රාවය

ලංකාවේ මදුරු උවදුර සහ ඉඩම් ප්‍රශ්නය

ලංකාවේ මදුරු උවදුර සහ ඉඩම් ප්‍රශ්නය

වික්ටර් අයිවන්

ලංකාවේ මදුරු උවදුර හා ඉඩම් ප්‍රශ්නය එකම ප්‍රශ්නයක පැති දෙකක් ලෙස සැලකිය නොහැකි වුවද සමහර ඓතිහාසික කාලවකවානුවල ලංකාවේ ඉඩම් ප්‍රශ්නය කෙරෙහි මදුරුවා ඇතිකර තිබෙන බලපෑම අතිවිශාලය. ඒ නිසා එම ප්‍රශ්න දෙක එකට ගෙන කතාබහ කිරීම වැරදි නැත. ලොකු මදුරු උවදුරක් ලෙස සැලකිය හැකි ඩෙංගු මදුරුවා ආශ්‍රයෙන් ඇතිවී තිබෙන ඩෙංගු ප්‍රශ්නය සේ ම ඉඩම් ප්‍රශ්නයද ලංකාව මුහුණ දී තිබෙන විවිධ අභියෝගයන් අතර තිබෙන ලොකු අභියෝගයන් දෙකක් ලෙස සැලකිය හැකිය. මෙම ප්‍රශ්න දෙක විවිධාකාරවලින් පුනරුද සාකච්ඡා සභාවලදීද සාකච්ඡාවට හා ප්‍රශ්න කිරීම්වලට ලක්වෙමින් පැවති ප්‍රශ්න දෙකක් ලෙසද සැලකිය හැකිය.

මදුරුවන්ට කළ හැකි විනාශය
මදුරුවා ඉතාමත් පුංචි සතෙකු වුවද සමහර මදුරු වර්ගවලට කළ හැකි විනාශයේ තරම අතිවිශාලය. අපේ මුතුන් මිත්තන්ට ඔවුන් අතින් ගොඩනැගෙමින් තිබුණු ඉතිහාසයේ කිසියම් ප්‍රමාණයක දියුණු ශිෂ්ටාචාරයක ලක්ෂණ පෙන්නුම් කරමින් තිබෙන අවස්ථාවකදී (මීට අවුරුදු 780කට පමණ ඉහතදී) අනුරාධපුරය හා පොළොන්නරුව කේන්ද්‍ර කරගත් වියළි කලාපයේ තිබූ සරු බිම් පමණක් නොව එම ශිෂ්ටාචාරයට අදාළ එහි තිබූ සියලු වටිනා දේවල්ද අතහැර තෙත් කලාපයට සංක්‍රමණය වන්නට සිදුවූයේ මැලේරියා මදුරුවා නිසාය. එම සංක්‍රමණයට අදාළව ඊට වෙනස් ආකාරයේ අර්ථකථනයක් ද ඇත්තේය. ඒ සඳහා තිබෙන විවිධ අර්ථකථන අතර තිබෙන වඩාත්ම ජනප්‍රිය අර්ථකථනය වී ඇත්තේ දකුණු ඉන්දියාවෙන් සිදුවූ ආක්‍රමණ නිසා එසේ සිදුවූ බවය. එය වර්ග භේදවාදය මුල්කරගත් යථාර්ථවාදී නොව අර්ථකථනයක් ලෙස සැලකිය හැකිය. එම ඓතිහාසික යුගයේදී බලවත් හැම රාජ්‍යයක්ම අසල්වැසි දුබල රාජ්‍යයන් ආක්‍රමණය කළේය. එය ඒ කාලයේ රාජ්‍යයක තම බලවත්කම පෙන්නුම් කරන නම්බුකාර දෙයක් ලෙස සැලකුණා මිස වැරදි හෝ නරක දෙයක් ලෙස සැලකුණේ නැත. ඒ කාලයේදී ලංකාව කල්පනා කළේද ඒ ආකාරයටය. විදේශ රාජ්‍යයක් ආක්‍රමණය කිරීමට ශක්තියක් තිබුණු රජවරුන් සැලකුණේ ශ්‍රේෂ්ඨ රජවරුන් ලෙසය. ඒ ගැන මගේ ‘ශ්‍රී ලංකාව- ඉතිහාසයේ සභ්‍යත්වය’ නමැති පොතෙන් කතා කර ඇති බැවින් මා ඒ ගැන මෙහිදී කතා කරන්නට බලාපොරොත්තුවන්නේ නැත.
විදේශ ආක්‍රමණ අභ්‍යන්තර යුද්ධ හෝ වෙනත් හේතු නිසා රජරට පැවති සංකීර්ණ වාරිමාර්ග පද්ධතියේ බිඳ වැටීමක් ඇතිවී එම වාරිමාර්ග මැලේරියා මදුරුවන්ගේ රජදහනක් බවට පත්වීම නිසා එම ප්‍රදේශවල ජීවත් වන්නන්ට තෙත් කලාපයට හෝ යාපනේට සංක්‍රමණය වීමට සිදුවිය. ඒ නිසා අවුරුදු 700ක් තරම් කාලයක් එනම් DDT සොයා ගන්නා තෙක් එම කලාපය ජනශූන්‍ය කලාපයක් වී තිබුණි. පසුකාලයක බිහිවූ රජවරුන් හැම කෙනෙකුම පාහේ අනුරාධපුරය හා පොළොන්නරුව ගැන දැන සිටියද අඩුම වශයෙන් එහි ඇති ඓතිහාසික වැදගත්කමක් ඇති සිද්ධස්ථාන වැඳ පුදා ගන්නට හෝ නොගියේ එම කලාපයේ රජ කළ මාරාන්තික මදුරුවා නිසාය. සමහරවිට එම දීර්ඝ කාලය තුළ අත්හරින ලද වාරිමාර්ග ක්‍රම ආශ්‍රයෙන් භූමියේ ඇති වූ රසායනික වෙනස්කම් වර්තමානයේ රටේ ලොකු ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන හඳුනා නොගත් වකුගඩු රෝග කෙරෙහිද බලපා තිබෙනවා විය හැකිය.

