රාවය

පෝද්දලගේ පැමිණිල්ලෙන් හෙළිවන ආණ්ඩුවේ නිරුවත

පෝද්දලගේ පැමිණිල්ලෙන් හෙළිවන ආණ්ඩුවේ නිරුවත

ලසන්ත රුහුණගේ

යහපාලන පොරොන්දු මේ ආණ්ඩුව කොතරම් දුරට ඉටුකරනවාද යන්න පිළිබඳ සිදුවීමක් ජූනි 20 දින සිදුවිය. ඒ සුදුවෑන් රථයකින් පැහැරගෙන ගොස් අතපය කඩා වදහිංසාවට ලක් කරන ලද මාධ්‍යවේදී පෝද්දල ජයන්ත එම සිදුවීම පරීක්ෂාවට ලක් කරන ලෙස ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලයි.
ජීවිතාරක්ෂාව පතා එම බිහිසුණු සමයේදී රටින් පිටවී සිටි පෝද්දල ජයන්තට එම බියකරු සිදුවීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට සිදුවූයේ ඒ පිළිබඳ පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් ආරම්භ කර නොතිබීමේ තත්ත්වය තුළය.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීම සඳහා භාවිත කළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සමාජයට එරෙහිව සිදුවූ අපරාධවලින් ප්‍රමුඛව කියැවුණු අපරාධවලින් එක් සිදුවීමක් වූයේ පෝද්දල ජයන්ත සුදුවෑන් රථයකින් පැහැරගෙන ගොස් අතපය කඩා වධහිංසා පමුණුවා මහමග දමා යෑමේ සිදුවීමය.

එම සිදුවීම පිළිබඳව ඔහු පැහැරගෙන ගිය ප්‍රදේශය අයත් නුගේගොඩ පොලිස් බල ප්‍රදේශයෙන් පරීක්ෂණයක් සිදුවුවද එය උසාවියට කරුණු වාර්තා කර තවදුරටත් ඉදිරියට යා නොහැකි වසා තැබූ නඩුවක් වශයෙන් අවසන් කෙරිණි. පෝද්දල ජයන්ත යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු විශේෂයෙන්ම මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දී වධහිංසා කිරීමේ සිදුවීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත් සමඟ වත්මන් පොලිස්පතිවරයාට අධිවේගී තැපෑලෙන් ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබුණේ ඔහුගේ සිදුවීම පිළිබඳ පරීක්ෂණද යළි ආරම්භ කරන ලෙසය. ඒ අනුව වත්මන් පොලිස්පතිවරයා කර තිබුණේ එම පැමිණිල්ල නැවත වතාවක් නුගේගොඩ කොට්ඨාසයට යොමු කිරීමය. නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පෝද්දල ජයන්තගෙන් විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අසා තිබුණේ ඔහු පැහැරගත් සුදුවෑන් රථයේ අංකය දක්වන ලෙසය. පෝද්දල ජයන්ත ඊට පිළිතුරු ලබාදෙමින් පවසා තිබුණේ අසා ඇති ප්‍රශ්නය පිළිබඳව ඔහු පුදුමයට පත්වන බවය. ඔහු පැහැරගත් සුදුවෑන් රථයේ අංකය දන්නේ නම් දැනුම් දෙන්නයැයි කීවා නම් එය සාධාරණ බවත්, මිනිසුන් පැහැරගෙන යෑමට පැමිණි සුදුවෑන් රථ ඒවාට හිමි නියම අංක තහඩුවලින් පැමිණි බවට පොලිසිය විශ්වාස කරනවාද යන්නත් ඊට පිළිතුරු වශයෙන් පෝද්දල අසා තිබුණි.

