රාවය

ලක් සමාජයේ ඉන්ටර්නෙට් ප්‍රචලිත කළ පුරෝගාමී මාධ්‍ය මෙහෙවරට උපහාරය

ලක් සමාජයේ ඉන්ටර්නෙට් ප්‍රචලිත කළ පුරෝගාමී මාධ්‍ය මෙහෙවරට උපහාරය

සිවුමංසල කොලුගැටයා

ඉන්ටර්නෙට් සඳහා බහුලව යොදන සිංහල වචනය නම් ‘අන්තර්ජාලය’ යන්නයි. මෙය හුදෙක් වචනාර්ථයෙන් පරිවර්තනය කොට තිබෙන බවක් පෙනෙනවා.
එහෙත් ඉන්ටර්නෙට් යනු සැබැවින්ම විද්‍යුත් සන්නිවේදන ජාල රැසකින් සමන්විත ගෝලීය ජාලයක්. එනිසා වඩා නිවැරදි සිංහල යෙදුම විය යුත්තේ ‘සුපිරි ජාලය‘ නැතහොත් ‘ගෝලීය ජාලය’ යන්නයි.
අරුතින් වැරදි ‘අන්තර්ජාලය’ මගේ සන්නිවේදනවලදී මා භාවිත කරන්නේ නැහැ. වැරදි සිංහල යෙදුමට වඩා සිංහලෙන්ද ඉන්ටර්නෙට් කීම මගේ පිළිවෙතයි.

මෙය මගේ පමණක් දරදඬු ස්ථාවරයක් නොවෙයි. තොරතුරු තාක්ෂණය ගැන මෙරට මුල්ම සිංහල වාරික ප්‍රකාශනය වන ‘විජය පරිගණක’ සඟරාව 1997 ආරම්භයේ පටන්ම යොදා ගත්තේද ඉන්ටර්නෙට් යයි සිංහලෙන්ද ලිවීමයි.
එහි ආරම්භක කතුවරයා වූ මා මිත්‍ර චානුක වත්තේගම ‘අන්තර්ජාලය’ හැඳින්වූයේ විසුළු යෙදුමක් ලෙසයි. ‘ඉන්ටර්නෙට්’ යන ඉංග්‍රීසි වචනය අන්තර්ජාලය ලෙස ගෙඩි පිටින් සිංහලයට හැරීම යුනිවර්සල් ජොයින්ට් යන්න ‘සර්වලෝක පූට්ටුව’ ලෙස සිංහලයට නැගීමට නොදෙවෙනි බව අප පෙන්වා දී ඇත්තේ වරක් දෙවරක් නොවේ’ යයි 1998 අගෝස්තු කලාපයේ ඔහු කියා සිටියා.
එසේ වුවද අද අප කරන අතීත ආවර්ජනයට නම් අන්තර්ජාලය නම් වැරදි යෙදුම දැන දැනම භාවිත කරන්නට සිදු වනවා. හේතුව මෙරට පුරෝගාමී තොරතුරු තාක්ෂණ ටෙලිවිෂන් වැඩසටහනේ නම ඒ වටා ගෙතී තිබීමයි.

ශ්‍රී ලංකාවේ වාණිජ මට්ටමින් (එනම් ඕනෑම කෙනෙකුට මුදල් ගෙවා ලබා ගත හැකි) ඉන්ටර්නෙට් සේවා ඇරඹුණේ 1995 අප්‍රේල් මාසයේ. එයට පෙර වසර කිහිපයක් සරසවි ඇදුරන්ට පමණක් සීමා වූ ඉන්ටර්නෙට් සබඳතා තිබුණා.
මුල් වසර කිහිපයේ ඉන්ටර්නෙට් භාවිතයට යොමුවුණේ ටික දෙනයි. ඒ සඳහා අවශ්‍ය පරිගණක නොතිබීම, එම සන්නිවේදන ජාලය හා එහි ප්‍රයෝජන ගැන නොදැනීම ආදි සාධක එයට හේතු වූවා.

