ආණ්ඩුව ආණ්ඩු නොකරන, අන් සියල්ලන්ම ආණ්ඩු කරන රටක්


gamini

පෙරේදා (20) අස්ගිරි පාර්ශ්වයේ නායක හිමිවරු සමුළුවක් පැවැත්වූහ. එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහ නායක ස්වාමීන් වහන්සේගේ විශේෂ ප්‍රකාශයක් කියැවූ අතර දේශපාලඥයන් කිහිප දෙනෙකු සහ සිවිල් ක්‍රියාධරයන් කිහිප දෙනෙකු ඔවුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. ඊයේ (21) විද්‍යුත් මාධ්‍ය හරහා මේ නිවේදනයට විශාල ප්‍රසිද්ධියක් ලබා දුන් අතර, එය ආණ්ඩුවට එල්ල කෙරුණු ‘රතු එළියක්’ බව අද ඇතැම් මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබුණි. එක් පුවත්පතක ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් කියැවුණේ, “අස්ගිරි පාර්ශ්වය ආණ්ඩුවට අනතුරු අඟවයි” යනුවෙනි. ඒ වාතාවරණය තුළ, ඊයේ ගලගොඩඅත්තේ ඥානසාර අධිකරණයට භාර විය. අනතුරුව ඇප මත නිදහස් විය. දැන් සති කිහිපයක් තිස්සේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් බලඇණි කිහිපයක් යොදවා තිබුණ බව අසන්ට ලැබුණි. ඔහු සිටින තැනක් සොයා ගැනීමට නොහැකි බව පොලීසිය දිව්ර දිව්රා රටට කීවේය. එසේ තිබියදී අද මේ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් වෙද්දී, මෙතෙක් කල් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි එම චූදිතයා පොලිස් අත්අඩංගුවට ගැනුණේ නැත.

ගලගොඩඅත්තේ ඥානසාර නැමැති භික්ෂුව ‘පුජ්‍ය’ හෝ ‘ස්වාමීන් වහන්සේ’ යන නමින් හැඳින්වීමෙන් වැළැකී සිටීම ගැන ඇතැම් භික්ෂූන් වහන්සේලා මා සමග උරණ වී සිටින බව ඉහත කී අස්ගිරි නායක හිමිවරුන්ගේ සමුළුව තුළින් දැක ගත හැකි විය. ඒ සම්බන්ධයෙන් වචනයක් කිව යුතුය. තල්දූවේ සෝමාරාම සහ මාපිටිගම බුද්ධරක්ඛිත යන කිසිවෙකු ‘පූජ්‍ය’ පදයෙන් හෝ ‘ස්වාමීන් වහන්සේ’ යන පදයෙන් තවදුරටත් හැඳින්වෙන්නේ නැත. ඔවුන් ගැන කතා කරන හැම විටකම අප කියන්නේ ‘සෝමාරාම’ කියා ය. නැත්තම් ‘බුද්ධරක්ඛිත’ කියා ය. ඉන් පළමුවැන්නා එල්ලුම් ගස් ගියේය. දෙවැන්නා, ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිතව හිරේට ගියේය. ඔවුන් අපට ‘පූජ්‍ය’ නොවන්නේ, හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනය කිරීම හෙවත් එක මිනිසෙකු ඝාතනය කිරීම නිසා ය. ගලගොඩඅත්තේ ඥානසාර යනු එක මිනිසෙකු නොව මුළු රටක්ම ගිනි තැබීමට පේවී සිටින භික්ෂුවකි. මා ඔහු ‘පූජ්‍ය’ පදයෙන් හැඳින්වීමෙන් වැළකී සිටින ප්‍රධාන හේතුව එයයි.

