රාවය

කුරුසියේ ඇණ ගසන්නට පෙර

කුරුසියේ ඇණ ගසන්නට පෙර

මනුවර්ණ සතිය

අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ පළමු වටයේදී පරාජය වී අවමානයට ලක්විය. නීතිඥ ලක්‍ෂාන් ඩයස් පැය 24ක් තුළ සමාව ගතයුතුයැයි විජේදාස රාජපක්‍ෂ මහතා කිව්වත් ලක්‍ෂාන් ඩයස් මහතා සමාව ගත්තේ නැත. දැන් එළැඹී ඇත්තේ විජේදාස රාජපක්‍ෂ මහතාගේ වාරයයි. ඔහු කී අන්දමට දැන් සතියක් ඇතුළත ලක්‍ෂාන් ඩයස් නීති වෘත්තියෙන් ඉවත්කිරීමට පියවර ගත යුතුය. හැමෝම බලා සිටින්නේ අධිකරණ ඇමතිවරයා ඒ ‘බැරි වැඬේ’ කරන්නට ගොස් යළිත් අමාරුවේ වැටෙන හැටි දැකගන්නටය.

නීතිඥවරයකු වෘත්තියෙන් ඉවත්කරන්නට තරම් විජේදාස ඇමති කවුද? මෙරට නීතිඥවරුන් පත්කිරීමේ හා ඉවත්කිරීමේ සර්ව බලධාරියා ඔහුද? අධිකරණ ඇමති නිසාවත්, කාලයක් නීතිඥ සංගමයේ ඇල්මැරුණු සභාපතිවරයකු හැටියට සිටි නිසාවත්, (මේ කාලයේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ඉදිරියට ආ නින්දාසහගත දෝෂාභියෝගයේ මුල් පියවරවලදී මේ සභාපතිවරයා සටන් ක්‍රියාමාර්ගවලට ගන්නට තිබුණු අමාරුව ඒ ගැන වැඩකළ නීතිඥවරු හොඳින් දනිති. ඔහු ඒ කාලයේ සිටියේ ඇල්වතුරත් නිවා බොමිනි.) තමා ප්‍රාඥයකුයැයි තමාම හඳුන්වා ගත්තත්, එවැනි විශේෂ බලයක් තමාට ලැබෙතැයි විජේදාස රාජපක්‍ෂ මහතා සිතනවා නම් එය විකාරයකි. ලංකාවේ නීතිඥවරයකු පත්කිරීමටත්, වෘත්තියෙන් ඉවත්කිරීමටත් සර්වාධිකාර බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. කිසිවකු නීතිඥ වෘත්තියට නුසුදුසු යැ’යි හැඟේ නම් ඒ පිළිබඳ පැමිණිල්ල කළ යුතු වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේද සහායෙන් ඒ පිළිබඳ විමර්ශනයක් පවත්වා, වැරදිකරුවකු හැටියට පිළිගත හැකි සාක්‍ෂි තිබේ නම් දිය යුතු දඬුවම කුමක්දැ’යි තීරණය කරයි. එය තාවකාලිකව නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කිරීම හෝ නීතිඥ වෘත්තියෙන් ඉවත්කිරීම හෝ විය හැකිය. එහෙත්, එකම තීරකයා ශේ්්‍රෂ්ඨාධිකරණය මිස විජේදාස රාජපක්‍ෂ නොවේ. ඒ නිසා, විජේදාස රාජපක්‍ෂ, කිසිවකු වෘත්තියෙන් ඉවත්කිරීම සඳහා පියවර ගන්නවායැයි කියන විට ඒ ගැන දැනුම් තේරුම් ඇති අයට පෙනෙන්නේ විකාරයක් හැටියටය. අනෙක් අතට එය බල්ලාගේ වැඬේ බූරුවා කරන්නට යෑමකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඬේ විජේදාස රාජපක්‍ෂ කරන්නට යෑමකි. එක පැත්තකින් එය ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් හැටියටද පෙන්විය හැකිය.

