දූෂණ, වංචාවලට එරෙහි නඩු වේගවත් කිරීම


kathu

ආණ්ඩුවේ ධුර කාලයෙන් බාගයක් ම ගෙවී යද්දීත්, පසුගිය ආණ්ඩුවේ මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් විසින් කරන ලදැයි කියන පොදු දේපළ මංකොල්ලකෑම් සම්බන්ධ නඩුවලින් අවසන් වන්නට නියමිත ව ඇත්තේ එක ම එක නඩුවක් පමණකි. ඒ රුපියල් කෝටි හයක, විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් මුදලක් යොදවා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය සඳහා සිල් රෙදි බෙදා දීමේ සිදුවීමට අදාළ නඩුව ය. කොළඹ මහාධිකරණය ඉදිරියේ අවසාන අදියරේ විභාග වෙමින් පවතින එම නඩුවේ තීන්දුව අගෝස්තු මස පමණ වන විට ලැබේයැ’යි බලාපොරොත්තු විය හැකි ය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හෙවත් එෆ්සීඅයිඩීය විසින් පරීක්‍ෂණ කරන ලදුව, නීතිපතිවරයා විසින් පවරන ලද නඩු 12ක් නුවරඑළිය, කොළඹ, ගම්පහ වැනි විවිධ මහාධිකරණ ඉදිරියේ ගොනු කර තිබෙන බව වාර්තා වෙයි. එෆ්සීඅයිඩීය විසින් පරීක්‍ෂණ අවසන් කොට නඩු පැවරීමේ කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යවා ඇති ගොනු සංඛ්‍යාව 86කි. ඒවා ද නඩු හැටියට ඉදිරියේ දී මහාධිකරණය ඉදිරියේ ගොනු වන්නට නියමිත ය.

පසුගිය කාලය පුරා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයත්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත්, අල්ලස් කොමිසමත්, ඊට අමතර ව බරපතළ වංචා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පවත්වා ගෙන යන ජනාධිපති කොමිසමත් කියන විවිධාකාරවලින් විමර්ශනය කොට අධිකරණය ඉදිරියේ පැවරෙන නඩු ප්‍රමාණය සැලකිය යුතු තරම් ය. මේ ආයතනවල නිලධාරීන් සිය රාජකාරි කටයුතු කරන්නේ මහත් අසීරු තත්ත්වයන් හා අඩු පහසුකම් යටතේ වුණත්, ඔවුන්ගේ කැපවීම හරහා බොහෝ වැරදි ගැන විමර්ශන අවසන් කෙරෙන තත්ත්වයක්දැන් ඇති වී තිබේ. අවාසනාවකට මේ හැම පැත්තකින් ම එන නඩු අසන්නට සිදුවන්නේ දැනට පවතින අධිකරණ පද්ධතිය තුළ ම ය.

සාමාන්‍ය අධිකරණ පද්ධතිය තුළ ඒ නඩු ද අසන්නේ මිනීමැරුම්. ස්ත්‍රී දූෂණ, මිනීමැරීමට තැත්කිරීම් වැනි සාමාන්‍ය මට්ටමේ විශාල නඩු සංඛ්‍යාවක් සමඟ කලවමේ ය. එක දිනයක කැඳවන නඩුවක ඊළඟ කැඳවීමේ දිනය ලැබෙන්නේ තවත් මාස පහ හයකට පසුව ය. මේ නිසා නොවැලැක්විය හැකි තත්ත්වය වන්නේ, මේ විශේෂ නඩු අවශ්‍ය තරමේ වේගයකින් පවත්වා ගෙන යන්නට නොහැකි වීම යි. ඒ ඒ නඩුවල තීන්දුවලට අභියාචනා කරන තත්ත්වයක් ද ඇතිවුණොත්, සම්පූර්ණ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට ගත වන කාලය තේරුම් ගත හැකිය.

මේ වංචා, දූෂණ හා විවිධාකාර මූල්‍ය අක්‍රමිකතාවලට අදාළ නඩු විමසා, ඒවාට අදාළ වැරදිකරුවන්ට දඬුවම් දීම මේ රටේ මහජනතාව වර්තමාන රජයෙන් බලාපොරොත්තු වන වැදගත් කාරණයකි. ජනවාරි 8ට පෙර පැවැති රජයේ දූෂණ මිත්‍ර, වංචා මිත්‍ර පිළිවෙතට එරෙහිව යමින් අලුත් ජනාධිපතිවරයකු හා ආණ්ඩුවක් ජනතාව විසින් පත් කර ගන්නා ලද්දේ පැවැති ක්‍රමය වෙනස් කිරීමේ වුවමනාවෙනි. ඒ නිසා මේ වංචා දූෂණවලට අදාල නඩුවල අවසානයක් දැකීමට මහජනතාවට අවස්ථාව ලබා දීම එක පැත්තකින් ආණ්ඩුවේ වගකීමකි.

ඒ සඳහා දැන් නඩු පැවරීමේ හා නඩු ඇසීමේ ක්‍රියාවලිය වේගවත් කෙරෙන ක්‍රමයක් ඇති කළ යුතු ය. විශේෂයෙන් මහජන නියෝජිතයන් හා රජයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුවුණු මහජන දේපළ මංකොල්ලකෑම්, මූල්‍ය අපරාධ ගැන නඩු විභාග කිරීම සඳහා වෙන ම අධිකරණයක් පිහිටුවිය හැකි ය. විශේෂ නීතිවලින් වෙන ම අධිකරණයක් පිහිටුවනවා වෙනුවට, පවතින අධිකරණ පද්ධතියේ ම එක් අධිකරණයක් එම විශේෂ වර්ගවල නඩු විසඳීම සඳහා වෙන් කළ හැකි ය. ඒවා විශේෂ අධිකරණ නොවන නිසා, පුද්ගලයන් ඉලක්ක කොට පළිගැනීමේ චේතනාවෙන් නඩු විභාග කෙරෙන්නේයැ’යි කියන චෝදනාව ද ඊට අදාළ නොවේ. එවැනි අධිකරණයක් මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකුගෙන් සමන්විත විනිශ්චයාසනයක් වන්නේ නම්, එක පැත්තකින් නඩු විසඳීමේ ක්‍රියාවලියේ අපක්‍ෂපාතීභාවය ගැන සහතිකයක් ලැබෙනවාක් මෙන් ම අභියාචන ක්‍රියාවලිය අනවශ්‍ය ආකාරයට දීර්ඝ වීම ද වළක්වා ගත හැකි ය. දැන්, මේ ගැන තීන්දු තීරණ ගන්නට හොඳ ම කාලය යි.■