චීවරය යනු සංකේතයකි. අප බුහුමන් කළ යුත්තේ නග්න සංකේතයට නොව, සංකේතය තුළින් නියෝජනය වෙතැයි අපට විශ්වාසය තැබිය හැකි සංයුක්ත ධර්මයකටයි. බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ ධර්ම සංගායනාවක් පැවැත්වීමට කටයුතු සිද්ධ වන්නේ මේ චීවරය තුළ සැඟව සිටි සුභද්‍ර නැමැති භික්ෂුවක් නිසා ය. බුදුන් වහන්සේගේ පරිනිර්වාණය ගැන මහත් සේ ශෝකයට පත්ව සිටි භික්ෂූන් අස්වසමින් මේ සුභද්‍ර නැමැති භික්ෂුව කීවේ කුමක් ද? “දැන් බුදුන් වහන්සේ ජීවතුන් අතර නැති නිසා අපට අපේ හිතේ හැටියට ජීවත් විය හැකි” බවයි. එම භික්ෂුවගේ මේ අභද්‍ර වචනවලින් එදා සංඝ රත්නය සැලී ගියහ. වහා ධර්ම සංගායනාවක් පවත්වා බුදුන් වහන්සේගේ ධර්මය මෙවැනි අභද්‍ර භික්ෂූන්ගෙන් ආරක්ෂා කර ගත යුතු බවට ඔවුහු තීන්දු කළහ. ‘පූජ්‍ය’ යන වචනය ගලගොඩඅත්තේ ඥානසාර අරභයා මා පාවිච්චි නොකරන්නේ, බුදුන් වහන්සේගේ ධර්මය කෙරෙහි මා තුළ පවතින ගෞරවය නිසා ය. හෙවත් බුද්ධ ධර්මය එවැනි භික්ෂූන්ගෙන් ආරක්ෂා කර ගත යුතුව ඇතැයි මා තදින්ම සිතන නිසා ය.

තුන්වැනුව, උඩකැන්දවෙල සිරි සරණංකර, වල්පොල රාහුල වැනි අපවත් වී වදාළ ඈත සහ මෑත අතීතයේ මහ පඬිවරු සහ වර්තමානයේ වැඩ වසන ගල්කන්දේ ධම්මානන්ද වැනි වියත් සිල්වත් භික්ෂූන් වහන්සේලා ද, ඔවුන් තරම් ප්‍රසිද්ධියට පත්ව නැති, සිල්වත් තව දහස් ගණනක් වන භික්ෂූන් වහන්සේලා පමණක් නොව, දේශපාලනික හේතු මත මගේ ප්‍රසාදයක් නැති මුරුත්තෙට්ටුවේ ආනන්ද වැනි භික්ෂූන් වහන්සේලා හැඳින්වීමට පවා මට ‘පූජ්‍ය’ යන පදය අවශ්‍ය කෙරේ. ඕනෑම භාෂාවක වචන කිළිටි වන්නේ සහ විකෘති වන්නේ අවභාවිතය නිසා ය. උදාහරණයක් වශයෙන්, ‘ආචාර්ය’ යන පදය ඊට සපුරා නොගැළපෙන පුද්ගලයන් සම්බන්ධයෙන් නිතර පාවිච්චි වෙතොත්, ඒ වචනයට සුදුස්සන් සඳහා එම වචනය පාවිච්චි කිරීම කලක් යද්දී විකාරයක් හෙවත් විකෘතියක් බවට පත්වෙයි. එයින් සිදුවන්නේ අර සුදුස්සන් එම වචනය තුළ නිගරුවට පත්වීමයි. එබැවින්, වෙනත් අර්ථයකින් ගත් විට මෙය, බුද්ධ ධර්මය ආරක්ෂා කර ගැනීමට අමතරව, සිංහල භාෂාව ආරක්ෂා කර ගැනීමක් ද වන්නේය.