මේ බිහිසුණු අපරාධය පිළිබඳව ශාරීරිකව තමා පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතුද යන්න ඊළඟට පෝද්දල ජයන්තට පැන නැගී ඇති ප්‍රශ්නය වන අතර සිය වයෝවෘද්ධ මාපියන්ගේ සුවදුක් බැලීම පිණිස ශ්‍රී ලංකාවට පැමිණි ගමනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඔහු ගියේ ඒ අනුවය.
එහෙත් කවුරුන් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කළ සැණින් ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි අතර එම පැමිණිල්ල විමර්ශනය සඳහා අවසරය එම දෙපාර්තමේන්තුවට පොලිස්පතිවරයාගෙන් ලැබිය යුතුය. එම අවසරය ලැබුණු විට විමර්ශන ආරම්භ කෙරෙන අතර පොලිස්පතිවරයා ඒ සඳහා අවසර ලබාදෙනවාද නැද්ද හෝ අවසර ලබාදීමට කොතෙක් කාලයක් ගතකරනවාද යන්න ඊළඟට ඇති ආසන්නතම ප්‍රශ්නයන්ය. යහපාලන නායකයන් වන ජනාධිපතිවරයාගේත්, අග්‍රාමාත්‍යවරයාගේත්, අමතරව ජනමාධ්‍ය විෂයභාර අමාත්‍යවරයාගේත් දේශපාලන මැදිහත්වීම් අවශ්‍යවන්නේ මෙවන් අවස්ථාවලදීය. එය කිසිසේත්ම නීතියට අභියෝග කිරීමක්වත් නීතිය නැවීමක්වත් නොවන අතර පාලකයන් විසින් අත්‍යවශයෙන්ම කළයුතු රටේ නීතියේ පාලනය ස්ථාපිත කිරීමේ කටයුත්තක්ය.

එමෙන්ම එය පෝද්දල ජයන්තගේ සිදුවීමට පමණක් සීමාවිය යුත්තක් නොවේය. මීට පෙර ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයා, අගමැතිවරයා, ජනමාධ්‍ය ඇමතිවරයා, ඇතුළු වගකිවයුත්තන්ට කිහිප වාරයක් මතක් කර ඇති, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සමාජයට එරෙහිව එල්ල වූ සියලු අපරාධ සොයා බලා ඒවායේ වගඋත්තරකරුවන්ට දඬුවම් පමුණුවා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සමාජයට යුක්තිය ඉටුකරදීමේ ක්‍රියාමාර්ගයක්ය. පෝද්දල ජයන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු ජනමාධ්‍යයට කී පරිදි ඔහු පිළිබඳව පමණක් නොව ප්‍රමුඛව නම නොකියවෙන විශේෂයෙන්ම රටේ උතුරු හා නැගෙනහිර පළාත්ද ඇතුළත් ජනමාධ්‍යයට එරෙහි සියලු ආකාරයේ අපරාධ පිළිබඳ පරීක්ෂණ ආණ්ඩුව විසින් සිදුකළ යුතුය.

විවිධ හිරිහැරයට හා පීඩාවට පත් ජනමාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ ඒක පුද්ගල කමිටුවටද සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පෝද්දල ජයන්ත කියා තිබුණේ වන්දි ලබාදීමෙන් පමණක් ජනමාධ්‍ය සමාජයට සාධාරණය ඉටු කළ නොහැකි බවත්, ජනමාධ්‍යයට එරෙහි අපරාධ පිළිබඳ සොයා බලා ඒවාහි වගඋත්තරකරුවන්ට දඬුවම් ලබාදී ජනමාධ්‍ය සමාජයට යුක්තිය ඉටුකළ යුතු බවය. ජනමාධ්‍ය සමාජයට එරෙහිව මුදාහළ අපරාධ සම්බන්ධයෙන් සොයා බලන විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බවත් තමා සභාපතිත්වය දැරූ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මීට පෙර එම ඉල්ලීම ජනාධිපතිවරයාට යොමුකර ඇති බවත් එහිදී ඔහු අවධාරණය කර තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කීවේ මහ බැංකු, බැඳුම්කර කොමිසම හරහා හෙළිදරව් වන ආකාරයේ තොරතුරු එවැන්නක් මගින් හෙළිදරව් කරගත හැකි බවයි.

එය ඇත්තය. මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව අපට හෙළිදරව් කළේ එවැනි බැඳුම්කර වංචාවක් සිදුවී නැති බවය. එහෙත් දැන් හෙළිදරව් වන තොරතුරු අනුව සිදුවී ඇති දේ මුළු රටම දැනගනිමින් සිටී. ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන්ද අවශ්‍යවන්නේ එවැන්නක්ය. මන්ද මේ සමහර සිදුවීම් පොලිස් පැමිණිල්ලක් දක්වා හෝ ගොස් නැති බැවින්ය. පොලිසියට පැමිණිලි ලැබුණද සමහර සිදුවීම් අධිකරණට හෝ වාර්තා කර නැති බැවිනි. අධිකරණයට වාර්තා කර තිබුණද ඉන් එහාට කිසිදු පරීක්ෂණයක් සිදුකර නැති බැවිනි. විශේෂයෙන්ම අපරාධ සම්බන්ධ සිදුවීම් ඒ පිළිබඳව විමර්ශනය කළ හැකි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවා යොමුකර නැති බැවිනි.