සංඛ්‍යා ලේඛන දෙස බලන විට වසර 2000 වන විටත් මෙරට ඉන්ටර්නෙට් සබඳතා සමස්ත සංඛ්‍යාව 30,000ක් පමණ වූවා. එක් සබඳතාවක් පස් දෙනකු හවුලේ පාවිච්චි කළා යයි සිතුවොත් ඉන්ටර්නෙට් ගතවූ සමස්ත ජන සංඛ්‍යාව 150000ක් පමණ වන්නට ඇති.
මුල් යුගයේ ඉන්ටර්නෙට් භාවිත කිරීමේ ඍජු අත්දැකීම නොලද බහුතරයක් ලාංකිකයන්ට මේ නව තාක්ෂණය හා මාධ්‍යය හඳුන්වාදීමට විශාල මෙහෙයක් ඉටු කළේ රූපවාහිනී සංස්ථාව විකාශය කළ ‘අන්තර්ජාලය ඔබ නිවසට’ නම් සතිපතා සජීව වැඩසටහන් මාලාවයි.
එය මුලින්ම විකාශය වූයේ 1998 ජූනි 15 වැනිදායි. එදා පටන් වසර කිහිපයක් යන තුරු හැම සඳුදාම සවස 7 සිට 8 දක්වා කාලයේ එය විකාශය වුණා. ඉන්ටර්නෙට් හරහා පිවිසිය හැකි අතිවිශාල තොරතුරු හා දැනුම් සම්භාරයෙන් යම් පැතිකඩක් ගවේෂණය කරමින් එම දැනුමෙන් බිඳක් ප්‍රේක්ෂකයන් සමඟ බෙදාගැනීම වැඩසටහනේ ආකෘතිය වුණා.

එය ඉදිරිපත් කළේ දක්ෂ මාධ්‍යවේදියකු වන ටී.එම්.ජී. චන්ද්‍රසේකරයි. හැම සතියකම ඔහු රූපවාහිනියේ තුන් වන මැදිරියට ආරාධිත අමුත්තන් ලෙස විවිධ ක්ෂේත්‍රවල නිපුණතා හා දැනුම ඇති අය ගෙන්වා ගත්තා.
වැඩසටහන් මාලාවේ මුල්ම ආරාධිතයා ලෙස විද්‍යා ලේඛක ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් (දුරකථනය හරහා) සහභාගි වුණා. ක්ලාක් සමඟ ඉංග්‍රීසියෙන් කතා කරමින් ඔහුගේ උත්තර එවේලේම සිංහලයට අනුවාදය කළේ සන්නිවේදන විශේෂඥ මහාචාර්ය රොහාන් සමරජීවයි.
මහාචාර්ය සමරජීවත්, පරිගණක ක්ෂේත්‍රයේ එවකට සිටි ප්‍රවීණයකු වූ මහාචාර්ය වී.කේ. සමරනායකත් මුල පටන්ම වැඩසටහනට නන් අයුරින් උදව් කළ බව ටී.එම්.ජී. සිහිපත් කරනවා.

‘අන්තර්ජාලය ඔබ නිවසට’ ඇරඹුණේ එවකට රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්ව සිටි ලක්ෂ්මන් පෙරේරාගේ අදහසකට අනුවයි. නව තාක්ෂණයන් ගැන නිතර විමසිල්ලෙන් සිටි ඔහු, මේවා පිළිබඳ ලොකු උනන්දුවක් හා කුතුහලයක් රටේ ඇති බවට අනුමාන කළා. ඍජුව ඉන්ටර්නෙට් පිවිසීමට පෙර යම් තරමකින් ඒ ගැන ඉඟියක් හෝ ලබා ගන්නට ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් ලබා දීමටයි ඔහුට ඕනෑ වුණේ.

මේ සඳහා ලක්ෂ්මන් පෙරේරා ඉතා සුදුසු පුද්ගලයෙකු තෝරා ගත්තා. කලක් දිවයින පත්‍රයේ මාධ්‍යවේදියකු ලෙස ක්‍රියා කළ ටී.එම්.ජී. ඒ වනවිට රූපවාහිනියට බැඳී එහි කාලීන සිදුවීම් පිළිබඳ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරමින් සිටියා. කවදත් අලු‍ත් දෙයක් කරන්නට කැමති ඔහු, මේ විෂය පිළිබඳ විශේෂඥයකු නොවූවත් නොපැකිළව අභියෝගය භාර ගත්තා.
ඒ සඳහා අවශ්‍ය කුතුහලය, උද්යෝගය හා සංයමය යන ගුණාංග සියල්ල ඔහු තුළ තිබුණා. ගිරාපෝතක නිවේදකයකු නොවී ඔහු හෘදයංගම වැඩසටහන් මෙහෙයවන්නකු වුණේ ඒ නිසායි.