ඇත්ත වශයෙන්ම අස්ගිරි පාර්ශ්වයේ නායක හිමිවරුන් කෝපයට පත්විය යුතුව තිබුණේ ගලගොඩඅත්තේ ඥානසාර නැමැති ‘සුභද්‍ර භික්ෂුව’ විසින් බුද්ධ ශාසනයට සහ බුද්ධ ධර්මයට කරමින් සිටින විනාශය ගැන ය. එහෙත් අස්ගිරි පාර්ශ්වය පෙරේදා ප්‍රකාශයට පත්කොට ඇති පරිදි ඔවුන් විරුද්ධ වන්නේ ගලගොඩඅත්තේ ඥානසාරගේ කතා විලාසයට මිස කතාවේ අන්තර්ගතයට නොවේ. එයින් පෙන්නුම් කරන්නේ අස්ග ිරි නායක හිමිවරුන් තුළ බුද්ධ ධර්මය කෙරෙහි ඇති අල්ප තැකීමයි. ඇත්තෙන්ම ඥානසාර වැනි පුද්ගලයෙකු කෙරෙහි කෙනෙකු විරෝධය පළ කළ යුත්තේ, ඔහුගේ කතා විලාසයට වඩා ඔහුගේ හැසිරීමේ සහ කතාවේ අන්තර්ගතයට එරෙහිව ය. බුද්ධ ධර්මයට හානි පැමිණවෙන්නේ කෙනෙකුගේ කල්ක්‍රියාවෙනි. වෙනත් ජාතීන් සහ ආගමිකයන්ට එරෙහිව බෞද්ධයන් උසිගැන්වීම, එහි ප්‍රතිඵලයක් වශයෙන් එවන් වෙනත් ජාතීන් සහ ආගමිකයන් තාඩන පීඩනයට ලක් කිරීම, කෙලින්ම බුද්ධ ධර්මයේ මූලික ප්‍රතිපදාවන් සමග මාරාන්තික ලෙස ගැටෙයි. එහෙත් අස්ගිරි පාර්ශ්වය ඊට විරුද්ධ නැත. ඔවුන්ට අනුව, ගලගොඩඅත්තේ ඥානසාරගේ එවන් ක්‍රියා ‘යුක්ති සහගත’ ය.

ඒ සියලු පොදු කාරණාවන්ට අමතරව මොහුට ‘පූජ්‍ය’ පදවියක් නොපැවරීමට තවත් හේතුවක් ද තිබේ. අංක 6 ශ්‍රී 5444 දරන රථයේ රියැදුරුව සිටිමින් මත්පැන් පානය කර රිය පැදවීමෙන් සහ වාහනය අනතුරකට ලක්කිරීමෙන් අධිකරණය ඉදිරියේ දඬුවම් ලැබූ පුද්ගලයෙකුට මොන කටකින් මා ‘ස්වාමීන් වහන්සේ’ කියා අමතන්නදැ යි අස්ගිරි පාර්ශ්වය මට කියා දුන්නොත් මැනවි.

ඊයේ සහ පෙරේදා සිදුවූ දේවල්වලින් මට පෙනෙන්නේ, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අස්ගිරි පාර්ශ්වයේ නායක ස්වාමීන් වහන්සේලාට සහ ගලගොඩඅත්තේ ඥානසාරට රට කැරැවීම භාර දී ගෙදර යා යුතු කාලය එළැඹ ඇති බවයි. එක්කෝ මේ රට මෙවැනි සංඝයා වහන්සේලා පිරිසක් කියන පරිදි පාලනය කළ යුතුය. එසේ නැතොත්, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අපරාධ සහ සිවිල් නීති පද්ධතිය යටතේ රට පාලනය කළ යුතුය. මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන ගිහි නායකයන්ව රටට අවශ්‍ය කරන්නේ එවැනි පාලනයක් සඳහා මිස රට්ටුන්ට එක නීතියකුත්, සංඝයා වහන්සේලාගෙන් කොටසකට තවත් නීතියකුත් යටතේ කටයුතු කරගෙන යාමට නොවේ. ඇත්තෙන්ම කිවහොත් අද වන විට මේ නායකයන් දෙන්නා රටක් පාලනය නොකළ යුත්තේ කෙසේද යන බව යහමින් රටට කියාදෙමින් සිටිති. ඊට අවශ්‍ය කරන සජීවී නිදර්ශන ඔවුහූ දිනපතා රටට සපයති.

