ගංවතුර නම් ඉවරයි දැන් ජීවිත සටන


ganvathura

කේ. සංජීව

ඡායා: රුවන් මීගම්මන

පසුගිය මාසයේ 26 වැනිදා උදෑසන වන විට පැමිණි ගංවතුර දැන් බැසගොසින් මාසයකට කිට්ටුය. මේ ගංවතුර බැසගියේ මිනිස් ජීවිත 300කට මඳක් වැඩියෙන් අරගෙනය. මේ ව්‍යසනය නිසා නිවාස 9,354ක් විනාශ වූ අතර එය රටේ ආර්ථිකයට කළ පාඩුව රුපියල් මිලියන 82650ක් ය. දිස්ත්‍රික්ක 10කට මේ ව්‍යසනය ඍජුවම බලපෑවේය. එයින් රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්ක දෙකට කළ බලපෑම සුවිශාලය. මේ ව්‍යසනයට දවස් 23ක් ගෙවෙන දිනයේදී අපි කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක දෙකෙහි වැඩි හානියක් සිදුවූ ප්‍රදේශ පසුකළෙමු. ඒ ව්‍යසනයෙන් පසු වර්තමානය දැකගනු පිණිසය. ගංවතුර සිදුවූ කාලයේ රාජ්‍යයේ හැසිරීම අපි පසුගිය කාලයේදී ලියුවෙමු. එහි වර්තමානය කෙබඳුද? ඒ තත්ත්වය සොයා බැලීම සහ ගංවතුරට ගසාගෙන ගිය මිනිස් ජීවිතවල වර්තමානය සොයා බැලීම මේ ලිපියේ අරමුණයි.

මුලින්ම පාලින්ද නුවරට
“‍තාම රජයෙන් කියලා කිසිදෙයක් නැහැ මහත්තයෝ. මගේ කඬේ සම්පූර්ණයෙන්ම ගියා. ලක්ෂ 5ක් ඉවරයි. ඇලු‍මිනියම් බඩු, හාල් සිල්ලර, බිස්කට් වර්ග, සපත්තු ගොඩක් ජාති තිබුණා. මේ පැළෑඳේ විතරක් කඩ 20ක් විතර සම්පූර්ණයෙන්ම යටවුණා. ග්‍රාමසේවක මහත්තයා ලියාගෙන නම් ගියා ආධාර දෙන පාටක් නම් තවම නැහැ.”‍ මේ අජිත් ප්‍රියන්ත අතුකෝරලගේ හඬය.
ඔහු යුහුසුළුව කඬේ නැවත නැගිට්ටවාගන්න වෙහෙසෙයි. මඩ බැඳුණු ලී ඇලු‍මිනියම් රාක්ක ප්‍රෙෂර් වතුර බටයකින් නහවයි. ඇලු‍මිනියම් රාක්කයක බැඳි මඩ පැල්ලම් මේ වැඩි පීඩන වතුර පහරකින් සේදී ගියත් මේ ගංවතුර අජිත් මත ඇති කළ මානසික පීඩනය එයට දුරුකළ නොහැකිය.
හිටිඅඩියේ කුකුලේ ගඟ හරස්කර බැඳි වේල්ල බලධාරීන් විසින් කඩා දැමීම නිසා පාලින්ද නුවර සහ ඊට යාබද බුලත්සිංහලට සිද්ධවූ විපත්තිය සුළුපටු නොවෙයි. එහෙත් විදුලිබල මණ්ඩලය හෝ අදාළ බලධාරීන් හෝ තවමත් මීක් සද්දයක්වත් නැත. මේ ප්‍රදේශ නිතරම යටවෙන නිසා ඔයාලගේ කඩ රක්ෂණය කරලා නැද්ද? මම ප්‍රියන්තගෙන් ඇසුවෙමි.