“මුලින් මේ ඉන්ටර්නෙට් විෂය ක්ෂේත්‍රය ගැන හරිහමන් අවබෝධයක් මට තිබුණේ නැහැ. එහෙත් විද්වතුන්ගේ උදව්වෙන් හා වැඩට කැපවුණු නිෂ්පාදක කණ්ඩායමකගේ දායකත්වයෙන් අපි වැඩසටහන දිගටම කරගෙන ගියා.” ඔහු කියනවා.
ඉන්ටර්නෙට් පිවිසෙන සැටි, සැරිසරන සැටි, ඉලක්කගතව තොරතුරු සොයා යන සැටි ආදිය මේ වැඩසටහන හරහා ප්‍රේක්ෂකයන්ට සරල හා සිත්ගන්නා සුලු‍ ආකාරයට පෙන්වා දෙනු ලැබුවා. තාක්ෂණික වචන හා යෙදුම් සඳහන් කෙරුණේ අත්‍යවශ්‍ය විටදී පමණයි. මේ නිසා මෙය ජනප්‍රිය විද්‍යා සන්නිවේදනයේ සාර්ථක උත්සාහයක් ලෙස මා අදත් දකිනවා.

රූපවාහිනී සංස්ථාවේ පරිගණක අංශයේ සමන්ත ජයධීර, රමේෂ් විජේතුංග හා අනුරුද්ධ දිසානායක ඇතුළු තාක්ෂණික ශිල්පීන් මේ සඳහා තාක්ෂණික උදව් උපකාර කළා. කිහිප වතාවක සජීව වැඩසටහනේ ආරාධිතයා ලෙස සහභාගි වූ මට මේ පිරිස මහත් ඕනෑකමින් හා කැපවීමෙන් වැඩ කළ සැටි මතකයි. පුළුල් පථ (Broadband) ඉන්ටර්නෙට් සබඳතා නොතිබුණු ඒ යුගයේ (1998-2000) වේගය අඩු සබඳතාවකින්, සෙමින් සෙමින් විවිධ වෙබ් අඩවිවලට පිවිසෙන්නට සිදු වුණා. එසේ වෙබ් අඩවියකට යන තුරු සජීව විකාශය නොබිඳී පවත්වා ගන්නට අපට හරවත් යමක් කථා කරමින් සිටිය යුතු වුණා.

අභ්‍යවකාශ විද්‍යාව, තාරකා විද්‍යාව, පරිසර සංරක්ෂණය හා ජනමාධ්‍ය පිළිබඳව ලොව ප්‍රමුඛ වෙබ් අඩවි හරහා ටී.එම්.ජී. සමඟ මා දැනුම ගවේෂණය කළ හැටි මතකයි.
සාමාන්‍යයෙන් ටෙලිවිෂන් මැදිරියක සිට සජීව ලෙස ඉදිරිපත් කළ වැඩසටහන ඉඳහිට කොළඹින් බැහැර තැනකට ගොස් ජන සමූහයක් මැද පටිගත කරන්නටද නිෂ්පාදක පිරිස යොමු වුණා. මුල් වතාවට එසේ කළේ කොත්මලේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගැමි විකාශයක් වූ කොත්මලේ ප්‍රජා ගුවන්විදුලි පරිශ්‍රයේදී. දෙවැන්න රජරට සරසවියේ පටිගත කෙරුණා.
මෙසේ බැහැර ගිය විටත්, නිතිපතා ලැබුණු ලියුම් හා ඊමේල් හරහාත් පෙනී ගියේ වැඩසටහනට විශාල ප්‍රේක්ෂක පිළිගැනීමක් තිබූ බවයි. මෙය තමන් හා නිෂ්පාදක කණ්ඩායම දිරිමත් කළ බව ටී.එම්.ජී. ආවර්ජනය කරනවා.

සජීව වැඩසටහන් කිහිපයකට සහභාගි වූ මටද මේ වැනිම ප්‍රතිචාර ලැබුණා. අධ්‍යාපනික වැඩසටහනක් වුවද එය ප්‍රේක්ෂක ජනප්‍රියතාව මෙන්ම ජනප්‍රසාදයද රැක ගත් වැඩසටහනක් වූ බව පැහැදිලියි.
පසු කලෙක පරිගණක ක්ෂේත්‍රයේ ඉහළට ඉගෙනුම ලබා ප්‍රධාන පෙළේ තොරතුරු තාක්ෂණ සමාගම්වල විධායක හෝ පර්යේෂක තනතුරුවලට පත් ලාංකිකයන් කිහිප දෙනකුම මේ වැඩසටහන තමන් ළාබාල වියේදී ප්‍රබෝධක ආවේගයක් (inspiration) සැපයූ සැටි මට පවසා තිබෙනවා. ප්‍රේක්ෂක මනසේ කලක් රැඳී සිටින මතකයන් ඉතිරි කරන්නේ හොඳ වැඩසටහන් පමණයි.
එහෙත් රූපවාහිනී සංස්ථාව තුළ ‘අන්තර්ජාලය ඔබ නිවසට’ සඳහා ලැබිය යුතු පිළිගැනීම හා අගය කිරීම හරිහැටි ලැබුණේ නැහැ. ලක්ෂ්මන් පෙරේරාගෙන් පසු එම තනතුරට පත්වූ අය මෙහි වැදගත්කම හඳුනා ගත්තේද නැහැ.