පෙරේදා ‘අස්ගිරි සමුළුව’ කැඳවා ආණ්ඩුවට ‘රතු එළි’ නිකුත් කෙළේ, ඊට පසුව දා ගලගොඩඅත්තේ ඥානසාරව අධිකරණයට ඉදිරිපත් කිරීමට සහ එහිදී ඔහු අත්අඩංගුවට නොගැනෙන බවට කල් තියා වගබලා ගැනීමට ය. එනම්, ‘අස්ගිරි සමුළුව’ වනාහී, පසුවදාට රඟ දැක්වීමට ඔවුන් යොදාගෙන සිටි කපටි නාට්‍යයක් සඳහා වේදිකාව සකස් කිරීමකි. මේ භික්ෂූන් වහන්සේලා තරම් ‘සාර්ථක’ සහ සූක්ෂ්ම ආකාරයෙන්, ජනතාව බලයට පත්කර ගත් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා 2015 ජනවාරි 8 වැනි දා සිට එක දවසක්වත් මේ රට පාලනය කොට නැති බව, ඉහත කී අස්ගිරි භික්ෂූන් වහන්සේලාට ගෞරවයක් වශයෙන් කිව යුතුය. අනිත් අය විසින් පිළියෙල කොට දියත් කරනු ලබන සැලැස්මකට යටත්ව සහ අනුගතව ආණ්ඩු කිරීම, මේ නායකයන් දෙන්නාගේම ජන්ම ‘රෝගයක්’ බවට පත්ව තිබීම කනගාටුදායක ය.

දළදා මාලිගාව ඉදිරිපිට මහ පාර විවෘත කරන බවට නුවර ජනතාවට පොරොන්දු දුන් ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මේ රටේ ජනාධිපති වීමෙන් අනතුරුව, අස්ගිරි පාර්ශ්වයේ ඉල්ලීම මත, එම පාර විවෘත කිරීමේ අදහස අතහැරියේය. ඊළඟට, එක්සත් ජාතික පක්ෂයත් එම අදහසම ගනිමින්, මාර්ගය වසා තබාගෙන විකල්ප මාර්ග වැඩ පිළිවෙලකට යන බව කීය. දළදාව අබියස මාර්ගය අවුරුදු සිය ගණනක් තිස්සේ ජනතා පරිහරණයට ගැනුණු පාරකි. ඒ කිසි විටෙක දළදා මාලිගාවේ පූජනීයත්වයට එයින් හානියක් වූ බවට සාක්ෂි නැත. පාර වසා දැමුණේ ත්‍රස්තවාදී තර්ජන නිසා ය. ත්‍රස්තවාදය තවදුරටත් නැති තත්වයක් තුළ. මල්වතු පාර්ශ්වයේ මහනායක හිමියන් පවා ඒ පාර විවෘත කිරීම සඳහා අනුමැතිය දී තිබියදීත්, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව, අස්ගි රි පාර්ශ්වය වෙනුවෙන් තවමත් පාර වසාගෙන සිටී.

ගලගොඩඅත්තේ ඥානසාර යනු මහින්ද රාජපක්ෂගේ දේශපාලනික ක්‍රමෝපායයේ කේන්ද්‍රීය පුරුකක් බව යහපාලකයින් ඉක්මණින් අවබෝධ කරගත යුතුව තිබේ. රාජපක්ෂලාව ගෙදර යැවූ පුරෝගාමී කොටසක් වූ මේ රටේ සුළු ජාතිකයන් යහපාලන ආණ්ඩුව කෙරෙහි බිඳවීම මේ සැලැස්මේ අභිලාෂයයි. එය මේ වන විට මුදුන්පත්ව ඇත. අද මුස්ලිම් ජාතිකයන් සහ සුළු ආගමික කණ්ඩායම් තුළ (දෙමළ ජනතාවට අමතරව) මේ ආණ්ඩුව කෙරෙහි ඇත්තේ බලවත් අප්‍රසාදයකි. ඔවුන් රටෙන් කෑල්ලක් ඉල්ලන්නේ නැත. ඔවුන් ඉල්ලන්නේ වෙනස් ජන ප්‍රජාවක් වශයෙන්, නීතියේ ආධිපත්‍යය යටතේ, තමන්ගේ ආගම ධර්මය අදහාගෙන සමානයන් සේ මෙරටේ ජීවත් වීමට තමන්ට ඇති අයිතිය සහතික කර දෙන ලෙස පමණි. එම අයිතිය, ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ බරසාර ප්‍රකාශවලින් සහතික කළ හැකි නොවේ. ඒ සඳහා කළ යුතුව ඇත්තේ එකම දෙයකි. එනම්, සාමාන්‍ය පුරවැසියන්ට ක්‍රියාත්මක කරන නීතියම ගලගොඩඅත්තේ ඥානසාර වැන්නන්ටත් ක්‍රියාත්මක කිරීමයි.■