යහපාලන පොරොන්දු ගැන දැන් වගේවගක් නැති ගාණට සිටින ජනාධිපතිවරයා සිදුකර ඇත්තේ අවසානයට කළ යුතු සහන සැලසීම පළමුව සිදුකොට, පළමුව සිදුකළ යුතු අපරාධකරුවන්ට දඬුවම් ලබාදීම දැනුවත්වම මගහැර යෑමය. ඔහු සිදුකර ඇත්තේ අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියේම කියා ඇති පරිදි ‘රණවිරු’ ලේබලයෙන් අපරාධකරුවන් ආරක්ෂා කිරීමය. අපරාධකරුවන් වෙනුවෙන් මේ රටේ පොදු මහජන මුදලින් ජනමාධ්‍ය සමාජයේ වින්දිතයන්ට සහන සැලසීමට පියවර ගැනීමය.

ඒත් ඊට අපරාධවලට ගොදුරු වූ අය මෙන්ම ඔවුන්ගේ පවුල්වල අය එකඟ නැති බව ජනාධිපතිවරයා පත් කළ සහන කමිටුවට ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව හා ඒවා යොමුකර ඇති පිරිස් කවුරුන්දැයි විමසීමේදී පැහැදිලි වේ. මෙම කමිටුවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 38ක් පමණය. බරපතළ අපරාධ සිදුවීම් ගණයේලා සැලකිය හැකි සිදුවීම්වලට අදාළ පාර්ශ්වයන්ගෙන් ඊට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව පහක් පමණය. ඒ පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර, රූපවාහිනී මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ හා සියත ආයතනයේ හිමිකරු රොෂාන්ත කාරියප්පෙරුම පමණය. ප්‍රසිද්ධ සිදුවීම් වශයෙන් සැලකෙන ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැළිගොඩ, සම්පත් ලක්මාල්, කීත් නොයාර්, නාමල් පෙරේරා, ධර්මරත්නම් සිවරාම්, මයිල්වාගනම් නිමලරාජන් සම්බන්ධයෙන්වත් සිරස මාධ්‍ය ආයතනය හා උදයන් පුවත්පත් ආයතනය සම්බන්ධයෙන්වත් ඊට අයදුම්පත් ඉදිරිපත් වී නැත.

ඉදිරිපත් වී ඇති අයදුම්පත්වලින් බහුතරය ජනමාධ්‍යවේදීන්ට ආයතනික වශයෙන් සිදුවූ පළිගැනීම් හා නොසලකා හැරීම්වලට අදාළවය. 2009 ජනාධිපතිවරණයේදී මාධ්‍ය උපමාන ක්‍රියාත්මක කරන ලෙස උද්ඝෝෂණය කිරීම හේතුවෙන් සේවයෙන් නෙරපා හැරුණු, අනිවාර්ය නිවාඩු යැවුණු හා සේවය අත්හිටුවනු ලැබූ රූපවාහිනී සංස්ථාවේ ජනමාධ්‍යවේදීහු කිහිපදෙනෙක්ද එම අයදුම්පත් ඉදිරිපත් කළ පිරිස අතර සිටිති. ඒ මගින් අපට නොව ජනාධිපතිවරයාට මේ රටේ ජනමාධ්‍ය සමාජය ඇඟිල්ලෙන් ඇන කියා ඇති පණිවුඩය වන්නේ ඔවුන්ට යුක්තිය අවශ්‍ය බවය. යුක්තිය නොලැබී වෙනත් සහන අනවශ්‍ය බවය. එම යථාර්ථය තේරුම් ගැනීමට ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් යහපාලන ආණ්ඩුවත් ප්‍රමාද කළයුතු නැත. යහපාලන පොරොන්දුවක් වූ අපරාධකරුවන්ට දඬුවම් ලබාදීම ජනමාධ්‍ය සමාජයට එරෙහි අපරාධ පිළිබඳ පරීක්ෂණවලින්ම ආරම්භ කළ හැකිය.

