්ධව පොලිසිය මුලින් කරුණු ගොනුකර තිබුණි. එහෙත්, ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත්වුණ දාට පෙර දින (20වැනිදා) මෝසමක් මගින් අධිකරණය හමුවට ආ පොලිසිය, අයිසීපීපීආර් පනත යටතේ ඥානසාර හිමියන්ට චෝදනා ඉදිරිපත් නොකරන බවත් දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති යටතේ චෝදනා ඉදිරිපත් කරන බවත් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබේ. ඊට පසුවදා ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් විය. එහිදී එහිමියන්ට ඇප ලබාදීම ගැන පොලිසිය කිසිම විරුද්ධත්වයක් දැක්වූයේ නැත.

ඒ අවස්ථාවේදී පොලිසිය ඇමතූ මහේස්ත්‍රාත්වරයා, ‘මේ නඩුව ගැන විතරක් සුවිශේෂීව කටයුතු කිරීමට හේතුව කුමක්දැ’යි ප්‍රශ්න කළේය. ‘අහිංසක මනුස්සයෙක් හොරකමක් කළොත් ඔහු අපරාධය කළ නිවස අසලින් ගියත් අත්අඩංගුවට ගෙන ඇප පනතේ 14 වගන්තිය යටතේ ඉදිරිපත් කරන පොලිසිය මෙහිදී වෙනස් විදියකට හැසිරෙන්නේ ඇයිදැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා, පෙර බී වාර්තාව මගින් බරපතළ කරුණු පොලිසිය විසින් ඉදිරිපත් කර තිබුණද, අද දින ඇප ප්‍රතික්‍ෂෙප කිරීමට පොලිසිය කරුණු නොදක්වන හෙයින් සැකකරුට ඇප නියම කරන බවද කීවේය.
මේ අනුව පෙනෙන්නේ, ඥානසාර හිමියන්ට ඇප ලබාදී මුදා හැරීම සඳහා පොලිසිය වුවමනාවෙන්ම කටයුතු කර ඇති බවය. ■