දීර්ඝ කාලයක් රජරට කලාපයේ මනුෂ්‍ය වාසයට නුසුදුසු කලාපයක් බවට පත්වී තිබීම හේතු කොටගෙන පසු කාලයකදී එය තෙත් කලාපයේ ලොකු ඉඩම් ප්‍රශ්නයක් ඇති කිරීමට හේතුවී තිබුණි. තෙත් කලාපයේ ඉඩම්වලින් විශාල කොටසක් වාණිජ වතු වගාවන්ට යටවී ඉතිරි ඉඩම්වලින්ද විශාල කොටසක් වී වගාව හා නිවාස සඳහා යොදා ගැනීම නිසා කෘෂිකර්මය ජීවන මාර්ගය කරගත් ගොවීන්ට වගා කිරීමට අවශ්‍ය තරමට ඉඩම් නැතිකමේ ප්‍රශ්නයක් ඇති කිරීමට හේතුවිය. වියළි කලාපයේ වගා නොකළ සරුසාර ඉඩම් විශාල ප්‍රමාණයක් තිබුණද මැලේරියා මදුරුවා නිසා තෙත් කලාපයේ ඉඩම් නැති ජනයා වියළි කලාපයට යොමු කළ නොහැකි වී තිබුණි. මැලේරියා මදුරුවා විනාශ කිරීමට දේශීය ප්‍රතිකර්මද නොතිබුණි. මැලේරියා මදුරුවා නසන DDT සොයා ගන්නා තෙක්ම වියළි කලාපය සැලකුණේ මනුෂ්‍ය වාසයට නුසුදුසු කලාපයක් වශයෙනි.

මැලේරියා මදුරුවාට කළ හැකි විනාශය කොතරම්ද කියනවා නම් 1934, 1935 යන වසර දෙකේදීම මැලේරියා මදුරුවා තෙත් කලාපයේ සබරමුව කලාපය ආක්‍රමණය කිරීම නිසා එම වසර දෙකේදී සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න විය. මිනිසුන් තොග ගණනින් මරණයට පත්කිරීමට හේතුවූ බිහිසුණු සංසිද්ධියක් ලෙස සැලකිය හැකි සුනාමියෙන් පවා ඇතිවූ මරණ සංඛ්‍යාව පනස් දාහකට අඩුය. ප්‍රචණ්ඩ කැරලි නිසා ඇතිවූ මරණ සංඛ්‍යාව ලක්ෂයකට වැඩි වුවත් ඒ සියලුදෙනා මරණයට පත්වූයේ කෙටි කාලයක් තුළ නොව අවුරුදු 20ක් තරම් කාලයක් තුළය. මදුරුවා පුංචි සතෙකු වුවද සමහර මදුරු විශේෂයන්ට කළ හැකි විනාශයේ තරම ඉන් තේරුම්ගත හැකිය.
මැලේරියාව පරාජය කළ හැකිවූයේ DDT නමැති රසායනය නිසාය. DDT සොයා නොගත්තේ නම් ලංකාවේ පමණක් නොව මැලේරියාව උවදුරක් වශයෙන් පැවති වෙනත් රටවලද සිදුවන්නට ඉඩ තිබුණු ජීවිත විනාශය අතිවිශාලය. අවුරුදු 700කට පසුව ජනශූන්‍ය තත්ත්වයක පැවති වියළි කලාපයේ නැවත ජනාවාස කිරීමට හැකිවූයේද DDT නිසාය. DDT වලින් ඇතිවිය හැකි අතුරු ආබාධ සැලකිල්ලට ගනිමින් DDT ප්‍රයෝජනයට නොගන්නා තැනකට ගියේ නම් විය හැකිව තිබුණු විනාශයේ තරම කොතරම්ද? කුමන වර්ගයේ සතෙකු වුවත් උන් කරන හානිය විශාල නම් උන් නසන තැනකට යෑමද මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය කොන්දේසියකි.

ඩෙංගු උවදුර
මැලේරියා මදුරුවාගෙන් පසුව දැන් ඩෙංගු මදුරුවාද ලංකාවට ලොකු අභියෝගයක් වී තිබෙන්නේ යැයි කිව හැකිය. එහෙත් එම අභියෝගය ජයගැනීමට අවශ්‍ය තරමේ ප්‍රඥාවක් පෙන්නුම් කිරීමට තවමත් ලංකාව සමත් වී නැත. රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශක්තිමත් වැඩසටහනක් ඇති බව පෙනෙන්නට ඇතත්, ඩෙංගු මදුරුවන් හා උන්ගේ බීජ නැසීම සඳහා ශක්තිමත් හා ප්‍රායෝගික වැඩසටහනක් ඇති බව පෙනෙන්නට නැත. ලංකාව කුණුවී තිබෙන තරම අනුව බලන විට එසේ වීම පුදුමයට හේතුවක් වන්නේද නැත.
ඩෙංගු ලංකාවට එන්නේ 1964දීය. එය ක්‍රමයෙන් වර්ධනයවෙමින් 2013 වසරේදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 32063ක් දක්වා ඉහළ ගියේය. මේ වසරේ පළමු හය මාසය තුළ පමණක් රෝගීන් ගණන 63787ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඒ නිසා ඇතිවී තිබෙන මරණ සංඛ්‍යාවද 200ක් බවද වාර්තා වේ.