නීතිඥ ලක්‍ෂාන් ඩයස් ක්‍රිස්තියානි වන්දනා ස්ථානවලට පහරදීමේ කතාව කිව්වේ දෙරණ රූපවාහිනියේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදීය. 1952 සිට ලංකාවේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ඉවැන්ජලික සන්ධානය (National Christian Evangelical Alliance of Sri Lanka) විසින් 2017 මැයි මාසයේ නිකුත්කරන ලද සාරාංශ වාර්තාවක් පදනම්කොට ගෙන නීතිඥවරයා ඒ අදහස පළකළේය. ඒ සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් වගකීම බාරගන්නවාදැයි දෙරණ නිවේදකයා ඇසූ විට ලක්‍ෂාන් ඩයස් කීවේ, මේ සිදුවීම්වලින් බහුතරයකට නීතිඥවරයා වශයෙන් තමා ඉදිරිපත්වී සිටින බවත්, එදින උදේද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ එවැනි නඩුවක් කැඳවුණු බවත්ය. ලංකාවේ ආගමික සහජීවනය ගැන උනන්දුවන කාටත්, පසුගිය කාලයේ ලංකාවේ විවිධ ප්‍රදේශවල බෞද්ධ හා කතෝලික නොවන ආගමික ස්ථානවලට පහරදීම් හා බලපෑම්, බාධක සිදුවුණු ආකාරය ගැන අවබෝධයක් තිබේ. විශේෂයෙන් ඉහත කී ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ඉවැන්ජලික සන්ධානයේ වෙබ් අඩවියේ (http://nceasl.org/) ඒ එක එක සිදුවීම්වල විස්තරද දැකගන්නට පුළුවන.

කවුරුන් විසින් ඒ පහරදීම් කර ඇත්දැ’යි වැඩසටහනේ නිවේදකයා විමසූ විට නීතිඥවරයා කිව්වේ, බෞද්ධ භික්‍ෂූන් හා වෙනත් පුද්ගලයන් විසින් ඒවා කර ඇති බවයි. ලක්‍ෂාන් ඩයස්ගේ එම සංඛ්‍යාලේඛන ගැනවත්, ප්‍රහාරයන් ගැනවත් ඉන් එහා කතාබහක් එම වැඩසටහනේ අන්තර්ගතය අනුව කැරුණේ නැත. ඒ ගැන සාකච්ඡා කළේ නම්, ඒවා ප්‍රචණ්ඩ පහරදීම්ද. වෙනත් බාධාකාරී ක්‍රියාවන්ද, බියගැන්වීම්ද, ඒවා කළේ බෞද්ධ භික්‍ෂූන් පමනක්ද, වෙනත් පුද්ගලයන් හෝ ආගමිකයන් ඒවාට සම්බන්ධවී නැද්ද යනාදි තොරතුරු කතාකරන්නට තිබුණි. එහෙත්, ඒ සඳහා වෙනත් මාතෘකාවක් යටතේ කැඳවා තිබුණු අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේ අවස්ථාවක් නොවීය.

ජාතික ඉවැන්ජලික සන්ධානයේ සාරාංශ වාර්තාව අනුව, මේ සිදුවීම් විවිධාකාරය. පල්ලි හා යාඥා මධ්‍යස්ථාන ගිනිතැබීම, විනාශ කිරීම, දේපළවලට හානි කිරීම, පූජකවරුන්ට හා ආගමික වන්දනා ස්ථානවල සිටින පුද්ගලයන්ට ශාරීරික හානි සිදුකිරීම, මරණ තර්ජන කිරීම, අඩන්තේට්ටම් කිරීම, බලහත්කාරයෙන් අවතැන් කිරීම, බලහත්කාරයෙන් පල්ලි වසාදැමීම, නීතියට පිටින් ගොස් පොලිස් නිලධාරීන් හා රජයේ වෙනත් නිලධාරීන් ආගමික ස්ථාන වසා දැමීමට හා වන්දනා කටයුතු නවතා දැමීමට නියම කිරීම වැනි පරාසයක විහිදෙන සිදුවීම් මේ සංඛ්‍යාලේඛනවලට ඇතුළත් වේ. මේ සිදුවීම් බොහොමයක් ප්‍රමාණයෙන් කුඩා, සමහර විට බොහෝ දුරබැහැර ආගමික ස්ථානවලට අදාළව සිදුවී ඇති බවත් තේරුම්ගත යුතුය. හැම සිදුවීමක්ම කර ඇත්තේ බෞද්ධ භික්‍ෂූහු නොවෙති. සිංහලයන් මෙන්ම වෙනත් ආගමිකයන්ද ප්‍රහාරයන්ට සම්බන්ධ බව දැනගත හැකිය.`

සාරාංශ වාර්තාවට අනුව, 2003දී එවැනි සිදුවීම් 95ක්ද, 2004 දී 86ක්ද, 2005දී 59ක්ද, 2006දී 62ක්ද, 2007දී 35ක්ද, 2008දී 32ක්ද සිදුවී තිබේ. 2009දී 45කි. 2010දී 20කි. 2011දී 21කි. 2012දී 52කි. 2013දී 103කි. 2014දී 111කි. වැඩිම සිදුවීම් ගණන එයයි. 2015දී සිදුවීම් 90කි. 2016දී 89කි. 2017දී මේ වන තෙක් සිදුවීම් 36කි.