“‍2003 ගංවතුර එන වෙලාවේදී ගොඩක් අය ගංවතුර රක්ෂණය අරගෙන තිබුණා. හැබැයි ඒක හානියක්වෙලා ගියාම මාර අමාරුයි ගන්න. නොදෙන්න තමයි හදන්නේ. ඉතිං මොකටද නිකන් සල්ලි දීලා කොම්පැණි පෝසත් කරන්නේ.”‍
මේ දියුණුවෙන ලංකාවේ රක්ෂණ වන්දි බෙදීමේ චිත්‍රයයි. අනෙක් පැත්තෙන් දැන් යහපාලන ආණ්ඩුව රටම රක්ෂණය කර තිබෙන නිසා ඉදිරියේදී මේ හානිවලට වන්දි ලැබෙනු ඇති! එහෙත් පසුගිය වර කැලණි ගඟ පිටාර ගැලූවිට දෙනවයි කියූ මේ රක්ෂණ මුදල තවම ගෙවා නැති බව දැනගන්නට ලැබෙන පසුබිමක අපි මේ රක්ෂණ අරමුදල් ගැන කුමක් කියමුද? කෙලෙසක හෝ මේ ප්‍රදේශවල මිනිසුන් තමන්ගේ නිවෙස් පිරිසිදු කරගනිමින්ද, තම නිවෙස සම්පූර්ණයෙන්ම විනාශ වී නම්, නෑදෑ හිතවතෙකුගේ නිවසේ නැවතී හෝ තමන්ගේ ජීවිතය නැවත යථා තත්ත්වයට ගැනීමට වෙහෙසෙන බව පෙනෙයි. බොහෝ තැනක දරුවන්ට පාසල් යන්නට පොත්පත් ලැබී ඇත. එහෙත් තවම ඔවුන්ට නිල ඇඳුම් ලැබී නැත. එනිසා දැන් ඇඳිවතත් ගංවතුර අරගෙන ගිය දරුවන් පාට ඇඳුමෙන් පාසල් යමින් සිටිති.

අත්වැල්තොට මිනිස් ජීවිත
“අපිට අයින්වෙන්න කියලායි තියෙන්නේ. ඒත් යන්න ඉඩමක් නැහැ. ගෙයක් නැහැ. ඉතිං අයින්වෙන්නේ කොහොමද? ඉතිං දැන් අපි කරන්නේ වහිනකොට යනවා. පායනකොට එනවා. වෙන මොනවා කියලා අපි කරන්නද? එක්කෝ අපිට ගෙයක් හොයාගෙන යන්න කුලියක් දෙන්න ඕනෑ. ඒකත් නැහැ. නිකං කටින් යන්න කිව්වාට යන්නේ කොහොමද? අපි පැණි හකුරු හදලා තමයි ජීවත් වුණේ. මම උයනපිහන හට්ටි මුට්ටිත් එක්කම පැණිමඩුව නායට යටවුණා. අපිත් දැන් හිටියාට මැරිලා වගේ තමයි.”‍ කේ දයාලතා මහත්මිය කියන්නීය. ඇය සිටින්නේ විස්සෝපයෙන් ය. ඇය අවුරුදු බොහෝ ගණනක් පැණි තාච්චිය සමඟ ඔට්ටුවී ද සීට්ටු ඇදීම මගින්ද ගොඩනගාගත් නිවාසය නායෙන් ආරක්ෂා වී ඇත. එහෙත් පහළට තල්ලු‍වූ පස්කන්ද ඇයගේ නිවසේ දෙපැත්තෙන් ගඟ සොයාගෙන ගොස් තිබීම නිසා අනාගතයේ මේ නිවසද, මීට මීටර් සියයක් පමණ එපිටින් නිවෙස් ගඟට ගසාගෙන ගිය ාවාගේ යන්නට පුළුවන්ය. අත්වැල්තොට නාය යාම නිසා ගෙවල් 8ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර එහිදී ගමට අහිමි ජීවිත ප්‍රමාණය 9ක් ය. මේ වනවිට මේ ප්‍රදේශයට පැමිණි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියා ඇත්තේ පවුල් 6ක් පමණ මේ ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්විය යුතු බවය.