ඩෙංගු මර්දන වැඩසටහනේ ඇති ලොකුම දුර්වලකම ලෙස සැලකිය හැක්කේ ඩෙංගු මදුරුවා බිත්තර දැමීමට තිබෙන ස්ථාන නැති කරන වැඩසටහනකට එය සීමා කර තිබීමය. එය මෝඩ ප්‍රවේශයකි. මහජනයා තමන්ගේ නිවෙස් අවට ඩෙංගු මදුරුවන්ට බිත්තර දැමීමට තිබෙන අවකාශය මුළුමනින් නැති කළද මහජනයාට පාලනය කළ නොහැකි තැන්වල උන් බිත්තර දමනු ඇත. පොල්ගස් වැනි සමහර ගස්වල වතුර රැඳෙන තැන් ඇත්තේය. ඒ සියලු ගස් කපා විනාශ කරන තැනකට යා නොහැකිය. මෙවැනි උවදුරකට මුහුණදීමේදී මහජන සහාය අවශ්‍ය වුවත් මහජනයාට පමණක් මෙම උවදුර නැති කළ නොහැකිය. මහජනයාට බලාගත නොහැකි තැන් බලාගැනීමේ වැඩසටහනක් රජයට තිබිය යුතුය.

රජය මහජනයා මත වරද පටවන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් නොනැවතී මහජනයා පීඩාවට පත් කරන ප්‍රතිපත්තියක්ද අනුගමනය කරයි. රජයේ සම්පූර්ණ අවධානය යොමුවී තිබෙන්නේ ඩෙංගු මදුරුවා දමන බිත්තර ගැන පමණය. ඊට අතිරේකව මදුරුවන් විනාශ කරන වැඩසටහනක් ආණ්ඩුවට නැත. බිත්තරවලදී පවා උන් දමන බිත්තර විනාශ කරන වැඩපිළිවෙළක් නැත. බිත්තර දමන්නේ මදුරුවන්ය. ඒ නිසා වඩා වැදගත් කොට සැලකිය යුත්තේ මදුරුවන්ය. එහෙත් මදුරුවන් නසන වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැත. මදුරුවන් නැසීමෙන් උන්ට බිත්තර දැමීමට තිබෙන හැකියාවද නැති කළ හැකිය. ඩෙංගු මර්දන වැඩසටහනකදී ප්‍රධාන ඉලක්කය විය යුත්තේ බිත්තර නොව මදුරුවාය. බිත්තර වැදගත් විය යුත්තේ ඊට පසුවය.

මහජනයා තමන්ගේ ගෙවතු පිරිසිදුව තබාගන්නවාට අතිරේකව ඩෙංගු මදුරුවන්ට බිත්තර දැමීම සඳහා පිරිසිදු ජලය ඇති තැන් නිර්මාණය කොටදී එම භාජනවල කීටයන් හැදෙන්නට ඉඩදී එම කීටයන් නසන තැනකට යායුතු බව මම මීට වසර 6කට පමණ ඉහතදී කීවෙමි. ඒ අනුව හැම නිවැසියෙකුම ඩෙංගු මදුරුවන්ට බිත්තර දැමීම සඳහා පිරිසිදු වතුර භාජන කිහිපයක් සිය ඉඩමේ සුදුසු තැන්වල තැබිය යුතුය. ඉන්පසු එම භාජන කෙරෙහි පරීක්ෂාවෙන් සිටිමින් ඒවාහි හැදෙන කීටයන් නසන තැනකට යායුතුය. එම කීටයන් නසන සරල ක්‍රමයක් කීට විද්‍යාඥයන් මහජනයාට කියා දිය යුතුය. එහෙත් ඩෙංගු මර්දනය සඳහා එවැනි ක්‍රමයක් පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. ඩෙංගු මදුරුවන් නසන ශක්තිමත් ක්‍රමයක්ද තිබිය යුතුය.

මැලේරියාව ජයගත හැකිවූයේ DDT නිසා පමණක් නොව ඒ සඳහා හොඳ මැලේරියා මර්දන වැඩසටහනක් හා එම වැඩසටහන මෙහෙයවීම සඳහා ශක්තිමත් ආයතන ක්‍රමයක් තිබීම නිසාය. එම වැඩසටහනේ හදවත ලෙස ක්‍රියා කළේ වෛද්‍යවරුන් නොව කීට විද්‍යාඥයන්ය. වෛද්‍යවරුන් මැලේරියා රෝගීන්ට පිළියම් කරන විට කීට විද්‍යාඥයන් මැලේරියා මදුරුවන් නසන වැඩපිළිවෙළ නොකඩවා ඉදිරියට ගෙන ගියේය. එහෙත් ඩෙංගු මර්දන වැඩසටහනේ හදවත බවට පත්කරගෙන ඇත්තේ කීට විද්‍යාඥයන් නොව වෛද්‍යවරුන්ය. ලංකාවේ අවශ්‍ය තරම් කීට විද්‍යාඥයන් නැතිනම් පිටරටින් හෝ ගෙන්වා ගත යුතුය. මදුරුවන් නැසීම, බිත්තර නැසීම හා කීටයන් නැසීම ඉලක්ක කරගත් ශක්තිමත් හා ප්‍රායෝගික වැඩසටහනක් කරළියට ගැනීමට අපොහොසත් වෙතොත් ඩෙංගු ප්‍රශ්නය ආශ්‍රයෙන් මහා විනාශයක් ඇතිවනු නොවැළැක්විය හැකිය.