මේ සිදුවීම් ගැන නීතිඥ ලක්‍ෂාන් ඩයස් කීවේ ආගමික ගැටුම් ඇතිකරන්නට නොවේ. මෙවැනි සිදුවීම් වී ඇති බව වාර්තා කරන්නටය. ඔහු කිව්වේ, මේ සිදුවීම් ගැන ඒ ඒ පොලිස් ස්ථානවලට පැමිණිලි කර ඇති නමුත් පොලිසිය ඒ ගැන පියවරක් නොගැනිම නිසා, පෞද්ගලික පැමිණිලි හැටියට මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කරන්නට සිදුවී ඇති බවය. තම නීතිඥ දැනුම පසෙකලා කවදත් ජාතිකවාදයේ ගිලී සිටින දෙරණ නිවේදකයා, මේ පෞද්ගලික පැමිණිලි කතාව පැහැදිලි කළේ, සිදුවීම් බොරු නිසා පොලිසියෙන් ඉදිරිපත් කරන පැමිණිලි වෙනුවට පෞද්ගලික පැමිණිලි කර ඇති බව කියන්නට උත්සාහ දරමිනි. එහෙත්, ලක්‍ෂාන් ඩයස් මහතා කිව්වේ, සමහර සිදුවීම්වලදී පොලිසියට තුන් හතර වතාවක්ම පැමිණිලි කර ඇති නමුත් නඩු පැවරීම් සිදුවී නැති බවය.

විය යුතුව තිබුණේ පණිවුඩකාරයාට ගල්ගසන්නේ නැතිව, පණිවුඩය කුමක්දැයි සොයාබැලීමය. එහෙම උනන්දුවක් තිබෙන කෙනකුට අදාළ වෙබ් අඩවියට ගොස් සමහර කරුණු ලබාගන්නට හැකි අතර, ඉවැන්ජලික සන්ධානය ඇමතීමෙන් ඒ ඒ සිදුවීම් ගැන වැඩි විස්තර දැනගන්නට හැකියාවද තිබුණි. විය යුතුව තිබුණේ, එවැනි සිදුවිම් වී තිබේදැ’යි සොයා බලා, ඒවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වී නැතිනම් නීතිය ක්‍රියාත්මක කිරීමටත්, වගකිවයුත්තන්ට නිසි දඬුවම් දීමත්, අගතියට පත් පාර්ශ්වවලට සහන සැලසීමට වහාම පියවර ගැනීමත්ය.

ජනාධිපතිවරයා අල්ලාගත්තේ වැරදි පැත්තෙනි. ඔහු මැල්කම් රංජිත් කාදිනල්වරයාට කතාකොට එවැනි සිදුවීම් වී ඇති බවක් දන්නවාදැයි විමසන්නට ඇත. කාදිනල්වරයා මේ ගැන කිසිවක් දැනගෙන සිටින්නට විදියක් නැත. ඔහු අයත්වන්නේ ලංකාවේ ආධිපත්‍යධාරී රෝමානු කතෝලික සභාවටය. මේ පහරදීම් හා බාධාකිරීම් සියල්ලම පාහේ කර ඇත්තේ කතෝලික සභාවේ ස්ථානවලට නොවේ. එක්තරා විදියක කතෝලික සභාවටද හිසරදයක් වී ඇති කුඩා යාඥා මධ්‍යස්ථාන හා වෙනත් ප්‍රොතෙස්තන්ත නිකායන්ගේ ආගමික ස්ථානවලටය. ලංකාවේ ජනගහනයෙන් සියයට 7ක් පමණ කාදිනල්වරයා නියෝජනය කරන රෝමානු කතෝලිකයෝය. ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානිවරුන් ඉන්නේ සියයට 1ක් පමණ සුළු ප්‍රමාණයකි. ප්‍රශ්නය උද්ගත වී ඇත්තේ ඔවුන්ට අදාළවය. ලංකාවේ නැති වුණත්, කතෝලික පල්ලිය හා අනෙක් ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි නිකායන් අතර ගහමරාගන්නා, යුද්ධ කරගන්නා තත්ත්වයට ගැටුම් වර්ධනය වී තිබේ. අඩුවැඩි වශයෙන් ලංකාවේද කතෝලික පල්ලියට මේ අනෙක් නිකායන්ගේ පැවැත්ම කරදරයකි. ඒ නිසා කතෝලික පල්ලිය ඍජුව නැති නමුත්, වක්‍රව මේ ප්‍රහාරයන් ගැන සහනශීලී ආකල්පයක් දරන්නට ඉඩ තිබේ.