“මම ඔය කන්ද නාය යයි කියලා කලින්ම කිව්වා. එතකොට පහළ හිටිය අපේ මිනිස්සු මගෙන් ඇහැව්වේ පිස්සුද කියලා. දැන් මොකද වුණේ. මම ඔය කන්දේ අවුරුදු 20කට වැඩිය කිතුල් මල් කැපුවා. සමහර වැහි දවස්වලට මේ යන ඉස්සරහට ගල් පෙරළෙනවා. සමහර තැන් පැලිලා තිබුණා. අන්තිමට අම්මායි මල්ලියි දෙන්නාම යටවුණා. මේ ඉස්සරහ අක්කර 60ක පයිනස් වගාවක් තියෙනවා. අපි කියන්නේ මේ ගමේ මිනිස්සුන්ට ඒ ඉඩම බෙදලා දෙන්න කියලා. මේ කඳු ඉස්සර නාය ගිය තැන් තමයි. මගේ ගෙදර පවුන්ඬේෂන් එක කපනකොට ලොකු කඳක් අහුවුණා. හැබැයි ගහ තිබුණු තැනක් කිසිම ලකුණක් නැහැ. ඉතිං මේවා හරියට පරීක්ෂා කරලා අපිට හොඳ තැනකින් ඉක්මනට ඉඩම් දෙන්න. කිතුල් මල් කැපිල්ලයි තේ දලු කැඩිල්ලයි ඇරුණාම අපි වෙන කිසිම රස්සාවක් දන්නේ නැහැ. මේවා ගැනත් හිතන්න කියලා තමයි ආණ්ඩුවට කියන්න තියෙන්නේ.” ‍මේ අත්වැල්තොට දයාරත්නගේ හඬය.
රජය පැත්තෙන් මේ ග්‍රාමය ඉවත්කරන්න හෝ මේ මිනිසුන්ට වෙනත් ආරක්ෂිත තැනක ඉඩමක් ලබාදෙන්න හෝ තවම නිශ්චිත වැඩපිළිවෙළක් නැත. ඒ නිසාම මේ මිනිසුන් සිටින්නේ අතරමං වූ තත්ත්වයකය. සමහර ගෙදරකට පැමිණි ගොඩනැගිලි පර්යේෂණ ආයතනයයේ නිලධාරීන් කියා ඇත්තේ රාත්‍රී කාලයට හෝ වැසි දිනට නිවසේ නොසිට වෙනත් ආරක්ෂිත තැනක සිටින ලෙසය.
මේ අත්වැල්තොට නායගිය ගමේ වර්තමානයයි. මේ ව්‍යසනයේදී විශාලම නාය අනතුර වූ රත්නපුර නිවිතිගල කිරිබත්ගල කන්ද නායයෑමෙන් විපතට පත් මිනිසුන්ගේ තත්ත්වයද මේ හා සමානය. නැතිනම් මීටත් වැඩිය දරුණුය. එතැන පවුල් 26ක් පමණ තවම ජීවත්වන්නේ කිරිබත්ගල විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ අටවන ලද තාවකාලික කූඩාරම් තුළය. එතැනදී ද නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රියා පිළිවෙත දැඩිව විවේචනයට ලක්වන්නේය. ආපදාවට ලක් නොවූ ජනතාව ආපදාවට ලක්වූ ජනතාවට බෙහෙවින් උදව් කිරීම නිසා ආණ්ඩුවේ සායම යම් පමණකට හෝ ආරක්ෂා වී තිබෙනු දැකිය හැක.