මදුරුවා හැම කාලයකදීමත් මනුෂ්‍යයාගේ පැවැත්මට අභියෝග කරන සත්ව විශේෂයක් වන නිසා රටට අවශ්‍ය තරමට කීට විද්‍යාඥයන් නිපදවන වැඩසටහනක් රටට තිබිය යුතුය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය බිහිකළ කීට විද්‍යාඥයකු එම රැකියාවෙන් ඉවත් වී පෞද්ගලික පාසලක ගුරුවරයෙකු බවට පත්වූ අවස්ථාවක් පුනරුදය සාකච්ඡා සභාවකදී අසන්නට ලැබුණි. කීට විද්‍යාඥයන්ට ලංකාවේ ලැබී තිබෙන අවැදගත් පිළිගැනීම නිසා තමන්ට එම ක්ෂේත්‍රය එපාවී ගුරුවරයෙකු බවට පත්වූ බව ඔහු කීවේය. මෙය ලංකාවේ තිබෙන අවුලේ තිබෙන තවත් වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. රටට අවශ්‍ය වැදගත් වෘත්තීන්ට නිසි පිළිගැනීමක් හා ගෞරවයක් ලබාදීමට අසමත්වීම නිසා එවැනි වෘත්තීන්ට තරුණ පරපුර යොමු නොවන තත්ත්වයක් ඇතිවී තිබේ. වඩුවැඩ කරන ශිල්පීන් සේ ම මේසන් වැඩ කරන ශිල්පීන්ද ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එහෙත් එවැනි වෘත්තීන්ට නිසි පිළිගැනීමක් හා ගෞරවයක් ලබාදීමට අසමත්වීම නිසා නුදුරු අනාගතයේදී එවැනි ශිල්පීන් පිටරටවලින් ගෙන්වා ගත යුතු තත්ත්වයක් උදාවන කාලය වැඩි ඈත නැත.

වැඩවසම් ඉඩම් ක්‍රමය
දැන් ලංකාවේ ඉඩම් ප්‍රශ්නයට යා හැකිය. පැවති පැරණි වැඩවසම් ක්‍රමය තුළ සියලු ඉඩම්වලට හිමිකම තිබුණේ රජුටය. රජු භූපති ලෙස සැලකුණේ ඒ නිසාය. සියලු ඉඩම් රාජකාරී සේවයකට සම්බන්ධ කර තිබුණි. රජු භුක්ති විඳි ඉඩම් ගබඩා ගම් ලෙසද, බිසෝවරුන් භුක්ති විඳි ඉඩම් බිසෝගම් ලෙසද උසස් නිලධාරීන් හෙවත් රදළයන් භුක්ති විඳි ඉඩම් නින්දගම් ලෙසද විහාර හා දේවල භුක්ති විඳි ඉඩම් විහාර හා දේවාලගම් ලෙසද සැලකුණි. සාමාන්‍ය මහජනයා භුක්ති විඳි ඉඩම් සැලකුණේ නිල පංගු ලෙසය. නිල පංගු භුක්ති විඳි ජනයා ඒ වෙනුවෙන් ඉඩමේ නාමික හිමිකරුවාට හා රජයට සේවාවන් කිරීමට බැඳී සිටියේය. රජුගේ ගබඩා ගම්වල හා නිලකාරයන් රදළ නින්දගම්වල සිටින නිලකාරයන් රජුගේ හෝ රදළයාගේ මුත්තෙට්ටුව නොමිලේ වගා කර දුන්නේය. රජුට හා රදළයාට නියම කළ වෙනත් සේවාවන්ද කර දුන්නේය. විහාර දේවාලගම් සම්බන්ධයෙන් පැවති තත්ත්වයද ඊට සමාන විය. ශ්‍රම විභජනය සකස් කර තිබුණේ කුලය හා පෙළැන්තිය මතය. රාජකාරිය සම්බන්ධ කර තිබුණේ පුද්ගලයාට නොව ඉඩමටය. ඒ නිසා සෑම කුලයක්ම පාහේ රාජ්‍ය කාර්යාංශයක් සේ සකස් වී තිබුණි. ගොවිතැන ගොවිගම කුලයේ ප්‍රධාන ජීවන මාර්ගය වී තිබීම නිසා සාපේක්ෂ වශයෙන් වැඩියෙන් ඉඩම් ලැබී තිබුණේ ඔවුන්ටය. ගොවිතැන අන් කුලවල ප්‍රධාන ජීවන මාර්ගය නොවීම නිසා ඔවුන්ට ලබාදී තිබූ ඉඩම්ද ගොවිගම කුලයට සාපේක්ෂව කුඩා විය.
රජවරුන් නිර්ලෝභීව විහාර දේවාලවලට ඉඩම් පරිත්‍යාග කිරීම නිසා සමහර විහාරවලට හා දේවාලවලට අක්කර දහස් ගණනක් ඉඩම් තිබුණි. රැල්ෆ් පීරිස්ට අනුව විහාර හා දේවල අතුරෙන් වැඩිම ඉඩම් හිමිකමක් තිබුණේ දේවාලවලටය. මුළු බුත්තල ප්‍රදේශයම අයත්ව තිබුණේ කතරගම දේවාලටය. එය දුටුගැමුණු රජුගෙන් පසු කාලයේ රජවරුන් බුද්ධාගමට අතිරේකව හින්දු ආගමද ඇදහූ බවට මා කර තිබෙන විග්‍රහය සනාථ කරන තවත් වැදගත් සාධකයකි. එම විහාර හා දේවාල ගම්වල එම විහාර හා දේවාල වෙනුවෙන් විවිධ සේවා කරන ඒ වෙනුවෙන් වෙන්කර තිබෙන නිල පංගු භුක්ති විඳින නිලකාරයන් විශාල සංඛ්‍යාවක්ද සිටියේය. එම නිලකාරයන් ප්‍රවේණිදාස ක්‍රමයේ දේශීය අනුවාදය ලෙස සැලකිය හැකිය.