තමා නොදන්නා දෙයක් ගැන ජනාධිපතිවරයා විමසූ විට කාදිනල්වරයාට කියන්නට තිබුණේ, රෝමානු කතෝලික පල්ලිවලට පහරදීම් සිදුවී නැති බවත්, වෙනත් නිකායන්හි ආගමික ස්ථානවලට පහර දී ඇත්දැයි තමා නොදන්නා බවත්ය. මේ අපැහැදිලිභාවය නිසා ජනාධිපතිතුමා, කාදිනල්වරයා උපුටා දක්වමින්, එවැනි පහරදීම් සිදුවී නැති බව කාදිනල් සහතික වන්නේයැයි කියන්නේ මහනුවර පාසලක පැවැති උත්සවයකදීය.

පෞද්ගලිකව ලක්‍ෂාන් ඩයස් නීතිඥවරයා ගැන කිවහොත්, රටේ ආගමික සංහිඳියාව හා සුළු වාර්ගි ක, ආගමික ප්‍රජාවන් ගැන මහත් වෙහෙසවී වැඩකරන, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරදීමට සිය වෘත්තිය මහත් සේ ප්‍රයෝජනයට ගන්නා, ජනවාරි 8 වෙනස වෙනුවෙන් මහත් සේ කැපවුණු කෙනකු හැටියට ඔහු හඳුන්වා දිය හැකිය. දැන් ජනාධිපතිවරයාටත්, අධිකරණ ඇමතිවරයාටත් මේ නීතිඥවරයා ලංකාවේ ආගමික ගැටුම් අවුස්සන්නට හදන ගැටුම්කාරකයකු සේ එක දිනක් ඇතුළත පෙනීගොස් ඇත. මේ අවිදුර දෘෂ්ටිකත්වය ලක්‍ෂාන් ඩයස් මහතාට කරන අවමානයක් මෙන්ම, ජනවාරි 8 වැනිදා දේශපාලන වෙනස කරන්නට දායකවුණු යුක්ති ගරුක මිනිසුන්ට කරන අවමානයක් හැටියටද හැඳින්විය යුතුය.

ජනාධිපතිවරයා මහනුවර චන්දාලෝක විදුහලේදී මේ වැරදි අර්ථකථනය කරන විට අධිකරණ ඇමතිවරයා, ඊටත් එහා ගොසින් ලක්‍ෂාන් ඩයස් නීතිඥවරයාගේ කළු කබාය ගලවන්නට අරඅඳින්නේය. නීතිඥ වෘත්තියට හානිකරයැයි කළු කබා ගලවන්නට වුවමනා නම්, වැඬේ පටන්ගන්නට ඉඟියක් රාජපක්‍ෂ මහතාට දෙන්නට මනුවර්ණට හැකිය. ඒ, ඔහු ළඟම සිටින, කලක් ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයකු හැටියටද කටයුතු කළ තිළිණ ගමගේ හිටපු මහේස්ත්‍රාත්වරයාගෙන් පටන්ගන්නා ලෙසය. තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයකු හැටියට පමණක් නොව, නීතිඥවරයකු හැටියටද සිටින්නට කෙතරම් සුදුසු වේදැයි තේරුම් ගැනීමට පසුගිය කාලයේ රාවය පුවත්පත් කියවන ලෙස අධිකරණ ඇමතිවරයාට යෝජනා කරන්නට පුළුවන.

ලක්‍ෂාන් ඩයස් නීතිඥවරයා කුරුසියේ තබා ඇන ගසන්නට පෙර කළ යුතු දේ නම්, ඔහු උපුටා දක්වන ලද වාර්තාව සොයාගෙන, එයට අදාළ පසුබිම් වාර්තාද ඉවැන්ජලික සන්ධානයෙන් ලබාගෙන, ඒ ඒ සිදුවීම් ගැන වහාම පරීක්‍ෂණ අරඹන්නැයි පොලිසියට නියෝග කිරීමය. පොලිස් පරීක්‍ෂණවලට අනුව, ඒ සිදුවීම් බොරු නම් ලක්‍ෂාන් ඩයස් මහතාට විරුද්ධව පියවර ගත හැකිය.■