අයගම ප්‍රා.ලේකම්ගේ හඬ
“මම නම් කලින්ම දැනගෙන හිටියා ගංවතුරක් එනවා කියලා. මොකද කොහොමත් අවුරුද්ද ඉවරවෙලා දවස් 45 යනකොට මේ ප්‍රදේශවලට ගංවතුර එනවාම තමයි. අනික දිස්ත්‍රික් ආපදා කමිටු රැස්වීමේදී දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරුතුමාත් කිව්වා මේ පාර ලොකු ගංවතුරක් එන්න පුළුවන් කියලා. ඒක අනාවැකියක් නෙවෙයි. අවුරුදු ගාණක දත්ත බැලු‍වාම ඒක කියන්න පුළුවන්. මොකද ජනවාරි ඉඳලා අප්‍රේල් වෙනකම් මෙහෙට හරිම අඩුවෙන් තමයි වැස්සේ. එතකොට අපි හිතුවා ඒ ප්‍රමාණයත් එක්කම වැහි වහී කියලා. ඒක ඒ වාගේම වුණා. අවුරුද්දෙම වහින වැස්ස එක දවසින් ලැබුණා. සාමාන්‍යයෙන් මෙහෙට ගංවතුර ආවාම ගලතුර, පහළ ගලතුර, මඩබද්දර, කැටේපොළ, දුම්බර කියන ග්‍රාමසේවක වසම් යටවෙනවා. ප්‍රවේශ මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වෙනවා. ඒක මම දන්න නිසා ග්‍රාම නිලධාරීන් දැනුවත් කළා, කලින්ම ගංවතුරක් ඇවිත් ගම් කොටුවුණොත් චක්‍රලේඛ ගැන හිතන්නේ නැතුව කඩවල්වලින් බඩු අරගෙන ගමේ මිනිස්සු කණ්ඩායම් කරලා උයාපිහා ගන්න කියලා. ඒ උපදෙස් මගේ නිලධාරීන් මේ ගංවතුර වෙලාවේ හොඳට ක්‍රියාත්මක කරලා තිබුණා. කවදාවත් නැතුව මේ ගමන අයගම නගරයත් යටවුණා. ප්‍රවේශ මාර්ග තුනම පස් කඳු කඩාගෙන වැටිලා අවහිර වුණා. මමත් අයගමටම හිරවුණා. අනික ජංගම දුරකතන පවා අවහිර වුණා. ඉතිං මේක කළමනාකරණය කරගන්න තිබුණේ කලින් උපදෙස් මත පමණයි. මට නම් මෙතැනදී කියන්න තියෙන්නේ, අපි ගම් මට්ටමින් ආපදා කළමනාකරණ ස්ථානයක් ස්ථාපිත කරන්න ඕනෑ. රේඩියෝ මැසේජ් පහසුකම් පවා දෙන්න ඕනෑ. මේ වාගේ කාලෙක ප්‍රයෝජනයට ගන්න තාවකාලික වියළි ආහාර සංචිතයක් හදන්න ඕනෑ.”‍ මේ අයගම ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ ජයසිංහගේ හඬය.
මේ ව්‍යසනය හමුවේ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට සාපේක්ෂව මේ නිලධාරියා ක්‍රියාශීලිව රාජකාරි කළ බව ප්‍රදේශයේ පිළිගැනීමයි. ඔහු කියන්නේ සම්පූර්ණ වශයෙන් විනාශවූ නිවෙස් ගොඩනගා ඒ මිනිසුන් එහි පදිංචි කිරීමට සහ නාය යාම් අනතුරු සහිත කලාපවලින් මිනිසුන් ඉවත්කර වෙනස් වෙනත් තැන්වල මිනිසුන් පදිංචි කිරීමට අවම වශයෙන් මාස 6ක් වත් යනු ඇති බවය. අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පූර්ණ හානි සහිත නිවාස 139ක්ද අර්ධ හානි සහිත නිවාස 850ක් ද ඇති බව කියන්නේ අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාර්තාවන් ය.

පාලමක් කළ හදියක්
මැදගලතුර අයගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ඉහළින්ම ව්‍යසනයට ලක්වූ ප්‍රදේශයක් ය. බොහෝ නිවෙස් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවූ අතර තවත් නිවාස ගංවතුරට කොටු විය. මැදගලතුරයේ සිට ඇළපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිමියාව දබුළුවන යාකරන්නේ මැදගලතුරය ප්‍රදේශයෙන් ගලතුරය ගග හරහා ඉදිකළ පාලමක්ය. ඒක මෑතක වැඩ නිම කළ පාලමකි. මීට කලින් මෙම ස්ථානයේ තිබී ඇත්තේ සුද්දන් ඉදිකළ කම්බි පාලමක්ය. ඒ පාලම කිසිදාක ගංවතුරෙන් යට නොවූ බව ගම්මු කියති. එහෙත් නව පාලමේ තත්ත්වය එසේ නොවේ.