ධනපති ඉඩම් ක්‍රමය
ලංකාවේ ඉඩම් භුක්ති ක්‍රමයේ ලොකු පෙරළියක් ඇතිවන්නේ ලංකාව ධනේශ්වර ක්‍රමයට මාරුවීමත් සමඟමය. කෝල්බෲක් ප්‍රතිසංස්කරණ යටතේ රජයට කළයුතු රාජකාරි සේවය අහෝසි කළේය. එහෙත් නින්දගම් විහාර දේවාල ගම්වල පැවති රාජකාරී ක්‍රමය අහෝසි කළේ නැත. එසේ කළේ ඒවාහි රාජකාරි ක්‍රමය ක්‍රියාත්මක වනවාට තිබෙන කැමැත්ත නිසා නොව ඒවාහි රාජකාරි ක්‍රමය අහෝසි කරන පිළිවෙතක් ලොකු ප්‍රශ්න ඇති කිරීමට හේතුවනු ඇතැයි කියන බිය නිසාය. ඒ නිසා එතෙක් පැවති වැඩවසම් ප්‍රවේණිදාස ක්‍රමයෙන් නිදහස්වීමේ අයිතිය ලැබුණේ රජයට කරන රාජකාරී සේවාවක් වෙනුවෙන් ඉඩම් භුක්ති විඳි ජනයාට පමණය. ඒ නිසා ඔවුන්ට ඒ ක්‍රමයෙන් නිදහස්වීමේ අයිතිය ලැබුණා පමණක් නොව ඔවුන් භුක්ති විඳිමින් සිටි ඉඩම්වල සින්නක්කර අයිතියද හිමිවූයේය.

අතීතයේදී නින්දගම්වල හා විහාර දේවාලගම් සඳහා ක්‍රියාත්මක වූයේ රජුට අවශ්‍ය නම් රදළ ප්‍රධානීන්ට හෝ විහාර හා දේවාලගම්වලට ප්‍රදානය කරන ලද ඉඩම් ආපසු පවරාගත හැකි ආකාරයටය. එහිදී විශේෂයෙන්ම නින්දගම් තිබුණේ ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයකය. රදළයෙකු රජුගේ සැකයට හෝ උදහසට ලක්වන අවස්ථාවලදී රජු ඒ රදළයාට දී තිබෙන නින්දගම යළි පවරා ගත්තේය. නැතිනම් එය වෙනත් රදළයෙකුට පැවරුවේය. විහාර දේවාලගම්වල පැවති තත්ත්වයද ඊට වෙනස් නොවීය. නිශ්ශංකමල්ල රජු දඹුලු විහාරයට අයත්ව තිබූ විහාරගම් නැවත පවරා ගත්තේය. ඒවා ආපසු දඹුලු විහාරයට පවරා දෙන ලද්දේ කීර්ති ශ්‍රී රජතුමාය. ඇතිවූ ධනේශ්වර පරිවර්තනය නිසා රදළයන් භුක්ති විඳි නින්දගම්වලද සමහර විහාර හා දේවාල භුක්ති විඳි විහාර හා දේවාලගම්වලද සින්නක්කර අයිතිය එවැනි රදළයන්ට හා එම විහාර හා දේවාලවලට හිමිවිය. කෝල්බෲක් ප්‍රතිසංස්කරණ යටතේ රාජකාරි ක්‍රමය අහෝසි කිරීමෙන් වැඩිම වාසිය ලැබුණේ එවැනි ඉඩම් තිබූ රදළයන්ට හා විහාර දේවාලවලටය. ඉන්පසු රජයේ ඉඩම් භුක්ති විඳි ජනයාටය. ඒ වාසිය වැඩියෙන්ම ලැබුණේද ගොවිගම කුලයේ ජනයාටය. එම ප්‍රතිසංස්කරණ නිසා ඉඩම් විකිණිය හැකි හා මිලදී ගතහැකි දෙයක් බවට පත්විය.

ඒ කාලයේ ඉඩම් භුක්තියට අදාළව සිදුවූ තවත් පෙරළිකාර දෙයක් වූයේ වාණිජ වතු වගාවන් සඳහා රජයේ ඉඩම් මහා පරිමාණයෙන් විකුණන ප්‍රතිපත්තියකට රජය යොමුවීමය. බි්‍රතාන්‍ය පාලනයට පෙරත් යම් ප්‍රමාණයකට වාණිජ වතු වගාවක් රටේ ඇතිවී තිබුණි. ලන්දේසි කාලයේදී කුරුඳු ඒකාධිකාරය ආණ්ඩුව වෙත තබා ගනිමින් ගෙවතුවල කෝපි හා පොල් වවන්නට මහජනයා උනන්දු කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් බි්‍රතාන්‍ය උඩරට අල්ලා ගන්නා අවස්ථාව වනවිටත් ගෙවතු වගාවක් වශයෙන් පොල් වගාවේ හා කුරුඳු වගාවේ සැලකිය යුතු වර්ධනයක් ඇතිවී තිබුණි. ඉන්පසු ලංකාවෙන් අපනයනය කෙරෙන කෝපිවලට 1835 සිට හොඳ මිලක් ලැබීම නිසා කෝපි වගාව ගැන රජයේ නිලධාරීන් අතර පවා ලොකු උනන්දුවක් ඇතිවිය. ආණ්ඩුව වතු වගාවන් සඳහා රජයේ ඉඩම් මහා පරිමාණයෙන් විකුණන තැනකට ගියේ ඉන්පසුවය.

1840දී රජය ඉඩම් අත්පත් කරගැනීම සඳහා පනතක් සම්මත කරගත්තේය. ඒ සමඟ රටේ තිබුණු සියලු මුඩු ඉඩම් රජයේ ඉඩම් ලෙස සලකන ලදි. වාණිජ වතු වගාවන් සඳහා මහා පරිමාණයෙන් ඉඩම් විකුණන තැනකට ගියේ ඉන්පසුවය. ලංකාවේ ලොකු වාණිජ වතු වගාවන් ඇතිවීම ඒ නිසා ඇතිවූ ප්‍රතිඵලයකි. ඒ සමඟ වී ගොවිතැනට හා හේන් ගොවිතැනට ලැබී තිබූ ප්‍රමුඛත්වය බිඳ වැටී ධනේශ්වර වාණිජ වතු වගාවන්ට ප්‍රමුඛ තත්ත්වයක් හිමිවිය. එම ක්‍රියාවලිය ලංකාවේ ධනේශ්වර ගමන ශක්තිමත් කිරීමට හේතුවූ අතර එය රටක් වශයෙන් ලංකාව සමෘද්ධිමත් කිරීමටද හේතුවිය.