ඊට හේතුව මේ බොහෝ සිදුවීම් ගැන ඕනෑ තරම් සාක්ෂි තිබීමය. අවශ්‍යවන්නේ මේ පරීක්ෂණ ඉදිරියට ගෙනගොස් ප්‍රතිඵලදායක අවසානයක් කරා ගෙනයෑමේ දේශපාලන වුවමනාව පමණය. ඒ සඳහා හැකියාව ඇති පරීක්ෂකයෝ පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව සිටිති. ඔවුන් දිරිමත් කිරීමට අවශ්‍ය අපරාධකාර ‘රණවිරුවන්’ දිවිහිමියෙන් ආරක්ෂා කරනවා වැනි තර්ජනාත්මක නියෝග නොව අපරාධකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදෙනවා යන යහපාලන පොරොන්දුය.

විශේෂයෙන්ම මෙම ලිපියට හේතු පාදක වූ පෝද්දල ජයන්තගේ සිදුවීම ගත්තද ඒ පිළිබඳ සාක්ෂි ඕනෑ තරම්ය. සිදුවීම වූ 2009 ජූනි 01 වැනිදා නුගේගොඩ ඇඹුල්දෙණිය හන්දියේ පිහිටි සිය තාවකාලික නිවස්නයට ඔහු යමින් සිටියේය. ඔහු පැහැර ගැනුණේ නිවසට යෑමට ඇති පටු මාවතට ගමන් කරමින් සිටියදීය. මේ සිදුවීම ඒ අසල වෙළෙඳසැල් හිමියෙක් දැක තිබුණේය. එම වෙළෙඳසැල් හිමියා ඒ බව ඊට මොහොතකට පසු එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි දන්නා හඳුනන මාධ්‍යවේදියෙකුට කියා තිබුණි. එම මාධ්‍යවේදියා එසමයේ ඔහු සේවය කළ මාධ්‍ය ආයතනයේ තවත් මාධ්‍යවේදියෙකුට මේ බව කියා තිබේ. ඉන්පසු පණිවුඩය ලද මාධ්‍යවේදියා මේ බව තවත් දන්නා හඳුනන මාධ්‍ය සගයන්ට කියා තිබුණු අතර එවක ලංකා ඊනිව්ස් වෙබ් අඩවියේ සේවය කළ බෙනට් රූපසිංහටද කියා තිබුණි. බෙනට් රූපසිංහ කර තිබුණේ පෝද්දල ජයන්තගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණින් තව තව පිරිස්වලට ඒ බව කීමය. එසේ කී පිරිස අතර ඩලස් අලහප්පෙරුමද සිට ඇත. ඒ මොහොතේ ඩලස් අලහප්පෙරුම සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයන් හා පැවති ජනමාධ්‍යයට එරෙහිව ආණ්ඩුව මුදාහැර ඇති භීෂණය අවසන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවකය. ඩලස් අලහප්පෙරුම පෝද්දල ජයන්ත පැහැරගෙන යෑමේ එම සිදුවීම හිටපු ජනාධිපතිවරයාට සැලකර ඇත. හිටපු ජනාධිපතිවරයා ඒ මොහොතේ දුරකතනය ඔස්සේ කිහිපදෙනෙකුට කතා කර සිද්ධිය දැනුම් දී ඇත. සමහරවිට පැහැරගත් පිරිස පෝද්දල ජයන්ත අයිඩීඑච් උණ රෝහල පාරේ දමා ගොස් තිබුණේ එසේ ලැබුණු දුරකතන ඇමතුමක් නිසා විය හැක.

මේ ආකාරයේ සාක්ෂි ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඕනෑ තරම් සොයාගත හැකිය. අවශ්‍ය වන්නේ එම පරීක්ෂණ සඳහා අවංක දේශපාලන වුවමනාවක් පමණය. ඒ සඳහා ආණ්ඩුව කරවන ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් දක්වන උනන්දුව මත දැනට කෙරීගෙන යන ජනමාධ්‍යයට එරෙහි අපරාධ පිළිබඳ පරීක්ෂණ මෙන්ම තවමත් ආරම්භ කර නැති පෝද්දල ජයන්තගේ වැනි සිදුවීම්වලද පරීක්ෂණ දිශානතිය තීන්දු වනු ඇත. පෝද්දල ජයන්තගේ සිදුවීම වැනි බරපතළ අපරාධයක් පවා මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ සඳහා යොමු නොකිරීමෙන්ම පෙනෙන්නේ ඒ සම්බන්ධයෙන් වූ යහපාලන ආණ්ඩුවේ නිරුවත මිස වෙනකක් නොවේ.■