වසර තුනකට පමණ පසු වැඩසටහන නතර වුණා. පසු කලෙක IT@Rupavahini නමින් වෙනස්කම් සහිතව නව වැඩසටහන් මාලාවක් ටී.එම්.ජී. විසින්ම ඉදිරිපත් කරනු ලැබුවා. එහෙත් මුල් වැඩසටහනේ ජීවමය ගුණය ටිකෙන් ටික එයින් ගිලිහී ගියා.
රූපවාහිනී සංස්ථා ඉතිහාස කතාවේ පවා මේ ගැන නිසි සඳහනක් නැහැ. 2012දී සංස්ථාවට තිස් වසරක් පිරීම නිමිත්තෙන් සම්පාදිත සමරු ග්‍රන්ථයේ වෙනත් බොහෝ තොරතුරු ඇතත් මේ වැඩසටහන් මාලාව ගැන කිසිවක් සොයා ගන්නට බැහැ.
චානුක හා මා අප දෙදෙනාට කළ හැකි දේ ඒ දිනවලම කළා. විජය පරිගණක සඟරාව වැඩසටහනේ අවාසනාවන්ත නම විවේචනය කරන අතරම අන්තර්ගතය අප අගය කළා. එසේම 2000 වසර අගදී එය නතර කළ විට එය අනුවණ ක්‍රියාවක් බව කතුවැකියකින් කියා සිටියා.

ආසියාවේ ඉන්ටර්නෙට් ප්‍රගමනය ගැන කලාපීය මට්ටමේ පර්යේෂණාත්මක ග්‍රන්ථයක ශ්‍රී ලංකාව ගැන පරිච්ඡේදය ලිවීමට 2001දී චානුකට හා මට අවස්ථාව ලැබුණා. එහිදී මෙරට ඉන්ටර්නෙට් ඉතිහාසයේ මුල් වසර පහ පිළිබඳ තොරතුරු ලේඛනගත කරන අතර ‘අන්තර්ජාලය ඔබ නිවසට’ මේ තාක්ෂණය හා මාධ්‍යය මෙරට සමාජගත කරන්නට ලබා දුන් මහඟු‍ දායකත්වය අප හුවා දැක්වූවා.
‘කොළඹට ඉන්ටර්නෙට්- ගමට කැකිරි’ වැනි සිල්ලර කතා කියමින් ඉන්ටර්නෙට් හෙළා දැකීම, එය සුපිරි ධනවතුන්ට පමණක් සීමා වූවක් යයි කොන් කිරීම කළ අපේ සෙසු ජන මාධ්‍ය (පත්තර, සඟරා, රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා) මෙම නව මාධ්‍යයේ විභවය හඳුනා ගත්තේ වසර කිහිපයකට පසුවයි. ඒ අතින් රූපවාහිනිය පුරෝගාමී වූ බවට විවාදයක් නෑ.
2016 අග වන විට මෙරට ජනගහනයෙන් 30%ක් (මිලියන් 6ක් පමණ දෙනා) ඉන්ටර්නෙට් භාවිත කරමින් සිටියා. එය තව දුරටත් නගරවලට හා ඉංග්‍රීසි දත් අයට සීමා වූවක් නොවෙයි.

1960 දශකයේ සිංහලෙන් ක්‍රිකට් විස්තර විචාරයන් කරමින් රේඩියෝව (ගුවන්විදුලි සංස්ථාව) එකී බටහිර ක්‍රීඩාව මෙරට ජනප්‍රිය කරන්නට දායක වූවා සේම 1990 දශකය අගදී ඉන්ටර්නෙට් ප්‍රචලිත කිරීමට රූපවාහිනී සංස්ථාවේ දක්ෂයන් කිහිප දෙනකු ගත් මෙම ප්‍රයත්නයද අපගේ ප්‍රණාමයට ලක් විය යුතුයි.■