වාණිජ වතු වගාව සඳහා මුළුමනින්ම පාහේ යොදාගෙන තිබුණේ තෙත් කලාපයේ ඉඩම්ය. එම තත්ත්වය තෙත් කලාපයේ ලොකු ඉඩම් හිඟයක් ඇති කිරීමට හේතුවිය. ඇතිවූ ධනේශ්වර ක්‍රමය තුළ පොහොසත් හා බලවත් අය දුප්පතුන්ගේ ඉඩම් මිලදී ගත්තේය. අනෙක් අතට දරුවන් අතර ඉඩම් බෙදීයෑම නිසා ග්‍රාමීය ජනයා අතර ඉඩම් නැති හා වගා කිරීමට අවශ්‍ය තරම් ඉඩම් නැති ජනතාවක් ඇතිවිය.

නැවත වියළි කලාපයට
ඉඩම් විෂයෙන් ඇතිවී තිබුණු එම තත්ත්වය ගැන බි්‍රතාන්‍ය ආණ්ඩුවටද හොඳ අවබෝධයක් තිබුණි. හි්‍යු ක්ලිෆඞ් ආණ්ඩුකාරවරයා 1927දී එම තත්ත්වය සොයා බැලීම පිණිස ඉඩම් කොමිසමක් ඇති කළේය. එම කොමිසම අවුරුදු දෙකක් පුරා කරුණු සොයා බැලීමක යෙදී ඉතාමත් විප්ලවකාරී තීරණ ගණනාවක් රජයට නිර්දේශ කළේය. රජය ඉඩම්වල අයිතිකරුවා නොව භාරකරුවා යන සංකල්පය ලංකාවට හඳුන්වා දෙන ලද්දේ එම කොමිසම විසිනි. එම කොමිසමට අනුව ඉඩම් ප්‍රයෝජනයට ගතයුත්තේ වර්තමාන වුවමනාවන් ගැන පමණක් නොව අනාගත වුවමනාවන්ද සැලකිල්ලට ගනිමිනි. විදේශිකයන්ට ඉඩම් විකිණීම මුළුමනින් අත්හිටුවා ගම් පුළුල් කිරීම සඳහා පමණක් ඉඩම් ලබාදිය යුතු බව එය විසින් ඉදිරිපත් කරන ලද තවත් වැදගත් නිර්දේශයක් විය. ඉඩම් පවරාදීමේ කටයුතු මධ්‍යගත කොට එය විශේෂ නිලධාරියකුගේ (ඉඩම් කොමසාරිස්) පරීක්ෂාව යටතේ විධිමත්ව සිදුකෙරෙන කාර්යයක් බවට පත් කිරීමේ වැදගත්කමද කොමිසම පෙන්වා දුන්නේය.

මෙම කොමිසමේ නිර්දේශ 1935 ඇතිකර ගන්නා ලද ඉඩම් සංවර්ධන ආඥා පනතින් නීතිගත කරන ලදි. ඊට පෙර 1921දී සම්මත කරගන්නා ලද ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත යටතේ භුක්තිය හෝ පදිංචිය, අයිතිය තහවුරු කරන සාධකයක් ලෙස සලකා ඉඩම්වල අයිතිය එහි පදිංචිකරුවන්ට ලබාදෙන ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලදි.

1936-38 යන වර්ෂවලදී ආචාර්ය එස්.බී. දාස ගුප්ත විසින් තෙත් කලාපයේ දිස්ත්‍රික්ක 8ක් පදනම් කරගෙන සමීක්ෂණයක් කරන ලදි. ඒ අනුව කිසිම ඉඩම් හිමිකමක් නැති හා ගොවිතැන් කිරීමට ප්‍රමාණවත් තරම් ඉඩම් නැති අයගේ අනුපාතිකය සියයට 40ක් තරම් විශාල බව සොයා ගන්නා ලදි.
මේ අතර රජයේ ඉල්ලීම මත කැනේඩියානු සමාගමක් (හන්ටින් කෝපරේෂන්) ඉඩම් ප්‍රයෝජනයට ගැනීමේ ශක්‍යතා පිළිබඳව විමර්ශනයක යෙදුණේය. ඒ අනුව තෙත් කලාපයේ කෘෂිකාර්මික හා වෙනත් අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගෙන තිබුණු ඉඩම් ප්‍රමාණය සියයට 70කි. එම සමාගමේ නිර්දේශය වූයේ තෙත් කලාපයේ කෘෂිකාර්මික ඉඩම් හැකියාවන් මුළුමනින්ම පාහේ ප්‍රයෝජනයට ගෙන අවසන්ව තිබෙන නිසා කෘෂිකර්මය අවශ්‍ය අතිරික්ත ඉඩම් තිබෙන්නේ වියළි කලාපයේ වන නිසා ලංකාව වියළි කලාපය කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කළ යුතුව තිබෙන බවය. ඊට අනුව වියළි කලාපයේ ප්‍රයෝජයට ගෙන තිබුණේ එහි තිබෙන මුළු ඉඩම් ප්‍රමාණයෙන් සියයට 7ක් පමණය. එහි ප්‍රයෝජනයට ගතහැකිව තිබුණු අතිරික්ත ඉඩම් ප්‍රමාණය අක්කර ලක්ෂ 30කි.
එම වාර්තාව පළවන්නට පෙර සිටම ආණ්ඩුව වියළි කලාපයට ලැබෙන වැදගත්කම අවබෝධ කොටගෙන සිටියේය. එහි ජනවාස ඇති කිරීමට දරන උත්සාහයන් ගණනාවක්ම අසාර්ථක වී තිබුණේ මැලේරියාව නිසාය. පළමු ලෝක යුද්ධ කාලයේදීද සමාගම් දෙකක් යොදා මහා පරිමාණයේ වී වගාවන් ඇති කිරීමට උත්සාහ කළේය. එයද ව්‍යර්ථ වූයේ මැලේරියාව නිසාය. එහෙත්  DDT සොයා ගැනීමත් සමඟ වියළි කලාපය ජනවාස කිරීමේ සිහිනය සැබෑ කරගැනීමට හැකිවිය. එහි ගොවි ජනපද ඇති කිරීමේදී ඒ සඳහා තෝරා ගත්තේ ලොකු ඉඩම් හිඟයක් පැවති තෙත් කලාපයේ ජනයාය. තෙත් කලාපයේ ඉඩම් නැතිකමේ ප්‍රශ්නය වැඩි වශයෙන් බලපා තිබුණේ පීඩිත කුලවල ජනයා කෙරෙහිය. ගොවි ජනපද සඳහා එහි ගෙනගිය ජනයාගෙන් වැඩි පිරිසක් අයත් වූයේද පීඩිත කුලවලටය.