“මේ පාලම හදන්න මුලින්ම ඉංජිනේරුවෝ ඇවිත් බලලා ඇස්තමේන්තුවක් හැදුවා. ඉංජිනේරුවෝ මේ පාලමට මීටර් 200ක් පහළින් ගඟ පටු තැනකින් මැද කණුවක් නැතිව පාලම හදන්න තමයි තීරණය කළේ. ඒකට රුපියල් කෝටි 1 1/2ක් ඇස්තමේන්තු කරලා තිබ්බා. ඒ වේලාවේ එජාපේ විජේතුංග මහත්තයා තමයි මේක හදන්න හැදුවේ. එතකොටම පොදු පෙරමුණේ පළාත් මන්ත්‍රී ලක්ෂ 40ක් වියදම් කරලා පාලම මැද කණුවක් ගහලා මෙතැනින් දැම්මා. පාලම උස නැහැ. මේ පාර වතුරට පාලම යටවුණා. ලොකු ගස් පාලමේ හිරවුණා. අන්තිමට ගඟ හැරිලා අපේ ගෙවල් උඩින් ගියා. ගෙවල් 3ක් විතර සම්පූර්ණයෙන්ම කැඩුණා. සමහර ගෙවල්වල කොටස් කැඩුණා. කඩමණ්ඩිය හිතුවට වැඩිය යටවුණා.”‍ මැදගලතුරේ සනත්ගේ මේ කතාව ගංවතුරේ හානිය සහ දේශපාලකයන්ගේ ක්‍රියාවන් එකට බැඳීම ගැනය. ගංවතුරේ සහ නායයෑමෙන් සිදුවූ අනතුරෙන් වූ හානියේ පරිමාව වැඩිවීමට සහ මේ ව්‍යසනය කළමනාකරණය කරගන්නට නොහැකිවීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේද මේ දේශපාලකයන්ගේ ක්‍රියාකලාපයන්ය.
සම්පත් ගුණවර්ධන දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහු තම දරුවන් සහ බිරිඳ ජීවත් කරවීම සඳහා පුංචි තේ කඩයක් කරන්නේ මැදගලතුරයේ හංදියේමය. දැන් ඔහුගේ කඩය නැත. කඩය 26දා පැමිණි ගංවතුර අරගෙන ගොසින්ය. ඉතිරිවූ සුන්බුන් මතින් ඉතිරිවූ ජීවිත රැකගන්නට ඔහු බිරිඳ සහ දරුවෝ දැන් යුහුසුළු වෙති. අපිද එතැනට ගියෙමු. ගංවතුරට සියල්ල දන්දුන් බොහෝ දෙනෙකුගේ අද දවසේ ජීවිතය මෙපරිදිය.
“මේ දුව. එයා 4 වසරේ ඉගෙනගන්නේ. පුතා 7 වසරේ. දෙන්නාගේම ඇඳුම් පොත් සේරම ගංවතුරට ගියා. දැන් පාට ඇඳුම් ඇඳගෙන තමයි ඉස්කෝලේට යන්නේ. කඬේ තව මාස දෙකකින් වත් දාගන්න බැරිවෙයි. දැනට නම් මිනිස්සු දුන්න ආධාර තියෙයි. රජයෙන් කියලා තවම කිසිදෙයක් නැහැ. ලියාගෙන යනවා විතරයි.”‍
ගංවතුර සහ නාය ගිය බොහෝ තැනක අපි ඇවිද්දෙමු. ඒ බොහෝ තැන තත්ත්වය එකමය. රජයේ නිලධාරීන් එනවා යනවා ලියාගන්නවා හැරෙන්න කළ දෙයක් නැත. මේ මිනිසුන් තවමත් කිසිදු බලාපොරොත්තුවක් නැතිව සිටින්නේ අතරමං වූ ලෙසය.■