නිදහසෙන් පසු
නිදහසින් පසු ලංකාව හොඳ ඉඩම් ප්‍රතිසංස්කරණයකට යායුතුව තිබුණද එවැන්නන් සිදුවූයේ නැත. රජවරුන් තෑගි දුන්නාය කියන පදනම මත විහාර හා දේවාල කිහිපයකට අක්කර දහස් ගණනක් හිමිකරගෙන සිටීමට ඉඩදීම සාධාරණ වන්නේ නැත. අනෙක් අතට එම ඉඩම්වල ක්‍රියාත්මක වූ සේවා ක්‍රමයද අවම තත්ත්වයක පැවතුණි. එසේම විහාර දේවාලගම් සතු ඉඩම් ආර්ථික වශයෙන් ප්‍රශස්ත ආකාරයකට ප්‍රයෝජනයට ගැනීමක්ද සිදුවී නොතිබුණි. විහාර දේවාලගම් සඳහාද ඉඩම් සීමා නීතියක් පැනවිය යුතුව තිබුණි. එක්කෝ අතිරික්ත ඉඩම් වන්දි ගෙවා රජයට පවරාගත යුතුව තිබුණි. එසේ නැත්නම් එම අතිරික්ත ඉඩම් ලොකු වතු වශයෙන් විකුණා ගන්නට ඉඩදී ඒවායින් ලැබෙන මුදල්වලින් එම විහාර හා දේවාල නඩත්තු කෙරෙන විධිමත් ක්‍රමයක් ඇති කළ යුතුව තිබුණි. එසේම විහාරගම්වල හා දේවාලගම්වල නිල පංගුකාරයන්ට එම ඉඩම්වලින් ප්‍රමාණවත් තරම් ඉඩම් දී ඔවුන් එම වැඩවසම් සේවා ක්‍රමයෙන් නිදහස් කොට ඔවුන්ගේ සේවා මුදලට ලබාගන්නා ක්‍රමයක් ඇති කළ යුතුව තිබුණි.
විහාර දේවාලගම් භුක්තිය පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාවට අනුව ඒ වනවිට නින්දගම්වල පැවති සේවා ක්‍රමය බොහෝ දුරට අභාවයට ගොස් තිබුණද විහාර දේවාලගම්වල පැවති සේවා ක්‍රමය ශක්තිමත් තත්ත්වයක තිබුණි. ඔවුන්ගේ ආගමික භක්තිය නොවන්නට ඔවුන් තමන්ගේ දුක්ගැනවිලි නිසා මහ හඬින් හඬ නගනු ඇති බවට එම වාර්තාවේ සඳහන් වේ.

 

නිලකාරයන් දැඩි දුප්පත්කමකින් පෙළෙන බවත් ඔවුන් කරන සේවාවන් සමඟ බලන විට ඔවුන්ට ලැබී තිබෙන ඉඩම් ප්‍රමාණවත් නොවන බවත් බොහෝ අයට ඉඩම් වගා කරන්නට සිදුවී තිබෙන්නේ තට්ටු මාරු ක්‍රමයට බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.
1951 උඩරට ගැමි කොමිෂන් සභා වාර්තාවටද විහාර දේවාලගම්වල ක්‍රියාත්මක වන සේවා ක්‍රමය ගැන සිත් සසල කරවන විස්තරයක් ඇතුළත්ය. එම සේවා ක්‍රමය අධම ස්වරූපයක් ගත් ක්‍රමයක් බව කියමින් ආගම්වල නාමයෙන් මෙවැනි ක්‍රමයක් පවත්වාගෙන යෑමට ඉඩදිය යුතු නැති බව ප්‍රකාශ කරමින් කුලභේදයට එරෙහිව ගන්නා පළමු පියවර වශයෙන් ඒවාහි පවතින සේවා ක්‍රමය අවලංගු කරන ලෙස එම කොමිෂන් සභාව රජයට නිර්දේශ කළේය. එහෙත් එම නිර්දේශය ක්‍රියාත්මක කිරීමක් සිදු නොවීය.
71 කැරැල්ලෙන් පසුව කැරැල්ල හා ඉඩම් ප්‍රශ්නය අතර අන්තර් සම්බන්ධයක් ඇති බව තේරුම් ගත් සමඟි පෙරමුණු ආණ්ඩුව ඉඩම් අයිතිය අක්කර 50කට සීමා කොට අතිරික්ත ඉඩම් රජයට පවරා ගත්තේය. එසේ පවරා ගන්නා ලද ඉඩම්වල ප්‍රමාණය අක්කර 700000කි. එහෙත් ආණ්ඩුව ඒ අවස්ථාවේදීවත් විහාර දේවාලගම්වලට බලපාන ආකාරයේ ඉඩම් සීමාවක් ඇති කළේ නැත. ඉන්පසු 1975 අංක 39 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය මගින් දේශීය පොදු සමාගම්වලට හා රන් පවුම් සමාගම්වලට අයත් ඉඩම්ද රජයට පවරා ගත්තේය. ඒ මගින් අත්පත් කරගන්නා ලද ඉඩම් ප්‍රමාණය අක්කර 339,000කි. මෙම ඉඩම් පවරා ගැනීමේ වැඩසටහනින් වාණිජ වතු වගාවට අයහපතක් මිස යහපතක් සිදුවූයේ නැත.

ඉතා වැදගත් දේ එසේ පවරා ගන්නා ලද ඉඩම් දේශපාලනඥයන් විසින් කොල්ලකා ගන්නා තත්ත්වයක් ඇතිවීමය. 1977 එක්සත් ජාතික පක්ෂය බලයට පත්වන අවස්ථාව වනවිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතුව ඉඩම් අක්කර දශ ලක්ෂයක් තිබුණි. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සේ ම ආණ්ඩුවේ ප්‍රධාන ආධාරකරුවන්ද ඉතා අඩු මුදලකට එම වටිනා ඉඩම් මිලදී ගෙන වැවිලිකාර ධනවතුන් බවට පත්වූහ. ආණ්ඩුවේ සමහර බලවතුන් තමන්ට තිබුණ නිසරු ඉඩම්වලට කොමිසම යටතේ තිබුණු සරුසාර ඉඩම් මාරු කරගත්තේය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පවා එම අවලස්සන දේ සිදු කළේය. එතුමා තමන්ට තිබූ නිසරු පොල් ඉඩමකට සරුසාර පොල් ඉඩමක් මාරු කර ගත්තේය. ඒ ක්‍රියාදාමය වෙනත් ආණ්ඩු යටතේද සිදුවිය. එය නිදහසින් පසුව රටේ සිදුවූ ලොකුම ඉඩම් කොල්ලය ලෙස සැලකිය හැකිය. වතු පෞද්ගලිකකරණය සිදුවූයේද ඉතාමත් දූෂිත ආකාරයකටය. එය සැලකිය හැක්කේද එම ඉඩම් කොල්ලයේම තවත් අධියරයක් ලෙසය.

දීර්ඝ කාලයක් තිස්සේ රටේ පැවති අභ්‍යන්තර යුද්ධයද ඉඩම් විෂයෙහි ලොකු අවුල් ඇති කිරීමට හේතුවිය. එහිදී විවිධ ජනවර්ගවලට අයත් පුද්ගලයන්ට ආරක්ෂාව සඳහා තමන්ට අයත් ඉඩම් අතහැර වෙනත් ප්‍රදේශවලට පලා යන්නට සිදුවිය. එසේ හිස්වූ ඉඩම් වෙනත් අය අල්ලා ගත්තේය. ඔවුන් ඒවා දීර්ඝ කාලයක් භුක්ති විඳීම හේතු කොට ගෙන දැන් එම ප්‍රශ්න විසඳා ගැනීම දුෂ්කර ප්‍රශ්න බවට පත්ව තිබේ. යුද්ධය පැවති කාලයේදී ආරක්ෂක හමුදාද සිය කඳවුරු ප්‍රදේශ පුළුල් කරගැනීම සඳහා බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගත්තේය. දැන් එම ඉඩම් පරණ හිමිකරුවන්ට ආපසු දිය යුතුව තිබුණද ආරක්ෂක හමුදා ප්‍රධානීන් තම කඳවුරු බලප්‍රදේශ කුඩාවනවා දකින්නට ඇති අකමැත්ත නිසා එම ප්‍රශ්නයද විසඳා ගැනීමට අමාරු ප්‍රශ්නයක් බවට පත්වී තිබේ. ආරක්ෂක හමුදා කඳවුරුවලට වෙන් කර තිබෙන ඉඩම් ප්‍රමාණයද අතිවිශාලය.

ලංකාවේ ඉඩම් ප්‍රශ්නයට අදාළ තවත් ගැටලුවක් වනුයේ ආණ්ඩුව ලබාදී තිබෙන බොහෝ ඉඩම්වලට සින්නක්කර අයිතිය ලබා නොදීමය. එවැනි ඉඩම් සැලකෙන්නේ බලපත්‍ර ඉඩම් ලෙසය. එවැනි ඉඩම්වලට බැංකු ණය ලබාගත නොහැකිය. වගා කරන ඉඩම් කැබලි වී අනාර්ථික තත්ත්වයකට පත්ව තිබීමද ඉඩම් විෂයට අදාළව පෙනෙන්නට තිබෙන තවත් ලොකු ගැටලුවක් ලෙස සැලකිය හැකිය. ඉඩම් පරිහරණය සඳහා ජාතික ප්‍රතිපත්තියක් නැතිකමද ඉඩම් ප්‍රශ්නය අවුල් කිරීමට හේතුවී තිබෙන සාධකයක් ලෙස ක්‍රියා කරයි.
ජනගහනය වැඩිවන තරමට ඉඩම් වැඩිවන්නේ නැත. ඉඩම් පරිහරණය කළ යුතුව තිබෙන්නේ මුල් ඉඩම් කොමිසම ප්‍රකාශ කර තිබෙන ආකාරයටම වර්තමාන අවශ්‍යතාවන් පමණක් සැලකිල්ලට ගෙන නොව මතු පරපුරේ අවශ්‍යතාවන්ද සැලකිල්ලට ගනිමිනි. ඒ සඳහා වන පැහැදිලි දර්ශකයක් රටට තිබිය යුතු අතර එවැනි දර්ශනයකට ඇතුළත් විය යුතු මූලධර්ම හඳුනා ගත යුතුය.■